චැනල් ෆො වීඩියෝ : මැජික් බැලීම



නිලන්ත ඉලංගමුව

චැනල් ෆො නාලිකාව විසින් තවත් වීඩියෝ පටයක් ඊයේ රාත්‍රියේදී ලන්ඩන් වේලාවෙන් 11.30 ට විකාශනය සඳහා නිකුත් කරනු ලැබීය. සුපුරුදු පරිදි එය විකාශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර මීට පෙර අවස්ථාවලදී මෙන්ම අදාළ වීඩියෝ පට නිර්මාණය කරන ලද ඒවා බව ආණ්ඩුවේ මතය වේ. ඒ ගැන පුදුම විය යුතු නැත. මන්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මීට පෙර පැවතී ආණ්ඩු මෙන්ම වෙනත් දේශපාලන පක්ෂ තමන් අතින් සිදු වූ වැරදි වෙනුවට අනුන් වෙත ඇඟිල්ල දිගු කොට අත් සෝදා ගැනීමේ ක්‍රමෝපාය භාවිත කළ හෙයිනි. සැබවින්ම යුද්ධයේ අවසන් අදියරේදී ලකුණු දා ගැනීම පිළිබඳ විශාල අර්බුදයක් ආරක්ෂක අංශ අතර මෙන්ම දේශපාලන නායකත්වය තුළද පැවතී බව ප්‍රකට කරුණකි. එහි ප්‍රතිඵලය මේ වන විට ජාත්‍යන්තර වශයෙන් එල්ල වී ඇති චෝදනා මෙන්ම රට තුළ ඇති වී ඇති අර්බුදයන් සැලකීමේදී පැහැදිලිය.

මීට පෙර මෑත ඉතිහාසයේදී මරා දමන ප්‍රදේශ හෙවත් "කිලින් ෆීල්ඩ්" ලෙස හැඳින්වූයේ කාම්බෝජයේ පොල් පොට් විසින් එරට වැසියන් මරා දැමීම සඳහා භාවිතා කළ ප්‍රදේශ වේ. ඒවායේද සිදු වූයේ බලෙන් අල්ලා ගනු ලැබූ කාම්බෝජ වැසියන් වයස් හෝ ලිංග බේදයකින් තොරව වද දී මරා දැමීමය. අදටත් අදාළ ඝාතන ප්‍රදේශ නැරඹිය හැකිය. යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මරා දැමීම විශේෂයෙන් ජයග්‍රාහී පාර්ශවයට භාරවෙන පිරිස් මරා දැමීම අලුත් දෙයක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේ වෙනස් ක්‍රම වලින් සිදු විය. විටෙක තම ජාතියේම අයවලුන් මරා දමනු ලැබූ අතර තවත් විටෙක වෙනත් ජාතින් ගොදුරු බවට පත් විය. මෙය මිලේච්චත්වයයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක හමුදාව මෙන්ම, දෙමළ විමුක්ති කොටි සංවිධානයද නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාර එකී මිලේච්චත්වයේ ප්‍රකාශනයන්ය. එසේම ඇමෙරිකානු හමුදාව විසින් ඉරාකය , ඇෆ්ගනිස්තානය මෙන්ම පාකිස්තානය තුළ සිදු කළ අපරාධවලත් , ඇමෙරිකානු හමුදාව විසින් ගුවන්තනාමෝ බොක්කේ පිහිටි කඳවුර තුළ රඳවාගෙන සිටින අල් කයිඩා සංවිධානයේ සැකකරුවන් ප්‍රශ්න කරමින් මැරෙන තුරු පහර දීම තුළත්, චීන කොමියුනිස්ට් ආණ්ඩුව ටිබෙට් හී වෙසෙන බෞද්ධ භික්ෂුන් රහසිගත සිර කඳවුරු වල රඳවා ප්‍රශ්න කිරීම සහ මරා දැමීම සේම කුමන හෝ අකාරයෙන් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීම කිසිඳු අකාරයකින් සදාරනිකරණය කළ නොහැකිය. කියුබානු විප්ලවයට නායකත්වය දුන් ෆිදෙල් කස්ත්‍රෝ ඇමෙරිකානු හමුදාව විසින් පාකිස්තානයේදී මරා දමන විට ග්‍රාන්මා පුවත්පතට ලියු තීරු ලිපිය සඳහන් කරනු ලැබුවේ අල් කයිඩා සංවිධානය සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන කිසිවෙකුට සමාව දිය නොහැකි බවයි. සැබවින්ම කියුබානු විප්ලවයේ පදනම වූයේද සිවිල් වැසියන් රැකගනිමින් සතුරා ආක්‍රමණය කිරීමය. වරක් කියුබානු විප්ලව කාරයින්ට එකතු වීමට කැමැත්ත පල කළ එක්තරා කුඩා දරුවෙකුට චේ ගුවේරා ලිපියක් ලියමින් සඳහන් කරනු ලැබුවේ ඔබ ඔබේ වයසේ කළ යුත්තේ ඉගෙන ගැනීම මිස සටන් කිරීම නොවන බවයි.

