ළමා පරපුරේ අමරණීය වූ වීරයා : ටයි මහත්තයා

| නදීෂානි පි‍්‍රයංගිකා

ඔහු සිනමා වංශ කතාන්දරයට එක් වූයේ මොහොතින් මොහොත අලුත්වන මිනිසකු ලෙසිනි. අලුත් හැඟුම් පැතුම් සමගින්, අලුත් ඇසකින්, නවමු කවුළුවකින් ලොව දෙස බලන්නට ඔහුට අවැසි විය. ගතානුගතිකත්වය වූ කලී නොනැවතී ගලා යන දිය පහරක් වී නම්, ඔහුගේ සිත් හසර ඊට මඟ අහුරන ගිරි කුළක් වැනි විය. එහෙත්, ඔහුගේ සිත සැබෑවටම ගිරි කුළක් නම් නොවිණි. එය ඈත දුර අහසේ පාවෙන පුළුන් වළා කැටියකට වඩා මුදු විය. සැහැල්ලු විය. ළපල්ලක් ළපොල් මැල්ලක් වැනි විය. ඔහු ළඳරු සිත හොඳින් හඳුනා ගත්තේ එහෙයිනි.

“මම තවමත් පුංචි ළමයකු විදිහටයි හැගෙන්නේ. වයසින් මුහුකුරා ගියත් මම තවමත් මගේ ළමා වයස දෑතින් බදා ගන්නවා. කයින් වැඩිහිටියකු වූ මම සිතින් පුංචි ළමයෙක්.”

මේ වනාහී දශක ද්විත්වයකට ඔබ්බෙහිදී ඔහු කියූ කියමනකි.

කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ......

අපි මයි අපිමයි දැන් ලොක්කෝ.. යැයි වරක් “හඳයා” චිත්‍රපටිය තුළින් ළමා මනසට ආමන්ත්‍රණය කළ ඔහු ගලිවරයන්, දිය රකුස්, චව් චව්, බගලවතී ඉස්කෝලේ හාමිනේ, පිස්සු පූසා ව ඔවුනගේ ලෝකයට සමීප කර වූයේය.

මේ අටුවා ටීකා නොපැවසුවද, දශක ගණනකින් නිර්මාණයක් නොකළ ද මේ කතානායකයාණෝ අප කවුරුත් හොඳින් හඳුනමු. ඒ ආදරණීය ‘ටයි මාමා, ටයි මහත්තයා, නැත්නම් ටයිටස් තොටවත්තයන්’ ලෙසිනි. ළමා ලොවක් සැනසු ඔහු අද ළමා ලොවද සොඳුරු රසික සිත් ද හඬවමින් අඳුරු නිමේෂයකදී අප අතරින් වෙන්විණි. ඒ පසුගිය ශනිදාය.

1929 අප්‍රේල් 19 දා කොළඹ බොරැල්ලේ විසූ ටී. ජී. එම්. ජුලියස් ද සිල්වා සහ සිසිලියා හෙට්ටිආරච්චි ට දාව සිව්වන දරුවා ලෙසින් මෙලොව එළිය දුටු හේ නමින් තොටවත්තගේ දොන් මනුවෙල් ටයිටස් ද සිල්වා නම් විය. එවකට ශ්‍රී ලංකාවේ කතා නාද සිනමාවක් බිහි වී නොතිබුණු මුත්, දරුවා උපන් මොහොතේ නාඩි වාක්‍යය ප්‍රගුණ කළ දෛවඥයකු කියා ඇත්තේ, “මේ ළමයා ලොකු වුණාම පින්තූර කතා කරනවා” යනුවෙනි. එහෙත් එදා කියූ නාඩි වාක්‍යය සැබෑ කරමින් ටයිටස් තොටවත්ත නම් වූ අදියුරුවන් සකසුවන් ලාංකේය කලා නිර්මාණයන්හී නොමැකෙන නමක් සනිටුහන් කළේය.

