The Most/Recent Articles

Showing posts with label සිරිසේන. Show all posts
Showing posts with label සිරිසේන. Show all posts

කුමන්ත්‍රණය අවසානයි – ඉදිරියට ? (2)






– සුනන්ද දේශප්‍රිය –





සිරිසේන - රාජපක්ෂ කුමන්ත්‍රණයේ සහායකයෝ ජනමාධ්‍යයි





සිරිසේන – රාජපක්ෂ කුමන්ත්‍රණය විසින් ඉස්මත්තට ගෙන එන ලද වැදගත් කාරණයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය භූමිකාව පිළිබද ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම නම් මෙරට ජනමාධ්‍ය බහුතරය එකී කුමන්ත්‍රණ සහායකයෝ බවට පත් වූහ.





පසුගිය සටහනෙහි අප කතා කළ එකිනෙකින් ස්වාධීන එමෙන්ම එකිනෙක තුලනය සහ සංවරණය කැරෙන ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණූ තුන, එනම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැරුණු විට හතරවැනි කුළුණ ලෙස සැලකෙන්නේ නිදහස් ජනමාධ්‍යය යි. මන්ද යත් පෙර කී කුළුණු තුනම පිළිබඳ හරවත් සංවාදයන් ජනතාව කරා ගෙන යෑමටත් එම කුළුණූ තුනම පිළිබඳ මහජන සුපරීක්ෂාකාරීත්වය පවත්වා ගැනීමටත් ඇති වේදිකාව ජනමාධ්‍ය වන නිසා ය.





එසේ නමුත් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ජනමාධ්‍ය සලකන්නේ දේශපාලන ප්‍රචාරක ආයතන වියයුතු ඒවා ලෙස ය. මේ බව වඩාම පැහැදිලි වන්නේ රාජ්‍ය පාලිත මාධ්‍ය සම්බන්ධයෙන් එකී පක්ෂ දක්වන ආකල්පයෙනි.









රාජපක්ෂ මැර බලය









රාජපක්ෂ මැර පිරිස් කුමන්ත්‍රණයට පසුදාම රාජ්‍ය මාධ්‍ය ආයතනයන්ට කඩා වැදී බලහත්කාරයෙන් එ්වා සියතට ගත්තේ ඒ නිසා ය. ඊටත් වඩා කණගාටුදායක කාරණයක් වූයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් රාජපක්ෂ සමයෙහි සටන් කළ මාධ්‍යවේදීන් ගණනාවක් සිරිසේන විසින් මෙම මාධ්‍ය ආයතනයන්හි ප්‍රධාන තනතුරුවලට පත් කිරීම යි. අවසානයේදී අනෙක් සමහර මාධ්‍යවේදීන් මෙන්ම ඔවුහු ද ජාතිවාදය සමඟ මුසු කරන ලද බොරු, පුවත් ලෙස ඉදිරිපත් කළහ.





මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉදිරිපෙළ සටන් කරන ලද බොහෝ දෙනෙක් 1994 සිට රාජ්‍ය ස්තෝත්‍ර ගායකයින් බවට පත් වූහ. ඉන් අයෙක් රාජපක්ෂ සමයෙහි ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ නෑසූ විරූ මර්දනයේ අපරාධ සහායකයින් බවට ද පත්වූහ. මෙවර සිදුවූයේ ද ඊට නොදෙවෙනි ක්‍රියාවලියකි. එනම් දේශපාලන කුමන්ත්‍රණයක සහායකයින් බවට නිදහස් මාධ්‍ය ක්‍රියාධරයින් පත්වීමයි.









මාධ්‍ය කාටද ?









මෙම සටහන ලියමින් සිටින අවස්ථාවෙහි ලැබුණූ ට්වීටර් පණිවිඩයක් මගින් කියැවෙන්නේ එජාප ආණ්ඩුවේ මාධ්‍ය ඇමැති සමරවීර සහ ජනපති සිරිසේන එක්ව රාජ්‍ය මාධ්‍ය බෙදා ගන්නා අන්දම පිළිබඳව එකඟත්වයකට එළඹ ඇති බවයි. ඔවුන්ට අනුව පොදු අයිතියට අයත්, රාජ්‍ය විසින් අයුතු ලෙස පාලනය කරන එකී ජනමාධ්‍ය ඔවුන්ගේ දේපලකි. සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට වීදි අරක් ගත් ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයට පිටුපා එජාපය යන සුපුරුදු ගමනෙහි තවත් හැරවුම් ලක්ෂයක් රාජ්‍ය මාධ්‍ය තවදුරටත් දේශපාලන අතකොළු වශයෙන් පවත්වා ගැනීමෙන් සනිටුහන් වෙයි.





1973 ජූලි මාසයෙදී සිරිමා බණ්ඩාරනායක විසින් කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂයන්හි ඉල්ලීම සහ සහයෝගය ඇතිව ලේක්හවුසිය (ANCL) සිය පාලනයට ගන්නා තුරු මෙරට රාජ්‍යයට අයත් පුවත්පත් තිබුණේ නැත. 1977 අගෝස්තුවෙහි දී ජේ.ආර්. ජයවර්ධන ලංකාදීප සහ ටයිම්ස් ඔෆ් සිලෝන් ප්‍රකාශයට පත් කළ ටයිම්ස් ඔප් සිලෝන් ලිමිටඩ් (TOCL) සිය යටතට ගත්තේ ය. (බංකොලොත් වූ එම සමාගම පසුව රංජිත් විජේවර්ධන විසින් 1985 දී මිලට ගෙන අද පවතින විජය ප්‍රකාශන දක්වා දියුණූ කරන ලදී.) 1979 දී ෂාන් වික්‍රමසිංහ විසින් ITN රූපවාහිනිය ආරම්භ කර දෙමසක් ගතවන විට ජේ.ආර්. ජයවර්ධන එය ද සිය යටතට ගත්තේ ය. ජාතික රූපවාහිනිය යැයි වරදවා නම් කර ඇති, එකී ආයතනය ආරම්භ කරන ලද්දේ ජපානය විසින් මහජන සේවා ජනමාධ්‍යයක් ලෙස පවත්වා ගෙන යාම පිණිස දෙන ලද මුල්‍ය සහ තාක්ෂණික ආධාර මත ය.





සිරිමාවෝ




ආරම්භක වසර කිහිපයෙන් පසු අද දක්වාම මෙම රාජ්‍ය පාලිත දැවැන්ත මාධ්‍ය යන්ත්‍රය පවතින්නේ බලයට පත්වන දේශපාලන පක්ෂය විසින් දේශපාලනිකව පාලනය කරන ගැති සහ ජඩ මාධ්‍ය ආයතන ලෙස ය. මෙම ආයතන ස්වාධීනව කටයුතු කරන ජන මාධ්‍ය බවට පත් කරන ලෙස අප විසින් කලක් මුළුල්ලේ මතවාදයක් ද ව්‍යාපාරයක් ද ගොඩ නැගූ නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් ඊට දායක වූයේ නැත. එම ව්‍යාපාරය ගොඩ නැගීමට දායක වූ පුද්ගලයින් ගණනාවක් ම දේශපාලන අනුග්‍රහයෙන් එම ආයතනයන්හි ප්‍රධානීන් බවට පත්ව ජඩ මාධ්‍ය භාවිතාවෙහි ම යෙදුණි.









තොරතුරු දැනගන්නට උනන්දුවෙන් පසුවූ ජනතාව





සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු තොරතුරු දැන ගැනීමේ උනන්දුව සමාජයෙහි උත්සන්න විය. එසේ නමුත් මුල්පෙළ විද්‍යුත් මාධ්‍ය ආයතන සියල්ල ම වාගේ රාජපක්ෂවාදී මාධ්‍ය භාවිතයක යෙදී සිටි අතර රාජ්‍ය මාධ්‍ය සිරිසේනගේ දේශපාලන පත්වීම් විසින් අල්ලාගෙන තිබුණි. නමුත් මේ සියළු මාධ්‍ය ජනයාට කියා සිටියේ තමන් ඇත්ත මිස වෙන යමක් නොකියන බවයි. එය අමූලික බොරුවකි. පුද්ගලික මාධ්‍ය ආයතනයන්ට රාජපක්ෂවාදී වීමට හෝ රනිල්වාදී වීමට හෝ අයිතියක් තිබේ. එවැනි භාවිතාවක යෙදෙන්නේ නම් එම ආයතනයන්ට ස්වකීය දේශපාලන නැඹුරුව සිය ග්‍රාහකයිනට දැනුම්දීමට යුතුකමක් තිබේ.









ප්‍රවෘත්ති පූජනීය යි ; අදහස් නිදහස් ය





එසේ වතුදු ජනමාධ්‍ය භාවිතයෙහි ස්වර්ණමය රීතිය වන ‘ප්‍රවෘත්ති පූජනීය යි; අදහස් නිදහස් ය’ යන්න සියල්ලන් විසින් ම අනුගමනය කළ යුතුය. ඉන් කියැවෙන්නේ ප්‍රවෘත්ති විකෘති නොකළ යුතු අතර ඊට සපයන විවරණ වෙන වෙනස් විය හැකි බවයි. නමුත් විකාශනය කරන පුවත් මොනවාදැ යි තීරණය කිරීම මගින් පක්ෂග්‍රාහී භාවිතයක යෙදීමට ජනමාධ්‍යයට ඉඩ තිබේ. ආදායම් ලබන ව්‍යාපාරයක් ලෙස ජනමාධ්‍ය පවත්වාගෙන යෑම කරවල විකිණීමට වඩා වෙනස් ය. කරවල විකිණීමට පවා නිසි ප්‍රමිතීන් තිබිය යුතු අතර ජනමාධ්‍ය සඳහා ප්‍රමිතීන් මෙන්ම ආචාර ධර්ම ද තිබිය යුතුය. එසේ නමුත් අද මෙරට කරවල වෙළඳාම සහ ජනමාධ්‍ය විකිණීම අතර එතරම් වෙනසක් බොහෝ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් දැකිය නොහැකිය.





සිරිසේනගේ කුමන්ත්‍රණය විසින් ඇතිකළ කැළඹීම තේරුම් ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමට ඊනියා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අසමත් වූ බැවින් එම තැන ගත්තේ සමාජ මාධ්‍ය යි. විශේෂයෙන්ම මුහුණු පොත එහිලා මූලික විය. එහි අදහස් පූජනීයයි යන රීතිය සැලකෙන්නේ ම නැති තරම් ය. සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහි විරෝධය ලැව් ගින්නක් සේ පැතිර ගියේ සමාජ මාධ්‍ය විසින් සපයන ලද අවකාශය නිසාය. මේ අවකාශය එකවරම ගින්න ඇවිලවීම පිනිස භූමිතෙල් ද ගින්න පිළිබඳ අදහස් හුවමාරුව සඳහා වේදිකාවක් ද නිර්මාණය කළේ ය.









#SriLanka / #LKA ට්වීටර් ජාලය









වඩා සංවරයකින් යුතු ප්‍රවෘත්ති කෙරෙහි වගවීමක් සහිත සමාජ මාධ්‍ය බවට පැමිනුණේ ටිවීටර් අවකාශය යි. අනෙත් අතට එය ඉංග්‍රිසි බසින් එසැණින් තොරතුරු වාර්තාවන ජාලය බවට ද පත්විය. ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් දෙස දෙස් විදෙස් අවධානය ඉස්මත්තට ගිය ඔක්තෝබර් අග සිට දෙසැම්බර් මැද දක්වා වූ කාලයෙහි #SriLanka / #LKA ට්වීටර් ජාලය ප්‍රධානතම එසැණ පුවත් මූලාශ්‍රය බවට පත් විය.





ඊට ප්‍රතිවිරුද්ධව ෆේස්බුක් නොහොත් මුහුණු පොත කාටූන්, විත්‍ර, දේශපාලන හාස්‍ය, කෙටි අදහස්, පුද්ගල අත්දැකීම් යනාදිය මගින් විවරණ සපයන වේදිකාවක් බවට පත් විය. කිසිදු මූලාශ්‍රයක් හෝ වාර්තාව සපයන මාධ්‍යවේදියා හෝ වේදිනියගේ නම නොමැතිව හෝ සහමුලින්ම ව්‍යාජ නමින් පළ කැරෙන වෙබ් අඩවි පුවත් ද මුහුණූ පොත අරක් ගත්තේ ය.





සිරිසේන කුමන්ත්‍රණය නිසා ඇතිවූ මහජන උද්යෝගයට සරිලන වගකීමෙන් යුතු ජනප්‍රිය අඩවියක්/පිටුවක් මුහුණූ පොත හරහා බිහිවූයේ ද නැත. එහි ජනප්‍රිය වූයේ කැපී පෙනෙන දේශපාලන ලැදියාවන්ගෙන් යුතු පිටු ය. මෙම දුබලතා තිබියදීත් සිංහල බසින් පවත්නා මුහුණූ පොත් අවකාශය ‘ප්‍රධාන ධාරාව’ බවට පත් විය. බහුතර ජනයාට තමන්ගේ ජංගම දුරකතනය මගින් ළගා විය හැකි ලෙහෙසි ම මාධ්‍ය එයයි. සමහර විට එහි සාර්ථකත්වයට එක් හේතුවක් වන්නේ බරපතල දේශපාලන සංවාද මැද හාස්‍ය ද උත්පාදනය කිරීමට මුහුණූ පොත්කරුවන්/කාරියන්ගේ ඇති දක්ෂතාවය යි.





