මවු බිමේ නම අවලස්සන නොකරන්න කුඩා කළ සිටම දරුවන්ට කියා දෙන්න- ජනපති කියයි


( කතු සටහන:- සොවිට් දේශය පාලනය කළ ජෝසේෆ් ස්ටාලින් සියලුම විෂයන් සඳහා තමන්ගේම න්‍යායන් තනපු කෙනකි. එසේම කාම්බෝජය කොමියුනිස්ට් රජයක් කිරීමට සිහින දුටු පොල් පොට්ද එසේ කළේය. නමුත් අවසානයේදී ඔවුහු යටතේ සිදුවූ දෑ දන්නෝ දනිති. අපේ රටට එහෙම අභාගයක් නොවේවා යැයි පතමු. කෙසේ නමුත් ලංකාවේද දේශපාලකයා දේශපානය හැර වෙන හැම බිබික්කටම ඇඟිල්ල දමති. අපේ වැටහීම අනුවනම් ලංකාවේ ළමුන් ඉතා හොඳ වන්නා සේම ඔවුහු රටේ නම අවලස්සන කරන්නෝ නොවෙති. )


දහස් ගණනක් විරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් මවුබිමේ නම අවලස්සන නොකළ යුතු බවට හැඟීම කුඩා කළ සිටම දරුවන්ට ලබාදිය යුතු යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. තමා උපන් මවුබිම ලොව හොඳම රට යැයි කියන හැඟීම දරුවන් තුළ ඇති කළයුතු බව කී ජනාධිපතිවරයා අපේ ශ්‍රේෂ්ඨ අතීතයට දරුවන් සිනා වන්නේ නම් ඒ අධ්‍යාපනයෙන් ඵලක් නැති බවත් කීවේය.


ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකෙරුණු “අධිෂ්ඨානයේ පිහිනුම් තටාකය” විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (7) එක් වෙමිනි.


විද්‍යාලයාධිපති ලබුතලේ සුදස්සන හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේත්, මාපිය ආදි සිසු හා සිසු කැලගේත් සැබෑම වූ අධිෂ්ඨානයත්, කැප කිරීමත් මත ඉදිකෙරුණු මේ තටාකය සඳහා වැය කෙරී ඇති මුදල රුපියල් මිලියන 35 කි.


රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් අතැතිව පිහිනුම් තටාකයේ කටයුතු ඇරඹූ සුදස්සන හිමියෝ ඒ සඳහා මුදල් මදිකම සපුරාලනු වස් තමන්ගේ මෝටර් රථය ඒ වෙනුවෙන් ඇරඹු ලොතරැයියකට පරිත්‍යාග කෙළේය.


අධිෂ්ඨානය හා කැපවීම ඇත්නම් කළ නොහැක්කක් නොමැති බව මේ පිහිනුම් තටාකය විවෘත කිරීමෙන් රටටම ඔප්පු කර පෙන්වීමට සුදස්සන හිමියන් ඇතුළු පිරිස සමත්ව ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.


වත්මන් රජය අධ්‍යාපනයට මිලියන නොව බිලියන ගණනින් මුදල් වැය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කැපවීමට ප්‍රමුඛතාව ලැබෙන පරිදි අපේ රටේ අධ්‍යාපනය වෙනස් විය යුතු බව පැවැසීය.


දරුවන්ගේ දැනුම, කුසලතා මෙන්ම ආකල්පත් වර්ධනය කිරීමට පාසලේ දායකත්වය වැදගත් බව කී ජනාධිපතිවරයා ගුරුවරුන්ගේ නොමඳ කැපවීම ඇත්නම් රටට ආදරය කරන දරු පරපුරක් ගොඩනැගීම අපහසු නොවන බවත් කීවේය.


එදා සිටම බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවන් විශිෂ්ට ජයග්‍රහණ දැක් වූ බව කී ජනාධිපතිවරයා 2018 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තරඟ කරමින් සිටින බවත්, මාගම්පුරයේදී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින ඒ ක්‍රීඩා උළෙලේ පිහිනුම් අංශයේ රන් පදක්කම දිනා ගැනීමේ අභියෝගය බණ්ඩාරනායකයේ දරුවන්ට බාරදෙන බවත් වැඩිදුරටත් පැවැසීය.


බණ්ඩාරනායක විද්‍යාලයාධිපති ලබුතලේ සුදස්සන හිමියන් සහ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක, සිළුමිණ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහත්වරුද අදහස් දැක්වූහ.
Tell a Friend