The Most/Recent Articles

Showing posts with label War Crimes. Show all posts
Showing posts with label War Crimes. Show all posts

ප්‍රභාකරන්ගේ මිනියට අඹුඩය ගැසූ චගි ගාල්ලගේ හත්පොලේ ගාගත්තේද?

මළ සිරුරක් විකෘතිකිරීම ජාතික සහ ජාත්‍යන්තර නීතිය උල්ලඝනය කිරීමක් වන අතර එය යුධඅපරාධ යටතේ ගැණිය හැකිය






ආරක්ෂක කටයුතු පිළිබඳ වාර්තාකරු

හිතවත් මාධ්‍යවේදියෙකු විසින් පසුගිය ඉරිදා පුවත් පතකට විශ්‍රාම යෑමට නියමිත යුදහමුදා නිලධාරියෙකු කළ කෙරුවාවක් ගැන බරපතළ හෙළිදරව්වක් සිදු කොට ඇත. ජනමාධ්‍යවේදියාගේ රචනාවට අනුව මේජර් ජෙනරාල් චගි ගාල්ලගේ මහතා කොටි සවිධානයට එරෙහි යුද්ධයේ ප්‍රධාන එන්ජිම වේ. එසේම යුදහමුදාව් පමණක් නොව ඇතැම් අවස්ථා වලදී නාවික හමුදාව සමගද එකතු වී මෙහෙයුම් සිදු කොට ඇත. ඔහුට අනුව ඇතැම් මෙහෙයුම් සඳහා ඔහු මුහුදේ කාලය ගත කොට තිබේ.

ඔහු විසින් සිදු කළ සේවාවේ පුරසාරම තව දුරටත් දීර්ඝ කරමින්, හෙතම ප්‍රථම වරට කියා ඇත්තේ, කොටි ත්‍රස්තවාදීන්ගේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුරට අඹුඩය ගසා, කරුණා අම්මාන් සහ දයා මාස්ටර් ගුවනින් පැමිණ අදාළ මළසිරුර ප්‍රභාකරන්ගේ බව හඳුනා ගැනීමට අවශ්‍යය පසුබිම සකස් කරනු ලැබුවේ තමන් බවය. අදාළ රචනාවට අනුව මළ සිරුර හමු වූ පසු එය සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ප්‍රදේශයකට ගාල්ලගේ මහතා තනිවම රැගෙන ගොස් අදාළ අඹුඩය එම මළ සිරුරට ගැසූ බව ඔහු හෙළිදරව් කොට ඇත.

මෙම සිදුවීම බරපතල සිද්ධියකි. එම ලිපිය පුරා සඳහන් කර ඇති කාරනා රාශියක් මූලික කරගෙන ගල්ලේගේ මහතා හමුදා අධිකරණයක් වෙතට පැමිණවිය හැකිය. එබැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. මන්ද තනි පුද්ගලයින් වීරයින් වීමට උත්සහ කිරීම හරහා හෙළිදරව් කරන ඇතැම් බරපතල කාරනා හමුවේ සමස්ථ රටට සිදුවන අපකීර්තිය සුළුපටු නොවේ. එසේම මෙම නිලධාරීන්ගේ මෙම පුරසාරම් දෙඩුවාව දැන්වත් නවතා දැමීමට හැකි වටපිටාවක් සකස් කළ යුතු වේ. එය ඉතාම හදිසි අවශ්‍යතාවකි.

මේජර් ජෙනේරාල් ගාල්ලගේ මහතා විසින් සිදු කරන හෙළිදරව්ව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකිය. පළමුවැන්න, ශ්‍රී ලංකා යුදහමුදාව රාජ්‍යය ආයතනයක් ලෙස එහි සිටින ඉහළ පෙලේ නිළධාරීන් විසින් අනුගමනය කළ යුතු මූලික මූලධර්ම උල්ලඝනය කරමින් රාජකාරිමය සාරධර්ම අපකීර්තියට ලක් කිරීමය. දෙවැන්න මෙවැනි තොරතුරු සමස්ථ සමාජය ඉදිරියේ තැබීම ඔස්සේ දේශපාලනික වශයෙන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන පටු වාසින්ය.

ගාල්ලගේ මහතා ඉහල පෙලේ හමුදා නිලධාරියෙකු හෙවත් තවමත් සේවයේ යෙදී සිටින නිලධාරියෙකු ලෙස තම ආයතනයට සිදුකොට ඇත්තේ බරපතල වරදකි. පළමුව, යුදමෙහෙයුම් වල රැකගත යුතු රහස්‍යය බව හෙතම ප්‍රසිද්ධ වේදිකාවේ කියමින්, තමන්ගේ නියෝජනය ගැන කියන්නේය. දෙවනුව මැරුණු සිරුරකට, නීතිමය වශයෙන් සිදුකල හැකි විශාලතම වරද හෙතම විසින් සිදුකොට ඇත. ඒ සඳහා ඔහුට හමුදාපතිවරයාගේ අණ ලැබුණු බව සඳහන් කිරීමෙන්, හිටපු හමුදාපතිවරයාද මෙම කාරණයට පටලවා තිබේ.

නමුත්, මූලික වශයෙන්, ගාල්ලගේ මහතා එහිදී සිදුකොට ඇත්තේ, රටක පවතින මූලික නීති රාමුවට අදාලව පශ්චාත් මරණ පරීක්ෂණයකට අවශ්‍යය පසුබිම හිතාමතාම ව්‍යාකූල කිරීම සහ එය තම පෞද්ගලික වීරත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිත කිරීමය. මෙය තම රාජකාරී බලය අවභාවිතය කිරීමකි.

[caption id="attachment_20731" align="aligncenter" width="1230"] මේජර් ජෙනරාල් චගි ගාල්ලගේ[/caption]

මියගිය සිරුරකට අවශ්‍යය නෛතික කටයුතු ක්‍රමානුකූලව සිදුකරන තෙක් අත තැබීමට කිසිවෙකුට හෝ අවසරයක් නොමැත. යුද බිමකදී මෙය වෙනස් වන අවස්තාවලදී එම සිදුවීම ක්ලැසිෆයිඩ් ( වර්ගීකෘත) ගණයට යටත් තොරතුරුවලට ඇතුළත් කොට රාජ්‍යය රහස් ලෙස ගොනු කරනු ලබයි. මේ ගැන සරලව හෝ දැන ගැනීමට අවශ්‍යය වන්නේ නම්, ක්ලැසිෆයිඩ් ඉන්ෆොමේෂන් යටතේ එන, විකිපීඩියා පිටුව පමණක් හෝ කියවන්නේ නම් ප්‍රමාණවත් වේ. එනයින් බලන කල මින් පෙනී යන්නේ මෙවැනි අතිශය සංවේදී කාරනා සම්බන්ධයෙන්, ගාල්ලගේ මහතා වැනි ඉහළ පෙලේ නිලධාරීන්ට ප්‍රථමික පන්තියේ දැනුම හෝ ප්‍රයෝගික භාවිතයේදී නොමැති බවයි.

යුද්ධයෙන් පසු ධූරයට පත් වූ හමුදාපතිවරුන් සියල්ලටම පාහේ ජාත්‍යන්තර වශයෙන් මුහුණදීමට සිදු වූ බරපතල අභියෝගයක් තිබුණි. එනම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සාම සාධක හමුදාවේ බලඇණි ලෙස මෙරට හමුදා සාමාජිකයින් ලබා ඇති ප්‍රගතිය සහ ප්‍රමිතියය උසස් කිරීමය. ආරක්ෂක අංශවල ප්‍රතිරූපයට ඉතා විශාල වශයෙන් හානී වූයේ හයිටි රාජ්‍යයෙදී මෙරට හමුදා සාමාජිකයින් ලිංගික අපචාර චෝදනා වලට වග උත්තර කරුවන් වීමෙන් පසුය. එය තවමත්, මෙරට ආරක්ෂක අංශවලට සර්ව සම්පූර්ණයෙන් විසඳීමට හැකි වූ කාරණයක් නොවේ.

එසේම, යුද්ධයෙන් පසු බොහෝ දෙනෙකු නැගු චෝදනාව වූයේ මෙරට ආරක්ෂක අංශවල සාමාජිකයින් යුධ අපරාධ සිදුකළ බවය. එය ඉතාම ප්‍රවෙශමෙන් පිළිතුරු දිය යුතු කාරණයකි. නමුත් ඇතැම් හමුදා නිලධාරීන් සිදු කරනු ලැබුවේ, තම පෞද්ගලික ජීවිත වලට "එළියක්" ලබා ගැනීම සඳහා ඔවුහුගේ පෞද්ගලික අත්දැකීම් ඉදිරියට දමමින් සමස්ථ සිදුවීම බාල්දු කිරීම සහ සතුරාට පහසු වන අයුරුන් තම වීරත්වය ප්‍රදර්ශනය කිරීමට ගොස් ලෝකය ඉදිරියේ නිරුවත් වීමය.