මෙම කාලය තුළ අත්දකින්නට ලැබුණු තවත් මාධ්‍ය වර්ධනයක් වූයේ එතෙර සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සම්බන්ධ වෙබ් පුවත් අඩවි පසුකරමින් රට තුළ පිහිටි වෙබ් මාධ්‍ය වඩ වඩා ග්‍රාහකයින් කරා ළගා වීම යි. මෙම කාලය තුළ තමන්ගේම වෙබ් මාධ්‍ය ගණනාවක් නිර්මාණය කර ගැනීමට එජාප දේශපාලනඥයෝ කිහිප දෙනෙකු මූලිකත්වය ගත්හ. එනමුත් සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණය පැරදවීමට මහත් වැඩ කොටසක් කළ, ජවිපෙ හෝ දෙමළ සන්ධානය හෝ එවැනි වර්ධනයක් අත් කර ගත්තේ නැත.









ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ කරළියට ඒම









දැන් අප, පශ්චාත් සිරිසේන කුමන්ත්‍රණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයෙහි අත්‍යවශ්‍ය අංගයක් ලෙස ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගත යුතුය. එමෙන්ම ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය පිළිබඳ සංවාදය ද යළි සෑම මාධ්‍ය අවකාශයක ම සාකච්ජාවට ගත යුතු ය.





19වන සංශෝධනය සාකච්ජා වෙමින් තිබූ අවස්ථාවෙහි රාජ්‍ය ජනමාධ්‍ය ද ස්වාධීන කොමිසමක් යටතට පත් නොකරන්නේ නම් තමන් සහාය නොදෙන බව ප්‍රකාශ කීරීමට ජවිපෙ සහ දෙමළ සන්ධානය පියවර ගත්තේ නම් ලෙහෙසියෙන්ම එම ප්‍රජාතන්ත්‍රවාදී ජය දිනා ගන්නට ඉඩ තිබුණි. මෙම පක්ෂ දෙකටම පෙනෙන අනාගතය තුළ, තමන්ගේ ම හෝ තමන් ද හවුල් වූ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි ය. එසේ තිබියදීත් ඔවුහු රාජ්‍ය පාලිත ජනමාධ්‍ය බලයේ සිටින පක්ෂයේ බූදලයක් ලෙස ලියා දීමට කැමැත්තෙන් සිටින්නේ ද යන ප්‍රශ්නය අද තීරණාත්මක ය.





කලාකරුවන් පෙරමුණට




සිවිල් සමාජ ක්‍රියාධරයන් ලෙස අප ඍජුව ම මුහුණ දෙන ප්‍රශ්නයක් නම් දේශපාලන පක්ෂ මතවාදයන්ට පිටින් ස්වාධීන මාධ්‍ය අවකාශයක් නිර්මාණය කර ගැනීම හෝ පවත්නා අවකාශ ශක්තිමත් කිරීමයි. මෙහිලා ද කර්තෘ කේන්ද්‍රීය වෙබ් මාධ්‍යයන්ගෙන් බැහැර වීම අවශ්‍ය ය.





මර්දනකාරී රාජ්‍යයකට එරෙහි ගරිල්ලාභටයකු විනය, අතනෑර සිටීම, මතවාදී නිරවුල් බව යනාදිය පමණක් නොව තුවක්කුව පාවිච්චි කිරීමට ද අනිවාර්යයෙන් ම ඉගෙන ගත යුතුය. අද යුගයෙහි සමාජ ජාල භාවිතය පුහුණු වී දියුණු කර නොගන්නා සිවිල් සමාජ ක්‍රියාධරයකු සමාන වන්නේ වෙඩි තැබීමට නොදන්නා ගරිල්ලා භටයකුට ය.





නිපුණ සමාජ ජාල ක්‍රියාකාරීන්/කාරිනියන් සියයක් රට පුරා විසිරී ජාල ගතව සිටින සිවිල් සමාජ සංවිධානයක් ඇත්නම් එය අද කොතරම් බලවත්වනු ඇත්දැයි නිකමට සිතන්න. එය දහසක් බවට පත්වුවහොත් ඇත්ත පුවත් වාර්තා කිරීමේත් මත නිපදවීමේත් කොතරම් ශක්තියක් එවැනි ජාලයකට හිමිවනු ඇත්ද?









කළයුත්තේ කුමක්ද ?









ප්‍රධාන ධාරාවේ ගැති මාධ්‍ය හැසිරීම විවේචනය කරන ජනමාධ්‍යවේදිනියන් සහ වේදීන් එක්ව මුල්‍ය දායකත්වයක් සහතික කර ගනිමින් අාචාරධර්මානුකූල සහ කාර්යක්ෂම වෙබ් පුවත් අඩවියක් ගොඩ නැගුව හොත් එවැන්නක්ද මහත් බලපෑමක් අත් කරගන්නට ඉඩ තිබේ.





2019 මැතිවරණ වර්ෂයක් වන්නේ යැයි කියනු ලැබේ. ඒ සන්දර්භයෙහි අප අමතක නොකළ යුතු කාරණයක් වන්නේ එළඹෙන මැතිවරණ සටන් හි තීරණාත්මක අවකාශයක් බවට සමාජ ජාල පත්වනු ඇති බවයි.





අපට පමාවීමට කාලයක් නැත.





















සබැඳි පුවත්









කුමන්ත්‍රණය අවසානයි - ඉදිරියට (1)


සිරිසේන බිල්ලක් මෙන්ම ප්‍රාණඇපකරුවෙක්






- රංග ජයසූරිය - 









‘පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුවහොත්’ මොනාවේවිද ? – 1978 ඇන්. ඇම් විමසූ පැනය





1978 දී සර්ව බලධාරී විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ ලංකා සමසමාජ පක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ප‍්‍රශ්නයක් ඇසුවේය. එනම්, ‘පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුවහොත්’ කුමක් සිදුවේද යන්නයි. නිසි ක‍්‍රියාවලියක් පිළිබඳ සීමාවක් නොමැති කමත්, වර්තමාන ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපයට එරෙහිව ගත හැකි වරණ සහ තුලන ක‍්‍රියාවලියක් නොමැති කමත් නිසා එම ප‍්‍රශ්නය නැවතත් අලූතින් මතු වී තිබේ. ව්‍යවස්ථාව තුළ පවතින මේ හිඩැස පිළිසකර කර ගැනීම සඳහා කිසි විටෙක පූර්ණ උත්සාහයක් ගෙන නැත. විටින් විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් ඒ ප‍්‍රශ්නයට පිළියමක් ලැබී ඇත්තේ ද නැත.





ප‍්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පිස්සෙකු නොවීය. එහෙත් ඔහු විනාශකාරී ලෙස අවස්ථාවාදී විය. ඔහු 1978 ව්‍යවස්ථාව ලියුවේ ඔහුගේ පුද්ගල සහ දේශපාලනික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට ය. අනතුරුව, 13 වතාවක්ම ඔහු එම ව්‍යවස්ථාව සංශෝධනය කෙළේය. එසේම ඔහු, මමංකාරයෙන් පිරි, උද්ධච්ච මහල්ලෙකු විය. තවත් ඊනියා ජාතික නායකයන් කිහිප දෙනෙකු අතරේ ඔහු ව්‍යාජ දෙවියෙකු විය. (ඔහුගේ තරමට සරිලන පරිද්දෙන් අවසානයේදී ඔහුව හීලෑ කෙළේ තරුණ රජිව් ගාන්ධි ය.)





තුන්වැනි ලෝකයේ රටවල් මුහුණදී සිටි ආර්ථික සංවර්ධනය පිළිබඳ හදිසි සහ දැවෙන ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කිරීමේ එක් මෙවලමක් වශයෙන් මේ ව්‍යවස්ථාව ලංකාවට හඳුන්වා දෙන ලදී. එහෙත් ඒ මගින් එවැනි ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ වාර්තාවත්, ඒ මගින් ජේ. ආර්, ජයවර්ධනගේ ඉදිමුණු මාන්නය පුම්බා ගැනීමේ වාර්තාවත් අප සලකා බැලිය යුත්තේ, ඔහු වැනිම වූ ඔහුගේ සමකාලීන වෙනත් රටවල නායකයන් සමග එය එකට ගෙන සසඳා බැලීමෙනි. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්, සුහර්තෝ සහ පිනෝචේ වැනි නායකයෝ එහිදි කැපී පෙනේ. ඉන් සමහරෙකු ජේ. ආර්. ට වඩා දුර්දාන්ත ය. එහෙත් ඒ සියල්ලෝම එකී දක්ෂිණාංශික දුර්දාන්ත පාලන තන්ත‍්‍ර හරහා ඔවුන්ගේ රටවල් සංවර්ධනය කළහ. ඒ අනුව ගත් විට, ජේ. ආර්. ජයවර්ධන යනු තනිකර අසාර්ථකත්වයකි.





එසේම ඔහු ව්‍යසනකාරී විය. ඔහු රාජ්‍ය කටයුතු පාලනය කළ උද්ධච්ච ආකාරය දීර්ඝ කාලීන දේශපාලනික අස්ථාවරත්වයකට තුඩුදුන්නේය. උතුරේ සහ දකුණේ කැරලි දෙකකට ඔහු පාර කැපුවේය. ඔහු හා සමානව ඒ කාලයේ කටයුතු කළ වෙනත් රටක කිසි නායකයෙකුට වඩා ඔහුගේ අවපාලනය තුළ ඝාතනයට ලක්වූ ඒක පුද්ගල මිනිස් ප‍්‍රතිශතය විශාල ය. ඒ අතින්, චිලියේ පාලකයා වු පිනෝචේ පවා ළදරුවෙකු බඳු විය. 










https://www.facebook.com/badumathamaweb/videos/256947291640209/




ප්‍රේමදාසට ගින්නක් පැවරූ ජේ. ආර්





තමන් නිර්මාණය කළ අවුල ජේ. ආර්. ජයවර්ධන එකලසක් කෙළේ නැත. ඒ වෙනුවට ඔහු සිය අනුප‍්‍රාප්තික ආර්. ප්‍රේමදාසට පැවරුවේ ගිනි ගන්නා දේශයකි. රටේ ආර්ථික සමෘද්ධියක් ඔහු ඇති කෙළේත් නැත. ආර්ථික වර්ධන වේගය පැවතියේ සියයට 4 ක තරම් පහත මට්ටමක ය.





මේ විධායක ජනාධිපති ක‍්‍රමය සමහර රටවල පැවති දේශපාලනික, මැතිවරණමය සහ සමාජ තත්වයන්ට ගැළපුණි. ඊට අගනා නිදර්ශනයක් වශයෙන් බොහෝ විට ඉදිරිපත් කෙරෙන්නේ ප‍්‍රංශයයි. එහෙත් එම විධායක ජනාධිපති ක‍්‍රමය ලංකාවේ සාර්ථක වුණේ නැත. ලංකාවේ මෙන්ම තුන්වැනි ලෝකයේ වෙනත් බොහෝ තැන්වලත් එම ක‍්‍රමය අසාර්ථක වූ අතර, ඒ තුළින් සර්වබලධාරී, ඥාති සංග‍්‍රහවාදී, ප‍්‍රජාපීඩකයන් බිහි කෙරුණි.





ඊට හේතු වු ප‍්‍රධාන කාරණා දෙකක් තිබේ. එකක් වන්නේ ආයතනික ක‍්‍රමයයි. උදාහරණයක් වශයෙන් ශ‍්‍රී ලංකාව ගත් විට එය ප‍්‍රංශය හෝ ඇමරිකාවට වෙනස් ය. ඒ රටවල මෙන් ලංකාවේ, සර්ව බලධාරී ජනාධිපතිවරයෙකුගේ කල්ක‍්‍රියාව පාලනය කළ හැකි ස්වාධීන ආයතන පද්ධතියක් නැත. ඇත්තෙන්ම ලංකාව වැනි රටවල්වල සිදුව ඇත්තේ, එම සර්ව බලධාරී විධායකය විසින් එකී ආයතන පද්ධතිය දුර්වල කිරීමයි.





ව්‍යවස්ථානුකූලවාදය කෙරෙහි වන පොදු අවඥාවක්





දෙවැන්න වන්නේ ආසියාතික ඌරුවයි. (මෙසේ කීම ‘දේශපාලනික කන්‍යා භාවය’ වනසා ගැනීමක් විය හැකිය). ලෝකයේ මේ කලාපයේ නායකයන්ගේ සහ ජනතාවගේ ප‍්‍රතිපත්ති ගරුක භාවය, ව්‍යවස්ථාමය රාජ්‍යකරණය සම්බන්ධයෙන් ගත් විට, අවම ය. මෙය ඔවුන්ගේ ශිෂ්ටාචාරමය ඌරුවේ ලක්ෂණයකි. මෙවැනි රටවල්වල මැතිවරණමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ තාර්කික තේරීමක් කෙරෙන බවට අනිවාර්ය සහතිකයක් නැත. ඒ වෙනුවට ඒ මගින් වර්ධනය කෙරෙන්නේ බිම් මට්ටමේ අශෝභනත්වයත්, ඒ අශෝභනත්වය දේශපාලනික ස්ථරයේ ඉහළින්ම නියෝජනය වීමත් ය. උදාහරණයක් වශයෙන් ඉන්දියාව ගත්තොත්, පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රීවරුන්ගෙන් සියයට 34 ක් අපරාධයකට වැරදිකරුවන් වී ඇති හෝ අපරාධ නඩුවක විත්තිකරුවන් හෝ වන්නේය. එහි වැදගත්ම ලක්ෂණය වන්නේ, බරපතල චෝදනාවන්ට ලක්ව ඇති දේශපාලඥයන්, ඊට වඩා අඩු වැරදිවලට ලක්ව ඇති දේශපාලඥයන්ට වඩා ජයග‍්‍රහණය කිරීමේ හැකියාවෙන් යුක්ත වීමයි.





