The Most/Recent Articles

Showing posts with label mahinda. Show all posts
Showing posts with label mahinda. Show all posts

‛ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට’ දේශපාලන අනාගතයක් තියෙනවාද ?






 - දීප්ති කුමාර ගුණරත්න -






ශ්‍රීලනිප අනාගතය ෆෙඩ්රික් ජෙම්සන්ගේ ද්‍රෘෂ්ටිකෝණයෙන් 









මහින්ද රාජපක්ෂගෙන් පසු ‛ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට’ දේශපාලන අනාගතයක් තිබේද? ෆෙඩ්රික් ජෙම්සන් නම් ඇමරිකානු මාක්ස්වාදී විචාරකයාගේ දෘෂ්ටිකෝණයෙන් මෙම ප්‍රශ්නය නැවත වර නැගුවොත් එය මෙලෙස නැවත සකස් කළ හැක. මහින්ද රාජපක්ෂට පසු බිහිවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගැන නෙවී, මහින්ද රාජපක්ෂට පසු බිහිවෙන ‛ශ්‍රී ලංකාව’ ගැන හිතන එක ලෝක විනාශය හෝ ඇස්ටරොයිඩයක් පෘථිවියට වැටීම නිසා මුළු මහත් මිනිස් වර්ගයාගේම විනාශය සිදුවීම ගැන හිතන එකට වඩා අපහසුයි. කෙටියෙන් කිව්වොත් ලෝක විනාශය,මිනිස් වර්ගයාගේ වඳවීම ගැන හිතන එකට වඩා අපහසුයි මහින්ද රාජපක්ෂගෙන් පසු ලංකාව ගැන හිතන එක.






මහින්ද රාජපක්ෂගෙන් පසු ‛ශ්‍රී ලංකාවක්’ ගැන සිතීම දුෂ්කර වන්නේ මන්ද ? මෙම සිතීම කොතරම් දුෂ්කරද යත් අතුරලියේ රතන සාදුට අනුව රාජපක්ෂ පරම්පරාව තව අවුරුදු 50ක් මේ රට පාලනය කරනු ඇතැයි උන්වහන්සේ අනුමාන කරයි. මහින්ද රාජපක්ෂ බලයට එනවිට ඔහුගේ ආගමනය න්‍යායගත කරන්නට ලංකාවේ සමාජ-විද්‍යාවක් සහ දේශපාලන විද්‍යාවක් පැවතුණේ නැත. මහින්ද රාජපක්ෂගේ ආගමනය ගැන ලංකාවේ ඇත්තේ එක්කෝ ප්‍රවෘත්ති වාර්තාය, නැතහොත් රූපවාහිනී වාර්තා වැඩසටහන්ය. මහින්ද රාජපක්ෂ ගැන හිතන බොහෝ දෙනා තමන්ව පාලනය කර ගැනීමට, එක්තරා තහංචියක් ස්වයං-බාධාවක් ලෙස ස්වරූපරාගීව තමා වෙතටම ස්වයංව ආරෝපණය කර ගනී. ‛ඕනෑම දෙයක් ගැන හිතන්න! ඕනෑම දෙයක් ගැන විවාද කරන්න! හැබැයි අවසානයේ කීකරු වන්න! රාජපක්ෂ හැර වෙනත් විකල්පයක් නැත.’ ලෝක විනාශය හෝ කලාව වාණිජකරණය වීම ගැන සිතීම වඩා පහසුය.






රටක දේශපාලන අනාගතය ගැන සිතීම අද තරම් තහනම් නැති දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වන බණ්ඩාරනායකගේ අලුත් ‛වෙස් මුහුණ’ (UNPයෙන් ඉවත් වී අලුත් පක්ෂයක් තැනීම) ගැන 1988 වර්ෂයේ අගෝස්තු මසදී නිව්ටන් ගුණසිංහ සටහන් තැබුවේ මෙලෙසය,
‛ජනප්‍රිය සිංහල-බෞද්ධ ජාතිකත්වය පිළිබඳ ඔහුගේ මතවාදය එක් අතකින් බලය අත් කර ගැනීම සඳහා සමාජ පදනමක් නිර්මාණය කළ අතර අනික් අතට උතුරු-නැගෙනහිර මධ්‍යම පළාත්වල දෙමළ ජනතාව දුරස්ථ කළේය. මෙහිලා ශ්‍රී ලාංකික සමාජ සැකැස්මේ විවිධ අංශවලට අයත් නානාප්‍රකාර සමාජ කොටස් ගොනුකර ගැනීමට බණ්ඩාරනායක සමත් වුවත්, එම ගොනු කිරීම සිදු වූයේ දෙමළ ජනතාව බැහැර කිරීමේ පදනම මතය. පුද්ගලයෙකු අර්ථකථනය කළ යුත්තේ අනෙකාගේ ආශාවට ඇති සම්බන්ධයේ සන්දර්භය තුළ යැයි ලැකාන් කළ අවධාරණය අපිට මෙහිලා අදාළ වෙයි. එමගින් අද අපි අත්දකිමින් සිටින බිහිසුණු වාර්ගික අරගලයකටත්, අස්ථාවරත්වයටත්, ප්‍රචණ්ඩතාවයටත්, මිලේච්ඡත්වයටත් දේශපාලනමය පදනමද දැමීය.’






නිව්ටන් ගුණසිංහගේ බණ්ඩාරනායකවාදය ගැන න්‍යායික විග්‍රහය අසම්පූර්ණයි






නිව්ටන් ගුණසිංහගේ බණ්ඩාරනායකවාදය ගැන ඉහත න්‍යායික විග්‍රහය අසම්පූර්ණය. 1988 දී ඔහු මිය ගිය පසු බණ්ඩාරනායකවාදය තවත් සැතපුමක් ඉදිරියට ගමන් කළේය. උපමා කතාවක් ලෙස එය මෙලෙස සකස් කළ හැක. අපි මෙහෙම හිතමු, ඔබට ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ‛සයිකෝ’ චිත්‍රපටය භාගයක් නරඹා හදිසි කටයුත්තක් නිසා බැහැර වන්නට සිදු වූවා යයි සිතමු. එවිට ඔබ දකින්නේ මෙවන් සැකිල්ලකි.මේරියන් ක්‍රේන් නම් සුන්දර තරුණියක් ලෝකයේ වාණිජ පාරාදීසය යයි සැලකෙන කැලිෆෝනියාවේ එක්තරා නගරයක තම කාර්යාල දිවා ආහාර විවේකයේදී හෝටල් කාමරයක තම පෙම්වතා සමඟ නිදහසේ රමණයේ යෙදෙයි. ඉන්පසු තමන්ට බැංකුවේ දමන්නට යැයි ආයතනය විසින් ලබා දුන් මුදලක් පාවිච්චි කරන්නට සිතී ඈත දුර ගමක අධ්‍යාත්මික සුවය ලබා දෙන ‛බේට්ස් අවන්හල’ වෙත ගමන් කරයි. ඉන්පසු ඇය අතීතාවර්ජනයක යෙදෙයි.තමන් කළේ සාවද්‍ය දෙයක් යැයි සිතී ඉන් මිදෙන්නට කල්පනා කරයි. ඉන් පසුව හොඳින් ස්නානය කළ යුතු බව ඇය සිතයි. ඊළඟ දර්ශනයේදී ඇය විසින් තමාව ඉතා හොඳින් පිරිසිඳු කර ගනියි. හදිසි කටයුත්ත නිසා ඔබට සිනමා ශාලාවෙන් පිටතට යන්නට සිදු වෙන්නේ මේ මොහොතේයි. එවිට ඔබ ‛සයිකෝ’ චිත්‍රපටයේ කතාව ගැන කියන්නේ මෙලෙසය, ‛තරුණ ගැහැනු ළමයෙක් සුළු වැරැද්දක් කරලා පස්සේ ඒක නිවැරදි කර ගන්න තීරණය කරා.’ ඒක ආගමික කටයුත්තක්. චිත්‍රපටයේ භාගයක් නැරඹූ නිව්ටන් ගුණසිංහ තමා නැරඹූ ‛බණ්ඩාරනායකවාදය’ නම් සිනමා කෘතියේ මුල් අර්ධය ගැන මෙලෙස අර්ථකථනයක් දුන්නේය.






එජාපය තුළ තම අභිලාෂය ඉටුකරගත නොහැකි බව බණ්ඩාරනායක දුටුවා






‛එක්සත් ජාතික පක්ෂය තුළ තම අභිලාෂය වූ අගමැතිකම ලබා ගත නොහැකි බව බුද්ධිමත් පුද්ගලයෙකු වූ බණ්ඩාරනායක දැක්කේය. එම නිසා පක්ෂයෙන් ඉවත් වූ ඔහු සිංහල බෞද්ධ සංස්කෘතික සටන් පාඨ උපයෝගී කර ගනිමින් අලුතින් නැගී එමින් පවතින ධනේශ්වර සහ සුළු- ධනේශ්වර කොටස් සමඟ සමීප සමාජ සම්බන්ධතා තහවුරු කර ගැනීමට සමත් නව පක්ෂයක් පිහිටුවීය. මෙහි අරුමය නම්, බණ්ඩාරනායක රෙපරමාදු ඇන්ග්ලිකානු පවුලකට අයත් බවත් සේනානායකලා සහ කොතලාවලලා පාරම්පරික බෞද්ධ පවුල්වලට අයත් බවත් හැමෝම දැන සිටීමයි. ආගම කෙනෙකුගේ පුද්ගලික විශ්වාසයට නොව තම පවුලේ උරුමයට සම්බන්ධය යන අදහස උත්පාදනය කරන ව්‍යූහයක් තුළ ‛තමා’ බෞද්ධයෙකු බවට පත්වීමෙන් සහ සිංහල බෞද්ධ අවශ්‍යතා වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමෙන් සනාථ කරන්නේ බණ්ඩාරනායකගේ උපායශීලීත්වයයි.’






පීටර් වයර්ගේ ‛TRUMAN SHOW’ (1998) සිනමා කෘතියේ ප්‍රධාන චරිතය වන ජිම් කේරී එකවරම යථාර්ථයට ඇහැරෙයි. එයට පෙර ඔහු සිතා සිටියේ තමා ජීවත් වන්නේ සැබෑ ලෝකයේ යැයි කියාය. නමුත් යථාර්ථයට ඇහැරුණු පසු ඔහුට අනුව ඒ දක්වා ඔහු අවට පැවති සමාජ ජීවිතය යනු පැය 24 පුරාම ධාවනය වන මෙගා-ටෙලිනාටකයකි. ඒ දක්වා තමන් ඇසුරු කළ පුද්ගලයන් යනු සැබෑ චරිත නොව ටෙලි නාට්‍යයේ රඟපෑම සඳහා තෝරා ගත් විවිධ නළු-නිළියන්ය. වොචොව්ස්කි සහෝදරයන් විසින් නිර්මාණය කළ ඉතා ජනප්‍රිය වූ MATRIX හි තේමාවද මෙයමය.





මේ සිනමාපටවල මූලික ලක්ෂණය වන්නේ ඒවායේ ප්‍රධාන චරිතවලට ඕපපාතිකව මෙන් හමුවන ව්‍යාජ-අවතාරමය-කෘතීම බාහිර සමාජ-යථාර්ථයයි. ඔවුන් එයින් තැති ගනියි. භීතියට පත් වෙයි. ඉන් පළා යාමට මගක් සොයයි. මෙතරම් කලක් තමා වෙනුවෙන් පැවතියා යැයි සිතූ බාහිර ‛සමාජ-යථාර්ථය’ යනු මුලාවක් බව හදිසියේම වැටහෙන්නේ ඇයි? ඒ අනුව සමාජ යථාර්ථය යනු ද බාහිර අනතුරකින් ගැලවෙන්නට අප විසින්ම තනා ගත් ෆැන්ටාස්මැතික ප්‍රබන්ධයක් බව වැටහෙන්නේ, එම ප්‍රබන්ධය යම් මොහොතකට පසු කැඩී විසිරී යන්නට පටන් ගත් පසුවය. කෙහොමටත් ධනවාදී සමාජය තුළ සිදුවන්නේ මේ සමාජ-ක්‍රමය නිපදවන සැබෑවට අදාළ ද්‍රව්‍යමය-MATERIAL- සාධක වඩ වඩා ඉවත් කිරීමත් එහි පරාවර්තනයක් ලෙස වඩ වඩා අධ්‍යාත්මිකහරණය වූ සමාජ-ජීවිතයක් අපට ලැබීමත්ය.






