ජවිපෙ අර්බුදය හෙවත් පාවෙන වම


නිලන්ත ඉලංගමුව 


නතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායක සෝමවංශ අමරසිංහ මහතා පසුගිය දා සඳහන් කරනු ලැබුවේ තමන් වුර්තීමය විප්ලවාදියෙකු බවය. ඔහුගේ මෙම අදහසේ පරාමිතීන් කෙබඳුද? ඔහු වුර්තීමය වශයෙන් සිදු කළ විප්ලව මොනවාද? යන්න පිළිබඳවද හෙතම අදහස් පල කළේය. ඉන් මාගේ අවධානය යොමු වූයේ ඔහු එම පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර බැලීමට සිර ගෙදරට ගිය පසු ඔහු විජේවීරට ලබා දුන් ආලවන්ත පොරොන්දුවයි. එනම් " මැරෙණතෙක්ම සහෝදරයා උගන්නපු දේ වෙනුවෙන් සටන් කරනවා," ලෙසය. ඉන් පසු හෙතම වාසුදේව නානායක්කාර මහතා නිර්මාණය කිරීමට ගිය විප්ලවීය ජනතා විමුක්ති පෙරමුණ නමැති පක්ෂය නිර්මාණය නොකිරීමට බලපෑම් කරමින් තමන්ගේ පක්ෂයේ නම පිටරට සිට ලබා දුන් දුරකථන පණිවිඩ මඟින් රැක ගැනීමයි. නමුත් මා සිතන පරිදි පසුගිය කාල වකවානුව තුළදී සෝමවංශ අමරසිංහ මහතා යථාර්තය සහ සිහිනය අතර පැටලුනු දේශපලඥයෙකි. ඔහු ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණයේ නුහුරු අතින් මාක්ස්ද , බටහිර ධනවාදී ආර්ථික මොඩලය තම හුරු අතින්ද රැගෙනය. එය ඔහුගේ වරදක් ලෙස කිසිසේත්ම දැකිය නොහැකි වන අතර නිතීයේ ආධිපත්‍යයක් කිසි ලෙසකින් තහවුරු වී නැති සමාජයකින් වියුක්ත වූ අයෙකු නිතීයේ ආධිපත්‍ය ඇති එහෙත් ධනාවාදී සමාජ රටාවක් ඇති තැනකට විසිවීමෙදී සිදු වන සැබෑ යථාර්තය වන්නේ එයයි.

ජවිපෙ අර්බුදයේ මූලිකම හේතුව ලෙස නිරීක්ෂණය කළ හැක්කේ එක්තරා නිශ්චිත රාමුවක් ඔවුහු විසින්ම නිර්මාණය කර ගැනීම සහ එය තුළ සිරවී සිටිමින් තමන් සිරවී සිටින බව නොපිළිගෙන එය නිදහස යැයි සිතීමයි. එය වූ කලී කුහක, මෝඩ, ඊර්ෂ්‍යා සහගත, තක්කඩි, ගූඪවාදී, ධූරවලීයක් විසින් ගිලගෙන ඇති ව්‍යාපාරයකි. ඔවුන්ට කළ හැක්කේ සතුරාට වෛරකිරීමට සහ දේශපාලන විකල්පයක් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට ස්වං ඝාතකයින් බවට පත්වීමය.
ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමෙන් ජවිපෙ තම අභියෝග ජයගත්තේ ද යන්න අදටත් ඉතා දීර්ඝ වශයෙන් විවාද කළ හැකි කාරණයකි. නමුත් කිසියම් හෝ දේශපාලන පක්ෂයක් ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණ තම මිලිටරි සංස්කෘතියෙන් අත්මිදී ජනතාවගේ බලය කේන්ද්‍ර කරගනිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා යොමුවීම අතිශය වැදගත් වේ. එසේම ලෝකයේ මෙතෙක් බිහි වූ සාර්ථකම වාමාංශික දේශපාලන ව්‍යාපාරය වන කියුබාවද සිවිල් ජන බලය කෙරෙහි මිස වෙනත් කිසිවක් ගැන විස්වාශය තැබුවේ නැත. මෙහිදී කියුබානු විපල්වය මෙහෙය වූ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ ජනවාරි 21 , 1959 හවානා නුවරදී මිලියනයක් පමණ වන කියුබානු ජනතාව අමතමින් සිදු කළ අදහස් උපුටා දැක්වීම උචිත යැයි සිතේ. " අපි කිසිම කෙනෙකුට විරුද්ධව ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කොට නැත. කියුබානු විපල්වය කිසිම ජාතියකට එරෙහිව ප්‍රහාර එල්ල කළේ නැත. දැඩි අපාරාධ සහ මර්ධනයකට නතු වී සිටි කියුබානු ජනතාව විශාල පිරිසක් තම ජීවිත පරිත්‍යාග කරමින් තම සතුරාගෙන් තමන්වම නිදහස් කර ගනු ලැබුහ.