සැබවින්ම යුද්ධයකදී සිවිල් වැසියන් මිය යාම සිදු වේ. එය සම්පුර්ණයෙන්ම නැවැත්විය නොහැකිය. නමුත් ජයග්‍රාහී පාර්ශවය වෙතට සිවිල් වැසියන් භාර වීමෙන් පසු මරා දැමීම නිශ්චිත වශයෙන්ම යුධ අපරාධ ගණයට ගැනේ. මේ නිසා බොහොමයක් යුද්ධ වලදී මුලාශ්‍ර මකා දැමීමට එහී ජයග්‍රාහී පාර්ශවය කටයුතු කළහ. විශේෂයෙන් මිලියන ගණනක් මරා දැමුණු රුසියාවේ ස්ටාලින් රුසියානු හමුදාව විසින් මරා දමනු ලැබූ අයගේ සේයාරුවක් සහිත වූවෙක් පවා කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව මරා දැමීම සඳහා අණ කරනු ලැබුවේ මේ නිසාය.

සැබවින්ම චැනල් ෆො හෝ වෙනත් මාධ්‍යක් මඟින් අදාළ තොරතුරු හෙළි කර දැක්වීම කාලනුරූපියව මාධ්‍යයේ හෝ වෙනත් ජාත්‍යන්තර සංවිධාන වල අවධානය දිනා ගත්තද මෙය ලංකාවේ ඉතිහාසය හා සම්බන්ධ කිරීමේදී පුදුමයක් නොවේ. සැබවින්ම පණ්ඩුකාභය මරා දැමීම සඳහා අදාළ ප්‍රදේශයේ සිටි සියලුම පිරිමි දරුවන් ඔහුගේම මාමාවරුන් මැරීමත්, ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරවරයා යටතේ වෙල්ලස්සේ සිටි අවුරුදු 18ට වැඩි සියලු පිරිමි ළමුන්ගේ බෙලි කැපීමත් ඉන් පසු අවස්ථා ගණනාවකදී සිදු වූ ඝාතන මෙන්ම 71 දී සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ සතියට තරුණ තරුණියන් 7000 බැඟින් සති තුනක් තිස්සේ සිදුකල මිනිස් දඩයමෙන් 21000 කට වැඩි පිරිසකුත් අහිමිවීමත්, ඉන් පසු ජනාධිපති ජයවර්ධන සහ ජනාධිපති ප්‍රේමදාස ඍජුවම වග කිව යුතු 88-89 දී සිදු වූ තරුණ තරුණියන් 60000 ක් මරා දැමීමත් අතර ඇත්තේ අපි ජාතියක් ලෙස ඉතිහාසය පුරාම පෙන්වා ඇති මිනි මස් කෑමේ පළපුරුද්දයි. එය 2009 දී පමණක් වෙනස් වී යයි සිතිය හැකි නම් පුදුමයකි. ඉන් 2009 සිදු කළ සංහාරය යුක්ති ගත කිරීමට හෝ වරදේ කරුවන්ට සුදු හුණු ගෑමේ කිසිඳු වුවමනාවක් ලේඛකයා සතුව නැත. නමුත් අවුල ඇත්තේ 2009 දී පමණක් නොව කාලාන්තරයක් තිස්සේ අප විසින් ගැටළු විසඳීම සඳහා පෙන්වා ඇති ක්‍රමවේදය තුළය.

