වෙබ් අඩවි තහනම : විද්‍යුත් කැලෑ පත්තර සදාචාරය

| වික්ටර් අයිවන් 
උපුටා ගැනීම රාවය පුවත් පතෙනි

ඊ නිව්ස් වෙබ් අඩවියට ළඟාවීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් දුෂ්කර කර තිබෙන බව වාර්තා විය. ඒ ගැන දේශීය හා විදේශීය ජනමාධ්‍ය සංවිධාන ගණනාවක් විරෝධය ද පළ කොට තිබුණි. ඇමරිකන් හා යුරෝපා සංගමයේ තානාපති කාර්යාලද ඊට විරෝධය පළ කරන නිවේදන නිකුත් කර තිබුණි.

අදහස් පළකිරීමේ නිදහස සීමාකිරීමට ආණ්ඩුව දරන උත්සාහයක් වේ නම් එම තත්ත්වය හෙළා දැකීමේ වගකීමක් ජනමාධ්‍ය සංවිධානවලට ඇතත්, සමහර ප‍්‍රවෘත්ති වෙබ් අඩවි සිදුකැරෙමින් තිබෙන විනාශකාරී ක‍්‍රියාකලාපය මුළුමනින් නොසලකා ඒවා පාලනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පමණක් හෙළා දැකීම කොතරම් සාධාරණද? වෙබ් අඩවි මගින් මුදාහරින ප‍්‍රවෘත්ති මුළුමනින් පාලනය කිරීමේ හැකියාවක් දැනට ශ‍්‍රී ලංකාවට නැත. විදුලි සංදේශ නියාමන කොමිසමට කළහැක්කේ යම් පමණක අවහිර කිරීමක් පමණය. එසේ අවහිර කරන මාර්ගවලට වෙනත් ආකාරවලින් ප‍්‍රවිෂ්ට වීමේ ඡුරදංහ මාර්ග අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනෙක් දනිති.

ඕනෑම සමාජයක් දැනුවත්වන්නේ තොරතුරුවලිනි. අදහස් පළකිරීමේ නිදහස, තොතුරු ලබාගැනීමේ අයිතිය සමග එකට ගැට ගැසී තිබෙන මූලික අයිතියක් ලෙස සැලකිය හැකිය. ජනමාධ්‍ය, මහජනයාට තොරතුරු ලබාදෙන ප‍්‍රධාන මාර්ගයක් ලෙස ක‍්‍රියා කරයි. තොරතුරු ලබාදීමේදී සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාදීමට ජනමාධ්‍ය සදාචාරාත්මක වශයෙන් පමණක් නොව, නීතිමය වශයෙන් බැඳී සිටියි. නිවැරදි නොවන බොරු තොරතුරු පළකරන ජනමාධ්‍යවලට එරෙහිව නීතිමය වශයෙන් ක‍්‍රියා කළ හැකිය. සාම්ප‍්‍රදායික මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය සපයන තොරතුරු විශ්වාසදායක තොරතුරු ලෙස මහජනයා සලකන්නේ ජනමාධ්‍යවලට තිබෙන එම සදාචාරාත්මක හා නෛතික බැඳීම නිසාය. එම බැඳීමට යටත්ව ක‍්‍රියාකිරීමේදී පවා ජනමාධ්‍ය තොරතුරු ප‍්‍රකාශ කරනුයේ පිළිගත් ප‍්‍රතිපත්ති සමුදායක් මත පිහිටාය. පළකරන ප‍්‍රවෘත්තිවල නිවැරදි බව හා සත්‍යතාව තහවුරු කිරීම සඳහා මූලාශ‍්‍ර උපුටා දැක්විය යුතුය. පළකරන ප‍්‍රවෘත්තිවල නිවැරදිභාවයට කතුවරයා හා ප‍්‍රකාශන ආයතනය වගකිව යුතුය. වරදක් සිදුවී ඒ බව අධිකරණයේදී සනාථ වුවහොත් කතුවරයාට හා ප‍්‍රකාශන ආයතනයට වන්දි ගෙවන්නට සිදුවන්නේය.