රණමග ඔස්සේ නන්දිකඩාල්, නමැති හිසින් යුතුව ප්‍රසිද්ධ කළ කෘතිය ආරක්ෂක අංශවල සේවය කරන නිලධාරීන් විසින්ම හාස්‍යයට ලක් කරමින්, ඊට වඩාත් සුදුසු මාතෘකාව ලෙස යෝජනා කරනු ලැබුවේ, "ර" යන්න වෙනුව "රෙ" යන්න දැමුවේ නම් වඩාත් වටිනා බවය.

සාමූහික ව්‍යායාමයක් තම තමන්ගේ පෞද්ගලික චරිත ඉහල දමාගෙන ලකුණු දමා ගැනීමට යෑමෙන් එම ජීවිත වලට තාවකාලිකව හෝ ප්‍රමෝදයක් ලැබේ. නමුත්  එම කටයුතු වලින් ඔවුහු එම තත්වයට පත් කිරීමට සමත් වූ ආයතන වලට විශාල හානියක් සිදු වේ. ජෙනෙරාල් ගාල්ලගේ, මැරුණු ශරීරයක් වූ ප්‍රභාකරන්ගේ මළකඳට අඹුඩයක් ගැසූ බව පිළිගැනීමෙන් ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දෙන මූලික පණිවිඩය වන්නේ, ආයතන වල සේවය කරන නිලධාරින්ගේ ගෝත්‍රික ස්වාභාවය සහ ආයතන වල ඇති ප්‍රමිතිය කෙතරම්ද යන්නය.

මෙවැනි කතා කිරීමෙන් සිංහල සාමජය හමුවේ වීරත්වයට පත් වී, "දේශප්‍රේමය" නමැති වස්ත්‍රයෙන්   හෙලුව වසාගෙන තම පැවැත්ම තහවුරු කරගත හැකිය. නමුත්, රටට මෙන්ම ඔවුහු පෝෂණය කරනු ලැබූ රාජ්‍යය ආයතන වලට මෙවැනි කටයුතු වලින් සිදු කරන හානිය සුළුපටු නොවේ.

එසේම එහිදී සඳහන් කරන කාරණා වලින් තවත් වැදගත් එකක් වන්නේ, ගාල්ලගේ මහතා නාවික හමුදාව සමග එකතු වී කළ මෙහෙයුම් ගැනය. එය ඉතාම සැලකිල්ලෙන් විමසා බැලිය යුතු කාරණයකි. ඔහු මුහුදට ගියේ කුමන නාවික හමුදා නිලධාරියා සමගද? එහි ගොස් පැය හෝ දින කීයක් ගත කළේද? එම ගත කල කාලය තුළ, නීතිමය වශයෙන් ඔහු බැඳී සිටින තම හමුදා කොට්ඨාශයේ කටයුතු වලට වගකිව යුතු නිලධාරියා වූයේ කවුරුන්ද? ආදී මූලික කාරණා කිහිපයක් මතුවේ. මෙම සිදුවීමද හමුදා අධිකරණයක් හමුවේ අදාළ නිලධාරියා පිළිතුරු බැඳිමට වටපිටාවක් සකස්කරගත් කාරණයකි.

මෙවැනි කාරණාවල ඇති සත්‍යය සහ බරපතල තත්වය ගැන මනා අවබෝධයක් ඇති නිලධාරීන් එනම්, මේජර් ජෙනේරාල් නන්දන උඩවත්ත වැනි ඉතාම ගුණගරුක සහ නීතිගරුක නිලධාරීන් තම වගකීම් ඉටු කළ පසු සද්දේ දමමින් තනි තනි වීරයින් වීමට උත්සහ නොකළේ මේ නිසාය. මන්ද ඔවුහුට තම ජීවිත වලට වඩා තමන්ගේ ආයතන සහ ඒවායේ ඉදිරි අනාගතය වටින්නේය. නමුත් ගාල්ලගේ මහතා වැනි නිලධරීන් ලෝකය හමුවේ ඔප්පු කරමින් සිටින්නේ, තමන් සේවය කල ආයතන වලට හෙණ වැදුනද, තමන්ගේ කෙරුවාව පිළිගෙන තමන්ගේ පෞද්ගලික ජීවිත වලට සලකාගෙන ඇති සැලකිල්ලය. මෙය වෙන කිසිවක් නොව වෘත්තිමය කුසලතාවයන් අපහරණ කිරීමකි.

අවසාන විග්‍රහයේදී, භූමියේ සත්‍යය දන්නා අයවලුන් සියල්ලම පාහේ මෙසේ කියනු ඇත. එනම් ගජබා රෙජිමේන්තුවේ නොනිල ආදර්ශ පාඨය යනුවෙන් බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ කාරණය මෙවැනි නිලධාරීන් විසින් යළිත් ඔප්පු කළ බවය. එනම්, " ගජබා නම් යුද්දේ, සද්දේ සහ සුද්දෙ", බවයි. යුධ සමයේදී සුද්දයක් දුන් එක්තරා නිලධාරියෙකු උතුරෙන් හොරකම් කොට කොළඹට රැගෙනවිත් භාවිතා කළ, මොන්ටෙරියෝ රථ දෙකක් ධාවනය නතර කරන ලෙස එක්තරා හමුදාපතිවරයෙක් අණ කරනු ලැබුවේ තම ආයතනයට සිදුවන ලැජ්ජාව වසා ගැනීමට යැයි පවතින රාවය ඇතුළු බොහෝ දෑ මෙම ගණයට අයත් වේ.

මෙවැනි වටපිටාවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, සිදු වූ ගැටුම ගැන නිල ඉතිහාසයක් ලිවීමට දරන උත්සාහය වැදගත් ජාතික අවශ්‍යතාවයක් වේ. නමුත් එය වඩාත් ඵලදායක වන්නේ එම රචකයින්ගේ සැබෑ වුමණාවන් රටේ අවශ්‍යතාවයක් සමග ගැලපෙන්නේද යන්න මතය.

 

රෝහණ විජේවීර - මරණයේ දේශපාලනය

l සුනන්ද දේශප්‍රිය

පසුගිය 13වන දින කොළඹ මහවිරු සමරු දෙකක් පවැත්විණි. එකක් නිල ජනතා විමුක්ති පෙරමුණ විසින් විහාරමහා දේවී එළිමහන් රඟහළෙහිදී පවත්වන ලද අතර අනෙක් ජවිපෙ වාම ප්‍රවණතාවය විසින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පවත්වන ලදී. සමරු උත්සවයක් නොපවත්වන ලද්දේ වුවත් තමන් ද අභ්‍යන්තර වශයෙන් සිය නායකයා වූ රෝහණ විජේවීර සමරනු ලබන බව ජාතික නිදහස් පෙරමුණෙ නායක විමල් වීරවංශ මහතා වෙබ් අඩවියට ලිපියක් ලියමින් සදහන් කර තිබුණි. එනයින් රෝහණ විජේවීර සිය නායකයා ලෙස සළකන ජාතික මට්ටමේ දේශපාලන ප්‍රවණතා තුනක් මෙරට පවතී.

මෙම ප්‍රවණතා තුනම ලිබියානු කැරලිකරුවන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාපි මරා දැමීම දුටුවේ මානව හිමිකම් කෙළෙසීමක් ලෙස ය. මෙම ප්‍රණතාවන්ගෙන් සමහරක් ලිබියානු නායකයා ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හැදින් වූහ. ඊට හේතුව වශයෙන් දක්වන ලද්දේ අත් අඩංගුවට ගැනීමෙන් පසු කුමණ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබුණ ද ඕනෑම අයෙකුට අධිකරණය හමුවේ සිය නිර්දෝශීත්වය පෙන්වීමට අවස්ථාවක් තිබිය යුතුය යන අයිතිය යි.


එසේ නමුත් මෙම ප්‍රවණතා තුනම විජේවීර පරමාදර්ශයක් බවට පත් කිරීමට දැරෙන උත්සාහය හැරුණ විට එම ඝාතනය පිළිබඳ විධිමත් පරීක්ෂනයක් ඉල්ලා සිටින්නේ නැත. එමෙන්ම විජේවීර දේශපාලනය විසින් ඝාතනයට ලක් වූ සිය හෝ දහස් ගණනාවක් වන විපාක්ෂික දේශපාලන ක්‍රියාධරයින් ගැන කතා කරන්නේ ද නැත.

විජේවීර මරණය සිදු වූයේ 1990 නොවැම්බර් 13 දින දින අළුයම ය. නිරායුධව අත් අඩංගුවට පත් වූ ඔහු පසුව ඝාතනය කරන ලද බවට පොදු පිළිගැනීමක් මේ තාක් පැවැති නමුත් විජේවීරගේ මරණයට වගකිව යුතු හමුදා නිලධාරීන් කව්රුන්දැයි ඇසින් දුටු සාක්ෂිකරුවකු විසින් ප්‍රථම වතාවට හෙළිදරව් කරන ඇත්තේ ඊයේ පෙරේදා ය. 2011 නොවැම්බර් 15දින ය. ඒ දෙමළ ජාතික සන්නද්ධ අරගලය සමඟ කළ යුද්දයෙහි ලා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් කොන්දේසි විරහිතව ආරක්ෂා කරන දිවයින දිනපතා පුවත් පත විසිනි. එම හෙළිදරව්ව එම පුවත් පතට කරන ලද්දේ එකවට යුද හමුදා පොලීසියේ ලාන්ස් කෝප්රල්වරයකු වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා විසිනි. ඔහු වත්මනෙහි උතුරු මැද පළාත් සභාවෙහි ජවිපෙ නියෝජනය කරයි. ( ඔහු ජවිපෙ වාම ප්‍රවණතාවයට සහයෝගය දක්වන බව කියනු ලැබේ.) මෙයට පෙර ද ඔහු විසින් විජේවීර ඝාතනය පිළිබඳව කතා කර තිබූ නමුත් ඉතාමත් විස්තරාත්මකව එම ඝාතනය හෙළිදරව් කර ඇත්තේ මෙවර ය.

