ඊශ්‍රාලය - පලස්තීන අර්බුදය : සාමයක් නැති සහනයක් නැති සහයෝගය


l කිෂානි වැලිවිටිගොඩ 

පසුගිය මාස කිහිපය පුරා පලස්තීන අධිකාරියේ නායකයා සේම පලස්තීන් විමුක්ති සංවිධානයේ නායකයා මොහොමඩ් අබ්බාස් විසින් තම ග්‍රහණයට නතු කොට ගෙන සිටි පලස්තීන අර්බුධයට විසඳුම් සෙවීමේ වැඩපිළිවෙල එක් තනි සිදුවීමක් මඟින් තම ග්‍රහණයට නතු කොට ගැනීමට හමාස් සංවිධානය පසුගිය සතියේදී සමත් විය. ඒ අනුව තම සංවිධානය විසින් 2006 ජුනි මාසයේදී අල්ලා ගනු ලැබූ ගිලාඩ් ශාලිඩ් නැවත ඊශ්‍රායලයට භාරදීමට මෙන්ම ඒ වෙනුවට ඊශ්‍රාලය භාරයේ සිටින පලස්තීන සිරකරුවන් දාහකට වැඩි පිරිසක් පියවර දෙකක් ඔස්සේ නිදහස් කිරීමට දෙපාර්ශවය අතර සිදු කෙරුණු සාකච්චා සාර්ථක වුහ. එම සාකච්චා වල ඉතා තීරණාත්මක දිනය වන්නේ අදයි(ඔක්තෝම්බර් 18). දෙපාර්ශවයේ සාමය සඳහා වන වැඩපිලිවෙලේ නවමු පියවරක් ලෙස මේ වන විට දෙපාර්ශවය විසින්ම තම තමන් භාරයේ සිටි සිරකරුවන් හුවමාරු කර ගැනීම ආරම්භ කොට ඇත. රෆාහ් දේශසීමාවට රැගෙන එනු ලැබූ වසර පහකට අධික කාලයක් තමන් භාරයේ සිටි ශාලිඩ් ඊජිප්තු මැදිහත් කරුවන් ඔස්සේ ඊශ්‍රායල බලධාරීන්ට මීට ස්වල්ප වෙලාවකට පෙර භාර දෙනු ලැබීය. ශාලිඩ්ගේ සෞඛ්‍ය තත්වය ඉතා යහපත් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කරනු ලැබූ පසු ඔහුගේ සේයාරුවකද මාධ්‍යට නිකුත් කරනු ලැබීය. එසේම ඊශ්‍රායලය භාරයේ සිටි සිරකරුවන්ගෙන් 477දෙනෙකු පලස්තීනය වෙත පැමිණීමට නියමිත අතර ගාසා තීරයේ විශාල උත්සවයක්ද සුදානම් කොට ඇති බව හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. මේ අතර හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඛලෙඩ් මශාල් ඊයේ ඊජිප්තුවට පැමිණියේ ඊශ්‍රායලය විසින් ලබා දෙන සිරකරුවන් භාර ගැනීම සඳහාය. මෙය දෙපාර්ශවය අතර 1982 සිට සිරකරුවන් හුවමාරු කිරීම සඳහා ඇති කර ගත අට වන ගිවිසුම ලෙස සැලකේ.

මීට පෙර 1983 දී පලස්තෙන් විමුක්ති සංවිධානය විසින් රඳවාගෙන සිටි ඊශ්‍රායල සිරකරුවන් 4500 වැඩි පිරිසක් දකුණු ලෙබනනේයේ අන්සාර් බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායල හමුදා සාමාජිකයින් හය දෙනෙකුට හුවමාරු කරගනු ලබීය. ඉන්පසු 1984 සිරියානු සිරකරුවන් 291 කට සහ මළ සිරිරු 72 කට ඊශ්‍රායල සෙබළුන් 5 දෙනෙකු සහ මළසිරුරු පහකට හුවමාරු කර ගනු ලැබීය. එසේම 1983 මැයි මාසයේදී පලස්තීන සිරකරුවන් 1150 කට ලෙබනනේදී අල්ලාගත් ඊශ්‍රයල සෙබළුන් තුන්දෙනකු හුවමාරු කර ගනු ලැබීය.එම වසරේ එනම් 1983 ජුලි මාසයේදී ලේබනනයේ සියා මුස්ලිම් භක්තිකයින් 331 දෙනෙකු නිදහස් කරනු ලැබීය. ඉන්පසු 1996 දී ජර්මනියේ මැදිහත්වීම මත ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමින් අතර ඇති වූ එකඟ තාවය මත ලේබනන් සටන්කරුවන් 123 දෙනෙකුගේ මළ සිරුරු ඊශ්‍රයල සෙබළුන් දෙදෙනෙකුගේ මළ සිරුරු වලට හුවමාරු කර ගනු ලැබීය. එසේම 2004 දී ඊශ්‍රායලය විසින් පලස්තීන සහ අනෙකුත් අරාබි ජාතික සිරකරුවන් 436 දෙනෙකු නිදහස් කරනු ලැබුවේ ඊශ්‍රාල ව්‍යාපාරිකයෙකු වූ එල්හෙමන් ටන්නේන්බෞම් සහ 2000 දී පලස්තීනය විසින් මරා දමනු ලැබූ ඊශ්‍රායල සෙබළුන් තිදෙනෙකුගේ මළ සිරුරු වලටය. එසේම 2008 දී තමන් විසින් 1979 දී සිදු කළ මිනී මැරුමකට වරදකරු කොට සිටි සමීර් කුන්ටර් නිදහස් කරනු ලැබීය, එම වසරේදීම දෙපාර්ශවය අතර හිස්බුල්ලා කැරලිකරුවන් සිව් දෙනෙකුට ඊශ්‍රාල සෙබළුන් දෙදෙනෙකුගේ මළ සිරුරුද හුවමාරු කර ගනු ලැබීය. 