නමුත් මාගේ අදාරණීය ජනතාවනි, මම අධිෂ්ඨානයෙන් යුතුව කීමට කැමතියි අපි ඒ සටන විවිධ අදහස් ඇති, විශ්වාසයන් පිළිපදින විවිධතත්වයකින් හෙබි ජනසමූහයක් සමඟ එක් වී එකමුතු කමින් යුතුව ජයගත්තෙමු. මෙම සටන සියල්ලටම අයිතියි. තමන්ගේ යුක්තිය, ස්වාධිපත්‍ය සහ ගරුත්වය වෙනුවෙන් මෙම ජනතාව අභිමානයෙන් යුතුව ඒ සඳහා එකමුතු වූයෙමු.

එක් මිනිසෙකුගේ අරගලයක් තරමට එක අදහසක් මත පිහිටා කටයුතු කිරීමට තිර අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළ මෙම ජනතාවට අපේ ගරුත්වය මෙන්ම අභිමානය හිමි වේ. මෙවැනි ජනතාවක් කිසිවෙකුට පරාජය කිරීමට නොහැකිය. අපි සියලු බෙදීම් වලින් ආරක්ෂා විය යුතුයි. අපේ පීතෘ වරුන්ගේ අධිෂ්ඨානයන් ආරක්ෂා කර ගත හැක්කේ එක්සත් වීමෙන්ය. අපි සටන් කළ යුත්තේ අපරාධකාරයින්ට දඬුවම් දීමේ චේතනාවෙන් නොවන නමුත් සමාජ සාධාරණත්වය සහ යුක්තිය වෙනුවෙනි," යයි කියුබානු නායකයා ප්‍රකාශ කළේය. එසේම ඔහු ඉන් වසර 44 කට පසු එනම් 2003 දී ප්‍රකාශ කළේ මෙලෙසය, එනම් 2003 මැයි 01 හවානා නුවර පිහිටි විපලවීය චතුරශ්‍රයේදී මැයි දිනය නිමිත්තෙන් කතා කරමින්, "අපට ස්ථීර වශයෙන්ම ඉගෙන ගැනීමට හැකි වූ පාඩම මෙන්ම අධිෂ්ඨානය ලබා දෙනු ලැබුවේ ආයුධවලට වඩා සාමාජ සාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වූ අදහස්ය. එහිදී ආයුධ වල තාක්ෂණික හැකියාව හෝ බලය කිසිම විදිහකින් වැදගත් වූයේ නැත;" යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කෙළේය. ෆිදෙල් වූ කලී න්‍යායික සහ ප්‍රයෝගික වශයෙන් ඉතා සාර්ථක දේශපාලනඥයකි. ජවිපෙ අර්බුදය දෙස මෙම කෝණයෙන් බැලීම වැදගත් වන්නේ මේ නිසාය. නමුත් එය එකම කෝණය නොවේ. මන්ද ෆිදෙල් වූ කලී කියුබානු හෙවත් ලතින් ඇමෙරිකානු භූගෝලීය පිහිටීම කෙන්ද්‍රගනිමින් බිහි වූ නායකයෙකි. ඔහු හැදී වැදුණු සංස්කෘතික සහ සමාජීය වටපිටාව වෙනස්ය. විජේවීර මෙන්ම ප්‍රභාකරන් මෙරට සිංහල/දෙමළ සහ හින්දු අන්තවාදය කේන්ද්‍රකර ගනිමින් බිහි වූ ද්විත්ව චරිතයකි.

ජවිපෙ අර්බුදයේ මූලිකම හේතුව ලෙස නිරීක්ෂණය කළ හැක්කේ එක්තරා නිශ්චිත රාමුවක් ඔවුහු විසින්ම නිර්මාණය කර ගැනීම සහ එය තුළ සිරවී සිටිමින් තමන් සිරවී සිටින බව නොපිළිගෙන එය නිදහස යැයි සිතීමයි. එය වූ කලී කුහක, මෝඩ, ඊර්ෂ්‍යා සහගත, තක්කඩි, ගූඪවාදී, ධූරවලීයක් විසින් ගිලගෙන ඇති ව්‍යාපාරයකි. ඔවුන්ට කළ හැක්කේ සතුරාට වෛරකිරීමට සහ දේශපාලන විකල්පයක් වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට ස්වං ඝාතකයින් බවට පත්වීමය. ස්වං ඝාතනයෙන් ඔබ්බට ගිය තැන තම සගයා පාවාදී තමන්ගේ දිවි ගලවා ගැනීමය. 71 දී මෙන්ම 88-89 දී ඔලුබක්කන්ගේ භූමිකාව රඟපෑ බොහෝ දෙනෙක් මෙය හොඳින් දන්නෝය.

කිසිවෙකුගේ හෝ මනසට සීමාවක් නැතැයි කියන්නේ නම් එය පිළිගැනීමට නොහැකි බව මුලින්ම කතාබහට ලක් වන්නේ ග්‍රීක දර්ශනය තුළය. ඊට අනුව මනසට සීමාවක් තිබේ. එය වූ කලී තමන්ගේ අත්දැකීම් වල සහ සිහින දැකීමේ පරිමාණයයි. සිහින බොහෝ දුරට අත්දැකීම මත තීරණය වන්නක් වේ. මේ අනුව බලන කළ මාක්ස්වාදය ගැන හෝ කමියුනිස්ට් සමාජය ගැන ළිං මැඩියන් කතා කරන අකාරය ඉන් පිටත සිටින්නෙකුට පෙනෙන්නේ පිස්සුවක් හෝ හාස්‍යක් ලෙසිනි. තාක්ෂණය ඔස්සේ අප එකිනෙකට යාකොට ඇතත් අවසානයේදී අපගේ පරිකල්පනය රඳා පවතින්නේ භෞතික වශයෙන් ලබා ගන්නා යථාර්තයන් තුළය. ජවිපෙ වූ කලී සංශෝධනවාදය කරා ගමන් කරන පක්ෂයක් ලෙස සොමාවංශ අමරසිංහ මහතා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි හට ප්‍රකාශ කළ බව හෙළිවීමත් සමඟ දේශීය ජවිපෙ ස්මාජිකයින්ට එතරම් කේන්ති යෑම පිටු පස ඇත්තේ තම පරිකල්පනයේ සීමාව හෙවත් තමන් විසින්ම තමනට දමාගෙන ඇති රාමුවයි.

