අනෝමා ෆොන්සේකා
විශේෂ සම්මුඛ සාකච්ඡාව
මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු කොඩි නඩුවේ තීන්දුව ප්‍රකාශ කොට අවසාන වීමෙන් පසු රටේ උද්ගත වී ඇති කාරණා පිළිබඳව කාගේත් අවදානයට ලක් වී තිබීම සාමාන්‍ය කාරණයකි. එසේම ඊයේ දිනයේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා අධිකරණයේදී ඉතා සංවේදී කතාවක් ඉදිරිපත් කළ අතර අදාළ නඩු තීන්දුව ඇසීමෙන් කුපිත වූ ජනතාව කලහකාරී ලෙසද හැසිරෙන්නට වූහ. සුදු කොඩි නඩුවේ තීන්දුවෙන් පසු ශ්‍රී ලංකා ගාර්ඩියන් සමඟ ජනරාල් සරත් ෆොන්සේකාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේදී වැදගත් කාරණා කිහිපයක් මතු කරනු ලැබුවාය. ඇය තව දුරටත් රටේ අයුක්තියට එරෙහිව තම නොනිමි අරගලය වෙනුවෙන් කටයුතු කිරීමට අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව සඳහන් කරමින් ඊට රටේ ජනතාවගේ අවදානය තවදුරටත් පුළුල් විය යුතු බව සඳහන් කළාය. ශ්‍රී ලංකා ගාර්ඩියන් කතෘ මණ්ඩලනියක සමඟ කොළඹදී පැවැත් වූ සම්පූර්ණ සාකච්ඡාව මෙසේ ඉදිරිපත් කරන්නෙමු;
| වෙන්ඩි විසිනි
ප්‍රශ්නය: නිතීයේ ආධිපත්‍ය යන කාරණය මේ වන විට ලොකු අර්බුදයකට පත් වී ඇති බව ඔබ ඊයේ ප්‍රකාශ කළා. එසේ ඔබ සඳහන් කළේ ප්‍රකට සුදු කොඩි නඩුව අවසන් කරමින් මහා අධිකරණය විසින් ලබා දුන් තීන්දුවකින් ජනරාල් සරත් ෆොන්සේකා මහතාට යලිත් වසර තුනක සිර දඬුවක් නියම කරනු ලැබීමෙන් පසුව. එසේ ලබා දුන් නඩු තීන්දුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමටද බලා පොරොත්තු වන බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලද්දුවහෙට්ටි මහතා සඳහන් කළා. අදාළ නඩු තීන්දුව පිළිබඳව මෙන්ම මින් පසු ඔබ ඉදිරියේදී ලබා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග මොනවාද?
පිළිතුර: ඇත්තෙන්ම මුලිකවම අවශ්‍යතාව තියෙන්නේ අභියාචනය ඉදිරිපත් කිරීම. ඒක මේ වන විට නලින් ලද්දුවහෙට්ටි මහතා කරගෙන යනවා. සඳුදාට අපි ඒක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍ර. ජනරාල් ෆොන්සේකා මහතා අදාළ තීන්දුව ලබා දීමෙන් පසු කියා සිටියේ ඉන් තව දුරටත් තමන් තම බිරිඳගෙන් සහ දරු දෙදෙනාගෙන් ඈත් කිරීමට කටයුතු කළ බවයි . අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔබේ දියණියන් සහ අනෙකුත් ඥාතින්ගේ අදහස කෙබඳුද?
පි. ඇත්තෙන්ම ඒක තමයි ඇත්ත මොකද සාමාන්‍යයෙන් අපි හතර දෙනාගේ බැඳීම ඈත් කිරීම තමයි මෙම නඩු තීන්දුවෙන් අපිට ලැබුන ඒකම විඳිල්ල. අපි බලාපොරොත්තු වුණා මෙහෙම නඩු තීන්දුවක් එයි කියලා. ඒ වුනාට මේක මානසිකව එහෙම මේකෙන් අපිට වෙච්ච විශාල විඳිල්ල අපේ දරු පවුල ඉහිරෙන එක පමණයි. මම ඒකට එතුමත් එක්ක 100% ක් එකඟයි. මට කියන්න තිබුණ දෙයක් මගේ හිතට දැනුන දේ එතුමාගේ හිතට දැනෙන්න ඇති ඒකයි එතුමා ඉදිරිපත් කළේ.
