ව්‍යාපාර පවරා ගැනීමේ පනත



l වික්ටර් අයිවන් 

පුද්ගලික අංශයේ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා වන පනතක් කඩිමුඩියේ නීතිගත කිරීමට ආණ්ඩුව ක‍්‍රියාකරමින් තිබෙන බව සිංහල භාෂාවෙන් හා ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවෙන පුවත්පත් දෙකක් ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ලෙස පළකර තිබුණි.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතට ඇමති මණ්ඩලය අනුමැතිය දී ඇති බවත්, හදිසි පනත් කෙටුම්පතක් ලෙස සලකා තීන්දුවක් ලබාගැනීම සඳහා එය පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවත් එම වාර්තාවල සඳහන් වී තිබුණි.

මෙය හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත්, එම පනත අනුව පාඩු ලබන ව්‍යාපාර ගැන කටයුතු කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බවත් පවරාගනු ලබන ආයතනවලට වන්දි ගෙවීම හා ඒවා පවත්වාගෙන යෑමට භාරදෙන ආයතන තීරණය කිරීමේ බලය එම අධිකාරියට ලබාදෙන බවත් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ද ප‍්‍රකාශ කර තිබුණි.

මෙම පනතේ දර්ශනය කුමක්ද යන්න පැහැදිලි නැත. ඒ ගැන වන ප‍්‍රමාණවත් පැහැදිලි කිරීමක් තවමත් ආණ්ඩුව විසින් ද කර නැත. බැලූ බැල්මට ඇතිවන්නේ විචිකිච්චාවකි. ව්‍යාපාර අත්පත් කරගැනීමේ නීතියක් මීට පෙර ද තිබුණි. ඒ නීතිය මගින් සමහර හොඳ දේවල් ද කරන විට ඊට වඩා නරක දේවල් ද සිදුවිය. දේශපාලන පළිගැනීම් සඳහා කැරෙන පවරා ගැනීම්ද සිදුවිය. මෙම පනත සඳහා තිබෙන අවශ්‍යතාව පිළිබඳව රටට කරන හොඳ පැහැදිලි කිරීමකින් තොරව, හා ව්‍යාපාරික අංශවල කැරෙන සංවාදයකින් තොරව මෙවැනි පනතක් කඩිමුඩියේ නීතිගත කරන විට සැකයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

අනෙක් අතට ආණ්ඩුවේ සියලූ ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයක නොපවතී. සියලූ ව්‍යාපාර තිබිය යුත්තේ ලාභ ලබන තත්ත්වයක නම් ආණ්ඩුව පෞද්ගලික අංශයට අතගසන්නට පෙර ආණ්ඩුවේ සියලූ ව්‍යාපාර ලාභ ලබන තැනකට ගෙනා යුතුය.

ශ‍්‍රී ලංකාව විදේශ ආයෝජකයන්ගේ උනන්දුවට හේතුවන රටක් බවට පත්වෙමින් තිබෙන අවස්ථාවක මෙවැනි පනතක් විදේශ ආයෝජකයන් බියගන්වන සංඥාවක් ලෙස ක‍්‍රියාකළ හැකිය. මේ තත්ත්වය දේශීය ආයෝජකයන් කෙරෙහි ද බලපෑ හැකිය. ඒ නිසා ඒ සියලූදෙනාගේ විශ්වාසයට හේතුවන අර්ථකථනයක් ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුය.

පෞද්ගලික අංශයට මගපෙන්වීම් කිරීම වැරදි නැතත්, ඔවුන්ගේ ව්‍යාපාරවලට අනිසි ලෙස ඇඟිලි ගසන්නට යෑම සුදුසු නැත. පුද්ගලික අංශයේ සමහර සමාගම් රටේ ඉදිරි ගමනට ඉතාමත් හානි ලෙස ක‍්‍රියාකරන අවස්ථාද තිබෙන බවද පිළිගත යුතුය. එහෙත් එවැනි ප‍්‍රශ්නවලට තිබෙන විසඳුම ව්‍යාපාරික අංශය පොදුවේ බියගැන්වීමට හේතුවිය හැකි මෙවැනි පනතක් නීතිගත කිරීමද? නිදර්ශනයක් වශයෙන් තාප විදුලි බලය සඳහා ඒවා සපයන සමාගම් විදුලිබල මණ්ඩලය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් මහජනයා පමණක් නොව රජයේ සම්පත්ද ගසාකෑමේ අරමුණින් විදුලිබල විෂයට සම්බන්ධ සමහර ඇමතිවරුන් හා නිලධාරීන්ගේ සහාය ඇතිව ඔවුන්ට ගෙවන විශාල ප‍්‍රතිලාභ හෝ අල්ලස් මත කූට ලෙස ඇති කරගන්නා ලද විනාශකාරී ගිවිසුම් ලෙස සැලකිය හැකිය. විදුලිබල මණ්ඩලය තිබෙන්නේ ඔවුන්ගෙන් විදුලිය මිලදී නොගෙන විදුලි සැපයුම පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකය. එම ව්‍යාපෘති සඳහා කරන ලද ආයෝජන වියදම්වලින් 90%ක්ම දරා තිබෙන්නේ විදුලිබල මණ්ඩලය වුවත් ආයෝජන වියදමට ගැළපෙන ප‍්‍රතිලාභ බෙදීමකින් තොරව සියලූ ප‍්‍රතිලාභ සමාගම් අයිතිකරුවන්ගේ සාක්කුවට ගලා යන ආකාරයට මෙම ගිවිසුම් ඇති කරගෙන තිබෙන්නේ කෙසේද යන්න ප‍්‍රහේළිකාවකි. අවසානයේ මේ අසාධාරණයේ බර පැටවී ඇත්තේද මහජනයාගේ කර මතය.

පුද්ගලික අංශයේ දක්නට ලැබෙන මෙවැනි කූට හා නොමනා ක‍්‍රියාකාරකම් පාලනය කිරීමේ අවශ්‍යතාවක් ඇතත් ඒ සඳහා තිබෙන හරි විසඳුම ව්‍යාපාර අත්පත් කරගැනීමේ බලය ආණ්ඩුවට ලබාදීමද යන්න ප‍්‍රශ්නයකි.

උපුටා ගැනීම : රාවය පුවත්පතෙනි

Tell a Friend