දේශපාලන පක්ෂයක් වූ කලී එක්තරා දේශපාලන න්‍යායයක් මත ගොඩ නගනු ලැබූ රාමුවක් ලෙස පිළිගත හැකි වුවත් අමතක නොකළ යුත්තේ සියල්ල අවසානයේදී එකිනෙකා අරගලය කරනු ලබන්නේ බලය වෙනුවෙන් බවයි. තමන් අපේක්ෂා කරන බලය ලබාගැනීමට නිශ්චිත අවකාශයක් නොමැති වූ තැන වෙනත් විකල්ප සෙවීම සත්වයින් සතු පොදු ප්‍රාථමික ගතියකි. සමාජ විද්‍යාඥයකු වන මැක්ස් වෙබර් තම න්‍යාය තුළින් ක්‍රමෝපායෙහි දක්ෂයා අනුවර්තනය වන බවත් අදක්ෂයා නැසී යන බවත් එය ඉතා සාදාරණ එකක් බවත් සඳහන් කරෙන්නේය. චාර්ල්ස් ඩාවින් විසින් පරිණාමවාදය යයි නම් කරමින් විද්‍යාව තුළට ගෙන එන්නෙත් නිකොලොයි මැකියාවෙලී විසින් පාලකයාට නරි වෙස් ගැනීමටත් සිංහ වෙස් ගැනීමටත් කියා දෙමින් එය දේශපාලන විද්‍යාව තුළට ගෙන එන්නෙත් එහිම වෙනත් හැඩයන්ය. සිහිනය සහ යථාර්තය අතර සිර වී සිටින සෝමවංශ අමරසිංහ මහතාද ඔහුගේ කණඩායමට විරෝධය පල කළද ඒ අකාරයෙන්ම සිහිනය සහා යතාර්ථය අතර සිර වී සිටින අනෙක් කැරලිකාර කණ්ඩායමද මුහුණ දී සිටින ඇත්ත වන්නේ එයයි. සෝමවංශ පිල විසින් ඇපත් නැති වී ඇති ජවිපෙ ධාවනය කළහැකි මාවත සොයන අතර ඇත්ත වම තමන් සතු බව කියමින් සහ ඊට අවශ්‍ය ඥානය සේම සම්පත් තමන් සතු බව කියන අනෙක් කණ්ඩායමද අඳුරේ අතපත ගාමින් මුහුණ දී සිටින පොදු අභියෝගය වන්නේ මෙයයි.

