BOOK REVIEW: වහල් භාවයේ බැඳී බිඳීම


කිෂානි වැලිවිටිගොඩ විසිනි

" නිදහස යන්න වහලාට පිළිකුල් සහගත දෙයක් බවට පත් කරයි. එසේ කරන්නේ නිදහස අයුතු ලෙස යොදා ගන්නා ආකාරය පමණක් ඔවුන්ට පසක් කර දිමෙනි."

ය අමිහිරි වුවත් ඉතාමත් අවධානයෙන් කිය විය යුතු කෘතියකි. විටෙක ආකර්ශනීය දනවන කාරණයක් වුවත් සැබවින්ම මෙලොවදී යලිත් නොදැකිය යුතු සහ නොවිය යුතු නිශ්චිත කාරණා වලින් එකකි. ෆෙඩ්‍රික් ඩග්ලස්ගේ ජීවිත කතාව සහ සමාජීය ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් ඔහු දුන් දායකත්වය මිල කළ නොහැකිවා පමණක් නොව එය වර්තමානයේදී භාවිත කරන බොහොමයක් දේශපාලන වාද වල හරයාත්මක වැඩපිළිවෙලක් ලෙස හැඳින්විය හැකිය. අදාළ කෘතිය වන The Narrative of the Life of Frederick Douglass චරිතාපදානය සිංහලයට පරිවර්තනය කරමින් හර්ෂි පෙරේරා සිංහලෙන් කියවන පාඨකයින් වෙනුවෙන් සිදු කොට ඇති සේවය පැසසිය යුතු වේ. විශේෂයෙන් මෙවැනි කෘතීන් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළට ඇතුලත් කළ යුතු වේ.

අප අවට සිදු වන බොහෝ දේවල් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි කම නිසා හෝ බලය විසින් විෂය කෙරෙහි පනවා ඇති බලාධිකාරිය හේතුවෙන් පිළිගැනීමට අනිවාර්ය කොට තිබේ. බොහොමයක් සමාජීය අර්බුධ වල මූල ධාතුව වන එය හේතුවෙන් සමාජීය ගැටුම් ඇති වී තිබේ. එසේම මානව වර්ගයාගේ ආරම්භයේ සිටම ඉන්පසු ඔවුහු විසින් සොයා යන ශිෂ්ඨාචාරය දක්වා වූ වැඩ පිළිවෙල තුළ ඇත්තේද ඉන්පසු දේශපාලනය නාමයෙන් ඇති වූ බොහොමයක් සමාජීය ප්‍රතිසංස්කරණ වල ඇත්තේද පිළිගැනීම සහ නොපිළිගැනීම අතර පරතරයයි. තනි පුද්ගල අභිමතය මැතිවරණ ක්‍රමයක් ඔස්සේ බහුතර ජනතා බලයක් දක්වා ව්‍යාප්ත වූයේ එකී අරගලයේ දිගුවක් ලෙසය. බිහි වන නායකයෙකු වෙනුවට තෝරා ගන්නා නායකත්වයකට සමාජ ව්‍යුහය සකස් කර ගනියි. සෑම විටම නොනවතින අරගලය හේතුවෙන් මානව සමාජය නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වන්නේය යන්න නියතයකි. මෙකි සන්දර්භය ඔස්සේ ෆෙඩ්රික් ඩග්ලස් තේරුම් ගැනීම සහ ඔහු විසින් කළ සේවය සාමාජ ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් හේතු වූ ආකාරය ගැන විමසා බැලීම වැදගත් වේ. එසේම එය දකුණු ආසියානු සමාජීය සන්ධර්භය සැලකිල්ලට ගැනීමේදී තේරුම් ගැනීම වඩාත් වැදගත් වන අතර වහල්භාවය සහ කුලවාදය අතර ඇති මානසික සහ සමාජීය ගැලපීම මෙන්ම එය විසින් විශේෂ කරණය වූ මනුෂ්‍ය කොටසක් අවනතවීමකට යටත් කිරීම සහ මර්දනයකට යටත් කොට තැබීම තේරුම් ගැනීම වැදගත් වේ.

වහල්භාවය වූකලි උපතින්ම උරුම වෙන කටයුත්තකි. එය කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි නිශ්චිත දෙයක් විය. ඇතැම් කළු ජාතික අප්‍රිකානු ස්ත්‍රීන්ට වහල් සේවය සඳහා සුදු මිනිසුන්ට දාව දරුවන් තැනීමට පවා සිදු විය. කළු ජාතික ස්ත්‍රීන් දරුවන් තනන කර්මාන්ත ශාලා බවට පත් වූ අතර ඔවුන් වයසට ගිය පසු මැරෙණ තෙක් පාලු ප්‍රදේශ වලට දමා බඩගින්නේ තැබීම එකල බොහොමයක් සුදු ජාතිකයින් කළ කටයුත්තක් විය. වහල් භාවයේ ඇති අතිශය බිහිසුණු ස්වරූපය තේරුම් ගැනීම සඳහා එවැනි සිද්දීන් ප්‍රමාණවත් වේ. වහල් භාවය වූ කලී එක් මිනිසුන් කොටසක් විසින් තවත් එවැනිම මිනිසුන් කොටසක් සතුන් මෙන් පාවිච්චි කොට මැරෙන්න හැරීමකි. ඔවුන් ඉපදී ඇත්තේ සුද්දන් වෙනුවෙන් කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව සුද්දන් කියන දේ කිරීමටය. එසේම ඔවුන්ගේ උවමනා එපාකම් වලට අනුව අධිපතිකාරී බලය විසින් මිනිසුන් මර්ධනයකට යටත් කිරීම ආගමික වශයෙන්ද සාධාරණීකරණය කිරීම වහලුන් මුහුණ දුන් වඩාත් දරුණු තත්වයක් ලෙස සැලකිය හැකිය.