අයාලේ ගිය නිදහස

ශ‍්‍රී ලංකාවේ ජනතාව ඉලක්ක කොටගෙන පවත්වාගෙන යන වෙබ් අඩවි අතර ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී පිළිගත් සදාචාරාත්මක නියමයන් මුළුමනින් නොසලකා ක‍්‍රියාකරන ප‍්‍රවෘත්ති වෙබ් අඩවි ද ඇත්තේය. ප‍්‍රවෘත්ති වාර්තාකරණයේදී යොදාගත යුතු පිළිගත් ජනමාධ්‍ය සම්ප‍්‍රදායයන් ඔවුන් වැදගත් කොට සලකන්නේම නැත. ඔවුන් ප‍්‍රවෘත්ති වාර්තා කරන්නේ ඒවා සනාථ කිරීම සඳහා යොදා ගැනෙන මූලාශ‍්‍ර උපුටා දැක්වීමෙන් තොරවය. ඒවාහි වැඩි වශයෙන් පළ කැරෙන ප‍්‍රවෘත්ති කිසිම සත්‍ය පදනමක් නැති නිර්මාණය කළ ප‍්‍රවෘත්ති ලෙස සැලකිය හැකය. එවැනි වෙබ් අඩවි නෛතික පදනමක් මත පිහිටා ගොඩනගන ලද ජනමාධ්‍ය ආයතන විසින් පවත්වාගෙන යන වෙබ් අඩවි නොවන අතර ඒවා ලියාපදිංචි කොට තිබෙන්නේද ශ‍්‍රී ලංකාවේ නොව ඇමරිකාව, එක්සත් රාජධානිය වැනි විදේශ රටවලය. ඒ නිසා ඔවුන් පළ කරන අසත්‍ය ප‍්‍රවෘත්තිවලින් හානි සිදුවන පුද්ගලයන්ට නෛතික වශයෙන් සහන ලබාගැනීමේ හැකියාවක් ද නැත. මේ ගණයට වැටෙන වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ විවිධ යටි අරමුණු සඳහා වන අතර එම අරමුණුවලට ගැළපෙන භාවාත්මක ප‍්‍රවෘත්ති නිර්මාණය කොට ඔවුහු අන්තර්ජාලය හරහා බෙදාහරිති.

අන්තර්ජාලය පරිහරණය කරන ජනයා පමණක් නොව, අන්තර්ජාලය පරිහරණය නොකරන ජනයාද රස ඕපාදූප කතා සහිත කැලෑ පත්තර කියවන්නට කැමතිය. කැලෑ පත්තර ලෙස සැලකෙන්නේ ප‍්‍රකාශන නීතිය නොසලකා හොරෙන් ලියා පළ කැරෙන ප‍්‍රකාශනයන්ටය. ඔවුන්ට නෛතික හෝ සදාචාර බැඳීම් නැත. නීති විරෝධී ලෙස පළකැරෙන සමහර ලිංගික ප‍්‍රකාශනවලට හෝ හොර මත්ද්‍රව්‍යවලට තිබෙන ඉල්ලූමට සමාන ඉල්ලූමක් මේ කැලෑ පත්තරවලටද ඇත්තේය. වෙබ් අඩවි ආශ‍්‍රයෙන් පළවෙන කැලෑ පත්තර අන්තර්ජාලය හරහා ප‍්‍රකාශවීම නිසා ඒවාට වඩා ගාම්භීර පෙනුමක් ලැබී ඒවාට ඇතුළත් තොරතුරු විශ්වාස කරන පිරිසක් ද සිටින්නේය. එම විද්‍යුත් කැලෑ පත්තර ආශාවෙන් කියවන සමහර අය ඒවායින් ලබාගන්නා තොරතුරු රසකොට අන්‍යයන්ටද කියන තත්ත්වයක් තුළ මේ ගණයට වැටෙන වෙබ් අඩවි කටකතා පතුරුවන වැදගත් මාර්ගයක් බවට පත්ව තිබෙන බවද කිව හැකිය. ඒ නිසා පරණ මුද්‍රිත කැලෑ පත්තර ක‍්‍රමය නැතිවී අලූත් විද්‍යුත් කැලෑ පත්තර ක‍්‍රමයක් ආරම්භ වී ඇතැ යි ද කිව හැකිය.

