සිංහල ජාතිවාදීන් ජවිපෙ දෙමළ ජාතිවාදී බව කියද්දී දෙමළ ජාතිවාදීන් ජවිපෙ සිංහල ජාතිවාදී යැයි කියනවා

ජනතා විමුක්ති පෙරමුණේ මාලිගාවත්ත ජනතා රැලිය ඊයේ කොළඹ මාලිගාවත්තේ දී පවත්වනු ලැබීය. මේ එහිදී එම පක්ෂයේ නායකයින් පල කළ අදහස්ය, 


ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,

මහින්ද රාජපක‍ෂ මහතා ඡන්ද දිනන ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස ජනතාව රවට්ටමින් හා අල්ලස් දීමෙනුයි. "මගේ මව්බිම" යැයි කියමින්, දේශප්‍රේමය ගැන කතා කරමින් ආණ්ඩුව මව්බිම පර්චස් ගණනින් බහුජාතික සමාගම්වලට පවරමින් ඉන්නවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ ජනතාවට හීන ලබාදෙමින් ඡන්ද දිනන්නයි. ඒ සඳහා බොරු සංවර්ධනයක් මවාපානවා. මෙය ජනතාවගේ ජීවිත තුළ කිසිදු සංවර්ධනයක් සිදුවෙලා නැහැ. සංවර්ධනය වී ඇත්තේ රටේ සහ ජනතාවගේ ණය බරයි. අවුරුදු 63 තුළ සංවර්ධනය වූයේ පවුල් කිහිපයක් සහ ඒ වටා සිටි හෙංචයියන් අත්ළොස්සක් පමණයි. දැන් ආණ්ඩුව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යැයි කියමින් රටේ ආර්ථීක, පරිසරය, සදාචාරය පරදුවට තබා තිඛෙනවා. කැසිනෝ වීදි සහ නිරුවත් වෙරළ තීර ඇරඹෙන්නේ ඒ වෙනුවෙනුයි. මේක ලොව පුරා ජරාජීර්ණ වෙමින් පවතින ධනවාදයේ ගමන් මගයි. එයට ජනතාව පෙළෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නොහැකියි. ධනවාදය වසර 500ක් පුරා ලෝකය තුළ පැවත තිඛෙනවා. ධනවාදය විද්‍යාවේ හා තාක‍ෂණයේ දැවැන්ත සොයාගැනීම් කරමින් සිටියත් එය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සමත් නැහැ. එය හැම තත්පර 4කට වරක්ම ලෝකයේ දරුවෙක් කුසගින්නේ තබා මරාදමන තරමට දුෂ්ටයි.

රෝහණ විෙජ්වීර සහෝදරයා පක‍ෂයක් නිර්මාණය කළේ, ලංකාවේ සමාජවාදය පිහිටුවා ජනතාව විඳින ප්‍රශ්නවලින් ඔවුන් මුදා ගැනීමටයි. අපේ රටේ ජනතාව සමාජවාදයේ හිරුකිරණ දකින තෙක් අත්වැල් බැදගෙන සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගයි. මහිනද රාජපක‍ෂ පාලනය දිනෙන් දින පිරිහෙමින් සිටිනවා. එය ස`ගවාලීමට හෝ සංවර්ධන සිහිනවලින් වසා දැමීමට ආණ්ඩුව හැකියාවක් නැහැ. ඔවුන්ට කළ හැක්කේ නිර්ධන පන්ති ව්‍යාපාරය ඔවුන්ට එරෙහිව සංවිධානය වීම වැළැක්වීමයි. ඒ සඳහා කල්ලි කණ්ඩායම් බිහි කරනවා. ජනතාව වෙනුවෙන් ඒවා පරාජය කිරීම හැර අපට වෙන විකල්පයක් නැහැ.

