ආසියානුවන්ගේ පුනරාගමනය


රනිල් වික්‍රමසිංහ 

ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ දී ආසියාව තම ආර්ථික වර්ධනයේ සහ බලයේ ප්‍රථම චක්‍රය ආරම්භ කළා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයක් පිහිටුවීම සඳහා පෙරදිගට පැමිණීමට හේතුව මෙයයි. එවකට ග්‍රීසියෙන් බටහිරට ගත හැකි රාජධානි තිබුණේ නැහැ. ග්‍රීසියෙන් නැගෙනහිරට පර්සියාවත් ඉන් එපිට ඉන්දියාව සහ චීනය වැනි ධනවත් රාජධානින් පැවතුණා. තමන්ට අවශ්‍ය සියළු සුඛෝපභෝගී භාණ්ඩ ඉන්දියාවෙන් හා චීනයෙන් ආනයනය කිරීමට රෝමයට සිදු වුවත් ආපසු අපනයනයට කිසිවක් නැතැයි රෝම අධිරාජ්‍යයෙන් මැසිවිලි නැගුණා. 1820 ගණන් වන තෙක්ම පැවැතියේ එම තත්ත්වයයි.

එවකට ආසියාව ලෝකයේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 60 ත් 75 ත් අතර ප්‍රමාණයකට හිමිකම් කීවා. ආසියාව මහද්වීපයක් වූවත් යුරෝපිය සංගමය මෙන් එකට එක් කළ හැකියි. ඓතිහාසික,සංස්කෘතික හා දේශගුණික වශයෙන් අප ප්‍රධාන කාණ්ඩ පහකට අයත් වෙනවා. ඒ නැගෙනහිර ආසියාව, ඉන්දුචීනය, මධ්‍යම ආසියාව හා ඉන්දියානු සාගර කලාපය වශයෙනුයි. අතීතයේ දී මෙම කලාප සේද මාර්ගයෙන් එකට යා කර තිබුණා. "ආසියානුවන්ගේ පුනරාගමනය" යනුවෙන් මගේ දේශනයේ මාතෘකාව නම් කළේ ඒ නිසයි. ඒ බොහෝ දෙනා හඳුන්වන පරිදි අද සිදුවන්නේ නැවත නතුකර ගැනීම සඳහා ආසියානු පුනරාගමනයක් වන නිසයි.

ආසියානු ආධිපත්‍යයේ ප්‍රථම චක්‍රය යුරෝපිය විජිතවාදයේ බලවේග විසිනුත්, ඉන්පසු තම නිෂ්පාදිත භාණ්ඩ අළෙවිය සඳහා ආසියානු වෙළඳ පොළට යොමු වූ යුරෝපීය නිෂ්පාදකයින්ගේ කාර්මික විප්ලබයෙනුත් යටපත් කෙරුණා. ඉන්පසු 19 හා 20 වන සියවස් වල වැඩිම කාලයක් ආසියාව යුරෝපීය කර්මාන්ත ග්‍රහණය කර ගත් වෙළඳ පොලක් වුණා. ජපානය හැරෙන්නට වෙනත් කිසිම ආසියානු රටකට කාර්මික විප්ලවයෙන් වාසියක් අත් වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස 1940 ගණන් වන විට ආසියාවට හිමි වූයේ ලෝක දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 20 ක් පමණයි. එය එහි වාසියට හැරුණා.

කෙසේ වෙතත් හැත්තෑ ගණන්වලදී බටහිර ධනවත් පාරිභෝගිකයන්ගේ ඉල්ලුම නිසා ජපානය හා ආසියානු ටයිගර් ආර්ථික වන දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව හා තායිවානය පාරිභෝගික භාණ්ඩ නිපදවන අඩු වියදම් මධ්‍යස්ථාන ලෙස නැගී සිටීමට හැකි වුණා. ආසියානුවන්ගේ පුනරාගමනය ආරම්භ වන්නේ එතැනින්.

ඊළඟ අවධිය ඇරඹෙන්නේ තැචරියානු විප්ලවය පටන් ගත් 1979 දීයි. තැචර් මහත්මිය සිය ආර්ථික තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති 1979 දී පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුවේ දී පැහැදිලි කරනු මට සිහිපත් කළ හැකියි. එම වසරේදීම පසුව ඩෙන්ග් ගේ අනුප්‍රාප්තිකයා වූ ජියාංග් සෙමිං නිදහස් වෙළෙඳ කලාප අධ්‍යනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට හා සිංගප්පූරුවට පැමිණියා. චීනයේ විශේෂ ආර්ථික කලාප බිහිවුණේ එම සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙනුයි. මේ නිසා බොහෝ සමාගම් සිය තරඟකාරීත්වය පවත්වා ගැනීම පිණිස චීනයේ කම්හල් පිහිටුවීමට තීරණය කිරීමෙන් කර්මාන්ත සංක්‍රමණය ආරම්භ වුණා. ඒ සමඟ චීනයේ ලෝකයේ වැඩ පොළ බවට පත්වුණා. 1978 දී වායු සමීකරණ දහස් ගණනක් නිපදවූ චීනය අද වාසු සමීකරන දස ලක්‍ෂ 50 කට ආසන්න සංඛ්‍යාවක් නිපදවනවා. ඊට අමතරව ලෝකයේ මයික්‍රෝ උඳුන් නිෂ්පාදනයෙන් අඩක් ද, රූපවාහිනි යන්ත්‍ර සංඛ්‍යාවෙන් තුනෙන් එකක් ද, සෙල්ලම් බඩු ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් ද, බයිසිකල් සංඛ්‍යාවෙන් සියයට 60 ක් ද, නිපදවන්නේ චීනයේ යි. 2005 දී චීන අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.15 ක් වුණා.

