The Most/Recent Articles

Showing posts with label Victor Ivan. Show all posts
Showing posts with label Victor Ivan. Show all posts

මංගල ගේ නික්මයාම

මංගල අප අතහැර ගියේ ජීවතුන් අතර සිටිය යුතුම අවස්තාවකදීය.

වික්ටර් අයිවන් 

රට වෙලාගෙන තිබෙන වසන්ගත තත්වයට අතිරේකව සමාජ- දේශපාලන ක්‍රමයේද රාජ්‍යයේ හා ආර්තිකයේ ද ඇතිවී තිබෙන මහා බිද වැටීම ගැන මංගලට අවබෝදයක් තිබුනි.අර්බුදය බොහෝ කල් නොගොස් ආණ්ඩුවට ද දරාගෙන සිටිය නොහැකි තත්වයකට පත් වනු ඇති බව හා සමහර විට එය ලන්කාව සැබෑ ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට යොමුකිරීමට ලැබෙන ඓතිහාසික අවස්තාවක් ලෙස සලකා ක්‍රියා කල යුතුව තිබෙන බවත් අප ඇතිකරගෙන තිබුනු එකගතාවේ ලක්ෂනයක් විය.

මට මංගල අවසන් වරට හමුවූයේ ජූලි 30 වන දින ඔහුගේ රැඩිකල් කේන්ද්‍ර ‍යේදීය.ඉන් පසු අපි අගෝස්තු 10 වනදා ගාල්ලේදී හමු වීමට සැලසුම් කරගෙන තිබුනි.අලුත් සහ පරන ආණ්ඩු විරෝදි බලවේගයන්ද විපර්‍යාසයක් සදහා පෙනී සිටින මහජන බලවේගයන්ද එක පෙරමුනකට ගෙන ආණ්ඩු පක්ෂයද කැමති කරවා ගනිමින් හෝ කැමති නොවන්නේ නම් රන්ඩු කරමින් හෝ ලංකාව මහජනයා කේන්ද්‍ර කරගත් වියුහමය ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට තල්ලු කිරීම අපි ඇති කරගෙන තිබූ සිහිනය විය.අගෝස්තු 10 වනදා ප්‍රවනතා ගනනාවක නියෝජිත පිරිසක් ගාල්ලේදී හමු වීමට සැලසුම් කරගෙන තිබුනද මංගලගේ කාර්‍ය මණ්ඩලයේ තිදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව හා ඒ නිසා මංගලද කොරන්ටයින් වීමට තීරන ය කිරීම නිසා 10 වනදා හමුව දින නියමයක් නැතිව කල් තබන්නට සිදු විය.

මට මංගල සමග අලුත් මිත්‍රත්වයක් ඇති වුයේ පරන මිත්‍රත්වය බිද වැටී අවුරුදු 20 කට පමණැ පසුවය.ඒ සේ සිදුවූයේ චන්ද්‍රිකා පාලන කාලයේදී ඇය සමග ඇති කර ගත් ගැටුම් වල ප්‍රති පලයක් වශයෙනි.අලුත් මිත්‍රත්වයට පාර කැපුන ආකාරයද අපූරුය.මංගල ඔහු ගැන ලිය වුන චරිතාපදානය (ඛේමාගේ කොලුවා) සිංහල පිටපත එළි දැක්වීමේ උත්සවේ ප්‍රදාන දේශනය දෙන ලද්දේ මටය." තමන් ගැන හෝ තමන් ගේ පොත ගැන නොව මා කැමති මාතෘකාවක් " කතා කරන ලෙස ඔහු කීවේය.මා එම ආරාදනය බාර ගත්තේ මාගේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබූ " ලංකාවේ ඇතිවන්නට නියමීත මහා බිද වැටීම" ගැන කතා කරන්නට එය හොද වේදිකාවක් කර ගත හැකි බව මට පෙනුනු නිසාය.ඒ වන විට ආණ්ඩුවේ මුදල් ඇමති වූ නිසා මාගේ දේශනයට ඔහු ලොකු පසු බිම් වටිනාකමක් දෙනු ඇති බව මගේ මතය වී තිබුනි.එම උත්සවය පැවැති අවස්තාවෙදී මාතර තාගොර් අනුස්මරන ශාලාව අතුරු සිදුරු නැතිව පිරී තිබුනි.ලංකාවේ ඇතිවන්නට නියමීත මහා කඩාවැටීම ගැන මා කල කතාවට අසන්නන්ගෙන් ලැබෙමින් තිබුන යහපත් ප්‍රතිචාර මගේ කතාවේ ප්‍රබලතාව වර්දනය කරන සාදකයක් ලෙස ක්‍රියා කලේය.ඊලග ජනාදිපති වරනයෙන් දිනන්නේ කව් රුන් වුවද ලංකාවේ මහා බිද වැටීමක් ඇතිවීම නො වැලැක් විය හැකි බවත් ඒ ඇතිවන්න්ට යන විනාශ්‍යට ලංකාව පාලනය කල සියලු පාලකියින් වග කිව යුතු බවත් මම කීවෙමි. මගේ කතාවට පසු කතාව තිබුනේ මංගලටය.ඔහු මගේ විග්‍රහයට පහර දෙන පිලි වෙතක් අනුගමනය කරනවා වෙනුවට මාගේ රුදුරු විවේචනය බාර ගනිමින් ලංකාව ඇද වැටී තිබෙන අවසනාවන්ත තත්වයට තමන්ද වග කිව යුතු බව කීවේය.ඉන් පසු දුර කතනයෙන් මා අමතා කතා කල අවස්තාවකදී මාගේ කතාව තමන්ගේ දෙකනේ තවමත් දෝංකාර ගෙන දෙන බවත් ආපසු හැරී බැලීමක් කිරීමට එම කතාව තමන්ට ලොකු බල පෑලමක් කරමින් තිබෙන බවත් කීවේය.

පාර්ලිමේන්තු මැතිවරනයට පෙර මට දුරකතනයෙන් කතා කල මංගල " පාර්ලිමේන්තු මැති වරනයට තරග නොකර පක්ෂ දේසපාලනයෙන් ඉවත් වීමේ අදහසක් තමන්ට තිබෙන බව" කියා ඒ ගැන මගේ අදහස කුමක් දැයි මගෙන් ඇසුවේය.පරන සියල්ල අවලන්ගුවෙමින් තිබෙන නිසා අලුත් ප්‍රවේශයක් ගැන කල්පනා කිරීම ඉතා වැදගත් බව මම කීවෙමි.ඊලගට අපි කිසියම් දිනක හමුවී ඒ ගැන සාකච්චා කලෙමු.ඒ හමුවට ඔහුට සමීප දහ දෙනෙකු පමණද සහභාගි විය.ඔහු තරග නොකිරීමේ අදහසේ දැඩිව සිටියේය. ඉන් පසු අපි විටින් විට හමු වී සැබෑ ප්‍රතිසන්ස්කරන වැඩ සටහනකට රට තල්ලු කරන්නේ කෙසේද කියන ප්‍රස්නය ගැන දිගින් දිගට සාකච්චා කලෙමු.ඒ සදහා පදනම් කරගතයුතු මූලදර්ම හදුනා ගැනීමට උත්සහා කලෙමු.පුනරුදය වියාපාරයේ මද්‍යම කාරක සභාව හා මංගලගේ කණ්ඩායම අතරද මාරවිලදී දීර්ග සාකච්චාවක් සිදු විය.මංගලට මෙම අර්බුදයේදී කරන්නට ලොකු වැඩ කොටසක් තිබුනේය. සමහර විට එය ඔහුටම විශේෂ වූ වැඩ කොටසක් ලෙසද සැලකිය හැකිය. මංගල අප අතහැර ගියේ ජීවතුන් අතර සිටිය යුතුම අවස්තාවකදීය.

ජනාධිපතික‍්‍රමය ගැන නගන පුහු තර්ක

| වික්ටර් අයිවන්
උපුටා ගැනීම: රාවය

දැන් අප සිටින්නේ එක් අශීලාචාර යුගයක් අවසන් කොට වඩා ශීලාචාර තත්ත්වයකට පරිවර්තනය වෙමින් තිබෙන ඓතිහාසික ක‍්‍රියාදාමයක මුවවිටය. එය දැන් තිබෙන්නේ කවර මට්ටමකින්වත් ආපසු හැරවිය නොහැකි ජයග‍්‍රාහී තත්ත්වයකය.

ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එහි ජයගැනීම වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරවල දර්ශනය අතර මහා පරතරයක් තිබෙන්නේයැ’යි කිව හැකිය. රට මුහුණ දී තිබෙන අර්බුදයේ ප‍්‍රමාණය අතිවිශාල වන අතර ඒ කෙරෙහි බලපා තිබෙන හේතූන්ද ඉතාමත් සංකීර්ණය. එහෙත් අර්බුදය ජයගැනීම වෙනුවෙන් පෙනී සීටින ව්‍යාපාරවල දර්ශනය ඉතා සීමත වනවා සේ ම අතිසරලවේයැ’යි ද කිව හැකිය. අර්බුදය ජයගැනීමේ ක‍්‍රියාදාමය ප‍්‍රධාන අදියර දෙකක් ඔස්සේ සිදුකළ යුතු දෙයක් බවට පත්වී තිබේ. පළමු අදියරේදී සිදුවන්නේ රටේ ප‍්‍රගතියට සම්බාධකයක් බවට පත්ව තිබෙන මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමය. ශීලාචාර පාලනයක් සඳහා වන ප‍්‍රතිසංස්කරණවලට යායුතුව තිබෙන්නේ ඊළඟ අදියරේදීය. පළමු අරමුණ ජයගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් වටාපිටාවක් දැනටමත් ගොඩනැගී ඇතත් දෙවැනි අදියර සඳහා අවශ්‍ය ප‍්‍රමාණවත් තරමේ දියුණු බුද්ධිමය වටාපිටාවක් ගොඩනැගී නැතැ’යි කිව හැකිය. එහෙත් ඇතිවන්නට නියමිත මුල් පරිවර්තනය තුළ දෙවැනි අදියර සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය කරන බුද්ධිමය දැනුමේ වර්ධනයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැ’යි අපේක්ෂා කළ හැකිය. සාමාන්‍යයෙන් අර්බුදයන්ගෙන් තොර කාලවලදී ඉගෙන ගන්නා ප‍්‍රමාණයට වැඩි ප‍්‍රමාණයකින් අර්බුද කාලවලදී මිනිස්සු ඉගෙන ගනිති. ඒ නිසා පළමු අදියර සම්පූර්ණ කෙරෙන අවස්ථාව වනවිට දැන් පවත්නා තත්ත්වයට වඩා සම්බුද්ධිකතාවකින් යුතු දියුණු සමාජයක් ගොඩනැගෙනු ඇතැ’යි සිතිය හැකිය.

ඊශ‍්‍රායලය හා ඉන්දියාව

තවමත් සමාජයේ සමහර අය තුළ නොපැහැදිලි ව්‍යාකූලතාවක් පවත්නා ප‍්‍රශ්න තිබෙන්නේය. ජනාධිපති ආණ්ඩුක‍්‍රමයෙන් ඉවත්වී පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයකට මාරුවීම රට අස්ථාවර කිරීමට හේතුවේද යන්න ඉන් එක් ප‍්‍රශ්නයකි.

පලස්තීන භූමිය මත බලහත්කාරයෙන් ඉදි කරනු ලැබූ ඊශ‍්‍රායෙල් රාජ්‍යය ලෝකයේ රාජ්‍යයන් අතර තිබෙන වැඩියෙන් බාහිර තර්ජනයන්ට ලක්වූ රාජ්‍යය ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ රටේ තිබෙන්නේද ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් නොව පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයකි. පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක ඉඳිමින් තමන්ට එරෙහිව මෙතෙක් බාහිර වශයෙන් එල්ල වී තිබෙන තර්ජන ගර්ජනවලට මුහුණදෙමින් සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට එම රට සමත්වීමෙන්ම පෙනීයන්නේ ජනාධිපතිි ක‍්‍රමයක් නැතුවත් පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයටද බාහිර වශයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණදීමේ හැකියාව තිබෙන බවය.

ඒ සඳහා දැක්විය හැකි ඊළඟ නිදර්ශනය වනුයේ ඉන්දියාවය. භූමියේ විශාලත්වය අනුව ගත් කල ලෝකයේ හත්වැනි විශාල රටද ජනගහනය අනුව ගත් කල ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි රටද වන්නේ ඉන්දියාවය. ඉන්දියාව කලාපීය බලවතා වනවා සේ ම වර්තමානයේ ලෝක බලවතකුගේ තත්ත්වය සඳහා තරග කරන රටක් ලෙසද සැලකිය හැකිය. ඉන්දියාවට චීනය හා පාකිස්තානය සමග දේශ සීමා ගැටුම් තිබෙන අතර රටේ ජනගහනයේ සැකැස්මද ඉතාමත්ම සංකීර්ණය. පිළිගත් රාජ්‍ය භාෂා පමණක් 18ක් තිබෙන අතර තිබෙන ව්‍යවහාර භාෂා සංඛ්‍යාව 1652කි. රටේ ප‍්‍රාන්ත රාජ්‍ය 26ක් තිබෙන විට බෙදුම්වාදී ව්‍යාපාර ගණනාවක් ක‍්‍රියාත්මක වන රාජ්‍යයකි. මෙවැනි සංකීර්ණ තත්ත්වයක් තුළ පවා ඉන්දියාවේ පවතින්නේ ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් නොව, පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයකි. බාහිරින් එල්ල වන ආක‍්‍රමණික තර්ජන හා අභ්‍යන්තරයෙන් එල්ල වන බෙදුම්වාදී තර්ජන තිබියදී හා ප‍්‍රාන්ත රාජ්‍ය ක‍්‍රමයක් තිබියදීත් දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් එල්ල වන සියලූ අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදෙමින් ඉදිරියට යෑමට ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය සමත් වී තිබේ.

ශ‍්‍රී ලංකාවද ජනාධිපති ආණ්ඩුක‍්‍රමයකට මාරුවීමට පෙර පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් තිබුණු කාලයේදී 1962 හමුදා කුමන්ත‍්‍රණයකටද, 1971දී ප‍්‍රචණ්ඩ තරුණ කැරැුල්ලකටද මුහුණදී ඒ අභියෝග දෙකම සාර්ථක ලෙස ජයගැනීමට හැකිවිය. ඉන් පෙනෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් රට අස්ථාවර කිරීමට හේතු නොවන බවය. ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් යටතේ පමණක් නොව, පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් යටතේද බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණදීමේ හැකියාව පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයකටද තිබෙන බවය.
ජනාධිපති ආණ්ඩුක‍්‍රමය ආරම්භයේ සිටම සංස්ථාපනය වූයේ විරුද්ධ පක්ෂවල ක‍්‍රියාකාරීත්වය දුර්වල කරන ප‍්‍රචණ්ඩත්වයට බර තබා ක‍්‍රියාකරන ක‍්‍රමයක් වශයෙනි. එම තත්ත්වය හැම අංශයකමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරීත්වය අඩපණ කොට ප‍්‍රචණ්ඩ ව්‍යාපාරවල පැවැත්මට ශක්තිමත් කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සාමයට බර තබා ක‍්‍රියාකරන විරුද්ධ පක්ෂ ව්‍යාපාර හැකිළී ප‍්‍රචණ්ඩත්වයට බර තබා ක‍්‍රියා කරන ආණ්ඩු විරෝධී ව්‍යාපාර ඇති කොට ඒවායේ ක‍්‍රියාකාරීත්වයද ශක්තිමත් කළේය.

පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් යටතේද පළාත් සභා ආණ්ඩුක‍්‍රමයක්ද පවත්වාගෙන යා හැකිය. ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක වන ප‍්‍රාන්ත රාජ්‍ය ක‍්‍රමය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.

නාමික ජනාධිපති

ඉන්දියානු ආණ්ඩුක‍්‍රමයේ වැඩිම බලතල ඇති සමස්ත ඉන්දියාවේම නායකයා ලෙස සැලකෙන්නේ ලෝක් සභාව විසින් තෝරාපත් කරගන්නා අගමැතිය. ඉන්දියාවේ අගමැති එංගලන්තයේ අගමැතිට සමානය. රාජ්‍යයේ සියලූ විධායක බලය ඇත්තේ අගමැති ප‍්‍රධාන කැබිනට් මණ්ඩලයටය. ඉන්දියාවේ නාමික විධායකයා ජනාධිපතිය. ජනාධිපතිගේ තත්ත්වය ලංකාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් තිබූ කාලයේදී සිටි ආණ්ඩුකාරයාගේ තත්ත්වයට හෝ පසුව ඇති කළ අග‍්‍රාණ්ඩුකාරයාගේ තත්ත්වයට සමානය. එහෙත් ලංකාවේ ක‍්‍රියාත්මක වූ ක‍්‍රමය අනුව අග‍්‍රාණ්ඩුකාර ධුරයට සුදුසු පුද්ගලයකු තෝරාගැනීමේ බලය තිබුණේ අගමැතිටය. එහෙත් ඉන්දියාවේ ජනාධිපති පදවිය සඳහා සුදුසු පුද්ගලයකු තෝරාගනු ලබන්නේ ඡුන්ද මණ්ඩලයක් මගිනි. එම ඡුන්ද මණ්ඩලය සමන්විත වන්නේ ලෝක් සභාවේ මන්ත‍්‍රීවරුන්, ප‍්‍රාන්ත රාජ්‍ය සභාවල මන්ත‍්‍රීවරුන් හා ප‍්‍රාන්ත ව්‍යවස්ථා සභාවලට මහජන ඡුන්දයෙන් තේරී පත්වූ මන්ත‍්‍රීවරුන්ගෙනි. ලෝක් සභාවේ මන්ත‍්‍රීවරයකුගේ ඡුන්දයක වටිනාකම ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායක මන්ත‍්‍රීවරයකුගේ ඡුන්දයක වටිනාකමට වඩා වැඩිය. අනුපාතිකය 7:10කි. ඡුන්ද විමසීම කරනුයේ සමානුපාතික ක‍්‍රමයකටය.

රාජ්‍යයේ නායකයා ලෙස සැලකෙන්නේ ජනාධිපතිය. එහෙත් ඔහුගේ සියලූ බලතල හා කාර්යයන් සිදුවන්නේ අගමැතිගේ උපදෙස් මතය. සියලූම විධායක කටයුතු ක‍්‍රියාත්මක වන්නේ ඔහුගේ නාමයෙනි. හරියටම ඔහු එංගලන්තයේ රජුගේ තත්ත්වයට සමානය. ලෝක සභාවේ වැඩිම බලයක් තිබෙන නායකයා අගමැති වශයෙන් තෝරාපත් කරන්නේද අගමැතිගේ උපදෙස් මත ඇමතිවරුන් පත්කරන්නේද ජනාධිපතිය. ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන් පත් කරන්නේද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා වෙනත් විනිසුරුවරුන් පත්කරන්නේද, නීතිපති, කොමිෂන් සභා සභාපතිවරුන් පත් කරන්නේද යුද්ධ ප‍්‍රකාශ කිරීම, සාමය ප‍්‍රකාශයට පත්කිරීම සහ හමුදා ප‍්‍රධානීන් පත්කිරීමද ජනාධිපතිගේ කාර්යයන්ය. ඒ සියලූ දේ සිදුකළ යුත්තේ අගමැතිගේ උපදෙස් අනුවය. මීට අතිරේකව ලෝක් සභාව හා රාජ්‍ය සභාව කැඳවීම, ඒවා කල් දැමීම. වාර අවසන් කිරීම හා විසුරුවා හැරීම කරනු ලබන්නේද ජනාධිපති විසිනි. එම මණ්ඩල දෙකේ ඒකාබද්ධ රැුස්වීමක් කැඳවීමට එවැනි රැුස්වීමක් ඇමතීමටත් ඔහුට හැකිය. රාජ්‍ය සභාවට නම් කළ මන්ත‍්‍රීන් පත්කරන්නේද ජනාධිපතිය.