ප්‍ර. මේ වනවිට ජනරාල් ෆොන්සේකා මහතාගේ දේශපාලන පක්ෂය දිය වෙමින් යන ස්වභාවයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ඊට සහයෝගය දැක් වූ ඇතැම් දේශපාලඥයින් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් බරපතල විවේචන සිදු කරමින් සිටිනවා. උදාහරණයක් ලෙස ජනතා විමුක්ති පෙරෙමුණේ මන්ත්‍රීවරයකු වන අනුර කුමාර දිසානායක තම පක්ෂය ජනරාල්වරයා සමඟ සන්ධාන ගත වීම වරදක් ලෙස විස්තර කොට තිබුණා. මේ වාතාවරණය තුළ ජනරාල්ගේ අනාගත දේශපාලන ව්‍යාපාරය ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද?
පි. මෙහෙමයි අනුර කුමාර මහතා ඒගොල්ලෝ හිතන හැටි එහෙම නම් එකේ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වුනාට එතුමාට තවම දේශපාලන ගමනක් යන්න පුළුවන්. මොකද එතුමා වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ මිනිස්සු ඉන්නවා. කවුරුත් නොදන්නවා වුනාට විරුද්ධ පක්ෂයේ සිටින සියලුම පක්ෂ වල ඇතැම් මන්ත්‍රී වරුන් ඒ වගේම පිරිස් අපිත් සමඟ එකතු වෙලා ඉන්නවා. ආණ්ඩු පක්ෂයේත් එලියට නොපෙන්නුවාට අපිත් සමග එකතු වීමට පිරිසක් සුදානමින් ඉන්නවා. ඒ නිසා ජෙනරාල්තුමාට ඉදිරියට දේශපාලනය කරගැනීම සඳහා එච්චර අපහසු වන්නේ නෑ. එක එක පක්ෂවල අයට මේ වගේ දේවල් කියන්න පුළුවන් වුනාට මමවත් ජෙනරාල්තුමාවත් කිසිම තැකීමක් කරන්නේ නෑ. මොකද අපි දන්නවා අපිට හොඳ ශක්තිමත් දේශපාලනයක් සඳහා යා හැකියි. මොකද දැනටමත් අපිත් එක්ක එකතු වෙන්න කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ අයත් සමග ජෙනරාල්තුමාට කිසි කරදරයක් නැතුව දේශපාලනය කරගෙන යන්න පුළුවන්.
ප්‍ර. පසුගිය ජනාධිපතිවරණය සමයේ ජනරාල්වරයාට ලැබුණු බොහෝ මුදල් ඇතැම් පුද්ගලයින් විසින් අයතා ලෙස පරිහරණය කොට ඇති බවට නැගෙන චෝදනාව පිළිබඳව ඔබේ අදහස කෙබඳුද?
පි. ඒක ඇත්තෙන්ම අපි දන්නේ නෑ ඒ කාලේ මුදල් පිළිබඳව. අපි ඒවා ගැන හෙව්වෙවත් නෑ. මොකද ඉතාම කෙටි කාලයක් තමයි ජෙනරාල්තුමාට ලැබුනේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට. ඒ නිසා මුදල් පසු පස හඹා ගිය කෙනෙක් හැටියට කවදවාත් ජෙනරාල්තුමාගේ නම ගෑවිලත් නෑ. අපි ඒ ගැන බැලුවෙත් නෑ. අපිට ඒ වෙලාවේ ඕන වුනේ ජනාධිපතිවරණය කර ගැනීමට. වෙන අය ඒවා පාවිච්චි කළාද කියන ඒක ගැනවත් මට හිතන්න තරම් වෙලාවක් තිබුනේ නෑ. බොහොම පොඩි කාලයයි මේ සඳහා සුදානම් වීමට තිබුනේ.