එවැනි බිම් මට්ටමේ තත්වයක් විසින් උත්පාදනය කරනු ලබන්නේ ව්‍යවස්ථානුකූලවාදය කෙරෙහි වන පොදු අවඥාවකි. දේශපාලඥයන් රටේ ආණ්ඩුක‍්‍රමය උල්ලංඝණය කරන විට එසේ කරන්නේ බිම් මට්ටමේ ජනතාවගේ මුග්ධ භාවය කෙරෙහි විශාල විශ්වාසයක් තබාගෙන ය. තමන්ගේ අවකල් ක‍්‍රියා කලාපයන් ගැන ජනතා ප‍්‍රසාදයක් ඇති බව ඔවුහූ වටහා ගනිති.





කෙසේ වෙතත්, ලංකාවේ වර්තමාන දේශපාලනික තත්වය අතීතයේ පැවති තත්වයට වඩා වෙනස් ය. දැන් විධායක ජනාධිපති ක‍්‍රමයේ අත්තනෝමතිකත්වය අවම කර ගැනීම සඳහා නව නීතිරීති සම්පාදනය කොට තිබේ. බොහෝ දුරට එය සාර්ථක කර ගත්තේ, මුලින්ම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනි. (එයින් බොහොමයක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අවලංගු කරන ලදී). ඊළඟට, ඒ කාර්යය ඉටු කර ගත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලතල සීමා කෙරුණේ ඒ මගිනි. ඒ අනුව, පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ගත වන තෙක් එය විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත. ඒ සමගම, මේ 19 වැනි සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පත්කෙරුණි. ඒ, ආණ්ඩුවේ ප‍්‍රධාන ආයතන නිර්-දේශපාලනීකරණය කිරීම සඳහා ය.





මේ නිසා වර්තමානයේ ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය අද ව්‍යවස්ථාවෙන් අනුමත කෙරෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම, ඒ හැසිරීම ව්‍යවස්ථා විරෝධී ය. තුන් වරක්ම පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද විශ්වාසභංග යෝජනා තුනක් ඔහු ප‍්‍රතික්ෂේප කිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කොට තිබේ. පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම අත්සනින් දුන්නත් තමා රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්කරන්නේ නැතැයි ඔහු පුරසාරම් දෙඞීම ව්‍යවස්ථාව කෙරෙහි ඔහුගේ අවඥාව ප‍්‍රකාශයට පත්කිරීමකි. ඒ මදිවාට, ප‍්‍රමාණවත් තරම් මුදල් තිබුණේ නම් මහින්ද රාජපක්ෂ මහතාට 113 ක් පෙන්විය හැකිව තිබිණැයි ප‍්‍රකාශ කිරීම, අල්ලස ගැන ඔහුගේ අපරාධ සහායකත්වයත් හෙළි කිරීමකි.






සිරිසේන ප්‍රාණ ඇපකරුවෙක්









ජේ. ආර්. ජයවර්ධනගේ බල අපයෝජනය ව්‍යවස්ථාමය මාර්ගවලින්ම යුක්ති සහගත කර ගැනුණි. එහෙත් ඊට වෙනස්ව, සිරිසේන මහතාගේ බල අපයෝජනය ව්‍යවස්ථාව හරහා යුක්ති සහගත කර ගැනීමේ ඉඩක් වර්තමාන ව්‍යවස්ථාවේ ඉතිරි කොට නැත. ඒ අර්ථයෙන් ඔහුගේ හැසිරීම, දෝෂාභියෝගයක් සඳහා නිමිති විය හැක්කේය.





ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තිය අනුව, ‘‘පාර්ලිමේන්තුවේ කවර වූ හෝ මන්ත‍්‍රීවරයෙකු විසින් කතානායකවරයා වෙත යවන ලිපියක් මගින්,





  1. චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට,
  2. රාජද්‍රෝහී වීමේ වරදට,
  3. අල්ලස සම්බන්ධ වරදට,
  4. යම් නීතියක් යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරදක් කර ඇති අවස්ථාවක හෝ
  5. ස්වකීය ධුරයේ බලය අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය හා සම්බන්ධ වරදක්




ජනාධිපතිවරයා කර ඇති බව දන්වා සිටියයොත් සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කරන ලෙස ඉල්ලා සිටින්නා වූ යෝජනාවක් ඉදිරිපත් කළහොත් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ආරම්භ කළ හැක්කේය. එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අත්සනින් යුතුව ඉදිරිපත් කළ විට කතානායකවරයා ඒ ගැන සෑහීමකට පත්වන්නේ නම්, ඔහු එම යෝජනාව භාර ගත යුත්තේය. අනතුරුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුත්තේය. අනතුරුව එම යෝජනාවේ අඩංගු චෝදනා කතානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුත්තේය. ඉන් පසු ඒවා පිළිබඳ නිසි පරීක්ෂණයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ස්වකීය තීන්දුව කතානායකවරයාට දැනුම් දෙනු ඇත. එහිදී ජනාධිපතිවරයා තමාගේ රාජකාරිය ඉටු කිරීමට අසමත් වී ඇති බව හෝ යෝජනාවේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු බවට තීන්දු කළහොත්, පාර්ලිමේන්තුවේ නැවත වරක් තුනෙන් දෙකක වැඩි ඡුන්දයෙන් එම යෝජනාව සම්මත කර ගත හැක්කේය.





කෙසේ වෙතත්, මේ දුෂ්කර ක‍්‍රියාවලියට අමතරව, දෝෂාභියෝගයක් සඳහා අවශ්‍ය කරන තුනෙන් දෙකේ බලයක් එක්සත් ජාතික පක්ෂයට නැත. එසේ හෙයින් ඔහුගේ වරදක් ධුරය අවසන් වීමෙන් පසුව නීතිය ඉදිරියට ගෙන ඒමේ අවකාශයක් තිබේ. එහිදී මුක්තිය ඇත්තේ ඔහුට මිස ඔහු කරන ක‍්‍රියාවන්ට නොවේ යැයි කියන පිරිසක් ද සිටිති.





ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි:





‘‘යම් තැනැත්තෙකු ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධුරය දරන අවස්ථාවකදී, ඔහු විසින් පෞද්ගලික තත්වයෙහි ලා හෝ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේය. එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහිලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වැනි ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තෙකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක් කියවා තේරුම් නොගත යුත්තේය.’’





එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තියේ සඳහන් පරිදි, ‘‘තුන්වැනි පරිච්ඡේදයෙන් හෝ හතරවැනි පරිච්ඡේදයෙන් හෝ ප‍්‍රකාශ කොට පිළිගන්නා ලද යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම, යම් විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් මගින් කඩ කිරීම හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පැවතීම හා සම්බන්ධ කවර වූ හෝ ප‍්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීමේ තනි සහ අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේය.’’





සිරිසේන අද වන විට, රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඔහු තුළ පවතින අගතීන්හි බිල්ලක් බවට පත්ව ඇත්තේය. ඒ අතරේ, තමා තුළම වන දේශපාලනික ස්වාර්ථයේ සහ නීති විශාරදයන්ගේ දුර්මතවල ප‍්‍රාණඇපකරුවෙකු වී සිටින්නේය.





































(2018 දෙසැම්බර් 12 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “From JR to Ms: Executive Presidency & Abuse of Power: They Ought to be held Accountable even after retirement" ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)










පොතට නමක් !

- සුනන්ද දේශප්‍රිය - 


‘මට පොඩි කාලයේ හිටං පොත් ලියන්න ආසාවක් තිබුණේය‍. ඉදං බැලුවත් හිටං බැලුවත් පොතක් ලියුවුණේ නැතිය. මං පත්තර වාර්තාකාරකමක් කරන්නද බැලුවෙමි. ඒත් නමින් මොකවත් ලියා ගන්නත් බැරි වුණාය‍. මොකද කියනවා නම් මං ලියපු පත්තර කන්තෝරුව කලින් රනිලයාගේ පවුලට අයිතිව තිබූ එකක් නිසාය. මට  ඔය සම්බන්ධය කිව්වේ ලක්තිලකයාය. එදා හිටං  තිලකයාට වගේම මටත් රනිලයා පෙන්නනම බැරිය.


දැන් ‘මගේ අගමැති’ පොත ලිය(ව)න්නට වෙලාය. වෙල  රනිලයාට වගේ නොව මේ හිටංට පුරුදු තැනකි. මං වෙලක්ම ගිනි තියපු හිටං කෙනෙක් බව චතුරීත් ලියවා තිබෙනවාය. මං කියන්නේ ලියන්න ඉගෙන ගන්න නම් හතුරෙක් ගැන ලියන්න කියාය. මොකද එතකොට ඕන කෙප්පයක් ඇත්ත කරන්න පුලුවන් නිසාය. හාහා පුරා කියා මං ලිය(ව)න්න යන්නේත් සතුරා වූ මගේ පණ බේරූ මිතුරා ගැන නිසාය‍. මං මේ රටේ අනාගත පරම්පරාවටත් කියන්නේත් ඇර ගත්ත ගමන්, ඇර ගත්ත එකා ගැන රෙද්ද කඩාගෙන ඇඟේත් හලාගෙන හරි ලියපල්ලා  කියාය. මං ඒ් තරම් ආදර්ශමත් ගමරාළ කෙනෙක්ය.


අලියාගේ වලිගයේ එල්ලී දෙව්ලොව යන්න ගිය ගමරාළ ගැන තියෙන කතාවත් මං හිතන්නේ රනිලයාගේ වරිගයේ කවුරු හරි ලියපු එකක් වෙන්න ඇති කියාය. ඒ විදිහට ගමේ මිනිහෙකුට අපහාසයක් කරන්න පුළුවන් කොලඹ හතේ හාදයකුට පමණක්ය.


එතකොට හිටං මං ඉස්සෙල්ලාම කළේ ‘පොතට නමක් කියාපියෝ’ කියා චතුරිගේ සුපිරි හෝටලයේ පාටියක් දුන්න එකය. ඒක වුණේ මෙහෙමය.


චතුරීගේ හෝටලයේ සප්පායම් වන ගමන් මං ‘අරූ ගැන ලියන පොතට නමක් දීපල්ලා’ යැයි පවුලේ සාදයට කිව්වාය. ගත්කටටම ‘මං සමනළුන්ට බයත් නෑ මල්ලියේ’ කියා දාන්න යැයි මහ රූ නැටුම් තෙල් පාටියකට යමින්ම සිටි  තරු පහේ පුතා කිව්වාය.


‘‘ඒක හරි නැහැ, ‘ජංගිය නොදුටු මඩුවලිගයා’ කියා දාන්න’’ යි බාර් එකේ බෝතල් අඩුක්කු කරන ගමන් චතුරී කියෙව්වාය.


ලක්ෂ 500 ඒවා මිටි බඳිමින්ම සිටි ඩඩ්ලි කිව්වේ ‘ඇටයෙන් දුන් අරලිය ගේම’ කියා දාන්නය.


අන්තිමේදී හෝටල වැව් ඉස්මත්තෙන් පලානෙළා ගෙන ඇවිත් සිටි ඇඹේනි ’රෙද්දට පැරදුණූ කලිසම’ හොඳ නැත්දැයි ඇසුවාය.



මේ සියල්ල අසාගෙන මේසය යටට වී සිටි පූසා ‘ඇත්තටම රෙද්දද කලිසමද හොඳ?” කියා ඤාව් ගෑවාය.  කන් උලක්කු කරගෙන වහලේ ඇලවී සිටි හූනා ’ කැතයි හොඳේ ! ඔය අපි වගේ පොඩි අයට ඇහෙන්න කියන කතාද ? යැයි චික් චික් ගෑවාය.


හැබැයි මං නං හෝටල් පුතා කිව්වාට සමණල්ලු ගැන ආයෙත් කට අරින්නේ නැතිය. කට හැකරයෙක් කී මඩකළපු කතාවට මං බය වුණෙමි.


හොඳ නමක් මං ‘ලක්තිලකයගෙම්ම  අහලම බලන්නම් හිටං’ යයි කියා නොම්බරය කෙටුවෙමි. ‘සෑර් මං ‘පෙඩරල් පත්‍රිකා’ හරි ‘අයර්ලන්ත සාම ගිවිසුම’ හරි බලලා රනිලයාට චූ යන නමක් දෙන්නම්’ කියා තිලකයා කිව්වාය. ‘පත්‍රිකා වගයක් ගෑණු කට්ටියක් ඊයෙත් බෙදුවායි කියන්නේ හිටං, තමුසෙත් ඒවා බලනවද’ කියා මං ඇහුවාය.


පූසා ආයේ අවලම් කට දැම්මාය. ‘චූ යවන්න ඕන නම් වතුර චූ කරන මන්තරය දන්න මහින්දානන්දවගේ රාජපක්ෂගෙ ගෝලයෙක් වතුර බෝතලයක් එක්ක යැව්ව නම් ඉවරයිනෙ හිටං. ඕකට පත්‍රිකා බල බල ඕනෙයි’ කිව්වාය.