පාර්ලිමේන්තු සම්මත කරන පනතක් නීතිගත වන්නේ ජනාධිපතිගේ අත්සන යෙදීමෙන් පසුවය. මුදල් පනතක් හැර වෙනත් පනතක් සංශෝධන ඇතිව හෝ නැතිව යළි සලකා බලන ලෙස ඉල්ලා සිටීමේ බලයද ඔහු සතුය. පාර්ලිමේන්තුවේ සැසිවාර නොපැවැත්වෙන විට තාවකාලික නීති පැනවීමේ බලයද ඔහු සතුය. මුදල් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේද ඔහුගේ අනුමැතිය ඇතිව පමණය. ඔහු ඒකාබද්ධ අරමුදල පාලනය කරන අතර ආදායම් බදුවලින් ලැබෙන අරමුදල් මධ්‍යම රජය හා ප‍්‍රාන්ත අතර බෙදාහරින්නේද ඔහුය.

ප‍්‍රාන්ත රාජ්‍යයක කටයුතු නිසි පරිදි ඉටු නොවන අවස්ථාවකදී හෝ මධ්‍යම රජයේ උපදෙස් හෝ නියෝග පිළිනොපදින අවස්ථාවකදී හෝ වෙනත් හදිසි තත්ත්වයක් ඇති අවස්ථාවකදී ඒ ඕනෑම ප‍්‍රාන්තයක් විසුරුවා හැර ඒ ප‍්‍රාන්තයේ පාලනය තමන් යටතට ගැනීමේ බලය ජනාධිපති සතුය. එහෙත් එවැනි අවස්ථාවකදී මාස දෙකක කාලයක් තුළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර තවදුරටත් එවැනි ප‍්‍රාන්තයක් ජනාධිපති පාලනයක් තිබෙන්නේ නම් මාස හයකට වරක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් එවැනි ප‍්‍රාන්තයක ජනාධිපති පාලනයක් පවත්වාගෙන යාහැක්කේ උපරිම වශයෙන් එක් වසරක කාලයක් පමණය. ඊට වැඩි කාලයක් සඳහා වන ජනාධිපති පාලනයක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අනුමැතිය ලබාගත යුතුය.

අපටද පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් තුළ ඉන්දියාවේ ක‍්‍රියාත්මක වන ආකාරයේ නාමික ජනාධිපති ධුරයක් ඇති කරගත හැකිය. එම ජනාධිපති ඡුන්ද මණ්ඩලයක් මගින් තෝරාපත් කරගන්නා ක‍්‍රමයක්ද ඇති කරගත හැකිය.

එවැනි ක‍්‍රමයක් යටතේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ප‍්‍රාන්ත ආණ්ඩු පාලනය කරන ආකාරයට සමාන ආකාරයට ලංකාවේ මධ්‍යම ආණ්ඩුවටද ජනාධිපතිවරයා මගින් පළාත් සභා පාලනය කළ හැකිය. ඒ ක‍්‍රමය තුළ කිසිම පළාත් සභාවකට හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

පැරණි පාර්ලිමේන්තු ක‍්‍රමය

1977ට පෙර පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් පැවති කාලයේ අධිකරණයකට කෙරෙන ඇඟිලි ගැසීම් තිබුණද පිළිගත හැකි තරම් තත්ත්වයක රටේ නීතියේ පාලනයක් තිබුණි. අගමැති ඇතුළු ඔහු යටතේ සිටින සියලූ ඇමතිවරුන් සිටින්නේ නීතියට ඉහළින් නොව නීතියට යටත් තත්ත්වයකය. එකල පාර්ලිමේන්තුව සැලකුණේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය නියෝජනය කරන උත්තරීතරම ආයතනය ලෙසය. පාර්ලිමේන්තුවට තේරී පත්වන නියෝජනයන් අතුරින් තෝරාගන්නා අගමැති ප‍්‍රමුඛ ඇමති මණ්ඩලය රාජ්‍ය බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක‍්‍රියා කළේය.

එකල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තමන් කුමන පක්ෂයකට අයත් වුවද ජාතික වැදගත්කමක් ඇති ප‍්‍රශ්නවලදී තමන්ගේ හෘදය සාක්ෂියට අනුව ක‍්‍රියාකිරීමේ අයිතිය තිබුණි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීකම අහිමි කරගැනීමෙන් තොරව ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයකුට විරුද්ධ පක්ෂයට එකතුවීමේ හැකියාව සේ ම විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රීවරයකුට ආණ්ඩු පක්ෂයටත් එකතුවීමේ හැකියාව තිබුණි. විටින් විට පැවැත්වෙන අතුරු මැතිවරණ ආණ්ඩුවට තිබෙන පිළිගැනීම උරගා බැලෙන වැදගත් මාපකයක් ලෙස ක‍්‍රියා කළේය. මන්ත‍්‍රීවරුන් තෝරා පත් කරගත්තේද කේවළ ඡුන්ද කොට්ඨාස ක‍්‍රමයකටය. මැතිවරණයක් සඳහා යන වියදම සාමාන්‍ය පුද්ගලයකුට පවා දැරිය හැකි තත්ත්වයක තිබුණි. මැතිවරණ වියදම් සඳහා සීමා නීති තිබුණු අතර මැතිවරණවලට තරග කරන සියලූ අපේක්ෂකයන් සිය වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට නීතියෙන් බැඳී සිටියේය. මන්ත‍්‍රීවරුන්ට රජය හෝ රජයේ ආයතන සමග ව්‍යාපාර කිරීම තහනම් කර තිබුණි. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තේරීපත්වන්නන්ට එරෙහිව සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වන ඡන්ද පෙත්සම් ක‍්‍රමයක් තිබුණි.

පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්නා විධායකය රට පාලනය කරන විට පාර්ලිමේන්තුව විධායකය පාලනය කළේය. පාර්ලිමේන්තුවට උත්තරදීමට හා වගකීමට විධායකය බැඳී සිටියේය. විධායකයට බලයේ සිටිය හැකිවූයේ පාර්ලිමේන්තුව කැමති තාක් පමණය. ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් පරාජය වන අවස්ථාවකදී, විසර්ජන පනතකදී හෝ විශ්වාසභංග යෝජනාවක් පරාජය වන අවස්ථාවකදී ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයකට යායුතු විය.

සාමාන්‍යයෙන් හැම වසර පහකට වරක් බලයේ සිටින ආණ්ඩු පරාජය වීම නිසා උසස් රාජ්‍ය නිලධාරීහු බලයට පත්වන ආණ්ඩු සමග කල්ලි ගැසී ක‍්‍රියාකිරීමට බිය වූහ. ඒ නිසා නීතියට පටහැනිව ක‍්‍රියාකිරීමටද රාජ්‍ය නිලධාරීහු බියවූහ. දේශපාලනය ධනය උපයාගත හැකි මාර්ගයක් නොවීම නිසා පුද්ගලයන් දේශපාලනය තෝරාගත්තේද පරමාදර්ශී අරමුණ වෙනුවෙන් හෝ ගෞරවය සඳහාය. දේශපාලනයට අවතීර්ණ වන අයගෙන් වැඩි පිරිසක් උගත් අය වීම හේතු කොටගෙන පාර්ලිමේන්තු වාද විවාද සේ ම පාර්ලිමේන්තු ක‍්‍රියාකාරීත්වයද උසස් තත්ත්වයක තිබුණි.

ලංකාවේ ජනාධිපතික‍්‍රමය


ජනාධිපති ආණ්ඩුක‍්‍රමයකට මාරුවීමේදී අප තෝරාගත්තේද ඒ සඳහා තිබෙන ආණ්ඩුක‍්‍රම ආකෘති අතුරින් ශීලාචාර ආකෘතියක් නොව ඉතාමත් අශීලාචාර ආකෘතියකි. ශීලාචාර ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයක දක්නට ලැබෙන සංවරණ හා තුලන ක‍්‍රම මෙම ක‍්‍රමයට ඇතුළත් නැත. මේ ක‍්‍රමය තුළ රාජ්‍යයේ සකලවිධ බලය උසුලන්නේ ජනාධිපතිවරයාය. ඔහු පාර්ලිමේන්තුවට වග නොකියයි. නීතියටද යටත් නැත. මේ ආණ්ඩුක‍්‍රමය සකස් කර තිබෙන්නේම රට පාලනය කරනවාට අතිරේකව ජනාධිපතිවරයාට ඔහුගේ සහචරයන්ට රටේ පොදු වස්තුව කොල්ලකෑමටද ඉඩ ලැබෙන ආකාරයටය. ඒ මගින් ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා වනවාට අතිරේකව පොදු වස්තුව කොල්ලකන කොල්ල කල්ලියක නායකයකුගේ තත්ත්වයට පත්කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය. ජනාධිපතිට ලබාදී තිබෙන මුක්තිය ජනාධිපති කෙරෙහි පමණක් නොව ඔහු කැමති ඔහුගේ සහචරයන් කෙරෙහිද බලපායි. කොතරම් බරපතළ වරදක් කළද ජනාධිපති කෙරෙහි නීතිය ක‍්‍රියාත්මක කළ නොහැකි ආකාරයට ඔවුන්ගේ සහචරයන් කෙරෙහිද නීතිය ක‍්‍රියාත්මක වන්නේ නැත. මේ තත්ත්වය සංවරණය හා තුලනය සඳහා තිබුණු සියලූ ආයතන ක‍්‍රම බෙලහීන හා දූෂිත කොට රටේ නීතියේ පාලනයද ඔළුවෙන් සිටවූ දෙයක් බවට පත් කළේය. පාර්ලිමේන්තුවද ඒ තත්ත්වයට ගැළපෙන ලෙස වෙනස්වෙමින් ජනාධිපතිවරයා කරන හොඳ නරක හැම දේකටම අනුමැතිය ලබාදෙන රබර් මුද්‍රාවක තත්ත්වයට පත්විය.

ඇති කරන ලද නව ක‍්‍රමය තුළ පාර්ලිමේන්තුව මන්ත‍්‍රීවරුන් තෝරා ගැනුණේ කේවල ආසන ක‍්‍රමයකට නොව දිස්ත‍්‍රික්කය පදනම් කොටගත් ඡුන්ද කොට්ඨාස ක‍්‍රමයක් පදනම් කරගත් අනුපාතික ක‍්‍රමයකටය. ඒ සමග පාර්ලිමේන්තුවට තරග කරන පුද්ගලයෙකු ඒ සඳහා මැතිවරණයකදී කළයුතු වියදම් සාමාන්‍ය පුද්ගලයකුට ඔරොත්තු නොදෙන තරමට ඉහළ ගියේය. ඒ තත්ත්වය පරමාදර්ශී අරමුණු නිසා හෝ ගෞරවය සඳහා දේශපාලනයේ යෙදෙන අයට දේශපාලනයට එකතුවීමට තිබෙන හැකියාව සීමා කොට පාර්ලිමේන්තු මැතිවරණ විශාල ලෙස ධනය වැය කළ හැකි අයට පමණක් තරග කළ හැකි දෙයක් බවට පත්වූයේය. එම තරගයේදීද මැතිවරණ වියදම් සඳහා පනවන ලද සීමාවන් නොවීම නිසා ධනවත් අය අතුරින්ද වැඩිම ධනයක් වැය කළ හැකි අයට පමණක් තේරී පත්විය හැකි ක‍්‍රමයක් බවට පත්වූයේය. එම තරගයේදී තේරී පත්වීමට වැඩි ඉඩක් ලැබුණේ ව්‍යාපාරික ධනවතුන්ට වඩා කළු සල්ලිකාරයන්ටය. ඔවුන්ට මේ මැතිවරණ තමන්ගේ කළු සල්ලි සුදුකර ගැනීමට ලැබුණු කදිම අවස්ථාවක් වූවා සේ ම නම්බුකාර පෙනුමක් ලබාගැනීමටද කදිම අවස්ථාවක්ද විය. උගත්කමක් ඇති පරමාදර්ශී අරමුණු වෙනුවෙන් හෝ නම්බුව පිණිස දේශපාලනය කරන අයට වඩා මේ වර්ගයේ මිනිසුන්ට ජනාධිපතිවරු ද කැමති වූවෝය. මක්නිසාදයත් ඔවුන්ට ධන බලයට අතිරේකව මැර බලයද තිබුණේය. එවැනි අයට හොඳින් හෝ නරකින් මැතිවරණ ජයගැනීමට හැකියාව තිබුණේය. ඔවුන් වැඩි උනන්දුවක් දැක්වූයේ වැඩි වැඩියෙන් ධනය හරිහම්බ කරගැනීම වන නිසා ඔවුන් පාලනය කිරීමද දුෂ්කර නොවීය. මෙසේ ජනාධිපතික‍්‍රමය වස්තුව කොල්ලකෑම අරමුණු කරගත් කොල්ලකාරී මැරතන්ත‍්‍රයක් බවට පත්වෙමින් පාර්ලිමේන්තුවද හොර ජාවාරම්කරුවන් රජ කරන ආයතනයක් බවට පත්විය. එම තත්ත්වය පාර්ලිමේන්තුවේ නියම ස්වභාවයද වෙනස් කළේය.

ප‍්‍රචණ්ඩත්වය හා ජනාධිපතික‍්‍රමය


ජනාධිපති ආණ්ඩුක‍්‍රමය ආරම්භයේ සිටම සංස්ථාපනය වූයේ විරුද්ධ පක්ෂවල ක‍්‍රියාකාරීත්වය දුර්වල කරන ප‍්‍රචණ්ඩත්වයට බර තබා ක‍්‍රියාකරන ක‍්‍රමයක් වශයෙනි. එම තත්ත්වය හැම අංශයකමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරීත්වය අඩපණ කොට ප‍්‍රචණ්ඩ ව්‍යාපාරවල පැවැත්මට ශක්තිමත් කළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සාමයට බර තබා ක‍්‍රියාකරන විරුද්ධ පක්ෂ ව්‍යාපාර හැකිළී ප‍්‍රචණ්ඩත්වයට බර තබා ක‍්‍රියා කරන ආණ්ඩු විරෝධී ව්‍යාපාර ඇති කොට ඒවායේ ක‍්‍රියාකාරීත්වයද ශක්තිමත් කළේය. ඒ අර්ථයෙන් විජේවීරගේ දෙවැනි කැරැුල්ල සේ ම ප‍්‍රභාකරන්ගේ කැරැුල්ලද සැලකිය හැක්කේ ජනාධිපති ආණ්ඩුක‍්‍රමය විසින්ම ඇති කොට පෝෂණය කරන ලද ප‍්‍රචණ්ඩ ව්‍යාපාර ලෙසය. 1982දී පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගන්නා පිළිවෙතකට නොගොස් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තැනකට ගයේ නම් 83 කළු ජූලියක් ඇති නොවන්නට ඉඩ තිබුණා සේ ම ආණ්ඩු පක්ෂයට ලැබී තිබුණු කෘත‍්‍රිම ශක්තිය දුර්වල වී විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරීත්වය වර්ධනය වී සිංහල දකුණේ සේ ම දෙමළ උතුරේද ප‍්‍රචණ්ඩ කැරලි ඇති නොවන්නටද ඉඩ තිබුණේය. ඒ අර්ථයෙන් රටේ ස්ථාවරභාවයට අභියෝගයක් වන ප‍්‍රචණ්ඩ ව්‍යාපාර ඇති කොට පෝෂණය කිරීමේ වගකීමෙන් කිසියම් කොටසක් යායුත්තේද ජනාධිපති ආණ්ඩුක‍්‍රමයටය. එම ආණ්ඩුක‍්‍රමය සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනක‍්‍රමය බෙලහීන කොට ආණ්ඩු වෙනස් කිරීම ඉතා දුෂ්කර හා ඉතාමත් කලාතුරකින් පමණක් සිදුවන දෙයක් බවට පත් කළේය. මේ රටේ පවතින ඒකාධිපති ක‍්‍රමයකට බර තබන ලද ජනාධිපති ආණ්ඩුක‍්‍රමයෙන් ඉවත් වී නැවත පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකට මාරුවීමට සිහින දැකීම තේරුම් ගත යුතුව තිබෙන්නේද ජනාධිපතික‍්‍රමය විසින් ඇති කර තිබෙන එම අශීලාචාර තත්ත්වය නැති කොට නැවත ශීලාචාර තත්ත්වයකට මාරුවීම දකින සිහිනයක් ලෙසය.

එහෙත් විධායක ජනාධිපතික‍්‍රමය නාමමාත‍්‍රික දෙයක් බවට පත් කොට විධායක ජනාධිපති ආණ්ඩුක‍්‍රමය තුළ කුණුවූ හා විකෘති වූ ආයතන ක‍්‍රමයක් බවට පත්ව තිබෙන, තිබෙන පාර්ලිමේන්තුවට බලය පවරන සරල ක‍්‍රමයක් ආණ්ඩුක‍්‍රමය ආශ‍්‍රයෙන් මතුවී තිබෙන අර්බුදයට දෙන හොඳ විසඳුමක් විය නොහැකිය. ඒ සඳහා තිබෙන පාර්ලිමේන්තුව සංශෝධනය කොට එය ගුණාත්මක වටිනාකමක් ඇති පාර්ලිමේන්තුවක් බවට පත් කළ යුතුය. එය තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සරල සංශෝධනයකින් පමණක් ඇති කළ හැකි දෙයක් වන්නේ නැත. ඒ සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් විධිමත් ලෙස තනාගන්නා තැනකට යායුතු අතර පාර්ලිමේන්තුවට එකතු වී සිටින කුණු තවරා ගත් පුද්ගලයන් ඉවත් කෙරෙන තැනකටද යායුතුය.

මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතුවා සේ ම පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ ක‍්‍රියාවලියද විධිමත් කළ යුතුය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට බලපාන ලෙස වියදම් සීමා පැනවිය යුතු අතර නාමයෝජනා සමග වත්කම් බැරකම් ප‍්‍රකාශ භාරදීම හා මැතිවරණය අවසානයත් සමග මැතිවරණ වියදම් ලේඛන භාරදීම අනිවාර්ය කළ යුතුය. පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන්ට ආණ්ඩුවේ ආයතන සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදීමද තරයේ තහනම් කළ යුතුය. පාර්ලිමේන්තුවට තේරී පත්වන හැම නියෝජිතයකුම නිසි පුහුණුවක් ලබාදීමද අනිවාර්ය කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් ඇති කොට එම ආචාර ධර්ම උල්ලංඝනය කරන්නන්ට දඬුවම් කළහැකි ක‍්‍රමයක් ඇති කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබාදෙන ආර්ථික වරප‍්‍රසාද නැවත සලකා බලන තැනකට යායුතු අතර ඒ සඳහාද විධිමත් ක‍්‍රමයක් ඇති කළ යුතුය. විමධ්‍යගත අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට මුදල් වෙන් කරන පිළිවෙත අහෝසි කළ යුතුය.

