කතු වැකිය: ගඩාෆි ඝාතනය ගැන රාජපක්ෂ පරීක්ෂණයක් ඉල්ලයි!


මෙය කදිමය! මීට ස්වල්ප වෙලාවකට ප්‍රථම ලංකා ආණ්ඩුවේ විදේශ අමාත්‍යංශයෙන් ලැබුණු නිවේදනයට අනුව ලිබියාවේ ජනාධිපති මෝහම්මර් ගඩාෆි ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව සඳහන් කොට ඇත. එක වාක්‍යකින් පමණක් ලියා අදාළ මාධ්‍ය නිවේදනයට අනුව ගඩාෆි භාර වීමෙන් පසු ඝාතනයට ලක් වූ බව සඳහන් කරන ලංකා ආණ්ඩුව පරීක්ෂණයක් ඉල්ලා සිටියි. එය ඉතා වැදගත් කතාවකි. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන වලට පසු ගඩාෆි මහතාගේ අයිතිය වෙනුවෙන් කතා කරන පළමු පෙලේ ආණ්ඩුවක් ලෙස රාජපක්ෂ යටතේ පාලනය වන ලංකා ආණ්ඩුව සැලකිය හැකිය.

වැඩි දුර යායුත්තේ නැත ලංකා ආණ්ඩුව ගඩාෆි ඝාතනයට පෙර පරීක්ෂණ කළ යුත්තේ පසුගිය වසර ගණනාවක් පුරාම භාරවීමෙන් පසු ඝාතනය කර දැමූ අයවලුන් කෙරෙහිය. ඒවා සියල්ල සඟවා තබමින් ගඩාෆි ඝාතනය ගැන පරීක්ෂණ ඉල්ලා සිටීම කිසිඳු වැඩකට නැති කටයුත්තක් සේම හාස්‍ය ජනක කාරණයකි. තමන්ගේම ජනතාවට පහරදී, බලහත් කාරයෙන් පැහැරගෙන ගොස් මරා දැමුවා මෙන්ම තමන් වෙතට භාර වූ විශාල පිරිසක් කිසිඳු වග විභාගයක් නොමැතිව ඝාතනය කොට ඇත. 71, 88-89 මෙන්ම කොටි සංවිධානය සක්‍රීයව පැවති කාල වකවානු තුළදී මෙවැනි මට්ටමේ ඝාතන රැසක් සිදු විය. ලංකා රජයේ සේවය කළ පොලිස් නිධාරීන් සිය ගණනක් භාරවීමෙන් පසු මර දැමු ඝාතකයෙකු අද වන විට ලංකා ආණ්ඩුවේ අමාත්‍ය වරයෙකි පාලක පක්ෂයේ උප සභාපති වරයාය. එසේම කොටි සංවිධානය විසින් සිදු කළ ඝාතන රැසකට ඍජුව වග කිව යුතු එහි ජාත්‍යන්තර සම්බන්ධතා මෙහෙය වූ ය ආරක්ෂක ලේඛම් වරයා සමඟ ඇති කරගත් මිත්‍රත්වය නිසා කිසිඳු වග විභාගයකට ලක් නොකරන්නේය. එපමණක් නොව පසුගිය සතියේදී ආරක්ෂක ලේඛම් වරයාගේ මිත්‍රයකු සහ මෙරට හෙරොයින් ජාවාරමේ එක ප්‍රධානියෙකු වන දුමින්ද සිල්වා විසින් ඝතනය කරනු ලැබූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ ගැන මෙරට ආරක්ෂක ප්‍රකාශයෙකු වන ලක්ෂමන් හුළුගල්ල නැමති අය විසින් අදාළ ඝාතකයා කිසිම අකාරයකින් වැරදි කරුවෙකු වන බවට සාක්ෂි නොමැති බව පැවසීමට තරම් පෙළඹුනහ. ජවිපෙ නායක විජේවීර, කොටි සංවිධානයේ ප්‍රධාන පෙලේ නායකයින් ඇතුළු විශාල පිරිසක් ඝාතනයට ලක් වූයේ භාරවීමෙන් පසුය. ඒ සියල්ලම යුධ අපරාධය. මේ කිසිවක් ගැන ලංකා ආණ්ඩුව කිසිම ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට වැරදිකරුවන්ට දඬුවම් ලබා දී නැත.

එසේම ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ කලී කිසිඳු වගතුවක් නැතුව සිදුවන මිනීමැරීම් වලින් කොටසක් පමණි. එබැවින් රාජපක්ෂ ආණ්ඩුව ලිබියාවේ අන්තවාර ජාතික කවුන්සලයෙන් එහි නායක ගඩාෆි ඝාතනය කළ අකාරය පරීක්ෂණ වාර්තා ඉල්ලීමට පෙර සිදු කළ යුත්තේ තමන්ගේ නොමනා එපාකම් ඉටු කර ගැනීම සඳහා මරා දැමුණු දහස් ගණනක් වූ ජීවිත ගැන පරීක්ෂණ සිදු කිරීමය. අවුල ඇත්තේ සාටකය රතු පැහැ නිසා ලේ ගෑවුනු පසු නොපෙනීමද? එසේ නැතහොත් ලිබියාවේ ගඩාෆි සමග තිබු හොර ගනුදෙනු වලින් ඉපයු පුදගලික ලාභය නැති වී යාම දරා ගත නොහැකි වීමද?


Tell a Friend