කුඩා කළ ඔහු කිසි විටක දඟකාරයකු නම් නොවූණේය. ඔහුගේ සිත ඇදී ගියේ අපූරු දේවල්වලටය. දෙමළ, හින්දි චිත්‍රපට නැරඹීමට පි‍්‍රයතාවයක් දැක්වූ ඔහු සෙලෝලයිඩ් පටයෙන් කරනු ලබන විජ්ජාවල් පිළිබඳව වරින් වර සිතන්නට විය. මවුපියන් ව්‍යාපාරිකයින් වූ නිසාවෙන් නගරය හැර ගමට යන්නට ඔහුට ලැබුණේ වසරකට වරක් හෝ දෙවරකි. ඒ තාත්තාගේ ගම වූ පයාගලටය.

ඒ නිසාවෙන්දෝ ඔහු ගමේ ක්‍රීඩා දන්නේ අල්ප වශයෙනි. නගරයේ ට්‍රෑම් කාර්, ඔහුට හොඳින් හුරුපුරුදුය. ජනාකීර්ණ බවෙන් මිදෙන්නට ඔහුගේ සිතට අවැසි විය. කොළඹ ආනන්දයේ අධ්‍යාපනය ලබන කාලයේදී එහි කලා උළෙලවල්වලට වරින් වර ඔහු නාට්‍ය නිර්මාණ ඉදිරිපත් කළේ ය.

ඔහුගේ ළමා ලෝකයෙහි සැරිසැරුවේ ගිරව්, හාවෝ, වැනි සුරතල් සතුන් ය. තොටවත්තයන් මේ අපූරු යාළුවන්ට පෙම් බැන්දේය. වෙසක් කාලයට ජාතක කතාවන්හී විවිධ චරිත කාඩ්බෝඩ් චිත්‍රයට නගා හෝ කඩදාසි නිර්මාණ කළ ඔහු සිය ගමන් මඟට මුල් අත්පොත් තබන්නේ එතැනිනි.

කුමාරතුංග මුනිදාසයන් ප්‍රකාශ කළ පරිදි ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නො නගී’ යන්නට අරුත් ගැන් වූ ඔහු එකකට නොව බොහෝ දෑට දක්‍ෂ විය. බොහෝ දෑ උගත්තේය.

සිප්සතර කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරූ ඔහු ඒ අතරතුර මරදාන තාක්ෂණික විද්‍යාලයෙන් කැමරාකරණය උගත්තේය. හේවුඩ් ආයතනයෙන් චිත්‍ර හා මූර්තිත්, ජේ. ඩී. ඒ. පෙරේරා ගෙන් තෙල් සායම් කලාවත්, ස්ටැන්ලි අබේසිංහයන්ගෙන් පැස්ටල් චිත්‍ර කලාවත්, ශේෂා පලිහක්කාරගේ “සරඳපානී” කලා ආයතනයෙන් නර්තනයත් ආදී වූ විවිධ කලාවන් සිය මනස ට එක්කර ගත්තේ ය.

ඔහුගේ දිවි මඟ වෙනස් කළේ අහම්බෙන් දුටු පුවත්පත් දැන්වීමකි. සෙලෝලයිඩ් පටයේ විජ්ජාවන්ට වශී වූ ඔහුට එය ඇරයුමක් වැනි විය. රජයේ චිත්‍රපට අංශයට පුහුණුවන ආධුනික කාර්මිකයන් ඉල්ලා තිබූ ඒ දැන්වීමට ඔහුගේ සිත තදින්ම ඇඳී ගියේය. එහෙත් මේ වන විට ඔහු සිටියේ අධ්‍යාපනයේ කඩඉමක් ආසන්නයේය.

ඒ සරසවි පිවිසුමයි. ඉගෙනුම හැරදා රැකියාවකට යන්නට මවුපියන්ගෙන් කිසිදු අවසරයක් නොලැබෙන බව වටහා ගත් ඔහු පාසල් ගමන කැප කර රජයේ චිත්‍රපට අංශයේ පුහුණුවන්නට ගියේ පාසල් යන මුවාවෙනි. දීමනාවක් ලෙස ඔහුට ලැබුණේ රුපියල් 150/- කි. සනත් ලියනගේ, ටී. කමූර්, දයා ප්‍රනාන්දු වැනි සිය සඟයන් අතරේ ඔහු කැපී පෙනෙන අයකු විය. කැමරාකරණය, සංස්කරණය, රසායනාගාර කටයුතු පිටපත් මුද්‍රණය ඔහු උගත්තේ එතැනිනි.