නව ව්‍යවස්ථාව හා පොදු අපේක්ෂකයා

| වික්ටර් අයිවන්

ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය පිළිබඳව මා ලියමින් සිටින ලිපි පෙළේ අවසන් ලිපියට පෙර ලිපිය ලෙස සැලකිය හැකි මෙම ලිපියෙන් මා විමර්ශනයට ලක් කරන්නේ ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නයට අදාළව පළවී තිබෙන ප‍්‍රසිද්ධ මත කිහිපයක් පිළිබඳවය.

තිබෙන ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් හදාගත යුතුයි කියන මතය මේ වන විට දේශපාලන තලයේ මහජනයාගේ උනන්දුවට හේතුවී තිබෙන ප‍්‍රධාන මතයක් බවට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. විරුද්ධ පක්ෂ ගණයට වැටෙන සියලූම පක්ෂ ඒ මතය දරන අතර ආණ්ඩු පක්ෂයට සම්බන්ධ සමහර පක්ෂ එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට ඒ මතය දරන බවක් පෙනෙන්නට තිබේ. නව ව්‍යවස්ථාවක් ගැන සිහින දකින සියලූදෙනාම පාහේ දැන් පවතින විධායක ජනාධිපති ක‍්‍රමයෙන් ඉවත් විය යුතුයි කියන මතය පිළිගනී. මෙය ශ‍්‍රී ලංකා දේශපාලන මතවාදී තලයෙහි ගොඩනැගෙමින් තිබෙන යහපත් හා ඉදිරිගාමී පෙළගැස්මක් ලෙස සැලකිය හැකිය. එහෙත් එසේ සිතන මොනම දේශපාලන පක්ෂයක්වත් තිබෙන විධායක ජනාධිපති ක‍්‍රමයෙන් ඉවත් විය යුතුව තිබෙන්නේ ඇයි? ඒ වෙනුවට තෝරාගත යුතු ආණ්ඩුක‍්‍රමය කුමක්ද? එසේ තෝරාගන්නා ආණ්ඩුක‍්‍රමයෙන් අපේක්ෂා කරන්නේ මොනවාද යන්න ගැන විධිමත් අදහස් පළකිරීමක් කර නැති බවද කිව යුතුය. අඩුම වශයෙන් ඒ ගැන මොනම දේශපාලන පක්ෂයක්වත් සංකල්ප පත‍්‍රිකාවක් තරමේ ප‍්‍රකාශනයක්වත් පළකර නැත.

නව ව්‍යවස්ථාවක් ගැන කතා කරන ප‍්‍රවණතා වැඩි හරියක් පොදු අපේක්ෂකයකු ගැනද කතා කරති. ඒ සියලූදෙනාට පොදු අපේක්ෂකයකු අවශ්‍ය වී ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ අරමුණ ජයගැනීම සඳහාය. ඒ මගින් නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම හා ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම එකට ගැට ගැසුණු දෙයක් බවට පත් කරගෙන ඇත්තේ යැ’යි කිව හැකිය. පොදු අපේක්ෂකයකු ගැන සිහින දකින අය කෙරෙහි පළවෙමින් තිබෙන තවත් ජනප‍්‍රිය අදහසක් වනුයේ පොදු අපේක්ෂකයා සිය ජයග‍්‍රහණයෙන් පසු හය මාසයක කාල රාමුවක් තුළ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්ය අවසන් කොට ගෙදර යායුතු බවය. එම අදහසේ පිහිටා කතා කරන තවත් ප‍්‍රකාශකයෝ අවලංගු කර තිබෙන 17 වැනි සංශෝධනය නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන බවද කියති.

නව ව්‍යවස්ථාවට 17 අවශ්‍යද?

17 වැනි සංශෝධනයේ හොඳ නරක කුමක් වුවද එහි අපේක්ෂිත අරමුණ වූයේ ස්වාධීන තත්ත්වයක තබාගත යුතු ආයතන ගණනාවකට ඒ සඳහා අවශ්‍ය ස්වාධීනත්වය ලබාදීම හා සමහර වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී නුසුදුසු පුද්ගලයන් පත්කිරීම වැළැක්වීමය. එම අවශ්‍යතාව සඳහා එවැනි අනියම් ක‍්‍රමයක් ඇතිකර ගැනීමට අවශ්‍ය වූයේ ඒ තත්ත්වය සහතික කරන විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළත් නොවී තිබූ තත්ත්වය තුළ ඒවා කෙරෙහි පැවති විධායකයේ ග‍්‍රහණය පාලනය කිරීම සඳහාය. හදන්න යන්නේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නම් ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතනවලට ඒ සඳහා අවශ්‍ය බලතල සේ ම වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය බලතල හා විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදිය හැකිය. ඒ නිසා 17 වැනි සංශෝධනය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරගැනීමක් අවශ්‍ය වන්නේම නැත.

ඉන්දීය මැතිවරණ කොමිසමට හා ශ්‍රේෂ්ඨාධිකරණයට ස්වාධීන ක‍්‍රියාකාරීත්වයක් පවත්වාගෙන යෑමට හැකිවී තිබෙන්නේ ව්‍යවස්ථාවෙන්ම ලබාදී තිබෙන බලතල නිසා මිස ව්‍යවස්ථා සභා ක‍්‍රමයක් වැනි අතිරේක ආයතන ක‍්‍රමයකින් ලැබී තිබෙන රැුකවරණය නිසා නොවේ. අනෙක් අතට 17 වැනි සංශෝධනය යටතේ ඇති කරන ලද ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමිසමට වඩා ඉන්දීය මැතිවරණ කොමිසම ඉතා බලවත්ය. ඉන්ද පෙනෙන්නේ අනියම් ක‍්‍රම ඇතිකිරීමෙන් තොරව ස්වාධීන තත්ත්වයක තිබිය යුතු අංශවලට ඒ සඳහා අවශ්‍ය බලතල ව්‍යවස්ථාවෙන්ම ලබාදිය හැකි බවය.

මාස හයේ කාල රාමුව

ජනාධිපතිවරණයකින් තේරී පත්වන පොදු අපේක්ෂකයා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක‍්‍රියාව හය මාසයක කාලයක් තුළ සම්පූර්ණ කළයුතුයැ’යි කියන අදහසද අර්ථවත් හෝ ප‍්‍රායෝගික හෝ අදහසක් ලෙස සැලකිය නොහැකිය. හය මාසයක කාලය ව්‍යවස්ථා සම්පාදනයන් සඳහා දිය හැකි හොඳ හෝ සාධාරණ හෝ කාල නිර්ණයක් ලෙස සැලකිය නොහැකිය. එවැනි කාලසීමාවක් තුළ ඇති කරගත හැක්කේ හොඳ ව්‍යවස්ථාවක් නොව දඩිබිඩි ව්‍යවස්ථාවකි.
මීට පෙරද සලකා බලා ඇති පරිදි ලෝකයේ තිබෙන පුංචිම ව්‍යවස්ථාව ලෙස සැලකිය හැක්කේ මීට වසර 225කට ඉහතදී සම්පාදනය කරගන්නා ලද වගන්ති කොටස් 7කට, වචන 700කට හා අතින් ලියන ලද පිටු 9කට සීමාවූ ඇමරිකන් ව්‍යවස්ථාවයි. ඒ පුංචි ව්‍යවස්ථාව හදාගන්නටද දින 16ක කාලයක් ගතවිය. ඒ අනුව එක වගන්තියක් හදාගැනීම සඳහා ගතකර තිබෙන සාමාන්‍ය කාලය දින 2.28කි.

ඉන්දියානු ව්‍යවස්ථාව වගන්ති කොටස් 395කින්ද, ආරම්භයේදී උප ලේඛන 8කින්ද යුතු විය. ඇමරිකන් ව්‍යවස්ථාව සම්පාදනය කළ අයවලූන් ඒ වේගය අනුව ඉන්දියානු ව්‍යවස්ථාව සම්පාදනය කළේ නම් ඉන්දියානු ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ගතවී තිබෙන කාලයට සමාන කාලයක් (අවුරුදු 3කට ආසන්න* ඔවුන්ට ගතවන්නට ඉඩ තිබුණේයැ’යි කිව හැකිය.

දකුණු අප‍්‍රිකාව අන්තර් ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමෙන් පසු ව්‍යවස්ථාව සම්පාදනයට ලබාදෙන ලද කාලය වසර දෙකකි. එම කාල රාමුව තුළ සකස් කරගන්නා ලද ව්‍යවස්ථාව අන්තර්කාලීන ව්‍යවස්ථාවේ එන මූලධර්ම 34ට අනුකූලව සකස් කර තිබෙන්නේද යන්න සලකා බැලීමට ව්‍යවස්ථා අධිකරණයට මාස දෙකකට ආසන්න කාලයක් ගතවිය.

1986 නොවැම්බර්වලදී සම්මත කරගන්නා ලද නිකරගුවා ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ලබාදී තිබුණු කාලයද වසර දෙකකි. 1978 දෙසැම්බර්වලදී සම්මත කරගන්නා ලද ස්පාඤ්ඤ ව්‍යවස්ථා සම්පාදනයට ගතවී තිබෙන කාලය මාස 16කි. බ‍්‍රසීලයට නව ව්‍යවස්ථාවක් සඳහා න්‍යාය පත‍්‍රය සකස් කරගැනීම සඳහා පමණක් මාස දෙකක කාලයක් ගතවී තිබෙන අතර ව්‍යවස්ථා සම්පාදනයට ගතකර තිබෙන කාලය මාස 20කි.

ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා දැක්විය හැකි නවතම නිදර්ශනය ලෙස සැලකිය හැකි නේපාල ව්‍යවස්ථා සම්පාදනයට අන්තර්වාර ව්‍යවස්ථාවෙන් ලබාදී තිබූ කාලයද වසර දෙකකි. එහෙත් එම කාලය තුළ ව්‍යවස්ථා සම්පාදනය අවසන් කිරීමට නොහැකි වී අවස්ථා ගණනාවකදීම අන්තර්කාලීන ව්‍යවස්ථා දීර්ඝ කරගැනීම නිසා අගමැතිවරයා 2012 මැයි 28 වැනිදා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය විසුරුවා හැරියේය. එම විෂයේදී දැන් නේපාලය සිටින්නේ මහා අවුලකය.

දඩිබිඩි ව්‍යවස්ථා

මාස 6ක කාල රාමුවක් තුළ සමහරවිට ඊටත් අඩු කාල රාමුවක් තුළ තනන ලද ව්‍යවස්ථාද ලෝකයේ ඇත්තේය. එහෙත් ඒ කිසිවක් හොඳ ව්‍යවස්ථා ලෙස සැලකෙන්නේ නැත.

කාම්බෝජය සිය ව්‍යවස්ථාව හදාගත්තේ මාස හතරක් තරම් කෙටි කාලයක් තුළය. නැගෙනහිර ටිමෝරය සිය ව්‍යවස්ථාව හදාගත්තේ මාස තුනක් වැනි කාලයකදීය. චාවේස්ගේ වෙනිසියුලාව ව්‍යවස්ථාව හදාගත්තේද මාස 5ක් තරම් වන කාලයකදීය. කෙටි කාලයක් තුළ සම්පාදනය කළ ව්‍යවස්ථාවකට දැක්විය හැකි හොඳම නිදර්ශනය ප‍්‍රංශ ව්‍යවස්ථාවය.

වර්තමානයේ ප‍්‍රංශයේ ක‍්‍රියාත්මක ව්‍යවස්ථාව ඩිගොල්ගෙන් ප‍්‍රංශයට ලැබුණු දේශපාලන දායාදයක් ලෙස සැලකිය හැකිය. මෙම ව්‍යවස්ථාව කරළියට එන කාලයේදී ප‍්‍රංශයට අවශ්‍ය වී තිබුණේ හොඳ ව්‍යවස්ථාවක් නොව දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රංශයේ පැවති දේශපාලන අස්ථාවරභාවය ජයගැනීම සඳහා ඩිගොල් පාලන බලයට ගෙන්වා ගැනීමය. සිව්වැනි සමූහාණ්ඩුව ඇතිකර ගැනීමෙන් පසු 1946-1958 දක්වා කාලය තුළ ප‍්‍රංශයේ කැබිනට් මණ්ඩල 25ක් තිබී ඇති අතර ඒ හැම කැබිනට් මණ්ඩලයකම ආණ්ඩු කාලය මාස 07කට වඩා අඩු විය. ප‍්‍රංශයේ පැවති අවුල්සහගත දේශපාලන වටාපිටාව තුළ ඩිගොල් සඳහා තිබුණු මහජන ඉල්ලීම අනුව විශ‍්‍රාම ගොස් සිටි ඩිගොල් හය මාසයක කාලයක් සඳහා නම් කළ අගමැති බවට පත්කර ගැනීමෙන් පසු ඒ හයමාසයක කාලය තුළ ජනමත විචාරණයකින් අනුමත වන ව්‍යවස්ථාවක් හදන බවට ඩිගොල් මහජනයාට පොරොන්දු විය. පොරොන්දු වූ ආකාරයටම ඩිගොල් විශේෂඥ කණ්ඩායමක් ලවා ඒ කාලය තුළ ව්‍යවස්ථාවක් සම්පාදනය කොට එය ජනමත විචාරණයකටද ඉදිරිපත් කළේය. ජනමත විචාරණයට ඡුන්දය පාවිච්චි කළ 80%ක ජනතාවත් එය අනුමත කළේය. මහජනයාට ඒ මොහොතේ වැදගත් වූයේ ව්‍යවස්ථාව නොව ඩිගොල්ය. ඔහු කරළියට ගෙනා ව්‍යවස්ථාව ගැළපුණේ ප‍්‍රංශයේ දේහයට නොව ඩිගොල්ගේ දේහයටය. විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් අද දක්වා ප‍්‍රංශයේ ක‍්‍රියාත්මක වන්නේ එම ව්‍යවස්ථාවය. ප‍්‍රංශය දියුණු රටක් ලෙස සැලකුණද ප‍්‍රංශ ව්‍යවස්ථාව සැලකෙනුයේ මනා නිමාවකින් තොර අවුල්සහගත ව්‍යවස්ථාවක් ලෙසය.

ව්‍යවස්ථා සම්පාදනයක තිබිය යුතු අභිලාෂ ගැන මම අවසන් ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙමි. ව්‍යවස්ථා සම්පාදනයක කාල නියමය කෙරෙහි ඒ අභිලාෂද බලපායි. කවර ආකාරයකින් ගත්තත් ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා හය මසක කාලය ප‍්‍රමාණවත් කාලයක් ලෙස සැලකිය නොහැකිය. ව්‍යවස්ථා සම්පාදනයකින් ශ‍්‍රී ලංකාව විසඳාගත යුතුව තිබෙන ගැටලූ සම්භාරය දෙස බලන විට ශ‍්‍රී ලංකාව අඩුම වශයෙන් ඒ සඳහා වසර දෙකක කාලයක්වත් වෙන් කළ යුතුය යන්න මගේ මතයයි. ඒ ගැනද අවසාන ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

පොදු අපේක්ෂකයා

දැන් අපට පොදු අපේක්ෂකයා පිළිබඳ අදහස සලකා බැලිය හැකිය. මට පෙනෙන්නේ පොදු අපේක්ෂකයා පිළිබඳ අදහස හා බලාපොරොත්තුව දියසේන කුමාරයාගේ පහළවීම වැනි චමත්කාර දේශපාලන අපබ‍්‍රංසයක් ලෙසය. පොදු අපේක්ෂකයා කව්ද කියා කිසිවකුත් දන්නේ නැත. ඒ සඳහා විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ අතර කෙරෙන සාකච්ඡුා මගින් ඇති කරගත් කිසිදු එකඟත්වයක්ද නැත. පොදු අපේක්ෂකයා සොයාගන්නට යන්නේ කෙසේද, කවුරුන් විසින්ද යන්නද නොපැහැදිලිය. එහෙත් කොයි මොහොතක කොහෙන් හෝ පොදු අපේක්ෂකයකු පහළ වී ඔහු හෝ ඇය විසින් භේදභින්න වී තිබෙන මුළු විරුද්ධ පක්ෂ ව්‍යාපාරයම සමගිකොට එක ධජයක් යටතට ගෙනඑමින් අවසානයේදී ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කොට රටට නිදහස ගෙන එනු ඇති බවට ඒ මතයේ සිටින සියලූ දෙනා විශ්වාස කරති. මේ ලස්සන සිහිනය දකින්නන් තුළ පෙනෙන්නට තිබෙන නරකම ලක්ෂණය වනුයේ තමන්ගේ දේශපාලන අභිලාෂ සපුරාගැනීම වෙනුවෙන් ඵලදායී කිසිවක් නොකොට එම සුන්දර සිහිනය තුළ ගැලී ජීවත්වීමය.

ඔවුන් අපේක්ෂා කරන ආකාරයේ පොදු අපේක්ෂකයකු සොයාගැනීමට නොහැකි වෙතොත් වියහැක්කේ කුමක්ද? පොදු අපේක්ෂකයකු සොයා ගත්තද ප‍්‍රධාන එක් පක්ෂයක් හෝ එම අපේක්ෂකයාට එකඟ නොවුවහොත් සිදුවන්නේ කුමක්ද? පොදු අපේක්ෂකයා පිළිබඳ සිහිනයට වැඩියෙන්ම කැමති වනු ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් පරාජය කිරීම සඳහා දැන් සිටම වැඩ කරන පොදු විරුද්ධ පක්ෂයක් වෙනුවට ඒ සඳහා කිසිදු වැඩකිරීමකින් තොරව පොදු අපේක්ෂකයකු පහළ වන තෙක් උඩ බලාගෙන සිහින දකින විපක්ෂයක් ජනාධිපති මහින්ද රාජපක්ෂට වාසිදායකය.

පොදු අපේක්ෂකයකු පිළිබඳව පසුගිය ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂ ලැබූ අත්දැකීමද ආස්වාදජනක නැත. එය විරුද්ධ පක්ෂ ව්‍යාපාර හොඳින් සාකච්ඡුා කොට ගනු ලැබූ තීරණයක් නොවීය. අවසාන මොහොතේ තෝරාගැනීමට වෙනත් විකල්පයක් නැතිකම තුළ දඩිබිඩියේ ගනු ලැබූ තීන්දුවක් විය. තෝරාගත් පොදු අපේක්ෂකයා විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල සාමාන්‍ය අනුගාමිකයන් තුළ ආස්වාදයක් ඇති කිරීමට හේතුවී තිබුණද පක්ෂ නායකයන් අතර විශ්වාසයක් ඇති කිරීමට හේතුවී තිබුණේ නැත. පොදු අපේක්ෂකයා තුළ පක්ෂ නායකයන් කෙරෙහි විශ්වාසයක් නොතිබුණා සේ ම පක්ෂ නායකයන් තුළද පොදු අපේක්ෂකයා පිළිබඳ විශ්වාසයක් නොතිබුණි. ඒ සමග ලද පරාජයත් සමග එකට එකතු වී සිටි බලවේගයන් සීසීකඩ වූයේය.

පොදු අපේක්ෂකයා වෙනුවට පොදු වැඩපිළිවෙළක්

විරුද්ධ පක්ෂවලට සේම ඒ ගැන උනන්දුවක් දක්වන මහජන සංවිධානවලටද තෝරා ගැනීමට තිබෙන හොඳම ප‍්‍රායෝගික විකල්පය වනුයේ පොදු අපේක්ෂකයකු ගැන සිහින දකිමින් නිකරුණේ කාලය ගෙවනවා වෙනුවට රටේ පවතින අවලස්සන හා දූෂිත ආණ්ඩුක‍්‍රමයේ වෙනසක් ඇති කරමින් කැබලි වී තිබෙන ජාතිය එකට එකතුකිරීම සඳහා වන වැඩපිළිවෙළක් වෙනුවෙන් පොදු එකඟතාවක් ඇතිකර ගනිමින් එම අරමුණ ජයගැනීම සඳහා ඒකාබද්ධ විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් ලෙස දැන් සිටම මහජනතාව අතර වැඩ කරන තැනකට යොමුවීමය. ආණ්ඩුව මහජනයා කෙරෙහි මතවාදී තලයෙහි පවත්වාගෙන යමින් තිබෙන දේශපාලන ආධිපත්‍යයේ බිඳ වැටීමක් ඇතිවනු ඇත්තේ එවිටය.

