ජයවර්ධන තක්කඩි පාලකයෙකි

ජේ ආර් ජයවර්ධන මරණ දිනය වෙනුවෙන්

බැසිල් ප්‍රනාන්දු



පාලකයන් වර්ග කිරීම සාමාන්‍ය මිනිසුන් වර්ග කිරීම මෙන් හොඳ නරක සලකා කළ නොහැකිවා විය හැකිය. එසේ වූවත් පාලකයන් අතරද පාලනය පිලිබඳ හොඳ නරක කියා දෙකක් ඇත. ජයවර්ධනගේ පාලන කාලය මොනයම් වර්ග කාරණයක් යටතේවත් කිසියම් හොඳක් පවතී කාලයක් නොව, මුළුමනින්ම හුදු අත්මර්තකමිත්වය පතා තක්කඩි කමේ යෙදුනෙකු ලෙස හෝ ඔහු හැඳින්වීම අසාධාරණ නැත. මන්ද යත් ඔහු පාලනය පමණක් නොව පාලන ක්‍රමයම තක්කඩි ආකාරයකින් යොදා ගත් නිසාය. 1978 ලංකාවේ ව්‍යවස්ථාව වනාහි තක්කඩියකු අතින් නිම වුණු විනාශකාරී දර්ශනයක් පදනම් කරගත් ලේඛනයකි. රටටත් ජනතාවටත් හෙණ ගැහුවත් කමක් නෑ යන මතයක පිහිටා තමන් පාලනයේ සිටීම පමණක් තහවුරු කර ගැනීම සඳහා අන්තනෝමතික බවයේ උපරිමය කරා යමින් නිර්මාණය කරගත් මෙවැනි ලේඛනයක් නූතන ඉතිහාසයේ සොයා ගැනීම පවා අපහසුය. මෙතරම් හිත පිත් නැති කමකින් සියලු පාලන මූලධර්මයන් අමතක කරමින් රටක ව්‍යවස්ථාවක් ලෙස මෙවැනි ලේඛනයක් ඉදිරිපත් කළ අවස්ථාවක් ගැන උදාහරණයක් වර්තමාන කාලයේදී සොයා ගැනීම අපහසුය. මිලිටරි පාලනය මඟින් බලය අල්ලාගත් සමහර පාලකයෝ තමන්ගේ රටේ පාලන ක්‍රමය වෙනස් කලේ ඉතා විවුර්තවය. එවැන්නෝ විවුර්තවම පාර්ලිමේන්තු වසා දැම්හ. සමහර විට අධිකරණ වල බලය නැති කර දැමූහ. විරුද්ධවාදීන් සිර ගත කළෝය. එහෙත් ඒ සියල්ල කළේ විවුර්තවම තමන් ප්‍රජාතනත්‍රවාදී පාලනය අතහැර මිලිටරි පාලනයක් ඇති කරණ බව ප්‍රදර්ශනය කරමිනි.

ජයවර්ධන එවැනි විවුර්ත බාවයකින් කිසිවක් කළේ නැත. ඔහු කතා කළේ ප්‍රජාතනත්‍රවාදී සමාජයක් ආරක්ෂා කිරීම, පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීම, අධිකරණයේ ස්වාධිපත්‍ය සහ ධර්මිෂ්ට සමාජයක් ගැනය. එහෙත් ඔහු තමන් විසින් නිර්මාණය කර ගත් 1978 ව්‍යවස්ථාවෙන් කළේ පාර්ලිමේන්තුව බල රහිත කිරීම, අධිකරණය නොවැදගත් සංස්ථාවක් බවට පත් කිරීම, එමෙන්ම රට පුරා අවනීතිය රජකම් කළ හැකි සේ සියලුම පාලන ධර්මතාවයන් බිඳ දැමීමය.

පාලකයෝ සංවිධානාත්මක සමාජයක් පවත්වාගෙන යාමට සෑම වැයමක්ම ගනිති. ජයවර්ධන කළේ සමාජයේ සංවිධානාත්මක බව නැති කර දැමීමය. එතෙක් ශත වර්ෂ ගණනාවක් තිස්සේ ලාංකීය සමාජය තුළ කිසියම් සංවිධානාත්මක බාවයක් පවත්වාගෙන යාමට ඇති කර ගෙන තිබු පරිපාලන ක්‍රමය ඔහු බිඳ දැම්මේය. එසේ කළේ වෙනත් පරිපාලන ක්‍රමයක් ඇති කිරීම සඳහා නොවේ. පාලන රටාව නැති කළ විට ඇතිවන අවුල් සහගත බාවය තුළ තමන්ට විරුද්ධව කිසියම් බලවේගයක් ඇතිවීම වලක්වා ගැනීම මඟින් හැකි පමණ කාලයක් බලයේ සිටීම ඔහුගේ අරමුණ විය.

ලෝකයේ සිටි සමහර පාලකයෝ දරුණුය. එහෙත් එම දරුණු කම් මද්යේද ඔවුහු සමාජයේ කිසියම් සංවිධානාත්මක බාවයක් පවත්වාගෙන යාමට සෑම ප්‍රයත්නයක්ම ගනිති. එසේ කරන්නේ එම සමාජය තුළ ඔවුන් සිතන ආකාරයේ කිසියම් සමාජමය අරමුණු ඉටු කර ගැනීමටය. සමහරු මෙවැනි ආකාරයෙන් අලුත් ආර්ථික රටාවන් ඇති කරති. මෙය සංවර්ධනය යනුවෙන් හඳුන්වති. එහෙත් ජයවර්ධන එවැන්නෙක් නොවේ. ජයවර්ධන සමාජමය අරමුණක් නැතිව පාලනය කළ අයෙකි. ඔහුගේ අරමුණු මුළුමනින්ම පුද්ගලික බලකාමය පිලිබඳ අරමුණු විය. ජනසමුහක් සේ පැවැත්ම සඳහා අවශ්‍ය පොදු සාමුහික සම්බන්දතා රටාව ඔහු බිඳ දැම්මේය. වෙවැනි අවුල් ජාලයක් ඇති කළ තවත් පාලකයෝ ඉතා විරලය.

රටේ අසංවිධානාත්මක බාවය ඇති කළ ව්‍යවස්ථාව අදත් පවතී. ජයවර්ධන ඇති කළ අසංවිධානාත්මක සමාජයේ වැඩ වඩාත් අවුල් වෙමින් තවදුරටත් පවතී. ජයවර්ධනගේ පාලනය තුළින් ඇති වූ අසංවිධානාත්මක බාවය තුලින් රටේ සියලුම සන්වරතාවයන් බිඳුනේය. වංචාව සහ බොරුව හැම අස්සක මුල්ලකටම පැතිරුණේය. බොරුවෙන් තොර කිසිම දෙයක් ඉතුරු වී නැත. චන්ද ක්‍රමය වූවත්, ආර්ථික ක්‍රමය වූවත්, යුක්තිය පසිඳලීමේ ක්‍රමය වූවත්, නිතිය වූවත්, විශ්ව විද්‍යාල ක්‍රමය වූවත්, මේ ආදී සෑම දෙයක්ම අද මහා බොරු කන්දරාවක් මැද  අවුල් වියවුල් වෙමින් පවතී. මෙය කොතෙක්ද කිව හොත් රටේ මෙගර් ස්ටාර් වැනි සින්දු තරඟයක් පවා අමු වංචාවෙන් තොරව පවත්වන්නට බැරි තත්වය උදා වී ඇත. Tell a Friend