‛බණ්ඩාරනායකවාදය’ නම් චිත්‍රපටියේ ඉතුරු අඩ නිව්ටන් ගුණසිංහට වෙනස්ව අප දුටුවෙමු. අපට එය හරියට මීට ඉහත දී ‛සයිකෝ’ චිත්‍රපටිය භාගයක් නරඹා ඉවතට ගිය ප්‍රේක්ෂිකාවට ගැලැප්පිය හැක. ‛සයිකෝ’ චිත්‍රපටියේ ප්‍රථම අර්ධය යනු මාරියන් ක්‍රේන්ගේ නියුරෝසික ආත්ම මූලිකත්වය නම්, එහි දෙවන අර්ධය වන්නේ නෝමන් බේට්ස්ගේ සයිකොසික (සිතා නොබලා ප්‍රතික්‍රියා කිරීම) ප්‍රතික්‍රියාවයි. චිත්‍රපටියේ දෙවන අර්ධය මාරියන්ව ඝාතනය කිරීමත්, එහි පැල්ලම් ඉතා විධිමත්ව තම මවගේ ඇඳුම් (විකට ඇඳුම්?) හැඳගෙන ඉවත් කරන නෝමන් බේට්ස්ගෙනුත් අවසන් වෙයි. ‛බණ්ඩාරනායකවාදය’ නම් චිත්‍රපටියේ සමාජ-විද්‍යා ප්‍රේක්ෂකයෙකු වන නිව්ටන් ගුණසිංහ දුටුවේ අර්ධයක් පමණි. එම කොටසේදී සිදු වන්නේ බණ්ඩාරනායකගේ ආත්ම මූලික බාධාව බාහිරට තල්ලු වී ඇතුළතින් ඔහු තමාව ජය ගැනීමයි. අවශ්‍ය නම් අපට මෙය තමන්ගේ ස්වයං-බාධාව බහිෂ්කරණය කිරීම ලෙසින් හැඳින්විය හැක. කෙනෙකු තමන්ගේ ‛සාරය’ තමා විසින්ම සොයා යෑම මනෝ විශ්ලේෂණයේදී හඳුන්වන්නේ ෆැන්ටසිය කියාය. කෙනෙකු ඉපදී හැදී වැඩී චින්තනයක් හදා ගන්නා ‛මහා-අනෙකා’ එක්තරා මොහොතකට පසු තමන්ගේ වුවමනා, ආශාවන් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින්නේ නම් එවැන්නෙකු අලුතින් ‛මහා-අනෙකෙකු’ (BIG OTHER) නිර්මාණය කරයි.






‛බණ්ඩාරනායක’ ෆැන්ටසියක් නම් රාජපක්ෂ කියන්නේ ෆැන්ටසියේම දිගුවක් වන මතිභ්‍රමවාදයකි






බණ්ඩාරනායක පසමිතුරුතා සහිත UNPය නම් මහා-අනෙකාගෙන් ඉවත් වන්නේ එය තමන් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින මහා-අනෙකෙක් නිසාය. කෙනෙකු තමා ඉපදී හැදී වැඩෙන මහා-අනෙකාගේ විවිධ අඩුපාඩුකම් පුරවා දමන්නට දරණ උත්සාහයන්ට අපි කියන්නේ ෆැන්ටසිය කියාය. නමුත් කෙනෙකු තම ෆැන්ටසි හරහා මහා-අනෙකාගේ අඩුවවල් පිරවීමට දරණ වෑයම් සියල්ල අසාර්ථක වුවහොත්, එවැනි කෙනෙක් ඊළඟට අඩුවක් රහිත මහා-අනෙකෙක් හදන්න පියවර ගනියි. අපි පළමු වෑයමට කිව්වේ ෆැන්ටසිය (FANTASY) කියාය. දෙවන වෑයමට අපි කියන්නේ ‛මතිභ්‍රමය’ (PARANOIA) කියාය. ෆැන්ටසිය උත්සාහ කරන්නේ මහා-අනෙකාගේ අඩුව පිරවීමටය.





මතිභ්‍රමය උත්සාහ කරන්නේ ‛මහා-අනෙකාගේ’ අඩුවවල් හදන අය කවුද කියා සොයා ඒ අයව විනාශ කර අනතුරුව සර්වබලධාරී, පරිපූර්ණ මහා-අනෙකෙක් හැදීමටය. ‛බණ්ඩාරනායක’ ෆැන්ටසියක් නම් රාජපක්ෂ කියන්නේ ෆැන්ටසියේම දිගුවක් වන (එහි අඩුපාඩු නැති කරන) මතිභ්‍රමවාදයකි. නිව්ටන් ගුණසිංහට වෙනස්ව අපි චිත්‍රපටිය දිගටම බැලුවෙමු. එහි අවසානය කෙතරම් බිහිසුණුද කිවහොත් දැන් කිසිවෙකුටත් අලුත් චිත්‍රපටි හදන්නට නොහැක. හැම තැනම අලුත් එකකට විරුද්ධ සතුරෝය. මේ සතුරා කියන්නේ තමන්ගේම ෆැන්ටසියක් කියා වටහා ගත් දවසක ‛රාජපක්ෂ සැණකෙළිය’ අවසන් වේවි










‘‘අද පෙට්‍ර්ල් මිල අඩු කරනවා‘‘ - මහින්ද පාර්ලිමේන්තුවේදී

ජනාධිපතිතුමා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පාර්ලිමේන්තු සභාව අමතමින් පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය රට අගාධයට ගෙන ගිය බවත් යළි තමා සමග අත්වැල් බැඳගෙන රට අගාධයෙන් ගොඩගැනීමට එක්වන ලෙසටත් මහජනතාවට මෙන්ම මන්ත්‍රීවරුන්ට ආරාධනා කර සිිටියේය.  මෙහිදී කථානායකතුමා සිය පක්ෂය වෙනුවෙන් පෙනී සිටීම ගැන තමන් අතිශය කම්පාවට පත්වන බවත් ඊයේ මෙන් අඳුරු දිනයක් පාර්ලිමේන්තුවේදී නොදුටු බවත් අද රාත්‍රියේ පෙට්‍ර්ල් මිල අඩුකරන බවත් පවසා සිටියේය. 


කෙසේවුවත්, මහින්ද රාජපක්ෂ මහතා සභාව අමතන අතරතුරදී සභාවේ පිරිස් ඝෝෂා කරනු දක්නට ලැබුණි.


මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතා සිදුකළ කතාව,  ‘‘පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදා වන විට ජනතාව සිටියේ දැඩි පීඩනයෙන්. ඉන්ධන මිල සුත්‍රය, බදු බර, ඉඩම් විදේශිකයින්ට විකිණීම ආදී කාරණා නිසා ජනතාව දැඩි අප්‍රසාදයෙන් පසුවුණා. 


ජනාධිපතිවරයා ආර්ථික කමිටුව විසුරුවන්න කටයුතු කලේ. ඒ සමයේදී පොලිසියේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සමග එක්ව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න උත්සහ දරන බව ආරංචි උනා. ඒ අනුවයි ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් කරගන්න තීරණය කරන්නේ. ඒ අනුවයි ජනාධිපතිවරයා මට ආරාධනා කළා අගමැතිකම පිළිගන්න කියලා. ඒ අනුව රටට වෙනුවෙන් වෙන්න ගිය විනාශය වලක්වා ගන්න. ඒ නිසා මම රට ආරක්ෂා කරන්න ඒ වගකීම භාරගන්න තීරණය කලේ.




 

අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට මැතිවරණයක් ඉල්ලුවා, නමුත් රජය ඒ සදහා කටයුතු කලේ නැහැ. පළාත් පාළන ජන්දය පැවැත්වීම පවා පමා කළා.


මට එරෙහිව කතානායකවරයා ශබ්දයට අනුව යෝජනාවක් සම්මත කර ගත්තා. කතානායකයාගේ ඊනියා විශ්වාසභංගයට අනුව මම පරාජය වුනා කියලා හිටපු අගමැතිවරයා අගමැතිලෙස ඇතැම් ඇමතිවරු ප්‍රකාශ කළා. කතානායකවරයා විසින් සිය බලය අනිසි ලෙස භාවිතා කරනවා. මම කියනවා මෙතන 225 අතරේ මේ ප්‍රශ්නය විසඳ ගන්නේ නැතුව ජනතාව ඉදිරියට යමු කියලා.


මම සතුටු වෙනවා ජනතා විමුක්ති පෙරමුණ කියනවා පාර්ලිමේන්තුව විසුරුවලා ජන්දයකට යන්න යෝජනාවක් ආවොත් ඒ සදහා තමන් සහය දෙනවා කියලා. මම ඉල්ලා සිටිනවා මැතිවරණයකට යමු. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා අපිත් සමග එක්වෙන්න කියලා.


අද දිනයේදී පෙට්ට්‍රල් මිල අඩුකරනවා. අපි බලාපොරොත්තු වන්නේ පක්ෂග්‍රාහී කතානායකවරයෙක් නෙමෙයි සියලු දෙනාටම පොදු කතානායකවරයෙක්.‘‘ 


විශ්වාසයක් නැති නිසා ඡන්දයක් ඉල්ලන ලෙසට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී යෝජනා කරසිටීමත් සමග මේ සමග නැගී සිටි ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කරනු දක්නට ලැබුණි. නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ දිලුම් අමුණුගම මහතාගේ අත තුවාල වී තිබෙන අයුරු ද පාර්ලිමේන්තු සජීවී විකාශයේ දක්නට ලැබේ. 



මේ අවස්ථාවේ ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කළ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දක්වා තිබෙන්නේ, මන්ත්‍රීවරුන් කථානායකතුමාට තර්ජනය කරන බවත් එජාප මන්ත්‍රීවරු එක්වී කථානායකතුමා ආරක්ෂා කිරීමට පියවර ගත් බවයි. 


 

මේ අතර බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන් සිය ට්විටර් ගිණුමට ඡායාරූපයක් එක්කරමින් පවසා තිබෙන්නේ, මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට තුවාල ද සිදුකරමින් අතිශය නින්දාසහගත ලෙස පාර්ලිමේන්තුව සැසිය අවසන් වූ බවත් මහින්ද රාජපක්ෂ මහතාට සය පළකරන මන්ත්‍රීවරුන්  කථානායකවරයා දෙසට ඉවතලන කඩදාසි බහාලූ කුණු කූඩයක් ද විසිකර සිටි බවයි. 

 



 

 

 

(දර්ශන හා ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

බල කොල්ලය හා අශිෂ්ටත්වය රජ වුණු මෙහෙව් රටේ

ලංකාවයි - සිරි ලංකාවයි


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික‍්‍රමසිංහව තනතුරින් ඉවත් කොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී, ශ‍්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ ජගත් වෙළඳ ප‍්‍රචාරණ පාඨයක් වන ‘‘ලෝකෙන් එකම රට’’ යන්නට අලූත් අරුතක් එක් කෙළේය. ඇත්තෙන්ම, සති අන්තයක් එළැඹෙන එක් සිකුරාදා රෑක, අගමැතිවරයාට කිසිත් නොදන්වා ඔහුව එම තනතුරින් අස් කොට ඒ පිළිබඳ ගැසට් නිවේදනයකුත් නිකුත් කරන වෙනත් රටක් තවත් කොහේ නම් තිබිය හැකි ද ?. ව්‍යවස්ථා විශේෂඥයෙකු නොවන මට, සිකුරාදා රෑ ජනාධිපතිවරයා පෙන්වූ ඒ දේශපාලනික සෙල්ලම පෙනෙන්නේ, නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක් වශයෙනි.



 

2015 දී සිරිසේන සහ වික‍්‍රමසිංහ යන දෙදෙනාගේම ආශිර්වාදය යටතේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමේ අරමුණ වුණේ, අගමැතිවරයාව හිතුමතේ වෙනස් කිරීමට ජනාධිපතිවරයාට තිබූ අත්තනෝමතකික විධායක බලය කප්පාදු කිරීමයි. මේ සංශෝධනය යටතේ අගමැතිවරයාගේ ධුරය අහිමි වනු ඇත්තේ, ඔහුගේ මරණයේදී, ඔහුගේ ඉල්ලා අස්වීමේදී හෝ ඔහුගේ මන්ත‍්‍රී ධුරය අහිමි වීමේදී හෝ පමණි. එසේ නැතහොත්, පාර්ලිමේන්තුවේ විශ්වාසය ආණ්ඩුවට නැති වුණොත් ය. ආණ්ඩුව කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය නැති වීම සිදුවන්නේ, ආණ්ඩුවේ අයවැය පරාජය වීමේදී හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් සම්මත වීමේදී ය. (46.2 සහ 48). එහෙත් ඒ කිසිවක් දැන් සිදුවී නැත.