සුදු බණ්ඩාද පොතට නමක් දාන පාටියට ඇවිත් උන්නේ 117 සොයන්න යන ගමන්ය. කොල්ලන්ටත් ඇදල යන නමක් දාමුයි කී බණ්ඩියා බඩවටේ අත රවුමක්  යවා හුස්මක් ඇද ‘මෙන්න බඩු සෑර්’ කිව්වාය. ‘කෝ නම’ මං ඇහුවාය. ‘බඩු සෑර් බඩු!’ දාන්න ‘සිරා-මරා ජොයින්ට්’ කියලා. ‘චතුරීගේ පොත වගේ නොවෙයි, කොල්ලො පෝලිමේ එයි ජොයින්ට් එක ගන්න සෑර්’. යටින් ‘පොලොන්නරුවෙ ඔර්ජිනල්’ කියලා දාමු. ‘යාවි උණු ආප්ප වගේ, පොත එක්කම ජොයින්ට් එකකුත් දෙඤ්ඤං’


නිදිමත ද නැතිව කිබුහුම් යවමින් සිටි පූසා ආයෙත් කට දැම්මාය.: ‘ ඒක නම් ඇත්ත, දැන් රටම ඉන්නේ ජොයින්ට් ගහල වගේ තමයි, මං හිතන්නේ වාසුට ඇහැකි  මාක්ස්වාදී රතුපාට නමක් දෙන්න’.


‘අයියෝ වාසුගේ නම මං දෙන්නම් කීී’ හූනා චතුරීයි නෝනයි ගියා නේද බැලුවාය. ‘ඒ නම තමයි ඒ දෙන්නටම නැති අපට තියෙන වස්තුව’ කියා හූනා ටිකක් ලැජ්ජාවෙන් වගේ කිව්වාය.



 ‘පූසාත් දැන් රනිලයාගෙ ලණු කාලද දන්නෑ’ කියාගෙන අහවල් එකකට වාගේ අප්පච්චි මළා කෑම මේසයට බැස්සාය. අප්පච්චි මළාගේ චුශකරවලට අහුවෙන්න කලින් චතුරී මේසයේ දිලිසෙමින් තිබූ රන් විස්කි බෝතල් ගසාගෙන ගියාය.


‘ඇත්තම කියමු සර්’ කියා චතුරී කුණු ඇහදාගත් ගමන්  ‘අපට නොදී කාපු එකා’ කියල දාමු ! කියා  කුකුළු හැවිල්ල කියන්න ගත්තාය.


දුදනොද බිඳ ලද තෙද කඳ


කඳ දෙවිරද සාමිනේ //


මට කළ මෙවිපත අනේ බලාගන්න දෙවියනේ


මට කළ මෙවිපත අනේ බලාගන්න දෙවියනේ


මගේ බලය ගත්ත එකා


රනිල් කියන නපුරු එකා


19යෙන් කෙළිය එකා


මගේ බලය ගත්ත එකා


බලා එල්ල හෙලුව හෙල්ල


මුලමැ බෙල්ල මරු තැනේ‘


‘පොතට නමක් කියා පියෝ සාදය’ රන් විස්කියෙන් තෙමිි ගිය ගෙහිමියාගේ එම අවසන් ගායනයත් සමඟ අවසන් වුණාය.


නැට්ට උඩ වාඩිිවී සිටි හූනා චික් චික් ගෑවේය. ‘අප්පච්චි මළාගෙ කතාව ඇත්ත සෑර්. බෙදාගෙන කන්න පුළුවන් කෙනෙක් දා ගන්න’



හිටං.


දිනයක් තවම නැත.


පසුව ලියමි.


කට පරිස්සම් කරගන්න දැන හිටියා නම් ලූලාත් කනයාත් දෙන්නාම තාමත් පරාක්‍රම සමුද්‍රයේ ‘පීන පීනා රැල් තුරුල්ලේ, පාවෙනූ සිතු සේ ජලේ’  ඉන්න තිබුණේය. මටත් දවසක ඒක වෙන බව කිව්වේ කව්ද කියා මතක නැති උනත් ඒක ඇත්තක්ය‍.


මගේ අගමැති ගැන පොතක් ලියන බව මං කිව්වේ නැත. කියවුණාය. හරියට අර එල්ලම් ගස් යවන බව කියවුණා වගේය‍. තවම මට ගහ හයි කරගන්න බැරිවුණය. ඒක උනෙත් මගේ අගමැති රනිලයා නිසාය. රනිලයා එල්ලුම් ගහ අරගෙන ගෙදර ගිය බව මට සුදු බණ්ඩා කිව්වාය. යුරෝපා සංගම් කාරයොත් එක්ක, රනිලයා ඒක අරගෙන යනවා ඇස් දෙකෙන්ම දැක්ක බව හිසේ අත්  ගහගෙන දිලාන් බබා ඇඬුවේය. ‘ඇයි මේ දවස්වල කිරි එරෙන්නේ නැත්දැ’යි මං දිලාන් බබාගෙන් ඇසූ විට බබා පුක අතගා ගත්තේය. ‘පුක පුක’ සුදු බණ්ඩියා කියන විට ‘ මං මොළය ටිකක් එත්කර ගත්තා’ යැයි  බබා කිව්වාය.


‘දැන් ඔයාල හැමෝගෙම මොළේ තියෙන්නේ එතනද ? යැයිි රනිලයාගෙ ලණු කා සිටින බව පෙනෙන පූසා කිව්වාය.


එවිට ‘බණ්ඩෝ 117ක කෝ’ කියා ඇසුවේ හූනාය.


‘ඒකටත් රනිලයා කෙලෙව්වා. මූ පොළව උනත් ඇද කරන්න දක්ක ගැට්ටෙක්. අපි නටන්න ගියොත් රනිලයා පොළව ඇද කරනවා. 117ට උනේ ඒකනේ’ යැයි බණ්ඩා කිව්වාය.


රනිලයාට චූ යන කතාවක් දැන් කියා මේ පෙරවදන අවසන් කරනවාය. දවසක් තාත්තා මට බෙට්ටක් යන්න ටොක්කක් ඇන්නේත් මං ඒ බෙට්ට ගිනි ජාලාවක් කර තාත්තාට ගේම දුන්නෙත් ඕනෑ බම්බුවත් ගහ ගනින් කියලාය. එහෙව් මට රනිලයා අහවල් බම්බුවක් නොවේ. කාලයක් මට පත්තරකාරයෝ බම්බුවා යැයිද කිව්වාය. කාලයක් මඩු වලිගයා කිව්වාය. ජංගියා  කිව්වාය. ආප්පයා කිව්වාය. දැන් කියන්නේ හිටං කියා ය. ඔය කතා ඔක්කොම රනිලයාගේ වැඩය. රනිලයා මගේ හැම අහුමල්ලකම ඉදං, හිටං හිටං යමං යමං  කියනවා මට හීනෙනුත් පේනවාය.


මේ හිටං එහෙම යන හිටං කෙනෙක් නොවෙයිය.


ඒත් මං කැමැති මට අපේ සංස්කෘතික වචනයක් වන අමුඩයා කියනවා නම් ය. ඒ වෙන මොකවත් නිසා නොව අමුඩේ ගූ ගිය එකා අනුන්ට ගඳයි ගඳයි කියනවා කියා මං පොඩිකාලේ ඇහුව නිසාය. සිකුරාදා දවසක ගැසට් එකක් ගසා ඒ බවට මගේ නම වෙනස් කර ගන්න දවස එනවාය. එදාට රනිලයාටත්  රත්කර ගන්න වෙනවාය. කොතැනද කියන්නේ නැත.


 

හිටං.‘‘


(දෙසැම්බර් 02 වැනිදා ‘රාවය‘ පුවත්පතේ පළවූවකි)

 

සබැඳි පුවත් 

 

සිරිසේනවාහිණී : ප්‍රවෘත්ති අපෙන් : තීරණය ඔබෙන්

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනපතිට කළ හැක්කේ කුමක්ද ? (3)

– මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර – 

 

 

විදේශ අතපෙවීම්



වර්තමාන අර්බුදය විදේශ රටවල අතපෙවීමක ප‍්‍රතිඵලයකැයි බොහෝ දෙනා කියති. විශ‍්‍රාමික තානාපතිවරුන් සහ ආචාර්ය පාලිත කොහොන වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (ගිවිසුම් අංශයේම) සේවය කළ හිටපු නිලධාරීන් එවැනි අදහස් පතුරුවන විට ජනතාව කලබල වෙති. කුමන්ත‍්‍රණ කතාවල යම් ඇත්තක් ඇතැයි සිතති. මේ අදහස් පතුරුවන පිරිස්, ජිනීවා නුවර සහ නිව්යෝර්ක් නුවර ජාත්‍යන්තර කරලියේ ඉහළම තැන්වල සිටි පිරිස් ය. අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් බව ඒ අය හොඳින් දනිති. බහු-පාර්ශ්වීය ගිවිසුම් අපරානුමත කොට තිබීමෙන් අප ස්වේච්ඡාවෙන් එකඟ වී සිටින ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර නීතිය යටතේ අප බැඳී සිටින බව ඒ අය හොඳාකාරව දනිති. මීට වසර බොහෝ ගණනකට පෙර, ආචාර්ය පාලිත කොහොන ලියන ලද මාහැඟි ලිපියක් නිව්යෝර්ක් නුවරදී ඔහු මට ගෙනැවිත් දුන්නා මට මතක ය.



එය, රට රටවල් අතරේ පවතින ගිවිසුම් පද්ධතිය, එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය තුළ සිටින සිවිල් සමාජ නියෝජිතයන්ගේ හඬ ප‍්‍රකාශයට පත්කිරීමේ මෙවලමක් බවට වර්ධනය වී ඇත්තේ කෙසේද යන්න පෙන්වා දෙන සාරගර්භ ලිපියකි. එය, ඉතා වැදගත් සහ සාධනීය වර්ධනයක් වශයෙන් ඔහු එදා දැක්කේය. රටක් වශයෙන් තමන් ඇතුළත් වූ ජාත්‍යන්තර ගිවිසුමක කොන්දේසි ක‍්‍රියාත්මක කිරීමට යම් රටක් බැඳෙන විට, සෙසු සාමාජික රටවල් විසින් තමන්ගේ ආණ්ඩුකරණය නිරීක්ෂණයට ලක්කිරීමේ ක‍්‍රියාවලියකට තමන් ස්වේච්ඡුාවෙන් එකඟ වන්නේය. ජාත්‍යන්තර නීතියේ විෂය පථය තුළට තමන් ඇතුළත් වන්නේය. ජාත්‍යන්තර ප‍්‍රමිතීන් සහ ප‍්‍රතිමානයන් තමන්ට අදාළ වන බව පිළිගන්නේය, ඇත්ත වශයෙන්ම, ලංකාවේ දේශීය නීතිය අර්ථ නිරූපණය කිරීමේදී, එවන් ජාත්‍යන්තර සම්මුති තුළින් අප බැඳී ඇති කරුණු අපේ ශ්‍රේෂ්ඨාධිකරණය සැලකිල්ලට ගෙන තිබේ. එසේ තිබියදී, ජාත්‍යන්තර අත්දැකීම් බහුල මෙවැනි පුද්ගලයන්, ස්වෛරී රටක් කෙරෙහි බලපවත්වතැයි කියන බටහිර කුමන්ත‍්‍රණයක් ගැන ජනතාවට කියන්නේ කෙසේද ?



19 වැනි ව්‍යස්ථා සංශෝධනය



අද දක්නට ලැබෙන මහා උත්ප‍්‍රාසයක් හෙවත් සරදමක් වන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය 2015 මැයි 15 වැනි දා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡුන්දයෙන් සම්මත කරගෙන මෙරටේ උත්තරීතර නීතිය බවට පත්කර ගැනීමට උර දුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ඇමතිවරුන් සහ ජනාධිපතිවරයා වැනි පුද්ගලයන්ම අද එය හෙලා දැක පාගා දැමීමයි. 1978 ව්‍යවස්ථාවට එක් කරන ලද ඒ සංශෝධනය ප‍්‍රතික්ෂේප කිරීමට හෝ යටපත් කිරීමට විවිධ න්‍යායන් ඉදිරිපත් කරනු ලැබේ.



එහි අඩංගු ඇතැම් විධිවිධාන පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී ‘හොරෙන් ඇතුළත් කළ’ බව ඇතැම්හු කියති. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකුල ද යන්න විමසීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පිටපතේ එම විධිවිධාන නොපැවති බව ඔවුන්ගේ අදහසයි. මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවේ මිස විධායකයේ බලය අඩු කොට නැතැයි තවත් සමහරු කියති. ඊටත් වඩා, ව්‍යවස්ථා සංශෝධනයක් යනු ව්‍යවස්ථාව නොවන බවත් ඒ නිසා ඒවා බැහැර කොට කටයුතු කළ හැකි බවක් කියන අය ද සිටිති.



ව්‍යවස්ථාවකට එකතු කරන සංශෝධන වූ කලී, ව්‍යවස්ථාවක් වෙනස් කරන සහ වර්ධනය කරන වැදගත් වෙනස්කම් බවත්, රටේ පවතින ක‍්‍රියාත්මක නීතිය වශයෙන් ව්‍යවස්ථාවේ කොටසක් බවට එය පත්වන බවත් මුලින්ම තේරුම්ගත යුතුය. එවැනි සංශෝධන ඉන්දියාව සහ ඇමරිකාව ඇතුළු බොහෝ රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන්හි අංගයන් බවට පත්ව ඇත. 2015 මැයි 15 වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පනත ‘ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය’ වශයෙන් හැඳින්වෙයි.