එම ප්‍රකාශයෙන් කොටස් කිහිපයක් උපුටා දැක්වීම වටී.

මූලස්ථානයේ දෙවන තට්ටුවේ සම්මන්ත්‍රණ ශාලාවට අපි ගියේ. ඒක ඇතුළේ යුද හමුදාපතිවරයා වන සිසිල් වෛද්‍යරත්න ඇතුළු ඉහළම හමුදා ප්‍රධානීන් 15 දෙනෙක් විතර හිටියා. ඒ අය යුද හමුදාවේ හා ක්ෂණික විහිදුම් බළකායේ ඉහළම නිලධාරියෝ බව මම දැක්කා. එයාලා එක් සිවිල් පුද්ගලයෙක්ගෙන් (එනම් විජේවීරගෙන්) ප්‍රශ්න කරන ආකාරය මම දැක්කා.

ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක් පැවැත්වූවා. මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක් ඊට ගිය බව මට මතකයි. ඔහුව මරා දමාවි කියල කිසිවකුට හිතන්න බැහැ. නමුත් සියල්ල වෙලා තියෙන්නේ ඉහත කී දුරකථන ඇමතුමෙන් සහ ඉහළ නිලධාරීන් 6 දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුවයි.
පස්සේ බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්නේ කොතනටද කියල අහගෙන තමයි බොරැල්ල කනත්තට ගියේ. ඒ වෙනකොට වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. අපේ නායක සහෝදරයාගේ ඔළුවෙනුයි පපුවෙනුයි උණු උණු ලේ ගලා ගිය ප්‍රාණය නිරුද්ධ නොවුණ සිරුර ආදාහනාගාරය ඉදිරියේ බිම දමා තිබුණා. අපි යන්න කලින් ගොල්ෆ් පිට්ටනියට අරන් ගිහින් තමයි වද දීල වෙඩි තියල තිබුණේ.

යකෝ ඕකව උස්සල පද්දල වීසිකරපන් ඇතුළට. ඉහළ නිලධාරියා අණ දුන්නා. කිහිපදෙනෙක් නායක සහෝදරයගේ සිරුර අමාරුවෙන් උස්සල පද්දල ඇතුළට වීසි කළා. සිරුර ආදාහනාගාරයේ කටේ වැදිලා ආපහු බිමට වැටුණා. නායක සහෝදරයා කෙඳිරි ගාන්න පටන් ගත්තා.
මෙම විස්තරය මේජර් ජෙනරල් සරත් මුණසිංහ විසින් ලියන ලද "අ සෝල්ජර්ස් වර්ෂන්" කෘතියේ එන විජේවීරගේ මරණය පිළිබද විස්තරය සමඟ සැසදේ. ස්ථානය, දිනය, වේලාව, පුද්ගලයින් යන සාධක කතා දෙකෙහි ම සමාන ය. ජෙනරල් සරත් මුණසිංහ විජේවීරගේ ඇස් බැඳ පැජරෝවක නංවාගෙන ගිය බව කියා කතාව නතර කරයි. විජේවීරගෙන් ප්‍රශ්ණ කළේ තමා බව ප්‍රකාශ කරන  ජෙනරල් මුණසිංහ අමාත්‍ය රංජන් විජේරත්න ද ප්‍රශ්ණ කිහිපයක් අසන ලද බවත් සිය පොතෙහි සදහන් කරයි. නමින් සදහන් නොකර ද ඔහු එම අවස්ථාවෙහි පොලිස් අධිකාරී උඩුගම්පල ද එහි සිටි බව අඟවයි.

මෙම ඇසින් දුටු සාක්ෂිය කරුණු ගණනාවක් අනාවරණය කරයි.

1. විජේවීර ඝාතන තීරණය ගෙන ඇත්තේ ඔහු අත් අඩංගුවට ගත් මේජර් ජානක පෙරේරා විසින් නොව එවකට හමුදාපති වූ සිසිල් වෛද්‍යරත්න මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු පිරිසකි.

2. ඔහුට වෙඩි තැබීමට පෙර වධහිංසා පමුණුවා තිබුණි.

3. ඔහු ආදාහනාගාරයට දමන ලද්දේ ප්‍රාණය නිරුද්ධවීමට පෙර ය.

4. මේජර් ජෙනරල් සරත් මුණසිංහ යම් යම් නිලධාරීන්ගේ නම් සදහන් කිරීමෙන් වළකින පරිද්දෙන්ම ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද ද සිල්වා ද විජේවීරට වධ දී වෙඩි තබා පණ පිටින් ආදාහනාගාරයට දැමීමට වගකිව යුතු ඉහළ නිලධාරියාගේ නම සදහන් කරන්නේ නැත.

විජේවීර ඝාතනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටි එකම දේශපාලනඥයා එකකට නව සමසමාජ පක්ෂයේ නායකයා වූ වාසුදේව නානායක්කාරය. ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි කවර නායකයකු හෝ එදා මෙදා තුර විෙජ්වීර ඝාතනය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරනසේ කිසිදු ඉල්ලීමක් කර නැත.

විජේවීර ඝාතනය කිරීමෙන් පසු දින එනම් 1989 නොවැම්බර් 14වන දින පුවත්පත් සාකච්ජාවක් කැදවූ එවකට ආරක්ෂ අමාත්‍ය වූ රංජන් විජේරත්න කියා සිටියේ ජවිපෙ තොරතුරු ලබා ගැනීමට යම් ස්ථානයකට විජේවීර සහ එහි තවත් නායකයකු වූ එච්.බී. හේරත් රැගෙන යන ලද අවස්ථාවෙහි පිස්තෝලයක් ඇඳගත් හේරත් විජේවීර ට වෙඩි තබා ඝාතනය කරන ලද බව යි. (අද දක්වාම නිරායුද මිනිසුන් මරා දමා රාජ්‍ය යන්ත්‍රය කියන කතාව මෙහි විවිධ අනුවර්ථනයන් ය).

නමුත් ඉහත කී ලිපියේ ම ඉන්ද්‍රානන්ද ද සිල්වා කියන්නේ එදින රැයෙහි ම තමා හේරත්ගේ ජයාරුපයක් ගැනීමට ගිය බවත් දරුණු ලෙස වධහිංසා පමුණුවා තිබූ ඔහුගේ අත් එසවීමට පවා හැකි තත්ත්වයක් නොතිබූ බව ය.

1971 දීත් 1988 - 1990 අතර තුර සන්නද්ධ බලයෙන් රාජ්‍ය අත්පත් කර ගැනීමට සිංහල විප්ලවවාදීන් දැරූ ප්‍රයත්න පරාජය විය. 1981 සිට 2009 දක්වා සන්නද්ධ බලයෙන් වෙනම රාජ්‍යක් පිහිටුවා ගැනීමට දෙමළ විප්ලවාවදින් දැරූ ප්‍රයත්න ද එලෙසම පරාජය විය. (විප්ලවාවාදී යන වචනය මෙහිදී භාවිත කැරෙන්නේ සන්නද්ධ බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම යන අර්ථයෙනි). මෙම ප්‍රයත්න වෙනුවෙන් සිංහල සහ දෙමළ තරුණ පිරිස් සිරගත කරනු ලැබීමේ සිට වධහිංසාවන්ට ලක්වීම හරහා මරණය දක්වා ඇති තරම් වන්දි ගෙවූහ. මෙම සන්නද්ධ අරගලයන් පරාජය කිරීමේ දී ශ්‍රී ලංකා රාජ්‍ය යන්ත්‍රය පිළිගත් නීතියේ සීමාවන් අතිශය දරුණු ලෙස ඉක්මවා ගිය බව රහසක් නොවේ. කරතගම රූ රුජින වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සහ ඇඹිළිපිටිය සමූහ ඝාතනය වැනි සිද්ධීන් සම්බන්ධයෙන් හැර අඩුම වශයෙන් රාජ්‍ය හමුදාවන්හි පමණ ඉක්මවා යෑම් ගැන කිසිදු පුළුල් සාකච්ජාවක් හෝ ශ්‍රී ලංකාවෙහි ඇති වී නැත. එහි විපාක අද දක්වාම අපි භුක්ති විදිමු. බලගතු දේශපාලනඥයිනට ද ආරක්ෂක හමුදා පිරිස්වලට ද දඩුවම් ලැබීම පිළිබඳ බියකින් තොරව ඕනෑම අපරාධයක් කළ හැකිය යන මතය මෙන්ම භාවිතය ද ශ්‍රී ලංකාවේ මුල්බැස ගෙන තිඛෙන්නේ එනිසා ය.