එවැනි ඒකාබද්ධ වැඩසටහනක් මහජනයාගේ විශ්වාසයට, ආකර්ෂණයට හා ආස්වාදයට හේතුවනු ඇත්තේ එකට එකතු කිරීමට දුෂ්කර, ජන පදනමක් තිබෙන දේශපාලන ප‍්‍රවණතා සියල්ල පොදු වැඩසටහනක් තුළ එකට එකතු කිරීමට සමත්වෙයි නම් පමණය. එවැනි එකතුවක් තුළ ආරම්භයේදී යූඑන්පිය, ජේවීපීය, ෆොන්සේකාගේ පක්ෂය, දෙමළ හා මුස්ලිම් පක්ෂ සිටිය යුතුය. එවැනි පරස්පර විරෝධී පක්ෂ ගණනාවක් එකට එකතු කිරීම පහසු නැතත් ආණ්ඩුවක් හදන වැඩසටහනක් වෙනුවට දේශපාලන ක‍්‍රමයේ හා සමාජ ක‍්‍රමයේ වෙනසක් ඉලක්ක කරගත්, ඒ වෙනස සම්පූර්ණ කිරීමේ අරමුණ සඳහා පමණක් එකට එකතු වී වැඩ කරන හා ඒ වෙනස ඇතිකිරීමෙන් පසු පැවැත්වෙන මැතිවරණයකදී වෙන්වී තරග කිරීමට ඉඩ ලැබෙන ප‍්‍රායෝගික හා සංක‍්‍රමණීය පොදු වැඩසටහනක් සඳහා ඒ සියලූදෙනා එකඟ කරගැනීමේ නොහැකියාවක් තිබිය නොහැකිය.

එහෙත් එවැනි වැඩසටහනක් ඒ සියලූ පක්ෂවල විශ්වාසයට හා පිළිගැනීමට හේතුවනු ඇත්තේ එය කවර තනි පක්ෂයක්වත් පිළියෙළ කරන වැඩපිළිවෙළක් නොවී ඒ සියලූ පක්ෂ එකට එකතු වී සාකච්ඡුා කොට එම ‘අන්තර්කාලීන ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ’ සම අයිතිය ඒ සියලූදෙනාට ලැබෙන ලෙස සකස් කරගන්නේ නම් පමණය.

නියම කරගත් කාල රාමුවක් තුළ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම, ඒ සඳහා අවශ්‍ය ආයතන නිර්මාණය කිරීම වැනි සීමිත අරමුණකට පමණක් සීමාවී හා ඒ වෙනුවෙන් පොදු එකඟතාවකින් හදාගත් පොදු වැඩසටහනක් මගින් බලවත් ලෙස ක‍්‍රියාකරන ඒකාබද්ධ විපක්ෂ ව්‍යාපාරයක් ඇති කරගත හැකිය.
එසේ ඇතිකර ගන්නා පොදු වැඩසටහන භේදයකින් තොරව මහජනයාගේ ආකර්ෂණයට හේතුවන්නක් විය යුතුවා සේ ම එම තාවකාලික අන්තර්කාලීන වැඩසටහන අව්‍යාජ සියලූ දේශපාලන පක්ෂවල යහපතට හේතුවන්නක්ද විය යුතුය. එය සැඟවුණු න්‍යාය පත‍්‍රවලින් තොර අව්‍යාජ එකක් විය යුතුවා සේ ම ඊට එකතු වන සියලූ පක්ෂවලට ඔවුන්ගේ අනන්‍යතාව හා ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට ඉඩදෙන අතර ඒ සියලූ පක්ෂ එකට බැඳ තබා ගනිමින් එම පක්ෂවල ක‍්‍රියාකාරී ශක්තිය පොදු වැඩසටහන වෙනුවෙන් යෙදීමට පොළඹවනසුලූ වැඩසටහනක් විය යුතුය.

එවැනි වැඩසටහනක් ඇති විට ඊළඟට පැවැත්වෙන්නේ කුමන මැතිවරණයක් වුවද ඊට ආත්ම විශ්වාසයකින් මුහුණදීමේ හැකියාව ඒකාබද්ධ විපක්ෂයට හිමිවන්නේය. පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් ඒකාබද්ධ විපක්ෂයට ඉදිරිපත් කරන්නට සිදුවනු ඇත්තේ පොදු අපේක්ෂකයෙකි. තනි පක්ෂයක සලකුණකින් නොව ඒකාබද්ධ විපක්ෂය ඇතිකර ගන්නා සලකුණකිනි. පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නොවී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් නම් ඒකාබද්ධ විපක්ෂය ඊට තරග කරනු ඇත්තේද පක්ෂ ලැයිස්තුවලින් නොව පොදු ලැයිස්තුවකිනි. ජනාධිපතිවරණයක් ජය ලැබීමෙන් පසුව පමණක් නොව පළමුව ජනාධිපතිවරණයක් නොපවත්වා ඒ වෙනුවට පවත්වනු ලබන පාර්ලිමේන්තු මැතිවරණයක් ජය ලැබීමෙන් පසුව වුවද අන්තර්කාලීන වැඩසටහන ක‍්‍රියාත්මක කළ හැකිය.

සම්පාදනය කෙරෙන නව ව්‍යවස්ථාව සඳහා පදනම් කරගත යුතු මූලධර්ම ඒකාබද්ධ විපක්ෂයට කල්තියා හඳුනාගත හැකිය. එම මූලධර්ම සඳහා කල්තියා පොදු එකඟතාවක් ඇති කරගත් විට අන්තර්කාලීන ව්‍යවස්ථාවට එම මූලධර්ම ඇතුළත් කළ හැකිය. එවිට ව්‍යවස්ථා සම්පාදනයක් සඳහාම තෝරාපත් කරගන්නා පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් බවට පත්වෙමින් සම්පාදනය කරන්නට සිදුවන්නේ එම මූලධර්ම මත පදනම් වූ ව්‍යවස්ථාවකි. ජනාධිපතිවරණයක් පවත්වා එය ජයගැනීමට පොදු අපේක්ෂකයා සමත් වුවහොත් ඔහුට ඉටුකරන්නට සිදුවන්නේද අන්තර්කාලීන ව්‍යවස්ථාවේ විස්තර කර තිබෙන සංකේතාත්මක වැදගත්කමක් ඇති සීමිත කාර්යභාරයක් පමණය. ඔහු තාවකාලික සර්ව පාක්ෂික භාරකාර ආණ්ඩුවක ප‍්‍රධානියා පමණක් වේ. තාවකාලික භාරකාර ආණ්ඩුවේ කාර්යභාරය අවසන්වීමත් සමග ඔහුගේ කාර්යභාරයද අවසන් වේ.

දේශපාලන ක‍්‍රමයේ වෙනසක් රටේ ඉදිරිගමන සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය හැකි වුවද ආණ්ඩුවක් වෙනස් කරනවාට වඩා දේශපාලන ක‍්‍රමයක් වෙනස් කිරීම ඉතා දුෂ්කර හා සංකීර්ණ දෙයක් බවද තේරුම් ගැනීම ඉතා වැදගත්ය. ආණ්ඩුවක් වෙනස් කිරීමට අවශ්‍ය වනුයේ බහුතර බලයක් පමණය. එහෙත් දේශපාලන ක‍්‍රමයක් බහුතර බලයකින් පමණක් වෙනස් කළ නොහැකිය. ඊට වඩා විශාල ප‍්‍රමාණයක මහජන අනුමැතියක් සේ ම ව්‍යවස්ථාදායකයේද විශේෂ බහුතර අනුමැතියක් අවශ්‍යය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවතින දේශපාලන ක‍්‍රමයට අනුගතවී තිබෙන ප‍්‍රමාණය අනුව එම ක‍්‍රමය වෙනස් කිරීමේ අභිලාෂයක් ඔහුට තිබිය නොහැකිය. ඒ නිසා දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීමේ අරමුණ දිනාගත හැකිවනු ඇත්තේ ජනාධිපතිවරයා පරාජය කෙරෙන ක‍්‍රියාමාර්ගයක් තුළිනි. එහෙත් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන වැඩසටහනකට ජනාධිපතිවරයා කැමති නැතත්, දේශපාලන ක‍්‍රමය වෙනස් කරන වැඩසටහනට උනන්දුවක් දක්වන අය ආණ්ඩු පක්ෂය තුළද සිටින්නේය. එවැනි පිරිස් ඒකාබද්ධ විපක්ෂයේ වැඩසටහනට එකතුවීමට කැමති නම් ඔවුන්ටද එම වැඩසටහනට එකතුවිය හැකි පරිදි දොරටු විවෘතව තබාගත යුතුය. අනෙක් අතට ආණ්ඩු පක්ෂය බලයේ සිටියදී දේශපාලන ක‍්‍රමයේ වෙනසක් සඳහා වන ව්‍යවස්ථා සම්පාදනයකට එකඟ නොවූවද ආණ්ඩු බලය අහිමිවීමකින් පසුව විරුද්ධ පක්ෂය බවට පත්වන ඔවුන්ද මෙම වැඩසටහනට කොටස්කරුවන් කරගත යුතුය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය වියයුත්තේ කොල්වින් හෝ ජේ.ආර්. එම ව්‍යවස්ථාවන් සකස් කළ හිතුවක්කාරී ආකාරයට නොව ජාතිය නියෝජනය කරන ලොකු කුඩා සියලූ ප‍්‍රවණතා ඊට සම්බන්ධ කරගන්නා ආකාරයටය. සියලූදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන දීර්ඝකාලින පැවැත්මක් ඇති නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගත හැකිවනු ඇත්තේ එවිටය.

මේ ලිපිය අවසන් කිරීමට පෙර පෙන්වා දිය යුතුව තිබෙන කටුක යථාර්ථයක් මෙසේය.
මා බොහෝ විට කියා තිබෙන ආකාරයට රට ගමන් කරමින් තිබෙන්නෙ අරාජිකත්වයකටය. රාජ්‍යයේ ආයතන ක‍්‍රමය උපරිම මට්ටමෙන් කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන අතර ආණ්ඩුවට තිබෙන මහජන පිළිගැනීමද වේගයෙන් වාෂ්පවෙමින් පවතී. ආණ්ඩුව පිරිහී තිබෙන වේගයට ගැළපෙන ප‍්‍රමාණයට විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල වර්ධනයක් ඇතිවී නැත.

අරාජික තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල පැවැත්ම හා ක‍්‍රියාකාරීත්වය සැලකිය යුතු ප‍්‍රමාණයකින් ශක්තිමත් කරගැනීමට විරුද්ධ පක්ෂ සමත්වන්නේ නම් පමණය. මේ මොහොතේ තනිතනිව ක‍්‍රියාකරන ප‍්‍රතිපත්තියකින් විරුද්ධ පක්ෂවලට වේගවත් වර්ධනයක් හිමි කරගත නොහැකි අතර වේගවත් වර්ධනයක් ලබාගත හැකිවනු ඇත්තේ විරුද්ධ පක්ෂ ව්‍යාපාර පොදු වැඩපිළිවෙළක් තුළ ඒකාබද්ධව ක‍්‍රියාකරන තත්ත්වයකට මාරුවීමෙන් පමණය. ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණවලට ආත්ම විශ්වාසයකින් මුහුණ දිය හැකිවනු ඇත්තේද එවැනි ක‍්‍රියාමාර්ගයක් ඔස්සේ පමණය.

එහෙත් අවාසනාවකට පොදු වැඩපිළිවෙළක් තුළ සියලූ විරුද්ධ පක්ෂ ව්‍යාපාර එකට එකතු කිරීමට දරන උත්සාහයක ඉඟියක්වත් පෙනෙන්නට නැත. ඒ සමග සමහර ව්‍යාපාර විරුද්ධ පක්ෂවල එකඟතාවකින් තොරව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ උත්සාහයක්ද පවතී. මේ සියලූ තත්ත්වයන් රට අරාජිකත්වය කරා යන ගමන වේගවත් කරන්නේයැ’යි කිව හැකිය.

ප‍්‍රමාද වී හෝ විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට තෝරාගැනීමට තිබෙන හොඳම දේ ලෙස සැලකිය හැක්කේ ආණ්ඩුක‍්‍රමයේ මූලික වෙනසක් ඇති කොට කැබලි වී තිබෙන ජාතිය එකමුතු කිරීම සඳහා වන අන්තර්කාලීන වැඩසටහනක් සඳහා ඇතිකර ගන්නා එකඟතාවක් මත ඒකාබද්ධ විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් ගොඩනගා ගනිමින් ඉදිරි මැතිවරණවලට මුහුණදීමය.

මතු සම්බන්ධයි

අධිකරණයේ කාර්යභාරය - විවේචනාත්මක විමසීමක්

වික්ටර් අයිවන් 
Courtesy:- Ravaya
අධිකරණය හා ආණ්ඩුව අතර ඇවිලී තිබෙන ආරාවුල ත‍්‍රාසජනක ස්වරූපයක් ගනිමින් පවතී. ආණ්ඩුව අධිකරණය සමග සටන් කරමින් සිටිනුයේ ඊට උචිත ස්වරූපයකින් නොව විරුද්ධ දේශපාලන ව්‍යාපාරයක් සමග කරන සටනකදී සටන් කරන ගොරහැඩි ස්වරූපයට සමාන ආකාරයටය. අධිකරණය ආණ්ඩුව සමග සටන් කරමින් සිටිනුයේද ආණ්ඩු විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ආණ්ඩු විරෝධී සටනකදී සාමාන්‍යයෙන් සටන් කරන ආකාරයටය. ආණ්ඩුවක් අධිකරණයත් සමග ඇති කරගන්නා ව්‍යවස්ථාමය ආරාවුලකදී පාක්ෂිකයන් වීථි බස්සන ප‍්‍රතිපත්තියක් යහපත් නොවනවා සේ ම අධිකරණයක් ආණ්ඩුවත් සමග ඇතිකරගන්නා ව්‍යවස්ථාමය ආරාවුලකදී ආණ්ඩු විරෝධී බලවේගයන් සමග ඒකරාශි වී ඔවුන් වීථි බස්සන ප‍්‍රතිපත්තියක්ද යහපත් වන්නේ නැත.

අධිකරණය හා විධායකය අතර ගැටුම් ඇතිවීම අස්වාභාවික නැත. එවැනි ආරාවුල් වෙනත් රටවලද සිදුවී තිබෙන අතර එවැනි ආරාවුල් සමහර රටවල ආණ්ඩුක‍්‍රමය පෝෂණය කිරීමටද හේතුවී තිබේ යැයි කිව හැකිය.

අන් සියලූ වෘත්තිකයන්ට සේ ම, අයිතිවාසිකම් සඳහා සටන් කිරීමේ අයිතියක් විනිශ්චයකාරවරුන්ටද තිබෙන්නේය. එහෙත් විනිශ්චය කාරවරුන් සාමාන්‍යයෙන් වෘත්තීය සමිති සටන් කරන ආකාරයට වැටුප් හා පහසුකම් සඳහා සටන් නොකරන අතර බාහිර ඇඟිලි ගැසීම්වලින් තොරව ක‍්‍රියාකිරීමට තිබිය යුතු නිදහස වෙනුවෙන් පමණක් සටන් කරති. කලාතුරකින් සිදුවන එවැනි සටන් ද කළයුතුව තිබෙන්නේ දේශපාලන ව්‍යාපාරයක් හෝ වෘත්තීය සමිති ව්‍යාපාරයක් සටන් කරන ආකාරයට නොව ඉවසීම, විනයගරුකභාවය, නීතිගරුක භාවය හා විශේෂ වෘත්තියක් වශයෙන් ඊට අදාළ සදාචාරාත්මක වටිනාකම්ද ආරක්ෂා කරගනිමින් මහජනයාගේ ගෞරවයට හේතුවන ආකාරයටය. අධිකරණ ස්වාධීනත්වය විනිශ්චයකාර වරුන්ට තෑගි ලැබුණු දෙයක් ලෙස සැලකිය නොහැකිය. එය ඉතිහාසයේ සමහර කාලවකවානුවල විනිශ්චයකාර වරුන් ධෛර්යමත් ලෙස කරන ලද සටන් මගින් දිනාගන්නා ලද අයිතියකි.

අධිකරණයේ ස්වාධීනත්වය

කලක් එක්සත් රාජධානියේ ඉංග‍්‍රීසි උසාවි ක‍්‍රමය සලකන ලද්දේ රජුගේ උසාවි ක‍්‍රමයක් වශයෙනි. පුද්ගල නිදහස ආරක්ෂා කිරීමට හේතුවන හා නීතියේ පාලනයක් ඇති කිරීමට හේතුවන රාජ්‍ය පාලන ක‍්‍රමයක් සමග ස්වාධීන අධිකරණ ක‍්‍රමයක අවශ්‍යතාව පිළිගැනීම ආරම්භවන්නේ එතෙක් බි‍්‍රතාන්‍ය පාලන බලයේ සිටි ඒකාධිපති රජුගේ බලය සීමා කැරෙන මැග්නා කාටා නමැති අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය 1215දී නීතිගත කිරීමෙන් පසුවය.

එහෙත් එම අයිතිවාසිකම් ප‍්‍රඥප්තියෙන් පසුත් අධිකරණයට තිබෙන බලය අත්හැරීමට රජවරුන් කැමති නොවූ අතර ඒ තත්ත්වය දිනාගැනීම සඳහා දුෂ්කර අරගලයක නිරතවන්නට සිදුවූයේ විනිශ්චයකාරවරුන්ටය. 15 වන ශතවර්ෂයේදී හතරවැනි හෙන්රි රජුගේ කාලයේදී බි‍්‍රතාන්‍යයේ අගවිනිසුරුවරයා වශයෙන් ක‍්‍රියා කළ මැක් ඊචන්ට සාහසික අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. රජුගේ පුත් කුමරාගේ සේවකයකුට අදාළ නඩුවක් අගවිනිසුරුවරයා විභාග කරමින් සිටින අවස්ථාවකදී කුමරා එම ස්ථානයට කඩා වැදී අත්අඩංගුවේ සිටි තම සේවකයා වහාම මුදාහරින ලෙස අගවිනිසුරුවරයාට තර්ජනාත් මකව කියා සිටියේය. එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් අගවිනිසුරුවරයා ඔහුට කියාසිටියේ ඔහුගේ සේවකයා නීතිය උල්ලංඝනය කර ඇති බැවින් ඔහුට නීතිය අනුව දඬුවම් කළ යුතුව තිබෙන බවත් ඔහු නිදහස් කරගැනීමට අවශ්‍ය නම් දඬුවම් පැමිණවීමෙන් පසුව පිය රජු වෙත ගොස් ඒ සඳහා ආයාචනයක් ඉදිරිපත් කරන ලෙසත් එම ආයාචනය රජු පිළිගත්තේ නම් සමාව දීමේ බලය රජු සතු වන නිසා ඒ මගින් සමාව ලබාගත හැකි බවත්ය. අගවිනිසුරුගේ එම ප‍්‍රකාශයෙන් කෝපයට පත් රජ කුමරා සිය අසිපත අමෝරාගෙන අගවිනිසුරු වෙත කඩා පැන්නේය. ඒ සමග අධිකරණයට අවනත නොවීමේ හා අපහාස කිරීමේ වරදට රජ කුමරු වරදකරු බව ප‍්‍රකාශ කරමින් අගවිනිසුරුවරයා ඔහුට සිරදඬුවමක් නියම කළේය. ඒ නිසා රජ කුමරුට සිරබත් කන්නට සිදුවූ අතර පිය රජුගේ ඇවෑමෙන් පසු පස්වැනි හෙන්රි නමින් රජකමට පත්වූයේ එම කුමාරයාය. එහෙත් 5 වැනි හෙන්රි රජු අගවිනිසුරුගෙන් පළිනොගත්තේය. අගවිනිසුරු එහිදී පෙන්නුම් කළ ධෛර්යයට ඔහු ගරු කළේය.

