ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පී පෙරේරා
| හර්ෂා රූපරත්න
නියමාකාරයෙන් නීතිය ක‍්‍රියාත්මක වනවා නම් දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා භාරත ඝාතනයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත හැකිද?
අපේ රටේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 32 වන වගන්තියෙන් පොදු චේතනාව කියන මූලධර්මය විස්තර කරලා තිබෙනවා. ඒ වගේම දණ්ඩනීති සංග‍්‍රහයේ 146 වන වගන්තියෙන් නීති විරෝධී රැස්වීම කියන මූලධර්මය විස්තරකරලා තිබෙනවා. එම වගන්ති දෙක අනුව කණ්ඩායමක් වශයෙන් කටයුතු කරලා ඒ කණ්ඩායමෙන් එක් අයෙක් යම් වරදක් කළොත් එම කණ්ඩායමේ සිටින සියලුදෙනා, ඒ කියන්නේ ඉතිරි අය වෙඩි තිබ්බත් නැතත් ඒ අපරාධ වගකීමට එක හා සමාන ලෙස බැඳෙනවා. වෙඩි තබන කෙනාත් ඒ අසල එම කණ්ඩායමේ සාමාජිකයන් ලෙස සිටින අයත් එක හා සමාන වගකීමක් දරනවා. ඒ අනුව දුමින්ද සිල්වා මන්ත‍්‍රීතුමා නිසැකවම අපරාධ වගකීමක් සඳහා යටත් වෙනවා. භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර හිටපු මන්ත‍්‍රීවරයාගේ රියදුරුගේ කට උත්තරය මහේස්ත‍්‍රාත් අධිකරණ නඩු වාර්තාවට ගොනු වී තිබෙන බී වාර්තාවේ විස්තර කර තිබෙනවා. ඒ අනුවත් අදාළ අපරාධ ස්ථානයේ දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා සිටි බවත්, ඔහු කණ්ඩායමක් සමග සිටි බවත් ඒ වගේම අදාළ ආරවුල ආරම්භක අවස්ථාවට ඔහු සම්බන්ධ බවත් දක්වලා තිබෙනවා. ඒ නිසා රටේ සාමාන්‍ය ජනතාවට අදාළ වන නීතිය එක සමානව යෙදුනානම් පොලිසිය විසින් දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාව අත් අඩංගුවට ගත යුතුව තිබුණා. ඒ සඳහා අධිකරණ නියෝගයක් අවශ්‍ය නැහැ. අපරාධයක් පිළිබඳව සැක කරන පුද්ගලයකුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය තිබෙනවා. එසේ ක‍්‍රියා නොකර, අත්අඩංගුවට නොගෙන, ලංකාවෙන් පිටවී යාමට ඉඩ සැලැස්වීම නිසැකවම නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකීම පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(2 ) වගන්තියේ දැක්වෙන මූලධර්මයත් නීතියේ ආදිපත්‍ය සෑම දෙනාටම සමානවිය යුතුයි කියන නීතියේ ඇති පොදු ප‍්‍රතිපත්තියත් දෙකම උල්ලංඝනය වීමක්.
නීතිමය පසුබිම එසේ තිබියදී මෙම සිදුවීම තුළ ඇති දේශපාලන භාවිතාව පිළිබඳ කතා කළොත්?
මේකෙන් සමාජයට දෙන පණිවිඩය තමයි ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයෙදි උදව් කරන ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතුවලදී හිතෛශීව උදව් කරන අයට මේ රටේ සාමාන්‍ය නීතිය අදාළ නොවන බව. ජනාධිපතිවරයා හා ඔහුගේ වටා සිටින කණ්ඩායම ඔවුන්ගේ හිතමිතුරන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඕනෑම පාඩුවක් දරමින් පෙනී සිටීමට සූදානම් බව තමයි මින් පෙනී යන්නේ.
මෙතැනදී දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා සිටින බරපතළ සෞඛ්‍ය තත්ත්වය කියන දේ නීතියෙන් ඔහුට ගැලපී සිටින්නට පිළිසරණක් ද?
දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයා සිද්ධියෙන් තුවාල ලැබුවා කියන කාරණය ගැන සැකයක් නැහැ. ඒ තුවාලවල බරපතළකම නැති කම ගැන මා දන්නේ නැහැ. තුවාල බරපතළ වුණත් නැතත් අපරාධයකදී තුවාල ලැබූ සැකකරුවකු සම්බන්ධයෙන් අදාළ කරගනු ලබන කාර්ය පටිපාටියක් තිබෙනවා. එවන් අවස්ථාවක පොලිස් නිලධාරීන් රෝහලට ගොස් එම තැනැත්තාව අත් අඩංගුවට ගන්නවා. නමුත් පොලිසියට රැුගෙන යන්නේ නැහැ. මහේස්ත‍්‍රාත්වරයකුව එම ස්ථානයට කැඳවාගෙන ගොස් රෝගියාගේ තත්ත්වය පිළිබඳව පෙන්වා රක්‍ෂණ භාරයට ගැනීමේ නියෝගයක් ලබා ගන්නවා. ඉන් අනතුරුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රැකවලුන් විසින් රෝහලෙන් බන්ධනාගාරයට මාරුකර හැකි වන තුරුම අදාළ සැකකරුවාව රෝහලේ සිට ආරක්‍ෂා කරනවා. ඒ තමයි රටේ සියලු දෙනාට අදාළ එදිනෙදා ක‍්‍රියාත්මක වන නීතිය. අපරාධයකදී තුවාල ලැබූ පළමු පුද්ගලයා දුමින්ද සිල්වා නෙමෙයි. මේවා නිරතුරව රටපුරා සිද්ධ වෙනවා.
නීතියේ පවතින මූලික සිද්ධාන්තයක් වන නීතිය ක‍්‍රියාත්මක වන බව මිනිස්සුන්ට පෙනෙන්නට තිබිය යුතුයි කියන කාරණය මෙවන් සිදුවීම් හරහා පැහැදිලිවම නැතිව ගිහින් තිබෙනවා. මෙය නීතිය කෙරෙහි මිනිසුන්ගේ විශ්වාසය නැතිවීම කෙරෙහි සෘජුව බලපානවා?
මේක ඉතාම බරපතල ඛේදවාචකයක්. මිනිස්සු නීතිය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වන්නට මෙම සිදුවීම හේතුවෙලා තිබෙනවා. හැබැයි මේ සිදුවීම මෙවැනිම ආකාරයේ සිදුවීම් වැලක එක කොටසක්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාට විරුද්ධව තිබුණු ස්ත‍්‍රී දූෂණ චොදනාව සම්බන්ධව ඔහුට එරෙහි අධිචෝදනා පත‍්‍රය කිසිදු සාධාරණ හේතුවක් නැතිව රජය විසින් ඉල්ලා අස්කරගත්තා. ඒ වගේම චන්දන ක‍්‍රිආරච්චි හිටපු මන්ත‍්‍රීවරයාට විරුද්ධව තිබුණු මිනී මැරුම් චෝදනා කිසිදු පදනමක් නොමැතිව ඉවත් කරගෙන නාම මාත‍්‍ර සුළු චෝදනාවකට පමණක් වරද පිළිගැනීමට කටයුතු සංවිධානය කර දුන්නා. ඒ වගේම අමාත්‍ය අඉ්දුල් කාදර්ට විරුද්ධව තිබුණු සමෘද්ධි මුදල් දමලක්‍ෂයක් වංචා කිරීම සහ මිනී මැරුම් චෝදනාවලට අදාළ අධිචෝදනා පත‍්‍ර ඉල්ලා අස්කරගත්තා. ප‍්‍රාදේශීය ලේකම් ඉදිරිපිට සමෘද්ධි නිලධාරියෙකු ගස්බැඳ අපරාධ වරදක් කළ මර්වින් සිල්වා අමාත්‍යවරයාට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.
මෙවන් උදාහරණ මගින් රජයේ කිට්ටු හිතවතුන්ට රටේ නීතිය අදාළ නොවන බව සමාජයට පෙන්නුම්කර දී තිබෙනවා. ඒ නිසා නීතිය පිළිබඳ ඇති මිනිස්සුන්ගේ විශ්වාසය බිඳිලා ගිලිල්ලා තිබෙනවා. ඇතැම් ආවේගකාරී පුද්ගලයන් නීතිය අතට ගැනීමට පටන් අරන් තිබෙනවා. එය දේශපාලනිකව විතරක් නෙමෙයි පොදුවේ සමාජයට අහිතකර තත්ත්වයක්.