කෙසේ වෙතත් පවතින වත්මන් තත්වය හමුවේ අබ්බාස්ගේ ස්වරාජ්‍ය ඉල්ලීමේ යෝජනාව හෙවත් පලස්තීන අධිකාරියට පුර්ණ ස්වාධිපත්‍ය ලබාදීම ඊශ්‍රායලය විසින් වෙනත් පැත්තකට හරවා ඇත. එය පසුගිය සති කිහිපය පුරාම පලස්තීන විමුක්ති සංවිධානය විසින් ලොව වටා රැගෙන ගිය දේශපාලන යෝජනාවලියට ඇති වූ උනන්දුව හීන කිරීමක් විය. එසේම ජනධිපති අබ්බාස් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ද ඒ සඳහා ඉල්ලීම් කළේය. එය ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවට ඊශ්‍රායල සමඟ ඇති කර ගන්නා එකඟතාවයක් ඔස්සේ දෙපාර්ශවයටම ගැලපෙන විසඳුමක් සොයා ගත යුතු බව අවධාරණය කරනු ලැබුහ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ජනාධිපති අබ්බාස් අසරණ වන විට ඊශ්‍රායලය විසින් පලස්තීන භූමියේ ඉදිකිරීමට යෝජනා කොට තිබුණු නව නිවාස ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට අගමැති නෙතන්යාහු අණ දුන්නේය. මේ අතර ඊශ්‍රායලය තමන් සමඟ භූමියේ ගනුදෙනු කරන්නා බවට හමාස් සංවිධානය තෝරාගෙන ඇත. මෙය අබ්බාස්ගේ දේශපාලනය හාස්‍යට ලක් වීමක් ලෙසද විග්‍රහ කිරීමේ වරදක් නැත. නමුත් පවතින අර්බුදය ස්ථීරසාර විසඳුමක් වෙනුවට කෙටි කාලින ප්‍රමොදයන් එක් එක් සංවිධාන වලට ලබා දීමේ ගැටලුව මෙන්ම එමඟින් ඇතිකොට ඇති අර්බුදයේ පරාමිතීන් තේරුම් ගැනීම මෙහිදී වැදගත් වේ.

