දත් නැති කඩදාසි කොටියෙකුගේ නිජබිමක් පමණි.

මීනා කන්දසාමි

 මාර්ක්ස්  සිය  “ ලුවී බොනපාර්ට්ගේ  බෲමෙය 18 වැනිදා[1]” කෘතිය  ආරම්භ කරන්නේ ඉතිහාසයේ සිදුවීම් දෙවරක් සිදුවන බවට වූ හේගල්ගේ ප්‍රකාශය වෙනස් කරමින්,  එය සිදුවන්නේ “එක් වරක් ඛේදවාචකයක් ලෙසත් දෙවන වර   විගඩමක්  ලෙසත්” බවට ඊට එකතු කිරීමක් කරමිනි.  

පලමුව  ඛේදවාචකය:

2009 අප්‍රියෙල් 27 දා, පාර්ලිමේන්තු මැතිවරණ දේශපාලනයේ  හාස්‍ය ජනක රංගනයේදී කරුණානිධි ඓතිහාසික විරෝධතා ක්‍රියාමාර්ගයක් ගතයුතුව තිබියදී  “ අවිනිශ්චිත” උපවාසයක් උදෑසන කෑම සහ දිවා ආහාරය  අතර  උපක්‍රමික ලෙස  යොදාගනිමින්  නුදුරු  මහා ජන සංහාරයකට මුහුණ දෙමින් සිටි දහස් ගණන් ඊලම් දෙමල ජනයාගේ ජිවිත අනුකම්පා වීරහිතව ඔට්ටුවට තැබීය.

කොළඹ ආණ්ඩුව විසින් එදිරිවාදුකම් නවතා දැමීමක්  ප්‍රකාශයට පත් කළ බවට  පී.සිදම්බරම් ගෙන් ලැබුණු සහතිකයත් සමග ඔහු සිය උපවාසය නාටකීය ලෙස  අත්හරිනු ලැබිණි . මේ සටන් විරාම ගැන  පෙර සුදානම් වූ ප්‍රචාරණයන් මගින් පතුරුවා හැරියත් , වන්නියට නොකඩවාම බෝම්බ වරුෂා පතිතවිය .ඊලම් දෙමල ජනයාගේ අවසන් රැකවරණයවූ  මුල්ලිවයික්කාල්  පටු වෙරල තීරයද  පසුව විශාල සොහොනක් බවට පත්කෙරිණ.  ඊලඟට එළැඹි  දිනවලදී ,  අගමැතිවරයාට ලිපි ලියමින් සිය ලේඛන හැකියාව උරගාබැලීමෙහි  කරුණානිධි නියුක්ත වුයේය.  ශ්‍රීලංකා රජය දෙමල ජනයා අතුගා දැමීමේ සිය සැලසුම් ක්‍රියාත්මක කරන විට ඉන්දීයාව තම සාමාන්‍ය කටයුතු කරගෙන ගියේය. මහ මැතිවරණය පැවැත්විණ . දේශපාලන පක්ෂ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ළෙලවමින් සාද දැමූහ. ඒ අතර තවත් තැනක 40,000ත් 1,00,000 අතර ඊළම් දෙමල ජනතාවක්  සංහාරයට ලක්විය.  කොන්ග්‍රසය නායකත්වය දුන් සන්ධානය නැවත බලයට පැමිණුනි.   ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (DMK)  පක්ෂය වුව ද  විශාල පරාජයකින් පීඩා නොවින්දේය. අධිරාජ්‍යවාදී බලය හා රාජපක්ෂ සොයුරන් සමග සම දායකත්වය සපයමින්   ඊලාම් දෙමල ජනසංහාරයකට හවුල්කරුවෙකු විම මගින්,  කරුණානිධි විසින් නාට්‍ය රචකයෙකු ලෙස සිය හැකියාව ඔප්පුකරනු ලැබීය .

