බුදුන් ඝාතනය කර වසර 31යි

යාපනය මහජන පුස්තකාලය ආසියාවේ විශාලතම පුස්තකාල අතරට එක්වුණු දශක ගණනාවක ඉතිහාසයක්ද ඇති ඉතා වැදගත් වූ පුස්තකාලයකි. යාපනය නගරයේ යාපනය කොටුවට ආසන්නයේදී තිබෙන ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණය අසල ඇති මෙම පුස්තකාලය ඇත්තේ සුවිසල් වූ ගොඩනැගිල්ලකය.1935 වසරේදී කේ.එම්. වෙල්ලප්පා නමැති පුද්ගලයකුගේ අදහසක් අනුව පෞද්ගලිකව ආරම්භ කළ මෙම පුස්තකාලය මුලින්ම හැඳින් වූයේ Jaffna Library Movement යන නමිනි. මෙම පුස්තකාලය එකලද යාපනය ජනතාවට ඉතා වැදගත් වූ අතර බොහෝ දෙනා එය ප්‍රයෝජනයට ගන්නා ලදී.

අනතුරුව 1949දී දේශීය අධිකාරිය යටතට පවරා ගත් අතර ඉන්පසු කාලයේදී යාපනය නගර සභාවට චෙල්ලප්පාගේ පුස්තකාලය පත්වුණි. එවකට යාපනය නගරාධිපති ලෙස කටයුතු කළ සෑම් කනකසාමි මහතාට මෙම පුස්තකාලය වඩාත් දියුණු මට්ටමකට ගෙන ඒමට අවශ්‍යතාවක් ඇතිවිය. ඒ වෙනුවෙන් කමිටුවක්ද පත්කොට එහි සභාපති ධුරයට පත්වූයේද පුරපතිවරයාය. උප සභාපති ධුරයට එවකට යාපනය ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති වූ ලෝෆ් මහතා පත්ව තිබුණි. අනතුරුව ලෝකයේ විවිධ රටවල් වලින් ලබා ගන්නා අරමුදල් මගින් යාපනය මහජන පුස්තකාල ගොඩනැගිල්ල ගොඩනැංවීම ආරම්භ වූයේ 1954දීය.

මෙරට මතෛක් ඉදිනොවූ ඉහළම ආකාරයෙන් මෙම පුස්තකාල ගොඩනැගිල්ල දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ පෙන්නුම් කරමින් මහල් තුනකින් ගොඩනැගුණ මෙම පුස්තකාල ගොඩනැගිල්‍ලේ නිර්මාණ ශිල්පියා වූයේ මදුරාසියේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ ආචාර්ය එස්.ආර්. රාමනාදන්ය. ඔහුගේ දායකත්වයෙන් ඉදි වූ තවත් එවැනිම

විශිෂ්ට නිර්මාණයක් ලෙස නරසිංහම් පුස්තකාලය හැඳින්වේ.යාපනය මහජන පුස්තකාලය ඉදිකිරීමේ කටයුතු අවසන්ව 1959 ඔක්තෝබර් 07 දින විවෘත කිරීම සිදුවිය. එවකට යාපනය පුරපතිව සිටි ඇල්ෆඩ් දොරේඅප්පා මහතා යාපනය පුස්තකාලය විවෘත කරන ලදී. පෙරදිග ආසියාවේ දුර්ලභ ‍පොත්පත් රාශියකින් යාපනය මහජන පුස්තකාලය පිරී තිබුණි. එදා යාපනයේ මුදුන් මල්කඩක් බවට පත්ව තිබුණේ මෙම පුස්තකාලය බව කීවොත් එය නිවැරදිය.