පවතින තත්වය පලස්තීනය විෂයෙහිලා අභියෝග රැසක් නිර්මාණය කොට තිබේ. ඉන් ප්‍රධාන කාරණය නම් පලස්තීනයේ ක්‍රියාත්මක වන දේශපාලන සංවිධාන අතර පවතින ප්‍රභල අභ්‍යන්තර නොගැලපීම්ය. එහි දේශපාලන පක්ෂ අතර ගැටලූ අලුත් දෑ නොවේ. 1948 දී පලස්තීනයට තම ස්වාධීනතාවය අහිමි වීමටද මූලික හේතුව වූයේ මෙන්ම පළමුවෙන්ම තේරුම් ගත යුතු මුලික කාරණය වන්නේ පලස්තීනයට තම ස්වාධිපත්‍ය නොලැබුණ දිනයේ පටන් එය යළි ලබා ගැනීම සිහිනයක් බවට පත් වූ මුලිකම හේතුව වන්නේ පලස්තීනයේ දේශපාලන කණ්ඩායම් අතර පවතින අසමගිය සහ කුහකකම වේ. එසේම මෙකි දේශපාලන කණ්ඩායම් සියල්ලටම එකිනෙකට වෙනස් වූ හොර ගනුදෙනු ඊශ්‍රායලය සමඟ ඇත. පසුගිය කාලය පුරාම හමාස් සංවිධානයේ ප්‍රධාන පෙලේ නායකයින් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර සඳහා තොරතුරු ලබා දී ඇත්තේ පලස්තීන විමුක්ති සංවිධානයේ ඇතැම් නිලධාරීන්ය. එසේම හමාස් සංවිධානයේ ඇතැම් නිලධාරීන්ද ඊශ්‍රායල සමඟ ඉතා රහස් ගනුදෙනු රැසක් පවත්වාගෙන ගිය බව ප්‍රසිද්ධ කාරණයකි. කෙසේ වෙතත් පලස්තීන විමුක්ති සංවිධානයට වඩා අසල්වැසි අරාබි රටවල් සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇත. මේ අතර ඊජිප්ත්තුවේ රූපවාහිනී නාලිකාවට අදහස් දැක් වූ ශාලිඩ් දෙපාර්ශවයේ සාමය වෙනුවෙන් ඉතා වැදගත් ප්‍රකාශයක් කළේය. "මම ඉතාම සතුටු වෙනවා පලස්තීන සිරකරුවන් ඔක්කොටම නිදහස ලැබිලා එගොලොල්ලන්ගේ පවුල් සමග එකතු වන්න අවස්තාව ලැබෙනවා නම්. ඒ වගේම මම හිතනවා මෙම ගිවිසුමෙන් ඊශ්‍රාලය සහ පලස්තීනය අතර සාමය මෙනේම සහයෝගිතාවය ඇති කිරීම සඳහා පිටු වහලක් වේවි කියා." යයි හමාස් සංවිධානයෙන් නිදහස් වූ ශාලිඩ් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් පලස්තීන ජාතිකයින් 5000 ක් පමණ ඊශ්‍රාලයේ සිර මැදිරි වල සිටිති. එසේම කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය සාරී මක්දිසි සඳහන් කරන පරිදි සිරකරුවන් නිදහස් කිරීම වැදගත් කාරණයක් ලෙස පෙනුනද ඊශ්‍රාලය දිනපතාම පලස්තීනය ඉලක්ක කරගනිමින් එල්ලලා කරන ප්‍රහාර නැවැත්විය යුතු බව අවධාරණය කළේය " අපට මතකි ඊශ්‍රායලය විසින් බටහිර ඉවුර ඉලක්ක කර ගනිමින් ගුවන ප්‍රහාර එල්ල කළ ආකාරය. සාමාන්‍යයෙන් දිනකට රාත්‍රී කාලයේදී එසේ ප්‍රහාර 10 ක් පමණ එල්ල කරන අතර එය මාසයක 300-400 ත් අතර ප්‍රමාණයක වෙනවා, " මහාචාර්යවරයා සඳහන් කළේය. එසේම එම සෑම ගුවන් ප්‍රහාරයකින්ම සිරකරුවන් ලෙස පලස්තීන ජාතිකයින් එකතු කිරීම ඊශ්‍රායලයේ අරමුණ වේ. ඒ අනුව ජාත්‍යන්තර නීතියට විරුද්ධව යමින් සිරකරුවන් 300-400 අතර ප්‍රමාණයක් මාසයකට ඊශ්‍රායලය විසින් එකතු කරනු ලබනවා", හෙතම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම කාරණා වලින් පෙනී යන්නේ දෙපාර්ශවය අතර සාමය සඳහා වන දැඩි කැපවීමක් නොමැති බව සේම ගැටලුව සජීවීව පවත්වා ගැනීම පසුගිය කාල වකවානුව පුරාම සිදු කරන බවයි. එසේම අගමැති නෙතන්යාහු තමන් විසින් නිදහස් කරන සිරකරුවන් ගැන සඳහන් කළේ ඔවුහු නැවත සන්නද්ධ අරගලයක් වෙත තල්ලු වුව හොත් දැඩි දඬුවම් විඳීමට සිදු වන බවය.

ගැටලුව ඇත්තේ තවත් කොතරම් දුරට ඊශ්‍රායලය තම දේශසීමා එනම් 1967 දී ස්ථාපිත කරනු ලැබූ දේශසීමා උල්ලංඝනය කරමින් තම භූමිය ස්ථාපිත කිරීමට අවශ්‍ය වේද, ඒ සඳහා ක්‍රමෝපායිකව මුහුණ දීමට එනම් දේශපාලන සහයෝගීතාවයක් ඔස්සේ පලස්තීනයට මුහුණ දීමට කෙතරම් කල් ගත වන්නේද යන්නය. දෙපාර්ශවයේ  ප්‍රශ්නය බොහෝදුර පලස්තීනයට අවැසි සහගත ලෙස නිර්මාණය වී ඇත්තේ ඊශ්‍රාලයට ලැබෙන බටහිර බලය පමණක් නොව පලස්තීනයේ දේශපාලන සහ සන්නද්ධ කණඩායම් අතර පවතින එකිනෙකා පාවා දෙන ගති ලක්ෂණයයි.

Tell a Friend