මෙවන් සිදුවීම් හරහා පෙන්නුම් කරන්නේ සංවරණ හා තුලන ක‍්‍රමයකට වඩා විධායකය විසින් අධිකරණය පාලනය කිරීමක්ද?
ඔව්. මොකද 17 වන සංශෝධනයට කලින් මහාධිකරණ, අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් පත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට තිබූ විශාල අභිමතය නුසුදුසු දෙයක් වශයෙන් සලකනු ලැබුවා. ජේ ආර් ජයවර්ධන හා පේ‍්‍රමදාස පාලනයන් තුලින් අධිකරණයේ කටයුතුවලට ඇ`ගිලිගැසීම් අපි දැක්කා. ඉන් පස්සේ 2001 වසරෙදි පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂවල එක`ගතාවයෙන් යුතුව වර්තමාන ජනාධිපතිතුමාත් අත උස්සලා 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති කළේ මේ රටේ අධිකරණ පද්ධතිය වෙත ජනාධිපතිවරයාට තනි අභිමතයක් තිබීම නුසුදුසුයි කියන කාරණය නිසා. ඉන් පසුව 18 වන සංශෝධනය මගින් නැවත වරක් ඉහළ විනිශ්චකාර ධුර සඳහා පත් කිරීම් තනි අභිමතයට සිදුකිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබිලා තිබෙනවා. ජනාධිපතිවරයා දේශපාලන පක්‍ෂයක නායකයෙක්. ක‍්‍රියාකාරී දේශපාලනය තුළ ඉන්න කෙනෙක්. මෙවැනි තත්ත්වයක් තුළ ක‍්‍රියාකාරී දේශපාලනයේ ඉන්න තැනැත්තකුට මෙවන් අති විශාල අභිමතයක් පැවරුණු විට අධිකරණ ක්ෂේත‍්‍රයේ විනිශ්චකාරවරුන්ට යන පණිවිඩය තමයි අප මහාධිකරණ පත් වීමක් ලබාගැනීමට නම් අභියාචනාධිකරණ පත්වීමක් ලබාගැනීමට නම්, ශ්‍රේෂ්ඨාධිකරණ පත්වීමක් ලබා ගැනීමට නම් ජනාධිපතිගේ සතුටට හේතුවන ආකාරයට හැසිරිය යුතුයි කියන කාරණය. ජනාධිපතිගේ හිතේ සතුට ඇති නොවන ආකාරයට කටයුතු කරන විනිශ්චයකාරවරුන්ට මහාධිකරණ, අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිරිණ පත්වීම් ලැබෙන්නේ නැති බව අත් දැකීම් අනුව පෙනෙනවා. මේ පණිවිඩය සමස්ත විනිශ්චයකාරවරුන්ට අවංකව කටයුතු කරන ධෛර්යමත් නීතිය දන්න විනිශ්චයකාරවරුන්ට අහිතකර ලෙස බලපානවා. මෙය සමස්ත අධිකරණ පද්ධතියේ අධිකරණ ස්වාධීනතාව කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙන බව පෙනී යනවා. නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගේ සෘජු පාලනයට දැන් අරගෙන තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ නීතිපතිවරයා ලවා කැමති පුද්ගලයන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමටත් කැමති පුද්ගලයන්ට එරෙහිව ඇති අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීමටත් ජනාධිපතිවරයාට හැකියාව ලැබිලා තිබෙනවා. එවැනි කටයුතුවලදී එරෙහිවන්නට විනිශ්චයකාරවරුන්ට අද ශක්තියක් නැහැ. ඒ තත්ත්වය මත අද අධිකරණ ක්ෂේත‍්‍රය හා පොදුවේ නීතියේ පාලනය හෑල්ලුවට ලක්වෙලා තිබෙනවා.
මෙහිදී අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි හිටපු අගවිනිසුරුවරයාගේ අතින් ධුරකාලය තුළ සිදුවූ අක‍්‍රමිකතා සෙවීමට පත්කර ඇති කමිටුව පිළිබඳව. මෙවන් කමිටුවක් පත් කිරීම සඳහා නීතිය තුළ ඉඩක් තිබෙනවාද?