අධිකරණයේ ස්වාධීනත්වය සඳහා විනිශ්චයකාරවරුන්ට කරන්නට සිදුවූ එම දුෂ්කර අරගලය තවත් දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරියට ගෙන යන්නට ඔවුන්ට සිදුවූ අතර ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවූ වන්දියේ ප‍්‍රමාණය දැවැන්තය. 1616දී පළමුවැනි ජේම්ස් රජු කිරීටය කෙරෙහි බලපාන නඩුවලදී කිරීටය දැනුවත් කොට කිරීටය සමග සහයෝගයෙන් ක‍්‍රියාකළ යුතු බවට අගවිනිසුරු ධුරය ඉසිලූ හෝක් සාමිවරයාට දැනුම් දුන්නේය. අගවිනිසුරුවරයා එසේ කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා රජු එම අගවිනිසුරුවරයා තනතුරෙන් පහ කළේය. 1වැනි චාල්ස් රජුගේ කාලයේදීද රජුට අවනතවීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා අගවිනිසුරුවරුන් දෙදෙනෙක්ම තනතුරුවලින් පහ කරන ලදහ. 2වැනි චාල්ස් රජුගේ කාලයේදී එකළොස් අවුරුදු කාලයක් තුළ විනිශ්චයකාරවරුන් 11 දෙනකු තනතුරුවලින් පහ කරන ලද අතර ඔහුගේ සහෝදර 11වැනි ජේම්ස් රජුගේ කාලයේදී අවුරුදු තුනක කාලයක් තුළ තනතුරුවලින් පහ කළ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 12කි. අවසාන විග‍්‍රහයේදී අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මූලධර්මය ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක අවශ්‍යයෙන්ම තිබිය යුතු කොන්දේසියක් ලෙස සලකන තත්ත්වයක් ඇතිවූයේ එවැනි ශ්‍රේෂ්ඨ විනිසුරුවරුන් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කරන ලද දුෂ්කර අරගල ක‍්‍රියාවලිය නිසාය. කිසියම් රටක අධිකරණ ස්වාධීනත්වයේ බිඳවැටීමක් ඇත්නම් ඒ තත්ත්වය ජයගත යුතුව තිබෙන්නේද විනිසුරුවරුන් හා නීතිඥ සංඝය ඒ වෙනුවෙන් කරන සටන් මගිනි. එහෙත් ඔවුන් ඒ සඳහා තෝරාගන්නා සටන් ක‍්‍රමය අධිකරණ වෘත්තියේ හා නීති වෘත්තියේ ගෞරවයට හේතුවන්නක් විය යුතුය.

ස්වාධීනත්වය අහිමි කරගැනීම

සමහර රටවල විශේෂ වශයෙන් කිවහොත් ඇමරිකාව, එක්සත් රාජධානිය හා ඉන්දියාව වැනි රටවල ඉහළ අධිකරණ පිළිබඳව ඒ රටවල මහජනතාව අතර තිබෙන ගෞරවය හා විශ්වාසය ඉහළම මට්ටමක පවතී. ඒ රටවල විධායකයන්ට අධිකරණයට අනිසි ලෙස ඇඟිලි ගැසීමට ඉඩක් නැති තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ආණ්ඩු ක‍්‍රමයෙන් අධිකරණයේ ස්වාධීනත්වය සඳහා ඇති කර තිබෙන ප‍්‍රතිපාදන නිසා පමණක් නොව යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලියේදී එම රටවල අධිකරණයක් පෙන්නුම් කර තිබෙන ස්වාධීනත්වය, සාධාරණ බව හා ඉදිරිගාමීභාවය තුළ එම රටවල අධිකරණයත් මහජනයා අතර හිමි කරගෙන තිබෙන විශාල ගෞරවය නිසාය. එම රටවල පාලක පක්ෂයත් අධිකරණයට අනිසි ලෙස ඇඟිලි ගසන බව ජනතාවට දැනගන්නට ලැබුණහොත් එය මහජනයා අතර විශාල කැළඹීම් ඇති කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවන තරමට අධිකරණය ගැන වන ප‍්‍රබල මහජන විශ්වාසයක් ඒ රටවල පවතී. ඒ නිසාම පාලකයෝද අනවශ්‍ය ලෙස අධිකරණයට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටීමට හුරු පුරුදු වී සිටිති.

ඒ රටවල අධිකරණයන් මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කීර්තිමත් කාර්යභාරයක් ඉටුකර තිබෙන අතර ඒ මගින් අධිකරණය මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන රැකවල් දූ තයකුගේ තත්ත්වය හිමිකර ගැනීමට සමත් වී තිබේ. විධායකය හෝ ව්‍යවස්ථාදායකය තමන් වෙත ප‍්‍රජා පීඩනයක් ඇති කිරීමට හේතුවන අනවශ්‍ය බලයක් හිමිකර ගැනීමට දරන උත්සාහයන්වලදී එම අධිකරණයන් මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියාකර තිබේ. රටේ ජනතාව බෙදා වෙන් කරන ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියාකරනවා වෙනුවට ඔවුන් එක්සත් කරන ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියාකර තිබේ.

එහෙත් ශ‍්‍රී ලංකාවේ අධිකරණය රටේ මහජනයා අතර එවැනි පිළිගැනීමක් හෝ ගෞරවයක් හිමිකර ගැනීමට සමත් වී නැත. ආණ්ඩුක‍්‍රමය විසින් ඇතිකර තිබෙන සීමා තිබියදීත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අර්ථ නිරූපණය කිරීම සඳහා ලැබී තිබෙන බලය ප‍්‍රශස්ත හා නිර්මාණාත්මක ලෙස පාවිච්චි කිරීමට ශ‍්‍රී ලංකා අධිකරණය සමත් වී නම් දේශපාලන ක‍්‍රමයේ ඇති අමනෝඥ, දූ ෂිත හා පීඩාකාරී ස්වභාවය කිසියම් විශාල ප‍්‍රමාණයකට වෙනස් කළ හැකිව තිබුණි. ඒ මගින් රටේ ආණ්ඩුකරණය කිසියම් විශාල ප‍්‍රමාණයකට යහපත් හා විධිමත් කිරීමට හැකිවන්නටද ඉඩ තිබුණි. අධිකරණ සමාලෝචන බලයක් ඇති අධිකරණවලට නීති විවරණ මගින් ආරෝපණය කරගත හැකි බලයක් තිබෙන්නේය. ඒ බලය ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය හා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පොදු යහපත සඳහා ප‍්‍රශස්ත ලෙස පාවිච්චි කර ඇතත්, ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තත්ත්වයකින් ක‍්‍රියාකිරීමට සමත් වී නැත. ඇමරිකන් ආණ්ඩුක‍්‍රමයේ ඇති බල බෙදීම මනා තුලනයක් ඇති තත්ත්වයකට ගෙනාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. ආනුශංගික බලතල න්‍යාය ක‍්‍රියාත්මක කිරීම මගින් ඇමරිකන් කොංග‍්‍රසය පුළුල් බලතල ඇති ආයතනයක් බවට පත් කළේය. ඇමරිකන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයට සමාලෝචන බලයක් ලබාදී නොතිබුණි. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ලැබී තිබුණු අයිතිය මගින් අධිකරණය තමන් වෙත ආරෝපණය කරගන්නා ලද බලයක් විය. එය 1803දී මාබරිට එරෙහිව මැඩිසන් නඩු විභාගයේදී අග‍්‍රවිනිශ්චයකාර මාෂල් විසින් දෙන ලද ඓතිහාසික තීන්දුවක් නිසා ඇතිවූ තත්ත්වයකි. එය මුලදී විවාදයට හේතු වුවද අධිකරණ සමාලෝචන බලය සියලූදෙනාගේ ගෞරවයට හා පිළිගැනීමට හේතුවන ඉදිරිගාමී කාර්යභාරයක් ඉටුකිරීමට සමත්වීම නිසා අධිකරණ සමාලෝචන මූලධර්මය ඇමරිකන් ආණ්ඩු ක‍්‍රමයට ස්ථිර ලෙස අන්තර්ග‍්‍රහණය කරගත් ධර්මතාවක් බවට පත්විය.

අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයද නිදහසට පෙර බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලන යුගයේදී සාධාරණව හා නීතියට අනුකූලව ක‍්‍රියාකරන තත්ත්වයක් තුළ මහජනයා අතර විශාල විශ්වාසයක් හා පිළිගැනීමක් හිමි කරගෙන තිබුණේය. බ්‍රේස්ගර්ඞ්ල් නඩු විභාගයේදී ඉංග‍්‍රීසි අග‍්‍රවිනිශ්චයකාරවරයා බ්‍රේස්ගර්ඞ්ල් පිටුවහල් කිරීමට ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා දී තිබුණ නියෝගය නීති විරෝධී නියෝගයක් බව ප‍්‍රකායට පත් කළේය. එය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සාධාර ණත්වය හා ස්වාධීනත්වය ඉහළම මට්ටමකින් පෙන්නුම් කළ අවස්ථාවක් විය. එහෙත් නිදහස ලැබීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය එම යහගුණය ක‍්‍රමයෙන් අහිමි කරගත්තේය. ඒ සමග ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි මහජනයා අතර පැවති විශ්වාසයේ හා ගෞරවයේද ඛාදනයක් සිදුවිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පීලිපැනීම්

විධායකයෙන් ව්‍යවස්ථා දායකයෙන් හෝ සමාජයෙන් එල්ල වන බලපෑම්වලට යට නොවී නීතියට අනුකූලව සාධාරණ තීන්දු ලබාදීම ඕනෑම අධිකරණයක අවශ්‍යයෙන්ම තිබිය යුතු මූලික ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගුණය අහිමි කරගනිමින් දේශපාලන බලයට හෝ මහජන බලයට යටවී තීන්දු දෙන ප‍්‍රතිපත්තියට තල්ලූවීම නිසා අවසානයේ මේ රට අවුල් ජාලාවක් බවට පත්වූවේයැ යි කිව හැකිය. ඒ අර්ථයෙන් මේ රටේ ඇතිවී තිබෙන විනාශයට විධායකය හා ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණයද හරි හරියට වගකිව යුතුය.

අධිකරණය තමන් වෙත පැවරී තිබෙන වගකීම සාධාරණව ඉටුකිරීමට දුරදිග ගොස් පුපුරන ප‍්‍රශ්නයක් බවට පත්වූ ජනවාර්ගික අර්බුදයද ආරම්භක අවස්ථාවේදීම විසඳා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. දෙමළ ජනතාව කෙරෙහි පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතුවූ සිංහල රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය එවකට පැවති සෝල්බරි ව්‍යවස්ථාවේ මූලධර්මවලට පටහැනි විය. ඒ ආරාවුල අධිකරණය ඉදිරියට ගිය අවස්ථාවේදී ජනප‍්‍රිය ආණ්ඩුවක අමනෝඥ වැඩසටහනක් යුක්තිසහගත කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් වැඩ කිරීමට තිබෙන අයිතිය ආරක්ෂා කරදෙන පිළිවෙතක පිහිටා ක‍්‍රියා කළේ නම් ජනවර්ග අර්බුදය ලේ හලන මහා ආරාවුලක් බවට පත් නොවන්නට ඉඩ තිබුණි. එම ආරාවුලේදී තමන් වෙත පැවරී තිබෙන වගකීම හොඳින් ඉටුකිරීමට අධිකරණය අසමත් විය. අධිකරණයේ ඇතිවූ මෙම පීලිපැනීම ක‍්‍රමයෙන් ඉහළයමින් විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇති කිරීමෙන් පසු එය උච්චතම තත්ත්වයකට පත්වීයැ යි කිව හැකිය. ඉන්පසු එළැඹියේ විනිසුරුවරුන් තමන්ට ලබාගත හැකි පුද්ගලික ලාභ ප‍්‍රයෝජන සඳහා පාලක කණ්ඩායම් සමග එකට කල්ලි ගැසී ක‍්‍රමය වඩ වඩා අත්තනෝමතික හා දූ ෂ්‍ය කිරීමට හේතුවන අධිකරණ තීන්දු ලබාදෙන අබුද්දස්ස යුගයක් ඇතිවීමය.

ඒ ඇතිවන අඳුරු යුගයේ පවා එම මහා ප‍්‍රවාහයට එරෙහිව උඩුගම් බලා පිහිනන්නට උත්සාහ කළ අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කරදීමට උත්සාහ කළ විනිසුරුවරු සුළු පිරිසක් සිටියෝය. ඒ අතර අගවිනිසුරු නෙවිල් සමරකෝන් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්ක් ප‍්‍රනාන්දු ප‍්‍රධානය. ඔවුන් මෙම කාලකණ්ණි යුගයේ බිහිවූ අධිකරණ යුග පුරුෂයන් ලෙස සැලකිය හැකිය.

විනාශයේ සිහිවටන

අධිකරණයක ප‍්‍රධාන යුතුකම හා වගකීම සාමාන්‍ය පුද්ගලයන් අතර ඇතිවන ආරාවුල් නීතියට අනුකූලව හා සාධාරණව නිරාකරණය කිරීම පමණක් නොවේ. ආණ්ඩුව හා විරුද්ධ පක්ෂ අතර ඇතිවන ආරාවුල් සේ ම ආණ්ඩුව හා මහජනතාව අතර ඇතිවන ආරාවුල් නීතියට අනුකූලව හා සාධාරණව නිරාකරණය කරදීම අධිකරණය වෙත පැවරෙන ප‍්‍රධාන වගකීමකි. දෙවැනි ගණයට වැටෙන වගකීම් අතර විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට ප‍්‍රජා පීඩනයක් ඇතිකිරීමට හේතුවන අනවශ්‍ය බලතල පවරා ගැනීමට ඉඩ නොතැබීම ඒ අතර තිබෙන ප‍්‍රධානතම වේයැ යි කිව හැකිය. එහෙත් එහිදී ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ගෞරවයට හේතුවන ඉතිහාසයකට හිමිකම් නොකියන බව කිව යුතුය.

ඒ සඳහා දැක්විය හැකි ප‍්‍රධාන පියසටහන් කිහිපයක් මෙසේය.

1. අධිකරණය ජනමත විචාරණයක් මගින් 1977 පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුව තිබුණි. තුනෙන් දෙකේ බලයකින් ඇති කළ හැකි නීති තිබෙනවා සේ ම එවැනි බලයකින් හෝ පාර්ලිමේන්තුවේ සියලූදෙනාගේ කැමැත්තෙන් වුවද ඇති කළ නොහැකි නීතිද තිබෙන්නේය. ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් නිල කාලයක් සඳහා දීර්ඝ කරගැනීමේ වැඩපිළිවෙළ සැලකිය හැක්කේ තුනෙන් දෙකේ බලයකින් තබා ඒකඡුන්දයකින් පවා ඇතිකළ නොහැකි දෙයක් ලෙසය. ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි සාහසික වැඩපිළිවෙළකට ඉඩ හැරීම මගින් රට කෙළවරක් නැති තරමට ලේ වැගිරෙන තත්ත්වයකට පත්වීමට ඉඩ හැරියේය. ඒ අර්ථයෙන් ඒ නිසා ඇතිවූ මහා විනාශයට ඒ දුෂ්ට වැඩපිළිවෙළ කරළියට ගෙනා බලලෝභී දේශපාලකයන් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයද හරි හරියට වගකිව යුතුය.

2. 1978 ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය මගින් ජනාධිපතිගේ නිල කාලය නිශ්චිත කාලපරිච්ෙඡ්දයකට යටත් කර තිබූ අතර ඉන්පසු ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණේ හය වසරක කාලය අවසන්වීමත් සමගය. ඒ තත්ත්වය වෙනස් කොට අවුරුදු හතරක කාලයක් සම්පූර්ණවීමෙන් පසු ජනාධිපතිට තමා කැමති අවස්ථාවක ජනාධිපතිවරණය පැවැත්විය හැකි ආකාරයට ව්‍යවස්ථාව සංශෝධන කරගැනීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට අවශ්‍ය වූ අතර ඒ සඳහා ඉදිරිපත් කළ තුන්වැනි සංශෝධනය මගින් විරුද්ධ පක්ෂවලට ලැබිය යුතු සාධාරණත්වය අහිමි කරන හා තිබුණු අක‍්‍රමවත් හා දූ ෂිත දේශපාලන ක‍්‍රමය තවදුරටත් දූ ෂිත හා අවුල් කරන දෙයක් ලෙස සලකා ශ්‍රේෂ්ඨාධිකරණය එම සංශෝධනය අනුමත නොකළ යුතුව තිබුණි. එහෙත් එහිදීද සිය වගකීම ඉටුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අසමත් විය.

3. මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ මාරුවට අදාළව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ගොඩනගන ලද ප‍්‍රතිපත්තියද සමස්ත ක‍්‍රමය තවදුරටත් අවුල් කිරීමට හා විනාශකාරී ප‍්‍රතිඵල ඇති කිරීමට හේතුවූ ප‍්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. වෙනත් පක්ෂයකට මාරු නොවී පක්ෂය තුළ ආරාවුල් ඇති කරගත් මන්ත‍්‍රීවරයකු මන්ත‍්‍රී ධුරයෙන් නෙරපා හැරීමේදී විනය පරීක්ෂණයක් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකීම සාධාරණ වුවත් පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට එකතු වූ මන්ත‍්‍රීවරයකු පක්ෂයෙන් නෙරපා හැරීම සඳහා විනය පරීක්ෂණයක් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකිය නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම ව්‍යවස්ථා විරෝධී ප‍්‍රවේශය පාලක පක්ෂයේ බලය තර කොට විරුද්ධ පක්ෂ ව්‍යාපාර මුළුමනින් බෙලහීන කිරීමට හේතුවිය. මෙය විරුද්ධ පක්ෂ ව්‍යාපාර අතර ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි පැවති විශ්වාසය වාෂ්ප කරන සාධකයක් ලෙසද ක‍්‍රියා කළේය.

4. 17 වැනි සංශෝධනය සමාලෝචනය කැරෙන අවස්ථාවේදී එහි තිබුණු අක‍්‍රමවත් බව නැති කොට එය ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා බැඳීසිටින තත්ත්වයක් ඇති කිරීමට හේතුවන ලෙස එම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමේ හැකියාව ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වගකීමද හොඳින් ඉටු නොකළේය.

5. 17 වැනි සංශෝධනයේ එන විධිවිධාන අහෝසි කෙරෙන හා ජනාධිපතිවරයාගේ නිල කාල සඳහා පැවති සීමා අහෝසි කෙරෙන ආකාරයට ඉදිරිපත් කැරුණු 18 වැනි සංශෝධනයටද ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ නොදිය යුතුව තිබුණි.