සති කිහිපයකට පෙර රූපවාහිනියෙන් ෂැන්හැයි අපනයන ප්‍රදර්ශනය නැරැඹූ මට 1979 දී මා ෂැන්හයි නගරයට ගිය ගමන සිහිපත් වුණා. එදා තිබූ මාවෝ කබා වෙනුවට අද එහි ඇත්තේ මෝස්තරකරුවන් සැලසුම් කළ ඇඳුම්. ෂැංහැයි නුවර පුරාම ලෝකයේ ප්‍රමුඛ පෙළේ හෝටල් පිහිටුවා තිබෙනවා. බයිසිකල් හා රතුකොඩි කාර්වලින් පිරී ගිය වීදි වෙනුවට අද ඇත්තේ ජාත්‍යන්තර මාර්ගවලට අයත් වාහනයි. ඒ සියල්ලු නිෂ්පාදනය කරන්නේත් චීනයේයි. අති නවීන ගුවන් තොටුපළ හා මනා ලෙස සැලසුම් කළ අධිවේගී මාර්ග සෑම තැනකම දැකිය හැකියි. ඒ දිනවල මඩ වගුරක් වූ පූඩොංග් අද අනාගතයට යොමු වූ නගරයක්.

1992 දී එවක ආර්ථික නින්දෙන් අවදි වෙමින් සිටි ඉන්දියාවේ නව දිල්ලි නගරයට මා ගියා. ඒ වන විට අගමැති නරසිම්හ රාවෝ සහ මුදල් ඇමැති මන්මෝහන් සිං ඉන්දියාවේ සමාජවාදී ආර්ථිකය අවසන් කරමින් ආර්ථික ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන ප්‍රකාශයට පත් කළා පමණයි. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඒ දිනවල බැංගලෝරය නිවාඩු නිකේතනයක් පමණයි. හයිද්‍රාබාද් ප්‍රකටව තිබුණේ එහි බුරියානි නිසයි. නිදහස්කරණයට මුහුණ දීමට නව උපාය මාර්ග සැලසුම් කරමින් සිටි ටාටා සමාගමට ද මා ගියා. ඒ වන විට රිලයන්ස්, විප්‍රෝ සහ ඉන්ෆ්‍රොසිස් පටන් ගත්තා පමණයි. සන්නිවේදන තාක්‍ෂණ අපනයනයෙන් තමන් ඇමෙරිකානු ඩොලර් දශ ලක්‍ෂ 200 ක් උපයා ගත් බව ඔවුන් ආඩම්බරයෙන් මා සමඟ පැවසූවා. අද චීනය ගෝලිය නිෂ්පාදන කර්මාන්තයේ මධ්‍යස්ථානය වූ ආකාරයටම ඉන්දියාව ගෝලීය සේවා කර්මාන්තයේ කේන්ද්‍රය වී තිබෙනවා. ඉන්දියාවේ සන්නිවේදන තාක්‍ෂණ හා බටහිර මූලාශ්‍ර (Out Sourcing) කරගත් අපනයන වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි 4000 ද ඉක්මවනවා. චීනය හා ඉන්දියාව ආර්ථික වශයෙන් පිබිදීම නිසා තායිලන්තය, ඉන්දුනීසියාව, පාකිස්ථානය හා වියට්නාමය වැනි රටවලටද නිෂ්පාදන මධ්‍යස්ථාන ලෙස නැගී සිටීමට හැකි වුණා.

ලෝක ආර්ථික බලය බටහිරෙන් මාරුවීම ආසියානු සංවර්ධන බැංකුවේ (ආසියානු හා පැසිෆික් කලාපීය) 2010 සඳහා සකස් කළ දර්ශකවලින් කැපී පෙනෙනවා. අද ආසියානු කලාපය ලෝක ආර්ථිකයෙන් සියයට 36 කට හිමිකම් කියනවා. දෙවන ස්ථානයට ඇත්තේ යුරෝපයයි. උතුරු ඇමෙරිකාවට ඇත්තේ තෙවන ස්ථානයයි. ආසියාව තුළ මෙම නිෂ්පාදනවලින් සියයට 65 ක් ලැබෙන්නේ චීනයෙන්, ඉන්දියාවෙන් හා ජපානයෙකුයි.
බිලියන 1.5 ක නැගී එම මධ්‍යම පන්තියකින් යුත් ආසියාව ඉදිරි දශක දෙකක කාලය ඇතුලත ලොව වර්ධනයේ ගාමක බලය වන බවට අනාවැකි පහළ කර තිබෙනවා. 1980 සිට චීනයේ දශ ලක්‍ෂ 400 ක් දුප්පත් කමෙන් එගොඩ වී තිබෙනවා. 2030 වන විට මධ්‍යම පන්තිය බිලියන 600 ක් ඉක්මවනු ඇති. සංඛ්‍යාත්මකව එය ලොව විශාලතම මධ්‍යම පන්තිය හා ලොව තුන්වන විශාල පාරිභෝගික වෙළඳපොල වනු ඇති. මිලියන 520 ක මධ්‍යම පන්තියක් ඇති ඉන්දියාව පස්වන විශාල වෙළඳපොල වනු ඇති. ගෝලීය ආර්ථික වර්ධනයේ ගාමක බලය වන්නේ බිලියන 1.5 ක් වන ආසියානු පාරිභෝගිකයන්ගේ ජන විද්‍යාත්මක පරිණාමයයි.