පුවත්පතක් පමණක් නොව, පත‍්‍රිකාවක් පළකිරීමේදී පවා අනුගමනය කළයුතු නීති සම්ප‍්‍රදායයක් පවතී. පත‍්‍රිකාවක් නම් පත‍්‍රිකාව පළකරන්නාගේ නම, ලිපිනය හා මුද්‍රණය කළ මුද්‍රණාලයේ නම සඳහන් විය යුතුය. එසේ නොවන පති‍්‍රකා සැලකෙන්නේ නීති විරෝධී පත‍්‍රිකා ලෙසය. පුවත්පත් සඳහා පමණක් නොව, රූපවාහිනිය, ගුවන්විදුලිය වැනි විද්‍යුත් මාධ්‍ය සඳහා ද බලපාන නීතිරීති පවතී. පුද්ගලයකු කෙරෙහි හානියක් හෝ නින්දාවක් ඇති කරන අසත්‍ය ප‍්‍රවෘත්ති පළකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදකදී වරදෙහි වගකීම පැවරෙන්නේ ප‍්‍රකාශනය භාරව ක‍්‍රියාකරන ප‍්‍රධාන ජනමාධ්‍යවේදියාට හා ප‍්‍රකාශන ආයතනයේ හිමිකරුටය.

මෙය සියලූ ප‍්‍රකාශන සඳහා පොදුවේ බලපාන නෛතික තත්ත්වයන් නම් ඒ නීති රීති සමාජ යහපත සලකා ඇති කරන ලද නීතිරීති ලෙස අපි සලකමු නම් හා ඒවා අදහස් පළකිරීමේ නිදහස පාලනය කරන නරක නීතිරීති ලෙස අපි නොසලකමු නම්, මෙම පොදු තත්ත්වය ඉක්මවා නිදහසේ බඩ පිනුං ගැසීමට කැලෑ පත්තර ස්වරූපයකින් පවත්වාගෙන යන වෙබ් අඩවිවලට පමණක් ඉඩ ලැබිය යුත්තේ ඇයි? සදාචාරාත්මක හා නෛතික බැඳීමකින් තොරව ක‍්‍රියාකිරීමේ අයිතිය අන් කිසිවකුට නොලැබේ නම් අදහස් පළකිරීමේ නිදහසේ නාමයෙන් ඔවුන්ට පමණක් ඒ අයිතිය ලැබිය යුත්තේ ඇයි?