එල්ටීටීඊය සමඟ ලංකාණ්ඩුවේ අවසාන යුද්ධය අතරතුර ශ්‍රී ලංකාවේ සේවය කළ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ගොර්ඩන් වයිස් එම කාලය අළලා ද "කේජ්" නමින් ප්‍රසිද්ධ කළ ග්‍රන්ථයෙහි සදහන් කරන පරිදි 1971 දී සහ 1988-2000 අතර තුරු ආරක්ෂ හමුදා විසින් නිරායුද සැකකරුවන් ඝාතනය කරනු ලැබීමේ සම්ප්‍රදාය සළකා බලන කළ යුද්ධයේ අවසන් අදියරෙහි සිදුවූ සිවිල් වැසියන් ඝාතනය පුදුමයට කරුණක් නොවේ.

විජේවීර ඝාතනය පිළිබඳව දැන් දිවයින පුවත්පත විසින් හෙළිදරව් කර ඇති කරුණු වැදගත් වන පසුබිම මෙය යි. රෝහණ විජේවීර මරණය සිදුවූ අන්දමත් එයට වගකිය යුත්තේ කවරකුද යන්නත් වැදගත් වන්නේ ජවිපෙ දේශපාලනය අනුමත කිරීමට නොව එවැනි ක්‍රියාවන් තවදුරටත් ශ්‍රී ලංකාවේ සිදුවනු වැළැක්වීමට ය. යුද්ධයේ අවසන් සමයෙහි යුද වැදී සිටි දෙපාර්ශවයම

විසින් සිදුකරන ලදැයි කියන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටින දේශීය සහ අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන ඇත්ත වශයෙන්ම නම් සිය අවධානය 1971 සිට 19881990 දක්වා ද යොමු කිරීම වැදගත් වන්නේ ද මෙම පසුබිම තුළ ය. අඩුම වශයෙන් ඒ අරභයා සොයා ගත හැකි පරීක්ෂණ වාර්තා යනාදිය හරහා ශ්‍රී ලංකාවෙහි මනුෂ්‍යත්වයට එරෙහිව සිදුව ඇති අපරාධ වාර්ගික රාමුවෙන් පිටතට ගැනීම ම වුව වැදගත් දේශපාලන වර්ධනයක් වනු ඇත.

විජේවීර ඝාතන පරීක්ෂනය ඒ සඳහා යෝග්‍ය ආරම්භයක් විය හැකිය. එවැනි පරීක්ෂණයක ඌණ පූරණය වනු ඇත්තේ විජේවීර විසින් දියත් කරන ලද ඝාතන දේශපාලනය පිළිබඳව ද ස්වයං විවේචනාත්මක විමසා බැලීමකි. ඇත්ත වාම දේශපාලනයක ප්‍රවිශ්ඨය විය යුත්තේ විජේවීර සුවඳ දුමින් පිදෙන සුරුවමක් බවට පත් කිරීම නොව ඝාතනයේ දේශපාලනය අවසන් කිරීමේ සාකච්ජාවක් බවට ඔහුගේ මරණය පත් කර ගැනීම යි.

මුවමර් ගඩාෆි - ජීවිතයේ සහ මරණයේ පාඩම





l සුනන්ද දේශප්‍රිය

කර්නල් මුවමර් අල් ගඩාෆි ශ්‍රී ලංකා ආණ්ඩුවට සහ ජනාධිපති රාජපක්ෂට ඉතා සමීප දේශපාලනඥයකු විය. ඔහු අත් අඩංගුවට ගෙන වධ දී පසුව ඝාතනය කිරීම පිළිබද පරීක්ෂනයක අවශ්‍යතාවය අවධාරණය කරන අතලොස්සක් රටවල් අතර ශ්‍රී ලංකාව ද එකකි. මේ අරභයා එක් වාක්‍යයක සහ වචන 21ක ප්‍රකාශනයක් නිකුත් කළ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය කියා සිටියේ කර්නල් මුවමර් ගඩාෆිගේ මරණය සිදුවූ අන්දම පිළිබඳව පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය බවයි. වෙනත් වචනයෙන් කියන්නේ නම් ඉන් අදහස් වුයේ ගඩාෆි ඝාතනය ගැන පරීක්ෂනයක් අවශ්‍ය බවයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ගඩාෆි සම්බන්දයෙන් දැක්වූයේ හිතෛශී ආකල්පයකි.

අත් අඩංගුවට ගන්නා ලද හිටපු ලිබියානු නායකයාගේ ලේ වැකි දුක්බර මුහුණ සහ වෙඩි තබා ඝාතනය කරන ලද ඔහුගේ මළ සිරුර පැහැදිලිව කියා සිටියේ ඔහු මරා දමන ලද්දේ වධ හිංසා පැමිණවීමෙන් පසවු බවයි. ගඩාෆි වෙඩි තබා මරා දැමීමේ වගකීම පිළිගත් තරුණ කැරලිකරුවා කැමරාවක් ඉදිරියේ කියා සිටියේ අනෙක් කැරලිකරුවන් ඔහුට වධ හිංසා පැමිණවීමට උත්සාහ දැරු බැවින් තමා දෙවරක් වෙඩි තබා ඔහු මරා දැමූ බවයි. කැරලිකරුවන් තර්ක කරනු ඇත්තේ ගඩාෆි දහදහස් ගණනාවක් ලිබියානු ජනයාගේ මරණවලට වග කිවයුතු වසර 49ක් ආඥාදායකු ලෙස ලිබියාව පාලනය කළ ත්‍රස්ත රාජ්‍ය නායකයකු බැවින් ඔහු ඝාතනයවී යෑම ඉතිහාසයේ තීන්දුව බවයි. බටහිර රටවල් තර්ක කරනු ඇත්තේ ද එලෙස ය. අන්තර්කාලීන ලිබියානු ආණ්ඩුව කියා සිටියේ අවසන් වතාවත් සඳහා ඥාතීන්ට ඉඩ සැළසීමෙන් අනතුරුව ගඩාෆි දේහය කාන්තාරයේ නොදන්නා ස්ථානයක මිහිදන් කළ බවයි.

ගඩාෆි ඝාතනය පිළිබඳව ශ්‍රී ලංකාණ්ඩුව පරීක්ෂනයක් ඉල්ලා සිටීමට පෙර එම අවශ්‍යතාවය පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධයේදී සිදුව ඇතැයි කියන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂනයක් අවශ්‍ය බවට උද්ඝෝෂනයක් ගෙන යන හියුමන් රයිට්ස් වොච් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් යන සංවිධානයන් ය. එක්සත් ජාතින්ගේ සංවිධානය ද එවැනි පරීක්ෂනයක් අවශ්‍ය බවත් දැනටම ආරම්භ වී ඇති මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂනය විසින් ගඩාෆි ඝාතනය ද සොයා බලනු ඇතැයි ද කියා සිටියා ය. මෙම ඝාතනය අත් අඩංගුවට ගැනීමෙන් පසු කරන මෙම ඝාතනය යුද අපරාධ ගනයට වැටිය හැකි බවද අපරාධයට දඩුවම් දිය යුතු බව ද එකී සංවිධාන කියා සිටියා ය.

යුද්ධයේ අවසාන භාගයේ දී එවැනි ඝාතන ශ්‍රී ලංකාවේ දී සිදුවූ බවට එම සංවිධානම චෝදනා කරයි. නැගෙනහිර එල්ටීටිඊ නායකයකු වූ රමේශ්ගේ මරණය එවැනි එක් අවස්ථාවකි. ජීවග්‍රහයෙන් ගත් රමේශ්ගෙන් යුද හමුදා සෙබලූන් විසින් ප්‍රශ්ණ කරනු ලබන සහ ඔහුගේ මළසිරුර දැක්වෙන විඩියෝ දර්ශන මේ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබේ. මෙම චෝදනාවට පිළිතුරු වශයෙන් ආරක්ෂ ලේකම්වරයා කියා සිටියේ රමේශ් දරුණූ ඝනයේ ත්‍රස්තවාදියකු බවයි. එමෙන්ම එල්ටීටිඉ නායකයින් වූ සිය සැමියන් යුද හමුදාවට භාර වූ බවත් ඉන් අනතුරුව ඔවුන් අතුරුදහන්ව ඇති බවත් බිරින්දන් ගණනාවක්ම ආණ්ඩුවේ එල්එල්ආර්සී කොමිසම හමූයේ සාක්ෂි දුන්හ. ආණ්ඩුව කියනු ඇත්තේ ඔවුන් ත්‍රස්ත නායකයින් බවත් එම මරණවලට තමන් වගනොකියන බවත් ය.

දැන් ලිබියානුවන්ට ද ගඩාෆි සම්බන්ධයෙන් එවැනිම පිළිතුරක් දිය හැකිය. නමුත් පෙනන විදියට හියුමන් රයිට්ස් වොච් සහ ඇමෙන්ස්ටි ඉන්ටර්නැෂනල් මෙන්ම ශ්‍රී ලංකාණ්ඩුව ද එම පිළිතුර පිළිගැනීමට සූදානම් නැත. එසේ නම් යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට කියැවෙන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂනයක් අවශය නැතැයි කීමට ශ්‍රී ලංකාණ්ඩුවට ඇති අයිතිය කුමක් ද? එවැනි පිළිතුරු එම ප්‍රශ්නයට මැදිවූ දෙමළ ජනයා සහ අන්තර් ජාතික මානව හිමිනම් ප්‍රජාව විසින් පිළිගනු ඇත් ද?