පසුගිය වසර දෙක ඇතුළත මා ඉන්දියාවේ කළ සංචාරයන්හී දී මෙම ප්‍රවණතා පැහැදිලි වුණා. දේශිය පෙළඳපොල ඉලක්ක කරගත් නව නිෂ්පාදන හඳුන්වා දීමට ඉන්දියානු ව්‍යවසායකයෝ ඉදිරිපත් වනවා. හොඳම නිදර්ශනය වන්නේ පහළ මධ්‍යම පන්තිය ඉලක්ක කරගත් "නැනෝ" කාරය නැතිනම් ලක්‍ෂයේ කාරයයි.

මා ආසියානු පුනරාගමනය යනුවෙන් හඳුන්වන්නේ එයයි. 2050 වන විට 17 වන ශත වර්ෂයේ මැද භාගයේ පැවැති ලෙස ආසියාව මුළු මහත් ධනයෙන් මුල් තැන ගත්තත් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය අතින් යුරෝපීය රටවල් අපට වඩා ඉදිරියෙන් සිටිනවා. ඒ ආකාරයටම බටහිර ඉහළ ආදායම ලබන රටවල් එම තත්ත්වයේම පවතින අතර ආසියාවේ බොහෝමයක් රටවල් මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටවල් වනු ඇති.‍‍

කෙසේ වුවත් ආසියාවේ පුණරාගමනය නිරායාසයෙන් සිදුවන්නේක් නොවෙයි. එය ආර්ථික වර්ධනයට පමණක් සීමා විය යුතුද නැහැ. මිරිඟුවක් නොවීමට නම් කලාපයේ සාර්ථකත්වය රඳා පවතින්නේ ආණ්ඩු සහ සිවිල් සමාජය විසින් ගනු ලබන නිවැරදි දේශපාලන තීන්දු සහ යෝග්‍ය පියවර මතයි. මගේ කතාවේ ඉතිරි කොටසේ දී එළැඹෙන කාලය තුළ අපගේ අවධානය යොමු විය යුතු මූලික කරුණු ගැන අවධානය යොමු කරන්නට මා කැමතියි.

එක්තරා කාලයකදී ඉන්දියානු සාගර කලාපය ලොව ධනවත්ම නැගෙනහිර ආසියාවටත් වඩා ධනවත් වුණා. 16 වන සියවසේ දී එංගලන්තයේ පළමු එළිසබෙත් මහ රැජිනට මහා අක්බර් මෝගල් අධිරාජ්‍යයා වෙත තානාපතිවරයෙකු යැවීමට සිදුවූයේ ඒ නිසායි. 19 වන සියවසේ හයිදරාබාද්හී නිසාම් ගේ ධනය (අද වටිනාකමින් බලන්නේ නම්) ඩොලර් බිලියන 200 ට වඩා වැඩියි. එනම් බිල් ගේට්ස්ගේ ධනය මෙන් සිව් ගුණයටත් වඩා වැඩියි.

නාවිකයන් ආසියානු මෝසම් සුළං ජය ගැනීමත් සමඟ වෙළෙන්ඳෝ මුහුද ගමන් මාර්ග විවෘත කර ගත්තා. මධ්‍යධරණී, අරාබි, දකුණු ආසියානු සහ චීන වෙළඳුන් එකට එක් කළේ මෙම මුහුදු මාර්ගවලිනුයි. දකුණු ඉන්දියානු, ශ්‍රී ලංකා හා ශ්‍රී විජය රාජධානී ප්‍රමුඛ වීමට හේතු දෙකක් තිබුණා. පළමු වැන්න භාණ්ඩ අපනයනයයි. දෙවැන්න ආසියාවේ සිට බටහිරට යන මුහුදු මාර්ගයේ සන්ධිස්ථානය වීමයි.