විශ‍්‍රාමික විනිශ්චයකාරවරයකුට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිම ප‍්‍රතිපාදනයක් දක්වා නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 107(1 ) සහ 107(2 ) ව්‍යවස්ථාවන් අනුව ධුරදරන විනිශ්චයකාරවරයකුට විරුද්ධව විෂම පැවැත්ම, හෝ අබලතාවය යන පදනම් දෙක මත චෝදනා ගොනු කිරීමට හැකියාව තිබෙනවා. එහෙත් විශ‍්‍රාම ගිය විනිශ්චයකාරවරයෙකුට විරුද්ධව සඳහනක් නැහැ. පාර්ලිමේන්තුට පුළුවන්කම තිබෙනවා එහෙත් විශ‍්‍රාම ගිය විනිසුරුවරයෙකු ධුරකාලය තුළ සිදු කළ බව කියන කටයුතු ගැන පරීක්‍ෂණ පවත්වන්නට ගියොත් ධුර දරණ විනිශ්චයකාරවරු බියට පත් වීමට ඉඩතිබෙනවා. අනවශ්‍ය ලෙස තමන්ට ප‍්‍රශ්න කිරීම්වලට හා තමන්ගේ ආත්ම ගරුත්වයට හානි කරන ආකාරයේ අභියෝගයන්ට ලක්වීමට ඉඩ තිබේය යන කාරණාව මත. ඒ පදනම මත සරත් සිල්වා මහතාට එරෙහිව චෝදනා නගමින් තේරීම් කාරක සභාවක් පත්කිරීම සම්ප‍්‍රදාය විරෝධීයි. අර්ථ ශූන්‍යයි. අපට පෙනෙන්නේ ආණ්ඩුවිරෝධී දේශපාලනයක නිරතවෙලා සිටින සරත් එන් සිල්වා මහතාව පීඩාවට පත් කරන්න ආණ්ඩුව මේ පියවර ගන්නවා කියලා. හැබැයි සරත් සිල්වා විනිශ්චයකාරවරයෙක් කාලේ කරන ලද ක‍්‍රියාවන් හා හැසිරුණු ආකාරය ගැන සමස්ත සමාජය තුළ තිබෙන හැ`ගීම් මිශ‍්‍ර වුණු හැ`ගීමක් බවද කිවයුතුයි. ඔහු ගැන විවේචන ඔහුගේ ක‍්‍රියාකාරිත්වය නිසා අධිකරණයේ ස්වාධීනත්වයට ඇති වූ බලපෑම ගැන අපට ද විවේචන තිබෙනවා. නමුත් විශ‍්‍රාම ගියාට පසු ඔහුගෙන් පළි ගැනීමට මේ කරන ක‍්‍රියාව අපට අනුමත කරන්නට බැහැ.
ඔහුට විරුද්ධව ඇති විෂම පැවැත්ම කියන චෝදනාව හැර ඔහු ධුරකාලය තුළදී ලබා දුන් නඩු තීන්දු පිළිබඳව කමිටුවට පියවරක් ගැනීමේ හැකියාවක් තිබෙනවාද?
මේ චෝදනාවන්වල තිබෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් පහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් ගණනාවක් සේවයෙන් නෙරපීමට කටයුතු කිරීමේදී ඔහු වැරදි සහගත ලෙස ක‍්‍රියා කළා කියන චෝදනාව. ඒ වගේම ඔහුගේ ඇතැම් නඩු තීන්දු ආශ‍්‍රිතව යම් යම් විශමාචාරයන් සිදුවුණු බව. ඉතින් චෝදනා නගන්නට පුලුවන්. චෝදනාවල ඇත්ත නැත්ත ඔප්පු කළ යුතුයි. නමුත් මා කියන්නේ ඒ චෝදනා ඔප්පු කළත් ඉන් අර්ථයක් නැති බවයි. අනෙක් අතට ඔහු අධිකරණ සේවා කොමිෂමේ සාමාජිකයකු ලෙස කරන ලද කටයුතු ගැන චෝදනා නගනවානම් එවකට ඔහු සමග අධිකරණ සේවා කොමිෂන් සභාවේ කටයුතු කරන ලද අනෙක් සාමාජිකයන් දෙදෙනාටත් ඒ හා සමානව වගකීමක් තිබෙනවා. ඔවුන්ට එරෙහිව මෙම චෝදනාව මෙලෙසම නැගෙන්නට ඕන. මොකද අධිකරණ සේවා කොමිෂන් සභාව තනිව ක‍්‍රියාකරන්නේ නැහැ. සාමාජිකයන් තිදෙනාම එක්ව තමයි තීරණ කරන්නේ.
මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළුව පොලීසිය විසින් මැඩපැවැත්වීම සඳහා ක‍්‍රියාත්මක නොවන ස්වභාවයක් පෙන්නුම් කරන සමාජයේ ගැටලුවලට අධිකරණය සකර්මණ්‍ය මැදිහත් වීමක් කිරීමේ හැකියාවක් නැද්ද?
අධිකරණ සකර්මණ්‍යතාව කියන මූලධර්මයට සීමාවන් තිබෙනවා. විනිශ්චයාකරවරු පෝසියේ රාජකාරි එනම් විධායකයේ රාජකාරී තමන්ගේ අතට ගැනීම කළයුතු වන්නේ ඉතාම සුවිශේෂී අවස්ථාවල පමණයි. මොකද විධායකයේ කටයුතු අභියෝග කිරීමට පුරවැසියන්ට අයිතිය තිබුණත් විනිශ්චයකාරවරුන්ගේ කටයුතුවල අඩුපාඩුවක් තිබුණොත් ඒවා අභියෝග කිරීමට පුරවැසියාට ඇති අයිතිය ඉතාමත්ම අඩුයි. නැත්නම් අයිතියක් ඇත්තේම නැහැ. එවන් තත්ත්වයන් තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව අධිකරණ නියෝග ලබා ගැනීම කියන තත්ත්වය මාහට පිළිගත හැකි තත්ත්වයක් නෙමෙයි. රටේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අය කවුද කියන කාරණය අද කවුරුත් දන්නා පොදු රහසක්. ඒවායේ නිරත පොලිස් නිලධාරින් හා ඒ තොරතුරු දන්නා පිරිස් ඉතා කුඩා රටක් වන අපේ රටේ සියලු දෙනා දන්නවා. අද වන විට රට තුළ පමණක් නෙමෙයි ආසියාවේ අනෙක් රටවල්වලට මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් බවටත් පත්වී තිබෙනවා. එය හරිම අනතුරුදායක තත්ත්වයක්. එක් අතකින් රටේ කීර්තිය නැති වෙනවා. අනෙක් අතට රට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ඔවුන් උපයන මුදල්වල ගොදුරක් බවට පත්වීමට ඉඩ කඩ තිබෙනවා. දේශපාලකයන් මත්ද්‍රව්‍ය මගින් මුදල් උපයාගත් පුද්ගලයන් පැමිණ කළු සල්ලි සුදු කරන්නට පටන්ගෙන තිබෙන බව අපි අත්දැකීමෙන් දන්නවා. පහුගිය දිනවල සම්මත කරගත් ඌන කාර්යසාධන ව්‍යාපාර පවරා ගැනීමේ පනත ද ඇතුළුව බොහෝ පනත් පිළිබඳ ජනතාව දැනුවත් නැහැ. මේ තත්ත්වය එම නීති ක‍්‍රියාත්මක වීම කෙරෙහි බලපාන්නේ කොහොමද?
නීති ක‍්‍රියාත්මක වීම කෙරෙහි එය බලපාන්නේ නැහැ. නීති ක‍්‍රියාත.්මක කිරීම සම්පූර්ණයෙන්ම සිදු මොකද කරන්නේ රජය විසින්. එම නීතියට රජය විසින් දෙන අර්ථ නිරූපනය තමයි සාමාන්‍ය ජනතාව නීතිය ලෙස දකින්නේ. නීති සැදීමේ හෝ නීති ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලියට ජනතාව දායාදකර ගැනීමේ අවශ්‍යතාවක් රජයට නැහැ. රජය ඒකාධිපති හිතුවක්කාරී ක‍්‍රියා දාමයක් අරගෙන යන්නේ. මේ තත්ත්වයන් සියල්ලකදීම ජනතාව විපක්‍ෂයට චෝදනාකරනවා. කිසිවක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හෝ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට විපක්‍ෂය කටයුතු කරන්නේ නැහැ කියලා. විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙත් ලෙස මෙම තත්ත්වයට ඔබට දිය හැකි පිළිතුර කුමක්ද?