අලූත් අගමැතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇතත්, එම බලය ඔහුට පාවිච්චි කළ හැක්කේ දැනට බලයේ සිටින අගමැතිවරයාගේ ධුරය ඉහත කී යම් ක‍්‍රමයකින් හිස්ව ඇති අවස්ථාවකදී පමණි. ‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වශයෙන් පත්කරනු ලැබිය යුත්තේය’’ යන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42.4 වගන්තිය යමෙකු ජනාධිපතිවරයාට වැරදියට අර්ථ ගන්වා ඇති බවක් පෙනේ. මේ වගන්තියේ නිවැරදි අරුත වන්නේ ඉලක්කම් පිළිබඳ කාරණයක් බව පැහැදිළි ය. එනම්, පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් සිටින්නේ කාට ද යන්නයි. ඔළුවක් නැති ලංකාවේ පාර්ලිමේන්තුවේ 225 දෙනා අතුරින් අඩු වශයෙන් 113 දෙනෙකුගේ සහාය ඔහුට තිබිය යුතුය. එහෙත් වික‍්‍රමසිංහව ඉවත් කිරීමේදී සහ රාජපක්ෂව පත්කිරීමේදී මේ මූලික අං කගණිතමය කාරණය ජනාධිපතිවරයා පැත්තකට දමා ඇති බවක් පෙනේ. වික‍්‍රමසිංහට පාර්ලිමේන්තුවේ විශ්වාසය නැතැයි සිතන ඔහු, රාජපක්ෂට එම විශ්වාසය ඇතැයි සිතයි.


අගමැතිවරු දෙන්නෙක් - ඇමති මණ්ඩල දෙකක්


එහෙත් එම කාරණයේ නෛතික භාවය පිළිබඳ විනිශ්චය කිරීම ව්‍යවස්ථා විශේෂඥයන්ටත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් (ප‍්‍රශ්නය එතැනට යොමු කළොත්), මම භාර කරමි. මට වඩාත් වැදගත් වන්නේ, මේ දිග හැරුණු සිද්ධියේ සදාචාරය සහ ශිෂ්ටත්වය පිළිබඳ කාරණාව ය. මේ මොහොතේ ලංකාවට අගමැතිවරු දෙදෙනෙකි. ඇමති මණ්ඩල දෙකකි. ඒ අනුව, එක පැත්තකින් රටේ සංවර්ධනය දෙගුණයකින් වැඩි කර ගැනීමටත්, අනිත් පැත්තෙන් දූෂණය සහ දේශපාලනික අල්ලස දෙගුණයකින් වැඩි වීමටත් ඉඩ තිබේ. ඒ සියල්ල අස්සේ, කඩාකප්පල් කිරීමට ලක්ව තිබෙන අපේ දුර්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දීර්ඝ කාලීන පැවැත්ම පිළිබඳ දැඩි අනියත භාවයක් හොල්මන් කරයි. ඇත්ත, මෙහෙම රටක් නම් ලෝකයේ වෙන කොහේවත් නැහැ තමයි. සාමාන්‍ය බුද්ධියක් ඇති දේශපාලඥයන් සිටින, ශිෂ්ටත්වය සහ සදාචාරය පිළිබඳ අල්ප මාත‍්‍ර හැඟීමක් ඇති නායකයන් සිටින වෙන කිසි රටක් මේ විදිහට එක් සිකුරාදා හැන්දෑවක, කතානායකවරයාට පවා නොදන්වා, මුළු රටටම හොරෙන්, රටේ අගමැතිවරයාව ඉවත් කොට වෙනත් අගමැතිවරයෙකුව පත්කරයි ද ? එපමණක් ද ? චණ්ඩිකමින් රජයේ රූපවාහිනී ආයතන අත්පත් කරගෙන අලූත් පාලකයාට කඩේ යාවි ද ?


සිරිසේන ඔහුගේ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ මොරදුන්නේ රාජපක්ෂලාගේ ඥාති සංග‍්‍රහය, ආර්ථිකයේ අවපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන් උල්ලංඝණය කිරීම්වලට එරෙහිව ය. ඒ චෝදනාවලට එදා ලක්වූ පුද්ගලයාම අද රටේ අගමැතිවරයා වශයෙන් පත්කරන්නේ මොන තර්කයක් මත ද ?. ඒ සඳහා ජනාධිපතිවරයා යොදාගෙන ඇති තර්ක, මකියාවෙලී සහ කෞටිල්‍යවත් පරාද කරන තරම් ය. එසේම එය, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සෑම පුද්ගලයෙකුටම නින්දනීය ලෙස ද්‍රෝහී වීමකි. ඒත්, අනිත් පැත්තෙන් බැලූ විට, වර්තමාන ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් මිනිසුන්ගෙන් මේ වෙලාවේ සදාචාරයක් හෝ ශිෂ්ටත්වයක් අප අපේක්ෂා කිරීමත් මෝල් වැඩක් තමයි.



 

වික‍්‍රමසිංහගේ පැත්තෙන් ගත් විට, පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්ෂය සහ සිරිසේනගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සම්බන්ධතාව තර කර ගැනීමට ඔහු වැඩිමනත් දෙයක් කෙළේ ද නැත. සිරිසේන සහ වික‍්‍රමසිංහ අතර පවතින දේශපාලනික වෙනස්කම් හුදෙක් දෘෂ්ටිවාදී ඒවාම නොවේ. ඒවා සංස්කෘතිකමය කාරණා ද වන්නේය. පංතිමය කාරණා ද වන්නේය. එය, ලෝකය දෙස බලන ආකාරයේ වෙනසක් සනිටුහන් කරන්නකි. පසුගිය දා වික‍්‍රමසිංහ සිය ඉන්දියානු සංචාරයෙන් පසුව නිකුත් කරන ලද ප‍්‍රකාශනය හරහා මෙරටේ ඉන්දීය ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට සිරිසේන අකුල් හෙලීම පිළිබඳව කළ ප‍්‍රකාශය යහපත් දෙයක් නොවේ. ඔහු කී කාරණය සත්‍ය බව ඇත්ත. එහෙත් එය ලංකාවේ දේශපාලනයට ගැලපෙන දෙයක් නොවේ. විශේෂයෙන්ම, ඉන්දීය අගමැතිවරයා හමු වූ වහාම එවැනි ප‍්‍රකාශයක් කිරීම ප‍්‍රඥාගෝචර නැත. සිරිසේන ජාතිය අමතා කළ ආතක්පාතක් නැති කතාව තුළ ඔහු අවධාරණය කෙළේ ඒ කාරණා ය. වික‍්‍රමසිංහ සහ ඔහුගේ සමීපතම කණ්ඩායම රටේ වරප‍්‍රසාදිත පංතියකට අයත් වන බවත්, සාමාන්‍ය මිනිසාගේ හද ගැස්ම නොවැටහෙන පිරිසක් වන බවත් සිරිසේන කීවේය. ඒ කතාව වැරදි නැත. එසේම රජයේ දූෂණ ක‍්‍රියා ගැන ද සිරිසේන කතා කෙළේය. ඒ අතරින්, මහ බැංකු බැඳුම්කර වංචාව ප‍්‍රධාන විය. ඒ සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ ආණ්ඩුව ප‍්‍රමාණවත් පරිද්දෙන් කටයුතු නොකළ බව ඔහුගේ චෝදනාවකි. එය ද සත්‍යයකි.


එහෙත් අපේ හිත් පටලවන සහ අන්දමන්ද කරවන කාරණය වන්නේ මෙවැනිම දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් මීට සුළු කාලයකට පෙරාතුව සිරිසේනම කී පුද්ගලයාව ඔහු විසින්ම දැන් අගමැති තනතුරේ පිහිටුවීමයි. ඊළඟට, එවැනිම දූෂිත ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන්ගෙන් දැන් අලූත් ඇමති මණ්ඩලයක් ස්ථාපනය කිරීමයි. ඒ කිසිවෙකුගේ එකී දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් සිරිසේනවත්, වික‍්‍රමසිංහවත් ගත වූ කාලය තුළ ක‍්‍රියාත්මක වුණේ නැති බව අපි දනිමු.


ලංකාවේ පාර්ලිමේන්තුව වැඩිම ඉල්ලුමට මන්ත්‍රීවරු වෙන්දේසි වන මාර්කැට්ටුවකි


සිරිසේන කරන ලද මේ ක‍්‍රියාවේ ව්‍යවස්ථානුකූලත්වය සහ නෛතිකත්වය පාර්ලිමේන්තුව වහා කැඳවා පරීක්ෂාවට ලක් කෙළේ නම්, ඔහුගේ අධම ක‍්‍රියාව යම් ආකාරයකින් යුක්ති සහගත කරලීමට ඉඩ තිබුණි. එපමණක් ද නොව. වික‍්‍රමසිංහ ආණ්ඩුව මේ මස 5 වැනි දා සිය අයවැය යෝජනා ඉදිරිපත් කිරීමටත් නියමිතව සිටියේය. එය, වික‍්‍රමසිංහ කෙරෙහි වන විශ්වාස-භංගයත්, රාජපක්ෂ කෙරෙහි වන විශ්වාසයත් පළ කිරීමට අවස්ථාවක් කර ගත හැකිව තිබුණි. වික‍්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගත හැකිව තිබූ ශිෂ්ට සම්පන්න සහ නෛතික ක‍්‍රමය එයයි. ඒ කිසිවක් නොකොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් සිරිසේන කෙළේ රාජපක්ෂලාට මන්ත‍්‍රීවරුන්ව මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමයි. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුම මේ වන විට අත්දැකීමෙන් දන්නා පරිදි, ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, වැඩිම ඉල්ලූමට මන්ත‍්‍රීවරුන්ව වෙන්දේසි කෙරෙන මාරකැට්ටුවකි. ඔවුන්ව තෝරා පත්කර යැවූ අසරණ ජනතාවගේ අපේක්ෂා සහ ප‍්‍රාර්ථනා එහිදී වැදගත් නොවේ.



මේ නාටකය දිග හැරෙන විට රටේ සාමාන්‍ය මනෝ භාවය වී ඇත්තේ එක්තරා උදාසීනත්වයකි. ඊට බොහෝ කොට හේතු වන්නේ, වික‍්‍රමසිංහ පාලනය තුළ තිබූ අකාර්යක්ෂම ස්වභාවයයි. නායකත්වයේ තිබූ අකර්මණ්‍යත්වයයි. එක්තරා ආකාරයකින් රටට බෙහෙවින් අවශ්‍ය කොට තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය විවර වීම හැරුණු කොට, සිරිසේන-වික‍්‍රමසිංහ සභාගයේ වාර්තාව අසතුටුදායක ය. කිසි වැදගත් සංවර්ධන ව්‍යාපෘතියක් නැති, රාජපක්ෂ යුගයේ දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව කිසි ක‍්‍රියා මාර්ගයක් නොගත්, ජීවන වියදම පාලනය කිරීමට කිසි පියවරක් නොගත්, දිවා රෑ තිස්සේ කතා කළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන කිසිවක් නොකළ සහ ආණ්ඩුවේම දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් කිසි පියවරක් නොගත් ඉතිහාසයක් ඊට තිබේ. එහෙත් ඒ තත්වය වික‍්‍රමසිංහට පමණක් බැර කළ හැකි නොවේ. සිරිසේනත් ඊට එක හා සමානව වගකිව යුතුය.


දැන් සිරිසේනගේ නවතම නාටකය නිසා ශ‍්‍රී ලංකාව පාහර රාජ්‍යයක තත්වයට වැටී ඇත. එරට පාර්ලිමේන්තුව, බල කොල්ලයේ සහ අශිෂ්ටත්වයේ තෝතැන්නක් බවට පත්ව ඇත. රටේ ආර්ථිකය, විදේශ සබඳතා සහ ජනතා පරමාධිපත්‍යයත් බල්ලාට ගොස් තිබේ. ශ‍්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය ගැන නාට්‍යයක් රචනා කිරීමට විලියම් ෂේක්ස්පියර්ට කීවොත්, ඔහුගේ එම කෘතිය තුළ එන, අප වැනි සාමාන්‍ය මිනිසුන්ගේ මතකයේ රැඳී සිටිය හැකි එක් වාක්‍යයක් මෙසේ වනු ඇතැයි මට සිතේ: ‘‘ලංකාව රඟමඬලකි. එහි සිටින ගැහැනු පිරිමි කවුරුත් රඟපාති. ඔවුහූ වේදිකාවට පිවිසෙති. පිටව යති. එක් අයෙක් තමාගේ නෘත්‍ය කාලය තුළ භූමිකා කිහිපයක් රඟ දක්වයි.’’


 

ආචාර්ය සසංක පෙරේරා 


 

(2018 නොවැම්බර් 1 වැනි දා ‘ද අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ, ‘‘මෙහෙමත් රටක්, හැබෑටම’’ නැමැති මේ සමග අමුණා ඇති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.


සිරිසේන මිනී වළක් නොව නරා වළක් අභියස

ඒ දේශපාලනික අනාථයා


 

සිරිසේන යනු සංස්කෘතියේ දිළිඳුභාවය විසින්ම දේශපාලනික අනාථයෙකු බවට පත් පුද්ගලයෙකු බව දැන් ඔහු ආදර්ශයෙන් පෙන්වා තිබේ. මෙවැනි පුද්ගලයන් තමාගේ තරම පෙන්වීමට ගන්නා සෑම උත්සාහයක්ම අවසන් වන්නේ තමා මොන තරම් පුංචි මිනිසෙකු ද යන්න මුළු ලොවටම ප‍්‍රදර්ශනය කිරීමෙනි. පසුගිය දා තමාගේ සහ අගමැතිවරයාගේ සංස්කෘතිය වෙනස් යැයි කියා සිටින විට ඔහු අවිඥානිකව ගම්‍ය කෙළේ ඒ යථාර්ථයයි.