සත්‍ය පදනමකින් තොර කතා

ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස කෙරෙහි මහජන පිළිකුලක් ඇති කිරීමේ අදහසින් ගොතා පතුරුවා හරිනු ලැබූ නිරුවත් කන්‍යාවන් හත්දෙනකු ජනාධිපතිවරයා කිරි කළවලින් නැහැවීමේ කතාව මහජනයා අතර විදුලි වේගයෙන් පැතිරයමින් තිබුණු කටකතාවක් බවට පත්ව තිබෙන අවස්ථාවකදී, විකල්ප පුවත්පතක් විසින් එම කටකතාව සත්‍ය වාර්තාවක් ලෙස පළකිරීම නිසා එය ඇත්තට සිදුවී තිබෙන දෙයක් ලෙස සලකන තත්ත්වයක් මහජනයා අතර ගොඩනැගුණි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයේදී මාගේ සහාය දෙන ලද්දේ දෝෂාභියෝගය වෙනුවෙන් පෙනීසිටියවුන්ටය. එහෙත් දෝෂාභියෝග ලියවිල්ල කියවූ පසුව මට ඒ ගැන ඇතිවූයේ ප‍්‍රසාදයක් නොව අප‍්‍රසාදයකි. එම ලියවිල්ලට, සත්‍ය පදනමක් නැති, ජනාධිපතිවරයා කෙරෙහි මහජන පිළිකුලක් ඇති කිරීමට හේතුවන කටකතාද ඇතුළත් කර තිබුණි. මම ඒ ගැන ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් ප‍්‍රශ්න කළෙමි. චෝදනා කිරීමට සත්‍ය කරුණු තිබියදී කිසිම පදනමක් නැති කටකතා ඇතුළත් කිරීමෙන් වරදක් සිදුවී ඇති බව ඔහු පිළිගත්තේය. එහෙත් ඒ වරද තමන් අතින් සිදුවූ දෙයක් බව ඔහු පිළිගත්තේ නැත. වෙනත් නායකයන්ගෙන් එල්ල වූ බලපෑම් නිසා තමන්ද ඊට විරුද්ධ නොවූ බව ඔහු කීවේය. එහෙත් මා ඔහුගේ අර්ථකථනය පිළිගත්තේ නැත. තීරණාත්මක දේශපාලන අරගලයකදී ප‍්‍රතිවාදියා ඕනෑම ආකාරයකින් විනාශ වනවා දකින්නට අනෙක් පක්ෂය කැමතිය. එවැනි අවස්ථාවකදී කටකතා ඉටු කරන වැදගත් කාර්යභාරය ගැන ඔවුහු දන්නෙහුය. ප‍්‍රශ්නගත වෙබ් අඩවි සම්බන්ධයෙන් ජනමාධ්‍ය සංවිධාන දක්වන ආකල්පයද ඊට සමානය. විද්‍යුත් කැලෑ පත්තර ගණයෙහිලා සැලකිය හැකි මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන විනාශකාරී භූමිකාව ගැන ඔවුන් නොදන්නේ නැත. එහෙත් ආණ්ඩු විරෝධී ගතිකත්වය පවත්වාගෙන යෑම සඳහා ඒවා විසින්ද වැදගත් දේශපාලන කාර්යභාරයක් ඉටුකරන්නේයැ යි ඔවුහු විශ්වාස කරති. එවැනි වෙබ් අඩවිවල අශීලාචාර ස්වභාවය නොසලකා ඔවුන් ඒවා පාලනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පමණක් විවේචනය කරන්නේ ඒ නිසාය.

2010 ජනාධිපතිවරණය කාලයේදී ප‍්‍රංශයේ සිට පවත්වාගෙන ගිය ආණ්ඩු විරෝධී වෙබ් අඩවියක් ගැන එය පවත්වාගෙන ගිය ශ‍්‍රී ලාංකිකයකු විසින් පසුකලකදී ඔහුගේ මිතුරකුට කරන ලද පාපෝච්චාරණයක් ඒ මිතුරා මගින් මට අසන්නට ලැබුණි. එම වෙබ් අඩවිය ප‍්‍රංශයේ සිට පවත්වාගෙන ගිය පුද්ගලයා කෙටි කලක් රාවයටද වැඩ කළ පුද්ගලයෙක් විය. විවිධ ආයතනවල විවිධ සේවාවන් කිරීමෙන් පසුව ඔහු ප‍්‍රංශයට පලා ගොස් තිබුණේ ජීවිතය පිළිබඳව ඇති කරගත් ලොකු බලාපොරොත්තු ඇතිවය. එහෙත් ඔහුගේ ප‍්‍රංශ ජීවිතය යහපත් හෝ සාර්ථක එකක් නොවීය. යුද්ධය පැවති උණුසුම් කාලයේදී ඔහුට රාජපක්ෂ විරෝධී වෙබ් අඩවියක් ප‍්‍රංශයේ සිට පවත්වාගෙන යෑම සඳහා ලංකාවෙන් ඇණවුමක් ලැබුණේය. ඔහුට ඒ සඳහා හොඳ ගෙවීමක් ලැබුණු අතර ඔහු වෙත පැවරුණු වගකීම වූයේ ලංකාවෙන් ලබාදෙන තොරතුරු ප‍්‍රයෝජනයට ගෙන එම වෙබ් අඩවි පවත්වාගෙන යෑමය. රාජපක්ෂ ආණ්ඩුවට මර්දනය කළ නොහැකි ඉසව්වක සිට රාජ්‍ය පාලකයා ශ‍්‍රී ලංකාවේ මහජනයා අතර පිලිකුළට හේතුවන ප‍්‍රවෘත්ති පළකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.

