අමිල ගුණරත්න
වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් විසින් බරපතල ලෙස වෛද්‍ය සභාවේ නීති රීති උල්ලංඝනය කොට ඇති බව වෛද්‍යවරු පිරිසක් ශ්‍රී ලංකා ගාඩියන් වෙත පෙන්වා දෙනු ලැබුහ. ඔවුන් පවසන පරිදි වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් විසින් කිසිදු සුදුසුකමක් නොමැති වියාජ වෛද්‍යවරයෙකු වන එලියන්ත වයිට්හට ක්‍රීඩකයන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ දීම සහ මත් ද්‍රව්‍ය ජාලයක් හසුරවන පහ වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබා තිබෙන මැරවර දේශපාලාඥයෙකු වන මර්වින් සිල්වාට ආචාර්ය පදවියක් ලබා දීම වැනි වෛද්‍ය ආචාර ධර්ම වලට පටහැනිව කටයුතු කොට තිබේ.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය සහභාගී වූ අවසාන පූර්ව තරගයේදී තහනම් උත්තේජක භාවිතා කළ බවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වූ උපුල් තරංගට එරෙහිව චෝදනා එල්ලවී තිබුණු අතර මුත්‍රා සාම්පල් පරීක්ෂාවෙන් ඒ බව තහවුරු වී තිබේ. පසුව කරන ලද පරීක්ෂණ වලින් හෙළි වුයේ උපුල් තරංගට තහනම් උත්තේජක ලබාදී ඇත්තේ එලියන්ත වයිට් විසින් බවයි. මෙම සිද්ධියේ දී වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් එලියන්ත වයිට් දිගින් දිගටම ආරක්ෂා කල අතර ක්‍රීඩකයන්ට ප්‍රතිකාර කිරීමට ඔහුට අවසර තිබෙන බවද පැවසිය. ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුට තහනම් උත්තේජක භාවිතා කළ බවට ඇති චෝදනා වලට පසු පස ඇත්තේ එලියන්ත වයිට් වන අතර මේ සම්බන්දයෙන් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ටද චෝදනා එල්ල වේ.
වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් ගේ ක්‍රියා සම්බදයෙන් දැඩි විවේචනයක් කරන ලද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඔහුව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය ධුරයෙන් ඉවත් කොට එම තනතුර සඳහා මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පත් කිරීමට නිර්දේශ කොට තිබේ. වැඩිදුරටත් කරුණු දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගේ පරිපාලනය ගැන තමන්ගේ කිසිදු විශ්වාසයක් නැතැයි පැවසීය. තවද වෛද්‍ය මෙන්ඩිස් මහතා තහනම් උත්තේජක ලබාගත් ක්‍රීඩකයන්ට එරෙහිව කටයුතු කළ ආකාරය ගැන තමන් කිසිසේත් සෑහිමකට පත්නොවන බවත්, පැය 2ක් තරම් කෙටි කාලයක් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ රැඳි සිටිමින් කැපවීමක් නැති පරිපාලනයකින් මෙරට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අරමුණු ඉටුකරගැනීමට නොහැකි බවත් ඇමැතිවරයා අවධාරණය කරන ලදී.
මර්වින් සිල්වාට ආචාර්ය පදවියක් ලබා දීම පසුපසද සිටියේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් බව හෙළි වී තිබේ. තමන්ට ආචාර්ය උපාධියක් ලැබුණු අන්දම මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් රසදුන ටැබ්ලොයිඩ් පුවත්පත වෙත හෙළි කර ඇත්තේ මෙසේය
"මං පසුගිය කාලයේ දොස්තර ඇන්ටන් ජයසූරිය කටු චිකිත්සාව පිළිබඳ ලොකුම දොස්තර සමඟ සාකච්ඡා වට කීපයක් පැවැත්වුවා. ඉතිහාසය, දර්ශනය, සමාජ විද්‍යාව, කටු චිකිත්සාව, සංස්කෘතිය,බුදුදහම, ආයුර්වේදය මේ හැම දෙයක් ගැනම සාකච්ඡා කළා. මේ සාකච්ඡාවලදි එතුමාත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් මහත්තයත් දොස්තර අශෝකාත් තේරුම් ගත්ත මා විවිධ විෂයයන් සම්බන්ධයෙන් ප්‍රඥාගෝචර බව. ඉස්කෝලෙ සහතිකේ එකක්. ප්‍රඥාව පිළිබඳ සහතිකය තව එකක්. චීන කටු චිකිත්සාව පිළිබඳ ඉතිහාසය මා ඒ අයට කියා දෙන විට ඔවුන් ඇසුවා ඔබ කොහින්ද මේ තරම් දැනුමක් ලැබුවෙ කියල. මා කීවා මැදමුලන වලව්වේ ඩී.ඒ.රාජපක්ෂයන් ඇසුරේ ඒ සම්භාවනීය පිරිස් මැද ජීවත් වන කාලේ ඉඳන්ම මාත් පොතපත කියෙව්වා. සාකච්ඡා සම්මන්ත්‍රණවලට ගියා, දැනුම ලැබුවා කියලා. මගේ යම් බලාපොරොත්තුවක් තිබුණේ නෑ මෙවැනි උපාධියක් ගැන. ඒත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් ප්‍රමුඛ ඒ කණ්ඩායම දොස්තර ඇන්ටන් ජයසූරිය වෙතින් මට ආචාර්ය උපාධිය පිරිනැමුවා."
ශ්‍රී ලාංකික සමාජය කාබාසිනියා කලේ වංචනික දේශපාලකයන් , මැරයන් , කුඩු වෙළෙන්දන් පමණක් නොවේ. ගීතාංජන මෙන්ඩිස් වැනි සමාජයේ වගකිවයුතු උගත් සිවිල් බලයක් ඇති පුද්ගලයන්ද ඊට දායකවී ඇති බව කරුණු පරික්ෂා කරන විට පෙනී යයි. මෙවැනි දෙයක් වෙනත් රටක සිදු වුයේ නම් ගීතාංජන මෙන්ඩිස්‌ගේ වෛද්‍ය බලපත්‍රය පවා තහනම් වනු ඇත.

Post a Comment