The Most/Recent Articles

Showing posts with label සංහිඳියාව. Show all posts
Showing posts with label සංහිඳියාව. Show all posts

අපට සංක්‍රාන්තික යුක්තිය වුවමනා ඇයි ?

සංක්‍රාන්තික යුක්තිය අපට අවශ්‍ය ඇයි ?


වසර තිහක් වූ කුරිරු යුද්ධය නිසා බියෙන් ඇළලී ගිය සමයෙන් පසුව, අප සැමගේ උද්ගත වූ වේදනාවන් සුවපත් කිරීම උදෙසා අප විසින් ස්වේච්ඡාවෙන්ම තෝරාගත් සුවපත් කිරීමේ ක්‍රියාවලිය වන්නේ සංක්‍රාන්තික යුක්තියයි.  කෘරතර යුද්ධයේ බලපෑම් කිසිදු එක් ජන වර්ගයකට, ආගමකට, සමයකට හෝ ප්‍රදේශයකට සීමා කල නොහැක.  සෑම ආගමික හා වාර්ගික කණ්ඩායමක් විසින්ම යුද්ධයේ වේදනාව අත්විඳි බවත්, ඔවුන්ගේ හදවත් හි නොමැකෙන කැළැල් ඉතිරි කළ බවත් අවිවාදයෙන් තොරව පිළිගත යුතු සත්‍යයකි. මෙකී තත්ත්වයක් හමුවේ, සංක්‍රාන්තික යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය, එක් ප්‍රජාවකට පමණක් සීමා නොවන, එතෙක් වුවද මුළු මහත් ශ්‍රී ලාංකේය පුරවැසියන්ටම පොදු වූ සුවපත් වීමේ ක්‍රියාවලියකින් සමන්විත වේ.


 

සංක්‍රාන්තික යුක්තිය යනු දුක්ඛිත අතීතය සහ නින්දිත උරුමය තුලින් මිදීමට පහසුකම් සලසන ක්‍රියාවලියකි. එක්සත් ජාතීන්ගේ, සංක්‍රාන්තික යුක්තිය සඳහා විශේෂ වාර්තාකරු පැබ්ලෝ ඩි ග්‍රේෆ් දක්වා ඇති ආකාරයට, සංක්‍රාන්තික යුක්තිය යනු, “ජාතික හා දේශීය මට්ටම් වලින් සමාජ සංහිඳයාව, ජාතිය - ගොඩනැංවීම, හිමිකාරීත්වය සහ අන්තර්ගතභාවය සහතික කිරීම පිණිස, අර්බුද යලි යලිත් ඇතිවීම සහ අනාගතයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් වලක්වමින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමයි”.


සංක්‍රාන්තික යුක්තිය යනු කුමක්ද ?


සත්‍යය, යුක්තිය, හානිපුර්ණය,  සහ එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීම සඳහා වගකීම් දැරීම ලෙස සංක්‍රාන්තික යුක්තිය කොටස් හතරකින් සන්නද්ධ වේ. එනමුත් මෙකී සිව් ස්ථම්භයන් පැහැදිලි රේඛාවකින් එකිනෙක වෙන්කළ නොහැක. තවද, එම සිව් ස්ථම්භයන්හි ස්වභාවය, ලක්ෂණ, වාසි හා අවාසි වෙන් වෙන් වශයෙන් දැක්විය නොහැකි වන අතර ඒවා එකිනෙකට ඈඳී පවතී. එක් ක්‍රියාවලියක ක්‍රියාත්මකභාවය සහ සාර්ථකත්වය අනෙක් යාන්ත්‍රණය මත රැඳී පවතී. නිදසුනක් ලෙස, යම් පුද්ගලයකුට යුක්තිය ලැබුණු පසුව, ඔහුට අනාගතයේදී ද එවැනිම අයුක්තියකට ලක් වීමට සිදු වෙතැයි බිය වන්නට සිදු වන්නේ නම්, යුක්තියෙහි අර්ථයක් නොමැති වනවා මෙන්ම, යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයද අසාර්ථක වේ. යුක්තිය අර්ථවත් වන්නේ යම් පුද්ගලයකුට යුක්තිය ලැබීමෙන් අනතුරුව යලිත් එබඳු අකටයුත්තක් ඇති නොවේය යන සහතිකය ලැබෙන්නේ නම් පමණි. පෙර සදහන් කල ආකාරයෙන්, සංක්‍රාන්තික යුක්තියෙහි ප්‍රධානතම කාරණාවන් දෙකක් වන, සත්‍යය සහ හානිපුර්ණය යන සාධක අතර පවත්නා සබඳතා මෙම ලිපිය මගින් ගවේෂණය කෙරේ.