2030 වන විට ඉන්දියාව ලොව තෙවන විශාල ආර්ථිකය වනවා පමණක් නොව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන විශලාතම ආර්ථිකය වීමට නියමිතයි. ශ්‍රී විජය රාජ්‍යයේ අනුප්‍රාප්තික ඉන්දුනිසියාව රුසියාව අභිබවා යමින් ලොව පස්වන විශාල ආර්ථිකය වීමට නියමිතයි. ඒ වන විට ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ එකතුව ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 39 වන අතර එය ඒ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතයට සමාන වනු ඇති. මිශ්‍ර සංවර්ධන වේගයක් පවත්වාගෙන යන පකිස්ථානය, බංගලාදේශය, මැලේසියාව, ටැස්මේනියාව, මොසැම්බික් හා උගන්ඩාව එක අතකින් ද, ගල්ෆ් තෙල් රාජ්‍ය, සිංගප්පූරුව, බෘනායි, ඉරානය, මියන්මාරය, දකුණු අප්‍රිකාව, කෙන්යාව සහ ඕස්ට්‍රේලියාව අනිත් අතින්ද ඊට එකතු කළ විට ශීඝ්‍ර වර්ධනයේ නියම මිශ්‍රණයයි.

ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතව (එපෙක්) ඇති නැගෙනහිර ආසියානු සහ පැසිපික් රටවලට මෙන් නොව ඉන්දියන් සාගර කලාපයේ සහයෝගිතා සංගමයේ රටවලට වෙළඳ හා ආර්ථික සහයෝගීතා යාන්ත්‍රණයක් නැහැ.

මෙම ශත වර්ෂයේ දෙවන අර්ධයේ වර්ධන හැකියාව මෙම කලාපයේ පවතින නිසා එය බරපතල අඩුවක් වනවා. ඊට එක් හේතුවක් වන්නේ 2050 වන විට ජනගහණ වැඩිවීම දස ලක්‍ෂ 500ක් සේ ගණන් බලා තිබීමයි. වැඩිදුරටත් නැගෙනහිර ආසියාව හා සසඳන විට ඉන්දියානු සාගර කළාපයේ රටවල ආදායම් මට්ටම අඩු නිසා අඩු ආදායම් ලාභී ග්‍රාමීය පාරිභෝගිකයින් ඉලක්ක කරගත් මිල අඩු භාණ්ඩ සහ සේවාවන් සැලසුම් කිරීම දැනටමත් අරඹා ඇති ඉන්දියානු ව්‍යවසායකයන්ට වැඩි වාසියක් සැලසෙනු ඇති. අඩු ආදායම්ලාභීන්ගේ ඉල්ලුමට ප්‍රතිචාරයක් වන මෙම නිෂ්පාදනය ආසියානු සංවර්ධන බැංකුව හඳුන්වන්නේ සැකසුරුවම් නව්‍යතාවයක් ලෙසයි. නැගෙනහිර අප්‍රිකානු රටවල ද ළඟා වනු ඇතැයි අපේක්‍ෂා කරන මෙය නව වෙළඳ සබඳතා ගොඩනංවනු ඇති. ආකාර්ෂණික වූ මෙම අවස්ථා සැලකිල්ලට ගත් විට සාර්ක්, ආසියානු, අප්‍රිකානු එකමුතු සංවිධානය (AOU) පොදු රාජ්‍ය මණ්ඩලය මෙම රටවල වෙළඳාමේ නව ගැලපීමක් ඇති කිරීමටත් ඉන්දියානු සාගරයට මායිම් වන මහාද්වීප තුන එනම් ආසියාව, අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව එකට එක් කෙරෙන විධිමත් යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම ගැනත් බරපතල අවධානය යොමු කිරීමේ කාලය පැමිණ තිබෙනවා. සිවිල් සමාජයේ කොටසක් වන ඔබට මෙම කලාපය තුළ මිනිසුන් අතර සම්බන්ධතා තරකොට කලාපීය ආර්ථික සහයෝගිතාවට ඌණ පූර්ණයක් විය හැකියි. ඉන්දියානු සාගර කලාපයේ රටවල් එකට එක් කිරීමට ජාත්‍යන්තර රොටරි සංවිධානයට මුල පිරිය හැකියි.

ආසියානු පුනරාගමනය කලාපයට අහිතකර බලපෑම්වලින් තොර විය නොහැකියි. විශේෂයෙන්ම ගෝලීය බලශක්ති හා ආහාර සඳහා ඇති ඉල්ලුම බරපතල විය හැකියි. ආහාර, බලශක්ති සහ ජලය පිළිබඳ ගැටලු සමබර විය හැකිය. නිදසුනක් වශයෙන් 2025 වන විට ලෝකයේ තෙල් පරිභෝජනය බැරල් මිලියන 120 දක්වා වැඩි විය හැකියි. මෙයින් සියයට 80 ක්ම සිදුවිය හැක්කේ ආසියානු ආර්ථිකයන් තුළයි. මෙම තෙල් සැපයුමෙන් වැඩිම ප්‍රමාණයක් මලක්කා සමුද්‍ර සන්ධිය හා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යා යුතු නිසා ආසියාවේ උපාය මාර්ගික වැදගත්කම සුවිශාල ලෙස වැඩි විය හැකියි. පටුම ස්ථානයේ පළල කිලෝ මීටර 2.5 ක් වන මලක්කා සමුද්‍ර සන්ධිය හරහා වාර්ෂිකව නැව් 50,000 ක් ගමන් කිරීමට නියමිතයි. ගල්ෆ් තෙල් ප්‍රවාහනය කෙරෙන ඉරානය හා ඕමානය අතර ඇති හෝමුස් සමුද්‍ර සන්ධියේ පළල කිලෝමීටර 89 යි. මෙම සමුද්‍ර සන්ධි ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වීමට ඇති අවධානම ආර්ථික හා යුධ සැලසුම්කරුවන්ගේ දැඩි අවධානයට යොමුව ඇති කාරණයක්.