වත්මන් විගඩම

කොන්ග්‍රසය හුරතල් කරමින් සිටි  වසර  නවයකට පසු, කරුණානිධි  ඊළම් දෙමළ ප්‍රශ්නය සම්බන්ධ නවදිල්ලියෙන්  ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටිමින් ද,  ශ්‍රී ලංකාව ගැන  දියාරු කළ එක්සත් ජාතීන්ගේ යෝජනාව ගැන සිය ගැටළු සඳහන් කර එය පිරිහෙළිම ගැන දොඩවමින්  ද අවසථාව ඩැහැ ගත්තේය. පසුව අත්‍යවශ්‍ය විච්චූර්ණවලින් අනතුරුව හකුළාගත්තේය. සමහර විට මේ මගින්  ඔහුගේ වැරදි  සුදු පිරියම් කරනු ඇති බවටත්, මැතිවරණයේ ඊළඟ වටයේදී ඔහුව ගලවා ගනු ඇති බවටත් ඔහු තුළ විශ්වාසයක් පවතින්නට ඇත.
 DMK නාටකය ගැන විශ්වාසනීයත්වයක් නොවීම ගැන පමණක් නොව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී  ඇමෙරිකාව අනුබල දෙමින් සකස් කළ යෝජනාවත් ඊට  පෙර ඉදිරිපත් කල යෝජනාවේම සෙවනැල්ලක් බවට කිසිදු සැකයක් නොමැත . ලියැවිලි මගින්  ඉඳහිට ස්වයං විනාශය හා ස්වඝාතක මෙහෙයුම් භාර ගැනෙනා බව කියැවේ.  ශ්‍රි ලංකාව සම්බන්ධ යෝජනාවේ නානාප්‍රකාර සංස්කරණයන්  යම් අභිරහසකින් වැසී තිබුණද එහි ඉන්දියානු හස්තයේ බලපෑම පවතින බවට සිතිය හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ වාර්තාවෙන් නියම කල “ ස්වාධීන සහ විශ්වාසනීය ජාත්‍යන්තර විමර්ශනයක්” ගැන මෙහි කිසිදු සඳහනක් නොමැත, “බලය බෙදීමට අසමත්වීම”ගැන අවධාරණය කරන ප්‍රකාශය අතුරුදන්ය .  මෙම යෝජනාවලියේ  “දිරිගැන්වීම”  යනු  “පෙළඹවීම” යන්නට  නව ආචාරශීලි පර්යාය පදයක් වී ඇත. දැනුවත් දියාරුකිරීම් මගින් විශේෂ  නියෝජිතයා වෙනුවෙන් වූ  “නිර්බාධිත ප්‍රවේශය”  “ අනුග්‍රාහක  ඇරයුම්” බවට පත් කෙරී ඇත.  එමෙන්ම වර්ග සංහාරය පිලිබඳව මෙහි කිසිදු සඳහනක් නොමැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රිලංකාවේ අපූර්ව වාර්තාව, යුද අපරාධකරුවන්ට  රාජ්‍ය තාන්ත්‍රික තනතුරු අතිරේක දඬුවම් ලෙස ලබා දීමේ භාවිතය සම්බන්ධයෙන් ණය ගැතිවන අතර හිතාමතා සිදු කරන ලද විකෘතිකිරීම් මගින් සත්‍යය මත  ආලෝකපතනය වීම වළක්වා ඇත.

මේ පෙළ ගැස්ම සහ කෲර ඝාතනයන් හා සහගාමී ප්‍රීත්‍යුත්සවයන් දෙස බලනු මැනවි. වන්නියේ රෝහල්වලට බෝම්බ හෙලීමේ මානවවාදී සේවාව උදෙසා මේජර් ජනරාල් ජගත් ඩයස්  ජර්මනියේ නියෝජ්‍ය තානාපති වරයා ලෙස පත්කෙරිණි. සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි දෙමල  විමුක්ති කොටි නායකයින් වෙඩි තබා ඝාතනය කිරීමේ වීර ක්‍රියාව වෙනුවෙන් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පිදුම් ලැබුයේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙසිනි. අද්මිරාල් තිසර සමරසිංහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයා ලෙස පත් වුයේ යුද මුක්ත කලාපයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙනි .
2009 මැයි වලදී , ස්විස්ටර්ලන්තය හා යුරෝපා හවුලේ සාමාජික රටවල්  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ හදිසි රැස්වීමකදී  යෝජනාවක් සම්මත කර ගැනීමට අපේක්ෂා කළේ යුද්ධය අවසන් කාලයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් ලැයිස්තුගත කිරීමටය . එවිට කොළඹ නියෝජිතයාගේ “බටහිර යටත්විජිතවාදීන්” ගැන වහසි දෙඩීම විසින්  “ ශ්‍රිලංකාවේ එකම සතුරා ඔවුන් තුලම සිටින බව” සැමටම පසක් කර දුන්නේය. ශ්‍රී ලංකා රජය විසින් ආණ්ඩුවේ මානව හිමිකම් ප්‍රවර්ධනය ගැන එය වර්ණනා කරන ස්වයං ප්‍රශංසාත්මක  යෝජනාවලියක් හඳුන්වාදීම මගින් එම උත්සාහය කල්තබා වළක්වන ලදි.