මෙරට දේශපාලන පක්ෂ වලින් තරුණ පිරිස් වසඟයට ගත් නමුත් කිසිඳු සාදාරණයක් ඔවුහු වෙත සිදු කිරීමට නොහැකි වූ පක්ෂය වන ජවිපෙ සිදු කළ බලගතුම විනාශය වූයේ මෙරට නීතියේ ආධිපත්‍යක් සේම නව දේශපාලන සස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් උරදීමට සිටි පිරිස ඝාතනය කිරීමට වක්‍රාකාරයෙන් මෙන්ම ඍජුව මැදිහත් වීමයි. එනම් අසාර්ථක වනබව දැන දැනම විපලවයක් කිරීමට යන්ත දැරීමයි. මෙය සමාන වන්නේ ජපානය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානුවන් පරමාණු බෝම්බ හෙලන බව ආරංචි වූ එක් විප්ලවාදියෙක් ගල්කටස් තුවක්කුවක් රැගෙන ඉහළ ආකාශයේ සිට පතිත වන පරමාණු බෝම්බ වලට වෙඩි තැබීමටය. ලංකාවේ විප්ලවවාදීන් සෑම විටම සිදු කරනු ලැබුවේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමේ දේශපාලනයකි. අද වන විටත් ලංකාවේ සමාජයට සුව කිරීමට නොහැකි ප්‍රධාන රෝග දෙක වන නීතියේ ආධිපත්‍ය කුඩ්ඩන් සහ ඔවුන්ට අත දෙන්නන් විසින් විනාශ කිරීම සහ දුෂණය සමාජය තුළ ඉහ වහා ගිය යථාර්ථයක් වීම සුව කිරීම සඳහා කිසිම විප්ලවවාදියෙක් ඉදිරියට පැමිණියේ නැත. 70 දශකයේ සිට 90 දශකය දක්වා වූ වසර විස්සක කාලය වූ කලී ලොව සෑම දෙසම දියුණු වීමට අපේක්ෂා කළ ජාතීන් වල නිතීය, දුෂණයට එරෙහි වීම, ක්‍රියාකාරී පොලිස් සේවයක් ඇති කිරීම, යුක්තිය පසිඳලන කොන්ද පණ ඇති කාටත් සාදරණය ඉටු කරන අධිකරණ පද්ධතියක් ඇති කිරීම, ආදී රටක පැවැත්ම රඳා පවතින මුලිකාංගයන් නිවැරදිව ක්‍රියාත්මක කරන ආකාරය ගැන පරීක්ෂණ පැවැත් වූ කාලවකවානුව විය. සැබවින්ම ඒ නිසා සැබෑ විපලවාදින් රැසකට තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය. නමුත් තමන්ගේ නායකයා ගැනවත් නිවැරදි තකසේරුවක් නැති ජවිපෙ සමාජයට කළ අත්වැරැද්ද ගැන කිසිඳු තැකීමක් නොකරනවා පමණක් නොව සෝමවංශ අද වන විටත් තමන්ගේ වුර්තීමය විප්ලවාදීත්වය ඒ දෙසට නැඹුරු කර ගෙන නැත. ඒ වෙනුවට මාක්ස්ගේ පින්තූරය යලි ලබා ගැනීමට සහ කණ්ඩායමට තම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව දඬුවම් ලබා දීමට මානබලමින් සිටින්නේය. තේරෙන බාසාවෙන් කිවහොත් අංචි අල්ලමින් සිටින කට්ටඩියෙකුගේ භූමිකාව රඟපාමින් සිටින්නේය.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ තුළ හටගත් තවත් එක් බෙදීමක් ලෙස පමණක් මෙය තේරුම් ගත නොහැකිය. මෙවර බෙදීම එම පක්ෂයේ ප්‍රචාරක ලේඛම් වරයා වශයෙන් සිටි විමල් වීරවංශ පක්ෂයෙන් නෙරපා හැරීම නිසා සිදු කළ මට්ටමේ එකක් නොවේ. වීරවංශ තම පක්ෂයේ රැඳී සිටීමට හැකි උපරිම උත්සාහය ගත්තේය. පාර්ලිමේන්තුවේදී පමණක් නොව ප්‍රසිද්දියේ හැඬුවේය. එහෙත් පක්ෂය ඊට අකමැති වූ නිසා මෙන්ම දේශපාලන අනාතයින් වී සිටි සිංහල ජාතිවාදීන් කොටසක් ඔහුට සමීප වීමෙන් ඔහුගේ රතු දේශපාලනය හින්දු බමුණු අන්තවාදයක් වෙතට තල්ලු කළේය. භෞතික සම්පත් එකතු කිරීම සඳහා විමල්ගේ මාක්ස්වාදී හැව හැරීම මහඟු පිටුවහලක් වූ නමුත් ඔහු ඔහුගේම දේශපාලන හරයන් තුළ අසරණයකු විය. එකී අසරණයා ආණ්ඩුවේ වුවමනාවට එනම් ආරක්ෂක ලේඛම් ගෝඨාබය රාජපක්ෂගේ උවමනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව පෙර පාසල් යන ළමයෙකුවත් නොකරන මට්ටමේ මෝඩ කටයුත්තක මාරාන්තික උපවාසයක් යැයි කියමින් යම් නාටකයක නිරත වූයේ එහි එක් උච්චතම අවස්තාවක් ලෙස. මෙය පැරණි මාක්ස්වාදී උණ වැළඳුන රෝගියෙකු වන වීරවංශ නේරංජනා ගඟ අසබඩට ගොස් තමන්ගේ කොණ්ඩය සහ රැවුල මුඩු ගා එහි දෙපැත්තේ ඇති මිනිසුන්ගේ මළපහ වල දුර්ගන්ධය සුවඳක් ලෙස ගනිමින් එහා ඉවුරේ සිටින බමුණෙකු දැක තමන් බුදුන් දැක්කා යැයි ප්‍රකාශ කිරීම හා සමානය. අවසානයේදී මොවුහු සියල්ලම රාජපකිස්තානය වෙනුවෙන් සහය වී කහවනු ලද්දෝ වෙති. ඉන් ඉවත් වුවහොත් තමන් ගත් කහවනු සියල්ලම මෙන්ම ඊටත් වඩා වැඩි වන්දියක් රාජපක්ෂට ගෙවීමට සිදු වන බව අනිවාර්යෙන්ම දන්නෝය. පිටත සහ ඇතුලත අතර ඇති ප්‍රභලම නොගැලපීම වන්නේ මෙයයි.

