තවත් ප්‍රාදේශීය මැරයෙක් ගාල කඩාගෙන යයි.

| අමිල ගුණරත්න

දැන් ප්‍රාදේශීය දේශපාලන මණ්ඩල වල සිටින්නේ වරෙන්තුකාර අපරාධකරුවන්ය. මොවුන් මේ තැනට පත් කලේ මේ රටේ ඇස් වසාගෙන කතිරය ගසන බත් කන හරකුන් විසිනි. අවම වශයෙන් තමන් චන්දය දෙන අපේක්ෂකයා ගේ දැන උගත්කම වංක අවංක බව වැඩක් කිරීමේ හැකියාව යනාදී ගුණාංග ගැනවත් සලක බැලීමට මේ බත් කන හරකුන් දන්නේ නැත. එසේ දන්නේ නම් අර ගාළු මෝඩයන් මුතුහෙට්ටියා වැනි කෙනෙකු පාර්ලිමේන්තු යවන්නේ නැත.

මෑතකදී තවත් ප්‍රාදේශීය දේශපාලන වහුකුණක් විසින් මැර සෙල්ලමක් නවලෝක රෝහලේදී පෙන්වා තිබේ. තමන්ගේ වාහනය ගාල් කිරීමට නවලෝක රෝහලේ වෛද්‍යවරුන්ගේ රථ ගාලේ ඉඩ නොදුන් බව පවසා බේරුවල ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න සංජිව විසින් නවලෝක රෝහලේ ආරක්ෂකයෙකුට පහර දී තිබේ. මෙම අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇත. මොහු 2002 පළාත් පාලන මැතිවරණයේදී බේරුවල ප‍්‍රාදේශීය සභාවට පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ප‍්‍රථම වරට ඉදිරිපත් වී මනාප 3468ක් ලබා ගෙන මන්තී‍්‍රවරයෙකු ලෙස තේරී පත්විය. අනතුරුව 2006 වර්ෂයේදී බේරුවල ප‍්‍රාදේශීය සභාවට තරග කරමින් මනාප 7888ක් ලබා ගෙන උප සභාපති තනතුරට පත්විය. දැන් මොහු බේරුවල ප්‍රාදේශීය සභාපති ධුරය දරයි. ජනතාව චන්දය දී ඇත්තේ මෙවැනි මෝඩයෙකුටය.

බේරුවල ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න සංජිව විසින් කල මෙම පහර දීම පිළිබඳව කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කොට ඇතත් මේ සම්බන්දයෙන් නිතිය ක්‍රියාත්මක වීමක් නම් වන්නේ නැත. අප එය අතීත අත්දැකීම් වලින් දනිමු. නමුත් දේශපාලකයන් ඉවක් බවක් නොමැතිව මෙසේ මැරකමින් හැසිරෙනවිට ජනතාවගේ ඉවසිමද යම් දිනක සීමාව ඉක්මවා යනු ඇත. මෙම පහරදීම පිළිබඳව පලවූ වාර්තා අතර තිබු කොමෙන්ටු කියවීමේදී එක කොමෙන්ටුවක් අපගේ නෙත් ගැටුණි. එය ලියා ඇත්තේ යුද හමුදාවේ සේවය කල දැනට පුද්ගලික ආරක්ෂක සේවයේ නියතු පුද්ගලයෙකු ය. ඔහු මෙසේ ලියයි.

මමත් වැඩ කරන්නේ සිකුරිටි එකක. මම කලින් හිටිය යුද හමුදාවේ. දැන් පෙන්සෝන් අරන් ජීවත් වෙන්න බැරි නිසා මෙතන වැඩ කරනවා. අපේ පාර්කින්ග් එකට එහෙම ඔය වගේ බීල ඇවිත් පිස්සු කෙලියනම් අපි මැරෙනකම් ගහනවා. දැන් ළඟදීම මේ පාහරයන් හොඳට මැරුම් කනවා. මුන්ට පුදුම උණක් තියෙන්නේ. මුන්ව මරණ එක අපේ යුතුකමක්. වරෙන්කො අපේ ලඟට. අපි ඉතුරු ටික බලාගන්නම්.
(උපුටා ගැනීම Gossip Lanka අඩවිය )

මේ රට වසර 30 යුද්ද කල අයුධ පුහුණුවලත් සෙබළුන්ගෙන් පිරි රටකි. විශ්‍රාමික සොල්දාදුවන් දැන් නොයෙකුත් සිවිල් මර්මස්ථාන වල වැඩ කරති. ඔවුන් කොටියාට බිය නොමැතිව ජීවිතය පරදුවට තබා සටන් කලේ මෙවැනි පාහර ප්‍රාදේශීය මැරයන්ට රට උළා කෑමට දීමට නොවේ. මේ මැර දේශපාලකයන් යම් දෙයක් වටහා ගත යුතුය, මේ රටට ආදරය කරන අසාධාරණය දුටු විට ජීවිතය පරදුවට තබා සටන් කල හැකි කොටසක් තවමත් මේ රටේ සිටිති. පොලිසියෙන් නීතිය ඉටු නොවේ නම් ඔවුන් විසින් හෝ මේ රටේ විනය පවත්වාගනු ඇත. නමුත් ඒ මට්ටමට කරුණු කාරණා දිග් නොගැස්සීමට පාලකයන් වග බල ගත යුතුය.