මෙයට වසර ගණනාවකට පෙර යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් හට සිය දැනුම පුළුල් කර ගැනීමට අවශ්‍ය වූ විට විවිධ ‍පොතපත තිබුණේ මෙම පුස්තකාලයේය. යාපනය තරුණ තරුණියන්ගේ බුද්ධියේ නිම් වළලු ප්‍රසාරණය වීමට මෙම පුස්තකාලය ඇදුරු මඩුල්ලක් විය. එසේම ඔවුන්ගේ භාෂා ඥානය වඩාත් වර්ධනය කර ගැනීමට පුස්තකාලය එකම ගැලවුම්කරු බවට පත්ව තිබුණි.

එම නිසාම යාපනය බුද්ධිමය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අවශ්‍ය දැනුම ඥානනය කරනු ලැබුවේ යාපනය පුස්තකාලය මගිනි. යාපනය නගරයේ තිබූ ඇමරිකන් සෙන්ටර්’ නම් වූ තවත් පුස්තකාලයක් විය. 1977 වසරේදී පමණ එය වසා දැමුණු අතර එහි තිබූ ‍පොත්පත් විශාල සංඛ්‍යාවක්ද යාපනය මහජන පුස්තකාලයට ලැබිණ. මේ ආකාරයේ එක් රැස්කළ ලිපි ‍ලේඛන ‍පොතපත 97,000ක් පමණ යාපනය පුස්තකාලය සතුවිය. මෙම වටිනා ලිපි ‍ලේඛන අතර සුප්‍රකට පුරා විද්‍යාඥයකු වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි එකතු කර තිබූ ඓතිහාසික වශයෙන් විශාල වටිනාකමක් හිමි වුණු ලිපි ‍ලේඛන රැසක්ද එහි අන්තර්ගත විය.

නමුත් දකුණෙන් යාපනය වෙත් නරුමයන් පිරිසක් විසින් 1981 මැයි 30 වෙනි දින මෙම මහා බුද්ධි සම්භාරයට ගිනි තබා විනාශ කරන්නට විය. පුස්තකාලයට ගිනි තැබූ එම පිරිස ඉන් නොනැවතී යාපනය නගරයේ තිබූ සියලු ‍පොත් සාප්පු වලටද ගිනි තබා විනාශ කොට දමා තිබුණි.
එම අධම ක්‍රියාවට සම්බන්ධවූවන් සුජාතක දේශපාලයන් ලෙස තවමත් පාර්ලිමේන්තුව නියෝජනය කරති.

යාපනය සංවර්ධන සභාඡන්දය මංකොල්ලා කෑමට යාපනය වෙත් ගිය ගාමිණි ජයවික්‍රම පෙරේරා (තවමත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි) ඇතුළු මැරයින් පිරිස විසින් ගිනිබත් කරන ලදී. නිලාර් එන්. කසීම් විසින් රචි. ජෙයපාලන් චරිතාපදානයේ දී ජෙයපාලන් විසින් පුස්තකාලයට ගිනි තැබීම යාපනය ජනසමාජය කොතරම් හෙල්ලුම් කෑවාද යන්න විස්තර කරයි.

යාපනය පුස්ථකාලයට ගිනිතැබූ බව ආරංචිය ලැබුණු ගමන් අප ඒ අසලට පයින්ම දිවගියා. ඒ වනවිට එහි වූයේ ගිනි ජාලාවක්. අප පරේ එක් කෙරවලකට වී ගිනිගෙන දැවෙන පුස්ථකාලය දෙස බලමින් ඉකිගසමින් හඬන විටදී, ශ්‍රී ලංකා හමුදාව සහ සිංහල මැර හමුදාව අනෙක් පස සිට අහසට වෙඩි තබමින් ප්‍රීති ඝෝෂා නගමින් බයිලා සිංදු කියමින් සිටියා. එදා තමයි අපි යාපනයේ තරුණයෝ විදිහට ආයුධය ගැන විශ්වාසය තැබූ බලමු දිනය. ඔවුන්ගේ බලය වී තිබුණේ ගිනි අවියය.