 


එජාප පාක්ෂිකයින්ගේ කලකිරීමට හේතුව


 

2015 ජනවාරි 8 වැනි දා සිට ගත වූ අවුරුදු හතරකට ආසන්න කාලය තුළ, ජනාධිපති සිරිසේන මොන විදිහකින්වත් අගමැති වික‍්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ සිරකරුවෙකු වුණේ නැත. තවත් විදිහකින් කිවහොත්, තමාට අවශ්‍ය සෑම දෙයක්ම ජාතික ආණ්ඩුව යටතේ කර ගැනීමට කිසි බාධාවක් අගමැතිවරයාගෙන්වත් එක්සත් ජාතික පක්ෂයෙන්වත් ඔහුට එල්ල නොවුණු බවයි. ඇත්ත වශයෙන්ම සිදුවුණේ එහි අනිත් පැත්තයි. සමස්තයක් වශයෙන් ගත් විට, සිරිසේන ජනාධිපතිවරයාගේ නාමයෙන්, වෙනත් වචනවලින් කිවහොත් ‘ජාතික ආණ්ඩුවේ’ නාමයෙන්, එක්සත් ජාතික පාක්ෂිකයාව පැත්තකින් තැබීමට අගමැතිවරයා හැම වෑයමක්ම ගත්තේය. එය, එක්සත් ජාතික පක්ෂයේ අතීත සම්ප‍්‍රදාය පසෙකින් තැබීමකි. ඒ නිසාම, ඒ පාක්ෂිකයෝ විශේෂයෙන් තම නායකයා කෙරෙහිත්, පොදුවේ එක්සත් ජාතික පක්ෂය කෙරෙහිත්, බෙහෙවින් කලකිරුණෝය.


දූෂිතයින් වසන් කළ ජනපති


 

මුලින්ම, පරාජිත මහින්ද රාජපක්ෂට කුරුණෑගලින් අපේක්ෂකත්වය ලබා දීමේදීත්, ජනතාව විසින් මැතිවරණයෙන් පරාජයට පත්කරන ලදුව අතරමංව සිටි දේශපාලන අනාථයන්ට කැබිනට් ඇමති ධුර පිරිනැමීමේදීත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියව පන්නා දැමීමේදීත්, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හිටපු හමුදා නායකයන් කිහිප දෙනෙකු අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට කැඳවූ අවස්ථාවේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වීමේදීත්, සජින් වාස් ගුණවර්ධන සහ මහින්දානන්ද අලූත්ගමගේ වැනි බොහෝ දේශපාලඥයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම වැලැක්වීමේදීත්, ශිෂ්‍යයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු නාවුක හමුදාපති රවි විජේගුණවර්ධනට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම වැලැක්වීමේදීත්, (ලැයිස්තුව තව බොහෝ දිග ය), මේ ජනාධිපතිවරයා ගැන අගමැතිවරයා හෝ එක්සත් ජාතික පක්ෂය කටක් ඇර වචනයක් කීවේ නැත. කොටින්ම, මේ පුවත්පතට පුංචි හෝ දැන්වීමක් ලබා දීම, අපේ දීර්ඝ කාලීන මිතුරෙකු වන මංගල සමරවීර ඇමතිවරයා එක දිගටම ප‍්‍රතික්ෂේප කෙළේය. ඔහුගේ තර්කය වුණේ, ‘අනිද්දා’ පුවත්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තුළ පවතින දැඩි ක්‍රෝධය මධ්‍යයේ තමාගේ අමාත්‍යාංශයකින් දැන්වීමක් ලබා දීම ජනාධිපතිවරයාගේ නොසතුටට හේතු විය හැකි බවයි. ඒ තරමට, ඔහුගේ සිත නොරිදවා කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය වගබලාගත් බව මේ ලියුම්කරු පෞද්ගලිකව දන්නා කාරණයකි.


 මා මේ කියන්ට යන කතාව, ඉදිරියේදී ජනාධිපති සිරිසේනට අත්විය හැකි එහි අනිත් පැත්තේ යථාර්ථය පිළිබඳ පුරෝකථනයකි.


එක්සත් ජාතික පක්ෂය සමග ජනාධිපති සිරිසේනගේ ආරෝව පටන් ගන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය භාරගැනීමත් සමග ය. එවැනි ආරෝවක් ඇති වීම, වැලැක්විය නොහැකි, ස්වාභාවික තත්වයකි. මන්ද යත්, තමා එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවන බව නොපෙන්වා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ පක්ෂපාතීත්වයක් ලබා ගැනීමේ කිසි ඉඩක් ඔහුට නැති බැවිනි. මුලදී මේ අවශ්‍යතාව, තවත් ප‍්‍රධාන සාධකයක් සමග පෑහුණි. එනම්, රාජපක්ෂලාගෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමන්ගේ පැත්තට දිනා ගැනීමේ අවශ්‍යතාවයි. ඉහත කී සැකකාර පුද්ගලයන්ගේ නෛතික ආරක්ෂාව සහ පරාජිත අනාථයන්ගේ දේශපාලනික අභිලාෂයන් වෙනුවෙන් ඔහු පෙනී සිටියේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීත අවනීතික ක‍්‍රියා කලාපයන්ට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු  ඕනෑම ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුගේ ආරක්ෂාව සහතික කරලීමේ ‘අවසාන බලය’ තමන් සතුව ඇති බව සාමාන්‍ය පාක්ෂිකයාට ප‍්‍රදර්ශනය කොට ඔවුන්ගේ හොඳ හිත දිනා ගැනීමට ය. එය, එක්සත් ජාතික පක්ෂයට විකල්පව, මෛත‍්‍රීපාල සිරිසේනගේ අලූත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් නිර්මාණය කර ගැනීමේ ආයාසයක් වශයෙන් අපට හැඳින්විය හැකිය. 2015 ජනවාරියේ බලයට පත්වූ සැණින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගැනීම පිළිබඳ ලණුව ඔහුට දුන් පුද්ගලයන් ඒ කාර්යය සැලකුවේ, ඉතා පහසුවෙන් සාක්ෂාත් කර ගත හැකි, සරළ ඉලක්කයක් වශයෙනි. රාජපක්ෂලා මැදමුලනට වී බවුන් වැඞීමට හිත හදාගෙන කටයුතු කෙළේ නම් සිරිසේනගේ ඒ ආයාසය සාර්ථක වන්නට තිබුණි.



 

ඒ අබග්ගය කෙසේද යත්


අබග්ගයක මහත කෙතෙක් ද යත්, පෙබරවාරි 10 වැනි දා ජනාධිපති සිරිසේන මහ පොළොවට කඩාගෙන වැටුණි. දැන්, ඉහතින් කී අරමුණු දෙක, එනම්, එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය කෙරෙහි වන දේශපාලනික විරෝධයක් පවත්වා ගැනීමත්, තවත් පැත්තකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය රාජක්ෂලාගෙන් ඩැහැ ගැනීමත් යන දෙකෙන් එකක් අතහැරීම ඔහු සම්බන්ධයෙන් ගත් විට අනිවාර්ය කෙරුණි. ඔහු අතහැරියේ පළමු වැන්න නොව, දෙවැන්නයි. පළමු වැන්න අතහැරීමට ඔහුට හැකියාවක් නොවුණි. ඒ වන විට, ඒ තරමට එක්සත් ජාතික පක්ෂය, පසමිතුරෙකුගේ සිට ජන්මාන්තර හතුරෙකුගේ තත්වයට ඔහු විසින්ම පත්කරගෙන තිබුණු බැවිනි. රනිල් වික‍්‍රමසිංහ එදා පටන් සිරිසේනගේ ‘අංක එකේ හතුරා’ විය.


අගමැතිට එරෙහිව ජනපතිගේ උසිගැන්වීමෙන් කරළියට ආ විශ්වාසභංගය


අගමැතිවරයාට එරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය ජනාධිපතිවරයාගේ උසිගැන්වීමෙන් කරළියට එන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. තමාගේ ක‍්‍රියාවක, විශේෂයෙන් තමාගේ සුරුවිරු කමක් වශයෙන් ගෙන සිටි මෝඩ ක‍්‍රියාවක ප‍්‍රතිවිපාකය තමා නොසිතූ ආකාරයෙන් තමාටම ඉමහත් අනර්ථයක් වූ විට, එහි වරද හැම විටකම ඉතා සාහසික අන්දමින් වෙනත් කෙනෙකු මත පැටවීමට උත්සාහ දැරීමේ ඉතා ප‍්‍රාථමික මානසික ප‍්‍රවණතාවක් අප කා තුළත් තිබේ. පෙබරවාරි 10 වැනි දා පළාත් පාලන මැතිවරණයෙන් ලද තමාගේ අන්ත පරාජයට වගකිව යුත්තා රනිල් වික‍්‍රමසිංහ බවට සිරිසේන අර්ථ ගන්වා ගන්නේ එබැවිනි. එසේ නොමැතිව, 13 % ක් වැනි ඡන්ද ප‍්‍රතිශතයක් සහිත තමාගේ පරාජයට වඩා, 32 % ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබූ වික‍්‍රමසිංහගේ පරාජය, අගමැතිවරයා කෙරෙහි විශ්වාස භංගයක් ගෙන ඒමට තරම් ප‍්‍රමාණවත් තර්කයක් වශයෙන් කෙනෙකුට අර්ථ ගන්වා ගත හැක්කේ කෙසේද ?


ජනවරමින් ප්‍රතික්ෂේප කළ මහින්දව අභිෂේක ගැන්වීම


2015 ජනවාරි 9 වැනි දා හෝ 10 වැනි දා වැනි දිනයක සිටම (මලිත් ජයතිලකගේ පොතේ සඳහන් වන පරිදි) රාජපක්ෂලා සමග රහස් සාකච්ඡා අවකාශයක් නිර්මාණය කරගෙන සිටි සිරිසේන, 2017 පෙබරවාරි 10 වැනි දායින් පසු තීරණාත්මක දේශපාලනික තීරණයකට පැමිණියේය. එනම්, (විශ්වාස භංගය හරහා) ව්‍යවස්ථානුකූල මාර්ගයෙන් අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කිරීමට ගත් අසාර්ථක තැත, දැන් ව්‍යවස්ථානුකූල නොවන ආකාරයකින් හෝ වහා සාර්ථක කර ගත යුතුව ඇති බවයි. මෙහිදී සිරිසේන ඉතා මූලික දේශපාලනික යථාර්ථයක් අමතක කෙළේය. එනම්, ව්‍යවස්ථානුකූල නොවන ආකාරයකින් පවතින රජයක් ගෙදර යැවීම සහ තමා ලද එකම ජනවරමින් වරක් ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇති බලවේගයක් (මහින්ද) ඒ වෙනුවට රාජ්‍යත්වයට පත්කර ගැනීම, රනිල් වික‍්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය පිළිබඳ සරළ ප‍්‍රශ්නයකින් ඔබ්බට යන, පක්ෂ භේදයකින් තොරව සියලූ ප‍්‍රජාතන්ත‍්‍රීය බලවේග අවදි කරවන සහ ඒකරාශී කරවන නිමිත්තක් විය හැකි බවයි.


රාජපක්ෂලාගේ දේශපාලනය යළි ස්ථාපිත කළ සිරිසේනගේ දේශපාලනය


අවසානයේ හැරී බලන විට සිරිසේනගේ දේශපාලනය නිශ්චිතවම තුඩුදී ඇත්තේ රාජපක්ෂලාගේ දේශපාලනය යළි ස්ථාපිත කිරීමට ය. ලබන 16 වැනි දා හෝ ඊට පෙර දවසක පාර්ලිමේන්තුවේදී විසඳා ගැනීමට නියමිත බල අරගලයේ ස්වභාවය තීරණය වන්නේ ඒ දේශපාලනික යථාර්ථය තුළයි.


තරගයක පරාජය අවමානයක් නොවේ. සමහර පරාජයන් ජයග‍්‍රහණයන්ට වඩා තේජාවිත ය. ගෞරවාන්විත ය. ඉදිරි සතියක හෝ දෙකක කාලය තුළ පාර්ලිමේන්තුවේදී විසඳා ගැනීමට නියමිත තරඟය, සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගත් විට, විශේෂිත ස්වභාවයක් ගනී. දැනට පවතින තත්වය අනුව, ඔහුගේ අත්තනෝමතික විධායක ක‍්‍රියාව (අලූත් අගමැතිවරයෙකු පත් කිරීම) පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්වීමට නියමිත ය. නොවැම්බර් 16 දක්වා වන දීර්ඝ කාලයකට ඔහු පාර්ලිමේන්තු සැසිවාරය කල්දමා ගත්තේ ඒ පරාජය ආපසු හරවා ගැනීම සඳහා අවශ්‍ය කරන බිම් මට්ටම සකස් කර ගැනීමටයි.