6. මැතිවරණවලදී පක්ෂ භේදයෙන් තොරව නීතිය අකුරටම ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමට හේතුවන නියෝග පහසුවෙන්ම ලබාදීමේ පුළුවන්කමක් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණි. එහෙත් පාලක පක්ෂය සතුටු කිරීම සඳහා එවැනි ප‍්‍රවේශයක් ගැනීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වැළකී සිටියේය.

දැන් අධිකරණයට වන්දි ගෙවන්නට සිදුවී තිබෙන්නේද තමන් විසින්ම කරන ලද වැරදිවලටම බව අධිකරණය තීරණාත්මක අරගලයක යෙදීසිටින මොහොතේදීවත් තේරුම් ගත යුතුය. විධායකය අනවශ්‍ය තරමට බලවත් කිරීමට අධිකරණයද ක‍්‍රියාකාරී ලෙස දායක වී තිබේ. අවසානයේ අධිකරණයට දැන් සටන් කරන්නට සිදුවී තිබෙන්නේ තමන් විසින් කිරි පොවා ලොකු මහත් කළ විධායකය සමග වීම දෛවයේ සරදමක් ලෙස සැලකිය හැකිය. මෙම අර්බුදය නිසාවත් තමන් මෙතෙක් කරන ලද කාර්යභාරය ලෙස විවේචනාත්මක ආකල්පයකින් ආපසු හැරීබැලීමක් කිරීමට අවශ්‍ය ධෛර්යය හා නිහතමානී බව ඇති කරගැනීමට අධිකරණය සමත්වේ නම් එය ඔවුන්ගේ ඉදිරි ගමනට ප‍්‍රයෝජනවත් වනු ඇතිවා සේ ම නැතිවී තිබෙන ගෞරවය නැවත ඇති කරගත යුතුව තිබෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය තේරුම් ගැනීමද පහසුවනු ඇත්තේය.

මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි

ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය, සහ දේශපාලන ප්‍රතිසංස්කරණ:



l කුමුදු කුසුම් කුමාර

‘රාවය‘ විසිපස්වැනි සංවත්සර උළෙල නම් කොට තිබුණේ ‘විසිපස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ යනුවෙනි. එම උළෙලෙන් පසු ‘රාවය‘ කර්තෘ වික්ටර් අයිවන් ලියූ ලිපියක සිරස්තලය ‘පටිසෝතගාමී සහ විප්ලවකාරී ළදරු වලිප්පුව‘ විය. වික්ටර් මෙලෙස සඳහන් කරන්නේ සංවත්සර උළෙල සම්බන්ධව පැණනැඟී ඇති ආන්දෝලනයට පිළිතුරු දෙමිනි. මෙම ආන්දෝලනයට අදාළ ප්‍රධාන කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, උළෙල ට ‘රාවය‘ විසින් ආරාධනා කරනු ලැබූ අය ශාරීරික පරීක්ෂාවට ලක්වීම ට සම්බන්ධය. දෙවැන්න, උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම හා සම්බන්ධ ය. මෙහි පළමුවැන්න පැන නගින්නේ දෙවැන්නෙනි.

උළෙලේ ප්‍රධාන ආරාධිතයා ජනාධිපති බව දැන සිටි අය පෙර අසා දැන සිටි තොරතුරු තිබුණි නම් තමන් මෙබඳු ශාරීරික පරීක්ෂාවකට ලක් වනු ඇති බව නිගමනය කරන්නට ඉඩ තිබුණි.‘රාවය‘ උළෙලට සහභාගී වූ මා දන්නා එක් තරුණ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මේ පිලිබඳ කීවේ තමාද එහිදී ශාරීරික පරීක්ෂාවට ලක්වූ නමුත් ඉන් සුවිශේෂ අපහසුතාවක් නොවිඳි බවයි. පසුගිය මැතිවරණ කාලයන්හිදී කිහිප වතාවක් අරලිය ගහ මන්දිරයේ රැස්වීම්වලට ගිය රජයට හිතවත් විශ්ව විද්‍යාල කථිකාචාරයවරු එහිදී ශාරීරික පරීක්ෂාවට ලක්වීම නිසා තමන්ට පත්වූ අපහසුතාවන් පිළිබඳ කටුක හාස්‍යයෙන් යුතුව කථා කරණු මම අසා ඇත්තෙමි. ශාරීරික පරීක්ෂාවට ලක්වීම අත්දැකීමේ තීව්රතාව, පරීක්ෂා කරන්නා මෙන්ම, ලබන්නා අනුවත් වෙනස් විය හැකිය. පුද්ගලයෙකු ලෙස හෝ / සහ පුරවැසියෙකු ලෙස රජය විසින් තමනට ලබා දිය යුතු අයිතිවාසිකම් හෝ / සහ ගරුත්වය පිළිබඳ යමෙකුට ඇති හැඟීම අනුව ද මෙම අත්දැකීම තමාට දැනෙන ආකාරය වෙනස් විය හැකිය. නමුත් තමා ශාරීරික පරීක්ෂාවට ලක්වීම තමා පක්ෂපාතීවන රාජ්‍ය යේ ආරක්ෂාවට අවශ්‍ය බව පිළිගන්නා අයෙකුට එය දැනෙනු ඇත්තේ පෙර කී තැනැත්තාට එය දැනෙන ආකාරයෙන්ම නොවේ.

ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය

දෙවැනි කරුණ වන උළෙලට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම පිළිබඳ වික්ටර් කියන්නේ, උත්සවයට සහභාගී වීමෙන් වැළකී ආපසු ගිය කිහිප දෙනෙකුගෙන් (සහ උත්සවයට සහභාගී වූ ඇතැමුන්ගෙන් පවා) මෙම උත්සවයට එල්ල වී ඇති ‘විරෝධයට බලපා තිබෙන ඇත්ත හේතුව ලෙස සැලකිය හැක්කේ එම උත්සවයට ජනාධිපති සහභාගී කරවා ගැනීමය‘ යන්නයි. සමහරවිට ඔවුනට ජනාධිපති නරකම වර්ගයේ ඒකාධිපති නායකයෙකු ලෙස පෙනෙන නිසා එසේ කළා විය හැකි යැයි කියන වික්ටර්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකු නොව ව්‍යවස්ථාවේ පිහිටෙන් සහ මහජන ඡන්දයෙන් බලය ගොඩ නඟා ගත්තෙකු බව තර්ක කරයි. ඒකාධිපතිත්වය සහ ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය දෙකම එක හා සමාන නොවේ. වික්ටර් ගේ තර්කය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකු ලෙස සළකා ඔහු පරාජය කිරීම ප්‍රමුඛ තැනට ගෙන ‘රාවය‘ යෝජනා කරණ දේශපාලන ප්‍රතිසංස්කරණ දෙවැනි තැනට ලඝු කරන අය අන්තගාමී සහ ප්‍රතිගාමී න් හෙයින් ඔවුන් පරාජය කළ යුතු බවයි. (සංවත්සර උළෙල ට ‘රාවය‘ කළ ආරාධනය ස්තූති පූර්වකව භාර ගත් නමුදු මම ත් එම උළෙල ට නොගියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උළෙලේ ප්‍රධාන ආරාධිතයා බව දැනගත් නිසා ඔහුට ඇති විරෝධයකින් නොව ඉන් රාවයේ පටිසෝතගාමී අපේක්ෂා ගැන ගම්‍ය කෙරුණු දේ හේතුවෙනි. දැන් මේ හේතුවෙන් මම ත් ළදරු වලිප්පුකාරයෙකුගේ තත්වයට වැටෙන්නේදැයි නොදනිමි.)

වඩා වැදගත්ව, මෙම ලිපියෙන් මා සාකච්ඡා කරන්නට කැමැත්තේ වික්ටර් ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය ලෙසින් හඳුනා ගන්නා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ‘රෙජීමය‘ යටතේ පාලනය වන ලංකාවට වික්ටර් යෝජනා කරණ දේශපාලන ප්‍රතිසංස්කරණ සහ එම උත්සාහයෙන් ගම්‍ය කෙරෙන කරුණු සමහරකි. ‘රාවය‘විසිපස්වැනි සංවත්සර උත්සවයේදී වික්ටර් කළ කථාවේදී ඉදිරිපත් කළ දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාව නම් රාජ්‍ය නායකයා සහ විපක්ෂ නායකයාද ඔවුන් අයත් දේශපාලන පක්ෂ ද ජාතික ප්‍රතිසංවිධානයක් සඳහා පොදු එකඟත්වයක් සහ මාර්ග සැළැස්මක් ඇතිකර ගැනීමය. මෙබඳු යෝජනාවකින් විසඳන්නට අපේක්ෂා කරන්නේ කුමන ගැටලුවක් ද? වික්ටර් සදහන් කරන පරිදි, පවතින දේශපාලන හා පරිපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන විකෘතිය යි. ඔහුට අනුව දිගුකාලීනව අප සමාජය වසා පැවති ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සහ අපේ නායකයන් එක්සත් ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්වත් ඇති කර ගැනීමට ක්‍රියා නොකිරීම මෙයට හේතුවිය. ප්‍රචණ්ඩත්වයේ මූලයන් ඇත්තේ ද මෙහිය. මෙය අපේ නායකයන්ගේ බල ව්‍යාපෘතියේ ප්‍රථිඵලයකි. ආණ්ඩු ක්‍රමය විකෘති කරන්නටත්, විධායක ජනාධිපති ක්‍රමය බිහිකරන්නටත් හේතු වූ විකෘති පරිණාමය ක් ලෙස වික්ටර් මෙම තත්වය දකියි. “නීතියේ පාලනයක් නැතිකම, දැඩි අධිකාරීබව, ඉහවහා ගිය දූෂණය හා නාස්තිය,පළිගැනීම, සුදුසුකම් නොසැළකීම, ඵල බෙදාගැනීමේදී සාධාරණ නොවීම යන ලක්ෂණ මෙම ආණ්ඩු ක්‍රමයේ නිත්‍ය ලක්ෂණ වී“ ඇතැයි වික්ටර් කියයි. මෙම‘අවලස්සණකම‘ සහ ‘අවුල්සහගතබව‘ බව ජය ගැනීමට වික්ටර් කරන යෝජනාවේ ඇති අලුත් කම කුමක් දැයි අසන්නට ඉඩ ඇති අයට වික්ටර්ගේ පිළිතුර වනු ඇත්තේ, දැන් අපි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කොට ඇති හෙයින් මෙම යෝජනාව ක්‍රියාත්මක කළ හැකි තැනක අප දැන් සිටින බවයි.

අපි වික්ටර් ගේ මෙම විග්‍රහය තේරුම් ගැනීමට උත්සාහ කරමු. ප්‍රචණ්ඩත්වය ප්‍රකෘතිය නොව විකෘතියකැයි යන වික්ටර්ගේ අදහස අප තේරුම් ගත යුත්තේ ප්‍රචණ්ඩත්වය හෝ ගැටුම මානව පැවැත්මේ විකෘතියක් ලෙස සළකා නොව ප්‍රචණ්ඩත්වය පිටු දැක සාමකාමී සහජීවනය නඟා සිටුවීම මානව ශිෂ්ටාචාරයේ ඉලක්කයක් ව තිබී ඇතැයි යන අර්ථයෙන් යැයි සිතමි.

එක්සත් ජාතියක් ගොඩ නැඟීම

වර්ගය, කුලය සහ ආගම මත පදනම් වූ ලාංකේය අනන්‍යතා දේශපාලනය යටත් විජිත ක්‍රියාවලියේම ප්‍රථිඵලයකි. යටත් විජිත විරෝධී ව්‍යාපාරය තුළ වාම මතවාදයක් මෙන්ම සිංහල ජාතිකවාදයක්ද ව්‍යාප්ත වීය. එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක 1956 දී බල ගන්වන්නේ යටත්විජිතවාදය තුළ පීඩනයට ලක්ව සිටි දේශීය බලවේගයන් ය. ඔහු තමා මුදා හළ බලවේග වලම ගොදුරක් බවට පත් වීය. නමුත් ඔහු 1929 තරම් ඈතදී ෆෙඩරල් දේශපාලන ක්‍රමයක් යෝජනා කර තිබුණි යන්නෙන් කියැවෙන්නේ ඔහු උපන් ගෙයි සිංහල මහ ජාතිකවාදියෙකු නොවන බවයි. බණ්ඩාරනායකගේ දේශපාලනය හුදු බල ව්‍යාපෘතියක් මත පදනම් වූවක් දැයි තහවුරු කිරීමට සාක්ෂ්‍ය ඇත්දැයි මම නොදනිමි. ඔහුගේ දේශපාලන දිවියේදී ඔහු කළ කී දෑ විමසතොත් ඔහු ලාංකේය ජාතියේ අනාගතය හැඩ ගැස්වීමට තමා තුළ ඇති හැකියාව පිළිබඳ අධි විශ්වාසයකින් යුතු වූ පුද්ගලයෙකු යැයි කීම නිවැරදි යැයි සිතමි. එම, කෙටි බණ්ඩාරනායක සමයෙන් පසු ලංකාව අත් දැක ඇත්තේ ජනවාර්ගික අනන්‍යතාව මැතිවරණ දේශපාලනයේ නිරත දේශපාලනඥයන් අත පා පන්දුවක් බඳු වන ආකාරයයි. මෙතුළ, චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇයගේ යහපත් සිතැඟියාවන් නිසා ව්‍යතිරේකයක් වන නමුදු ඇය ලද අවස්ථාව මනෝරාජික දේශපාලනය වෙනුවෙන් කැප කිරීමෙන් ඇයද ලාංකේය ජාතියක් ගොඩ නැංවීමට නායකත්වය දීමේ කටයුත්ත පැහැර හැරියාය.

ප්‍රජාතන්ත්‍රවාදය

නූතන ලාංකේය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසය පිළිබඳ අපට දැකිය හැක්කේ කුමක් ද? බ්‍රිතාන්‍යයන් මෙරට පිහිටුවූ බූර්ෂුවා, පාර්ලිමේන්තු, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ ආයතනද 1956 දී බණ්ඩාරනායක මුදා හළ බලවේග වල දේශපාලන අපේක්ෂාවන් සමග ගැටෙනු දැකිය හැකි විය. නිලධාරි තන්ත්‍රය ජනතාගේ ඉදිරි ගමනට බාධා කරන්නේය යන චෝදනාව යටතේ ඊට ඉහලින් ‘දේශපාලන අධිකාරයේ‘ බලය පිහිටුවීමේ ක්‍රියාවලිය දියත් කෙරෙන්නේ 1970 සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආණ්ඩුවෙනි. අධිකරණය ද රජයට අවශ්‍ය ආකාරයට හැසිරවීමේ අවශ්‍යතාව ශ්‍රීලනිප ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක පෙරට ගන්නේද මෙම සමයෙහි ය. 1977 දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන අධිකරණය විධායකය සහ දේශපාලනය යටතට ගැනීම නග්න ලෙසම ක්‍රියාවට නැගුවේය. ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ ඔහු දුටු පරිදි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මන්දගාමී වියගසෙන් ලාංකේය සමාජය මුදවා තමන් අත ලංකාව කඩිනමින් සිංගප්පූරුවක් බවට ‘සංවර්ධනය‘ කිරීමේ අභිලාෂයෙනි. ජේ. ආර්. ජයවර්ධනද ලංකාවේ ඉරණම වෙනස් කිරීමෙහි ලා තමා සතු හැකියාව පිළිබඳ අධි විශ්වාසයක් තිබූ දේශපාලනඥයෙකු වීය. යුද සමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කිරීමට හේතු වශයෙන් දැක්වුණේ යුද්ධයයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ද විධායක ජනාධිපති ක්‍රමය අවසන් නොකළා ය. විධායක ජනාධිපති ක්‍රමය ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ නව ජවයක් ලබා ඇත. දැන් යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගෙවී ඇතත් අප තවමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීම ගැන කථා කරමු.

නිදහසින් පසු ලංකාවේ දේශපාලන නායකයන් එක්සත් ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්වත් ඇති කර ගැනීමට ක්‍රියා නොකිරීම නිසා මෙරට ආණ්ඩු ක්‍රමය විකෘති පරිණාමයක් ඇතිකරන්නටත්, විධායක ජනාධිපති ක්‍රමය බිහිකරන්නටත් හේතු වී යැයි කීම අමතක කරන එකම කරුණ දේශපාලනයේ පුද්ගල සාධකය පමණක් නොවේ. ‘සමාජ පරිණාමය‘ යන්නේ අදහස සමාජ විපර්යාසය නම්, එතුළ මානව ක්‍රියාකාරකමට නැතහොත් මානව කර්තෘත්වයට හිමි භූමිකාව ද ඇතුලත් කොට ගන්නේ නම් නිදහසින් පසු ලංකාවේ සමාජයේ ඇතිවූ වෙනස් කම් වටහා ගන්නට අප මෙම සමාජ විපර්යාසයට ජවය සපයන සමාජ බලවේග වටහා ගත යුතු යැයි සිතමි.

’56 මුදාහළ සමාජ බලවේග

එක්සත් ලාංකේය ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීමට අප අපොහොසත්වීම පසුබිමෙහි ඇත්තේ බ්‍රිතාන්‍යයන් අපට ලබාදුන් බූර්ෂුවා,පාර්ලිමේන්තු, නියෝජිත, බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ‘56 දී බණ්ඩාරනායක මුදා හළ, පශ්චාත් විජිත සමයේ මෙරට සමාජයේ අධිපතිභාවයට ක්‍රම ක්‍රමයෙන් පත්වන ස්වදේශීය සමාජ බලවේග එකිනෙකට අභිමුඛ වීමේ ලක්ෂ්‍යයි. අපගේ දේශපාලන හා පරිපාලන ක්‍රමය ආරම්භයේ තිබුණු තත්වයෙන් පිරිහුණේ මෙම හේතුවෙනි. අදවන විට මෙම සමාජ විපර්යාසය එහි තර්කානුකූල අවසානය කරා ගමන් කරමින් තිබෙනු දැකිය හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ‘රෙජීමය‘මෙම දික් ගැස්සුණු ක්‍රියාවලියේ කූට ප්‍රාප්තිය යැයි කිව හැකිය. මෙම ‘රෙජීමය‘ තුළින්, ‘56 දී බණ්ඩාරනායක මුදා හළ, මැද සහ පහළ පන්තීන්ට අයත් සමාජ බලවේග පළමු වරට පූර්ණ ලෙස රාජ්‍ය බලය අත්පත් කරගැනීමට සමත් වී ඇත. දැන් මෙම සමාජ බලවේග නිරතව සිටින්නේ තමනට ආර්ථික වත්කම් සහ සමාජ බලය ගොඩ නඟා ගැනීමේ අරගලයකය. මේ ’56 පරපුරේ දූ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි. දේශපාලනය, නීති පද්ධතිය, නිලධාරිතන්ත්‍රය යනාදී සැම වැදගත් සමාජ තලයකම අරක් ගෙන සිටින්නෝ මොවුහු ය. වික්ටර් සඳහන් කරන අද “ ආණ්ඩු ක්‍රමයේ නිත්‍ය ලක්ෂණ වී ඇතැයි කිව හැකි“ “නීතියේ පාලනයක් නැතිකම, දැඩි අධිකාරීබව, ඉහවහා ගිය දූෂණය හා නාස්තිය, පළිගැනීම, සුදුසුකම් නොසැළකීම, ඵල බෙදාගැනීමේදී සාධාරණ නොවීම යන ලක්ෂණ“ මෙම අරගලයේ තීව්රභාවය නග්න ලෙස ප්‍රකාශ වන ආකාරයයි. මාක්ස්ගේ සංකල්පයක් එහි සංදර්භයෙන් උගුල්ලා කියන්නේ නම් මේ ‘ප්‍රාක්තම සම්මුච්චිතකරණ‘ ක්‍රියාවලියකි. එහි‘අවලස්සණකම‘ සහ ‘අවුල්සහගතබව‘ එහෙයිනි.