එපමණක් නොව යාපනය විශ්ව විද්‍යාලය ගිනිගෙන දැවෙන බව ආරංචිය ලද සැණින් නිරුක්ති ශාත්‍රය පිළිබඳ ලොව ප්‍රකට බුද්ධිමතෙකු වූ පූජ්‍ය ඩේවිඩ් පියතුමා එම සිදුවීම දරාගත නොහැකිව සොවින් හෘදයාභාධයකින් මියගියේය. එතරම් එය දෙම්ළ ජනසාමාජය වෙත් බලපෑ සිදුවීමක් විය.

යාපනය පුස්තකාලයට ගිනි තැබීම මැරයන් පිරිසක් විසින් සිදුකළ සිදුවීමක් ලෙස දකුණේ සමාජය විසින් සාමාන්‍යකරණය කිරීමක් සිදුකළද යාපනයේ දෙමළ බුද්ධිමතුන් දක්වන්නේ ඊට හාත්පස්න්ම වෙනස් අදහසකි. ඔවුන් පවසා සිටින්නේ එම ක්‍රියාව දෙමළ ජනයා මත රාජ්‍යයේ පීඩනය මුදුහැරීම පහසු කරනු පිනිස සිදුකළ අශිෂ්ඨ ක්‍රියාවක් බවයි.

ඔවුන් තවදුරටත් පවසා සිටින්නේ මිනිසුන් දැනුමෙන් සන්නද්ධ වීම ඔස්සේ තාර්කික මිනිසෙකු , තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ, තමන්ගේ යුතුකම් පිළිබඳ මනා විනයක් සහ සැමවිටම තර්කණයක් තුළ තමන්ගේ ජීවිතය දකින්නට, නිදහස අර්තකනය කරන්න හැකි වන බැවින් රාජ්‍ය බලයට එය අභියෝගයකි. එම නිසා එම තර්ජනය ඉවත් කිරීමට හොද දෙය ඒ දැනුම ලබාදෙන උල්පත් විනාශ කර දැමීමයි.

අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරන, ජාතීන්ගේ අයිතීන් ගැන කතා කරන, අතුරුදහන් වූවන්ගේ විරෝධතාවලට පැමිණ කථා පවත්වන එදා ගාමිණි ජයවික්‍රම පෙරේරා ප්‍රමුඛ මැරයන් එදා ක්‍රියාත්මක් කරනු ලැබුවේ සිංහල රාජ්‍යයේ උවමනාවයි.

මේ පිළිබද අප ගාමිණි ජයවික්‍රමගේ දුරකථමාර්ගයෙන් විමසුවෙමු. ඒ අදට යාපනය පුස්ථකාලය ගිනිතබා වසර 31 වනවා, ඔබට කුමක්ද හැගෙන්නේ? ඔහුගේ පිළිතුර වූයේ එම ගිනිතැබීම සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලීසිය විසින් බවයි. ඒ දේශපාලනික හේතුමත යාපනය වෙත් මාරුකරනු ලැබූ පොලිස් නිළධාරීන් විසින් ආණ්ඩුවෙන් පළිගැනීමට පුස්ථකාලයට ගැනි තැබූබවයි. එය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ පවා තිබෙන බව ඔහු පැවසීය.

මේ අතර යාපනයේ එදා එම සිද්ධිය සිය දෑසින් දුටු වැසියකියෙකු ප්‍රකාශකර සිටියේ සිංහල දේශපාලශයක් කණ්ඩායමක් විසින් එම මැරපිරිස් මෙහෙයවූ බවයි. පොලීසය හා හමුදාව ඔවුන්ට ආරක්ෂාව සැපයූ බව තමන් එදා දුටු බව හේ පැවසීය. එම නිසා තමන් දෑසින් දුටු සත්‍ය පාර්ලිමේන්තු හැන්සාඩ් වලින් වෙනස් කළ නොහැකිබ ඔහු කියා සිටියේය.