එදාට ඔහු පරාජය වුණොත්, එනම් පාර්ලිමේන්තුවේ බහුතරයකින් ඔහුගේ විධායක ක‍්‍රියාව සම්මත කර ගැනීමට ඔහු අසමත් වුණොත් ඔහු ලබන පරාජය අසාමාන්‍ය එකක් නොවේ. ඒ සඳහා ඔහුට ගෙවීමට සිදුවන මූලික වන්දිය වන්නේ ලජ්ජාව (එවැන්නක් තවමත් ඉතිරිව ඇතොත්) ගිල ගැනීම පමණි. එහෙත් ඔහුගේ සදාතන ඉරණම තීන්දු කෙරෙන නිශ්චිත මොහොත එළැඹෙනු ඇත්තේ ඔහු මෙයින් ජයග‍්‍රහණය කළොත් ය. එය අතිශය අන්තරායකාරී ජයග‍්‍රහණයකි. තවත් විදිහකින් කිවහොත්, ඔහුව සදාතනික පරාජිතයෙකු බවට පත්කරවන ජයග‍්‍රහණයකි.


 


 

නීති විරෝධී අගමැති දිවුරුම් දුන් දා රාජ්‍ය මාධ්‍ය අත්පත් කරගත්තේ මහින්දවාදීන්ය


පසුගිය 26 වැනි දා ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී අගමැතිවරයෙකු දිවුරුම් දීමත් සමග රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුළු අනෙකුත් මර්මස්ථාන සියල්ල අත්පත් කර ගත්තේ මහින්දවාදීන් මිස සිරිසේනවාදීන් නොවේ. මේ ලිපියේ මුලින් අවධාරණය කළ, පසුගිය වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ සිරිසේන ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුව තුළ භුක්ති විඳි නිදහස සහ බලය, රාජපක්ෂලා විසින් එවැනි බිම් මට්ටමේ අත්පත් කර ගැනීමකින් පසු, සිරිසේනගේ ළඟපාතක ඉතිරි වන්නේ නැත. රාජපක්ෂලා හිටු කියන විට හිටගන්නටත්, ඉඳු කියන විට ඉඳගන්නටත් සිදුවන ඉරණම්කාරී තත්වයක් එවැනි ‘ජයග‍්‍රහණයක්’ තුළ පැහැදිළිවම කෙටී තිබේ.


අඩි හයේ වළ දැන් කොහිද ?


රාජපක්ෂලා බලයට පත්විණි නම් තමන්ට අත්විය හැකිව තිබූ අඩි හයේ වළක කතාවක් මීට කාලයකට පෙර සිරිසේන කීවා අපට මතක ය. එය දැන් (විශ්වාස භංගය මහින්දලා ජය ගත්තොත්) වෙනත් ආකාරයකින් සිරිසේන කෙරෙහි ක‍්‍රියාත්මක වීමට නියමිත ය. ඒ, දේශපාලනික හිඟන්නෙකුගේ සහ රාජපක්ෂලාගේ සදාතන සිරකරුවෙකුගේ තත්වයට සිරිසේන පත්වීමෙනි. එය මිනී වළක් නොව, නරා වළකි.


 

ගාමිණී වියන්ගොඩ


 

 

සබැඳි පුවත් 

‘‘පළමුව ජාතිය, දෙවැනුව මෝක්ෂය‘‘ - කාදිනල් මැල්කම් රංජිත් 

ආයෙත් ප්‍රජා පීඩක පාලකයින්ගෙන් බැටකමුද ? 

යහපාලනය ආවඩන්නේ කාටද ?

ගැටලු ‘විසඳීම’ ජනපතිගේ කජු කෑම වගේ   

 

රැඳී සිටින්න: ‘‘මහින්ද මැජික්’’

‘‘මහින්ද මාමා වෙතටයි,


මෛත්‍රී ඔබව අගමැති කළ බව සැල වූ සැණින් මෙය ලිවීමට සිතුණේය. මීට සතියකට දෙකකට කලින් ඔය දෙන්නා දොරවල් වහගෙන රහසේ හමු වූ දා පටන්, එවැනි හමුවක් සිදු නොවුණු බව ඔබ දෙන්නාම කී දා පටන්, මොකක් හෝ මරාලයක් කඩා වැටෙන්ට යන බවට යම් හැඟීමක් තිබුණා තමයි. ඒත් ඔබව අගමැති කරපු ආරංචිය මේ පාරාදීසයේ ඉන්න අපි හුඟ දෙනෙකුට ඇස් නිලංකාර කරන සිද්ධියක් වෙච්ච විත්තිය කියන්න  ඕනේ.



 

‘‘මේ විදිහට ආතක්පාතක් නැති වුණේ අපිට විතරක් නෙවෙයි ........‘‘


මේ විදිහට ආතක්පාතක් නැති වුණේ අපිට විතරක් නෙවෙයි. අර කොළ පාට මිනිහත් තවම කියනවා එයයි අගමැති කියලා, විශ්වාස භංගයක් ගේන්නේ නැතුව ඒ තානාන්තරෙන් එයාව අයින් කරන්න බැහැ කියලයි එයා කියන්නේ. ඒකෙත් ඇත්තක් තියෙන බව පේනවා. කොහොම වුණත්, දැන් අපිට අගමැතිලා දෙන්නෙක්ම ඉන්නවා.


පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක්ගේ විශ්වාසේ තාම තියෙන්නේ තමුන්ට කියලා උන්නැහේ කියනවා. කැබිනට් මණ්ඩලය විසුරුවා ඇරලත් නැහැලූ. ඒත් මාමා කියන්නේ, අලූත් ඇමති මණ්ඩලයක් ඉක්මණින්ම පිහිටුවනවා කියලා. ග‍්‍රාම සේවකයෙකුට රටක් භාර දුන්නහම වෙන කොහොම වෙන්න ද?


මෛත‍්‍රී කරපු දේ ව්‍යවස්ථාවට පටහැනි ලූ. ඒක නිසා, අද රටේ ව්‍යවස්ථා අර්බුදයක්ලූ. ඒක වෙන්න පුළුවන්. ඒත් ඒ ගැන කවුරුවත් පුදුම වෙන්න  ඕනේ නැහැ. මොකද, මෛත‍්‍රී කියන්නේ, දුන්න පොරොන්දු ඔක්කොම කඩ කරපු මිනිහෙක් නිසා. මිනිහා මුලින්ම කළේ මාමට පිටිපස්සෙන් ඉඳලා ඇනපු එක. දැන් කොළ පාට මිනිහටත් එයා කිරිච්චිය බස්සලා.


වෙච්ච දේ වුණාවේ. මෛත‍්‍රී සහ මාමා ගැන බලන කොට, කාරණේ වුණේ කොහොමද කියන එක වැදගත් නැහැ. ශිරාණිව අගවිනිසුරු කමෙන් අයින් කරන්න ගත්ත තීරණය නිවැරදියි කියලා මේ මෑතකදීත් මාමා කියලා තිබුණා. පරමාර්ථය ඉෂ්ට වෙනවා නං, ඒක ඉෂ්ට කර ගන්නේ කොයි විදිහෙන්ද කියන එක මාමාට ප‍්‍රශ්නයක් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා.


හැම දෙයක් දැන් රඳා පවතින්නේ, කොළ පාට මිනිහාව අගමැතිකමේ තියා ගන්න තරම් මන්ත‍්‍රීලා ගානක් පාර්ලිමේන්තුවෙන් පෙන්නන්න කොළ පාට පක්ෂයට පුළුවන් ද කියන එක උඩයි. මේ අවුරුද්ද මුලදී, කොළ පාට මිනිහට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනත් කර ගත් හදියෙන් කිසි පාඩමක් ඉගෙනගෙන නැති අර මිනිහා, දැන් කිසි දෙයක් නොවිච්ච ගානට ඉන්නේ, රටේ මනුස්සයෝ දිනපතා මුහුණදෙන අඟහිඟකම් ගැනත් වගේ වගක් නැතිව වගේ.


දැන් ඔක්කොම තියෙන්නේ මාමාගේ අතේ කියලයි පේන්නේ. දැනටමත් අඩු ගානේ කොළ පාට මන්ත‍්‍රීලා දෙන්නෙක් මාමා ළඟට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් එක් කෙනෙක්, ජාතියේ පියාගේ මීමුනුබුරෙක්. මිනිහට කේන්ති ගිහිල්ලා තියෙන්නේ, කොළ පාට මිනිහගෙන් ඇමති කමක් නොලැබිච්ච නිසා. ඉතිං, ඇමති කමක් දීලා මිනිස්සු බා ගන්නත් දැන් මාමාට පුළුවන්.


‘‘අර පොලිස් ලොක්කා විරිත්තගෙන මාමට සැලියුට් ගහන හැටි නං පංකාදුයි....‘‘



අර පොලිස් ලොක්කා විරිත්තගෙන මාමට සැලියුට් ගහන හැටි නං පංකාදුයි. ගෝඨාවයි, මෛත‍්‍රීවයි මරන්න හිටියා කියන සිද්ධිය හරියට හොයලා බැලූවේ නැහැ කියලා මේ ළඟදී මාමා කියලා තිබුණේ මේ මිනිහා ගැන නේ ද ?. ඒකා බලන්නේ එදා වේල හොයා ගන්න එකක් ගැන වෙන්න ඇති. ඉස්සරහට තවත් ඒ වගේ අය හුඟාක් ඉන්න පුළුවන්.


මාම අගමැති වුණා කියලා මිනිස්සු ජය ඝෝෂා කළා. හුඟාක් තැන්වල රතිඤ්ඤා පත්තු කළා. එක පැහැදිළියි. ඒගොල්ලෝ මාමාගෙන් යමක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නිසා, ඉදිරි අවුරුද්දකුත් මාස හතරක කාලේ කරන්න යන මාමාගේ සැලැස්ම අපිට කියන්න  ඕනේ.


මාමාගෙන් වෙන්න පුළුවන් වෙනස්කම් දෙක තුනක් දැනටමත් මට හිතාගන්න පුළුවන්. මත්තල ගුවන් තොටුපොළ ආයෙත් ලාබ ලබයි. ඒ වගේම, මාමාගේ නමින්ම තියෙන වරායත් ලාබ ලබයි. පෙට‍්‍රල් මිල ‘සුටුස්‘ ගාලා පහළ බහියි. ජීවන වියදමත් එහෙමයි. ඊට පස්සේ අපි ඔක්කොම සතුටෙන් සනීපෙන් ඉන්නවා.


ඒ එක්කම මහජනතාවටත් දැන් ටිකක් සැනසිල්ලේ ඉන්න පුළුවන් වේවි. මොකද, දැන් මාමා බලේ ඉන්න කොට, දොස්තරලා හැරෙන හැරෙන පැත්තට වැඩ වර්ජන කරන එකක් නැහැ. පාදෙනියයි, එයාගේ සංගමයයි පූස් පැටව් වගේ ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අර සයිටම් ආයතනයත් මාමාගේ සොඳුරු මග පෙන්වීම යටතේ නැවත උපන්නොත් පුදුමයක් ද ?


‘‘මාමාට පැවරෙන මුල්ම රාජකාරිය මොකක්ද ? .........වැරදිකාරයෝ වෙච්ච අයට මෛත්‍රී ලව්වා සමාව අරගෙන දෙන එකනේ......‘‘


 

දැන් මාමාට පැවරෙන මුල්ම රාජකාරියක් වන්නේ, ඉස්සර මාමාගේ පැත්තේ ඉඳලා වැරදිකාරයෝ වෙච්ච අයට මෛත‍්‍රී ලව්වා සමාව අරගෙන දෙන එකයි. මාමාගේ හිටපු ලේකම් ලලිත්, ඥාණසාර හාමුදුරුවෝ, එතකොට අර දුමින්ද හාදයා වගේ අය ඔබේ පත්වීමෙන් පිනා යාවි. මොකද, තව වැඩි කාලයක් හිරේ තපින්න වෙන එකක් නැති නිසා.


 

‘‘මේ කපේට මාමාව අගමැති කරන්නේ නැහැ කිව්ව කෙනානේ එයා...‘‘



කොහොම වුණත් ඒක මාමාගේ සැලැස්මේ මුල් කොටස විතරයි. එහෙම නේද, මාමේ ? වැඩි කාලයක් මෛත‍්‍රීගේ ගෝලයෙක් විදිහට ඉන්න මාමාගේ කැමැත්තක් නැති විත්තිය මං දන්නවා. මේ කපේට මාමාව අගමැති කරන්නේ නැහැ කියලා දිවුරලා කිව්වෙත් ඔයා මිනිහා නේ. ඒ වගේම, ගිය සැරේ මාමා දින්නා නං, අඩි හයක් තමා පොළොව යටට යන්න තිබුණා කිව්වෙත් ඔයා මිනිහා නේ.


