කුමාර් ගුණරත්නම් කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගනී ?

අප්‍රේල් 09 වැනිදා පැවැත්වීමට නියමිත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමුවන සමුළුවේ සූදානම් කිරීමේ කටයුතුවල නිරත වී සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

2012 අප්‍රේල් මස 06 වැනිදා සවස සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වූ කුමාර් ගුණරත්නම් මහතා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි පක්ෂයේ හිතවතෙකුගේ නිවසේ රාත්‍රිය ගත කර ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් එම අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙතෙක් කිසිදු නිල නිවේදනයක් රජය විසින් නිකුත් කර නැත.

මේ අතර අප්‍රේල් 06 වැනිදා සවස ගොඩගම පිහිටි සිය නිවස බලා යමින් සිටි ජන අරගල ව්‍යාපාරයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික දිමුතු ආටිගල සහෝදරියද පැහැරගැනීමට ලක්වී ඇතැයි එම පක්ෂය පවසයි.

ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වනතුරු කිසිදු තොරතුරක් වාර්තා නොවන අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව බරපතළ අවදානමකට මුහුණ පා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි. මෙම තත්වයට අදාල හදිසි මැදිහත්වීමක් කරන ලෙසද ඔවුන් දෙදෙනා ඇතුළු ලංකාවේ ජනතාවගේ දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී වන ලෙසද එම පක්ෂය වැඩි දුරටත් ඉල්ලා සිටී.