ෆෙඩ්රික් ඩග්ලස් විසින් තම ජීවිත අත්දැකීම් පාදක කරගනිමින් ලිවූ මෙම කෘතියෙහි ඇති වැදගත් කම වන්නේ මෙය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි වන හෙයිනි. එය ඉතිහාසයට එක් වන පළමු පෙලේ මුලාශ්‍රයක් ලෙස වටින්නේ ඒ නිසාය. බොහොමයක් සමාජීය ප්‍රතිසංස්කරනවාදීන්ගේ කටයුතු ගැන ලියවී ඇති දෙවන පෙළේ මුලාශ්‍ර බොහොමයක් ඇති අතර ඒවා පසු කාලීනව ආගමික මුහුණුවරක් ගෙන වෙනස් වී ඇත. ඉන්දියාව සහ චීනය පිළිබඳව ඉතිහාසය හැදෑරීමේදී සහ ඊට සම්බන්ධ පෙරදිග දර්ශනවාදය ගැන හැදෑරීමේදී පෙනී යන්නේ බොහෝමක් අවස්ථා වලදී මූලික ගැටලුවක් ලෙස මතු වන්නේද එයයි. විශේෂයෙන් කුල ක්‍රමයට එරෙහිව සම්පූර්ණයෙන්ම විරුද්ධ වී සමානාත්මතාවය මත පිහිටා කටයුතු කළ බුද්ධ දර්ශනය පසු කාලීනව හින්දු මුහුණුවරක් ගන්නේ මේ නිසාය. ඒ බැවින් වහල් භාවය ගැන හැදෑරීමේදී අතිශය වැදගත් වන්නේ මෙවැනි පළමු මුලාශ්‍රය. එනම් ඊට මුහුණ දුන් මිනිසුන් විසින් රචනා කොට ඇති කෘතීන් අතිශය වැදගත් වේ.

ෆෙඩ්රික් ඩග්ලස් විසින් තම චරිත කතාව ලිවීමේදී මුලීක අවදානයක් මෙන්ම සමාජය වෙනස් කිරීමේ යතුර ලෙස අධ්‍යාපනය හඳුන්වා දී තිබේ. තමන්ගේ විමුක්ති මාර්ගය දේවියන්ට යාඥා කොට ලබා ගන්නවාට වඩා එය ලියවී ඇත්තේ තමන් විසින්ම ලබා ගන්නා ඥානය ඔස්සේ බව ඔහු පැහැදිලි කළේය. "නුඔ කල්ලෙකුට අගලක් දුන්නොත් ඔහු අගල් 45ක් ගන්නවා. කල්ලන්ට උගන්නන්න ඔනේ ස්වාමියාට කිකරු වෙන්න. ස්වාමියා කියන දේ ඔහු කළ යුතුයි. ඉගැන්විමෙන් ලොකේ ඉන්න හොඳම කල්ලව නරක් කරනවා. " ( පරිච්චේදය 06 - වහල්භාවය) තමන්ගේ වාසනාවට ලැබුණු අවස්ථාව අවසාන වන ආකාරය ගැන ෆෙඩ්රික් ඩග්ලස් එසේ සඳහන් කරනු ලබයි. කෙසේ වෙතත් ඉගෙන ගැනීමට තිබු ආසාව සහ එය විමුක්ති මාර්ගයේ එකම ක්‍රමෝපාය බව අවබෝධ කරගත් හෙතම නැවත්වීමට කිසිවෙකුට හැකියාවක් නොලැබේ. අතිශය අමිහිරි අත්දැකීම් ඔස්සේ මතුවන ෆෙඩ්රික් ඩග්ලස් ඇමෙරිකානු දේශපාලන ක්‍රමය වෙනස් කරන්නේ ඒ අනුවය. විවාදයක් නොමැත. වහල්බාවය නැති කිරීම හෙවත් වහලා, වහල්බාවයේ බැමිවලින් නිදහස් කොට මනුෂ්‍යකු ලෙස පිළිගැනීම ඒබ්‍රහම් ලින්කන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ එක කේන්ද්‍රීය කාරණයක් වූයේ ෆෙඩ්රික් ඩග්ලස් විසින් සිදු කළ සමාජීය වෙනස් කම හේතුවෙන් යයි පැවසීම අතිශෝක්තියක් නොවේ. එය ඉන්දියාවේ මහත්මා ගාන්ධිගේ දේශපාලනය සඳහා වඩාත් කැපී පෙනෙන මෙහෙවරක් සිදු කළ බි. ආර්. අම්බෙඩ්කාර් විසින් සිදු කළ සමාජීය පුනරුදය හා සමාන වේ.

Tell a Friend