මෙහිදී අදාළ අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස් අතුරින් වික්ටර් අයිවන් ඉදිරිපත් කළ අඩක් නිවැරදි අදහස ගැන අදහස් දැක්වීම සුදුසු යැයි සිතෙන්නේ ඒ ගැන ලියු අනෙක් අයට සාපේක්ෂව මෙහි අඩක් හෝ ඇත්ත ලිය වී තිබීම නිසාය. ඔහු ලියන මිත්‍යාව/ බොරුව මෙහිදී දැක්වීම වැදගත් වේ. ඔහුට අනුව, " ගාන්ධිගේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට ඉන්දියාවේ අතීතය ගැන සේම ඉන්දියාව කෙරෙහි පැවති බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය ගැනත් අපේක්ෂා කරන නිදහස පිළිබඳවත් තියුණු න්‍යායික විශ්ලේෂණයක් තිබුණි. ශක්තිමත් ඉදිරි දර්ශනයක් ඇති කරගැනීමට කොංග‍්‍රසය සමත්ව තිබුණේ එම න්‍යායික විශ්ලේෂණයන් නිසාය. ගාන්ධි නිදහස ලෙස දැක්කේ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ලබන නිදහස පමණක් නොවේ. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් ලැබී තිබුණු ජාතික රාජ්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම දුටු ඔහු එසේ කිරීමට නම් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන් නිදහස දිනාගැනීම සඳහා කරන අරගලය තුළ කුල භේදයට තිබුණු පිළිගැන්ම නැති කොට ආගමික හා වාර්ගික බෙදීම් තුනී කොට එක්සත් ඉන්දියානු ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය බව තේරුම් ගනිමින් එම තුන් ඈඳුතු අරමුණ එක අරගලයක් තුළ සම්පූර්ණ කරගැනීමට වෙර දැරීය," මෙය වික්ටර් අයිවන් ගාන්ධි දර්ශනය ගාන්ධිගේ වෙස්මුහුණ දමාගෙන ඒ පිළිබඳව කියවා ඇති සීමාවේ ප්‍රමාණයයි. එසේම වික්ටර් ඇතුළු බොහොමයක් විචාරකයින් ලාංකීය දේශාපාලනය හමුවේ හෙලන කාලතුවක්කු ප්‍රහාරය හෙවත් ෂෙල් වෙඩිල්ල වන්නේ මෙයයි. එනම් පිටින් භාගයක් ගෙන ඊට වන්දනාමාන කරමින් තම සමාජයට එය එන්නත් කිරීමට උත්සහ කිරීම නොහොත් නොදන්නා බව නොපෙන්වීම සඳහා සළුවකින් හෙළුව වසා ගැනීම වේ. මෙවැනිම විචාරයක් ඔහු අන්නා හසාරේ පිළිබඳවද සිදු කළේය.

ගාන්ධි යම් කිසි කටයුත්තක් කළ බව සත්‍ය නමුත් ජවහල්ලාර් නේරුට සාපේක්ෂව ගාන්ධි සිටියේ හින්දු අන්තවාදී බමුණන් පැත්තේය. එසේම ඔහු ආගමික, වාර්ගික බෙදීම් තුනී කරමින් කුල බේදය නැති කළා යැයි කීම පට්ටපල් බොරුවකි. වික්ටර් බොරු ලියන්නේද නැතහොත් ගාන්ධි ලියා ඇති පොත් එලෙසම ගිල දමමින් ඔහු වමාරමින් සිටින්නේද කියා නොදන්න්නා නමුත්, ගාන්ධි කුලබේදය වැනි සමාජ ධූරවලීයේ බෙදීම් තව දුරටත් පවත්වා ගැනීමට දායක වූ අයෙක් මිස සිතන තරම් සුන්දර අහිංසාවාදයක් ඔහුට තිබුණේ නැත. එය ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ වන බි. ආර්. අම්බෙඩ්කාර්ගේ දේශපාලනයට කළ කෙනහිලි කම් වලින්ම පැහැදිලිය. අම්බෙඩ්කාර් වූ කලී දලිත් කුලයට දාව උපන් ශ්‍රේෂ්ඨ මෙන්ම බෞද්ධ දර්ශනය මැනවින් ප්‍රගුණ කළ දාර්ශනිකයෙකි. නමුත් ගාන්ධි පිළිකුල් සහගත නොවන අකාරයෙන් වුණත් වඩාත් උපක්‍රමශීලීව කුලබේදය පවත්වාගැනීමට දායක විය. ගාන්ධි න්‍යාය ජවිපෙ අර්බුදය විසඳීම සඳහා ගෙන ඒම සමාන කළ හැක්කේ මීට පෙර ලෝකයේ සිටි දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය මෙල්ල කළ නායකයාගේ අභිමුව සපත්තු ලෙවකමින් එම නායකයා සියල්ලටම පයින් ගසමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමෙන් පසු වෙනත් පැත්තකට පිම්ම ගසා උඩුගුවෙකුගේ රංගනයක් වික්ටර්ට රඟපෑමට සිදු වීමටය. මෙය විහිළුවකි.