එක් අතකින් මම ජනතාවගේ එම විවේචන සමග එක`ග වෙනවා. අනෙක් අතට ඒකාධිපති පාලනයක් සමග කරන මෙම සටනේදී එම පාලනයට අවශ්‍ය ශක්තිය ලබා දී තිබෙන්නෙත් මේ රටේ ජනතාව. 60% ක් පමණ ජනතාවක් විවිධ අවස්ථාවලදී ආණ්ඩුවට ඡුන්දය දීලා තිබෙනවා. මේ තිබෙන ඒකාධිපතිත්වය ජනතාවගේ ඡුන්දයෙන් ගොඩ නගා ගත්ත ඒකාධිපතිත්වයක්. දැන් එම ඒකාධිපතිත්වය තුළ ඇතිවී තිබෙන ප‍්‍රශ්න හේතුවෙන් විපක්‍ෂයට තීරණාත්මක දේශපාලන ජයග‍්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව ඇත්ත. අනෙක් අතට මෙවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුවේ වැරදි කියන්නට, ආණ්ඩුවේ දේශපාලනඥයන් සෘජුව හා තීරණාත්මක ලෙස විවේචනය කරන්නට හැකියාව ඇති හා එසේ සිදුකරන පක්‍ෂ දෙකයි මේ රටේ තිබෙන්නේ.
එකක් එක්සත් ජාතික පක්‍ෂය. අනෙක ජනතා විමුක්ති පෙරමුණ. එයිනුත් එක්සත් ජාතික පක්‍ෂය වඩා පුළුල් තලයකින් මේ පණිවිඩ මිනිස්සුන්ට අරන් යනවා. පාඩු ලබන ව්‍යාපාර අත්පත් කර ගැනීමේ මුවාවෙන් රජයට එතනෝල් නිශ්පාදනය කිරීමේ ඒකාධිකාරය අත්පත් කර ගැනීමේ කුමන්ත‍්‍රණය ඇතැම් ආකර්ෂණීය ව්‍යාපාර රජයේ ප‍්‍රධාන පුද්ගලයන්ගේ පෞද්ගලික පාලනයට ගැනීමට දරණ උත්සාහය පිළිබඳ ලොව දැනුවත් කරලා සමාජය අවදි කරන්නට හැකි වුණේ එක්සත් ජාතික පක්‍ෂයේ වැඩ පිළිවෙළ නිසා. ඒ වගේම ජනතාවගේ අර්ථ සාධක අරමුදල් විනාශය කරා අරන් යන අර්ථ ශූන්‍ය හා ප‍්‍රායෝගික නොවන පෞද්ගලිත අංශයේ විශ‍්‍රාම වැටුප් වැඩ පිළිවෙළ පරාජයට පත් කිරීමට හැකිවුණේ ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය අරන් ගිය වැඩපිළිවෙළ නිසා. ජනතාවගේ පැත්තෙනුත් පක්‍ෂ වශයෙන් ජනතාව හිතන්නේ නැතුව පොදුවේ මේ ප‍්‍රශ්නය ප‍්‍රශ්නයක් මෙන් දැකලා ඒ න්‍යාය පත‍්‍රයම එක් වෙන්න ජනතාවට හැකියාව තිබෙනවානම් පක්‍ෂවලටත් ශක්තියක් ලැබෙනවා. අද වෙන්නේ පක්‍ෂවලටත් කරන දැනුවත් කිරීම්වලට එකතු වන්නේ පක්‍ෂ තුළ සිටින ප‍්‍රධාන ක‍්‍රියාකාරිකයන් පමණයි. සාමාන්‍ය ජනතාව පක්‍ෂ සමග එකතු වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. එතැන යම් ගැටලුවක් තිබෙනවා. නමුත් මට පෙනෙන ආකාරයට නම් අපේ සිවිල් සමාජය යම් ආකාරයකට දැනුවත් වෙමින් තිබෙනවා. එන්න එන්නම විවෘත බවක් කරා පැමිණ තිබෙනවා. පක්‍ෂ වුණත් ඒවායේ අභ්‍යන්තර ක‍්‍රියාකාරිත්වයන් ඉක්මණින් සකර්මණ්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. මම දකින්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඇතිවී තිබෙන තත්ත්වයත් එවැනිම තත්ත්වයක් හැටියට. එක්සත් ජාතික පක්‍ෂයේ ඇති වී තිබුණු ආරවුල් හරහා අවසානයේ ශක්තිමත් පක්‍ෂයක් බවට නැවත ගොඩනැගෙමින් තිබෙන බවයි මගේ අදහස.
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී

Post a Comment