යුද්ධය පැවති කාලයේදී ඊ නිව්ස් වෙබ් අඩවියේ වැඩ කළ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකු රාජපක්ෂ පවුලේ අත්පත් කරගැනීම් පිළිබඳව පළ කරන ලද වාර්තාවක් නිසා ඔහුට මුහුණ දෙන්නට සිදුවූ උද්වේගකර තත්ත්වයක් පිළිබඳව මට කියා තිබුණි. රාජපක්ෂ පවුල වයිට් හවුස් නමින් වන කොළඹ අවට ඇති මහා මන්දිරයක් මිලදී ගත් බව ඔහු එම වෙබ් අඩවිය මගින් වාර්තා කළේය. ඔහුට මේ කතාව ලැබී තිබුණේ ශ‍්‍රීපති සූරියආරච්චිගෙනි. එම මිලදී ගැනීමට අදාළ සියලූ ලියවිලිවල පිටපත් තමා ළඟ ඇති බවටද ශ‍්‍රීපති එම ජනමාධ්‍යවේදියාට කියා තිබුණේය. ජනමාධ්‍යවේදියා එම ප‍්‍රවෘත්තිය වාර්තා කළේ ඒ ගැන ශ‍්‍රීපතිගෙන් ලැබුණු තොරතුරු කෙරෙහි පූර්ණ විශ්වාසය තබාය. ඒ ගැන ලියන ලද කතාව වෙබ් අඩවිය නරඹන්නන් අතර මහත් කතාබහට හේතුවූ උණුසුම් ප‍්‍රවෘත්තියක් බවට පත්විය. වෙබ් අඩවියේ පළවූ මෙම ප‍්‍රවෘත්තිය දකින්නට හෝ අසන්නට ලැබී ඒ ගැන ජනාධිපතිවරයා කෝපයෙන් කතා කර ඇති බව ජනමාධ්‍යවේදියාට දැනගන්නට ලැබී ආරක්ෂාව සඳහා තවදුරටත් සියලූ තතු හෙළිදරව් කළයුතුයැ යි සිතාගෙන ඔහු ශ‍්‍රීපති හමුවන්නට ගියේය. එහෙත් ශ‍්‍රීපති ළඟ මොනම ලියවිල්ලක්වත් නැති බව දැනගත් විට තමා මුලා කිරීම ගැන ඔහු ශ‍්‍රීපතිට කෝපයෙන් දොස් පැවරුවේය. මේ කතාව එම ජනමාධ්‍යවේදියාගෙන් අසන්නට ලැබුණු විට මා දොස් පැවරුවේ ශී‍්‍රපතිට නොව එම ජනමාධ්‍යවේදියාටය. එය බොරුවක් බව දැනගන්නට ලැබුණු පසුත් එම වාර්තාව නිවැරදි කිරීමක් සිදුනොවීය. එසේ කළේ නම් වෙබ් අඩවිය කෙරෙහි ගොඩනැගී තිබුණු පාඨක විශ්වාසය හීනකරන සාධකයක් ලෙස ක‍්‍රියාකරන්නට ඉඩ තිබුණේය.