ඒක නිසා මාමේ, අපි දැන් බලාගෙන ඉන්නේ මාමාගේ ඊළඟ අදියර එනකල්. ඒ කියන්නේ, කොළ පාට මිනිසුන් ටිකක් බාගෙන, අපේ ව්‍යවස්ථාව වෙනස් කරගෙන, ආයෙත් සැරයක් අර ලොකු රස්සාව මාමා ගන්නකල්. එහෙම කර ගන්න බැරි වුණොත්, නිල් පාට පක්ෂේ බලය ආයි සැරයක් අරගෙන, මාමා වෙනුවෙන් ඊළඟ වාරේ තරෙඟට දුවන්න ගෝඨාව දා ගන්නකල්.


 

‘‘කොහොම වුණත් මාමේ, අපි ඔයාට ගොඩාක් වාසනාව ප‍්‍රාර්ථනා කරනවා..‘‘



කොහොම වුණත් මාමේ, අපි ඔයාට ගොඩාක් වාසනාව ප‍්‍රාර්ථනා කරනවා. මොකද, මේ වෙලාවේ මාමාට වැඩියෙන්ම තියෙන්න  ඕනේ, වාසනාව. හැමෝම කියන්නේ, කොළ පාට මිනිහා ඉවරයි කියලයි. ඒත්, ඇත්තටම දීර්ඝ කාලීනව ගත්තොත්, ඉවර වෙන්න ඉන්නේ අර මෛත්‍රී. දවසක දොර පෙන්නලා, බැහැපං දොට්ට කියලා මාමා කියපු දවසට, මිනිහා වෙනුවෙන් දුක් වෙන්න කිසි මිනිහෙක් ඉඳියි කියලා මං හිතන්නේ නැහැ.


 

 

ඔබේ ආදරණීය,


පුංචි පුතා


ප.ලි: නම්බුකාර විදිහට දේශපාලනෙන් විශ‍්‍රාම ගන්න වයස දේශපාලඥයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක මට හරි ප‍්‍රහේලිකාවක්. ඒ ගැන හිතන කොට, ඉස්සර හරියට ගැරහීමට ලක්වෙච්ච ජේ. ආර්. සහ කවුරුත් ආදරේ කරපු ඩී. බී. විතරයි ඒක දැනං හිටියේ. ඒත් මාමා එහෙම කොහොම කොරන්නෙයි ? නාමල් බේබිගේ කල වයස එනකල් අල්ලගෙන ඉන්නත් එපැයැ. එතකොට නේ රාජ වංශය පවතින්නේ, නේ ද මාමේ ?''


 

 

 

(2018 ඔක්තෝබර් 8 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Await: Mahinda Magic නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


 

 

 

අසමත්බව නායකයින්ගේ වරදක්ද ?

‘‘ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් මිනිසුන්ව ශිෂ්ට සම්පන්න කෙරේ. යහපත් මහත්වරුන්ව නිර්මාණය කෙරේ‘‘ - රොබට් මුගාබේ


 


සැප්තැම්බර් පස්වෙනිදා සිදුවුණේ මොකක්ද ? 


පසුගිය සැප්තැම්බර් පස්වැනි දා උදෑසන වෙන දාට වඩා කොළඹ නගරය නිශ්ශබ්ද විය. එසේම යම් අපහසුවක් දනවන වාතාවරණයක් ද එහි විය. ලොකු දෙයක් වීමට යන පාටක් පෙනෙන්ට තිබුණි. පවතින ආණ්ඩුව කඩා වැටෙන්ට ඉඩ තිබුණි. ලේ වැගිරීමක් පවා සිදුවන්ට ඉඩ තිබුණි.


එදා කොළඹ පාරතොටේ වෙන දා මෙන් යානවාහන තදබදයක් නොවීය. බස්වල බාගයක්වත් සෙනග සිටියේ නැත. වෙන දාට උදේ රැයින් දකින්ට ලැබෙන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එදා දක්නට නොවීය. යම් කලබලයක් ඇති වෙතැයි සැක කළ ගෘහනීහූ සකසුරුවමින් ඉතිරි කළ සොච්චම් ඉතිරිය පවා වැය කරමින්, හාල්, පරිප්පු, පොල් ආදී අත්‍යාවශ්‍ය දේවල් කල් තියා රැස්කර ගන්ට පෙළඹුණහ.


ප‍්‍රධාන විපක්ෂය වූ ඒකාබද්ධය දින ගණනක් තිස්සේ සිටියේ තර්ජන පාමිනි. මහා බල සෙනගක් කොළඹට ගෙන්වා අගනුවර වටලා දුර්වල ආණ්ඩුව පෙරලා දමන බවට ඔවුහූ ඉඟි කළෝය. එනම්, මැතිවරණයකින් හෝ කුමන්ත‍්‍රණයකින් නොව, බල සෙනඟ පෙන්වා ජයග‍්‍රහණය අත්පත් කර ගැනීම ඔවුන්ගේ අරමුණ වූ බවයි. ඒ මහා සෙනඟගේ විරෝධතාව උඩ ආණ්ඩුව අස්ථාවර කොට ගෙදර යැවීමට එහි නායකයෝ බලාපොරොත්තු වූහ. එසේ ආණ්ඩුව පෙරලා දැමීමෙන් පසු බලයට පත්වන්නේ කවුරුන් ද, ඒ මොන වැඩ පිළිවෙලක් යටතේ ද යන්න ගැන කිසි පැහැදිලි කිරීමක් නොවුණි.



අරාබි වසන්තයේ මතකය


ජනතා විරෝධතා හරහා ආණ්ඩු පෙරලා දැමූ මෑත කාලීන ඉතිහාසයක් අප දැක තිබේ. එසේ පෙරලා දැමුණේ, බොහෝ කාලයක් තිස්සේ එම රටවල් පාලනය කළ ශක්තිමත් පාලන තන්ත‍්‍රයන් ය. ඒ තත්වය වැඩියත්ම දැක ගැනීමට ලැබුණේ අර්බුදකාරී මැද පෙරදිග කලාපයෙනි. එය ‘අරාබි වසන්තය’ වශයෙන් හැඳින්විණ. ටියුනීසියාව, ලිබියාව සහ ඊජිප්තුව එසේ ජනතාව බලමුළු ගැන්වීමෙන් පෙරලා දැමුණු රාජ්‍යයන් ය. බලසම්පන්න පවුල් පාලනයක් යටතේ අත්තනෝමතික පාලකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ පාලනය කෙරුණු මේ රටවල් බෙහෙවින් දූෂිතව පැවතියේය.


ඔවුන්ගෙන් බොහෝ දෙනා තම දේශපාලනය පටන්ගෙන තිබුණේ කැරලිකරුවන් වශයෙනි. එසේ වෙතත්, සීමාන්තික බලය පරිහරණය කිරීමේදී ඔවුහූ දුෂ්ට නරුමයන් බවට පත්ව සිටියහ. බටහිර සියල්ලට එරෙහිව මහා ඝෝෂා කළ ලිබියානු නායක ගඩාෆිගේ පවුලේ සාමාජිකයන්, විශේෂයෙන් ඔහුගේ පුතුන් බටහිර රටවල මහ පරිමාණව ආයෝජනය කොට තිබුණි. ස්විස් බැංකුවල විශාල රහස් ගිණුම් පවත්වාගෙන ගිය ඔවුන්ට, බටහිර රටවල නිශ්චල දේපළ සහ නවීන පන්නයේ යානවාහන පමණක් නොව, සුඛෝපභෝගී විනෝද නාවුක යාත‍්‍රා පවා තිබුණි.


මේ අරාබි රටවල පාලක පවුල් තම තමන්ගේ රටවල් මොන තරම් ගෙල ග‍්‍රහණයෙන් ගෙන තිබිණි ද යත්, පවුලේ කෙනෙකුගේ ආශීර්වාදය නැතිව රටේ කිසිවක් කර ගත නොහැකි තත්වයක් උද්ගතව තිබුණි. කොමිස් ගැහිලි සහ වෙනත් අයථා වරදාන, සමාජයේ සාමාන්‍ය සම්මතය බවට පත්ව තිබුණි. ඒ සියල්ල, පාලක පවුලේ සාමාජිකයෙකුව ඉපැදීමේ ආනුභාවයෙනි. එහෙත් මේ මහ බලධාරී කල්ලියට පිටින් සියල්ල ඇනහිට තිබුණේ නැත. මේ සමාජ කෙමෙන් ඉදිරියට ගියේය.


අධ්‍යාපනය ඉහළ යද්දී, ලෝකයේ වෙනත් තැන්වල සංචාරය කරද්දී සහ ලෝකය දැන කියා ගද්දී, ජනතාවගේ අපේක්ෂාවන් ද ඊට සමගාමීව වර්ධනය විය. ඒ අනුව ඔවුන් වඩා යහපත් ජීවිතයක් සහ වඩා පුළුල් නිදහසක් සොයා යද්දී, අතීතයේ සිටි ‘විමුක්තිදායකයන්’ දැන් වන විට තමන්ගේ පීඩකයන් බවට පත්ව ඇති බව ඔවුන්ට අවබෝධ විය. තෙල් ආකරවලින් මොන තරම් තෙල් ගලා ආවත්, තම තමන්ගේ වාසිය සඳහා පමණක් පේ වී සිටි කුඩා පාලක කල්ලිය වැඩ කෙළේ රටේ සමස්ත ආර්ථික කාර්යක්ෂමතාව සඳහා නොව. රටේ ධනය තමන්ගේ සාක්කුවේ දමා ගැනීම සඳහා ය.


2011 වන විට මිනිස්සු පාරට බැස්සෝය. එහෙත් මේ බලවත් පවුල් නිකංම බලය අතහැරියේ නැත. එවිට ලේ වැගිරීම් සහ ප‍්‍රචණ්ඩත්වය රජ විය. එහෙත් ජනතාව නතර කළ නොහැකි විය. දශක ගණනක් තිස්සේ බලයේ සිටි පාලකයන් වාෂ්ප වී ගියේ, වසන්තයේ හිරු උදාවත් සමග හිම දිය වී යන්නා සේ ය. දීර්ඝ කාලයක් තිස්සේ මර්දනයට යටත්ව සිටි මේ රටවල්වල අලූත් ආරම්භයක් සඳහා නව ප‍්‍රාර්ථනා ලියලන්නට විය.


සේදී ගිය අරාබි වසන්තය


අවාසනාවකට, එතෙක් ආශාවෙන් බලා සිටි වසන්තය වහා නැසී ගියේය. අරාබි ලෝකය, සමහර විට, බුද්ධිමය, සංස්කෘතිකමය සහ අධ්‍යාත්මික වශයෙන් තවමත් පුරුදු කෝවෙන් කැඩී යාමට සූදානමක් නැතිවා විය හැකිය. ‘වසන්තය’ හේදී ගියේය. අලූත් ‘බලවත්තු’ බලයට ආහ. නැවතත් එම රටවල් ඇදී යන බව පෙනෙන්නේ, ‘අසන්තෝසයේ ශීත සෘතුව’ දිසාවටයි.



අරාබි වසන්තයයි - සැප්තැම්බර් පස්වැනිදායි අහසට පොළව වගේ


මේ ‘අරාබි වසන්තය’ සමග සැප්තැම්බර් 5 වැනි දා ලංකාවේ සැලසුම් කළ තොවිලය මොන ආකාරයකින්වත් සමාන කිරීමට බැලීම විකාරයකි. මේ දෙක, අහස පොළොව තරමට සම කළ නොහැකි අවස්ථා දෙකක් වන බැවිනි.


කොළඹට පැමිණෙන විරෝධතාව සංවිධානය කෙළේ, දෙවරක්ම මෙරට ජනාධිපති පදවිය දැරූ මහින්ද රාජපක්ෂ ය. එම විරෝධතාවයේ සංවිධායකයන් බොහොමයක් දෙනා ජනතාවගෙන් පඩි ලබන සහ ජනතා ධනයෙන් අනේක වරදාන භුක්ති විඳින, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ය. රජයෙන් ලැබෙන බංගලාවල වෙසෙන මොවුන් විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන ස්ථානයට පවා ගියේ අධි සුඛෝපභෝගී යාන වාහනවලිනි. ඒවා ද, ජනතා මුදල්වලින් ලබා ගත් පාරිතෝෂික මිස අන් කිසිවක් නොවේ. මොවුන්ගේ ආරක්ෂාවට රියැදුරන් සහ ආරක්ෂකයන් ද සපයා දී තිබුණේ ජනතාවමයි. ඒ වහල්ලූ, හාම්පුතුන්ගේ ආවතේව කළෝය. මන්ත‍්‍රීවරයාගේ ටෙලිෆෝනය රැගෙන යාම, ඔහුගේ වතුර බෝතලය උස්සාගෙන යාම වැනි තවත් රාජකාරි ඒ අතර වෙයි. වැදගතා එවැනි දේවල් තමන්ම කර ගැනීම තමාගේ තත්වයට තරම් නොවන දෙයක් සේ සලකයි.