එදා දෙමළ සමාජයට දැණුනු වේදනාව නුහුමාන් කවියා මෙලෙස තම කාව්‍ය තුළ සනිටුහන් කලේය.

- බුදුන් ඝාතනය කිරීම –

බුදුහු වෙඩි වැදී මියැදුණහ
සිවිල් ඇඳුමෙන් සැදුණු
බළ සෙනග
උන් වහන්සේ ඝාතනය කළහ
තිබිණ බිම ඔත් ලේ විලක් මත
ශී‍්‍ර දේහය
යාපනය පොත් ගුලට ඇතුළුවන
පඩිපෙළ ළගම

රැයේ අඳුරේම – ඇමතිවරු ආහ
‘මේ නම
අපේ ලැයිස්තුවේ ලියා නැත
ඉතින් මොන එහෙකට
මරා දැමුවේ ඔහෙම ?’
කිපී ගුගුළහ

‘නෑ සර්
වැරුද්දක් නෙමෙයි මේ
උන් වහන්සේගේ ප‍්‍රාණය නොසිඳ
මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි
අන්න ඒ නිසාමයි…’
පිළිවදන් දෙති

‘හරි හරි
සගවන්න ඔය දේහය’
එසේ කී ඇමතිවරු
සැගවුනහ
සිවිල් නිළධාරීහු
ඇදගෙන ගියහ ඇතුළට
බුදුන්ගේ ශී‍්‍ර දේහය
පොත් අනූ දහසකින් සැගවූහ එය
අනතුරුව
සිගාලෝවාද සූත‍්‍රය – දන්වන්නාහුය

දැවී අළු විය
ශී‍්‍ර දේහය
ධම්ම පදයද භෂ්ම වී ඇත

(එම්. ඒ. නුහ්මාන් )

මේ පිළිබඳ අදහස් දැක්වූ සිංහල බුද්ධිමතෙකු පැවසූයේ යාපනය පුස්ථකාලය ගිනිතැබූ බවට පණිවුඩය සිංහල සමාජයේ බුද්ධිමතුන්ද කැළඹූ බවයි. නමුත් එ වෙනුවෙන් එදා මැදිහත් වීම සිදුකලේ අවම ලෙස බව ඔහු විසින් පිළිගුනු ගැබීය.

කෙසේ හෝ ඒ දැනුම් සාගරය එක මොහොතක් අළුබවට පත්විය. දමිළ අරගය එම අළුයට වූ ගිනිපුපුරු වලිනි. එම නිස ලංකා සමාජය සෑමදාම සිදුකල ලෙසම සංහාරයන් අමතක කිරීම , වැරදි කරුවන්හට දඩුවම් නොපැමිණවීම ඉදිරියට යන්නට යන්නට එම හදවත් ගිනිතබනා ගිනිපුපුරු නිවා දැමිය නොහැකිය. සැබෑ ජාතික සංහිදියාවක් ගොඩ නැගිය හැක්කේ අතීතයේ වැරදි අමතක කර නොව එම වැරදි සියවසක් ගෙවුනු පසු හෝ නිවැරදි කිරීමෙනි. අලුත් ආරක් දේශපාලන ව්‍යාපාරයකට මුලපිරිය යුතුතේ එබැවිනි. එසේ නොමැතිව වාහනය කැඩුණු තැනි නැවත අලුත් වැඩියා කරගෙන යනවා මෙන් ගින්නෙන් විනාශවූ යාපනය පුස්ථකාලයේ සුදහුණු තැවරු සැණින් ඉතිහාසයේ සිදුකර අපරාධ නිවැරදි වන්නේ නැත. මේ නිසාය අප යෝජනා කරන්නේ එම අපරාධය සිදුකළ අමනයින්ට එරෙහිව අද හෝ නීතිය ක්‍රියාත්මක් කළ යුතු බවයි. එහි පලමු අත්සන "යුක්තිය" ලෙස අප තබන්නෙමු.