පිළිගත් මුලිකාංග වලින් සමස්ත රටේ විහුහය වෙනතකට තල්ලු කොට එය ඉතා සුළු පිරිසක් විසින් මෙහෙයවන තත්වයට තල්ලු වී තිබේ. සහයෝගීතාවය සහ එකඟතාවය වෙනුවට අභිමතය නීතිය බවට පත් වී තිබේ. මේ තත්වය තුළ තව දුරටත් අපේක්ෂා කළ හැක්කේ සමාජයේ සිදුවන බෙදීම් මිස එකමුතු කම් නොවේ. මානවයාට බහුතර ජනතාවගේ සාදාරන කැමැත්ත මත සම්මත කරගත් නීතයක් අවශ්‍ය වූයේ එය තනි පුද්ගලයෙකුට හෝ කුඩා කණ්ඩායමකට කිරීමට නොහැකි බව උදාහරන හෙවත් නීරස අද්දැකීම් සමග තේරුම් ගැනීමෙන් පසුවය.
සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණ වූ කලී මෙරට බිහි වූ දේශපාලන ව්‍යාපාර අතරින් සිංහල බහුතරයක් වන ජනතාව විනාශ මුඛයට ඇදගෙන ගිය සංවිධානයකි, යනුවෙන් එම පක්ෂයේ සිට පසුව ඉන් ඉවත් වූ අයවුලුන් කියන මතයද කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. එය උතුරේ එල්. ටී. ටී. ඊ. සංවිධානය දෙමළ ජනතාවට සිදු කළ අසාධාරණයට වැඩි යමක් සිංහල ජනතාවට සිදු කළේය. මෙහිදී කොටි සංවිධානයට යම් කිසි මට්ටමේ සාර්ථක ක්‍රමෝපායක් තිබුණු අතර එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සංවිධානයක් වුවා පමණක් නොව වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කළ හැකි මට්ටමේ ඩයස්පෝරාවක් ( එක් එක් ජාතීනට අයත් ජනතාව තමන්ට අයිති රටෙන් පරිභාහිරව විසීමෙන් තනා ගන්නා ප්‍රජාව ඩයස්පෝරාව හෙවත් විසිරුණු ජනතාව ලෙස හැඳින් වේ. ඒ අනුව ලක්ෂ නවයකට ආසන්න ජනතාවක් නියෝජනය කරන ප්‍රභල දෙමළ ඩයස්පෝරාවක් අපට ඇත.) නිර්මාණය කිරීමට සමත් විය. කොටි සංවිධානය සහමුලින්ම යුධමය වශයෙන් අතුගා දැමීමෙන් පසු වසර දෙකකට වඩා ගෙවී ඇතත් දැනටත් දෙමළ ඩයස්පෝරාව ප්‍රබලය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ගෙන බැලුව හොත් ඔවුන්ට සතුටු විය හැකි කිසිවක් නැතිවා පමණක් නොව ඇත්තේ කනස්සල්ල පමණි. ඊට රාජපක්ෂ විසින්ද තව දුරටත් දේශීය සහ ජාත්‍යන්තර දේශපාලනය තුළ වැදගැම්මකට නැති තත්වයක් ලබා දෙමින් සිටින්නේය. මන්ද ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී චීනය මෙන්ම ඔවුහු පසුව කුළුපඟ වීමට ගිය රුසියාවද ඔහුන්ගේ ග්‍රහණයෙන් ගලවාගෙන තමන්ගේ සාක්කුවේ දමා ගැනීමට රාජපක්ෂ සමත් වී ඇත. චීනය පුද්ගලික මට්ටමෙන් රාජපක්ෂ සමඟ ගනුදෙනු කිරීමට පටන් ගෙන ඇති අතර තමනට රිසි පරිදි වියදම් කිරීම සඳහා මුදල්ද චීනයෙන් ලබා දී ඇත. සැබවින්ම රුසියාවට යෑමට අවශ්‍ය වීසා ලබා දුන්නේ නම් රෝහණ විජේවීර තබා ජවිපෙ නමින් පක්ෂයක්වත් මෙරට නැති වීමට ඉඩ තිබුණි. ශන්මුගදාසන්ගේ බලපෑම ඔස්සේ චීනයේ සහය මත ( චීනයෙන් ප්‍රභල මට්ටමේ සහයක් ජවිපෙට තිබුණේද නැතහොත් එය බොරු රඟපෑමක්ද යන්න විවාද සම්පන්න කාරණයකි. ) ජවිපෙ නිර්මාණය කිරීමට රෝහණ විජේවීර දායක වුවද එහි විදෙස් ප්‍රතිපත්තිය සහ එක් එක් රටවල් සමඟ සම්බන්ධතා ගොඩනගා ගත් ආකාරය ප්‍රභල නැත. මේ නිසා බලපෑම් කළ හැකි මට්ටමේ ජාත්‍යන්තර ප්‍රජාවක් තමන් සතුව නැතුවා පමණක් නොව දේශීය වශයෙන් සිවිල් ප්‍රජාවක් ඇති කිරීමටද ජවිපෙට නොහැකි විය.