ප්‍ර. මේ වන විට ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ලැබෙන ආරක්ෂක අංශ වල සහයෝගය කෙබඳුද?
පි. ආරක්ෂක අංශ වලින් සාමාන්‍යයෙන් වැලිකඩ හිර ගෙදරින් නම් එතුමා රෝහලට යනකොටත් නඩු වලට යන කොටත් ඒ අයට හැකි පමණින් සහය වෙනවා. මොකද මම දන්නවා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ යුධ හමුදාවෙන් ලැබෙන ආරක්ෂාවවත් පොලිසියෙන් ලැබෙන ආරක්ෂාවවත්. ඒ වුනාට බන්ධනාගාර නිලධාරීන්ට පුළුවන් උපරිමයෙන් ආරක්ෂාව සපයනවා. ඒ ගැන මම ඒ අයට ස්තුතිය පල කරනවා. ඒ වුනාට ඒ ආරක්ෂාව තුළත් යම්කිසි දෙයක් වෙයිදෝ කියන බය මට තියෙනවා. ඒ අයට මුල්ම අත්දැකීම මේ වගේ කෙනෙක් ආරක්ෂා කරන්න ලැබුන එක. ඒ නිසා පොඩි පොඩි අඩු පාඩු කම් ඇති වෙනවා. ඒවා ඇතුලෙන් රිංගන්න පුළුවන් මිනිස්සු ඉන්න විත්තිය අපි දන්නවා. මොකද අවශ්‍යතාවයක් තිබුන නම් ජීවිත හානියක් කරන්න ඕන තරම් ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා අපි ඒ ගැන සැක සහිතව හිතනවා. ඒ ඇරෙන්න ඒ අයගේ (බන්ධනාගාර නිලධාරීන්ගෙන්) හැකි පමණ ආරක්ෂාව දෙනවා. හැබැයි අපි දන්නවා ජීවිත තර්ජනත් තියෙනවා ඒකට අපි හැකි අයුරින් ඒ දවස් වල ආරක්ෂාව ඉල්ලා සිටියා අධිකරණයට ගිය හැම වෙලාවේම. එහෙමයි කියලා මම හිතන්නේ නෑ 100% ක්ම ආරක්ෂාවක් එතුමාට ලැබෙනවා කියලා .
ප්‍ර. ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමක් අදාළ නඩු තීන්දු වලින් ඔබ දකින්නේද?
පි. මම තනිකරම එතුමාට විතරක් කියන්නේ නෑ. කොහොමත් ඉතින් මුළු රජය විසින් කරපු නඩුවක්. ඒ වගේම වරදකාරයා වෙලා තියෙන්නේ කටකතාවක් පැතිරීම සම්බන්ධව. මේ වගේ දෙයකට මම හිතනවා ඉතිහාසගත වෙනවා මේ වගේ දෙයකට මේ වගේ දඬුවමක් ලබා දීපු එක ගැන. මම එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ නෑ. කෙසේ හෝ සාමාන්‍යයෙන් එතුමා දැන් දේශපාලන සිරකරුවෙක් බවට පත් වෙලා තියෙන්නේ. එතැනදී ජනාධිපතිවරණය සඳහා අභියෝගයක් එල්ල කරපු දේ නිසා තමයි මේ හැම දෙයකටම මුලික වෙලා තියෙන්නේ . ඒ සියලුම දෙනාගේම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණ එක ගැන හිතල ඒ අය ඒ වෙනුවෙන් කරන කාර්යක් ලෙසයි මම දකින්නේ.
ප්‍ර. කෙසේ වෙතත් ජනාධිපති රාජපක්ෂ නිතීයට ඉහලින් සහ රටේ විධායක ජනධිපතිවරයා ලෙස ජනරාල් සරත් ෆොන්සේකා මහතාව පොදු සමාවක් යටතේ නිදහස් කිරීමේ බලතල හිමි වෙනවා. එවැනි දෙයකට ජනාධිපතිවරයා කැමැත්ත යලිත් පළ කළහොත් ඔබ ජනරාල් වරයාගේ බිරිඳ ලෙස ඊට එකඟ වන්නේද ?