සිංහල ජාතිවාදීන් ජවිපෙ දෙමළ ජාතිවාදී බව කියද්දී දෙමළ ජාතිවාදීන් ජවිපෙ සිංහල ජාතිවාදී යැයි කියනවා. ඒත් ජවිපෙ කිසිදු ජාතිවාදයකට යට වෙන්නේ නැහැ. සමහර මාධ්‍ය ප්‍රවෘත්ති පළ කරන අතර තවත් මාධ්‍ය ප්‍රවෘත්ති පැළ කරනවා. ඒත් ජනතාව නිවැරදි දේ තේරුම්ගත යුතුයි. කවුරු පක‍ෂයට කකුල් මාට්ටු දාන්න උත්සාහ කළත් ඒවා කල් ඇතුව හඳුනාගෙන පරාජය කරන්න අපි සමත්.

අපේ පක‍ෂය අනෙක් පක‍ෂවලට වඩා වෙනස්. අපේ පක‍ෂයේ අභියෝගයක් මතුවූ විට සාමාජිකයා පක‍ෂය වටා දැඩිව රොද බැඳගෙන එය පරාජය කිරීමට කටයුතු කරනවා. ජවිපෙ කියන්නේ ලෝකයේ ලොකුම පවුල. මේ පක‍ෂයට අභියෝග කරන්න බැරි ඒ නිසයි. ජවිපෙ තිඛෙන්නේ පක‍ෂ මූලස්ථානයේ නෙවෙයි. මැතිවරණ කොමසාරිස්ගේ ලේඛනවලත් නෙවෙයි. අපේ පක‍ෂ සාමාජිකයාගේ හදවත පතුලෙයි. ජවිපෙ එක සාමාජිකයෙක් හෝ ජීවත් වෙනවා නම් ඔහුගේ හදවත පතුලේ ජවිපෙ පවතිනවා.

ජනතා විමුක්ති පෙරමුණට ආදරය කරන්නේ අපේ පතතියේ ජනතාවයි. ජවිපෙ තුළ ගැටුම් ඇති කරවා පංතියේ විශ්වාසය බිදිමට අපේ සතුරන්ට අවශ්‍යයි. ඒත් අපි පැහැදිලිවම කිව යුතුයි. අපි එවැනි උගුල්වලට හසුවන්නේ නැහැ. අපිට සතුරන්ගේ වුවමනා අනුව කරන සංවාදවල ලැග සිටීමට අවශ්‍ය නැහැ. අපට පැවරුණ විශාල වගකීමක් තියෙනවා. ඒ මේ රටේ ජනතාව වෙනුවෙන් සමාජවාදය යථාර්ථයක් කරන්නයි. අපි එතෙක් වෙහෙස නොබලා වැඩ කරනවා. සතුරන්ගේ අවලාදවලට නෙරැවටී ජවිපෙ වටා අත්වැල් බැඳගන්නා ලෙස සියලූ දෙනාට ආරාධනා කර සිටිනවා.

ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ,

සිරගතව සිටියදී වරක්රෝහණ සහෝදරයා සිරෙන් නිදහස් වූ විට කරන්නේ කුමක්දැයි මගෙන් ඇසුවා. ඔබ ආරම්භ කළ දෙය අවසන් කරන්නට මැරෙන තුරු කැපවෙන බව මම කිව්වා. අපි තනතුරු ගත්තේ වගකීම් ලෙසයි. අපි ඒවා කවදාවත් වරප්‍රසාද ලෙස හිතුවේ නැහැ. තනතුරු බලාගෙන දේශපාලනයට ආවේ නැහැ. රෝහණ සහෝදරයා හැදුවේ වරප්‍රසාදයවත්, කීර්තියවත් හඹාගෙන යන නායකයින් නෙවෙයි. ජනතාව ජයග්‍රහණය කිරීම තමයි අපේ අරමුණ. වසර 63ක් ලංකාවේ අපි ධනවාදය අත්හදා බැලූවා. අද එය ලොව පුරා කුණු වි දුඟද හමනවා. එයින් මිදී සමාජවාදය කරා යෑමෙන් තොරව රටටත් ජනතාවටත් මේ ප්‍රශ්නවලින් මිදෙන්න බැහැ.