ලෝකේ අනෙක් ජාතීන්ද මෙවන් අවසානාවන්ත දෑ මතින් ගොඩ නැගී ඇත. මිනි අළු මතින් අවදි වී ඇත. සැබවින්ම නැපෝලියන් බොනපාට්ගේ හමුදාව විසින් අල්ලා ගනු ලැබූ පිරිස් වල අත් කකුල් කපා රුධිරය වහනය වී මිය ඇදෙන තෙක් අදාළ සිරුරු විසි කරනු ලැබුවේ අද නීතියේ ආධිපත්‍ය එක්තරා මට්ටමකට වර්ධනය වී ඇති යුරෝපයේය. එසේම ලෝකයේ වෙනත් බොහෝ තැන් වල එකී මිලේච්චත්වයන් ක්‍රියාත්මක විය. නමුත් ඉන් පසු එකී රටවල් ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඔස්සේ සේම දුෂණයෙන් තොර පොලිස් සේවයක් මඟින් ඒවායෙහි නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරනු ලැබීය. නමුත් ශ්‍රී ලංකාව 60 දශකයේ අවසාන භාගයෙදී පෙන්වූ තරමේ වත් නීතියේ අධිපත්‍යයේ ප්‍රගතියක් වෙනුවට පෙන්වමින් සිටින්නේ බිඳ වැටීමක් පමණි. රාජපක්ෂ විසින් සිදුකරමින් සිටින සියලු දේශපාලන මෝඩකම් වල ප්‍රතිඵලය තව තවත් ඛේදවාචක මිස පිළිගත් දේශපාලන අගනාකම් මතට රටක් පිහිටුවීම සිදු නොවේ.

මේ නිසා චැනල් ෆො නාලිකාව විසින් සිදු කොට ඇත්තේ ශ්‍රී ලංකාව ජාතියක් ලෙස අතීතයේ සිට අනුගමනය කළ ගැටලූ විසඳීමේ ක්‍රමය සඳහා නිදසුන් සැපයීම පමණි. මෙය නිවැරදි නොවන බව ජාතියක් ලෙස තේරුම් ගැනීමටනම් ඉන් ඔබ්බෙහි පිහිටි ගැටලූ විසඳීමේ සැබෑ ක්‍රමවේදයන් වෙතට සමස්ත සමාජය තල්ලු කළ යුතුය. එවැන්නක් කිරීම සඳහා පවතින නායකත්වයට හෝ එහි කොටස් කරුවනට නොහැක්කේ ඔවුන් විසින්ම ගැටළු විසඳීම සඳහා පේනවා ඇත්තේ මිනි මැරීම සහ බිය වැද්දවීම මිසක් වෙන කිසිවක් නොවේ. රටේ නායකයාම මිනි මරුවෙක් බව හිටපු අග්‍රවිනිශ්චකාරවරයාම ප්‍රකාශ කොට ඇත. එසේම ආණ්ඩුවේ ප්‍රකාශකයා ආණ්ඩුව සමඟ එකතු වීම සඳහා හේතු වූයේද බලයේ සිටින ආණ්ඩු පක්ෂයේ අයෙක් මහා මඟදී වෙඩි තබා මරා දැමීමට විරුද්ධව අසනු ලැබූ නඩුවකින් ඇඟ බේරා ගැනීමටය. ආණ්ඩුවේ සියලුම මහතුරුන්න්ගේ කැරැට්ටුව මීට දෙවෙනි නැත. මේ ආකාරයෙන් මිනි මස් කන වනචාරින් පිරිසකගෙන් යුක්තියක් හෝ වෙනත් ජනතාවාදී වැඩ පිළිවෙලක් අපේක්ෂා කිරීම කිසිම දිනෙක ප්‍රයෝගික නොවන සිහිනයක් පමණි. හොරකම සහ බොරුව පමණක් නිශ්චිතයක් වනු ඇත. 

Tell a Friend