ආර්ථික වර්ධනයේ ඉහළ යෑම යුරේනියම්, යකඩ හා ගල් අඟුරු වැනි වෙළඳ භාණ්ඩ හා ඛණිජ වර්ග සඳහා ඇති ඉල්ලුමේ ඉහළ යෑමට ද හේතු වෙනවා. 2009 වසරේදී පමණක් ලෝකයේ ඇලුමිනියම්, තඹ, යකඩ සහ නිකල් පරිභෝජනයෙන් සියයට 39 ක්ම අයත් වුණේ චීනයටයි. එම නිසා ස්වාභාවික සම්පත්වලින් පොහොසත් රටවලට වාසිදායක තත්ත්වයක් ඇති විය හැකියි. බල ශක්ති හා ඛණිජ සඳහා ඇති ඉල්ලුම ඉඅහළ යත්ම ආසියානු රටවක් සමඟ අප්‍රිකාව හා ලතින් ඇමෙරිකාවේ රටවල්ද ශක්තිමත් වෙනවා.

ආසියාවේ ආර්ථික හා ජනගහන වර්ධනයෙන් ගෝලීය ආහාර සමතුලනය තීරණය වීමට පුළුවන්. වෙනත් ආකාරයෙන් කියන්නේ නම් ජනගහණයේ වැඩිවීම නිසා පමණක් නොව මධ්‍යම පන්තියේ පුළුල් වීමෙන් දේශීය පරිභෝජන මට්ටමට ඉහළ යෑම නිසා අතිරේඛ සංඛ්‍යාවකට ආහාර සැපයීමට සිදු වෙනවා. ආසියාව ඉල්ලුමේදී හා සැපයුමේ දී ප්‍රමුඛ වනු ඇති. ශතවර්ෂයේ මැද භාගය වන විට කරුණු දෙකක් නිශ්චිත විය හැක. එනම් ආහාර මිල ඉහළ යෑම හා දැනටමත් සීමා වී ඇති ජල සම්පත් දැඩි පීඩනයකට ලක් වීමයි. බටහිර, දකුණ හා ගිනිකොණ දිග ආසියාවේ ඒක පුද්ගල ජල සැපයුමේ ඌණතාව අප දැනටමත් අත් දැක තිබෙනවා. දේශගුණික වෙනස්වීම් පිළිබඳ ජාල තක්සේරුව (Indian Network of Climate Assesment) පවසන ආකාරයට වසර 2030 වන විට ඉනදියාව තවත් සෙල්සියස් අංශක දෙකකින් උණුසුම් වීමෙන් වර්ෂා රටාවේ වෙනස්වීම්වලට හා ගංවතුර, නියං හා වෙනත් ස්වාභාවික ව්‍යසනවලට ලක්වීමේ අවදානම වැඩි වෙනවා. දැනටමත් දකුණු හා අග්නිදිග ආසියාව වරින් වර ගංවතුරට ලක් වෙනවා. කාලගුණික වෙනස්වීම් නිසා වරින්වර උග්‍ර නියං තත්ත්වයන්ට ද මුහුන දීමට සිදුවිය හැකියි. මුහුදු ජල මට්ටම ඉහල යෑමෙන් මාලදිවයින සහ මිකොං ඩෙල්ටා ප්‍රදේශය තර්ජනයට ලක්ව තිබෙනවා. හායි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම පහළ යෑම නිසා බීජිං උතුරු චීනයේ ගංඟා හා ළිං වියළී යෑමට පටන් ගෙන තිබෙනවා. භූ මට්ටම වසරකට මීටර් දෙක බැගින් පහත වැටෙමින් පවතිනවා.

වැඩිවන බලශක්ති ඉල්ලුමට ගැලපෙන නිර්කාබනීකරණ මට්ටමක් පවත්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් දේශගුණික වෙනස්වීම් සමනය කිරීමට නොහැකි වීමෙන් කලාපයේ ජනතාවට මහත් විනාශකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවට විද්‍යාඥයෝ සහ විශේෂඥයෝ වසර ගණනාවක සිට අනතුරු හඟවා තිබෙනවා. ආසියානු රටවල් මෙම අනාවැකිය ගැන සැලකිලිමත් විය යුතු අතරම කලාපයේ දේශගුණික තත්ත්වය ආරක්‍ෂා කිරීමේ සුවිශේෂී වගකීම පැවරෙන්නේ කලාපීය යෝධයින් වන චීනයට හා ඉන්දියාවටයි.

