මහත්මා ගාන්ධි තුමාගේ සිරකුටියට ගිය තාගෝර්තුමා

ගල්දෙණියේ සිරිවර්ධන


ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ ජීවිත කතා කියවීමෙන් ශේ්‍රෂ්ඨ හැඟීම් සිත් තුළ පහළ වන බව අසා තිබේ. එබැවින් භාරතයේ නිදහසේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධි නමැති ශේ්‍රaෂ්ඨ මිනිසා ගැන කෙටි විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීමට මෙයින් අදහස්‌ කරමි.

මහත්මා ගාන්ධිතුමා තම ජීවිතයට පන්නරය ලබා ගත්තේ ලෝක ප්‍රකට සාහිත්‍යධර ලියෝ ටෝල්ස්‌ටෝයිතුමාගේ උසස්‌ පොතපත කියවීමෙන් බැව් දැක්‌වේ. එම පොතපත කියවන අතරම එතුමා භාරතයේ මහා කවි තාගෝර්තුමා සමග දැඩි ඇසුරුකමක්‌ පැවැත්වූ බව දැනගන්නට තිබේ.

මෙසේ ජීවිතය හැඩගසා ගත් ගාන්ධිතුමා ඉංග්‍රීසි ධනේශ්වර ඒකාධිපති පාලනයෙන් ඉන්දියාව නිදහස්‌ කර ගැනීමට අවිහිංසා සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කළේය. ඉන්දියාව පුරා පවත්වාගෙන ගිය එම සත්‍යග්‍රහ ව්‍යාපාර මැඩපැවැත්වීම සඳහා මහත්මා ගාන්ධිතුමාට විරුද්ධව නඩු පවරා ඔහු සිරගත කරනු ලැබීය.

එසේ සිරගත කරනු ලැබ සිටියදී "ඔබේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නම් මා බැලීමට එන්න" යනුවෙන් විදුලි පණිවුඩයක්‌ තාගෝර්තුමා වෙත යවා ඇත. එය ලැබුණ වහාම තාගෝර්තුමා කල්කටාවේ සිට පුනානි සිර කඳවුර බලා බොම්බේ තැපැල් දුම්රියෙන් පිටත්ව ගොස්‌ තිබේ. ඔහු එහි ළඟා වන විට ගාන්ධිතුමා ඉතාමත් ශාරීරික දුබලතාවෙන් පසු වූ බව දැක්‌වේ.

තාගොර්තුමාගේ එම ගමන ගැන විස්‌තරය තාගෝර්තුමාම විස්‌තර කර ඇති අන්දම ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතා විසින් සිළුමිණට ලියන ලද ලිපියකින් උපුටා ගතිමි. තාගෝර්තුමාගේ එම විස්‌තරය ඉතාමත් සංවේදී බැවින් එය වෙනස්‌ නොකොට එපරිදිම මෙහි සඳහන් කරමි.

"අප එම යෙරෙව්දා සිර ගෙදරට යන විට ගේට්‌ටුවට තරමක්‌ දුරක්‌ තිබෙද්දී අපගේ කාර් එක නවත්වනු ලැබුවා. ඉදිරි නියෝගයක්‌ ලැබෙන තෙක්‌ කිසිම වාහනයකට ගේට්‌ටුවෙන් ඇතුළු වන්නට ඉඩදෙන්න එපාය කියල එහි රාජකාරියේ සිටි මුර සෙබළාට දන්වා තිබෙනවා. අපේ කෙනෙක්‌ බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවසර පතක්‌ ලබාගන්නට ගිය අතරවාරයේ දී අවසර පත්‍රයක්‌ අතැතිව ශ්‍රීමත් දෙව්දාස්‌ කාර් එකකින් අප සමීපයට පැමිණියා. පසුව මට දැනගන්නට ලැබුණේ අපේ රථයට බාධා කර ඇති බව මහත්මාජිට දැනගන්නට ලැබී ඔහු තම පුතා අපව සොයා එවාපු බවයි.

විශාල යකඩ ගේට්‌ටු එකින් එක ඇරෙන්නට වුණා. අප ඇතුළු වුණාට පසුව ඒවා වැහුණා. මහත්මාජි වැතිර ඉන්නවා. හරිම දුක්‌මුසු විදිහට.

මහත්මාජි තමා ළඟට මා කැඳවාගෙන ටික වේලාවක්‌ මා එහි තබාගෙන හිටියා. මා දැකීමෙන් ඔහු තුළ විශාල සතුටක්‌, ආනන්දයක්‌ ප්‍රකාශ වුණා. හොඳ ආරංචියකුත් තියෙන වේලාවක පැමිණෙන්නට ලැබීම ලොකු වාසනාවකැයි මට හිතුණා. ලන්ඩන්වලින් ආපු ආරංචිය දැන් ඉන්දියාව හැම තැනම පැතිරිලා ගිහින්.

පැයෙන් පැය ඉතාම වේගයෙන් අවසාන තිත දක්‌වා සිඳෙමින් පවතින ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කිසිවෙකුට හදිසියක්‌ නැතුවා වගෙයි. හැම පැත්තෙන්ම මිත්‍රයෝ. ඔවුන් අතර මහාදේව, වල්ලාභායි, රාජගෝපාලාචාරි, රාඡේන්ද්‍ර ප්‍රසාද්, ශ්‍රීමතී කස්‌තුර්මා සහ සරෝජිනිත්, ජවහර්ලාල්ගෙ බිරිය කමලාත් හිටියා.