පි. ඒක ජනාධිපතිවරයාට කරන්න පුළුවන්. මෙරටේ හැම දෙයක්ම කරන්න එතුමාට සියලු බල තල තිබෙනවා. එතුමාට ඒ දේ කිරීමට අවශ්‍ය නම් එතුමාට එය කළ හැකියි. එතුමා ඒ දේ කළහොත් මම අනිවාර්යෙන්ම බිරිඳ හැටියට සතුටු වෙනවා. එතුමාට ඇරෙන්න ඒ දේ වෙන කාටවත් කරන්නත් බැහැ.
පි. ඇත්තෙන්ම අපේ රටට නීතිය අවශ්‍යමයි. හොඳ රටක් සෑදීමට ඒ වගේම විනයානුකුල ව ජනතාවක් සෑදීමට නීති අවශ්‍යයි . මේක ගැන අපට වඩා නීතිය ක්‍රියාත්මක කරන අයත් ඒ වගේම ඒ අයගේ වගකීම ඒ අය දැන ගත යුතුයි. මේක මට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ ඒ අය ඒ කාර්ය හරියට කරනවා නම් අපේ රටට නීතිය හරියට ඉටු කරනවා නම් අපේ රට හොඳ ජනතාව ඉන්න රටක් වේවි. ඉතින් මේ වගේ තත්වයකදී දැන් පොලිසියට ගියත් මිනිස්සුන්ට පිළිසරණක් නැහැනේ අපේ සියලුම ජනතාව අසරණ වෙලා . තමන්ට දෙයක් වුනාම ඉතින් ඒ වගේ තත්වයක් තියෙන්නේ කොහොමද අපි මේ රටේ විනයක් තියෙනවා කියලා පිළිගන්නේ. විනය සෑදීම සඳහා සියලුම දෙනාම එකතු වෙන්න ඕනේ මේකේ ලොකුම වගකීම භාර වෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන පිරිසටයි. මේකට දේශපාලනය ගාව ගත්තම අපේ රටේ විතරක් නෙමෙයි ඕන රටක දේශපාලනය ගෑවුන ගමන් එතන නීතියක් නෑ . ඉතින් අද රටේ නීතිය ක්‍රියාත්මක වන හැටි ඕන කෙනෙක් දන්නවා . මොකද දැනටත් අන්ත පල් හොරු ටිකක් ඉන්නවා. කුඩු කාරයන්ට ගිය තැන ස්ත්‍රී දුෂකයන්ට ගිය තැන මේක මිනිස්සු අන්ධ නෑ බිහිරි නෑ ගොළු නෑ ඒ නිසා හොඳට තේරෙනවා අපේ රටට වෙලා තියෙන තත්වය. මහජනතාවත් කවදා හෝ ඉවසල ඉවසල එක තැනක් ඒවි මජනතාවට ඉවසන්න බැරි තැනක්. ඒ වගේම මම හුඟක් දුරට හිතනවා මේ හැමදේකම එක තැනක තියෙනවා ආපසු හැරීමක්. ඒ ආපසු හැරීම එකම පැත්තට නෙමෙයි ඒක ආගම අනුකුලව බැලුවත් ඒක හැමතැනකදිම වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ස්වභාවික දෙයක් ලෙස . අන්න ඒ තැනක් එන්න ඕන . අනිත් එක සත්‍ය වසන් කිරීම සහ ඒ අසත්‍ය රැක ගැනීම සඳහා නීති මගින් කරන සටන. මේ ඔක්කොම දේවල් මිනිසුන් අන්ධ, ගොළු බිහිරි වෙලා නැති නිසා ඒ දේ මිනිස්සුන්ට දැනෙනවා. මේක දැනගෙන නීතිය ක්‍රියාත්මක කරන අය හරියට නීතිය ක්‍රියාත්මක කරනවා නම් එක තමයි මේ රටට අවශ්‍යතාවය. මම හැම වෙලාවේම ඉල්ලා සිටින්නේ නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් එයාලට අයිති වගකීම අකුරට ඉටු කරන්න. එම වගකීම අකුරට හරියට ඉටු කළහොත් කාටවත් වරදින්නේ නෑ . ඒක තමයි මට කියන්න තියෙන්නේ.