ශ්‍රී ලංකාවේ මෙන්ම ගඩාෆිගේ ලිබියාවේ අංක එකේ මිතුරකු වූ චීනය මේ සම්බන්ධයෙන් දැක්වූ ස්ථාවරය සහමුලින්ම වෙනස් ය. එය කියා සිටියේ දැන් ලිබියාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය උදා වෙනු ඇතියි තමන් අපේක්ෂා කරන බවත් නව ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් බවත් ය. ඉන්දියාව ද ප්‍රකාශ කළේ එවැනිම ස්ථාවරයකි. අප ශ්‍රී ලංකාණ්ඩුව ගත් ස්ථාවරය අගය කළ යුතු වන්නේ විශේෂයෙන්ම ගඩාෆිගේ ලිබියාවේ මිතුරන් වූ බලගතු රටවල් නිහඩව සිටිය දී ගන්නා ලද නිවැරදි ස්ථාවරයක් නිසා ය. කවර වරදකට වෝදනා ලැබ තිබුන ද අත් අඩංගුවට පත් සතුරකු මරා දැමීම දඩුවම් ලැබිය යුතු වරදකි.

එසේ නමුත් ශ්‍රී ලංකාන්ඩුවේ භාවිතය ගඩාෆි සම්බන්ධයෙන් දරන ලද මෙම ස්ථාවරයට සහමුලින් වෙනස් ය. එය අත් අඩංගුවට ගන්නා සැකකාර පතාල සාමාජිකයින් පවා නඩු නැතිව ඝාතනය කරයි. දේශපාලන ඝාතන පිළිබඳ පොලිස් පරීක්ෂන යටපත් කරයි. අධිකරන තීන්දු ලැබීමට පෙරම අත් අඩංගුවේ සිටින සැකරුවන් දරුණු ඝනයේ අපරාධකරුවන් ලෙස නම් කරයි. ගඩාෆි සම්බන්ධයෙන් ඇති අනුකම්පාව සිය රටෙහි එවැනි ඝාතනයවූවන්ට දැක්වීමට නොහැකි වීම විසින් පෙනුන්ම් කරන්නේ ගඩාෆි ඝාතන පරීක්ෂනයක් අවශ්‍ය බවට ශ්‍රී ලංකාණ්ඩුවේ ස්ථාවරය මූලධාර්මික ස්ථාවරයක් නොව දේශපාලන ඥාතීත්වය මතින් පැන නැගුණු එක්ක බවයි. ඒ කෙසේ වෙතත් ගඩාෆි දේශපාලනය සහ එහි අවසානය ශ්‍රී ලකාව තේරුම් ගැනීමට ප්‍රවේශයක් වැන්න.

ඔහු ඉපදුනේ එඩේර ගෝත්‍රයක ගොවි පවුලක ලාබාල දරුවා ලෙස ය. සාමාන්‍ය පාසැළක ඉගෙනුම ලබා නීති උපාධිය දිනා ගැනීම දක්වා ඉහළට ගියේ ය. පාසැල් වියෙහි දී ම විප්ලවකාරී අදහසින් වෙළි ගිය ගඩාෆි නීතිය හැදැරීමෙන් අනතුරුව යුද හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ වැඩිදුර පුහුණව ද ලැබීමට සමත් 1959 සැප්තැම්බර් 1 දා සිය පාසැල් සමයේ විප්ලවකාරි සගයන්ද හවුල්කර ගනිමින් කපිතාන් ගඩාෆි එකළ රට කරවූ ඉර්දිස් රජු බලයෙන් පහ කළේ ය. විය. එමගින් විසි නමවැනි වියෙහිදීම ගඩාෆි ලිබියාවේ නායකයා බවට පත් විය.

ලිබියාව විදේශ අධිපත්‍යයෙන් නිදහස් රටක් බවට පත් කිරීම තරුණ ගඩාෆිගේ අපේක්ෂාව වු අතර ඔහු සිය ආදර්ශය ලෙස සළකා ගත්තේ ඊජිප්තුවේ පෙරළිකාරී නායකයා වූ ගමෙල් අබ්දුල් නසාර් ය. ලිබියාව ආර්ථීක වශයෙන් සමෘද්ධිමත් කිරීමට අවශ්‍ය සම්පත් රටෙහි ආඩ්‍යව තිබුණි. ලිබියාව අද දක්වාම විදේශ ණය හෝ වෙනත් ණය බරක් හෝ නැති රටකි. බටහිර කොල්ලකාරී සමාගම් විසින් ගරාගනිමින් තිබූ තෙල් සම්පතෙහි අයිතිය යළි ලබා ගත් ප්‍රථම අරාබි රාජ්‍යය වූයේ ලිබියාවය.

ගඩාෆිගේ පාලනය යටතේ ලිබියානු ජනතාවගේ සාක්ෂරතාවය සියයට 10 සිට සියට 90 දක්වා ඉහළ නැගුණි. පරමායුෂ වයස අවුරුදු 57 සිට 77 බවට පත් විය. ස්ත්‍රින්ට සමාන අයිතීන් ලබා දීම අතින් ද ලිබියාව ඉහළ තැනක සිටි අතර අධ්‍යාපානය සහ සුව සේවා නොමිලයේ සැපයුනි. සහනදායී නිවාස ණය මහා ජනයාට විවෘත විය.

එනමුත් මේ සියළු සාධාරණීය පියවරයන් මකා දැමෙන නපුරක් ගඩාෆිගේ දේශපාලනයේ අන්තර්ගත වී තිබුණි. එනම් ඉරිදිස් රජු මෙන්ම තමන් ද ලිබියාවේ සදාකාලික අසාහාය නායකයා විය යුතුය යන මතය යි. බටහිර අධිපත්‍යයෙන් මිදිමට ඇති නිදහස මෙන්ම දේශීය අඥාදායකත්වයෙන් නිදහස්වීමට ලිබියානු ජනයා තුල වූ අපේක්ෂාවට ගඩාෆි එරෙහි විය.

ඔහු තමන්ගේ ම චින්තනයක් නිර්මානය කර එහි ම ගොදුරක් බවට පත් විය. නිදහස් හා සාධාරණ මැතිවරණ මගින් මහජන නියෝජිතයින් පත් කැරෙන ක්‍රමයක් වෙනුවට ඒවායේ සාමාජිකයින් රජයේ ඔත්තු සේවකයින් ලෙස සේවය කළ දේශපාලන කමිටු මගින් රට පාලනය කිරීම ගඩාෆි තෝරා ගත්තේය. කිසිදු විරුද්ධ මත දැක්වීමකට අවස්ථාවක් නැති විය. රජයේ සෑම අංශයක්ම මෙම ඔත්තුකරුවන්ගෙන් පුරවන ලදී. විදේශිකයකු සමග දේශපාලන සංවාදයක යෙදීම පවා තෙවසරක් සිරගත කැරෙන අපරාධයක් බවට පත් කරන ලදී. ඕනෑම මර්ධනකාරි පාලකයකු මෙන් ම ගඩාෆිගේ විශාලතම බිය තිබුණේ නිදහස් මාධ්‍යට ය. මාධ්‍ය මර්දනය කොතරම් වී ද යත් රටවල් 178ක මාධ්‍ය නිදහසේ දර්ශකයෙහි ගඩාෆිගේ ලිබියාව පැවැතියේ 160වන ස්ථානයේ ය. විසංවාදය රට තුළ මර්දනය කිරීමෙන් නොනැවතී ලිබියාවේ ප්‍රතිරූපය එතෙරදී විනාශ කරන ද්‍රෝහීන් ද විනාශ කල යුතු යැයි කී මුවමර් ගඩාෆි ප්‍රජාතන්ත්‍රවාදී අරගලය දිගටම ගෙන යෑම පිණිස විදේස්ගතව සිටි ක්‍රියාකාරීන් විශාල ගණනාවක් ඝාතනය කිරීමට ඝාතක කණ්ඩායම් යොදා ගත්තේ ය.

ගිලිහෙන ජනප්‍රියත්වය රැක ගැනීම පිණිස ගඩාෆි මුස්ලිම් ආගම් ප්‍රචාරය යොදා ගත්තේ ය. ලිබියානු දේශපාලනය ආගමික දේශපාලනයක් බවට පෙරළන ලද අතර එහි මුදුන් මල් කඩ බවට තමා ම පත්කර ගන්නා ලදී. පුද්ගලාභිවාදනය රටපුරා ගඩාෆි පුවරු පිහිටුවීමෙන් ලක්ෂිත විය. අනෙත් අතට බලය තහවුරු කර ගැනීම පිණිස ඥාති සංග්‍රහය දේශපාලනයේ සහ ආර්ථීකයේ සිය පිළිවෙත බවට ගඩාෆි විසින් පත්කර ගන්නා ලදී. ගඩාෆි දරුවනට සහ ඥාතීන්ට දේශපාලන බලයෙන් ද ආර්ථීක බලයෙන් ද කිසිදු අඩුවක් වූයේ නැත. නමුත් සමාජ බලයක් තිබුනේ නැත.