එසේම ජවිපෙ මෙරට අධ්‍යාපනය වෙනුවෙන් හිටපු අගමැති බණ්ඩාරනායක සිදු කළ මට්ටමේම විනාශයක් සිදු කළ පක්ෂයකි. එය දැනටත් සිදු කරමින් සිටින්නේ එයයි. 71 කැරැල්ලේදී ඔවුන්ගේ එක් සටන් පාඨයක් වූයේ " පළමුව මව්බිම දෙවනුව අධ්‍යාපනය", යන්නයි. මෙය වාමාංශික ව්‍යාපාරයක් විසින් ලෝක ඉතිහාසයේ කරනු ලැබූ ඔලමොට්ටල සහ මහා භයානකම ප්‍රකාශ අතරින් එකකි. එසේම එය ඒ අකාරයෙන් මහා භයානක ප්‍රතිඵල අත්කර දුන්නේය. කියුබානු විප්ලවය සිදු වෙමින් පවතින අවස්තාවකදී චේ ගෙවාරා ඉදිරිපත් කළ අදහසක් මෙහිදී මතක් කිරීම වැදගත් වේ, ඒ වූ කලී, වරක් චේ ගෙවාරාට මුදල් එවූ එක් සිසුවෙකු තමන් මෙම පරිත්‍යාගය ලබා දීමට කැමති බවත් සටන්කාමියෙකු ලෙස එකතු වීමට කැමති බවත් සඳහන් කෙළේය. අදාළ මුදල් ආපසු ඔහුටම යවමින් චේ සටහන් කරනු ලැබුවේ, "  ඔබේ වයසේදී ඔබ සිදු කළ යුත්තේ ඉගෙන ගැනීමයි. එය අපගේ විප්ලවයට දායක විය හැකි වඩාත් වැදගත්ම වගකීමයි," ලෙසය. එසේම චේ ළමා සොල්දාදුවන් බඳවා ගැනීමද දැඩිව ප්‍රතික්‍ෂේප කළේය. සැබවින්ම තමන් වාමාංශිකයින් ලෙස පෙනී සිටින ලංකාවේ වුර්තීමය සහ වුර්තීමය නොවන විප්ලවවාදීන්ට වඩාත් වැදගත් වන්නේ ප්‍රථමික, ද්විතීයික මෙනම් තෘතීයික මට්ටමේ මූලධර්මයන් සහ විනයෙන් හෙබි සාරධර්ම මත පිහිටා කටයුතු කිරීම මිස කොමුනිස්ට් ප්‍රකාශනය හෝ දාස් කැපිටාල් අකුරෙන් අකුර කට පාඩම් කොට ඒ ඔස්සේ තම සිහින දැක එය එකම සිහිනය ලෙස ගෙන ඒ වෙනුවෙන් සටන් කිරීම නොවේ. ලංකාවේ වුර්තීමය මෙන්ම වුර්තීමය නොවන විප්ලවාදීන්ගේ ගැටලුව වන්නේ තමන් මතුපිටට පෙන්වන සිහින ලෝකය එලෙසම ජනතාවට එන්නත් කරවමින් තමන් වෙනත් ලෝකයක ජීවත් වීමය. සෝමවංශ නැවත මෙරටට එන විට තම හුරු අතින් ධනවාදය රැගෙන පැමිණියේ යැයි මීට ඉහතදී සඳහන් කළේ එයයි.

මෙහිදී උරුගුවේ සති අන්ත ප්‍රකාශනයක් වන මාර්ච පුවත්පතේ කතුවරයා වන කර්ලොස් කියුජානෝ වෙත චේ ගෙවාරා විසින් යැවූ ලිපිය " ෆ්‍රොම් ඇල්ජීරියා , ෆොර් මර්ච, ද කියුබන් රිවොලුෂන් ටුඩේ" නමැති ශීර්ෂය යටතේ 1965 මාර්තු 12 වැනිදින ප්‍රසිද්ධ කරනු ලැබූ ලිපියේ කොටසක් උපුටා දැක්වීම කාලෝචිත යැයි සිතේ, චේ එහීදී මෙලෙස සඳහන් කළේය, " අපි සමාජවාදීන් නිසා අපි නිදහස්. අපි තව තවත් සම්පූර්ණයි මන්ද අපි නිදහස් නිසා. සම්පූර්ණ නිදහසක් උදෙසා වූ ඇටසැකිල්ල මේ වන විටත් තනා අවසන්. ඊට අවශ්‍ය මාංශ සහ ඇඳුම් පමණක් සම්පූරණ විය යුතුයි. එයත් අපි නිර්මාණය කරාවි. අපේ නිදහසට සහ එහි දෛනික පැවැත්මට රුධිරයෙන් පවා කැපකිරීම් කරන්නෙමු. අපේ කැපකිරීම් සවිඥානක එකක් වන අතර නිදහස නමැති ගොඩනැගිල්ලට ගෙවූ කැපකිරීමේ කොටසක් වන්නේ එයයි. මාවත බොහෝ දුරය, එහි කොටසක් නොදන්නේය. අපි අපේ සීමාව හදුනා ගෙන ඇත්තෙමු. අපි අපිවම 21 වැනි සියවසට උචිත මිනිසුන් නිර්මාණය කරන්නෙමු. අපි අපේ දිනපතා කටයුතු වලින් නව තාක්ෂණය සමඟ මුසු වූ මිනිසුන් සේම සත්‍රීන් නිර්මාණය කිරීමට දායක වන්නෙමු."

එසේම චේ ගෙවාරා, " අපේක්ෂාවන් සහ අභිලාෂයන් ජය ගැනීමට ආත්මීය වශයෙන් අපේ මාවත සකස් කරගැනීම සදහා එකිනෙකා තනි තනිව විශාල කාර්ය භාර්යක් සිදු කළේය. පක්ෂයේ මාවත නිර්මාණය කිරීමට දායක වන බලඇණිය එහි සිටින හොඳම කොටස වේ," යැයි සඳහන් කළේය. ජවිපෙ මුහුණ දී සිටින ප්‍රබල බෙදීමේ ඇති ගැඹුර තේරුම් ගැනීමට මෙයම ප්‍රමාණවත් වේ.