ඇමෙරිකාවේ අනුබලය මත  පසුව සකස් කළ යෝජනාවලිය පසුගිය වසරේ යෝජනාවන්හිම ඡායාවකි. මේ වටා ඇති සැඟවුණු අරුත නම් බොහෝ අදහස් හා යෝජනාවන් ඉන්දියාවෙන් වීමය .

පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී , ඉන්දියාව ලංකාවට එරෙහිව ජන්දය පාවිච්චි කළ විට මනමෝහන් සිං,  “අතිගරු ජනාධිපති තුමනි, ඔබතුමාගේ දැනගැනීම පිණිසයි, අපි උත්සාහ නොකර සිටියේ නැහැ. යෝජනාවලියේ භාෂාවට සමබරතාවයේ  මූලිකාංග හදුන්වාදීමේදී අපි සාර්ථකයි” යනුවෙන් රාජපක්ෂට මතක් කරදෙමින් ආදර වන්තයන්ගේ  ලෙස පෙනුණු දබරය සමනය කළේය. මෙවැනි දේවලට හපන් මන් මෝහන්  හිස නමා , දණ ගසා, බිම වැතිර , ඔහුගේ උත්තමයාණන්  එවැනි ක්ෂණික සමාව අයැදීමකින්  සතුටු වන තෙක්  යාප්පු විය. මේ මාර්තුවේදී පරණ වැරදි වලට සමාව අයදින්නා සේ , ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා විසින් යෝජනා කරනු ලැබුවේ “ ඇමෙරිකාව සහ ලංකාව දෙපාර්ශවයටම පිළිගත හැකි ප්‍රතිඵල ඉලක්ක කරගනිමින් යෝජනාවලිය සකස් කිරීමට ඍජුව මැදිහත්විය යුතුබවය.”  දියාරු කරන ලද යෝජනාවලිය මගින් පෙන්නුම් කරනුයේ සාකච්ඡා  ඵලදායී වූ බව සහ ගණුදෙනුවට එකඟව ඇති බවය. අපි අවසන් ප්‍රතිඵලය දකිනු වස්  බලා සිටිමු.  ඇතැම් විට එක්සත් ජනපදය සිටින්නේ  සිතියමක් අතැතිවමෙම  ප්‍රක්ෂිප්ත පාරාදීසයේ තුළ තමන්ට අවශ්‍ය වනුයේ වරායක් ද නැතහොත් ගුවන්තොටුපලක්දැයි  තෝරාගැනීමට කාසියක් උඩ දමමින් විය හැකිය.

