පුද්ගලික බැංකු වලට ආණ්ඩුවෙ දුෂිතයින්

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පාලනය යටතේ තිබෙන මහා පරිමාණ අරමුදල් එනම් අර්ථසාධක අරමුදල වැනි අරමුදල් යොදවා ඉතා සාර්ථකව දැනට පවත්වාගෙන යන පුද්ගලික බැංකු වල කොටස් මිලදී ගෙන එවායේ අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දුෂිත ආණ්ඩු හිතෛෂීන් පත් කර පුද්ගලික බැංකු පාලනයට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙහි එක් පියවරක් ලෙස කොමර්ෂල් බැංකුවේ කොටස් අර්ථ සාධක අරමුදල විසින් මිලදී ගෙන එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට දැනට ජාතික ආරක්‍ෂක මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කරන ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා පත් කර ඇත.

ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා 1989 දී රාජ්‍ය දැව සංස්ථාවේ සිටියදී රු. 90,000 ක් වංචා කිරීමේ වරදකට අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන රු.20,000 ක දඩයකට ද යටත් වූ පුද්ගලයෙකි. එවැන්නෙකු රටේ ප‍්‍රධාන බැංකුවක අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත් වීම නරින්ට කුකුලන් බාර දීමක් වන බව බැංකු ක්ෂේත‍්‍රයේ මතය වී ඇත.

මේ අතර මෙය බැංකු ක්ෂේත‍්‍රයේ ආචාර ධර්ම වලට සහ නීති විරෝධී දෙයක් බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා තිබේ. ඔහු පවසන්නේ සේවක අර්ථ සාධක අරමුදල් පුද්ගලික බැංකු වල අයෝජනය නොකළ
යුතු බවට මීට පෙර නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි.

ආණ්ඩුව මෙසේම හැටන් නැෂනල් බැංකුවට ද අධක්‍ෂක වරුන් පත්කර ඇත. මහ බැංකුවේ මෙම ක‍්‍රියා කලාපය නිසා මුළු බැංකු ක්ෂේත‍්‍රයම අර්බුදයකට පත්වන බව හර්ෂ ද සිල්වා මහතා පවසයි.