අපේ පක‍ෂය තුළ විවිධ කාලවලදී කණ්ඩායම්වාදය මතුවුණා. පක‍ෂය ජනතාව අතර ජනපි්‍රය වෙමින් යද්දීත් යම් යම් පරාජයන් ලැබූ කාලවලදීත් එය පැන නැග්ගා. 1970 - 71 කාලයේදී ධර්මසේකර කණ්ඩායම හා ලොකු අතුලලාගේ කණ්ඩායමත්, 77 න් පසු හතරදෙනාගේ කල්ලියත් 83 කාලයේදීත් 94 කාලයේදීත් කණ්ඩායම්වාදය මතුවුණා. ඒත් පක‍ෂය ඒ සියල්ල පරාජය කරනු ලැබූවා. ජාතික ගැටලූව සම්බන්ධයෙන් පක‍ෂය තුළ තිබූ සංවාදය රෝහණ විෙජ්වීර සහෝදරයා විසින් පක‍ෂයට ඉදිරිපත් කළ වාර්තාව සමග අවසන් වුණා. එය තවදුරටත් සාකච්ඡා කිරීම තේරුමක් නැහැ.

අපට අවශ්‍ය පන්තිය සමගි කිරීමටයි. කම්කරු, ගොවි, ධීවර, කාන්තා, ශිෂ්‍ය, සියළු පීඩිත බලවේගවලට නායකත්වය දීමට ජවිපෙ සූදානම්. ජවිපෙ මිනිසුන් හැදුවේ මේ රට හදන්නයි, රටට සමාජවාදය ගෙන එන්නයි.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර දිසානායක,

මෙය ලෝක පරිමාණයෙන් ධනවාදය අර්බුදයට ගිය අවස්ථාවක්. ලොව පුරා ධනවාදී රටවල ජනතා අරගල පැතිර යමින් ඇති යුගයක්. එය අපේ රටටත් පොදුයි. අපේ රටේ මුළු මහත් සමාජයේ ප්‍රශ්නවලට මේ රටේ ඇත්තේ, එකම පිළිතුරක් පමණයි. එනම් නව සමාජ ක්‍රමයක් නිර්මාණය කරගැනීමෙන් මෙපිට විසඳුමක් නොමැති බවයි. එය හුදු ආණ්ඩු පෙරළීමකින් ඔබ්බට යා යුතුයි. නව සමාජ ක්‍රමයකින් මෙපිට කෙළවර නොවන අරගලයක්.

යුද්ධය අවසන් වී වසර දෙකක් ගත වී තිඛෙනවා. යුද්ධයෙන් පසු ජාතික ගැටලූව අවසන් බව සිංහල ජාතිවාදී කොටස් කොදුරමින් සිටිනවා. තවත් පිරිසක් ෆෙඩරල් දිය හැකි බවට යෝජනා කරනවා. ඒ වමේ මුහුණුවරින් ඉන්න කොටසක්. වික්‍රමබාහුගේ සිට ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ දක්වා වාමවාදීන් සිටින්නේ එතැනයි. රෝහණ විෙජ්වීර සහෝදරයා 80 මුල දෙමළ ඊළාම් අරගලයට විස`දුම කුමක්ද යනුවෙන් ලියවිල්ලක් ඉදිරිපත් කර නිවැරදි මතය සමාජගත කොට සංවාදය අවසන් කළා. යුද්ධය අවසන් වූවාට පසු උතුරේ දෙමළ ජනතාව පිළිබඳ නිවැරදි දැක්මක් ආණ්ඩුවට හෝ වෙනත් දෙශපාලන පක‍ෂවලට තිබුණේ නැහැ. එම ජනතාවගේ ගැටලූ පිළිබඳව හඩ නැගුවේ ජවිපෙ පමණයි. ඔවුන්ගේ මියගිය හෝ අතුරුදන්වූවන් පිළිබඳ වේදනාව සටන්පාඨයක් කළේත් ඔවුන්ගේ ඉඩම් පැහැරගැනීම්වලට එරෙහිව සටන් කළේත් ජවිපෙ පමණයි. සිංහල දෙමළ, මුස්ලිම් සියලූ දෙනා සමගිව යා යුතු ගමන පෙන්නුවේ ජනතා විමුක්ති පෙරමුණයි. ඒ සූරාකෑමට එරෙහි පොදු අරගලයයි.