මේ සියල්ලටම අමතරව ඔහු බටහිර ධනවත් රටවල් සමඟ නොනවතින ගැටුමකට එළඹී සිටියේ ය. ජර්මනියෙහි බෝම්බ පපුරුවන ලද අතර බි්‍රතාන්‍යයේ මගී ගුවන් යානිවක් පුපරුවා හැරුණි. බටහිර විරෝධය කොතරම් විකාරයක් බවට පත් වූයේද යත් 1986 දී ඉංග්‍රිසි බස වෙනුවට පාසැල්හි රුසියානු බස ඉගැන්වීම ආරම්භ කෙරුණි. (පසුව එය අසාර්ථක විය)

සිය ආධිපත්‍ය ගිලිහී ඇති බවත් ජනයාට වෙනසක් අවශ්‍ය බවත් ඔහුට තේරුම් ගැනීමට නොහැකි විය. එමෙන්ම යුද්ධයෙන් තමා පරදින බව ඔහු තේරුම් ගත්තේ ද නැත. අවසානයේ දී යහපත් අරමුණින් යුතුව රාජකීයත්වය පෙරළා දමා ජනයාගේ සුබසෙත පැතූ ගඩාෆි එහි ම ප්‍රතිවිරෝධය බවට පත්ව තිබුණි. බලය විසින් දූෂනය ඇති කරන පරිද්දෙන් අත්‍යන්ත බලය විසින් අත්්‍යන්ත දූෂණය ඇති කර තිබුණි. සදා බලයේ සිටීමට තිබූ අභිලාෂය සහ වෙනත් මත සහ විවේචන නොඉවසීම ගඩාෆි දරුණු අඥාදායකයකු බවට පත් කරන ලදී. සදාකාලික වන්නේ යුද්ධය හෝ අඥාදායකත්වය නොව සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ය යන ඉතිහාසයේ න්‍යාය ධර්මය අවසානයේ දී ජයගත්තේ ය. ගඩාෆි ජීවිතයෙන් පමණක් නොව ඉතිහාසයෙන් ද මිය ගොසිනි.

Tell a Friend

ලංකාණ්ඩු විරෝධී ඉන්දියානු රැල්ල


සුනන්ද දේශප්‍රිය 

යුද්ධයේ අවසන් අදියරෙහි දී යුද වැද සිටි දෙපාර්ශයම විසින් කරන ලදැයි වාර්තා වී ඇති මනුෂ්්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවට ඉන්දියානු ආණ්ඩුව කළ ප්‍රකාශයට පිළිතුර දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ඝෝෂකයකු වන අමාත්‍ය විමල් වීරවංශ ය. ඔහු කියා සිටියේ යුද්ධයේ අවම මිනිස් හානි සිදුවූ යුගය රාජපක්ෂ පාලනය ගෙන ගිය යුද්ධය බව ය. ඔහු මෙසේ ද කීය: ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් වෝදනා ගැන පරීක්ෂා කරන්න ඕනෑ කියලා ඉන්දීය විදේශ ඇමැතිතුමා කියළ තියෙනවා. එහෙමනම් ඉන්දීය හමුදාව මෙරටට ඇවිල්ලා කරපු හැම ක්‍රියාකාරකමක් ගැන ම පරීක්ෂා කරන්න අපට සිදු වෙනවා. එම කතාව පළ කල වීරවංශ මහතාගේ වෙබ් අඩවියෙහි ඉන්දියාව සහ ඉන්දියානු නායකයින් සම්බන්ධයෙන් පළවන අතිශය වෛර සහගත ප්‍රකාශ විසින් පෙන්නුම් කරන්නේ විරවංශ අනුගාමිකයින් අතර පවත්නා ඉන්දීය විරෝධී ප්‍රචණ්ඩ දේශපාලන මානසිකත්වය යි.

මේ අතර යුද්ධයේ අවසන් කාල පරිච්ජෙදයෙහි ශ්‍රී ලංකාවේ යුද වැදුණු දෙපාර්ශවය ම විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම් ගැන පරීක්ෂා කළ යුතු බවට ඉන්දියාවෙහි දේශපාලන සහ සිවිල් සමාජය විසින් ගොඩනගමින් තිඛෙන ව්‍යාපාරය එන්න එන්න ම ඉහළ යමින් තිඛෙන්නේ ශ්‍රී ලංකාණ්ඩුවේ මිතුරන් ලෙස සැළකුණු බලවේග ද ඊට එක් කර ගනිමිනි.

ඊට මෑතකම උදාහරණය නම් රාජපක්ෂ පාලනයේ දීර්ඝ කාලීන හිතවතකු වූ හින්දු පුවත් පත සහ එහි කර්තෘ එන්.රාම් විසින් ගෙන ඇති ස්ථාවරය යි. ශ්‍රී ලංකාණ්ඩුව විසින් පිරිනමනු ලබන ශ්‍රි ලංකා රත්න නම් උසස්ම සම්මානය හින්දු කර්තෘ එන්.රාම් ජනාධිපති රාජපක්ෂ විසින් 2005 නොවැම්බර් මාසයේ දී පිරිනමන ලදී. 2010 දෙසැම්බර් මාසයේ දී ජනාධිපති රාජපක්ෂ සමඟ දීර්ඝ සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමේ භාග්‍යය ලද උග්‍ර එල්ටීටීඊ විරෝධියකු වූ එන්. රාම් එම අවස්ථාව පාවිච්චි කරන ලද්දේ සිය රාජපක්ෂබාවය පෙන්නුම් කිරීම පිණිස ය.

එසේ නමුත් එන්.රාම් පසුගිය 16වනදා සිය පුවත් පතෙහි කතුවැකිය නම් කළේ මල්ලී පාලනයෙන් පිට පනී කියා ය. ඔහු එහි මෙසේ ලීවේ ය. මල්ලී යනුවෙන් එහිදී අදහස් කැරුනේ ජනාධිපති රාජපක්ෂගේ බාල සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ ය.

එන්. රාම් යුද්ධාවසානයෙන් දෙවසරකට පසුත් නොවිසදී පවත්නා ප්‍රධාන කරුණු දෙකක් ඇති බව කියා සිටී. පළමුවැන්න සිංහල බහුතරය සහ දෙමළ සුලූතරය අතර දේශපාලනය ප්‍රති සංන්ධානය පිණිස ක්‍රියා නොකිරීම යි. දෙවැන්න යුද්ධයේ අවසන් අදියරයන්හි දී දැන දැනම සිවිල් වැසියන් ඝාතනය කරන ලද බවටත්, අත් අඩංගුවේ සිටි අයවළුන් අමු අමුවේ මරා දැමීමත් ලිංගික අතවර කර ඇති බවටත් නැගෙන චෝදනා ලංකාණ්ඩුව විසින් තනිකරම ප්‍රතික්ෂේප කරමින් සිටීම යි.

මෙම කරුණු හරියාකාර ලෙස ආමණ්ත්‍රනය කරනු වෙනුවට ජනාධිපතිගේ සහෝදරයා වන ගෝඨාභය ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් වන හෙඩ්ලයින්ස් ටුඩේ සමඟ කළ සාකච්ජාවේ දී තත්ත්වය වඩාත් නරක අතට හැරවෙන ලෙස කතා කළ බව එන්.රාම් කියා සිටී. ඔහු සිය කතුවැකිය අවසන් කරන්නේ ගෝඨාභයට තරවටු කළ යුතුය කියා ය.

ඉන්දියානු හෙඩ්ලයින්ස් ටුඩේ රුපවාහිනිය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ජාවේ දී ආරක්ෂ ලේකම් රාජපක්ෂ විසින් සඳහන් කරන ලද කරුණූ තුනක් දැන් විවාදයට තුඩු දී තිබේ. ඒවා නම් දැන් ත්‍රස්තවාදය පරාජය කර ඇති බැවින් දේශපාලන විසදුම් යෝජනා පලක් නැත, කවර හෝ විසදුමක් ලබා දිය හැක්කේ ශ්‍රී ලංකාවේ පවත්නා ව්‍යවස්ථාව යටතේ පමණකි, සහ 13වන ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ කැමැත්තෙන් ඇති කරන ලද එකක් නොවන බව ය.

එල්ටීටීඊ විරෝධී යුද්ධයේ දී රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂකයකු ලෙස කටයුතු කළ එන්. රාම් ගේ මේ දෝෂාරෝපනය විසින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ දී මෙන්ම ඉන්දියාවේදී ද මෙරට ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්ධයෙන් ඇතිවෙමින් පවත්නා ධ්‍රැවීකරණය යි. අද ශ්‍රී ලංකාණ්ඩුව සමඟ නොනවතින ගැටුමක යෙදී සිටින තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් පවා සිටියේ උග්‍ර එල්ටීටීඊ විරෝධී මතයක ය. අගමැති රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ඇය කිසි විටෙක එල්ටීටීඊයට සමාව දුන්නේ නැත. එල්ටීටීඊ විරෝධිව තිබූ තමිල්නාඩු ප්‍රාන්තයෙහි ශ්‍රී ලංකාණ්ඩුවට විරෝධීව මිස පක්ෂව අද කිසිදු හ~ක් නැගෙන්නේ නැත. ඉන්දියාවේ ඊළඟ මහ මැතිවරණයෙන් කවරකු බලයට පත්වේදැයි අනාවැකි කිව නොහැකි නමුත් ඒ හරහා ජයලලිතාගේ දේශපාලන බලය ඉහළ යනු ඇති බවත් ඇය මධ්‍යම ආණ්ඩුවේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් ස්ථීර ය.