කප්පම් ලබන මාර්ගයක් ලෙස

දැන් මා කියන්න යන්නේ මෙම විශේෂ ප‍්‍රපංචය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් වන තවත් කතාවකි. ශ‍්‍රී ලංකාවේ උන්නතිකාමී තරුණ නීතිඥයකු ඉක්මනින් මුදල් උපයා ගැනීමේ අරමුණින් අනුන්ගේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු ලියාදෙන ජාවාරමකට පැටලූණේය. මේ කූඨ ජාවාරම අල්ලා ගැනීමට වංචා විමර්ශන අංශය සමත් විය. තරුණ නීතිඥයා සිය ආරක්ෂාව සඳහා එක්සත් රාජධානියට පලා ගියේය. තමන්ට එරෙහිව පවරන නඩුවෙන් තමන් වරදකරු වූ පසු තමන් නැවත ලංකාවට පිටුවහල් කිරීම වළකාගැනීම පිණිස ඔහු කළේ රාජපක්ෂ විරෝධී වෙබ් අඩවියක් ඔහුගේ නමින් එහි ආරම්භ කිරීමය. ඒ මගින් ඔහු එංගලන්තයේ සිට මෙහි රාජපක්ෂ විරෝධී මතවාදී අරගලය මෙහෙයවන වැදගත් නියමුවකු බවට පත්වූවේය. විරුද්ධ පක්ෂ මතධාරීන් අතරද පිළිගැනීමක් හිමිකර ගත්තේය. දැන් ඔහුට නඩුවෙන් මොනවා වුවත් එය දේශපාලන පළිගැනීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ දෙයක් ලෙස පෙන්වා තවදුරටත් එහි රැුඳී සිටීමට උත්සාහ කළ හැකිය. එක්සත් රාජධානියේ මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන තරුණ නීතිඥයාගේ ව්‍යාජ ඔප්පු නඩුව පිළිබඳව විස්තරයක් ඉක්බාල් අතාස් විසින් සන්ඬේ ටයිම්ස් පුවත්පතට වාර්තා කර තිබුණි. මෙම උන්නතිකාමී තරුණ නීතිඥයා එක්සත් රාජධානියට පලායෑමෙන් පසුත් අයථා ලෙස මුදල් ඉපැයීම සඳහා ඇති කරගෙන තිබුණු පුරුද්ද අත්හළේ නැත. ඔහු ඒ අරමුණ සඳහා ඊළඟට සිය වෙබ් අඩවිය පාවිච්චි කරන තැනකට ගියේය.

ඡුඔෂ ෆිනෑන්ස් හා ස්වර්ණමහල් ෆිනෑන්ස් යන ෆිනෑන්ස් සමාගම්වල හිමිකරු වන ජීවක එදිරිසිංහ ඔහුගේ ව්‍යාපාර රුපියල් බිලියන 4කට විකුණා රටින් පලායෑමට දරන ලද අසාර්ථක උත්සාහයක් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට මැදිහත්වී එය වැළකීමේ සිද්ධියක් ගැන ඔහු සිය වෙබ් අඩවියේ ප‍්‍රවෘත්ති පළ කළේය. එහි, ඔහුගේ අරමුණ වූ බව පෙනෙන්නට තිබෙන්නේ, මෙම ෆිනෑන්ස් සමාගම් දෙකේ තැන්පතුකරුවන් අතර විමතියක් ඇති කොට ඔවුන්ගේ තැන්පත් ඉල්ලා සිටින තත්ත්වයක් ඇති කොට තමන් නිර්මාණය කළ එම අර්බුදය ප‍්‍රයෝජනයට ගනිමින් සමාගම් දෙකට එරෙහිව කරන ප‍්‍රචාරයෙන් වැළකී සිටීම සඳහා සමාගම් දෙකේ හිමිකරුගෙන් ලොකු කප්පමක් ලබාගැනීමය. ඔහු අපේක්ෂා කළ ආකාරයටම මෙම කතාව තැන්පතුකරුවන් අතර පැතිර යෑම නිසා තමන්ගේ තැන්පතු ආපසු ලබාගැනීම සඳහා තැන්පතුකරුවන් අතර ලොකු පෝලිමක් ඇතිවී සමාගම් දෙකම විශාල අර්බුදයකට තල්ලූ විය. හිමිකරුවා හිස ගිනිගත් තත්ත්වයක සිටින අවස්ථාවක වෙබ් අඩවියේ දේශීය නියෝජිතයන් දෙදෙනෙක් සමාගම් දෙකට එරෙහිව කැරෙන නරක ප‍්‍රචාරය අත්හැරීම සඳහා හිමිකරුගෙන් රුපියල් මිලියන 50ක කප්පමක් ඉල්ලා සිටියෝය. කප්පම් ඉල්ලා සිටින නියෝජිතයන් දෙදෙනාට හිමිකරු සමග සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබා දුන් අතරමැදියා ලෙස ක‍්‍රියාකර ඇත්තේ සමාගම් දෙකේ හිමිකරුවා සමග හිතවත් සම්බන්ධයක් තිබුණු ආණ්ඩුවේ ආයතනයක ප‍්‍රධානියෙකි. ව්‍යාපාරික අංශයේ තතු දත් සමහර අයගේ මතය වන්නේ මෙම මැදිහත්වීම කළ ආණ්ඩුවේ ආයතනයේ ප‍්‍රධානියාද මෙම සාහසික වැඩපිළිවෙළට සම්බන්ධ බවය.ලැබෙන කප්පමෙන් 50%ක් තමන්ගේ සාක්කුවට දමාගැනීමට එම පුද්ගලයා අපේක්ෂා කළ බවය.