චලන රූප මහා අත්භූත දෙයක් යැයි වරක් ඔහු ප්‍රකාශ කළේ ද එහි ඇතුළත බොහෝ දෑ ඔහු දත් හෙයිනි. 1953 වසරේදී විත්ති කතා චිත්‍රපට සංස්කරණය කරමින් සිනමා ලොවට ප්‍රවේශ වූ හෙතෙම, ඒ ඇරැඹුයේ දිගු ගමනක මුලාරම්භයයි. ඒ කාර්තිව් දූපතේ ධීවර මිනිස්සු නම් වූ විත්ති කතා චිත්‍රපටයෙනි. මෙය සංස්කරණය කළ ඔහුගේ ජීවිතයට තවත් අපූර්ව පුද්ගලයකු මුණගැසේ. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් ය. සංස්කරණයේ කිසියම් වූ අපූර්වත්වයක් ඔහුගෙන් දුටු ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීහු ඔහුගේ විත්ති කතා චිත්‍රපට සංස්කරණ සඳහා ටයිටස් තොටවත්තයන්ව තෝරා ගති.

ඒ අනුව ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ ඛ්ධදඳභඥඵබ ඪද බඩඥ ච්පර ඛධදඥ චිත්‍රපට සංස්කරණ කළ ඔහු වැනිස් චිත්‍රපට උළෙලේ ඩිප්ලෝමා සහතිකයකට හිමිකම් කියුවේය. ඉන් අනතුරුව 1955 වසරේදී ඕඥ ඉචබඥ ධප ඡඥ ඵධපපර චිත්‍රපටය තුළින් ද ඔහුගේ අපූර්ව සංස්කරණ හැකියාව හෙළි විණි.

කලක් රජයේ චිත්‍රපට අංශයේ සේවය කළ ඔහුට, වරින් වර සෘණාත්මක ආකල්ප ඒ කෙරෙහි ඇතිවිණි. ඒ යුගය වනවිට ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ රේඛාවට සංස්කරණ සහාය ලබාදෙමින් සිටි වකවානුවකි. සියල්ල එසේ තිබියදී ලෙස්ටර්, ටයිටස් හා විලී බ්ලේක් සුසංයෝගය රජයේ චිත්‍රපට සංස්ථාවෙන් ඉවත්වේ. ඒ 1955 සැප්තැම්බර් මස 1 වන දාය.

තවදුරටත් අධ්‍යාපනය ලබන්නට සිතාගත් හෙතෙම 1957 වසරේදී විදේශ ගත වේ. යළිඳු 1958 වසරේදී මව්බිමට පැමිණෙන ඔහුගේ ජීවිතයට තවත් අරුණාලෝකයක් එක්වේ. ඒ සුජාතා ප්‍රනාන්දු නම් වූ සිය ජීවිත ගමනේ සෙවනැල්ල හා එක්වීමයි.

එවකට ශ්‍රී ලාංකේය සිනමාව තුළ මුල් බැසගෙන තිබුණේ දකුණු ඉන්දීය සිනමා ශෛලියය. මුල් යුගයේදී දේශීය සිනමාව ඉන් මුදවා ගන දේශීය මුහුණුවරක් ඊට ලබාදීමට ටයිටස් තොටවත්තයන් හා සඟයින් ඉටු කළ මෙහෙවර නොවන්නට අද අපට සිංහල සිනමාවක් ගැන කතා කරන්නට හෝ නොහැකිවන බව විද්වත් මතයකි.

සිනමා නිර්මාණයක අර්ථයක සමඟ සහගමනයේ යන රිද්මය තීරණය වනුයේ සංස්කරණ ශිල්පියාගේ නිර්මාණාත්මක හැකියාව මත බැව් ටයිටස් මුල්වරට මෙරටට හඳුන්වා දුනි. හේ සංස්කරණය වනා හී හුදු තාක්ෂණික විප්ලවයක් පමණක් නොවන බැව් හොඳින් දැන සිටි සකසුවෙකි. 60 දශකයේ මුල් භාගයේදී “සෙරන්ඩිබ්” සමාගමේ චිත්‍රපටවල ප්‍රමුඛ සංස්කරණ ශිල්පියා වූ හෙතෙම ‘රන්මුතු දූව‘ චිත්‍රපටයේ ජනපි‍්‍රයත්වයට වෙසෙසින්ම දායක වූවකි.