ඉන්දියාවේ වාම බුද්ධිමතුන් විසින් ද සහාය දක්වන ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විසින් දිගින් දිගටම කරනු ලබන ප්‍රකාශයන්ගෙන් ද පෙනී යන්නේ රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසයේ බිඳ වැටීමයි. එහි ප්‍රධාන ලේකම් ප්‍රකාශ් කරත් මෑතදී කියා සිටියේ රාජපක්ෂ පාලනය දෙමළ ජනතාව සම්බන්ධයෙන් දෙන ලද පොරොන්දු ඉටු කිරිමට අසමත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ප්‍රාදේශීය ස්වයත්තතාවයක් ලබා දිය යුතු බවත් ය. ඉන්දියානු විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ද ශ්‍රී ලංකාවේ යුද්ධ අපරාධ පරීක්ෂා කළ යුතු බවට දිගින් දිගටම උද්ඝෝෂණය කරයි.

ආරක්ෂක ලේකම්වරයාගේ සම්මුඛ සාකච්ජාව විකාශනය කර දින කිහිපයකට පසු හෙඩ්ලයින්ස් ටුඩේ රූපවාහිනිය ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳව තමන්ගේම වාර්තා චිත්‍රපටයක් විකාශණය කළා ය. එම රූපවාහිනී නාලිකාවේ ජනමාධ්‍යවේදිනියක් රහසිගතව වන්නි ප්‍රදේශයට ඇතුල් වී කරන ලද වීඩියෝ සම්මුඛ සාකච්ජා කිහිපයකින් එම වාර්තා චිත්‍රපටය සමන්විත වෙයි. ශ්‍රී ලංකාවේ වන්නි යේ ජීවත්වන යුද්ද වින්දිතයෝ යුද සමයෙහි තමන්ට මුහුණ දීමට සිදුවූ බිය ජනක තත්ත්වයන්, එනම් සිවිල් වැසියන් මියයාම්, හ~ නොනැගෙන පොකුරු බෝම්බ, ලිංගික අතවර යනාදිය එහිලා විස්තර කරත්. ලංකාණ්ඩුව ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රකාශ කළේ එය එල්ටීටීඊ හිතවාදීන්ගේ ක්‍රියාවක් බවයි.

මීට අමතරව පසුගිය සති කිහිපය තුළ තවත් අන්තර් ජාතික ජනමාධ්‍ය ආයතන දෙකක් ශ්‍රී ලංකාවේ යුද්ධයෙහි දී සියළු පාර්ශවයන් විසින් කරන ලදැයි කියන මානව හිමිකම් කෙළෙසීම් පිළිබදව සිය උනන්දුව පෙන්වාලමින් යුද්ධ අපරාධ විවාදයට එක් වූහ. ඒවා නම් ස්විස්ටර්ලන්තයේ ජනප්‍රිය ම නාලිකාවක් වන එස් ෆප් වන් සහ නෙදර්ලන්ත ලෝක රේඩියෝව යි. මෙම වර්ධනයන් විසින් පෙන්නුම් කෙරෙන්නේ යුද්ධ සමයේ මානව හිමිකම් සම්බන්ධයෙන් රට තුළ ලංකාණ්ඩුව විසින් පෙන්නුම් කරන ජයග්‍රාහී මනෝභාවය නොසළකා අන්තර් ජාතික වශයෙන් වර්ධනය වන ප්‍රවණතාවය ඊට වෙනස් බව යි.

ශ්‍රී ලංකාව පිළිබඳව ඉන්දියාවෙහි ඇති වෙමින් පවත්නා දේශපාලන වර්ධනයන් මෙම අන්තර් ජාතික වටපිටාව තුළ වඩා වැදගත්කමක් ගනී. මන්ද යත් ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ජාතික බල තුලනයේ වෙනසක් ඇතිකළ හැකි රට ඉන්දියාව නිසා ය. ඉන්දියාව බටහිර බලවතකු නොවන අතර සංවර්ධනය වන රටවල් අතර බලපෑමක් සහිත රාජ්‍යයකි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ඇත්ත බලපෑම ඇත්තේ චීනයට නොව ඉන්දියාවට යි. වත්මන් චීනයේ මූලිකම අභිප්‍රාය ආර්ථීක ක්ෂේත්‍රයේ බලවතකුවීම ය. පොලියට මුදල් දෙනවා හැරෙන්නට චීනය කිසිම රටක් වෙනුවෙන් තීරණාත්මක දේශපාලන මැදිහත්වීමක් කර නැත. සිය ගජ මිතුරන් වු ලිබියාව, සූඩානය, සිරියාව යනාදී රටවල් චීනය විසින් අතහැර දමන ලද්දේ ඇඟටවත් නොදැනෙන පරිදි ය.

එනයින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි කාලය තුළ තීරණාත්මක අන්තර් ජාතික භූමිකාව රග පෑමට නියමිතව ඇත්තේ ඉන්දියාවට ය. යථාර්තවාදී රාජ්‍ය පාලනය යනු යුද්ධ ජයග්‍රාහී මතවාදයේ ස්වයං සිරකරුවකු වීම නොව වර්ධනය වන දේශීය සහ අන්තර් ජාතික ප්‍රවණතාවයන් සැළකිල්ලට ගනිමින් සාධනීය ප්‍රතිචාර දැක්වීම යි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදිව වර්ධනය වන ස්වයං පාලන දේශපාලන ප්‍රවණතාවය තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කරන අයුරින් ම යුද්ධයේ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වර්ධනය වන අන්තර් ජාතික සහ විශේෂයෙන් ම ඉන්දියානු දේශපාලන ප්‍රවණතා තේරුම් ගැනීමේ හැකියාවක් රාජපක්ෂ පාලනය මේතාක් පෙන්වා නැත. 

Tell a Friend

චැනල් ෆො වීඩියෝ : මැජික් බැලීම



නිලන්ත ඉලංගමුව

චැනල් ෆො නාලිකාව විසින් තවත් වීඩියෝ පටයක් ඊයේ රාත්‍රියේදී ලන්ඩන් වේලාවෙන් 11.30 ට විකාශනය සඳහා නිකුත් කරනු ලැබීය. සුපුරුදු පරිදි එය විකාශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර මීට පෙර අවස්ථාවලදී මෙන්ම අදාළ වීඩියෝ පට නිර්මාණය කරන ලද ඒවා බව ආණ්ඩුවේ මතය වේ. ඒ ගැන පුදුම විය යුතු නැත. මන්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මීට පෙර පැවතී ආණ්ඩු මෙන්ම වෙනත් දේශපාලන පක්ෂ තමන් අතින් සිදු වූ වැරදි වෙනුවට අනුන් වෙත ඇඟිල්ල දිගු කොට අත් සෝදා ගැනීමේ ක්‍රමෝපාය භාවිත කළ හෙයිනි. සැබවින්ම යුද්ධයේ අවසන් අදියරේදී ලකුණු දා ගැනීම පිළිබඳ විශාල අර්බුදයක් ආරක්ෂක අංශ අතර මෙන්ම දේශපාලන නායකත්වය තුළද පැවතී බව ප්‍රකට කරුණකි. එහි ප්‍රතිඵලය මේ වන විට ජාත්‍යන්තර වශයෙන් එල්ල වී ඇති චෝදනා මෙන්ම රට තුළ ඇති වී ඇති අර්බුදයන් සැලකීමේදී පැහැදිලිය.

