සත්‍යය, සාධාරණත්වය හා සංහිඳියාව උදෙසාවූ ශ්‍රීලාංකික ව්‍යාපාරය ප්‍රේම් නිවාස සිද්ධිය හෙලාදකී.

| විශේෂ වාර්තාකරුවකු විසිනි. (KK)

)( 05.02.2012 | lankaguardian.com ) ළමයින් විකුණන ඔත්තුවක් පිට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් රටපුරා විශාල ආන්දෝලනයක් සිදුකර,ප්‍රේම් නිවාස ප්‍රධාන මව්තුමිය වන එලිෂා කන්‍යා සොහොයුරිය නොවැම්බර් විසිහය වැනිදා රාත්‍රියේ හදිසියේම සිර භාරයට පත් කර, දෙසැම්බර් 1වැනිදා ඇප පිට නිදහස් කරන ලදහ. හදිසි මෙහෙයුම සදහා මාධ්‍යයද කැටිව නොවැම්බර් විසිතුන්වැනිදා ප්‍රේම් නිවාසයට පැමිණි මේ අය දිගින් දිගටම මාධ්‍යය මගින් ළමයින් විකුණනවායි අන්දෝලනය කල නමුත් එලිෂා කන්‍යා සොහොයුරිය අත් අඩංගුවට ගන්නේ ඊට දින දෙකකට පසුවය.කරුණු මෙසේ වුවත්, නිසියාකාර පරීක්ෂණයක් පවත්වා අත් අඩංගුවට ගත්තා නම් අපට ප්‍රශ්නයක් නැත. දෙසැම්බර් පළවැනිදා සිට 15 වැනිදා වන තුරු නැවත රහස් පොලිසිය, ළමා හා කාන්තා කාර්යාංශය, සහ සාමාන්‍ය පොලිසිය කියන මෙකී ආයතන තුනෙන්ම වෙන වෙනම ප්‍රකාශ 55 ක් බැගින් සටහන් කර ගෙන, අවසානයේ දෙසැම්බර් 15 වැනිදා රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කරන්නේ,ප්‍රේම් නිවාසය ,එහි සියලු කටයුතු නිත්‍යානුකූලව පවත්වාගෙන ගිය බවය. එබැවින් චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරවම එලිෂා කන්‍යා සොහොයුරිය එදින නිදහස් කරන ලදී.

ගැටළුව නම් මේ විදියට නොයෙක්‌ අඩන්තේට්ටම් වලට ලක්වූ, කන්‍යා සොහොයුරිය මෙදින නිදහස් වීමෙන් පසුව අලුත්කඩේ උසාවිය ඉදිරිපිටදී, මාධ්‍යයවේදීන්ට පැවසු කාරණාවය. “ මා සිර ගත කරන්ට ක්‍රියා කළ සියළු දෙනාටම මම සමාව දෙමි.” මෙන්න කිතු දහමට එකගව සමාජයට, රටට සේවය කරණ තෙරේසා මව් තුමියගේ දයාවේ සොහොයුරියක වන ප්‍රේම් නිවාසය භාර ප්‍රධාන කන්‍යා සොහොයුරිය මුළු ලක්දිවටම දුන් ආදර්ශය. එතුමියට අපේ උපහාරය පුද කරණ ගමන්ම , සත්‍යය, සාධාරණත්වය,හා සංහිඳියාව උදෙසාවූ ශ්‍රීලාංකික ව්‍යාපාරය මෙම සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බව අවධාරණය කරමු.