බටහිර පන්නයේ හෝ පෙරදිග ක්‍රියාදාම ඒජබඪධද හා ත්‍රාසජනක ඊඩපඪතතඥප චිත්‍රපට සංස්කරණයේදී ශ්‍රී ලාංකිකයින්ට සිටි හොඳම සකසු වූයේ ටයිටස් තොටවත්තයන්ය. කවර චිත්‍රපටයකදී වුවද සංස්කරණයේදී ඔහු සතු වූ දේශජ ගතිකත්වය කැපී පෙනිණ. පෙර අපර දෙදිග සිනමාවේ නා නා විධ වූ ආභාෂයන්, අනුප්‍රාණයන් මැද වුවද, ඔහු හෙළ දෙස බස රැසට ගරු කළ අදීන අනන්‍යතාවයකින් හෙබි දේශීය කලාකරුවකු ලෙස ඉස්මතු වූයේ එබැවිනි.

සංස්කරණයට එක් වූ මුල් කාලයේදී ටයිටස් සිල්වා ලෙස ඔහු තමාව හඳුන්වා ගති. 1956 වර්ෂයට පෙර හා ඊට සමීප කාලය තුළ පෙනී සිටි ටයිටස් සිල්වාත්, ඉන් ඉක්බිති දශක ගණනක් තුළදී අප හඳුනාගත් ටයිටස් තොටවත්තත් අතර ඇත්තේ විද්වත් මත අනුව සාදෘශ්‍ය ලක්‍ෂණවලට වඩා විශදෘෂ ලක්‍ෂණයන් ය.

වරක් ඔහුව, ඉන්දීය සිනමාකරු සුක් දේව් ට තවකෙක් සේ යැයි සමාන කළේ එහෙයිනි. ථචදර ථඪතඥඵ බධ ඨධ ඕඥටධපඥ රධභ ඵතඥඥන වැනි චිත්‍රපට තුළ සුක් දේව් හා තොටවත්තයන් අතර පිටස්තර ලක්‍ෂණ දක්නට ලැබෙන බැව් ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීහු ද ප්‍රකාශ කර තිබේ.

“චණ්ඩියා”, “සිහසුන”, “හාරලක්සෙ”, සහ “මරුවා සමඟ වාසේ” චිත්‍රපටවල තේමාවල මෙන්ම හඳයා චිත්‍රපටයේ පැන්ෂන් කාරයාගේ චරිතය, “චණ්ඩියා” චිත්‍රපටයේ පප්පා මහත්තයා, චරිතවලද වෙනත් බොහෝ තැන්හී ද එකී ලක්‍ෂණය ගම්‍යමාන වේ.

සැබෑ තොටවත්තයන් කතා කරන්නේ මේ සුළු චරිත තුළින් යැයි කෙනෙකුට සිතෙන්නේ එබැවිනි. ඔහු ළමා ලොවට ආමන්ත්‍රණ කළේ ළමා සිත් සනසාළමිනි. එතෙක් කලක් ඉතා සීමිත පිරිසකට පමණක් සීමා වූ විදේශීය කාටූන් චිත්‍රපට, දේශීය ආරට අනුව හඬ කවා සිංහල ප්‍රේක්‍ෂකයා අතරට ගෙන ඒමෙහිලා ඔහුට සියල්ලන්ගේ කෘතඥතාවය හිමි වූ වාර අනන්තය.

