බේරුවල පොලිසියේ මැර ප්‍රහාරයට මෙවර ගොදුරු වුයේ 60 හැවිරිදි මවකි.


හර්ෂි සි. පෙරේරා

ඇය දොලුල්ල කන්කානම්ගේ සිලවතිය. වයස අවුරුදු 60 කි. දරුවන් 07 දෙනෙකුට අම්මා කෙනෙකි. අංක 123, රොක්ලන්ඩ් පාර, මාගල්කන්ද, මග්ගොන පදිංචිව සිටි. සුදුවා දේවගේ ප්‍රේමරත්න ඇගේ සැමියා වේ.

2012.07.30 දින සවස 6 ත් 6.30 ත් අතර බේරුවල පොලිසියේ ස්ථානදිපති දුමින්ද රාජපක්ෂ ඇතුළු නිලදාරීන් 05 ක් ඇගේ නිවසට පැමිණ තිබේ. පොලිසිය ඇගේ සැමියාව පොලිසියට ගෙන යාමට සැරසෙද්දී ඇය සැමියාගේ අතින් අල්ලාගෙන ඔහුව ගෙනයන්නේ ඇයිදැයි විමසුවිට මනෝජ් නමැති නිලදාරියා ඔහුගේ අතේ වූ අඩි 2 ත් 2 1/2 ත් අතර දිග වූ පොල්ලකින් ඇගේ අතට ගසා ඇත. එම පහර ඇගේ දකුණු අතේ පහල කොටසට වැදී තිබේ. අත එවලේම ඉදිමි ඇත.

එවිට ත්රිරෝදරතයකින් ගෙදර ආ ඇගේ පුතා ඇයව නාගොඩ රෝහලට ගෙන යාමට හදද්දී ස්ථානදිපතිවරයා ඇතුළු නිලදාරීන් එයට විරුද්ද විය. පසුව ඇගේ සැමියා මානව හිමිකම් කොමිසමට දුරකථන ඇමතුමක් ගැනීමෙන් පසුව ඇයව නාගොඩ රෝහලට ගෙන ගොස් ඇත. ඇයව රෝහලේ 02 වාට්ටුවට ඇතුලත් කර ඇත. 2012.07.31 ඇගේ ටිකට් කපා තිබේ. X කිරණ පරීක්ෂණයෙන් ඇගේ අත කැඩී නොමැති බවත් තැල්ම පවතින බවත් හෙළිදරවු වී ඇත.

ඇය රෝහලේ වයිද්යවරුන්ට, අදිකරණ වයිද්‍ය නිලදාරිට සහ රෝහල් පොලිසියට පොලිස් නිලදාරීන් පහරදුන් බව ප්‍රකාශ කර තිබේ. සිද්දිය වූ දිනයේම ඇගේ සැමියාව ඇප මත මුදා හැර ඇත. ඇය තමාට පහරදුන් තම සැමියාව නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමු බේරුවල පොලිසියේ ස්ථානදිපති දුමින්ද රාජපක්ෂ සහ එම පොලිසියේ මනෝජ් යන නිලදාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකුල පියවර ගෙන තම පවුලේ උදවියට ආරක්ෂාව සලසන්නයයි මානව හිමිකම් කොමිසමෙන්, ජාතික පොලිස් කොමිසමෙන්, පොලිස්පතිගෙන් සහ කළුතර පොලිස් අදිකාරිගෙන් අද එනම් 2012.08.02 දින ලිකිත පැමිණිලි මගින් ඉල්ලා සිටියාය.