අනෙක් අතට, සංචාරකයන් , තේ වෙළඳාම සහ ලැබෙමින් පවතින  නිවාස ඉදිකිරීම් ටෙන්ඩර්  ගැන ඉන්දියාව සතුටට පත්ව සිටී. නමුත්  එකම පැමිණිල්ල නම් ඔවුන්ගේ සතුරන්ද එහි සිමාවන් තුල සිටීම ය; සතුරෝ,  දෙමල බස කතාකරන සතුරෝ, වර්ග සංහාරයට නවදිල්ලියේ දායකත්වය පිලිබඳව එයට සිහි කැඳ වූ සතුරෝ, විදී බට සතුරෝ, දෝතිය උනා දමා ඉන්දීය ජාතියේ ස්‍වෛරීභාවය තර්ජනයට ලක් කළ සතුරෝ,  ඉන්දීය මාතාව ලැජ්ජාවට පත් කළ දෙමල විගඩම්,  ඇයට ඇගේ සැනසීමට ඇති එකම පිළියම ඇඳිරි නිතිය සහ විද්‍යාල වසාදැමීම පමණි.  මේ අතර ඇයගේ අල්මාරියේ ඇති  කාශ්මීර ඇට සැකිලි ගැන කිසිවෙක්  කතා නොකරනු ඇති බවට ඇය අපේක්ෂා කරයි.   ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර  පළාත්  දෙමල වාසභූමියක් ලෙස පිළිගැනීමට ඇය අකමැතිය. ඊළම් දෙමල ජනයා වාසභූමියක් සතු ජාතියක් ලෙස පිළිගැනීම ඇය ප්‍රතික්ෂේප කරන්නීය. ඊළම් දෙමල ජනයාගේ ස්වයං නිර්ණය අයිතිය ගැන තීරණයකට එළඹීමට ඈ ඇගේ විදේශ ප්‍රතිපත්තිය වෙනසකට අභියෝග නොකරනු ඇත. එමෙන්ම  දෙමල හා සිංහල දෙපාර්ශවයෙන්ම වන  දේශපාලන සමථකරණයක් ගැන ඇයට අපේක්ෂා සහගත උවමනාවක්  නොමැත. ඇයට දේශපාලන වැටහීමක් ද නොමැත.  මළවුන් වෙනුවෙන් ඇය කඳුළු නොසළයි, පිඩාවට පත්වූවන් වෙනුවෙන් ඇය යුක්තිය නොපතයි. ඒ වෙනුවට  ඇය අන්කල් සෑම් ගේ උරහිස් මතට බර දී , සිදුවන දේ විස්මය දනවන පුළුල්ව විවර කල ඇස් වලින් බලමින් සිටින්නීය. ලෝකවාසී ජනතාව මෙන්, ඇගේම ජනතාව ද,  බලය බිඳලීම එතරම් පහසු නොවන බව ට දැනුවත්ය.

මේ ඒක ධ්‍රැවීය ලෝකයේ යුක්තිය කැරකෙනුයේ එක්සත් ජාතීන් , අධිරාජ්‍යවාදී බලය  සහ එහි ගැත්තන් වටාය.  ඊළම් දෙමළ ජනයා සතුව  ‍ඓතිහාසික ස්වෛරීභාවයක් සහ දිනාගත් ස්වෛරීභාවයක් තිබුන ද, වෙන්වීම තුළින් පමණක් සිය ආරක්ෂාව සහතික වනු ඇතැයි ඔවුන් විශ්වාස කරන්නේ නම්, සම්පූර්ණ විනාශයෙන් ගැලවීමට ඔවුන් හමුවේ ඇති එකම උපාය වනුයේ එක්සත් ජාතීන් වෙතින්  උපයාගත් ස්වෛරීභාවය ඉල්ලාසිටීමය.