ප්‍ර. "ඔබ අවංකව රට වෙනුවෙන් කැප වන්නේ නම් මේ රට සංවර්ධනය කිරීම ඒ හැටි අමාරු නොවන බව පැවසූ ජනාධිපතිවරයා අවශ්‍ය වන්නේ වුවමනාව සහ අධිෂ්ඨානය යැයි ද,"ත්‍රස්‌තවාදය පරාජය කර රටට තිරසාර සාමයක් උදාකිරීමට හැකියාව ලැබුණේ අපේ රණවිරුවන් තුළ තිබූ අධිෂ්ඨානය හා කැපවීම නිසාවෙන්" යැයි ද ජනාධිපතිවරයා ඊයේ සුදු කොඩි නඩුවේ තීන්දුව ප්‍රකශ කිරීමට සමගාමිව ඔහුගේ උපන්දිනය සමරමින් අරලිය ගහ මන්දීරයේ පැවති සාදයකදී සඳහන් කරනු ලැබුවා. ඔබ ඔහුගේ ප්‍රකශය සහ රටේ අනාගත අභිවුර්දිය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම දකින්නේ කෙසේද?
පි. මට කිසිම අවශ්‍යතාවයක් නෑ ජනාධිපතිගේ එම ප්‍රකාශය විවේචනය කිරීමට ඒක මහජනතාවට භාරයි. කොයි තරම් දුරට එතුමා ඔය වචන රකිනවාද කියන එක තීරණය කරන්න මහජනතාවට භාරයි. මම විවේචනය කරන්න යන්නේ නෑ.
ප්‍ර. යුක්තිය හමුවේ දනින් නැවතී යුක්තිය උදෙසා සටන කිරීම වෙනුවෙන් ඔබ ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දෙන පණිවිඩය කුමක්ද ?
පි. මට කියන්න තියෙන්නේ එක දෙයයි කිසිම දවසක අයුක්තිය අසාදාරනය වෙනුවෙන් සටන් කරන්න යන්න එපා. අපට නැති වෙලා තියෙන යුක්තිය සාදාරනය ලබා ගැනීම සඳහා අපේ රටට විනය අවශ්‍යයි. මේ විනයත් සමග යුක්තිය සදාරණය සඳහා මහජනතාවට එකතු වෙලා ඉන්න කියන්න.අද අපේ රටට නැති වෙලා. විනය, යුක්තිය, සාදාරනය අපෙන් නැති වෙලා යන්නේ තව දුරටත්. ඒවා නැවත ලබා ගැනීමට අවධියෙන් ඉන්න අපි එකතු වෙලා මේකට යමක් කළ යුතුමයි. ඒකට එකතු වෙන්න. එකට එකතු වුනේ නැත්නම් අපේ රටට කොහෙන් අවසානයක් ලඟා වෙයිද දන්නේ නෑ . ඉතාමත් අවසානාවන්ත තත්ත්ව වලට මුහුණ දෙන්න වෙයි ඉදිරියට . කෙසේ හෝ කමක් නෑ ජනතාවගේ හඬ බලගතුයි. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා සියලු දෙනා එකතු වෙලා මේ සඳහා නැගී සිටීමට කාලය එළඹ තිබෙනවා . සිතට ධෛර්ය ගන්න කිසිම දවසක අයුක්තිය අසදාරණයට ඉඩක් තියන්නේ නැතුව. ඔක්කොම ඒකට එකතු වෙලා මෙය ඉදිරියට ගෙන යාමට.




Post a Comment