2011 සැප්තැම්බර් මස 20 දිවයින පුවත් පත විසින් පොළොන්නරුවේ වී ගොවියන් පිළිබඳව කාලෝචිත ලිපියක් පල කොට තිබේ. එම ලිපියේ සඳහන් වන පරිදි ගොවියන් මෙසේ පවසති.
. අපි ගොවිතැන් කරන්නේ ණය තුරුස් වෙලාය. දහදුක් විඳලා අන්තිමේ ගොයම් ටික කපලා පාගලා වී ටික විකුණා ගන්න බලන කොට හරි හමං මිලක් නෑ. ආණ්‌ඩුව සහතික මිලට වී ගන්නවා කියලා කිව්වට ගන්න තැනැක් නෑ. වී අලෙවි මණ්‌ඩලයේ ගබඩා තියෙන්නේ හැතැප්ම ගණනක් ඈත. ඒවට වී ටික අරන් යන්න තව ලොකු මුදලක් වියදම් කරන්න ඕන. ගොවියන්ගේ වී මිලදී ගන්න නිසි වැඩපිළිවෙළක් නෑ. අද විතරක් නෙවෙයි හැමදාමත් අස්‌වැන්න නෙළන කාලෙට සිද්ධ වෙන දෙයක් මේක. ආණ්‌ඩුව කියනවා වී වලට සහතික මිලක් තියෙනවා කියලා. ඒක ඇත්තයි. නමුත් ගොවියාට ඒ සහතික මිල යටතේ වී විකුණා ගන්න කිසිම පහසුකමක් නෑ. වී අලෙවි මණ්‌ඩලයේ ගබඩාවලට දෙන්න ළඟ අහල පහලක ගබඩා නෑ. බොහෝම දුර ගෙනියන්න ඕනෑ. අපට මේ ළඟම තියෙනවා ගබඩා කදුරුවෙල. එතැනට යන්න කිලෝ මීටර් 07 ක් 08 ක් යන්න ඕන. සමුපකාරයට වී දීලා සති ගණන් බලාගෙන ඉන්න ඕන සල්ලි ගන්න. මේ වගේ ගැටලු තමයි තියෙන්නේ. අනිත් කාරණය එක ගොවියකුගෙන් රජය ගන්නේ වී කිලෝ 2500 යි. මේක කිසිසේත්ම සාධාරණ නෑ. ගොවියගේ වී ටික පෞද්ගලික වෙළෙඳුන්ට තුට්‌ටු දෙකකට ගන්න නීති ගත කරලා තියෙන ක්‍රමයක් ඒක. හැමදාමත් ගොයම් කපා පාගාගන්න කාලයට මේ දේ තමයි සිද්ධ වෙන්නේ. වී මිල තුට්‌ටු දෙකට පහළ බහිනවා. වී අලෙවි කර ගන්න පහසුකමක් නෑ. පෞද්ගලික වෙළෙන්දන්ට කුණු කොල්ලෙට වී ටික විකුණලා දානවා. ගොවිතැන හැමදාමත් පාඩු වෙන්න එක කාරණයක් මේක. දැන් මේ වෙන කොට රජයේ ආයතන කිසිම එකක වී ගන්නේ නෑ. අස්‌වැන්න කපා පාගලා වී ටික මාස ගණන් තියාගෙන ඉන්න පුළුවන් කමක් ගොවියට ඇත්තෙත් නෑ. කිසිම තැනෙක ආණ්‌ඩුවෙන් වී ගන්නේ නෑ. මුදලාලිලයි, මෝල් කාරයොයි විතරයි වී ගන්නේ. රුපියල් 18.00 ට 19.00 ට වී දීලා අපි කොහොමද වෙච්චි ණය තුරුස් ගෙවා ගන්නේ. අපි ඉල්ලා හිටින්නේ අපේ වී ටික මිලදී ගන්නා රජය මගින් වැඩපිළිවෙළක් යොදන්න කියලයි.
සටහන
රජය ගොවීන්ගේ වී වලට සහතික මිලක් ගෙවනවා කීවද සැබවින්ම සිදුවන ක්‍රියාවලිය වෙනත් එකක් බව ගොවීන්ගේ කතාවෙන් පෙනේ. ආණ්ඩුවේ කෙරුම්කාර අමාත්‍යවරයෙකු වන මෛත්‍රිපාල සිරිසේන ගේ සොහොයුරා පොලොන්නරුවේ සුප්‍රකට වී මුදලාලි කෙනෙකි. පොලොන්නරුවේ ඇතුළු ලංකාවේ වෙනත් ප්‍රදේශ වල වී සඳහා මිල නියම කරන්නේ කෘෂිකර්ම ඇමති හෝ වෙන යම් කෙනෙක් නොවේ. වී සඳහා මිල නියම කරන්නේ මෙම මුදලාලි මාෆියාව විසිනි. ආණ්ඩුව මෙම මුදලාලි මාෆියාව අතහැර වී ගොවියාගේ පැත්ත කවදාවත් ගන්නේ නැත. ගොවීන්ට සැමදා හුල්ල හුල්ල ඉන්නට සිදු වන අතර වී මුදලාලිලා ඇනොෆිලිස් මදුරුවා මෙන් ගොවීන්ගේ ලේ නොහොත් දහඩිය මහන්සිය උරාගෙන තර වෙති. ගොවින්ගෙන් හුරාකන ධනය අනාගත දේශපාලන නායකත්වය ලබා ගැනීම සඳහා ද ආයෝජනයද කරති.
- අමිල ගුණරත්න

Post a Comment