‘රාවය‘ කර්තෘ වික්ටර් අයිවන් ගේ දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ මෙබඳු පසුබිමක ය. වික්ටර් ට අවශ්‍ය ඉහත ස්වරූපය ගත් ලාංකේය සමාජයේ මූලික වෙනසක්, ප්‍රතිසංවිධානයක් ඇති කිරීමේ ක්‍රමයකි. වික්ටර් දකින පරිදි මෙම තත්වයට ඇත්තේ විසඳුම් දෙකක් පමණි. එකක් විප්ලවය යි. එය “ඉතාමත් විනාශකාරී ප්‍රථිඵල ඇති කිරීමට හේතුවිය හැකි බිහිසුණු මාර්ගයක් ලෙස සැළකිය හැකි“ යැයි වික්ටර් කියන්නේ විප්ලවය යනු ආයුධ සන්නද්ධ අරගලයක් ලෙස සළකා විය යුතුය. වික්ටර් දකින ඔහු අනුයන විසඳුම දෙවැන්නයි. ඒ ඔහු විසින් යෝජිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යි.

විප්ලවය, සහ ප්‍රජාතන්ත්‍රවාදය

විප්ලවය සාමකාමී විය හැකි බව අපේ කාලයේදී පෙන්වා දුන්නේ තහීර් චතුරශ්‍රය මුල් කොට ගෙන ඊජිප්තුවේ ඇරඹි ජනතා විප්ලවයයි. එබඳු විප්ලවයක් පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් කල්තබා සැළසුම්කොට සංවිධාන කෙරෙන්නක් නොව ස්වයංසිද්ධ මහජන නැඟිටීමකි. බලයේ සිටින රෙජීමයක් ඉවත් කිරීමට ජනතාවට අවශ්‍ය කෙරෙන තත්වයන් සමාජයක මෝරා ආ විට එම රෙජීමයට එරෙහිව ජනයා ස්වයංසිද්ධව වීදි බැසීම ඊජිප්තුවේ දී සිදුවී යැයි කිව හැකිය. එබඳු තත්වයක් ඇති කිරීමේ අවකාශය නිර්මාණය කරන්නේ රෙජීමය මිස ජනතාව නොවේ.

වික්ටර් විසින් යෝජිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අන් කවුරුන් කැමති වුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ‘රෙජීමය‘ හා ඊට අනුබද්ධ සමාජ සමූහයන් තමන් උත්සුකව යෙදී සිටින ‘ප්‍රාක්තම සම්මුච්චිතකරණ‘ ක්‍රියාවලියට තිත තබනු ඇති එවන් වැඩ පිළිවෙලකට එකඟ වනු ඇත්දැයි සිතා බලනු වටී.

ඉතින්, කවදා සිදුවේදැයි කා හටවත් අනාවැකි කිය නොහැකි විප්ලවයකින් මෙපිට ලාංකේය ජනයාට වත්මන් තත්වයට සහනයක් ලබා ගැනීමේ අන් කිසි මඟක් නැත්ද?

මගේ අදහස,ඉහත පසුබිම තුළ, එක්සත් ලාංකේය ජාතියක් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩ නැඟීම සඳහා අපගේ මූලික කටයුත්ත විය යුත්තේ අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තීන් සහ ව්‍යුහයන් රැකගෙන ස්ථාපිත කිරීම සඳහා දිගින් දිගටම සාමුහිකව කටයුතු කිරීම යි.

නූතන ලාංකේය සමාජයේ මූලික ශක්තිය ව පැවතී ඇත්තේ අප විසින් ගොඩ නඟාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහයන් සහ සමාජ භාවිතාවන් ය. අප සමාජයක් වශයෙන් මෙතෙක් මුහුණ පෑ සියලු ව්‍යසනයන්ට මුහුණ දී ඒවා ජයගැනීමට අපට ශක්තිය ලබා දුන්නේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තීන්ය. බලයේ සිටින රෙජීමයක් මෙම ජාතික හරය උල්ලංඝණය කරන තරමට තමන් වෙත ජනතා විරෝධය කැඳවනු ඇත. අපගේ අතීත අත්දැකීම් අපට කියා දෙන්නේ මෙය නොවේද?

වික්ටර් විසින් යෝජිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ද අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තීන් සහ ව්‍යුහයන් රැකගෙන ස්ථාපිත කිරීම සඳහා දැරෙන සාමුහික ප්‍රයත්නයේ කොටසක් බවට පත්කරන්නට හැකිවුව හොත් එය අප සමාජය වඩා යහපත් කිරීමට දායක වනු ඇත.

වෙබ් අඩවි තහනම : විද්‍යුත් කැලෑ පත්තර සදාචාරය

| වික්ටර් අයිවන් 
උපුටා ගැනීම රාවය පුවත් පතෙනි

ඊ නිව්ස් වෙබ් අඩවියට ළඟාවීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් දුෂ්කර කර තිබෙන බව වාර්තා විය. ඒ ගැන දේශීය හා විදේශීය ජනමාධ්‍ය සංවිධාන ගණනාවක් විරෝධය ද පළ කොට තිබුණි. ඇමරිකන් හා යුරෝපා සංගමයේ තානාපති කාර්යාලද ඊට විරෝධය පළ කරන නිවේදන නිකුත් කර තිබුණි.

අදහස් පළකිරීමේ නිදහස සීමාකිරීමට ආණ්ඩුව දරන උත්සාහයක් වේ නම් එම තත්ත්වය හෙළා දැකීමේ වගකීමක් ජනමාධ්‍ය සංවිධානවලට ඇතත්, සමහර ප‍්‍රවෘත්ති වෙබ් අඩවි සිදුකැරෙමින් තිබෙන විනාශකාරී ක‍්‍රියාකලාපය මුළුමනින් නොසලකා ඒවා පාලනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පමණක් හෙළා දැකීම කොතරම් සාධාරණද? වෙබ් අඩවි මගින් මුදාහරින ප‍්‍රවෘත්ති මුළුමනින් පාලනය කිරීමේ හැකියාවක් දැනට ශ‍්‍රී ලංකාවට නැත. විදුලි සංදේශ නියාමන කොමිසමට කළහැක්කේ යම් පමණක අවහිර කිරීමක් පමණය. එසේ අවහිර කරන මාර්ගවලට වෙනත් ආකාරවලින් ප‍්‍රවිෂ්ට වීමේ ඡුරදංහ මාර්ග අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙක් දනිති.

ඕනෑම සමාජයක් දැනුවත්වන්නේ තොරතුරුවලිනි. අදහස් පළකිරීමේ නිදහස, තොතුරු ලබාගැනීමේ අයිතිය සමග එකට ගැට ගැසී තිබෙන මූලික අයිතියක් ලෙස සැලකිය හැකිය. ජනමාධ්‍ය, මහජනයාට තොරතුරු ලබාදෙන ප‍්‍රධාන මාර්ගයක් ලෙස ක‍්‍රියා කරයි. තොරතුරු ලබාදීමේදී සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාදීමට ජනමාධ්‍ය සදාචාරාත්මක වශයෙන් පමණක් නොව, නීතිමය වශයෙන් බැඳී සිටියි. නිවැරදි නොවන බොරු තොරතුරු පළකරන ජනමාධ්‍යවලට එරෙහිව නීතිමය වශයෙන් ක‍්‍රියා කළ හැකිය. සාම්ප‍්‍රදායික මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය සපයන තොරතුරු විශ්වාසදායක තොරතුරු ලෙස මහජනයා සලකන්නේ ජනමාධ්‍යවලට තිබෙන එම සදාචාරාත්මක හා නෛතික බැඳීම නිසාය. එම බැඳීමට යටත්ව ක‍්‍රියාකිරීමේදී පවා ජනමාධ්‍ය තොරතුරු ප‍්‍රකාශ කරනුයේ පිළිගත් ප‍්‍රතිපත්ති සමුදායක් මත පිහිටාය. පළකරන ප‍්‍රවෘත්තිවල නිවැරදි බව හා සත්‍යතාව තහවුරු කිරීම සඳහා මූලාශ‍්‍ර උපුටා දැක්විය යුතුය. පළකරන ප‍්‍රවෘත්තිවල නිවැරදිභාවයට කතුවරයා හා ප‍්‍රකාශන ආයතනය වගකිව යුතුය. වරදක් සිදුවී ඒ බව අධිකරණයේදී සනාථ වුවහොත් කතුවරයාට හා ප‍්‍රකාශන ආයතනයට වන්දි ගෙවන්නට සිදුවන්නේය.

අයාලේ ගිය නිදහස

ශ‍්‍රී ලංකාවේ ජනතාව ඉලක්ක කොටගෙන පවත්වාගෙන යන වෙබ් අඩවි අතර ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී පිළිගත් සදාචාරාත්මක නියමයන් මුළුමනින් නොසලකා ක‍්‍රියාකරන ප‍්‍රවෘත්ති වෙබ් අඩවි ද ඇත්තේය. ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී යොදාගත යුතු පිළිගත් ජනමාධ්‍ය සම්ප‍්‍රදායයන් ඔවුන් වැදගත් කොට සලකන්නේම නැත. ඔවුන් ප‍්‍රවෘත්ති වාර්තා කරන්නේ ඒවා සනාථ කිරීම සඳහා යොදා ගැනෙන මූලාශ‍්‍ර උපුටා දැක්වීමෙන් තොරවය. ඒවාහි වැඩි වශයෙන් පළ කැරෙන ප‍්‍රවෘත්ති කිසිම සත්‍ය පදනමක් නැති නිර්මාණය කළ ප‍්‍රවෘත්ති ලෙස සැලකිය හැකය. එවැනි වෙබ් අඩවි නෛතික පදනමක් මත පිහිටා ගොඩනගන ලද ජනමාධ්‍ය ආයතන විසින් පවත්වාගෙන යන වෙබ් අඩවි නොවන අතර ඒවා ලියාපදිංචි කොට තිබෙන්නේද ශ‍්‍රී ලංකාවේ නොව ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි විදේශ රටවලය. ඒ නිසා ඔවුන් පළ කරන අසත්‍ය ප‍්‍රවෘත්තිවලින් හානි සිදුවන පුද්ගලයන්ට නෛතික වශයෙන් සහන ලබාගැනීමේ හැකියාවක් ද නැත. මේ ගණයට වැටෙන වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ විවිධ යටි අරමුණු සඳහා වන අතර එම අරමුණුවලට ගැළපෙන භාවාත්මක ප‍්‍රවෘත්ති නිර්මාණය කොට ඔවුහු අන්තර්ජාලය හරහා බෙදාහරිති.

අන්තර්ජාලය පරිහරණය කරන ජනයා පමණක් නොව, අන්තර්ජාලය පරිහරණය නොකරන ජනයාද රස ඕපාදූප කතා සහිත කැලෑ පත්තර කියවන්නට කැමතිය. කැලෑ පත්තර ලෙස සැලකෙන්නේ ප‍්‍රකාශන නීතිය නොසලකා හොරෙන් ලියා පළ කැරෙන ප‍්‍රකාශනයන්ටය. ඔවුන්ට නෛතික හෝ සදාචාර බැඳීම් නැත. නීති විරෝධී ලෙස පළකැරෙන සමහර ලිංගික ප‍්‍රකාශනවලට හෝ හොර මත්ද්‍රව්‍යවලට තිබෙන ඉල්ලූමට සමාන ඉල්ලූමක් මේ කැලෑ පත්තරවලටද ඇත්තේය. වෙබ් අඩවි ආශ‍්‍රයෙන් පළවෙන කැලෑ පත්තර අන්තර්ජාලය හරහා ප‍්‍රකාශවීම නිසා ඒවාට වඩා ගාම්භීර පෙනුමක් ලැබී ඒවාට ඇතුළත් තොරතුරු විශ්වාස කරන පිරිසක් ද සිටින්නේය. එම විද්‍යුත් කැලෑ පත්තර ආශාවෙන් කියවන සමහර අය ඒවායින් ලබාගන්නා තොරතුරු රසකොට අන්‍යයන්ටද කියන තත්ත්වයක් තුළ මේ ගණයට වැටෙන වෙබ් අඩවි කටකතා පතුරුවන වැදගත් මාර්ගයක් බවට පත්ව තිබෙන බවද කිව හැකිය. ඒ නිසා පරණ මුද්‍රිත කැලෑ පත්තර ක‍්‍රමය නැතිවී අලූත් විද්‍යුත් කැලෑ පත්තර ක‍්‍රමයක් ආරම්භ වී ඇතැ යි ද කිව හැකිය.

පුවත්පතක් පමණක් නොව, පත‍්‍රිකාවක් පළකිරීමේදී පවා අනුගමනය කළයුතු නීති සම්ප‍්‍රදායයක් පවතී. පත‍්‍රිකාවක් නම් පත‍්‍රිකාව පළකරන්නාගේ නම, ලිපිනය හා මුද්‍රණය කළ මුද්‍රණාලයේ නම සඳහන් විය යුතුය. එසේ නොවන පති‍්‍රකා සැලකෙන්නේ නීති විරෝධී පත‍්‍රිකා ලෙසය. පුවත්පත් සඳහා පමණක් නොව, රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි විද්‍යුත් මාධ්‍ය සඳහා ද බලපාන නීතිරීති පවතී. පුද්ගලයකු කෙරෙහි හානියක් හෝ නින්දාවක් ඇති කරන අසත්‍ය ප‍්‍රවෘත්ති පළකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදකදී වරදෙහි වගකීම පැවරෙන්නේ ප‍්‍රකාශනය භාරව ක‍්‍රියාකරන ප‍්‍රධාන ජනමාධ්‍යවේදියාට හා ප‍්‍රකාශන ආයතනයේ හිමිකරුටය.

මෙය සියලූ ප‍්‍රකාශන සඳහා පොදුවේ බලපාන නෛතික තත්ත්වයන් නම් ඒ නීති රීති සමාජ යහපත සලකා ඇති කරන ලද නීතිරීති ලෙස අපි සලකමු නම් හා ඒවා අදහස් පළකිරීමේ නිදහස පාලනය කරන නරක නීතිරීති ලෙස අපි නොසලකමු නම්, මෙම පොදු තත්ත්වය ඉක්මවා නිදහසේ බඩ පිනුං ගැසීමට කැලෑ පත්තර ස්වරූපයකින් පවත්වාගෙන යන වෙබ් අඩවිවලට පමණක් ඉඩ ලැබිය යුත්තේ ඇයි? සදාචාරාත්මක හා නෛතික බැඳීමකින් තොරව ක‍්‍රියාකිරීමේ අයිතිය අන් කිසිවකුට නොලැබේ නම් අදහස් පළකිරීමේ නිදහසේ නාමයෙන් ඔවුන්ට පමණක් ඒ අයිතිය ලැබිය යුත්තේ ඇයි?

සත්‍ය පදනමකින් තොර කතා

ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස කෙරෙහි මහජන පිළිකුලක් ඇති කිරීමේ අදහසින් ගොතා පතුරුවා හරිනු ලැබූ නිරුවත් කන්‍යාවන් හත්දෙනකු ජනාධිපතිවරයා කිරි කළවලින් නැහැවීමේ කතාව මහජනයා අතර විදුලි වේගයෙන් පැතිරයමින් තිබුණු කටකතාවක් බවට පත්ව තිබෙන අවස්ථාවකදී, විකල්ප පුවත්පතක් විසින් එම කටකතාව සත්‍ය වාර්තාවක් ලෙස පළකිරීම නිසා එය ඇත්තට සිදුවී තිබෙන දෙයක් ලෙස සලකන තත්ත්වයක් මහජනයා අතර ගොඩනැගුණි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයේදී මාගේ සහාය දෙන ලද්දේ දෝෂාභියෝගය වෙනුවෙන් පෙනීසිටියවුන්ටය. එහෙත් දෝෂාභියෝග ලියවිල්ල කියවූ පසුව මට ඒ ගැන ඇතිවූයේ ප‍්‍රසාදයක් නොව අප‍්‍රසාදයකි. එම ලියවිල්ලට, සත්‍ය පදනමක් නැති, ජනාධිපතිවරයා කෙරෙහි මහජන පිළිකුලක් ඇති කිරීමට හේතුවන කටකතාද ඇතුළත් කර තිබුණි. මම ඒ ගැන ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් ප‍්‍රශ්න කළෙමි. චෝදනා කිරීමට සත්‍ය කරුණු තිබියදී කිසිම පදනමක් නැති කටකතා ඇතුළත් කිරීමෙන් වරදක් සිදුවී ඇති බව ඔහු පිළිගත්තේය. එහෙත් ඒ වරද තමන් අතින් සිදුවූ දෙයක් බව ඔහු පිළිගත්තේ නැත. වෙනත් නායකයන්ගෙන් එල්ල වූ බලපෑම් නිසා තමන්ද ඊට විරුද්ධ නොවූ බව ඔහු කීවේය. එහෙත් මා ඔහුගේ අර්ථකථනය පිළිගත්තේ නැත. තීරණාත්මක දේශපාලන අරගලයකදී ප‍්‍රතිවාදියා ඕනෑම ආකාරයකින් විනාශ වනවා දකින්නට අනෙක් පක්ෂය කැමතිය. එවැනි අවස්ථාවකදී කටකතා ඉටු කරන වැදගත් කාර්යභාරය ගැන ඔවුහු දන්නෙහුය. ප‍්‍රශ්නගත වෙබ් අඩවි සම්බන්ධයෙන් ජනමාධ්‍ය සංවිධාන දක්වන ආකල්පයද ඊට සමානය. විද්‍යුත් කැලෑ පත්තර ගණයෙහිලා සැලකිය හැකි මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන විනාශකාරී භූමිකාව ගැන ඔවුන් නොදන්නේ නැත. එහෙත් ආණ්ඩු විරෝධී ගතිකත්වය පවත්වාගෙන යෑම සඳහා ඒවා විසින්ද වැදගත් දේශපාලන කාර්යභාරයක් ඉටුකරන්නේයැ යි ඔවුහු විශ්වාස කරති. එවැනි වෙබ් අඩවිවල අශීලාචාර ස්වභාවය නොසලකා ඔවුන් ඒවා පාලනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පමණක් විවේචනය කරන්නේ ඒ නිසාය.