1980දී හොඳම චිත්‍රපටය සඳහා ට්පචදඤ ර්‍ථපඪය සම්මානය, 1990 දි කලා ශූරී ගෞරව සම්මානය, 1993 දී උන්ඩා විශේෂ සම්මානය, 1995 දී රණ තිසර, 1996 දි විශ්ව ප්‍රසාදිනී, 1997 දී ජනපති පුරෝගාමි සම්මානය, 1998 දී ජපන් රජයෙන් පිරිනමන බුන්කා සම්මානය, 2000 දී ජනපති සිනමා සම්මානය, විශිෂ්ඨ රටවැසියන් උදෙසා පිරිනමනු ලබන සිංහ සම්මානයෙන් ද පිදුම් ලැබූ තොටවත්තයන් හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් දස දෙනා සඳහා පිරිනමනු ලබන විචාරක සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

තොටවත්තගේ දොන් මනුවෙල් ටයිටස් ද සිල්වා නම් වූ ඔහු එක් අතකින් ශ්‍රී ලාංකේය සිනමාවේ එදා මෙදා පහළ වූ උසස් සිනමාකරුවන් අල්ප දෙනාගෙන් කෙනෙකි. අනෙක් අතින් ඔහු සිනමාව, රූපවාහිනිය යන ද්වි මාධ්‍යයන්හි පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා වූද, කෘතහස්ත කලාකරුවෙකි.

සල රූ, ටෙලි රූ අධ්‍යක්‍ෂවරයකු, සංස්කරණ, ශිල්පියකු, ශබ්ද පරිපාලකයකු, නළුවකු, රසායනාගාර පාලකයකු, සහාය අධ්‍යක්‍ෂවරයකු, නර්තන, චිත්‍ර, මුර්ති ශිල්පියකු කලා අධ්‍යක්‍ෂවරයකු, කතා, දෙබස් හා තිරනාටක රචකයකු, හඬ කැවීම්, සැකිලි රූ, අත් රූ මෙහෙයවන්නකු ලෙස විවිධ ප්‍රතිභාවන් පෙන්වූ ඔහු, ප්‍රගල්භ චින්තනයකින් හෙබි සොඳුරු මානව හිතවාදියෙකි. විප්ලවවාදියෙකි. අභිනව පරපුරකට මග කියාදුන් කලාකරුවෙකි. දෙස බස රැසට ගරු කළ දේශප්‍රේමියෙකි. ළමා පරපුරේ අමරණීය වීරයෙකි.

නිවී ගිය මුත් කලා කෙතේ එක් පහන් තරුවක්, “ටයිටස් තොටවත්ත” නම් වූ නාමය රසික සිත් හී සදා කල් තරුවක් මෙන් බැබලෙනු නොඅනුමාන ය.

අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට:-

චණ්ඩියා

කවුද හරි

තෙවත - (අහළ පහළ, ගිලිහුණු මල්, පික්චර් පිස්සා)

හාර ලක්සෙ

සිහසුන

නාන්ගු

ලෙච්චමී

සාගරිකා

මංගලා

මරුවා සමඟ වාසේ

හඳයා

විත්ති කතා චිත්‍රපට:-

රැක්ම

මඟ හොඳට පෙනේ නම්

අත හිත

වනයේ මහිම

විදුලිය පිරිමැස්ම

දැනුම වැඩුම

ගිරිහඬු සෑ පුවත

ද සංස්කරණය කළ වෘතාන්ත චිත්‍රපට:-

රේඛාව

සංදේශය

දස්කොන්

රන්මුතුදූව

ගැටවරයෝ

ධීවරයෝ

චණ්ඩියා

සාරවිට

සැනසුම කොතැනද

පරසතු මල්

ඔබ දුටුදා

කවුද හරි

පුංචි බබා

හන්තානේ කතාව

බඩුත් එක්ක හොරු

ළමා ලොවට:-

දොස්තර හොඳ හිත

පිස්සු පූසා

ගලිවරයන්ගේ සුවිසැරිය

සූටි බූට් පූසා

ඇලඩින් සහ පුදුම පහන

නරි වාදම්

ඕං රීං කට්ටු කට්ටු

බෑ කියන්න බෑ

ළා තණකොළ පෙත්තා

උප සිරැසි හා හඬකැවීම්:-

රොබින් හුඩ්

ඔෂින්

මල්ගුඩි දවසැ

සිටුවර මොන්ත ක්‍රිස්ටෝ

මනුතාපය

වෙනත් නිර්මාණ:-

රන් කහවනු

හිරු නොසැලී සිටියේය

වැටත් නියරත්

කොරයා සහ අන්ධයා

මනෝ පුබ්බංග මා ධම්මා

හැලී ධූම කේතුව

සැලෙන ලෙළෙන

Did you die in vain



Tell a Friend