මහත්මාගෙ කෙසඟ සිරුර හොඳටම දුර්වල වෙලා. ඔහුගෙ කටහඬ ඇහෙන්නෙත් යාන්තමට. ඔහුගෙ ආමාශය ඇතුළෙ වර්ධනය වන අම්ල තත්ත්වය පාලනය කරන්නට ඔහුට සෝඩා සමග වතුර පොවනවා. ඔහුගේ වෛද්‍යවරුන්ගෙ වගකීම ඉතාම භාරධූරයි. එහෙත් ඔහුගේ අභ්‍යන්තර ප්‍රාණවත් භාවය බිඳක්‌වත් අඩුවෙලා නැහැ.

මේ ආකාරයට හෝ ඔහු ළඟටම නොපැමිණියේ නම් මේ කෙසඟ මිනිසාගේ අපූර්වය මට නිසි අන්දමින් අවබෝධ කරගන්ට ලැබෙන්නේ නැහැ. මහත්මාජි මගේ පැමිණීම ඉතා ඕනෑකමින් බලා සිටි බැව් මහාදේවි මට කියා සිටියා. දේශපාලන ප්‍රශ්න විසඳීම සඳහා මට කිසිම සහයක්‌ දෙන්න බැහැ. මන්දයත් අවශ්‍ය අත්දැකීමවත්, නැමියාව වත් මට ඇත්තේ නැති නිසා. එහෙත් මගේ පෞද්ගලික දර්ශනයෙන් ඔහුට සංතෘප්තියක්‌ ලබාදීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා.

අන්තිමේදී ආණ්‌ඩුවේ රතු මුද්‍රdව සහිත ලියුම් කවරයක්‌ අතැතිව බන්ධනාගාර ඉන්ස්‌පැක්‌ටර් ජෙනරාල්වරයා දර්ශනය වුණා. ඔහුගේ මුහුණේ ප්‍රීතියේ ඉඟියක්‌ පෙනෙන්නට තියෙනවා. මහත්මාජි ඒ ලේඛනය හිමින් සැරේ කියවනවා. අනිත් අයට එතැනින් පැත්තකට වෙන්න කියා ඉල්ලීමක්‌ කරන්නැයි මම සරෝජිනීට කිව්වා. ඒත් එය කියවා අවසන් වූ නිවේදනයේ තියෙන කාරණා ඔවුන් අතර සාකච්ඡා කරන්ට කියල කියනවා. ඒ වගේම එය ආචාර්ය අම්බෙඩ්කාර්ට පෙන්වීම තමාගේ කැමැත්ත බවත් ඔහු කියා සිටිනවා.

මමත් එය කියවා බැලුවා. පණ්‌ඩිත් හරිදායිනාත් කුන්සර් එය මහත්මාජිට විස්‌තර කර දුන්නා. දැන් ඉතින් උපවාසයේ මහා දණ්‌ඩනය විඳීම අවසානයි.

බන්ධනාගාරයේ බිත්තිය ළඟ තිබුණ මහත්මාජිගේ සයනය ඉවත් කරනු ලැබුවා. බ්ලැන්කෙට්‌ටු බිම එළාගෙන දැන් සියලු දෙනාම බිම වාඩිවෙලා. ශ්‍රීමති කමලා නේරු දෙහි යුෂ පිළියෙල කරන්ට පටන් ගත්තා. එය පිළිගැන්විය යුත්තේ ශ්‍රීමතී කස්‌තුර්බා විසිනුයි.

"හදවත වියළී කරවී යන විට" යනුවෙන් ඇති මගේ ගීතාංජලී ගීතය මහත්මාජිගේ ප්‍රියතම ගීතය බව මහාදේව මට මතක්‌ කර දුන්නා. මම ඒ වෙලාවට යොදාගත් තනුවකට එය කියවන්නට වුණා. ශ්‍රීමතී කස්‌තුර්මා මහත්මාජීට පළතුරු යුෂ වීදුරුව පිළිගන්වනවා. ඔහු එය බිඳෙන් බිඳ බොනවා. එතකොටම සබාවතී ආශ්‍රමයේ සාමාජිකයනුත් අනික්‌ අයත් සමග භක්‌ති ගීත ගායනයක්‌ ආරම්භ කළා. "වෛශ්ණව ජාතා හෝ..."

පලතුරු හා රසකැවිලි බෙදා දෙනවා අපි සියලු දෙනාම එකතු වී ඒවා අනුභව කරනවා. හිර ගෙදරක එවැනි දෙයක්‌ මනුෂ්‍ය ඉතිහාසයේ මීට පෙර සිදුවී නැහැ. සමහරු ඔහුගෙ දෙපා සිඹිනව. මල් පොකුරු අරගෙන ළමයින් එනවා. ඒවා පිළිගන්වනවා.

සියලුම මිනිසුන්ගේ හදවත්වල ජීවත් වන දෙවියන් වහන්සේ "මහත්මා" යන නාමයෙන් හැඳින්වෙන බැව් උපනිෂද් ග්‍රන්ථවල හැඳින්වේ. ඒ විශේෂණය අද අප ගරු කරන දෙවියන්ගේ මිනිසාට යුතු අයුරින්ම ප්‍රදානය කර ඇත. සියලුම මිනිසුන් පාපයෙන් මුදවා ගැනීමට බුදුන් වහන්සේ අසමත් වූවා සේම ක්‍රිස්‌තුස්‌ වහන්සේ අසමත් වූවා සේම ඔහුද අසමත් විය හැක. එතෙකුදු වුවත් ස්‌වකීය ජීවිතය යුග යුග පුරා ආදර්ශයක්‌ බවට පත්කළ ජනහිතකාමියකු ලෙස ඔහු හැම විටම සිහිපත් කෙරෙනු ඇත. "තාගෝර්තුමා මෙසේ විස්‌තර කර ඇති ඒ උතුම් මිනිසා පසු කලකදී ගොඩ්සේ සේ නමැති සාහසිකයකුගේ වෙඩි පහරින් මියගියේය.


Tell a Friend