1978 ව්‍යවස්ථාවෙන් ජනපතිට හිමිව පැවති නරකම බලතල 19 යෙන් ඉවත් කළා



මේ 19 වැනි සංශෝධනය, 1978 ව්‍යවස්ථාවේ අඩංගුව පැවති ජනාධිපතිවරයාගේ නරකම බලතල සමහරක් ඉන් ඉවත් කර දැමූ, පොදු එකඟත්වයෙන් සම්මත කර ගනු ලැබූ, සාධනීය පියවරක් වශයෙන් එදා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පිළිගත්තේය. එදා මුළුමණින් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පනවා ගැනීම ප‍්‍රායෝගිකව කළ හැකි තත්වයක් නොවුණු බව කවුරුත් පිළිගත්හ. ඒ අනුව, ව්‍යවස්ථානුකූලවාදයේ න්‍යායට අනුගතව, පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒම අතරමැදි විසඳුමක් වශයෙන් පිළිගැනුණි. එහිදී ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ සඳහන් රාජ්‍ය ආයතන අතර තුලනයක් පවත්වා ගත හැකි බවට සහතික වීම වැදගත් විය. එහි අරමුණ වුණේ, රාජ්‍ය බලය අපයෝජනය වීම සහ අධිකාරීවාදය වැළැක්වීමයි.


 

19 න් කළ වෙනස්කම් මොනවාද ?

 

එබැවින්, 19 වැනි සංශෝධනයෙන් හඳුන්වා දෙන ලද වෙනස්කම්, ආණ්ඩුකරණයේ විවිධ ව්‍යුහයන් අතරේ එතෙක් පැවති ක‍්‍රියාකාරීත්වය එහෙන් මෙහෙන් වෙනසකට ලක්කිරීමක් වශයෙන් සැළකිය නොහැක. ඒ සංශෝධනයෙන් අපේක්ෂා කෙරුණේ, විධායක බලය අභ්‍යාස කිරීම, වගවීමකට යටත් වන බවට වගබලා ගන්නා වෙනස්කම් කිහිපයක් ඇති කිරීමයි. ජනාධිපතිවරයාගේ වාර කාලය වෙනස් කිරීම, මානව හිමිකම්, රාජ්‍ය පරිපාලනය සහ පොලිස් සේවාව ඇතුළු අංශවලට අදාළව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, ඉහළ අධිකරණයේ සාමාජිකයන් මෙන්ම නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේ ජනාධිපති බලය සීමා කිරීම ආදිය, විධායක බලය කෙරෙහි සීමා පැනවීමේ අභිලාෂය තුළට ගැනුණි. ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම සඳහා ‘ව්‍යවස්ථා සභාවක්’ පිහිටුවන ලදි. ඇතැම් ඉහළ තනතුරුවලට මේ ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශයන්ගෙන් පිටස්තරව පුද්ගලයන් පත්කිරීමට ජනාධිපතිවරයාට ඉන් පසු නොහැකි විය. ප‍්‍රථම වතාවට, ජනාධිපතිවරයාට එරෙහිව, මූලික අයිතීන් උල්ලංඝණයක් සම්බන්ධයේ ඔහු ධුර කාලයේ සිටියදීම නඩු පැවරීමට හෝ ඔහුට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කිරීමට පුරවැසියන්ට ඒ මගින් ප‍්‍රතිපාදන සැලසුණි. එනම්, ඒ කාරණය සම්බන්ධයෙන් ඔහුගේ මුක්තිය අවසන් වූ බවයි. (35 (1) වගන්තිය).



තමාගේ අභිමතය පරිදි අගමැතිවරයාව ඉවත් කිරීමට 1978 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට තිබූ බලය 19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ මුළුමණින් ඉවත් කිරීමත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 70 (1) වගන්තිය යටතේ සීමා කරනු ලැබීමත් අප සැලකිල්ලට ගත යුත්තේ, ඉහතින් කී, විධායක ජනාධිපති බලතලවලට අදාළ හර පද්ධතිය තුළ සිදු කරන ලද වෙනස්කම් සිහියේ තබාගෙන ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණුත්, විධායක ජනාධිපති බලතලවලට අදාළ හර පද්ධතිය තුළ සිදු කෙරුණු පරිවර්තනත්, පාර්ලිමේන්තුව තුළ ඉතා ශක්තිමත් එකඟතාවකින් යුතුව පනවා ගන්නා ලදි.


 

 

 

(2018 නොවැම්බර් 24 වැනි දා ‘ද අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ, “People’s Power, The Constitution & Rulers’ Power”ලිපියේ  පළමු කොටස. පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

 

 

 

සබැඳි පුවත් 

 

පළමු කොටස – ජන බලය, ව්‍යවස්ථාව සහ පාලකයන්ගේ බලය

දෙවැනි කොටස - ජනාධිපතිවරයාගේ බලතල : ආණ්ඩු සහ අගමැතිවරුන් මාරු කිරීම 

 

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඉරණම සිරිසේනගේ ගිලටීනය අභියස

‘‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’’ යන්න ප‍්‍රචලිත කියමනකි. එහි අන්තර්ගත වුණේ දේශපාලඥයා සම්බන්ධයෙන් බලපවත්වන බාහිර චර්යා ධර්ම ස්වභාවයකි. එසේ වෙතත්, දේශපාලඥයා ද මනුෂ්‍යයෙකු වන බැවින් මේ කියමන කෙරෙහි ඇතැම් කොන්දේසි බලපවත්වන බවට විශ්වාසයක් අප තුළ විය. ඊළඟට, මනුෂ්‍යයා සංස්කෘතික ජීවියෙකු ද වන බැවින් තවත් කොන්දේසියක් හෙවත් ශිෂ්ටත්වයක් යම් මට්ටමකින් හෝ ඉහත කී පාඨය කෙරෙහි සීමා පනවන බවට විශ්වාසයක් ද අප තුළ විය. එහෙත් ඒ සියල්ල බොරුවක් විය හැකි බව, සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ සිරිසේන අපට පෙන්වා දුනි. මනුෂ්‍යත්වය සහ ශිෂ්ටත්වය අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත ලමින්,  ඕනෑම මොහොතක,  ඕනෑම තත්වයක් යටතේ, ස්වාර්ථය පමණක්ම හඹා යාමටත්, එහිදී ලජ්ජා බය, ප‍්‍රතිපත්ති සහ සම්ප‍්‍රදායයන් පමණක් නොව, නීතිරීති සහ ව්‍යවස්ථා අණපනත් පවා අමු අමුවේ දූෂ්‍ය කිරීමට මනුෂ්‍යයෙකු සතු හැකියාව මේ යැයි ඒ කෙටි කාලය තුළ අපට පෙන්වා දීමටත් සිරිසේන සමත් විය. ‘‘මිනිස් සම්බන්ධතා තුළ සදාකාලික මිතුරන්වත් සදාකාලික හතුරන්වත් නැත, ඇත්තේ කුපාඩි කම පමණි’’ යන්න, මේ කෙටි කාලය තුළ ඔහු ආදර්ශයෙන් පෙන්නුම් කළ පාඩමයි.



යහපාලනය අසාර්ථක වුණේ සහ රාජපක්ෂවාදය යළි හිස එසැවූයේ, විමල් වීරවංශ සහ ගම්මන්පිල වැනි දූෂිත සහ උසාවි ඉදිරියේ කප්පරක් නඩු වැටී සිටින අවස්ථාවාදී දේශපාලඥයන්ගේ විරෝධතා දේශපාලනයේ නිපුණත්වයක් හෝ ඔවුන් නොනවත්වා ගෙන ගිය අරගලයක් නිසා හෝ නොව, ඔවුන් ගෙන ගිය අරගලයේ ආත්මය සමග මුල පටන්ම සිරිසේන අන්‍යාකාරයෙන් අනන්‍ය වී සිටි නිසා බව දැන් පැහැදිළියි. එදා, සුසිල් පේ‍්‍රමජයන්ත හෝ ඩිලාන් පෙරේරා යහපාලන පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් ඉතා ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ නිකුත් කරමින් සිටි අවස්ථාවේ අප එය වටහා ගත්තේ, යහපාලනික විනය උල්ලංඝණය කිරීමක් සහ ඊට එරෙහිව පක්ෂ නායකත්වය විසින් විධිමත් විනය පියවර නොගැනීමක් වශයෙන් පමණි. වරක් මේ කාරණය මා මතු කළ අවස්ථාවේ ජනාධිපතිවරයා මට කීවේ, ‘‘මම ඩිලාන්ට හොඳටම බැන්නා’’ කියා ය. එහෙත්, ඇත්තෙන්ම සිදුව තිබෙන්නේ, එදා පටන්ම ඔවුන්ගේ ශබ්දය පසුපස ජනාධිපතිවරයාගේ අප‍්‍රකාශිත අරගලය සටහන්ව තිබී ඇති බවයි. ඒ නිසා ඔවුන්ගේ අරගලයේ විශාල වීරත්වයක් නැත. ‘වීරත්වය’ ඇත්තේ, සිරිසේනගේ ද්‍රෝහීත්වය තුළ ය.



මා කිසි සම්මත ආගමක් අදහන්නෙකු නොවන නිසා සිරිසේනට මනුෂ්‍යයෙකු වශයෙන් පල දීමක් ගැන කිසිවක් කීමට පුළුවන් කමක් නැත. එහෙත්, දේශපාලනික සහ නෛතික වශයෙන් රටට වගවීමට ඔහුට අනිවාර්යයෙන් සිදු වන බව නම් ඉඳුරා කිව හැකිය. ඒ තරමට, ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ව්‍යවස්ථානුකූල නෛතිකත්වයේ අතිමූලික ප‍්‍රමිතීන් මේ වන විට සාපරාධී අන්දමින් දූෂ්‍ය කරමින් සිටින නිසා ය.



ඔක්තෝබර් 26 වැනි දා සිට ඔහු රටේ ව්‍යවස්ථාව දෙවරක් සෘජුව උල්ලංඝණය කොට තිබේ. ඒ, රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය අස් කිරීමෙන් සහ පසුගිය සිකුරාදා (9) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙනි. ඒ අතරේ, එක් වරක් ඔහු ආනුෂංගිකව ව්‍යවස්ථාව උල්ලංඝණය කොට තිබේ. එනම්, වෙනත් උල්ලංඝණයක් හේතු කොටගෙන (අගමැතිවරයා ඉවත් කිරීම හේතු කොටගෙන) තවත් උල්ලංඝණයක් සිදු වීමට ඉඩ හැරීමෙනි. ඒ, තවත් අගමැතිවරයෙකු පත්කිරීමෙනි. තව ද, ඒ අලූත් අගමැතිවරයා කෙරෙහි තිබිය යුතු පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ වගකීමෙන් මගහැරීම සඳහා ඔහු පාර්ලිමේන්තුව වාරාවසාන කෙළේය. එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් නොවෙතත්, පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ තිබිය යුතු සදාචාර ප‍්‍රමිතිය උල්ලංඝණය කිරීමකි.



සුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණේ ඉහතින් කී දෙවැනි ව්‍යවස්ථා උල්ලංඝණය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක‍්‍රියාවයි. දැනට, එම ක‍්‍රියාව හෙවත් ජනාධිපතිවරයාගේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙසැම්බර් 7 වැනි දා දක්වා අත්හිටුවා තිබේ. එහි සෘජු ප‍්‍රතිඵලයක් වශයෙන් ඊයේ (14) දිනයේ පාර්ලිමේන්තුව යළි කැඳවුණි. අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් කොට මහින්ද රාජපක්ෂ අලූත් අගමැතිවරයා වශයෙන් පත්කිරීම එහිදී සාර්ථකව අභියෝගයට ලක්කෙරුණි. ඒ අනුව, පාර්ලිමේන්තුවේ බහුතරයක් අලූත් අගමැතිවරයාට නැති බව ඔප්පු වුණි. මේ ඔප්පුව වැළැක්වීම සඳහා රාජපක්ෂ-සිරිසේන සන්ධානය හූ කියමින් පාර්ලිමේන්තු පරිපාටිය අඩාල කිරීමට සහ කඩාකප්පල් කිරීමට හැම ප‍්‍රයත්නයක්ම ගත්තත්, ජනතා විමුක්ති පෙරමුණ ගෙනා යෝජනා සම්මතයක් මගින් රාජපක්ෂගේ අගමැති භාවය ව්‍යවස්ථානුකූලව අවලංගු කෙරුණි. අද වන විට, රනිල් වික‍්‍රමසිංහ පෙර පරිදිම අගමැති වන්නේ ද, නැත්නම් ජනාධිපතිවරයා විසින් නැවත අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් පත්කළ යුතුව ඇත් ද යන්න තවම නිශ්චිත නැත.



කෙසේ වෙතත්, ඊයේ පාර්ලිමේන්තුවේ ඇති කර ගන්නා ලද යෝජනා සම්මතය කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දන්වන ලදුව, ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත අද දැනුම් දීමක් කර තිබේ. එහි මෙසේ සඳහන් වෙයි:


 

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මවිසින් අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේදී මාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට විධිවිධාන ඇති නමුත්, අග‍්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් නොමැති බව දැනුම් දෙනු කැමැත්තෙමි.’’



 හිතවත් පාඨකය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, නීතිය, සම්මතය හෝ සම්ප‍්‍රදායය මොහොතකට පසෙකින් තබන්න. සිරිසේන කියන ඉහත සඳහන් වාක්‍යය පමණක් සැලකිල්ලට ගන්න. එම වාක්‍යය තුළ, ‘‘පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති’’ යන්න ඉවත් කරන්න. එවිට ඔහුගේ සමස්ත වාක්‍යයට තාර්කික අර්ථයක් ලැබෙයි. එහෙත් පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පුද්ගලයා යැයි එහි සඳහන් වන නිසාත්, ජනාධිපතිවරයාගේ ‘මතය’ ඒ උපරිම විශ්වාසයට යටත් විය යුතු නිසාත්, අදාළ විශ්වාසය උරගා බැලීම අනිවාර්ය කෙරේ. මන්ද යත්, එය එසේ නොවන්නේ නම්, ඒ වාක්‍යය ලියැවිය යුතුව තිබුණේ මෙසේ බැවිනි:



‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මවිසින් අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමේදී මාගේ මතය අනුව... පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට විධිවිධාන ඇති හෙයින්, අග‍්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් නැති බව දැනුම් දෙනු කැමැත්තෙමි.’’