අදාළ අර්බුදය සම්බන්දයෙන් මාගේ මෙම කෙටි විමසුම අවසන් කිරීම සඳහා ජෝශප් ස්ටාලින් ගේ සමයේදී සෝවියට් සංගමයේ ජිවත් වූ ජනතාව මුහුණ දුන් අතිශය දරුණු තත්වය ගැන ඇලෙක්සැන්ඩර් අයි. සොල්සේනිට්සින් ලියු " ද ගුලක් ආචිපෙලගෝ" කෘතියෙහි එකළ පැවති සමාජ තත්වය විස්තර කරන ආකාරය උපුටා දැක්වීම සිදු යැයි සිතේ. ඔහු සඳහන් කරන ආකාරයට, " ඒ මහා අපායන් වගේ තිබුණු කඳවුරු වල අල්ලාගෙන ආව උන් පිලිස්සු හැටි සිතනවිට, සෝවියට් මෙහයුම් වල කටුක ඇත්ත වැටහේ. අත් අඩංගුවට පත්වන අයෙකු නැවත තම නිවසට පැමිණීම කිසිවෙකුට විශ්වාස කිරීමට නොහැකි නිසා ඔහු එම අවස්ථාවේදීම තම පවුලට "ආයුබෝවන්" කියා යුතුව තිබුණි. විශේෂයෙන්ම ලේනින්ග්රෑන්ඩ් වැනි ප්‍රදේශ වල එනම් මුළු නගරයෙන් හතරෙන් එකක් අත්අඩංගුවට ගනිමින් සිදු කළ මහා පරිමාණ අත්අඩංගුවට ගැනීම් වලින් පසුව දුසිම් ගණන් මිනිසුන්, ඔවුන්ගේම අතේ තිබුණ කුමන හෝ ආයුධයකින් මරා දමනු ලැබුවේ දැයි සිතේ. සැබවින්ම නිලධාරීන් ප්‍රමාණය සහ ප්‍රවාහන පහසුකම් වල තිබු දුෂ්කර තත්වය නිසා මේ ශාපය අඩුවීමට ඉඩ තිබුනත් ඒ සියල්ලටම සරිලන ලෙස ස්ටාන්ගේ ලේ පිපාසය තිබුණි. අපි..නිදහසට සැබෑ ලෙස ආදරය කළේ නැත්නම් අපට අප වට සිදුවන සත්‍ය තත්වය පිලිබඳව සහ ඉන් පසුව ඇති වන දෑ ගැන තැකීමක් ඇතිවන්නේ නැත." ( උපුටා ගැනීම - ද ගුලක් ආචිපෙලගෝ)

සැබවින්ම ලංකාවේ සිදුවන්නේ ඒ හා සමාන තත්වයකි. පිළිගත් මුලිකාංග වලින් සමස්ත රටේ විහුහය වෙනතකට තල්ලු කොට එය ඉතා සුළු පිරිසක් විසින් මෙහෙයවන තත්වයට තල්ලු වී තිබේ. සහයෝගීතාවය සහ එකඟතාවය වෙනුවට අභිමතය නීතිය බවට පත් වී තිබේ. මේ තත්වය තුළ තව දුරටත් අපේක්ෂා කළ හැක්කේ සමාජයේ සිදුවන බෙදීම් මිස එකමුතු කම් නොවේ. මානවයාට බහුතර ජනතාවගේ සාදාරන කැමැත්ත මත සම්මත කරගත් නීතයක් අවශ්‍ය වූයේ එය තනි පුද්ගලයෙකුට හෝ කුඩා කණ්ඩායමකට කිරීමට නොහැකි බව උදාහරන හෙවත් නීරස අද්දැකීම් සමග තේරුම් ගැනීමෙන් පසුවය. නමුත් ලංකාව යලිත් ශිෂ්ටාචාරයේ මුල් අවධියට ගමන් කරමින් නුතන ලෝකයෙන් හුදෙකලා වී ගොඩ ඒමට යන්ත දැරීම තුළ ඇත්තේ ඉතා සුළු පිරිසකගේ දිගු කාලින පැවැත්ම තහවුරු කර ගැනීම මිස රටේ පවතින සැබෑ ගැටලූ විසඳීම නොවේ. නමුත් අප වටා නිර්මානය කර ඇති සිහිනය විසින් මෙම කටුක ඇත්ත තේරුම් ගැනීමට ඇති ඉඩ අහුරුවා ඇති අතර ඒ වෙනුවට පාලකයාගේ විෂයන් බවට සමස්ථ සමාජය පත්වී සිටිති. ජවිපෙ තේරුම් ගත යුතු සැබෑ යථාර්තය සහ ඒ වෙනුවෙන් කළ යුතු වඩාත් බුද්ධිගෝචර වැඩපිළිවෙල සැබෑ වමක් සෙවීමද එසේ නොවේනම් බිඳ වැටී ඇති නිතීයේ අධිපතය යලි ඇතිකිරීම වෙනුවන් පෙනී සිටීමද යන්න තීරණය කිරීම සමස්ත රටටම වැදගත් වේ. එය පක්ෂයක් හැටියටද ජනතාවක් හැටියට ලංකා ඉතිහාසය තුළ ලබන සැබෑ ප්‍රගමනයකි.

Tell a Friend