ඔවුන්ගේ යුක්තිය පිළිබඳ අපේක්ෂාවන්ට සහ ස්ථිර දේශපාලන සංහිඳියාවකට පටහැනිව, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව මගින් නිර්දේශ කල යෝජනා ක්‍රියාවට නැංවීමට  ගියවර මෙන්ම මෙවර යෝජනාවලියෙන් ද බලකර සිටි. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව ගැන ඊළම් දෙමල ජනයාගේ ප්‍රතිචාරය වනුයේ එය අනතුරුදායක බවය. තවත් අය එල් .එල් ආර් සී වාර්තාව  ඊළම් දෙමල ජනයා ව්‍යුහාත්මක හා සංස්කෘතිකව සංහාරයකට ලක්කිරීම සඳහා වන භයානක සැලසුමක පිටපතක් බව පෙන්වාදෙන අතර තුර තවත් අය සඳහන් කරන්නේ  එය   නීතියේ සරදමක් බවය, ඒ විත්තිකරුවාත්, විනිශ්චයකරුවාත් දෙදෙනාම රාජපක්ෂ වීමය.  එවැනි අනතුරු ඇඟවීම් යුක්ති සහගත වනු ඇත. එල් එල් ආර් සී  වාර්තාව භාෂා තුනක් දන්නා ජාතියක් 2020 වනවිට ගොඩනැගීමට ඉල්ලා සිටී, එය ස්ථිර ලෙස  දක්වා ඇත්තේ දිස්ත්‍රික් හෝ පළාතක් භාෂාව පදනම් කරගනිමින් වර්ගීකරණයක් කළ නොහැකි  බවය. එමෙන්ම එවැනි වර්ගීකරණයක් ප්‍රතික්ෂේපවීම තුළ විද්‍යමාන වනුයේ දිවයිනේ උතුරු නැගෙනහිර පළාත් දෙමල ජනයාගේ පාරම්පරික වාසභූමියක් නොවන බවය. එබඳු ලියැවිල්ලක නියෝග ක්‍රියාත්මක කිරීමට ගියහොත් විනාශවනුයේ හුදෙක්ම ඊළම් දෙමල ජනයාගේ සැබෑ අභිලාෂයන් සහ ස්වයං නිර්ණය අයිතියයි .

මේ කාරණයට පිළියම් දීමේදී එක්සත් ජාතින් මුලා වුණු බවට පැවසීමට සාක්ෂි ඕනෑ තරම්ය. පශ්චාත් 2009 කරළියේදී , ක්‍රියාත්මක කිරීමට අසමත් වූ  ඔවුන්ගේම වාර්තා තුනක් ගැන එක්සත් ජාතීන් පිළිගෙන ඇත. ඩබ්ලින් යුද අපරාධ විනිශ්චය සභා වාර්තාව සහ සාම ක්‍රියාවලියේ සිය භූමිකාව ගැන පරීක්ෂාවට ලක් කරමින් කළ නොර්වේ වාර්තාව  ගැන ඉතාමත් සැළකිල්ලෙන් පරික්ෂා  කිරීමේදී  එක්සත් ජාතීන්ගේ ස්ථාවරය විනිශ්චයට භාජනය කල හැකිය . දේශපාලනඥයන් හා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ රාජතාන්ත්‍රිකයන්, වත්මන් එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය මෙන්ම  දත් හැලුණු කඩදාසි කොටින්ගෙන් සෑහීමට පත්ව ඇති අතර,  එමෙන්ම මෙම කාරණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය වෙත ගෙන ඒමට ඇති  හැකියාව සොයාබැලීමට   ඔවුන් තුළ පවතින අගතීන් විසින් ඉඩ නොදෙයි. ආකල්පමය වෙනසක් රැගෙන එනු ඇත්තේ ජනතා බලය විසින් පමණකි. තමිල් නාඩුවේ දැවැන්ත උද්ඝෝෂණ සංකේතවත් කරනුයේ මේ රැඩිකල් අරගලයේ නව පරිච්ඡේදයකි .
.......................................................................................................................
[1] ප්‍රංශ සමූහාණ්ඩු දින දර්ශනයේ දෙවන මාසය බෲමෙය ලෙස හැඳින්විණි.  ඔක්තෝබර් 22සිට නොවැම්බර් 22  අතර දළ වශයෙන් පවතින ශරත් සමයේ දෙවන මාසය “brume” (මිහිදුම) යන ප්‍රංශ වචනයෙන්  බිඳී ආ  Brumaire  බෲමෙය යන්නෙන්  හැඳින්වේ. බෲමෙය 18 වැනි දා යනු ජෙනරාල් නැපොලියන් බොනපාට් කුමන්ත්‍රණයක් මගින් බලය අල්වාගත් 1799 නොවැම්බර් 9 වැනිදාය.

ඉන්දියාවේ පළ වන Outlook සඟරාවට Only A Homeland For A Toothless Paper Tiger මැයෙන් ඉන්දීය ලේඛිකාවන් සහ සමාජ ක්‍රියාකාරිනියක් වන මීනා කන්දසාමි විසින් ලියන ලද ලිපියේ සිංහල අනුවාදයයි.