2010 ජනාධිපතිවරණය කාලයේදී ප‍්‍රංශයේ සිට පවත්වාගෙන ගිය ආණ්ඩු විරෝධී වෙබ් අඩවියක් ගැන එය පවත්වාගෙන ගිය ශ‍්‍රී ලාංකිකයකු විසින් පසුකලකදී ඔහුගේ මිතුරකුට කරන ලද පාපෝච්චාරණයක් ඒ මිතුරා මගින් මට අසන්නට ලැබුණි. එම වෙබ් අඩවිය ප‍්‍රංශයේ සිට පවත්වාගෙන ගිය පුද්ගලයා කෙටි කලක් රාවයටද වැඩ කළ පුද්ගලයෙක් විය. විවිධ ආයතනවල විවිධ සේවාවන් කිරීමෙන් පසුව ඔහු ප‍්‍රංශයට පලා ගොස් තිබුණේ ජීවිතය පිළිබඳව ඇති කරගත් ලොකු බලාපොරොත්තු ඇතිවය. එහෙත් ඔහුගේ ප‍්‍රංශ ජීවිතය යහපත් හෝ සාර්ථක එකක් නොවීය. යුද්ධය පැවති උණුසුම් කාලයේදී ඔහුට රාජපක්ෂ විරෝධී වෙබ් අඩවියක් ප‍්‍රංශයේ සිට පවත්වාගෙන යෑම සඳහා ලංකාවෙන් ඇණවුමක් ලැබුණේය. ඔහුට ඒ සඳහා හොඳ ගෙවීමක් ලැබුණු අතර ඔහු වෙත පැවරුණු වගකීම වූයේ ලංකාවෙන් ලබාදෙන තොරතුරු ප‍්‍රයෝජනයට ගෙන එම වෙබ් අඩවි පවත්වාගෙන යෑමය. රාජපක්ෂ ආණ්ඩුවට මර්දනය කළ නොහැකි ඉසව්වක සිට රාජ්‍ය පාලකයා ශ‍්‍රී ලංකාවේ මහජනයා අතර පිලිකුළට හේතුවන ප‍්‍රවෘත්ති පළකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.

යුද්ධය පැවති කාලයේදී ඊ නිව්ස් වෙබ් අඩවියේ වැඩ කළ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකු රාජපක්ෂ පවුලේ අත්පත් කරගැනීම් පිළිබඳව පළ කරන ලද වාර්තාවක් නිසා ඔහුට මුහුණ දෙන්නට සිදුවූ උද්වේගකර තත්ත්වයක් පිළිබඳව මට කියා තිබුණි. රාජපක්ෂ පවුල වයිට් හවුස් නමින් වන කොළඹ අවට ඇති මහා මන්දිරයක් මිලදී ගත් බව ඔහු එම වෙබ් අඩවිය මගින් වාර්තා කළේය. ඔහුට මේ කතාව ලැබී තිබුණේ ශ‍්‍රීපති සූරියආරච්චිගෙනි. එම මිලදී ගැනීමට අදාළ සියලූ ලියවිලිවල පිටපත් තමා ළඟ ඇති බවටද ශ‍්‍රීපති එම ජනමාධ්‍යවේදියාට කියා තිබුණේය. ජනමාධ්‍යවේදියා එම ප‍්‍රවෘත්තිය වාර්තා කළේ ඒ ගැන ශ‍්‍රීපතිගෙන් ලැබුණු තොරතුරු කෙරෙහි පූර්ණ විශ්වාසය තබාය. ඒ ගැන ලියන ලද කතාව වෙබ් අඩවිය නරඹන්නන් අතර මහත් කතාබහට හේතුවූ උණුසුම් ප‍්‍රවෘත්තියක් බවට පත්විය. වෙබ් අඩවියේ පළවූ මෙම ප‍්‍රවෘත්තිය දකින්නට හෝ අසන්නට ලැබී ඒ ගැන ජනාධිපතිවරයා කෝපයෙන් කතා කර ඇති බව ජනමාධ්‍යවේදියාට දැනගන්නට ලැබී ආරක්ෂාව සඳහා තවදුරටත් සියලූ තතු හෙළිදරව් කළයුතුයැ යි සිතාගෙන ඔහු ශ‍්‍රීපති හමුවන්නට ගියේය. එහෙත් ශ‍්‍රීපති ළඟ මොනම ලියවිල්ලක්වත් නැති බව දැනගත් විට තමා මුලා කිරීම ගැන ඔහු ශ‍්‍රීපතිට කෝපයෙන් දොස් පැවරුවේය. මේ කතාව එම ජනමාධ්‍යවේදියාගෙන් අසන්නට ලැබුණු විට මා දොස් පැවරුවේ ශී‍්‍රපතිට නොව එම ජනමාධ්‍යවේදියාටය. එය බොරුවක් බව දැනගන්නට ලැබුණු පසුත් එම වාර්තාව නිවැරදි කිරීමක් සිදුනොවීය. එසේ කළේ නම් වෙබ් අඩවිය කෙරෙහි ගොඩනැගී තිබුණු පාඨක විශ්වාසය හීනකරන සාධකයක් ලෙස ක‍්‍රියාකරන්නට ඉඩ තිබුණේය.

කප්පම් ලබන මාර්ගයක් ලෙස

දැන් මා කියන්න යන්නේ මෙම විශේෂ ප‍්‍රපංචය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් වන තවත් කතාවකි. ශ‍්‍රී ලංකාවේ උන්නතිකාමී තරුණ නීතිඥයකු ඉක්මනින් මුදල් උපයා ගැනීමේ අරමුණින් අනුන්ගේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු ලියාදෙන ජාවාරමකට පැටලූණේය. මේ කූඨ ජාවාරම අල්ලා ගැනීමට වංචා විමර්ශන අංශය සමත් විය. තරුණ නීතිඥයා සිය ආරක්ෂාව සඳහා එක්සත් රාජධානියට පලා ගියේය. තමන්ට එරෙහිව පවරන නඩුවෙන් තමන් වරදකරු වූ පසු තමන් නැවත ලංකාවට පිටුවහල් කිරීම වළකාගැනීම පිණිස ඔහු කළේ රාජපක්ෂ විරෝධී වෙබ් අඩවියක් ඔහුගේ නමින් එහි ආරම්භ කිරීමය. ඒ මගින් ඔහු එංගලන්තයේ සිට මෙහි රාජපක්ෂ විරෝධී මතවාදී අරගලය මෙහෙයවන වැදගත් නියමුවකු බවට පත්වූවේය. විරුද්ධ පක්ෂ මතධාරීන් අතරද පිළිගැනීමක් හිමිකර ගත්තේය. දැන් ඔහුට නඩුවෙන් මොනවා වුවත් එය දේශපාලන පළිගැනීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ දෙයක් ලෙස පෙන්වා තවදුරටත් එහි රැුඳී සිටීමට උත්සාහ කළ හැකිය. එක්සත් රාජධානියේ මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන තරුණ නීතිඥයාගේ ව්‍යාජ ඔප්පු නඩුව පිළිබඳව විස්තරයක් ඉක්බාල් අතාස් විසින් සන්ඬේ ටයිම්ස් පුවත්පතට වාර්තා කර තිබුණි. මෙම උන්නතිකාමී තරුණ නීතිඥයා එක්සත් රාජධානියට පලායෑමෙන් පසුත් අයථා ලෙස මුදල් ඉපැයීම සඳහා ඇති කරගෙන තිබුණු පුරුද්ද අත්හළේ නැත. ඔහු ඒ අරමුණ සඳහා ඊළඟට සිය වෙබ් අඩවිය පාවිච්චි කරන තැනකට ගියේය.

ඡුඔෂ ෆිනෑන්ස් හා ස්වර්ණමහල් ෆිනෑන්ස් යන ෆිනෑන්ස් සමාගම්වල හිමිකරු වන ජීවක එදිරිසිංහ ඔහුගේ ව්‍යාපාර රුපියල් බිලියන 4කට විකුණා රටින් පලායෑමට දරන ලද අසාර්ථක උත්සාහයක් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට මැදිහත්වී එය වැළකීමේ සිද්ධියක් ගැන ඔහු සිය වෙබ් අඩවියේ ප‍්‍රවෘත්ති පළ කළේය. එහි, ඔහුගේ අරමුණ වූ බව පෙනෙන්නට තිබෙන්නේ, මෙම ෆිනෑන්ස් සමාගම් දෙකේ තැන්පතුකරුවන් අතර විමතියක් ඇති කොට ඔවුන්ගේ තැන්පත් ඉල්ලා සිටින තත්ත්වයක් ඇති කොට තමන් නිර්මාණය කළ එම අර්බුදය ප‍්‍රයෝජනයට ගනිමින් සමාගම් දෙකට එරෙහිව කරන ප‍්‍රචාරයෙන් වැළකී සිටීම සඳහා සමාගම් දෙකේ හිමිකරුගෙන් ලොකු කප්පමක් ලබාගැනීමය. ඔහු අපේක්ෂා කළ ආකාරයටම මෙම කතාව තැන්පතුකරුවන් අතර පැතිර යෑම නිසා තමන්ගේ තැන්පතු ආපසු ලබාගැනීම සඳහා තැන්පතුකරුවන් අතර ලොකු පෝලිමක් ඇතිවී සමාගම් දෙකම විශාල අර්බුදයකට තල්ලූ විය. හිමිකරුවා හිස ගිනිගත් තත්ත්වයක සිටින අවස්ථාවක වෙබ් අඩවියේ දේශීය නියෝජිතයන් දෙදෙනෙක් සමාගම් දෙකට එරෙහිව කැරෙන නරක ප‍්‍රචාරය අත්හැරීම සඳහා හිමිකරුගෙන් රුපියල් මිලියන 50ක කප්පමක් ඉල්ලා සිටියෝය. කප්පම් ඉල්ලා සිටින නියෝජිතයන් දෙදෙනාට හිමිකරු සමග සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබා දුන් අතරමැදියා ලෙස ක‍්‍රියාකර ඇත්තේ සමාගම් දෙකේ හිමිකරුවා සමග හිතවත් සම්බන්ධයක් තිබුණු ආණ්ඩුවේ ආයතනයක ප‍්‍රධානියෙකි. ව්‍යාපාරික අංශයේ තතු දත් සමහර අයගේ මතය වන්නේ මෙම මැදිහත්වීම කළ ආණ්ඩුවේ ආයතනයේ ප‍්‍රධානියාද මෙම සාහසික වැඩපිළිවෙළට සම්බන්ධ බවය.ලැබෙන කප්පමෙන් 50%ක් තමන්ගේ සාක්කුවට දමාගැනීමට එම පුද්ගලයා අපේක්ෂා කළ බවය.

මෙම කූඨ වැඩපිළිවෙළ ඉන් නතර වූයේ නැත. ඛධඛක්‍ සමාගමේ හිමිකාර ඉෂාර නානායක්කාරට එරෙහිව සේ ම සොෆ්ට්ලොජික් සමාගමේ අශෝක පතිරගේට එරෙහිවද එවැනි ව්‍යාපාරයක් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන ගියේය. එය පුද්ගලික අංශයේ පවතින දූෂණයට එරෙහිව අවංක අරමුණින් කරන ලද වාර්තාකරණයක් ලෙස පෙනෙන්නේ නැත. ඒ වෙනුවට පෙනෙන්නේ නරක යටි අරමුණක් ඇතිව පවත්වාගෙන ගිය වාර්තාකරණයක් ලෙසය.

නීතියට යටත් කිරීමේ අවශ්‍යතාව

මෙවැනි සමාජ විරෝධී ප‍්‍රවණතාවන්ට ඉඩදීම භයානකය. රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කිරීමේ ඇත්ත වුවමනාවක් මහජනයාට තිබෙන්නේ නම් ඒ සඳහා වන නිදහස මහජනයාට තිබිය යුතුය. එහෙත් ආණ්ඩු විපර්යාසයක් සිදුවිය යුත්තේ ඇත්ත පදනම් කොටගෙන මිස බොරුව පදනම් කොටගෙන නොවේ. ආණ්ඩුවල පැවැත්ම සඳහා බොරුව යොදා ගැනීම වරදක් වන තරමට, ආණ්ඩු වෙනස් කිරීමේ උත්සාහයන් සඳහා බොරුව යොදා ගැනීම සැලකිය යුත්තේද ඒ සමාන වරදක් ලෙසය.

දැනට විද්‍යුත් කැලෑ පත්තර යොදාගනිමින් තිබෙන්නේ සැඟවුණු වෙනත් යටි අරමුණු සමග ආණ්ඩු විරෝධී ප‍්‍රචාරක කටයුතු සඳහාය. වැරදිලාවත් එම භයානක අවිය, ආණ්ඩුව, විරුද්ධ පක්ෂවලට එරෙහිව පාවිච්චි කරන තත්ත්වයක් ඇතිවුවහොත් ඇතිවන තත්ත්වය කුමක්ද? එය තවදුරටත් පැතිරී අභ්‍යන්තර ආරාවුල් ඇති පක්ෂ ප‍්‍රතිපක්ෂ කණ්ඩායම්වලට එරෙහිව පාවිච්චි කරන තත්ත්වයක් ඇතිවුවහොත් එවිට ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? රටේ දේශපාලන සංස්කෘතිය තිබෙන්නේ අශීලාචාර තත්ත්වයකය. ඒ තත්ත්වය ආපසු හරවන්නට උත්සාහ කරනවා විනා තවදුරටත් වර්ධනයවීමට ඉඩ නොතැබිය යුතුය. මෙය ජාත්‍යන්තර වශයෙන්ද අවධානයට යොමුවිය යුතුව තිබෙන වැදගත් කරුණකි. මුදල් ඇති ඕනෑම පුද්ගලයකුට නෛතික හා සදාචාරාත්මක බැඳීමකට යටත්වීමෙන් තොරව වෙබ් අඩවි ආරම්භ කිරීමට තිබෙන ඉඩ සීමා කළ යුතුය. ඒ සියලූදෙනා සමාජ වගකීමක් ඇතිව හා නෛතික බැඳීමක් ඇතිව ක‍්‍රියාකරන්නන් බවට පත් කළ යුතුය. අදහස් පළකිරීමේ නිදහසට අන්තර්ජාලයෙන් ලැබී තිබෙන අවකාශය ඉතා වැදගත් වුවත් එය වල්බූරු නිදහසක් බවට පරිවර්තනය වන්නට ඉඩදීම භයානකය.



ව්‍යාපාර පවරා ගැනීමේ පනත



l වික්ටර් අයිවන් 

පුද්ගලික අංශයේ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා වන පනතක් කඩිමුඩියේ නීතිගත කිරීමට ආණ්ඩුව ක‍්‍රියාකරමින් තිබෙන බව සිංහල භාෂාවෙන් හා ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවෙන පුවත්පත් දෙකක් ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ලෙස පළකර තිබුණි.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට ඇමති මණ්ඩලය අනුමැතිය දී ඇති බවත්, හදිසි පනත් කෙටුම්පතක් ලෙස සලකා තීන්දුවක් ලබාගැනීම සඳහා එය පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් එම වාර්තාවල සඳහන් වී තිබුණි.

මෙය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්, එම පනත අනුව පාඩු ලබන ව්‍යාපාර ගැන කටයුතු කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බවත් පවරාගනු ලබන ආයතනවලට වන්දි ගෙවීම හා ඒවා පවත්වාගෙන යෑමට භාරදෙන ආයතන තීරණය කිරීමේ බලය එම අධිකාරියට ලබාදෙන බවත් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ද ප‍්‍රකාශ කර තිබුණි.

මෙම පනතේ දර්ශනය කුමක්ද යන්න පැහැදිලි නැත. ඒ ගැන වන ප‍්‍රමාණවත් පැහැදිලි කිරීමක් තවමත් ආණ්ඩුව විසින් ද කර නැත. බැලූ බැල්මට ඇතිවන්නේ විචිකිච්චාවකි. ව්‍යාපාර අත්පත් කරගැනීමේ නීතියක් මීට පෙර ද තිබුණි. ඒ නීතිය මගින් සමහර හොඳ දේවල් ද කරන විට ඊට වඩා නරක දේවල් ද සිදුවිය. දේශපාලන පළිගැනීම් සඳහා කැරෙන පවරා ගැනීම්ද සිදුවිය. මෙම පනත සඳහා තිබෙන අවශ්‍යතාව පිළිබඳව රටට කරන හොඳ පැහැදිලි කිරීමකින් තොරව, හා ව්‍යාපාරික අංශවල කැරෙන සංවාදයකින් තොරව මෙවැනි පනතක් කඩිමුඩියේ නීතිගත කරන විට සැකයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

අනෙක් අතට ආණ්ඩුවේ සියලූ ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයක නොපවතී. සියලූ ව්‍යාපාර තිබිය යුත්තේ ලාභ ලබන තත්ත්වයක නම් ආණ්ඩුව පෞද්ගලික අංශයට අතගසන්නට පෙර ආණ්ඩුවේ සියලූ ව්‍යාපාර ලාභ ලබන තැනකට ගෙනා යුතුය.

ශ‍්‍රී ලංකාව විදේශ ආයෝජකයන්ගේ උනන්දුවට හේතුවන රටක් බවට පත්වෙමින් තිබෙන අවස්ථාවක මෙවැනි පනතක් විදේශ ආයෝජකයන් බියගන්වන සංඥාවක් ලෙස ක‍්‍රියාකළ හැකිය. මේ තත්ත්වය දේශීය ආයෝජකයන් කෙරෙහි ද බලපෑ හැකිය. ඒ නිසා ඒ සියලූදෙනාගේ විශ්වාසයට හේතුවන අර්ථකථනයක් ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුය.

පෞද්ගලික අංශයට මගපෙන්වීම් කිරීම වැරදි නැතත්, ඔවුන්ගේ ව්‍යාපාරවලට අනිසි ලෙස ඇඟිලි ගසන්නට යෑම සුදුසු නැත. පුද්ගලික අංශයේ සමහර සමාගම් රටේ ඉදිරි ගමනට ඉතාමත් හානි ලෙස ක‍්‍රියාකරන අවස්ථාද තිබෙන බවද පිළිගත යුතුය. එහෙත් එවැනි ප‍්‍රශ්නවලට තිබෙන විසඳුම ව්‍යාපාරික අංශය පොදුවේ බියගැන්වීමට හේතුවිය හැකි මෙවැනි පනතක් නීතිගත කිරීමද? නිදර්ශනයක් වශයෙන් තාප විදුලි බලය සඳහා ඒවා සපයන සමාගම් විදුලිබල මණ්ඩලය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් මහජනයා පමණක් නොව රජයේ සම්පත්ද ගසාකෑමේ අරමුණින් විදුලිබල විෂයට සම්බන්ධ සමහර ඇමතිවරුන් හා නිලධාරීන්ගේ සහාය ඇතිව ඔවුන්ට ගෙවන විශාල ප‍්‍රතිලාභ හෝ අල්ලස් මත කූට ලෙස ඇති කරගන්නා ලද විනාශකාරී ගිවිසුම් ලෙස සැලකිය හැකිය. විදුලිබල මණ්ඩලය තිබෙන්නේ ඔවුන්ගෙන් විදුලිය මිලදී නොගෙන විදුලි සැපයුම පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකය. එම ව්‍යාපෘති සඳහා කරන ලද ආයෝජන වියදම්වලින් 90%ක්ම දරා තිබෙන්නේ විදුලිබල මණ්ඩලය වුවත් ආයෝජන වියදමට ගැළපෙන ප‍්‍රතිලාභ බෙදීමකින් තොරව සියලූ ප‍්‍රතිලාභ සමාගම් අයිතිකරුවන්ගේ සාක්කුවට ගලා යන ආකාරයට මෙම ගිවිසුම් ඇති කරගෙන තිබෙන්නේ කෙසේද යන්න ප‍්‍රහේළිකාවකි. අවසානයේ මේ අසාධාරණයේ බර පැටවී ඇත්තේද මහජනයාගේ කර මතය.

පුද්ගලික අංශයේ දක්නට ලැබෙන මෙවැනි කූට හා නොමනා ක‍්‍රියාකාරකම් පාලනය කිරීමේ අවශ්‍යතාවක් ඇතත් ඒ සඳහා තිබෙන හරි විසඳුම ව්‍යාපාර අත්පත් කරගැනීමේ බලය ආණ්ඩුවට ලබාදීමද යන්න ප‍්‍රශ්නයකි.

උපුටා ගැනීම : රාවය පුවත්පතෙනි

Tell a Friend