කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල ඉන්නේ ආරක්ෂක අංශ අත්අඩංගුවේ - සේනාධීර ගුණතිලක

කුමාර් ගුණරත්නම් මහතා සහ දිමුතු ආටිගල මෙනවිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ආරක්ෂක අංශවලින් බව පැහැදිලි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සේනාධීර ගුණතිලක මහතා පැවසීය. ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා පසුපස හා පක්ෂය පිටුපස මර්දනය හඹා ආ බවත් ඒ නිසා ඔහු කිසියම් ආරක්ෂක වැඩපිළිවෙළක් සහිතව දේශපාලනය කළ බවත් පැවසූ සේනාධීර ගුණතිලක මහතා ඔහුගේ බිරිඳ හා දරුවන් දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔවුන් ගුවන් තොටුපලේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් හා ඔවුන් යන එන තැන් හඹා යාමෙන් ඒ බව පැහැදිලි වන්නේ යැයිද පැවසීය.

සේනාධීර ගුණතිලක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සාකච්ඡාවක් ඊයේ පැවැත් වුණා. ඊට කුමාර් ගුණරත්නම් සහෝදරයාත්, දිමුතු ආටිගල සහෝදරියත් ඇතුළු පිරිසක් සහභාගි වුණා. ඒ සාකච්ඡුාවෙන් පසුව කුමාර් සහෝදරයා කිරිබත්ගොඩ, ගැමුණු මාවතේ පක්ෂයේ හිතවතකුගේ නිවසක නතර වුණේ. අද අලූයම 4.00ට විතර ගම්පහ දිස්ත‍්‍රික්කයේ සුරංග සහෝදරයා යද්දී කුමාර් සහෝදරයා උදේ යන්න නියමිතව තිබූ වාහනයේ හුලං ඇරලා තිබුණා, ඒ වගේම නිවසේ පිටුපස දොර කඩලා තිබුණා. ඔහු සිටි කාමරයේ තිබූ බෑග් සහ අනෙකුත් දේවල් ඇදලා දාලා තිබුණා.

ඒ වගේම ඊයේ තිබුණු සාකච්ඡුාවෙන් පසුව දිමුතු ආටිගල සහෝදරිය තලවතුගොඩට ආවේ දුමින්ද නාගමුව සහෝදරයා සමග. එතැන් සිට දිමුතු සහෝදරිය පදිංචිව සිටින ගොඩගම නිවසට බස් එකේ ගියේ. ඒ අතරමගදී ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලින් ඔවුන්ගේ දුරකතන විසන්ධි කර තිබුණා. පසුව ඒවා ක‍්‍රියාත්මක කර තිබුණත් උත්තර දෙන්නේ නැහැ.

ලබන 09වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමුළුව පැවැත්වීමට නියමිතයි. කුමාර් ගුණරත්නම් සහෝදරයාත් ඊට සහභාගි වීමට නියමිත බව මාධ්‍යවල පවා වාර්තා කළා. මේ පැහැර ගැනීම සමුළුව කඩාකප්පල් කරන්න, කිසියම් ව්‍යාකූලත්වයක් ඇති කරන්න කළ දෙයක් කියලායි අපි හිතන්නේ."

එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුව නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසූ බවට මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේනාධීර ගුණතිලක මහතා මෙසේ පැවසීය.

‘‘මේ අත්අඩංගුවට ගැනීම ගැන අපිත් දැන ගත්තේ අද උදේ. ඒ නිසා දැන් තමයි පොලිසියට පැමිණිලි කිරීමේ කටයුතු සිදු වෙමින් තිබෙන්නේ. ඒ නිසා තමයි ඔහු එහෙම කියන්න ඇත්තේ’’

කුමාර් ගුණරත්නම් මහතා ආගමන විගමන නීති උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියකු විමසීය. ඊට සේනාධීර ගුණතිලක මහතා මෙසේ පැවසීය.

‘‘87-89 වකවානුවේ තිබුණේ විශේෂ තත්වයක්. ඒ අවස්ථාවේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ඇතැමුන්ට විදේශ ගත වෙන්න සිදු වුණා. ඇතැමුන්ට කැළෑ වදින්න සිදු වුණා. ඇතැමුන්ට සැඟ වෙන්න සිදු වුණා. එවැනි සිදු වීම් ගැන බලන්න ඕන ඒ තත්වයට සාපේක්ෂව. නමුත් කුමාර් ගුණරත්නම් සහෝදරයාට එවැනි චෝදනාවක් එල්ල වෙලා නැහැ. ඉතාම පැහැදිලියි මේ අත්අඩංගුවට ගැනීම දේශපාලන වුවමනාවක් මත සිදු වූවක් බව’’

Yukthiya