 වෙනස පැහැදිළි ද ? දැන්, පාර්ලිමේන්තුවේ ‘උපරිම විශ්වාසය ඇති’ කෙනා යන්නෙන් අදහස් කෙරෙන්නේ, වැඩිම විශ්වාසය ඇති කෙනා ය. පාර්ලිමේන්තුවක් යනු මිනිස් ඒකකවලින් සමන්විත ස්ථානයක් නිසා, ඒ ‘උපරිම විශ්වාසය’ ගණන් බැලිය හැකිව සහ ගණන් බැලිය යුතුව තිබේ. යමෙකු ඒ ගණන් බැලීම  ඕනෑකමින්ම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ කඩාකප්පල් කරන්නේ නම් (මේ මොහොතේ පවා පාර්ලිමේන්තුවේ සිදුවන පරිදි*, උපරිම විශ්වාසය ඇති පුද්ගලයා පිළිබඳ ජනාධිපතිවරයාගේ ‘මතය’ ශූන්‍ය වන්නේය.



   ඊළඟට, කතානායකවරයාට ලියූ එම ලිපියේම මෙසේ ද සඳහන් වෙයි:



‘‘2015 ජනවාරි මස 09 වැනි දින එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගරු දි. මු. ජයරත්න මැතිතුමාට පාර්ලිමේන්තුවේ ආසන 162 ක් තිබියදී එතුමා ඉවත් කර, පාර්ලිමේන්තුවේ ආසන 41 ක් පමණක් හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂ නායක ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරන ලද්දේ ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ඉල්ලීම මත බව ද මතක් කරමි.’’



මේ කියන දවසේ ලංකාවේ ක‍්‍රියාත්මකව පැවතියේ වෙනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. එහි 47 (අ) වගන්තියේ සඳහන් පරිදි, ‘ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කරනු ලැබිය හැකි‘ ය. එබැවින් එදා දි.මු. ජයරත්න අගමැතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල ක‍්‍රියාවකි. එහෙත්, අද පවතින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉහත කී 47 (අ) වගන්තිය මුළුමණින් ඉවත් කර තිබේ. වර්තමාන ව්‍යවස්ථාව තුළ අගමැතිවරයා ඉවත් කිරීමේ කිසි බලයක් ජනාධිපතිවරයාට දී ඇති බවක් ව්‍යවස්ථාවේ කිසි තැනක සඳහන් නොවේ. මේ නිසා, 2015 ජනවාරි 9 වැනි දා දි. මු. ජයරත්න අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධුරයේ පිහිටුවීම සහ 2018 ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍ය ධුරයේ පිහිටුවීම වූ කලී, වෙනස් ව්‍යවස්ථාමය සන්දර්භයන් දෙකක් යටතට ගැනෙන වෙනස් කාරණා දෙකකි. එදා ඉවත් කිරීම ව්‍යවස්ථා-විරෝධී නොවන අතර, අද ඉවත් කිරීම ව්‍යවස්ථා-විරෝධී වන්නේය.



 ව්‍යවස්ථාමය තත්වය එසේ වෙතත්, ආසන 162 ක් තිබූ දි. මු. ජයරත්න ඉවත් කොට ආසන 41 ක් පමණක් තිබූ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්කිරීම සදාචාර විරෝධී ක‍්‍රියාවක් නොවේද යන සාධාරණ ප‍්‍රශ්නය මෙහිදී පැන නැගේ. එහිදී අප කරුණු දෙකක් සැලකිල්ලට ගත යුතුය. එකක් නම්, 2015 ජනාධිපතිවරණයට සිරිසේන ඉදිරිපත් වන අවස්ථාවේ, තමන් ජනාධිපතිවරණය ජයගත්තොත් අගමැතිවරයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ පත්කරන බවට සිරිසේන එදා ඡුන්දදායකයාට පොරොන්දුවක් දී තිබීමයි. එබැවින් ඔහු ලැබූ ජනවරම තුළ ඒ අංගයත් ඇතුළත් විය. ඊළඟට, මේ සදාචාරාත්මක ප‍්‍රශ්නය (දි. මු. ජයරත්න ඉවත් කිරීම සහ රනිල් වික‍්‍රමසිංහ පත්කිරීම* එදා මතුකොට ඊට එරෙහිව නැගී සිටිමේ හැකියාව තිබූ 162 ක් මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටියහ. එහෙත් ඒ එක් කෙනෙකු හෝ දි. මු. ජයරත්න ඉවත් කිරීම සහ රනිල් වික‍්‍රමසිංහ පත්කිරීම ගැන කිසි විරෝධයක් පෑවේ නැත. එහි අදහස වුණේ, අසාධාරණයක් හෝ සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නයක්, ඒ අලූත් පත්කිරීමේ වින්දිතයන් විණැයි සිතිය හැකි පිරිස තුළ පවා එදා නොතිබුණු බවයි. හෙවත්, 2015 ජනවාරි 8 ජයග‍්‍රහණයේ සුජාත භාවය ඒ 162 ක් වූ සියල්ලන් විසින් පිළිගත් බවයි.



 ඉතා පහසුවෙන් ඒ ආකාරයෙන් ඔවුන් ඒ සුජාත භාවය පිළිගත්තේ ඇයි? එසේ නොවුණි නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවන බව දැන සිටි බැවිනි. ඊටත් වඩා, එදාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට ගියේ නම් තමන්ට අන්ත පරාජයක් අත්වන බව ඒ කවුරුත් හොඳින් දැන සිටි බැවිනි. එය, පසු අවස්ථාවක සිරිසේන විසින්මත් ඔවුන්ට පෙන්වා දී තිබූ කාරණයකි. එයින් පෙනී යන්නේ, ව්‍යවස්ථාමය සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නය රාජපක්ෂලා විසින්ම, එදා තමන්ගේ පටු දේශපාලන වාසි තකා ඉවත ලා තිබුණු බවයි. මෙය, ඉහත ලිපිය කතානායකවරයාට අද ලියන සිරිසේන නොදන්නවා නොවේ.



 ඉහත සඳහන් පාඨය ලිවීමේදී සිරිසේන තවත් කරුණක් හිතමතා වසං කරයි. එනම්, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී, අගමැති වශයෙන් රනිල් වික‍්‍රමසිංහ පත්කරන බවට පොරොන්දුවක් රට ඉදිරියේ තැබීමට තමාට සිදුවුණේ මන්ද යන්නයි. එය, හුදෙක් එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම නිසා ද? කොහෙත්ම නැත. එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡුන්දයෙන් බලයට පත්වීම සඳහා ඒ අගමැති ‘වරය’ දිය යුතුව තිබුණු බැවිනි. අද සිරිසේන ජනාධිපති පුටුවේ වාඩි වී සිටින්නේ, එම ‘අල්ලස’ එක්සත් ජාතික පාක්ෂිකයාට දීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. දේශපාලනික සහ සදාචාර ‘අල්ලසක්’ එක්සත් ජාතික පාක්ෂිකයාට දීමෙන් ජනාධිපති පුටුවට එදා පැන ගත් ඒ අසත්පුරුෂයා, ‘රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්කරන ලද්දේ ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ඉල්ලීම මත’ යැයි කතානායකවරයා අමතා අද කියන්නේ, තවත් වාරයක් ජනාධිපති පුටුවට පැන ගැනීම සඳහා මෙවර එම අල්ලසම රාජපක්ෂලාට දීමෙන් පසුව වීම, ඉතිහාසයේ අපූරු සරදමකි.



සිරිසේනගේ ගිලටීනය දැන් ලෙළදෙයි. ඒ ඉදිරියේ මාරක පරදුවට වැටී ඇත්තේ, රනිල් වික‍්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂය හෝ නොවේ. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ශිෂ්ටත්වයයි.



ගාමිණී වියන්ගොඩ


ගමනක අවසානය අබියස හිඳ - සිරිසේන සහ සිරිසේන

සුනන්ද දේශප්‍රිය - 


 

අරුමය හා කරුමය


සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලාංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි.


සිරිසේන සහ සිරිසේන 2015 ජනවාරියේ දී මහින්ද රාජපක්ෂ පවුල තමන් සහ දරුවන් මරා අඩි හයක් යට වළ දමන්නට හිටි බව කීවේ ය. රාජපක්ෂ පවුල මහා පරිමාණ දූෂණ වංචාවන්ට සම්බන්ධ බව කීවේ ය. රාජපක්ෂ සමඟ ඉන්නේ වහලුන් යැයි කීවේ යග රට බේරා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ සමඟ එක්විය යුතු බව කීවේ ය.


 


දැන් රට බේරා ගත හැකි නායකයා, එදා මාරයා වූ රාජපක්ෂ ය


ඒ සිරිසේන සහ සිරිසේන 2018 ඔක්තෝම්බර් 26දා සිය කැමැත්තෙන් අඩි හයක් යට ගිලා බැස්සේ ය. යළි ඒ වළෙන් ම මතුව ආ සිරිසේන සහ සිරිසේන, සිය ආලවට්ටම්හි මහින්ද රාජපක්ෂ නම ලොප් කර එතැනට රනිල් වික්‍රමසිංහ යන නම ආදේශ කළේ ය. දැන් සිරිසේන සහ සිරිසේන මරා දමන්නට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ය. දැවැන්ත දූෂණ චෝදනා කියවෙන්නේ රනිල් වික්‍රමසිංහට ය. දැන් රට බේරා ගත හැකි නායකයා, එදා මාරයා වූ රාජපක්ෂ ය.


සිරිසේන සහ සිරිසේන එදා මෙන්ම අදත් විලිලැජ්ජාවක් නැතිව කතා දෙයි. ඔහු පච කප්පිත්තෙක් බවට පරිණමය වී ඇති සැටියකි. ඉන් එක් සුරංගනා කතාවක් නම් තමා රාජපක්ෂ අගමැති කළේ රනිල් වික්‍රමසිංහ තමා මරා දැමීමට කුමන්ත්‍රණය කළ නිසා බව ය. මරණයෙන් බේරීමට සිරිසේන සහ සිරිසේන සොයා ගත්තා තෙවසරකට පෙර සිය පවුලම ඝාතනය කරන්නට සිටි බවට චෝදනා කළ මරා ය. පුදුම නමුත් ඇත්ත ය.


 

දෙසැම්බර්යේදී අඩි හයක් යට වළක බහින්නට සූදානමින්


ඒ කතා අසා සිටින රාජපක්ෂවරු පස්සා පැත්තෙන් සිනහවනු ඇති බව නිසැක ය. 2019 දෙසැම්බර් ජනාධිපතිවරණයේ දී තමා රාජපක්ෂවරුන්ගේ සහාය ඇතිව ජනාධිපති තරඟයට ඉදිරිපත් වන බව කියන විට ඒම සිනහ අධෝමුඛ කොක්හඩලෑම් බවට පත්වනවා ඇත. ඒ දෙසැම්බරය ළඟා වූ විට සිරිසේන සහ සිරිසේනට යළිත් වතාවක් තමාම කපාගත් අඩිහයක් යට වළට බහින්නට සිදුවනු ඇත. එකල්හි නම් යළි ගොඩ ඒ්මක් නැතිවනු ඇති බව සහතික ය.



මේ පිබිදවිය යුතු පුෂ්පයක් නොවේ


රාජපක්ෂ අනුගාමිකත්වය තුළ සිරිසේන සහ සිරිසේන යනු කා දැමිය යුතු ආප්පයක් විනා පුබුදවිය යුතු පුෂ්පයක් නොවේ. රාජපක්ෂ අනුගාමිකත්වය සිරිසේන සහ සිරිසේන සමඟ නයි වෛරය. එවැනි පසුබිමක් මැද එජාප ඡන්දවලින් ජනාධිපති වූ පරිදිම රාජපක්ෂ ඡන්දවලින් ජනාධිපතිවීමට සිරිසේන සහ සිරිසේනට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතිය හැක්කේ රාජපක්ෂ දේශපාලනය ගැන නොදන්නා අයකුට පමණය.


 

ඒ කුප්‍රයෝගය කෙසේද යත්


සියයට දහයකවත් ජන්ද පදනමක් නැති අන්තයටම පිරීහී සිටින සිරිසේනට තමන්ගේ ජන්ද පදනම බාරදෙන්නට නම් රාජපක්ෂට දේශපාලන ඔල්මාදයක් හැදී තිබිය යුතුය. සමහර විට එවැනි‍‍‍ ඔල්මාදයක් ඇත්නම් ඒ් වනාහී නාමල් පමණක්ම රජ කරවීමේ කුප්‍රයෝගය විය හැකි ය.


එළඹෙන කවර හෝ ඡන්දයකදී ජය දිනා ගැනීමේ වැඩිම ඉඩ තිබුණේ රාජපක්ෂට ය. එසේ බලයට පත්වූයේ නම් ඔහුට කිසිදු අන්තර් ජාතික හෝ දේශීය හෝ දෝෂාරෝපණයකට ලක්වන්නට සිදුවන්නේ නැත. එසේ වී නම් තනි බලය රාජපක්ෂට හිමිවන්නට තිබුණි.