මහින්ද රාජපක‍ෂ ආණ්ඩුව පවතින්නේ මහින්දගේ ශක්තියෙන් හෝ ධනවාදයේ ශක්තියෙන් නෙමෙයි. පන්තිය සංවිධානය කිරීමට අප අසමත් වී සිටින නිසයි. පන්තියට නායකත්වය දෙන ජවිපෙ තුළ කුමන්ත්‍රණ කරමින් ප්‍රතිගාමිත්වය දායක වෙන්නේ ආණ්ඩුවේ ගමන තවත් වසරක් හෝ දෙකක් දික්කර දෙන්නයි.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත,

පසුගිය මැයි දින වේදිකාවේ සිට අප දුන් පොරොන්දුවක් ඉටුකරමිනුයි, අපි අද මේ වේදිකාවට පැමිණ සිටින්නේ. ඒ ආණ්ඩුව බලහත්කාරයෙන් ගෙන ඒමට තැත් කළ විශ්‍රාම වැටුප් පනත පරාජය කිරීමයි. ආණ්ඩුව විධායක ජනාධිපති බලය පාර්ලිමේන්තුවේ 2/3ක බලය පළාත් සභා ප්‍රාදේශීය සභා බලය, ලබා තිබුණත් ජනතා බලය ඉදිරියේ දණගහන්න ආණ්ඩුවට සිදු වුණා. දැන් අපි රාජ්‍ය අංශයට රු.10,000/}ක වැටුප් වැඩිවීමකුත් පෞද්ගලික අංශයට 40%ක වැටුප් වැඩිවීමකුත් යෝජනා කර තිඛෙනවා. මේවා දිනාගත හැකි අයිතිවාසිකම් දැයි සමහරු අහනවා. ඒත් අපි එක්ව සටන් වැදුනොත් ඒවා දිනා ගත හැකියි. 1996 සිට ආරම්භ කළ අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය අද දැවැන්ත ගමනක් පැමිණ තිඛෙනවා. වැටුප් වැඩිවීම ආර්ථීක සටන්පාඨ ලෙස පෙනුණත් වැඩකරන ජනතාව සංවිධානය කිරීමට ඒවා අවශ්‍යයි. ලෙනින් නිවැරදි ලෙස සටන්පාඨ තේරුවා. ඒ පාන්, ඉඩම් සහ සාමය. ඒවා ආර්ථීක සටන්පාඨ යැයි කවුරුත් කිව්වේ නැහැ. අපි සටන් වැදිය හැකි හැම තැනකම සටන් වැදිය යුතුයි. ජනතා නියෝජිත ආයතනවලට ඇතුල් විය යුතුයි. ඒත් ඒවායේ ලගින්න නෙවෙයි. ජනතාව සංවිධානය කරන්නයි. වැටුප් වැඩිවීමක් ඉල්ලන්නේ එයින් සෑහීමකට පත්වෙන්න නෙමෙයි. වැඩකරන ජනතාවට ක්‍රමයට එරෙහිව පෙළගස්වන්න. වැටුප් සටන අයවැයට පෙර වේදිකාවට ගේනවා. සියලූ බලවේග සමග ඒකාබද්ධව ඒ වෙනුවෙන් සටන් කරනවා. එහෙත් සමාජවාදයෙන් මෙපිට වැඩකරන ජනතාවට ස්ථීර විසඳුමක් නැහැ.



Tell a Friend