මීට පෙර මෑත ඉතිහාසයේදී මරා දමන ප්‍රදේශ හෙවත් "කිලින් ෆීල්ඩ්" ලෙස හැඳින්වූයේ කාම්බෝජයේ පොල් පොට් විසින් එරට වැසියන් මරා දැමීම සඳහා භාවිතා කළ ප්‍රදේශ වේ. ඒවායේද සිදු වූයේ බලෙන් අල්ලා ගනු ලැබූ කාම්බෝජ වැසියන් වයස් හෝ ලිංග බේදයකින් තොරව වද දී මරා දැමීමය. අදටත් අදාළ ඝාතන ප්‍රදේශ නැරඹිය හැකිය. යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මරා දැමීම විශේෂයෙන් ජයග්‍රාහී පාර්ශවයට භාරවෙන පිරිස් මරා දැමීම අලුත් දෙයක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේ වෙනස් ක්‍රම වලින් සිදු විය. විටෙක තම ජාතියේම අයවලුන් මරා දමනු ලැබූ අතර තවත් විටෙක වෙනත් ජාතින් ගොදුරු බවට පත් විය. මෙය මිලේච්චත්වයයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක හමුදාව මෙන්ම, දෙමළ විමුක්ති කොටි සංවිධානයද නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාර එකී මිලේච්චත්වයේ ප්‍රකාශනයන්ය. එසේම ඇමෙරිකානු හමුදාව විසින් ඉරාකය , ඇෆ්ගනිස්තානය මෙන්ම පාකිස්තානය තුළ සිදු කළ අපරාධවලත් , ඇමෙරිකානු හමුදාව විසින් ගුවන්තනාමෝ බොක්කේ පිහිටි කඳවුර තුළ රඳවාගෙන සිටින අල් කයිඩා සංවිධානයේ සැකකරුවන් ප්‍රශ්න කරමින් මැරෙන තුරු පහර දීම තුළත්, චීන කොමියුනිස්ට් ආණ්ඩුව ටිබෙට් හී වෙසෙන බෞද්ධ භික්ෂුන් රහසිගත සිර කඳවුරු වල රඳවා ප්‍රශ්න කිරීම සහ මරා දැමීම සේම කුමන හෝ අකාරයෙන් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීම කිසිඳු අකාරයකින් සදාරනිකරණය කළ නොහැකිය. කියුබානු විප්ලවයට නායකත්වය දුන් ෆිදෙල් කස්ත්‍රෝ ඇමෙරිකානු හමුදාව විසින් පාකිස්තානයේදී මරා දමන විට ග්‍රාන්මා පුවත්පතට ලියු තීරු ලිපිය සඳහන් කරනු ලැබුවේ අල් කයිඩා සංවිධානය සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන කිසිවෙකුට සමාව දිය නොහැකි බවයි. සැබවින්ම කියුබානු විප්ලවයේ පදනම වූයේද සිවිල් වැසියන් රැකගනිමින් සතුරා ආක්‍රමණය කිරීමය. වරක් කියුබානු විප්ලව කාරයින්ට එකතු වීමට කැමැත්ත පල කළ එක්තරා කුඩා දරුවෙකුට චේ ගුවේරා ලිපියක් ලියමින් සඳහන් කරනු ලැබුවේ ඔබ ඔබේ වයසේ කළ යුත්තේ ඉගෙන ගැනීම මිස සටන් කිරීම නොවන බවයි.

සැබවින්ම යුද්ධයකදී සිවිල් වැසියන් මිය යාම සිදු වේ. එය සම්පුර්ණයෙන්ම නැවැත්විය නොහැකිය. නමුත් ජයග්‍රාහී පාර්ශවය වෙතට සිවිල් වැසියන් භාර වීමෙන් පසු මරා දැමීම නිශ්චිත වශයෙන්ම යුධ අපරාධ ගණයට ගැනේ. මේ නිසා බොහොමයක් යුද්ධ වලදී මුලාශ්‍ර මකා දැමීමට එහී ජයග්‍රාහී පාර්ශවය කටයුතු කළහ. විශේෂයෙන් මිලියන ගණනක් මරා දැමුණු රුසියාවේ ස්ටාලින් රුසියානු හමුදාව විසින් මරා දමනු ලැබූ අයගේ සේයාරුවක් සහිත වූවෙක් පවා කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව මරා දැමීම සඳහා අණ කරනු ලැබුවේ මේ නිසාය.

සැබවින්ම චැනල් ෆො හෝ වෙනත් මාධ්‍යක් මඟින් අදාළ තොරතුරු හෙළි කර දැක්වීම කාලනුරූපියව මාධ්‍යයේ හෝ වෙනත් ජාත්‍යන්තර සංවිධාන වල අවධානය දිනා ගත්තද මෙය ලංකාවේ ඉතිහාසය හා සම්බන්ධ කිරීමේදී පුදුමයක් නොවේ. සැබවින්ම පණ්ඩුකාභය මරා දැමීම සඳහා අදාළ ප්‍රදේශයේ සිටි සියලුම පිරිමි දරුවන් ඔහුගේම මාමාවරුන් මැරීමත්, ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරවරයා යටතේ වෙල්ලස්සේ සිටි අවුරුදු 18ට වැඩි සියලු පිරිමි ළමුන්ගේ බෙලි කැපීමත් ඉන් පසු අවස්ථා ගණනාවකදී සිදු වූ ඝාතන මෙන්ම 71 දී සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ සතියට තරුණ තරුණියන් 7000 බැඟින් සති තුනක් තිස්සේ සිදුකල මිනිස් දඩයමෙන් 21000 කට වැඩි පිරිසකුත් අහිමිවීමත්, ඉන් පසු ජනාධිපති ජයවර්ධන සහ ජනාධිපති ප්‍රේමදාස ඍජුවම වග කිව යුතු 88-89 දී සිදු වූ තරුණ තරුණියන් 60000 ක් මරා දැමීමත් අතර ඇත්තේ අපි ජාතියක් ලෙස ඉතිහාසය පුරාම පෙන්වා ඇති මිනි මස් කෑමේ පළපුරුද්දයි. එය 2009 දී පමණක් වෙනස් වී යයි සිතිය හැකි නම් පුදුමයකි. ඉන් 2009 සිදු කළ සංහාරය යුක්ති ගත කිරීමට හෝ වරදේ කරුවන්ට සුදු හුණු ගෑමේ කිසිඳු වුවමනාවක් ලේඛකයා සතුව නැත. නමුත් අවුල ඇත්තේ 2009 දී පමණක් නොව කාලාන්තරයක් තිස්සේ අප විසින් ගැටළු විසඳීම සඳහා පෙන්වා ඇති ක්‍රමවේදය තුළය.

ලෝකේ අනෙක් ජාතීන්ද මෙවන් අවසානාවන්ත දෑ මතින් ගොඩ නැගී ඇත. මිනි අළු මතින් අවදි වී ඇත. සැබවින්ම නැපෝලියන් බොනපාට්ගේ හමුදාව විසින් අල්ලා ගනු ලැබූ පිරිස් වල අත් කකුල් කපා රුධිරය වහනය වී මිය ඇදෙන තෙක් අදාළ සිරුරු විසි කරනු ලැබුවේ අද නීතියේ ආධිපත්‍ය එක්තරා මට්ටමකට වර්ධනය වී ඇති යුරෝපයේය. එසේම ලෝකයේ වෙනත් බොහෝ තැන් වල එකී මිලේච්චත්වයන් ක්‍රියාත්මක විය. නමුත් ඉන් පසු එකී රටවල් ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඔස්සේ සේම දුෂණයෙන් තොර පොලිස් සේවයක් මඟින් ඒවායෙහි නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරනු ලැබීය. නමුත් ශ්‍රී ලංකාව 60 දශකයේ අවසාන භාගයෙදී පෙන්වූ තරමේ වත් නීතියේ අධිපත්‍යයේ ප්‍රගතියක් වෙනුවට පෙන්වමින් සිටින්නේ බිඳ වැටීමක් පමණි. රාජපක්ෂ විසින් සිදුකරමින් සිටින සියලු දේශපාලන මෝඩකම් වල ප්‍රතිඵලය තව තවත් ඛේදවාචක මිස පිළිගත් දේශපාලන අගනාකම් මතට රටක් පිහිටුවීම සිදු නොවේ.

මේ නිසා චැනල් ෆො නාලිකාව විසින් සිදු කොට ඇත්තේ ශ්‍රී ලංකාව ජාතියක් ලෙස අතීතයේ සිට අනුගමනය කළ ගැටලූ විසඳීමේ ක්‍රමය සඳහා නිදසුන් සැපයීම පමණි. මෙය නිවැරදි නොවන බව ජාතියක් ලෙස තේරුම් ගැනීමටනම් ඉන් ඔබ්බෙහි පිහිටි ගැටලූ විසඳීමේ සැබෑ ක්‍රමවේදයන් වෙතට සමස්ත සමාජය තල්ලු කළ යුතුය. එවැන්නක් කිරීම සඳහා පවතින නායකත්වයට හෝ එහි කොටස් කරුවනට නොහැක්කේ ඔවුන් විසින්ම ගැටළු විසඳීම සඳහා පේනවා ඇත්තේ මිනි මැරීම සහ බිය වැද්දවීම මිසක් වෙන කිසිවක් නොවේ. රටේ නායකයාම මිනි මරුවෙක් බව හිටපු අග්‍රවිනිශ්චකාරවරයාම ප්‍රකාශ කොට ඇත. එසේම ආණ්ඩුවේ ප්‍රකාශකයා ආණ්ඩුව සමඟ එකතු වීම සඳහා හේතු වූයේද බලයේ සිටින ආණ්ඩු පක්ෂයේ අයෙක් මහා මඟදී වෙඩි තබා මරා දැමීමට විරුද්ධව අසනු ලැබූ නඩුවකින් ඇඟ බේරා ගැනීමටය. ආණ්ඩුවේ සියලුම මහතුරුන්න්ගේ කැරැට්ටුව මීට දෙවෙනි නැත. මේ ආකාරයෙන් මිනි මස් කන වනචාරින් පිරිසකගෙන් යුක්තියක් හෝ වෙනත් ජනතාවාදී වැඩ පිළිවෙලක් අපේක්ෂා කිරීම කිසිම දිනෙක ප්‍රයෝගික නොවන සිහිනයක් පමණි. හොරකම සහ බොරුව පමණක් නිශ්චිතයක් වනු ඇත. 

Tell a Friend