 

තරුණයින් 11 දෙනා පැහැරගෙන යාමේ නඩුවේ විනිසුරුවරියට මාරුවක් - තව බලාපොරොත්තුවන්න


එසේ තිබියදීත් වසරක් බලා සිටිය නොහැකිව සිරිසේන සහ සිරිසේන සමඟ හවුලේ බලය ලබා ගන්නට එකඟ වන්නට රාජපක්ෂට තිබිය හැක්කේ එකම එක හේතුවකි. එය නම් රාජපක්ෂ පවුලට සහ දේශපාලනඥයින්ට එරෙහිව විභාග වෙමින් යන නඩු විභාග අවසන් කර ගැනීමයි. දැනටමත් පාසැල් දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුව විභාග කරමින් සිටි විනිසුරුවරියට සේවා මාරුවක් ලැබී තිබේ.  එවැනි සේවා මාරු තව බොහෝ ගණනාවක් සිදුවීමට දැන් නියමිත ය.


 

පාවාදීම් සහ ඥාති ඝාතනයන්ගෙන් පිරි ශ්‍රී ලංකාවේ රජ සමයෙන් පසු මෙරට පහළ වූ ලොකුම පාවා දෙන්නා වශයෙන් දිනෙක රාජපක්ෂ ඉතිහාසකරුවන් විසින් ද වරෙක වික්‍රමසිංහ ඉතිහාසකරුවන් අවසාන වශයෙන් සිවිල් ලේඛකයින් විසින් ද නම් කරනු ඇති අසම්මජාති දේශපාලනඥයා බවට, 2015 ප්‍රජාතන්ත්‍රවාදී ජනබලයේ සංකේතය වූ සිරිසේන සහ සිරිසේන පිරිහීම යාම තේරුම් ගැනීමට නොහැකි තරමේ කරුමයකි.



මෙරට දේපාලනයේ අතාර්කික වියරුවක සංකේතය


තර්කානුකූල විග්‍රහයකින් සිරිසේන සහ සිරිසේන විග්‍රහ කළ නොහැකි යගතර්කයක් නැති සිදුවීම් තේරුම්ගත හැක්කේ ඊට අතාර්කික මානසිකත්වයක් ආදේශ කිරීම මගිනි. ඔල්මාද මානසිකත්වයක් වැන්න. සිරිසේන සහ සිරිසේන යනු මෙරට දේශපාලනයේ අතාර්කික වියරුවක සංකේතයකි.


 

බොහෝ දුරට ම ඔහු පොදු අපේක්ෂකයා බවට පත්වීමට තීරණය කරන්නට ඇත්තේ ද තමාට අගමැතිධූරය නොදීම පිළිබඳව රාජපක්ෂවරුන් සමඟ වූ වෛරය නිසා ම පමණය.


 

පසුගිය තෙවසර දෙස බලන විට මානව හිමිකම් ක්ෂේත්‍රයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රයේ හෝ සංහිදියා ක්ෂේත්‍රයේ හෝ සිදුකරන ලද කුමන හෝ ප්‍රතිසංස්කරණයට සිරිසේන කර දුන්නේ නැත. ඔහු විසින් හැකි සෑම අවස්ථාවකදීම කරන ලද්දේ එකී ප්‍රතිසංස්කරණ ආපස්සට ඇදීමට උත්සාහ කිරීමයි.  මේ බව කැපී පෙනෙන්නේ යුද්ධයට අදාළ නොවන මිනීමරුම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් පවා ආරක්ෂා කිරීමට සිරිසේන සහ සිරිසේන විසින් දරන ලද ප්‍රයත්න දෙස බලන විට ය.


2019 මාර්තුවේදී මානව හිමිකම් කඩකිරීමේ චෝදනා ගැන බලාපොරොත්තුවෙන් ඉන්න


2015 ජනවාරියෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇතිවූ යහපත් හැඟීම දරුණු ලෙස ඛාදනය කිරීමට සිරිසේනගේ මෙම අත්තනෝමතිකත්වය හේතු වී තිබේ. අන්තර්ජාතික ක්ෂේත්‍රයෙහි බලපෑම් සහගත භූමිකාවක් රඟපාන මානව හිමිකම් වෘත්තිකයකු ට්වීටර් පණිවිඩයක් මගින් කියා සිටියේ සිරිසේන සහ සිරිසේනගේ මෙම ක්‍රියාව නිසා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අලුත් උනන්දුවක් ඇති කිරීමට අවස්ථාව පෑදී ඇති බවයි.  සිරිසේන විසින් පත් කරන ලද නීති  විරෝධී ආණ්ඩුව ශ්‍රී ලංකාවට හොඳක් කරන්නේ නැත.


 

තමා සමඟ එක්ව 2015 වෙනස සඳහා මරණය නොබා රාජපක්ෂ කඳවුර අතහැර පැමිණි ස්වකීය සගයින් වූ  දේශපාලනඥයින් වෙත මුදා හැර ඇති සිරිසේන සහ සිරිසේනගේ වෛරය, තමා ජනපති බවට පත් කළ ප්‍රධාන දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව හුදෙක් පොලිස් භටයින් 10 දෙනෛකු දක්වා අඩු කිරීමෙන් සහ ඇමැතිවරුන්ගේ ආරක්ෂක භටයින් ඉවත් කිරීමෙන් පෙන්වන ලද වියරුව, රාජපක්ෂවාදය ඉක්මවා යයි. එපමණක් නොව දිගින් දිගටම කිසිදු වග විභාගයකින් තොරව රටෙහි ව්‍යවස්ථාව කෙළෙසමින් දක්වන වියරුව කොතනින් අවසන් වනු ඇත්දැයි කීමට නොහැකි තරම් බිය ජනකය.



සහෝදර ඝාතක ස්ටාලින් හා හිට්ලර්


මෙම සිදුවීම් විසින් පෙන්නුම් කරන්නේ අතීතය හෝ කෙළෙහිගුණ පිළිබඳ අල්පමාත්‍ර හෝ හැඟීමකින් තොරව පළිගැනීමට සිරිසේන සහ සිරිසේන දක්වන භයානක නැඹුරුවයි. තමා සතු බලය ලබා ගැනීමට මඟපෙන්වූ, කැප වූ සහ උදව් කළ පිරිස් වලට පවා එම බලයම යොදවා පහරදීමට පසුබට නොවන දේශපාලනඥයා භයානක ය. එවැන්නෝ දරුණුකමෙහි සීමාවක් නොදනිති. ඒ් අතින් සිරිසේන අයත් වන්නේ සහෝදර ඝාතක ස්ටාලින් සහ හිට්ලර් වර්ගයටයි.  


 

සමහර විට සිරිසේන සහ සිරිසේන ව්‍යවස්ථාව නොසකා ළඟදීම ආණ්ඩුව විසුරුවා හැරීමටත් ඉඩ තිබේ. ඒ් සඳහා ඔහුට උපදෙස් දීමට අවශ්‍ය තරම් කේවට්ටයෝ සිටිති. පාර්ලිමේන්තුවෙහි බහුතර බලයක් පෙන්වීමට රනිල් වික්‍රමසිංහ සමත්වුවහොත් දතකට පියා ගන්නවා වෙනුවට දත්කූරු කමින් උම්මතක පියවරකට යෑම හැර සිරිසේන සහ සිරිසේනට වෙනත් විකල්පයක් නැත.


 

එසේ නොවී රාජපක්ෂ බලය තහවුරුකර ගතහොත් සිරිසේන සහ සිරිසේන යළි 2015 පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරයා වැනි බාලයකු බවට පත්වනු ඇත.


 

2015 ජනවරම පාවාදීම


සිරිසේන සහ සිරිසේන තේරුම් ගැනීමට හැකි සිත්කාවදින කරුණක් නම් 2015 ජනවාරි 08 දා සිරිසේන සහ සිරිසේනට ආරක්ෂාව සැඟවී සිටීමට ඉඩ සැලසූ පුද්ගලයා සිය වෛරකාරයකු බවට පත් කරමින් අතහැර දමා රාජපක්ෂගේ ධනය සැඟවූයේ යැයි චෝදනා ලද ව්‍යාපාරිකයකු තානාපතිවරයකු බවට පත් කොට අතවැසි සේවයේ යොදවා ගැනීමයි.


 

දැන් පෙනෙන විදිහට ඉදිරි වසරක තරම් කාලයක් තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග, ජනවාර්ගික හෝ වෙනයම් හෝ වෙනසකින් තොරව වඩාම බිය විය යුතු මනෝභාවය රාජපක්ෂ නොව සිරිසේන සහ සිරිසේන විය හැකිය.


 

සිරිසේන සහ සිරිසේන විසින් පාවා දී ඇත්තේ 2015 ජනවාරි ජනවරම ය, එම ජනවරම අඩාල කර අතරමඟ අතහැර දැමීම රනිල් වික්‍රමසිංහගේ ද දේශපාලනය වූ බව අපට අමතක කළ නොහැකිය.  සිරිසේන ජනපති බවට පත් කරනු පිණිස සිය ගණන් සිවිල් සමාජ පිරිස් සිය තුට්ටු දෙක වැය කරමින් රට වටාම ගියහ. සිරිසේන සිවිල් සමාජ සංවිධාන 47ක් සමඟ යහපාලන ගිවිසුම අත්සන් කළේ උත්සවාකාරව ය. මේ දුර්ජනයා විසින් රාජපක්ෂ දෙපාමුල වැටී සුනු විසුණූ කරන ලද්දේ එම සමාජ ගිවිසුම යි.



ගෙවීයන මේ මොහොත


සිරිසේනගේ අනීතික ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම හෙළා දැකිය යුත්තේ රනිල් වික්‍රමසිංහ රැකගැනීමට නොවේ. නීතියේ පාලනය කෙරෙහි අපේ ඇති කැපවීම නිසා ය. සිය දේශපාලනයේ වූ  අනේක දුර්ගුණ නිසාම වික්‍රමසිංහ පාලනය අහෝසිවීම ගලේ කෙටී තිබුණි.


 

අප දැන් එළඹෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලතුලනයන් ද ගතිකත්වයන්ද තියුණු වෙනසකට ලක්වීමට නියමිත කාල පරිච්ජේදයකට යි. තාවකාලික ස්ථාවර බවක මායාවක් ඇතිකිරීමට සමත්වීමට හැකි වුවද එය විසින් ශ්‍රී ලංකාව කැඳවාගෙන යනු ඇත්තේ විසංවාදය පාගා දැමෙන සහ මර්දනය සහ බිය ගැන්වීම, දූෂණය සහ භීෂණය දේශපාලන ලකුණ වන අඳුරු යුගයකට ය.


 

(2018. 11. 04 ‘රාවය‘ පුවත්පතේ පළවූවකි) 


ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි 


සබැඳි ලිපි 


උන්මත්තක රාජ්‍ය අනුහසට පිටුපෑම සහ ගහලයන්ගේ ඉතිහාසය 


#MeToo, ඉන්දියාව සහ සිරිසේන 




ජනපතිගේ මැන්ඩෙලා කතාව විගඩමක්ද ?

මැන්ඩෙලා සාම කතාවට ජනපතිට ආරාධනා දුන්නේ කවුද ?


නිව්යෝර්ක් නුවර ‘නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේ’ කතාවක් පැවැත්වීමට ජනාධිපති සිරිසේනට ඇරයුම් කෙළේ කවුද යන්න දන්නවා ඇත්තේ ශ‍්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සහ දකුණු අප‍්‍රිකානුවන් පමණි. ඊට දවසකට පසුව එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමටත් ඔහු නියමිතව සිටි නිසා, මැන්ඩෙලා කතාව සංවිධානය කළ පිරිස එක මිලකින් වැඩ දෙකක් කරවා ගැනීමට හෙවත් එකක් මිලට ගන්නා විට තව එකක් නිකං ගැනීමේ ආර්ථික න්‍යාය අනුගමනය කරන්නට ඇත. එහෙත් දැන් අවුරුදු පතා නිව්යෝර්ක් වන්දනාවේ යන සිරිසේනගේ කතා යුගලය එකට ගෙන ඇසුවොත් එහි මහ ලොකු වටිනාකමක් කෙනෙකුට නොදැනෙනු ඇත. මැන්ඩෙලා සමුළුව අමතා සිරිසේන කළ කතාව සංක්ෂිප්ත ය. එය ඇසුවේ නම් මැන්ඩෙලා සිටින තැනක සිට දහස් වාරයක් අපේ ජනාධිපතිවරයාට ස්තුති කරනු නොඅනුමානයි. ඊට සවන්දුන් දකුණු අප‍්‍රිකානු නායකයන් වුව එසේ කරනු ඇත.


මැන්ඩෙලා කෙරෙහි සිරිසේන දැක්වූ උපහාරය, ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුව අමතා කළ කතාව සමග එකට ගෙන කියවිය යුතුව තිබේ. එවිට, පිටස්තරයෙකුට වඩා ශ‍්‍රී ලාංකිකයන්ට සහ ශ‍්‍රී ලංකාවේ කටයුතු ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට සිරිසේනගේ කුහක තර්ජනය වඩාත් හොඳින් වැටහෙනු ඇත. දේශීය මාධ්‍ය තුළ පළවූ සිරිසේනගේ මැන්ඩෙලාභිවාදනය, එහි සමස්තය ද නැතහොත් ඉන් උපුටා ගැනීම් කිහිපයක් පමණක් ද යන්න මම නොදනිමි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මීට වඩා සවිස්තරාත්මක වාර්තාවක් සොයා ගැනීමට මා උත්සාහ කළත් එවැන්නක් හමු නොවීය. ඒ ගැන මොන දෙයියන්ට ස්තුති කරන්නදැ යි මම නොදනිමි. අපේ නායකයන් යන්නේ, තමා ගැන තමාම කර ගන්නා වර්ණනාව තරම් නොවන  ඕනෑම ප‍්‍රවෘත්තියක් ‘ව්‍යාජ ප‍්‍රවෘත්තියක්’ වශයෙන් දකින අර නැහැදිච්ච ඇමරිකානු ජනාධිපතියාගේ අඩි පාරේ විය හැකි නිසා, ආණ්ඩුවේ පුවත්පතක්ම මේ ගැන කියන වාර්තාවක් උපුටා ගැනීම යෙහෙකැයි මට සිතේ.


