ආයෙත් ගල්කටස් යුගයක් ?



l සමන්ත කෝනාර

නොබෝදා චේ ගුවේරා සමරු උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ පැවසූ බව පුවත්පත් වාර්තා කරයි.

"අද මෙහෙත් බිහිවෙලා ඉන්නවා පුදුම විප්ලවවාදියෝ ටිකක්. විප්ලවවාදීන් පුංචි කොල්ල කල්ලියක් වගෙයි. අනුන්ගේ පොත්වලට තමන්ගෙ නම ලියාගෙන. ඔහොම විප්ලවවාදියෝ ගොඩක් ඉන්නවා. විප්ලවවාදී ව්‍යාපාරවල ඉන්න එවැනි ද්‍රෝහීන්ට සමාව දුන්නෑ විප්ලවීය යුතුකම ඉටුකලා. විප්ලවවාදී ව්‍යාපාරය පාවාදුන්නාම, ද්‍රෝහී උනාම ඒ අයට දඩුවම් දුන්නා. චේ ද්‍රෝහීන්ට දිය යුතු නිසි දඩුවම දුන්නා. අපේ පක්ෂෙත් එහෙමෙයි පක්ෂය පාවාදුන්නවුන්ට, ද්‍රෝහීන්ට සමාව දෙන්නෑ. නිසි දඩුවම දෙනවා. චේ මග යමින් අපි කටයුතු කරණවා ජනතා විමුක්ති පෙරමුණ පාවාදුන් ද්‍රෝහීන්ට කිසිදාක සමාවදෙන්නෑ. "

බොහෝ රැඩිකල් දේශපාලන පක්ෂවල ක්‍රියාධරයන් , වසර ගණන් කැපවී ක්‍රියා කල සාමාජිකයන් ද්‍රෝහියන් වීමට යන්නේ මොහොතකි. මෙය අන්තවාදී දේශපාලන ක්‍රියාදාමයේ එක කොටසක් බව ඇමරිකානු දේශපාලන මහාචාර්යවරයෙක් පවසා ඇත. ද්‍රෝහියන් ප්‍රතිගාමීන් වශයෙන් ලේබල් කිරීම එවැනි ලේබල් කිරීමේ නිර්ණායක ගැන පැහැදිලි ස්වභාවයක් නැත. විනිවිද ස්වභාවයක් නැත. පුද්ගල ඝාතනය තම දේශපාලන පක්ෂයේ අංගයක් බවට පත් කරගෙන සිටියේ LTTE සහ ජවිපෙ ය. ජවිපෙ මිනිසුන් මරා දැම්මේ ජනතාව ද්‍රෝහීන්ට දඬුවම් දෙනවා කියමින් පක්ෂයේ මතුපිටින් දේශපාලනය කියවූ කිරිකජු කොල්ලෙකුට ගල්කටස් එකක් අතට දී අරූට කොකා ගස්සපන් කීම හෝ පාතාලයට කොන්ත්‍රාත් එකක් දීම (උදාහරණ දයා පතිරණ ඝාතනය) මගිනි.

ටිල්වින් සිල්වා මහතා පවසන ලෙසට ද්‍රෝහීන්ට කිසිදාක සමාවදෙන්නෑ නිසි දඩුවම දෙනවා. "යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත . එනම් 88-89 කාලයේ මෙන් නන්දන මාරසිංහ වැනි ක්‍රියාධරයන්ට ද්‍රෝහී ලේබල් ගසා මරා දැමීමද යන්න ප්‍රශ්නාර්ථයකි. අර්බුධ මතු වී ඇති ජවිපෙ අභ්‍යන්තර ගැටළු අවිහිංසා සහ ප්‍රජාතාන්ත්‍රික මාර්ගයෙන් විසඳා ගත යුතුය. 

ජවිපෙ වත්මන් අර්බුධය හමුවේ යලිත් වරක් මිලේච්ච ගල්කටස් යුගයකට ලංකාව ගෙන නොයනු ඇතැයි ද නොමේරු ලාමක කොල්ලන් ධනපති දංගෙඩියට 71, 88 දී මෙන් නොදක්වනු ඇති ද සාමය අවිහිංසාව ලැදි ජනතාව උදෙක්ම බලාපොරොත්තු වේ.


Tell a Friend