පිනාචාර්ය කඩයක් මහනුවර- මහාචාර්ය පදවියක් ලක්ෂ දෙකයි

(වාර්තාව gossip9 ඇසුරෙනි )

රුපියල් දෙලක්ෂයකට ආචාර්ය, මහාචාර්ය පට්ටම්ද නම්බුනාමද දෙන තැනක් පිළිබඳව හෙළිවී තිබෙනවා.

මෙම උපාධි කඩය පිහිටා තිබෙන්නේ මහනුවර මහයියාව ප්‍රදේශයේ කන්දක් මුදුනේ පිහිටි අශෝකාරාමය නම් විහාරස්ථානයේ වන අතර එම විහාරස්ථානයේ සිටින මල්දෙණියේ වජිරඥාන හිමි අතින් ඕනෑම කෙනෙකුට මෙම "පිනා මහාචාර්ය" පදවියේ සන්නස ලබාගත හැකිය.

මෙලෙස මුදලට උපාධිය පිරිනැමුයේ "සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනය" මඟිනි. රුපියල් දෙලක්ෂය බැගින් අයකර දැනට 150 දෙනකුට ඇඳුරු මහැදුරු පට්ටම් දී ඇති මෙම ආයතනයේ ප්‍රධානියා වන්නේ ගාල්ලේ එස්. ඒ. කාරියවසම්ය.

මෙම ආචාර්ය, මහාචාර්ය පදවි ජාවාරම සඳහා භික්ෂූන් වහන්සේලා 6 දෙනෙකු අත්සන් කරන බව පවසා එම භික්ෂූන් වහන්සේලා 6 දෙනාට වෙන වෙනම ලියුම් කවර වල බහා මුදල් ලබාදිය යුතු බව පසන්නේ මුදල් ලබාගන්නේ කිත්සිරි කාරියවසම්ය.

මෙය හෙළි කරගැනීමට ගිය ලංකාදීප පුවත්පතේ දඹුල්ල වාර්තාකරු කාංචන ආරියදාස මහතා තම මහාචාර්ය උපාධිය ලබාගැනීම සඳහා මුදල් වෙනුවට ලියුම් කවර වල බහා දී ඇත්තේ කොස් කොළයි. උපාධි ලෝගුව සහිතව ජායාරූප ගැනීමේ අවස්ථාවද එහිදී ඔහුට ලැබී තිබෙන අතර ඒ සඳහා වියදම් වී ඇත්තේ රු. 100ක් වැනි මුදලකි. ඒ වෙනුවට මහාචාර්ය පට්ටමද සන්නසද, පිත්තල ඵලකයද, කුලියට ගත් ලෝගුව හා හිස් වැස්ම පැළඳ ඡායාරූපයක්ද ඔහුට හිමිවී තිබෙනවා. ජායාරූප ගෙන ඇත්තේ මහනුවර මල්ලිකා ස්ටූඩියෝ එකෙනි.

අප කළ සොයාබැලීමකදී හෙළිවුනේ ප්‍රසිද්ධ නිලියක හා නිරූපන ශිල්පිනියක් වන වාසනා දන්තනාරායන මහත්මියද පසුගිය ජනවාරි 22වනදා මෙම ස්ථානයෙන්ම ගෞරව පදවියක් ලබාගන ඇති බවයි. ඒ පිළිබඳව ඇය ප්‍රකාශ කරන්නේ ඇය කල සේවයට උපහාර පිණිස "දේශ ශක්ති, දිරිය කාන්තා සම්මාන ආචාර්ය" පදවියෙන් පිදුම් ලැබූ බවයි.

ලංකාදීප මාධ්‍යවේදියා රු. 100කට මහාචාර්ය පදවිය ලබාගන්නා ස්ථානයේ සිටම වාසනා දන්තනාරායන මහත්මියද ආචාර්ය පදවිය ලබාගන්නා අයුරු පහත ජායාරූප වලින් ඔබට දැකගැනීමට පුළුවන.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙලෙස ව්‍යාජ ආචාර්ය පදවි ලබාදෙන ආයතන 10ක් තහනම් කර තිබෙනවා. ඒවා නම් ශ්‍රී ලංකා විශ්ව සමාධි පදනම, ජාතික සම්මාන සරසවි උපාධි ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර අනුස්මරණ පදනම (බත්තරමුල්ල), ධර්මපාල ඕල්කට් අනුස්මරණ පදනම, වෛකල්පික ඖෂධ සඳහා වූ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර ලංකා ජාතික සංස්කෘතික පදනම, සාමය සදහා වන බහුජාතික සංවිධානය, බහුජන එක්සත් සංවිධානය, සමාජ සුබ සාධන ආචාර්ය උපාධි ආයතනය, සාමදාන විනිශ්චකාර මානව හිමිකම් සංවිධානය යන ඒවායි

ජඩ වැඩ කිරීමෙහිලා සුප්‍රකට, කප්පම් ගැනීමේ අගතැන්පත්, මැර ක්‍රියාවේ ඇසූ පිරූ තැන් ඇති මර්වින් සිල්වා වැන්නවුන්ට ආචාර්ය උපාධියට අමතරව "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු", "ශ්‍රී රෝහණ වීර වික්‍රම", "දෑ ප්‍රේමී ජනරංජන" ආදී විවිධ ගෞරව නාම ලබාදී තිබෙන අතර ඒවා සියල්ලමද දී ඇත්තේ මෙලෙසම මුදලට විවිධ ආයතන හරහාය.