ඇත්ත වශයෙන්ම, අද ප‍්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුව සහ විපක්ෂය අතර නොව. ඒ දෙගොල්ලන්ම තම තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සිටින්නේ එකම කඳවුරක ය. මේ රටේ සැබෑ සටන ඇත්තේ ඊනියා ජනතා නියෝජිතයන් සහ ඔවුන්ට බලය පවරන ඡන්දදායකයන් අතර ය. අපේ යුගයේ මහා සදාචාර අරගලය ඇත්තේ එතැනයි.


අවුරුදු හැත්තෑවක් තිස්සේ අපේ ජනතාව මහා බලාපොරොත්තු පුරවාගෙන ඡන්ද පොළට ගියහ. එහෙත් මෙතෙක් බලයට පත් සෑම ආණ්ඩුවක්ම ඒ ජනතා බලාපොරොත්තු සාධනය කිරීමෙහි ලා එක්කෝ තත්පරව නැත. නැත්නම් අසමත්ව ඇත. එහි ප‍්‍රතිවිපාකය වී ඇත්තේ, රට දිනෙන් දින දිළිඳුභාවයට පත්වීමත්, ලෝකයට ණයගැති වීමත් ය.


 

සිංගප්පූරුව දියුණු වුණේ ශ්‍රේෂ්ඨ නායකයින් නිසයි


මීට ප‍්‍රතිපක්ෂව, 1965 දී මැලේසියාවෙන් කැඩී ගිය සිංගප්පූරුව නැමැති පුංචි දිවයිනට තනියෙන් ගෙන යන අනාගතයක් ගැන සිතා ගැනීම පවා එදා ලේසි පහසු දෙයක් නොවීය. එරටේ ස්වභාවික සම්පත් තිබුණේ නැත. විරැකියාව තිබුණේ ඉතා ඉහළ මට්ටමක ය. මැලේසියාව නැමැති එතෙක් තිබූ මහා වෙළඳපොලත් ඊට අහිමි විය. එහෙත් අවුරුදු පහක් ඇතුළත් ඔවුහූ තමන්ගේ නිවැරදි ගමන් මග සොයා ගත්හ. අවසානයේ සාඩම්බරයෙන් යුතුව එම රට නැගී සිටියේ, ශ්‍රේෂ්ඨ නායකයන් එරටේ සිටි බැවිනි.



1950 දශකයේ මුල් කාලයේ දකුණු කොරියාව යුද්ධයෙන් විනාශ වී ගියේය. එහෙත් 1970 දශකය වන විට එරට ධනවත් රටක තත්වයට පත්වීමේ අඩිතාලම් දමා ගත්තේය. 1970 දශකයේ චීනය ඉතා දිළිඳු රටකි. එහෙත් දශක දෙකක කාලයක් තුළ එරට ලෝක ආර්ථිකයේ ප‍්‍රධාන බලවතෙකුගේ තත්වයට පැමිණියේය.


අප මුහුණදෙන සංකීර්ණ ප‍්‍රශ්න, හුදෙක් කාලෙන් කාලෙට අලූත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමෙන් විසඳා ගත නොහැකි බව පැහැදිළි ය. හැම මැතිවරණයකින්ම පසුව, සුදු හැඳ ගත් රංචුවක් දිව්රුම් දෙති. ඔවුන්ගෙන් සෑහෙන පිරිසක්, හිටපු මැති ඇමතිවරුන්ගේ දූපුතුන් ය. මේ කල්ලියේ සේවා කාලයෙන් පසුව, මොන තරම් කෑකෝ ගැසුවත්, කයිවාරු ගැසුවත්, රට තිබෙන්නේ පහළ ශ්‍රේණියේ රටක් වශයෙන්ම ය.


වැරදියට සිදුවිය හැකිව තිබූ සෑම දෙයක්ම වැරදියට සිදුව ඇති රටක් වන්නේ සිම්බාබ්වේ ය. රොබට් මුගාබේ 1980 සිට 1987 දක්වා එරටේ අගමැතිවරයා විය. (එකල ජනාධිපති ක‍්‍රමයක් නොතිබුණි). අනතුරුව 1987 සිට 2017 දක්වා එරටේ ජනාධිපතිවරයා විය. එනම්, පුරා අවුරුදු 37 ක් එක දිගට මේ තනි නායකයා බලයේ සිට ඇති බවයි. ඒ කාලය තුළ, එතෙක් සාමාන්‍ය සමෘද්ධියක් ලබා සිටි එම රට, විනාශයෙන් විනාශයට ගියේය. දළ දේශීය නිෂ්පාදිතය අඩකටත් වැඩි ප‍්‍රමාණයකින් මේ කාලය තුළ අඩු වුණේය. රටේ විරැකියාව ඉහළ ගියේය. අධි-උද්ධමනය හේතුවෙන්, රටේ මුදල බිංදුවටම බැස්සේය. එපමණක් නොව, මිනිසුන්ගේ ආයු කාලය පවා පහළ ගියේය. අවසානයේ බොහෝ සේවකයෝ රට අතහැර අසල්වැසි රටවලට ගියෝය. ඒ රටවල් ද දුප්පත් ය. එහෙත් අඩු වශයෙන් එම රටවල ජීවත් වීමට සරිලන වැටුපකටවත් හිමිකම් කිව හැකි විය.


අවසානයේ 2017 දී හමුදා කුමන්ත‍්‍රණයක් මගින් මේ උන්මත්තක පාලකයාව බලයෙන් පහ කෙරුණි. එහෙත් ඒ බල මාරුව පවා කර ගැනුණේ ‘සිම්බාබ්වේ ක‍්‍රමයට’ ය. එනම්, මුගාබේගේම ක‍්‍රමයට යැයි කිව හැකිය.


සාමකාමීව බලය අතහැර යාම සඳහා, මේ ජාතික කොල්ලකරුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට නඩු නොපවරන බවට පොරොන්දු වන්නට සිදු වූ බව කියැවේ. එසේම ඒ සඳහා වන ‘බෝනස්’ එකක් වශයෙන් ඩොලර් මිලියන 10 ක් ගෙවීමටත් සිදුවිය. ඒ සියල්ලට අමතරව, නිල නිවාස, නිල යානවාහන, කාර්යාල සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු තවත් පහසුකම් රාශියක් සැපයූ බව කියැවේ. වර්තමාන පාලකයන්, කාලයාගේ ඇවෑමෙන් පරණ පාලකයන්ගේ තත්වයටම තමන්මත් පත්වීමට ඇති ඉඩකඩ සලකා බලා සමහර විට මේ ක‍්‍රමය අනුගමනය කළා විය හැකිය.



මේ සියලූ සාපරාධී විකාර, ‘සිම්බාබ්වේ ක‍්‍රමයට’, ඔවුන්ගේ යථාර්ථයට සහ ඔවුන්ගේ සාරධර්මවලට සපුරා පෑහෙන බවක් පෙනේ. සිම්බාබ්වේ දේශපාලනය තුළ බලය පිළිබඳ කාරණය විසඳා ගැනෙන්නේ, බටහිර ක‍්‍රමයට කලිසම් කෝට් හැඳ ගත්, සමහර විට අතීතයේ දඩයක්කාර ගෝත‍්‍රික ප‍්‍රධානීන්ගෙන් පැවත එන කළු ජාතික නායකයන් අතලොස්සක් අතරේ කතිකා කරගන්නා ගනුදෙනුවක් වශයෙනි. ලෝකයේ දේවල් එකලාසයක් කර ගැනීමේ තවත් එක් මාර්ගයක් එය විය හැකිය.


මේ අසන්තෝෂ හා අතෘප්තිය වසර 70 උරුමයයි


සැප්තැම්බර් 5 වැනි දා කොළඹ විරෝධතාව සංවිධානය කළ පිරිසත් ලෝකය දෙස බලන වෙනම ක‍්‍රමයක් තිබේ. ජනතාව වන අප තුළ අද ඇති අසන්තෝෂය සහ අතෘප්තිය වසර හතරක්වත් නැති මේ ආණ්ඩුවේ වරදකැයි ඔවුහූ සිතති. එහෙත් එය වසර 70 ක උරුමයක් බව අපි දනිමු.


විරෝධය පෑමට, ප‍්‍රකෝප වීමට කාරණා ඇති බව ඇත්ත. එහෙත් ඒ අහවල් ආණ්ඩුව නිසා පමණක් නොවේ. සමස්ත ක‍්‍රමයටම එරෙහිව අප ප‍්‍රකෝප විය යුතුය. අපේ නායකත්වයේ අසම්මජාති අසාර්ථකත්වය, ඔවුන්ගේ මානසිකත්වය, සංස්කෘතිය, ආකල්ප සහ සාරධර්ම, ඒ සියල්ලටමත් වඩා අපේම නොහැකියාව ගැන අප ප‍්‍රකෝප විය යුතුව තිබේ. නිදහස ලබන විට අප සාර්ථක අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිව සිටි ජාතියක් විය. ඒ බලාපොරොත්තුව දැන් කෙමෙන් වියැකී ගොස් තිබේ. තව කෙනෙකුට වරද පැටවීමෙන් සතුටු වීම ඉතා පහසු ය. අපේ නායකයන් අසමත් වී ඇති බව ඇත්ත. එහෙත් ඒ අසමත්භාවය ඔවුන්ගේ වරදක් පමණක් ද ?


 

 

රවී පෙරේරා

(2018 සැප්තැම්බර් 27 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Protest, Arab Spring & Zimbabwe නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


 

ආයෙත් ප්‍රජා පීඩක පාලකයින්ගෙන් බැටකමුද ?

චිලියේ හමුදා කුමන්ත්‍රණය


මීට කලකට පෙර ප‍්‍රජා-පීඩකයන් බලයට පත්වීමේ ප‍්‍රචලිත ක‍්‍රමය වුණේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් එක රැයකින් පෙරලා දමා ඒකාධිපතියෙකු විසින් බලය අල්ලා ගනු ලැබීමයි. ඒ ඒකාධිපතියා බොහෝ විට හමුදා නායකයෙකු වීමට ඉඩ තිබුණි. මීට අගනා උදාහරණයක් සැපයුණේ, 1973 දී චිලි රටේ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුව පෙරලා දමා, හමුදා නායකයෙකු වූ පිනෝචේ බලයට පත්වීමෙනි.


ප්‍රජාතන්ත‍්‍රවාදී ඡන්දයකින් ලෝකයේ ප‍්‍රථම වරට මාක්ස්වාදියෙකු බලයට පත්වුණේ චිලී රටේ ය. 1970 දී එසේ බලයට පත් සැල්වදෝර් අයියන්දේව, 1973 සැප්තැම්බර් මාසයේ දවසක ඝාතනය කර දමා පිනෝචේ නැමැති හමුදා නායකයා බලයට පත්විය. එදා ධනවාදී සහ අධිරාජ්‍යවාදී කඳවුර සිටියේ, සන්නද්ධ විප්ලවීය මාර්ගයකින් පමණක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡන්ද ක‍්‍රමයකින් පවා මාක්ස්වාදියෙකුට බලයට පත්වීමට කිසි ඉඩක් නොතැබිය යුතුය යන දැඩි ස්ථාවරයේ ය. ඇමරිකානු ඔත්තු සේවයේ පූර්ණ අනුග‍්‍රහයෙන් චිලී රටේ හමුදා කුමන්ත‍්‍රණය දියත් වුණේ ඒ යටතේ ය.


මාක්ස්වාදී ආණ්ඩු පමණක් නොව, ධනවාදී ආණ්ඩුවක් වුවත්, ලෝක ධනවාදී ක‍්‍රමයේ මූලික අවශ්‍යතා සමග නොපෑහෙන විට මෙවැනි කුමන්ත‍්‍රණ හරහා එවැනි ආණ්ඩු පෙරලා දැමෙන බවට ඇමරිකාව එදා වගබලා ගත්තේය. සීතල යුද්ධ කාලය මෙවැනි කුමන්ත‍්‍රණකරුවන්ට තෝතැන්නක් විය. (සීතල යුද්ධය යනු, ධනවාදී සහ සමාජවාදී වශයෙන් ලෝකය කඳවුරු දෙකකට බෙදී, තමන්ගේ දේශපාලනික සහ ආර්ථික ක‍්‍රමය අනිත් කඳවුරට වඩා සාර්ථක බව සනාථ කිරීම සඳහා නඩත්තු කරගෙන ගිය බිහිසුණු තරඟකාරී කාලය හැඳින්වෙන නාමයයි. විශේෂත්වය වුණේ, මෙය ආයුධවලින් කරගෙන ගිය යුද්ධයක් නොවීමයි. එහෙත්, කඳවුරු දෙක සතුව තිබූ භයානක අවි අනෙකාට විරුද්ධව පාවිච්චියට ගැනුණොත් මුළු මිනිස් සංහතියම විනාශ විය හැකි ය යන අවදානම දැඩිව ලෝකයාට දැනවූ සමයකි). ඒ පසුබිම යටතේ, දෙපැත්තෙන් සැපයුණු අවසරය සහ තල්ලුව පාවිච්චියට ගනිමින් බොහෝ රටවල පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම පෙරලා දැමුණි. මේ කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳ වැටීම්වලින් හතරෙන් තුනක්, හමුදා කුමන්ත‍්‍රණ නිසා ඇති වූ බිඳ වැටීම් ය. ආර්ජන්ටිනාව, බ‍්‍රසීලය, ගෝතමාලාව, පේරු සහ උරුගුවේ වැනි ලතින් ඇමරිකානු රටවල් පමණක් නොව, ඝානා සහ නයිජීරියාව වැනි අප‍්‍රිකානු රටවල් ද, ග‍්‍රීසිය වැනි යුරෝපා රටවල් ද, තායිලන්තය සහ පාකිස්තානය වැනි ආසියාතික රටවල් ද එවැනි කුමන්ත‍්‍රණවලට ගොදුරු වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය යම් කාලයකට විනාශ කර ගත්තේය.