සිරිසේන නම් නලාකාරයා


‘‘වර්ණභේදවාදයට විරුද්ධව සිටි විප්ලවීය රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන නෙල්සන් මැන්ඩෙලාගේ අඩි පාරේ යන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටි ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, සාමය සංහිඳියාව සහ ඒ සියල්ලටමත් වඩා සකල මනුෂ්‍යත්වය සඳහා වන බොහෝ පාඩම් මැන්ඩෙලාගේ ජීවිතය තුළින් සැපයෙන බව කියා සිටියේය. කැපී පෙනෙන නායකත්ව ගුණාංග ප‍්‍රකට කළ ඔහුගේ ජීවිතය සහ කාර්ය භාරය ගැන ලෝක නායකයන් උගත යුතුව ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය. තවද, ලෝකයා ඔහුගේ නායකත්ව ගුණාංගයන්ගෙන් අගනා මාර්ගෝපදේශ ලැබිය යුතුව ඇති අතර ඒ අසාමාන්‍ය නායකයාගේ ගමන් මගේ යා යුතුව ඇතැයි ඔහු කීය. තවදුරටත් කරුණු දැක්වූ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, නෙල්සන් මැන්ඩෙලා තමන් අතේ පැවති බලය අතහැරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් අගනා පාඩම් ගණනාවක් ලෝකයාට පෙන්වා දී ඇති බව ද කීවේය.’’


මැන්ඩෙලාගේ මාර්ගයේ යන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින නලාකාරයා වීම ගැන සිරිසේනට ස්තුති කළ යුතුය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, කියන පාඩම් ඉගෙනගෙන නොතිබීමයි. කාහල නාදය නිකුත් කිරීමට පෙර ඒ පාඩම සිරිසේන ස්වකීය ආදර්ශයෙන් පෙන්වා සිටියේ නම් මීට වඩා වැදගත් වන්නට තිබුණි. තවත් විදිහකින් කිවහොත්, මැන්ඩෙලා කළ කී දේවල්වලට පටහැනි දේවල් කරනවා වෙනුවට, මැන්ඩෙලාගේ කාර්ය භාරයෙන් අංශුමාත‍්‍රයක් හෝ කිරීමට සිරිසේනට හැකි විණි නම් මේ කතාව අපූරු එකක් වන්නට තිබුණි.


මැන්ඩෙලා ජනාධිපති ධූරය එක වරකට පමණක් සීමා කරගත්තා


පුවත්පත් වාර්තාවල සඳහන් වන අවසාන වැකිය ගෙන බලන්න: ‘‘තමා අතේ ඇති බලය අතහැරීමේ හෝ සීමා කිරීමේ’’ ආදර්ශය මැන්ඩෙලා ක‍්‍රියාවට නැගූ එක් ක‍්‍රමයක් වුණේ, දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වීමෙන් පසු තමාගේ ධුර කාලය එක වරකට පමණක් සීමා කර ගැනීමට වගබලා ගැනීමයි. අවශ්‍ය විණි නම්, ජීවිත කාලයටම එරටේ ජනාධිපති වශයෙන් සිටීමේ හැකියාව ඔහුට තිබුණි. 1990 පෙබරවාරි මාසයේ මැන්ඩෙලා හිරෙන් නිදහස් කිරීමෙන් මාස 15 කට පසුව, ‘හොංකොං ස්ටැන්ඩර්ඩ්’ පුවත්පතේ මාධ්‍යවේදියෙකු වශයෙන් මා එරටට ගිය අවස්ථාවේ මට පෙනුණු යථාර්ථය එයයි.


රටේ කළු ජාතික අති-බහුතරයේ අසහාය සහාය තමන්ට තිබුණත්, මර්දනයට සහ පීඩාවට ලක්ව සිටි ඒ බහුතරයත්, ඔවුන්ව පීඩාවට පත් කළ වර්ණභේදවාදී සුදු ජාතික සුළුතරයත් එක තැනකට ගෙනැවිත් තනි ජාතියක් ගොඩනැගීමේ ඇති බරපතල අභියෝගය මැන්ඩෙලා වටහාගෙන සිටියේය. ඒ අලූත් දකුණු අප‍්‍රිකාව උපදින්නට විළිලමින් සිටි ආකාරය එදා මා දුටු ආකාරය විස්තර කිරීමට මෙය තැන නොවේ. එහෙත් පවතින අභියෝගය ඉදිරියේ, වෛරය පැත්තකින් දමා, මර්දකයාට සහ මර්දිතයාට යුක්ති ධර්මය පිළිබඳ හැඟීමෙන් යුතුව එක ආකාරයෙන් සැලකීමේ ඇති වැදගත් කම ඔහු තේරුම් ගෙන සිටි බව පැහැදිළි ය.


එහෙත් එසේ කිරීම සඳහාවත්, බලයේ එල්ලී සිටීමට ඔහු බැලූවේ නැත. එක වරක් පමණක් ජනාධිපති ධුරයේ සිටි ඔහු, කලින් පොරොන්දු වී සිටි පරිද්දෙන්ම, එම ධුරය කැමැත්තෙන්ම අත්හලේය.



ශ‍්‍රී ලංකාවේ බලයට පත් සිරිසේනත් මහජන වේදිකාවේ සිට කීවේ එක දෙයකි. එනම්, එක ධුර කාලයකින් පසුව ඉන් ඉවත් වී තමාගේ ගමට ගොස් ගැමියන් සමග ජීවත් වන බව ය. දැන් ඒ මිනිසා තවත් වරක් බලයේ රැඳී සිටීමට බලයි. (ඒ කියන්නේ, ඊළඟ ජනාධිපතිවරණයකින් ජය ගත හැකි නම්ය). මැන්ඩෙලාගේ පුරුෂාර්ථ සහ භාවිතය උකහා ගන්නැයි ලෝක නායකයන්ගෙන් අද ඉල්ලා සිටින්නේ ඔහු ය. බලයේ සිටීමට තමා තුළ ඇති අභිලාෂය ඔහු දැනටමත් ප‍්‍රකාශ කොට හෝ ප‍්‍රකාශ කරවාගෙන හෝ තිබේ.


ඊළඟට, පසුව දා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් ඔහු රාජ්‍ය නායකයන්ගෙන් තවත් දෙයක් ඉල්ලා සිටියේය. එනම්, ලංකාව දෙස වෙනත් මානයකින් හෙවත් වඩාත් සානුකම්පික ඇසකින් බලන ලෙසයි. ‘‘මගේ රට දෙස, කුරුරි යුද්ධයකින් පසු දැන් සාමය උදා කරගෙන ඇති මගේ රට දෙස, අලූත් අදහස් සහිත අලූත් මානයකින් බලන්නැ යි මම ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජාතික සංහිඳියාව පවතින රටක් ලෙස, තවත් යුද්ධයක් ඇති වීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගෙන ඇති සහ ගනිමින් සිටින රටක් ලෙස සහ මානව හිමිකම් අගයන සහ ආරක්ෂා කරන රටක් ලෙස එදෙස බලන්නැයි මම ඉල්ලා සිටිනවා.’’


 


සත්‍යය සහ සංහිඳියා කොමිසම කෝ ?


කදිමය, අපූරුය. ලෝක නායකයන්ගෙන් ලංකාව දෙස මානුෂීය ඇසකින් බලන්නැයි ඉල්ලා සිටීමට කලින්, ඒ නායකයන්ට දී ඇති පොරොන්දු මොහුගේ ආණ්ඩුව ඉටු කර තිබුණේ නම් කතාව ටිකක් වැදගත් වන්නට තිබුණි. ඊට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක්, ශ‍්‍රී ලංකාවේ සම සහභාගීත්වයෙන් යුතුව සම්මත කරගෙන තිබේ. හිටපු විදේශ ඇමතිවරයා විසින් සම-යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කොට සම්මත කර ගන්නා ලද මෙම යෝජනාව තුළ වගවීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවීමේ පොරොන්දුව තිබුණි. එනම්, දකුණු අප‍්‍රිකාවේ නායක නෙල්සන් මැන්ඩෙලා විසින් ඇති කරගෙන තිබූ ‘සත්‍යය සහ සංහිඳියා කොමිසම’ බඳු යාන්ත‍්‍රණයක් පිහිටුවන බව ය.


එවැනි කොමිසමක් පිහිටුවීම ගැන දකුණු අප‍්‍රිකාවෙන් උපදෙස් ද ලබා ගත් ලංකාව එවැන්නක් ලංකාවේ පිහිටුවන බව 2015 සැප්තැම්බර් 14 වැනි දා ප‍්‍රකාශයට පත්කෙළේය. ස්වයං-විජයග‍්‍රාහී ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ අඩිපාරේ යමින් තමන්ගේ ආණ්ඩුව ඇති කරගෙන තිබෙන ජයග‍්‍රහණයන් ගැන අපේ ජනාධිපතිවරයා කතා කළත්, අර කියන ‘සත්‍යය කොමිසම’ ගැන කතා කෙළේ නැත. එහෙත්, ඒ සඳහා කටයුතු කිරීමට ජාත්‍යන්තරයෙන් අපේ ආණ්ඩුව කල් ලබාගෙනත් තිබුණි. මුලදීම අවුරුදු දෙකක කාලයක් ලබා ගත්තේය.


මැන්ඩෙලාගේ අඩිපාරේ යන්නැයි ලෝකයට කියා දෙන පුද්ගලයාගේ ආණ්ඩුව, මැන්ඩෙලාගේ ඉහළම ජයග‍්‍රහණය වන ‘සත්‍යය කොමිසමට’ පස්ස හරවා සිටී. එසේ තිබියදී, ඒ ලෝක නායකයන් සියල්ලන්ම තමන්ගේ ඇස්වල සුදු ඉංගිරියාව සාමූහිකව අලූතින් බද්ධ කරගෙන නැත්නම්, ලංකාව දෙස වෙනත් ඇසකින් කෙසේ නම් බලන්න ද ?


උපුල් ජයසූරිය - මෛත්‍රී ගැන කීවේ මොනවාද ?


මෑතකදී දකින්ට ලැබුණු ලොකුම මායාව වුණේ, 2016 අගෝස්තු මාසයේ කොළඹ පැවති ආසියාතික නීති විශාරදයන්ගේ සමුළුවකදී, එවක ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වූ උපුල් ජයසූරිය, අපේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව ශ‍්‍රී ලංකාවේ නැගී එන මැන්ඩෙලා කෙනෙකු වශයෙන් හඳුන්වා දීම ය. තමාගේ ආරම්භක දේශනයේදී ජනාධිපතිවරයාට ආමන්ත‍්‍රණය කරමින් උපුල් ජයසූරිය මෙසේ කීය:


‘‘අපේ රටත් ජනතාවත් එක්සත් කළ, එක ජාතියක් සහ එක ජනතාවක් ගොඩනැගූ පුරවැසියා වශයෙන් නූතන ශ‍්‍රී ලංකාවේ නෙල්සන් මැන්ඩෙලා ඔබතුමා වන බවට ඉතිහාසය තීරණය කරනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.’’ ජනාධිපති සිරිසේන රට සහ ජනතාව එක්සත් කළ නායකයා වශයෙන් දැක්වීම මගේ මතකයට ගෙනාවේ, ‘සැකය  ඕනෑ කමින් නතර කර තබා ගැනීම’ ගැන සැමුවෙල් කොල්රිජ්ගේ කවියක සඳහන් කොටසකි.


ශ‍්‍රී ලංකාවේ කටයුතු ගැන තරමක් හෝ දන්නා කියන විදේශීය නියෝජිතයන්ට පවා, ජනාධිපති සිරිසේන ‘අපේ රට’ එක්සත් කොට ඇතැයි පිළිගැනීම අමාරු වූවාට සැක නැත. මන්ද යත්, ඒ වන විට ඔහුගේ පක්ෂයම පවා එක්සත් බව නැති කර ගනිමින් සිටි බැවිනි. සභාග ආණ්ඩුවත් අවුලට යමින් සිටි බැවිනි. ඒ නිසා, ගාන  ඕනෑම සායමක් තාවකාලික එකක් පමණක්ම වීමට නියමව තිබුණි.


 



 

ඉතිහාසය යළිත් එයාකාරයෙන්ම සිදුවෙයි නම් මුලින් එය ඛේදවාචකයක් වශයෙන් සිදුවිය හැකි බවත්, දෙවැනුවත් එය ඒ ආකාරයෙන්ම සිදුවෙයි නම් ඒ විගඩමක් වශයෙන් බවත්, මාක්ස් (ගෘචෝ නොව, කාර්ල්) කියා ඇත. මෙය, විගඩම් වටයක් වශයෙන් ඉතිහාසය යළිත් කැරකී ඒමකැ යි පෙනේ. එය මගේ මතකයට ගෙනෙන්නේ, කාර්ල්ව නොව, ගෘචෝව ය. (ගෘචෝ මාක්ස් යනු, ගත වූ සියවසේ විසූ ශ්‍රේෂ්ඨ ඇමරිකානු විකට රංගනවේදියෙකි.)


නෙවිල් ද සිල්වා


 

(2018 සැප්තැම්බර් 30 වැනි දා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ  Sirisena & the Mandela Moment නැමැති ලිපියේ සිංහල පරිවර්තනය. ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)