දීර්ඝ කාලීනව සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ මේ කාරණය මතයි. පසුගිය වසරේ කෝපන්හේගන් නායක හමුවේදී චීනය සහ ඉන්දියාව ගත් ස්ථාවරය ගැන ප බොහෝ දෙනෙක් පසුතැවිලි වන්නේ එම නිසයි. අනෙක් අතට ජපානය දේශගුණික වෙනස්වීම් විසඳන්නේ කෙසේද යන්න පෙන්වා දී තිබෙනවා. අපේ රටවල මාධ්‍යය හා සිවිල් සමාජය දේශගුණික වෙනස්වීම් ගැන දැණුවත් කිරීමේ දී මුල් තැනක් ගෙන තිබෙනවා. ආර්ථික වර්ධනයේ වුවමනාව සඳහා අනෙකුත් අවශ්‍යතා අමතක කිරීමට හේතුවක් නොවන බව සහතික කිරීමට ආණ්ඩු කෙරේ වැඩි බලපෑමක් කිරීමට කාලය පැමිණ තිබෙනවා.

පසුගිය සතියේ දී මා ඉන්දියාවට ගිය විට එහි සිටි මගේ ඉන්දියානු මිතුරෝ තමන්ගේ රට වංචා රාජ්‍යයක්ව ඇතැයි විහිළු කළා. ඉන් අදහස් කළේ එරට ජනමාධ්‍යවල කතාබහට ලක්වන මහා පරිමාණයේ දූෂණ දෙකක් ගැනයි. ඉන් එක් වන්නේ ටෙලිකොම් වර්ණාවලි බෙදා දීමේදී ඉන්දියානු රජයට ලැබිය යුතු ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 38.6 ක් අහිමි කළ දෙවන පරම්පරාවේ වර්ණාවලි බෙදා දීම ගැනයි. මෙය වාර්තා වූයේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උත්සවයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක අයථා පරිහරණය ගැන දූෂණ චෝදනා මතු වීමෙන් මාස දෙකකට පසුවයි. විවෘත සමාජයක් නිසා ඉන්දියානුවන්ට මෙම දූෂණ චෝදනා ගැන නිදහසේ සාකච්ඡා කළ හැකි අතර ඉන්දියානු ජනමාධ්‍ය තම අදහස් බියෙන් තොරව වාර්තා කරනවා. අවාසනාවකට මෙන් අප රටවල් බොහොමයක තත්ත්වය මෙසේ නොවෙයි. එහෙත් මිනිසාගේ කෑදරකමේ අභියෝගය වන දූෂණය ඉන්දියාවට පමණක් සීමා වූවක් නොවෙයි.

පක්‍ෂයේ කාඩරය හා නිළධාරී තන්ත්‍රය අපමණ මුදල් රැස්කර ගන්නා චීනයේ ද දූෂණය සීමාවකින් තොරව සිදු වෙනවා. එය අද හැඳින්වෙන්නේ "කොල්ල කෑමේ රාජ්‍යයක්" ලෙසිනුයි. එහි නිල් පොතෙන් උපුටා ගත් චීන ගොවීන් ගයන පහත සඳහන් උපහසාත්මක කවියෙන් චීනයේ පවතින තත්ත්වය මැනවින් විදහා දැක්වෙනවා.‍

"අත් හතකි. අත් අටකි. හැම කෙනෙකුම ගොවීන් අත් දිගු කරති.

ඔබත් එකතු කරයි. මමත් එකතු කරමි. ඔහුත් එකතු කරයි. ගොවීහු තැවෙති.

ඔබත් යදී. මමත් යදිති. ඔහුත් යදී.

ගොවීහු කැළඹෙති, ධන්‍ය ඉල්ලති, මුදල් ඉල්ලති. ජීවිතය ඉල්ලති.

ගින්නෙන් ආරක්‍ෂා වන්න, හොරුන්ගෙන් ආරක්‍ෂා වන්න, කාඩරයෙන් ආරක්‍ෂා වන්න..."

මගේ රටේ දේශපාලනය, බලය හා ධනය රැස් කිර ගැනීමේ පහසුම මාර්ගය වී තිබෙනවා. අනෙක් අතට මෙය බොහෝ ආසියානු රටවල නව ප්‍රවනතාවක් ලෙස හැඳින්විය හැකියි. මෙහිදී සිවිල් සමාජය තම වගකීම් බරපතල ලෙස සැලකිල්ලට ගත යුතුයි. ඔවුන් තොරතුරු දැන ගැනීමේ අයිතියත්, ඒවා පාර්ලිමේන්තුවෙන් දැඩිව ක්‍රියාත්මක කිරීමත් ප්‍රබලව ඉල්ලා සිටිය යුතුයි. දූෂණය සමාජයෙන් පරිබාහිර වූ ප්‍රශ්නයක් නොවෙයි. අප බොහෝ දෙනා සිතන අයුරු නොසලකා සිටිය හැකි දෙයක් ද නොවෙයි. අප හැම වෙළා ගන්නා එය මානව සංවර්ධනය පසු පසට දමමින් පැහැර ගනිමින් විනාශ කරමින් අසමානතාව වඩවයි.

එය අප වත්මන් ආර්ථික සංවර්ධනය ක්‍රමයේ අතුරු ඵලයක් වන සමාජ අසමානතාව පිළිබඳ ප්‍රශ්නයකට යොමු කරවයි. කාර්මික වූ ප්‍රදේශ හා ග්‍රාමීය පසුගාමී ප්‍රදේශ අතර පවතින ආදායම් විෂමතාව ගැන අප දන්නවා. විශාල නඟරවල මුඩුක්කුවල දුප්පත් සංක්‍රමණික කම්කරුවන් ඒකරාශී වී සිටිනවා. ස්ත්‍රී ගෘහ මූලිකත්වයෙන් යුත් පවුල්වල දරිද්‍රතාව, අයාලේ යන වීදි කම්කරුවන්, ගෝලීය ආර්ථික අවපාතය නිසා දරිද්‍රතාවට පත් අය ගැන අප දන්නවා.

දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ අකාර්යක්‍ෂම සුබසාධන යෝජනා ක්‍රම හා වංචාවලින් පසුව, ජනතාවගේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කිරීමට නම් ආසියාව මෙම ප්‍රශ්නය විසඳන්නේ කොහොමද? ඊට එක් උදාහරණයක් විය හැක්කේ බංගලාදේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමයයි. ක්‍ෂුද්‍ර ණය ක්‍රමයෙන් පරම්පරාවක් තුළ ප්‍රථිඵල නෙළා ගත හැකි වූ අතර ග්‍රාමීන් ෆෝන් ක්‍රමයෙන් බංගලාදේශයේ දුප්පතුන්ට ජංගම දුරකථන මිලදී ගැනීමට හැකියාව ලැබුණා. ජනතාව තම දෛනික ජීවිතයේ දී හා වැඩ කටයුතුවලදී ජංගම දුරකථන භාවිත කිරීමෙන් වඩාත් ඵලදායී වීමෙන් විප්ලවීය වෙනසකට මඟ පෑදුනා. ඉන් බංගලාදේශයේ ජනතාවගේ ජීවිතයේ ගුණාත්මක වර්ධනයක් ඇති වූ අතර දළ දේශීය නිෂ්පාදිතයේ සියයට දෙකක ඉහළ යෑමෙන් එය පිළිබිඹු වුණා. මෙය ව්‍යාතිරේඛයක්. බොහෝ දරිද්‍රතා සමනය කිරීමේ වැඩසටහන්වලින් සිදු වන්නේ දුප්පතුන් බල ගැන්වීමට වඩා ධනය නැවත බෙදා හැරීමේ උත්සාහයයි.‍

මීට හොඳම උදාහරණය පිළිපීනයයි. 1980 පිළිපීනය රජය වෙළඳපොළේ පැවැති ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු පොලී අනුපාතයට දුප්පතුන්ට නිවාස ණය ලබා දුන්නා. මතුපිටින් එය සාර්ථක බවක් පෙන්නුම් කළත් එය ධනවතුන් හා මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන පවුල් පැහර ගත් බව ලෝක බැංකු අගැයීමකින් හෙළි වුණා. ප්‍රතිලාභීන්ගෙන් සැබෑවටම දුප්පතුන්ගෙන් අපේක්‍ෂා සහ කළකිරීම් බලාපොරොත්තු සහ පසුතැවීම් මෑතකදී රාජ්‍ය වියදම් අඩු කිරීමත් සමඟ ඉමහත් අභියෝගයන්ව පවතිනවා. රාජ්‍ය වියදම් අඩු කිරීම නිසා දුප්පතුන්ට පහසුවෙන්ම ලබාගත හැකි වූ සේවාවන් දෙකක් වන අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කෙරේ අහිතකර බලපෑම් සිදු වුණා. එම නිසා ආසියානු රටවල් බොහොමයක් සහශ්‍රක සාවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේ ඉලක්ක සාර්ථක වී තිබෙනවා.

අපගේ අතීත ඉතිහාසය නිසා ආසියානුවන් පොදු යටහත් පහත් ජන කොටසක් යැයි යන ආචීර්ණ මතයක් බටහිර පවතිනවා. වෙළඳ පොල ප්‍රමුඛතාවය නිසා ඇතිවන අසමානතාව ආසියානුවන් පිළිගන්නේය යන්න මිත්‍යාවක්. ඒ ගැන මා තුල දැඩි සැකයක් පවතිනවා. දැනටමත් සමාජ විරෝධතා චීනයේත් නැක්සලයිට් ව්‍යාපාරය වශයෙන් ඉන්දියාවේත්, මාවෝවාදීන් ලෙස නේපාලයේත් දැකිය හැකියි. වැඩිදුරටත් ආසියාවේ අපි අසමානතාවට අවුරුදු දහස් ගණනක සිය විකල්ප මාර්ගවලින් විරෝධය දක්වූවා. ඉන්දියාවේ බුදුදහම පැතීම, අග්නිදිග ආසියාවේ ථෙරවාද බුදු දහම ව්‍යාප්තිය හා ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය හා ඉස්ලාම් දහමේ පැතිරීම ඒ කාලයේ පැවැති සමාජ හා ආර්ථික අසමානතාවලට දැක්වූ මූලික ප්‍රතිචාරයක්. කෙසේ වුවත් ධනය බෙදී යැමේ තියුණු වෙනස්කම් පවතින ක්‍රමයක් තුළ සිටින අපට අද වරප්‍රසාද රහිත ජන කොටස්වල මූලික අවශ්‍යතා සපුරාලන ප්‍රතිකර්මයක් අවශ්‍යයයි. ජයග්‍රහාකයන්, පරාජිතයන් හා කොන් කරනු ලැබුවන් රැක බලා ගැනීම හැර වෙනත් මාර්ගයක් නැහැ. වෙනත් වචනවලින් පවසන්නේ නම් අගහිඟකම්වලින් පෙළෙන අය රැක බලා ගැනීමේ කාර්යය තහවුරු කිරීමේ නායකත්වය ආසියානුවන් ගත යුතුයි. නිවාස නැතිවූවන්, රෝගීන්, දුප්පතුන් හා ආබාධිතයන් රැක බලා ගැනීමේ ක්‍රමෝපායන් වර්ධනය කළ නෝර්ඩික් රටවලින් හා ජපානයෙන් අපට ආදර්ශ ගත හැකියි.

මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල පළමුවෙන්ම 1990 අග බාගයේ ආසියානු මූල්‍ය අර්බුදයේදීත්, ඉන් පසුව පසුගිය වසර කිහිපය තුල පැවති ආර්ථිකය දියවී යෑමේදීත් අප අත්හැර දැමූ නිසයි. එවිට අවම රේඛාව වන්නේ තමන්ගේ වගකීමක් නැති වැරදිවලට දුප්පතුන්ට හා මධ්‍යම පන්තියට දඬුවම් ලබා දෙන හා වැරදි කළවුන්ට ත්‍යාග පිරිනමන ක්‍රමයක් පිළිකුල් කිරීමයි. පාලනයෙන් තොර මූල්‍ය වෙළඳ පොල සමාජ සහ වෙනත් අසමානතා වැඩි කරන්නේ ය යන කටුක සත්‍යය පිළිගැනීමට කාලය පැමිණ තිබෙනවා. අනෙකුත් අය කිරීමට අකමැති ගෝලීය ආර්ථික ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ අභියෝගය ආසියානු නායකයින් විසින් භාරගත යුතුයි. ඒ සඳහා ධෛර්යයක් හා පාලනයක් ද, තිරසාර බවක් හා නව චින්තනයක් ද අවශ්‍යයයි. ඉදිරි දශක කිහිපය තුළ ආසියාවේ අපට අපේ ජනතාව සඳහා පිරිසිඳු ජලය, සෞඛ්‍ය, අධ්‍යාපනය, දරිද්‍රතා සමනය හා කෘෂිකර්මාන්ත නවීකරණයට වැඩියෙන් වියදම් කිරීමට සිදුවෙනවා.

ගෝලීය නායකත්වය කමිටුව වශයෙන් තමන් විසින්ම පත්ව සිටින "ජී-20" කණ්ඩායම මෙවැනි ප්‍රතිශෝධන මෙතෙක් යෝජනා කර නැහැ. පවතින අසමානතා ක්‍රමය පවත්වා ගැනීම හැරෙන්නට "ජී-20" තුළ සිටින ආසියානු නායකයින් පවා එවැනි ප්‍රතිශෝධන යෝජනා ඉදිරිපත් කිරීමට දිරිමත්ව නැහැ. ඊට වෙනස් ව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් පසුගිය අඟහරුවාදා වෙළඳපොලට ඉහළින් දේශපාලනයේ මූලිකත්ව පවත්වාගත යුතුය යි කීමට තරම් එඩිතර වූවා. දැන් අවශ්‍ය වන්නේ "ජී-20" කණ්ඩායමේ අවධානය යොමුව ඇති ආකාරයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඡන්ද බලය පුළුල් කිරීම නොව ගෝලිය මූල්‍ය සැකැස්මේ ගැඹුරු වෙනස්කම් හඳුන්වා දීමයි.

ගෝලීය ආර්ථික බලය මාරුවීමත් සමඟ බැඳුණු ගෝලිය දේශපාලන බලයේ මාරුවීම අපගේ අනාගතය පාලනය කිරීමේ වගකීම අත්කර ගැනීමේ අවස්ථාවක් බවට පත් කිරීමට ආසියානු නායකයින් වෙත කාලය පැමිණ තිබෙනවා. ආසියානු පුනරුදයක් බලාපොරොත්තුවෙන් සිටින අපට අසමානතාවයේ සහ සමාජ අසහනයෙත්, පාරිසරික පරිහානියේත්, සම්පත් ක්‍ෂය වී යෑමෙත් අනතුරු ඇඟවීම් අමතක කළ නොහැකියි. කිෂෝර් මහබුහානි ඔහුගේ The New Asian Hemisphere නම් කෘතියෙන් යුරෝපයේ කාර්මික විප්ලවය පැවැති සමයේ කෙනෙකුගේ ජීවිත කාලය තුළම ජීවන මට්ටම සියයට 50 කින් වැඩි වූ බව ලැරී සමර්ස් සඳහන් කර ඇති බව පෙන්වා දී තිබෙනවා. ආසියානු සුපිරි චක්‍රීය රැල්ලෙන් අපගේ ජීවන මට්ටම අපගේ ජීවිත කාලය තුලදීම සියයට 50 කින් හෝ සියයට 100 කින් නොව සිය ගුණයකින් වැඩිවනු ඇති. එය සිදුවහොත් ආසියානු පුනරාගමනය මානව ඉතිහාසයේ විශාලතම විප්ලවයද වනවා.

Tell a Friend