මෙම කූඨ වැඩපිළිවෙළ ඉන් නතර වූයේ නැත. ඛධඛක්‍ සමාගමේ හිමිකාර ඉෂාර නානායක්කාරට එරෙහිව සේ ම සොෆ්ට්ලොජික් සමාගමේ අශෝක පතිරගේට එරෙහිවද එවැනි ව්‍යාපාරයක් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන ගියේය. එය පුද්ගලික අංශයේ පවතින දූෂණයට එරෙහිව අවංක අරමුණින් කරන ලද වාර්තාකරණයක් ලෙස පෙනෙන්නේ නැත. ඒ වෙනුවට පෙනෙන්නේ නරක යටි අරමුණක් ඇතිව පවත්වාගෙන ගිය වාර්තාකරණයක් ලෙසය.

නීතියට යටත් කිරීමේ අවශ්‍යතාව

මෙවැනි සමාජ විරෝධී ප‍්‍රවණතාවන්ට ඉඩදීම භයානකය. රාජපක්ෂ ආණ්ඩුව වෙනස් කිරීමේ ඇත්ත වුවමනාවක් මහජනයාට තිබෙන්නේ නම් ඒ සඳහා වන නිදහස මහජනයාට තිබිය යුතුය. එහෙත් ආණ්ඩු විපර්යාසයක් සිදුවිය යුත්තේ ඇත්ත පදනම් කොටගෙන මිස බොරුව පදනම් කොටගෙන නොවේ. ආණ්ඩුවල පැවැත්ම සඳහා බොරුව යොදා ගැනීම වරදක් වන තරමට, ආණ්ඩු වෙනස් කිරීමේ උත්සාහයන් සඳහා බොරුව යොදා ගැනීම සැලකිය යුත්තේද ඒ සමාන වරදක් ලෙසය.

දැනට විද්‍යුත් කැලෑ පත්තර යොදාගනිමින් තිබෙන්නේ සැඟවුණු වෙනත් යටි අරමුණු සමග ආණ්ඩු විරෝධී ප‍්‍රචාරක කටයුතු සඳහාය. වැරදිලාවත් එම භයානක අවිය, ආණ්ඩුව, විරුද්ධ පක්ෂවලට එරෙහිව පාවිච්චි කරන තත්ත්වයක් ඇතිවුවහොත් ඇතිවන තත්ත්වය කුමක්ද? එය තවදුරටත් පැතිරී අභ්‍යන්තර ආරාවුල් ඇති පක්ෂ ප‍්‍රතිපක්ෂ කණ්ඩායම්වලට එරෙහිව පාවිච්චි කරන තත්ත්වයක් ඇතිවුවහොත් එවිට ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? රටේ දේශපාලන සංස්කෘතිය තිබෙන්නේ අශීලාචාර තත්ත්වයකය. ඒ තත්ත්වය ආපසු හරවන්නට උත්සාහ කරනවා විනා තවදුරටත් වර්ධනයවීමට ඉඩ නොතැබිය යුතුය. මෙය ජාත්‍යන්තර වශයෙන්ද අවධානයට යොමුවිය යුතුව තිබෙන වැදගත් කරුණකි. මුදල් ඇති ඕනෑම පුද්ගලයකුට නෛතික හා සදාචාරාත්මක බැඳීමකට යටත්වීමෙන් තොරව වෙබ් අඩවි ආරම්භ කිරීමට තිබෙන ඉඩ සීමා කළ යුතුය. ඒ සියලූදෙනා සමාජ වගකීමක් ඇතිව හා නෛතික බැඳීමක් ඇතිව ක‍්‍රියාකරන්නන් බවට පත් කළ යුතුය. අදහස් පළකිරීමේ නිදහසට අන්තර්ජාලයෙන් ලැබී තිබෙන අවකාශය ඉතා වැදගත් වුවත් එය වල්බූරු නිදහසක් බවට පරිවර්තනය වන්නට ඉඩදීම භයානකය.