අද ප්‍රජා පීඩකයින් බලයට පත්වන්නේ එක රැයෙන් වන විප්ලවයකින් නොවේ


1980 දශකය අවසානයේ සමාජවාදී කඳවුරේ නිශ්චිත බිඳ වැටීමත් සමග, සීතල යුද්ධ කාලය අවසන් විය. එබැවින් අද ප‍්‍රජා-පීඩකයන් බලයට පත්වන්නේ, එක්තරා රැයක ආයුධ සන්නද්ධව ආණ්ඩුවේ මර්මස්ථාන හිටිහැටියේ අත්පත් කර ගැනීමෙන් නොවේ. චිලී රටේ ජනාධිපතිවරයා ඝාතනය කොට ඒකාධිපතියා බලයට පැමිණීම මුළු ලෝකයාම දැක්කේය. දවසක් එළි වන විට, ජනාධිපති මන්දිරය ගිනි තබා අළු කොට ඇති බව මුළු ලෝකයාම දැක්කේය.


එහෙත්, සීතල යුද්ධ කාලය අවසන් වීමත් සමග එවැනි ප‍්‍රජා-පීඩකයන් බලයට එන්නේ, ප‍්‍රජාවගේම අනුමැතිය සහ ආශීර්වාදය ඇතිව ය. එහෙත් කිසි ජනතාවක් තමන්ව පීඩාවට පත්කරතැයි සිතන නායකයන්ව බලයට පත්කර ගැනීමට දැනුවත්ව ඉදිරිපත් වෙතැයි සිතිය නොහැක. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු වශයෙන් බලයට පත්වන තැනැත්තා අනතුරුව ප‍්‍රජා-පීඩකයෙකු බවට පත්වීමයි. එහිදීත්, හිට්ලර් මෙන් ඔවුන් කෙටි කාලයක් තුළ, ලෝකයාටම ඇස්පනාපිට පෙනෙන ආකාරයෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන විනාශ කර දමන්නේ නැත. ඒ වෙනුවට, ජනතාවගේ අභිවෘද්ධිය සඳහාම යැයි පෙනෙන හේතුපාඨ දක්වමින්, තමන්ගේ ගමන ඔවුහූ යුක්ති සහගත කර ගනිති. සීතල යුද්ධ කාලය අවසන් වීමෙන් පසුව බොහෝ නායකයන් බලයට පත්ව, ප‍්‍රජාතන්ත‍්‍රවාදියාගේ සිට ප‍්‍රජා-පීඩකයාගේ භූමිකාවට කෙමෙන් ප‍්‍රවිෂ්ටව ඇත්තේ මේ ආකාරයෙන් ජනතාව ගොනාට ඇන්දවීමෙනි. ලංකාවේ උදාහරණය මහින්ද රාජපක්ෂ ය.


අද ප්‍රජාතන්ත්‍රවාදය අකර්මණය කරන්නේ නීත්‍යනුකූලවයි


එහිදී, මේ නායකයන් විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙමෙන් අකර්මණ්‍ය කරනු ලබන්නේ, ‘නීත්‍යානුකූලව’ ය. ඔවුහූ, ජනතාව ඉල්ලා සිටිනවාටත් වඩා මැතිවරණ පවත්වති. එසේ කරන්නේ, ඒ මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය අවශේෂ සාධක සියල්ල තමන් යටතේ තබා ගනිමිනි. උදාහරණයක් වශයෙන්, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන සෘජුව හෝ වක‍්‍රව යටපත් කර ගැනෙන පරිසරයක් නිර්මාණය කර ගැනීමෙන් පසුව, මැතිවරණ දූෂණ මැඩලීමේ යාන්ත‍්‍රණයන් අකර්මණ්‍ය කිරීමෙන් පසුව, නීතිය හා සාමය පිළිබඳ අංශ අවනත කර ගැනීමෙන් පසුව, මෙවැනි නායකයන් විසින් මැතිවරණ පවත්වනු ලැබීම සහ ඒවායින් ජයග‍්‍රහණය කරනු ලැබීම දැක්විය හැකිය. නැවතත්, ලංකාවේ උදාහරණය මහින්ද රාජපක්ෂ ය.


මහින්ද 18 සම්මත කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි


18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ව්‍යවස්ථානුකූල ය. නීත්‍යානුකූල ය. ඊට ‘ව්‍යවස්ථානුකූල’ සහ ‘නීත්‍යානුකූල’ භාවය ලැබුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයකින් එය සම්මත කර ගත් නිසා ය. ඒ තුනෙන් දෙකේ වැඩි ඡන්දය ලබා ගත්තේ, ජනතාව ඉදිරියට ගොස් ඉල්ලා ගත් ඡන්දයකින් නොව, වෙනත් පක්ෂයකින් බලයට පත් මන්ත‍්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට අයථා අන්දමින් බා ගැනීමෙනි. එක පක්ෂයකින් පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසුව වෙනත් පක්ෂයකට මාරු වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවේ. (එහෙත් එය අපි දැනට පසෙකින් තබමු). අදාළ වන්නේ, මේ කියන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මහින්ද රාජපක්ෂට අවශ්‍ය කෙළේ මන්ද යන්නයි. එක පැත්තකින්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒ වන විට ඇති කොට තිබූ සාධනීය දේශපාලනික සංස්කෘතිය ආපසු හැරවීමත්, අනිත් පැත්තෙන්, 1978 ව්‍යවස්ථාව තුළ ජේ. ආර්. ජයවර්ධන විසින්ම පනවා තිබූ ජනාධිපති වාර දෙකේ සීමාව ඉවත් කර ගැනීමත් සඳහා ය. මින් පළමුවැන්න ඉඳුරා ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ය. දෙවැන්න අධිකාරීවාදී ය. එහෙත් මහින්ද රාජපක්ෂ ඒ දෙකම සාධනය කර ගත්තේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීව’ ය.


ජෝර්ජ් වොෂින්ටන් අපිට කියාදෙන පාඩම මොකක්ද ?


ඇමරිකාවේ ප‍්‍රථම ජනාධිපතිවරයා වුණේ ජෝර්ජ් වොෂින්ටන් ය. 1789 දී බලයට පත් ඔහු දෙවරක් ජනාධිපති ධුරය හෙබවීය. ඒ දෙවරම ඔහු ජනාධිපති තනතුරට පත්වුණේ ඇමරිකාවේ ‘මැතිවරණ කොලීජියේ’ ඒකච්ඡන්දයෙනි. තුන්වැනි වරටත් ජනාධිපති ධුරය දරණ ලෙස රජයේ බලවතුන් ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු කීවේ මෙවැන්නකි: ‘‘මම තමයි මේ විධායක ජනාධිපති ක‍්‍රමයේ ප‍්‍රථමයා. ඒක නිසාම, ඉතා පරිස්සමින් කටයුතු කිරීමට මට සිද්ධ වෙලා තියෙනවා. මේ අලූත් ආණ්ඩු ක‍්‍රමය ගැන පූර්වාදර්ශ අපිට නැහැ. මං තමයි පූර්වාදර්ශය වෙන්න තියෙන්නේ. මං කරන කියන හැම දෙයක් දිහාම අද ඇමරිකාව බලා සිටිනවා වගේම, අනාගත ලෝකයත් මගේ චර්යාවෙන් පාඩම් ගැනීමට නියමිතයි. තුන් වැනි වාරෙටත් ජනාධිපති වීම නරකයි කියලා මං හිතන්නේ ඒකයි.’’



තුන්වැනි වාරයක් එකම පුද්ගලයෙකුට ජනාධිපති වීමේ නොහැකියාවක් පිළිබඳ නියමයක් එදාවත්, ඉන් පසු තව අවුරුදු 150 කට ආසන්න කාලයක් තිස්සේවත් ඇමරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ලියැවී නොතිබුණි. එය, ජෝර්ජ් වොෂින්ටන් විසින් තැබූ පුද්ගල ආදර්ශයක් පමණක්ම විය. එහෙත් සියවසකටත් වැඩි කාලයක් තිස්සේ එය ඇමරිකානු දේශපාලන සංස්කෘතියේ විශිෂ්ට ප‍්‍රතිමානයක් බවට පත්විය. එසේ තිබියදී, 1933 දී ඇමරිකානු ජනාධිපති පදවියට පත් ෆ‍්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් හතර වතාවක් ජනාධිපති ධුරයට තරග කොට දිනුවේය. ඇමරිකානු ජාතියේ පියා වූ වොෂින්ටන් විසින් තැබූ ආදර්ශය එසේ රූස්වෙල්ට් විසින් කඩනු ලැබීම කෙලෙසකින්වත් නීති විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවක් නොවුණ ද, රූස්වෙල්ට්ගේ මරණයෙන් පසුව, ජෝර්ජ් වොෂින්ටන්ගේ සම්ප‍්‍රදාය නීතියක් වශයෙන් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුව ඇතැයි ඇමරිකානු සමාජය තදින් අදිටන් කර ගත්තේය. ඒ අනුව, ඇමරිකානු කොංග‍්‍රසයේ ප‍්‍රධාන පක්ෂ දෙකම එක්සත්ව 1947 දී 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනුණි. අද වන විට, කෙනෙකුට දෙවරකට වඩා ඇමරිකාවේ ජනාධිපති පදවියට පත්විය නොහැක්කේ මේ 22 වැනි සංශෝධනය නිසා ය. අපේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒ අර්ථයෙන් ඊට සමාන ය.


මම, පුතා - මගේ සහෝදරයා න්‍යාය


2019 ජනාධිපතිවරණය ගැන ඉන්දියාවේදී මාධ්‍යවේදියෙකු නැගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවැන්නක් කියා තිබේ: ‘‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මට ආයේ සැරයක් ඉල්ලන්න බැහැ. මගේ පුතාට ඉල්ලන්න බැහැ වයස මදි නිසා. ඔව්, මගේ සහෝදරයා ඉල්ලනවා තමයි.’’


පළමු තේරීම මම ය. දෙවැනි තේරීම මගේ පුතා ය. තුන්වැනි තේරීම මගේ සහෝදරයා ය.


වැඩවසම් ප‍්‍රවේණිය සහ ප‍්‍රජා-පීඩනය අතර අනිවාර්ය සම්බන්ධයක් නැත. එහෙත්, මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ අතීත භාවිතාව පිළිබඳ වැඩි ඈතක නැති නීරස අත්දැකීම් සමුදායක් අප සතුව තිබේ. රතුපස්වල, හලාවත සහ කටුනායක වැනි ස්ථාන නාම කිහිපයකුත්, ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ, වසීම් තාජුඞීන්, කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත වැනි පුද්ගල නාම කිහිපයකුත් නිතැතින් අපේ මතකයට නැගේ. මේවා, සත්තයි, අත්දුටුවයි.


ඇමරිකානු සම්ප‍්‍රදාය තුළ පැවති භයානක හිඩැසක් ගැන රූස්වෙල්ට් බලයට පත්වන තෙක් ඇමරිකාව දැනගෙන සිටියේ නැත. එහෙත් දැන ගත් සැණින් ඒ වරද ඔවුහූ වහා නිවැරදි කර ගත්හ. එසේ තිබියදී, මහින්ද සම්ප‍්‍රදාය සහ ගෝඨාභය සම්ප‍්‍රදාය ගැන වරක් දැනුවත් වූ අප නැවතත් ඒ ගැන අලූතින් දැනුවත් විය යුතු ද ?   


 

සටහන - ගාමිණී වියන්ගොඩ


 

සබැඳි පුවත් 


යහපාලනය ආවඩන්නේ කාටද ?


ගැටලු ‘විසඳීම’ ජනපතිගේ කජු කෑම වගේ