 

මෙතෙක් කාලයක් අතුරුදන්වූවන් ගේ ඥාතීන්ගේ හඬට සංවේදී වෙමින් ඔවුන්ගේ අඳෝනාවන්ට සවන් යොමු කිරීමෙන් පසක් කරගෙන ඇති සත්‍යය වන්නේ - මිනිසුන්ට සිය ආදරණීයයන් මියයාම අපහසුවෙන් හෝ පිළිගත හැකි වන නමුදු සිය ආදරණීයයන්ට කුමක් වූවා ද? - කොතැනක සිටින්නේ ද? යන ප්‍රශ්න වලට පිළිතුරු නොමැති වීම දරාගත නොහැකි බවයි. යුද්ධයෙන් සිය ආදරණීයයන් මියගිය සෑම පුද්ගලයකුටම සත්‍යය දැන ගැනීමට හිමිකමක් පවතී. සත්‍යයට පවත්නා හිමිකම, අන්තර්ජාතික වශයෙන් පිළිගත් මූලික මිනිස් අයිතිවාසිකමකි. බලහත්කාරයෙන් අතුරුදන් කරවීමට එරෙහිව සියලුම පුද්ගලයන් රැක ගැනීම සඳහා වන අන්තර්ජාතික සම්මුතියෙහි (ICPPED) 24 වන කොටසට අනුව මෙසේ පැවසේ:


 

“පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ තත්ත්වයන්හි සත්‍යය පිළිබඳව දැනගැනීමටත්, විමර්ශනයන් හි ප්‍රගතිය සහ ප්‍රතිඵල පිළිබඳව දැන ගැනීමටත්, එමෙන්ම අතුරුදන් වූවන් ගේ ඉරණම කුමක්ද යන්න දැන ගැනීමටත් එම බලහත්කාරයෙන් අතුරුදන් වූ පුද්ගලයන් හට ඍජු සම්බන්ධයක් පවත්නා සෑම පුද්ගලයකුටම හිමිකම් පවතී. මේ සඳහා සෑම රාජ්‍ය පාර්ශ්වයක්ම  සුදුසු පියවර ගත යුතුය.”


 

ශ්‍රී ලංකාව විසින් ICPPED සම්මුතිය 2015 දෙසැම්බර් මස 10 වන දින අත්සන් තබන ලද අතර 2016 මැයි මස 25 වන දින එය සනාථ කරන ලද්දේ ICPPED සම්මුතිය ක්‍රියාත්මක කරමින් නේවාසික නීති සම්පාදනයක් සිදු කිරීමේ පොරොන්දුව පෙරදැරි කරගෙනයි. ඊට අනුගාමීව, පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාව විසින් නීති පද්ධතියක් ද සම්පාදනය කරන ලදී. මේවා සැලකිල්ලට ගත් විට, ශ්‍රී ලංකා රජය විසින් (GoSL) එහි පුරවැසියන් වන වින්දිතයින් හට අතුරුදන් වූවන් පිළිබඳ සත්‍යය දැන ගැනීමට ඇති අයිතියට ගරු කිරීමට කැමැත්ත දක්වන බව පැහැදිලි වේ.


 

සංක්‍රාන්තික යුක්තිය යටතේ සිදුකෙරෙන්නේ මොනවද ? 


සංක්‍රාන්තික යුක්තිය යටතේ ඇති සත්‍යය නම් සාධකය විසින් ව්‍යසනයට පත් වූවන්ට පිළිතුරක් ලබා දෙන අතර, තවද එය, පෙර පැවති අඳුරු අතීතයෙහි තත්ත්වයන් පිළිබඳ සමාජය දැනුවත් කරයි. සත්‍යය පැවසීම තුලින් සංහිඳියා ක්‍රියාවලියට පහසුකම් සැලසිය හැකි වේ. මෙකී සත්‍යයේ ස්වභාවය හේතු කොට ගෙන, යථාවත් කිරීමට වඩාත් සමීප සබඳතා ඇති කරන අතර, එය වින්දිතයින් වෙත හානිපුර්ණය ලබා දීමට ද පහසුකම් සලසයි. හානිපුර්ණය යනු මූල්‍යමය වන්දි ගෙවීම් පමණක් ම වන බවට ජනතාව අතර වැරදි වැටහීමක් ස්ථාපිතව ඇත. එහෙත් හානිපුරණය එයට වඩා පුළුල් ස්වභාවයක් ගනී. සත්‍ය වශයෙන්ම හානිපූර්ණය තුළ වන්දි ලබා දීම, පුනරුත්තාපනය, ප්‍රතිස්ථාපනය, සංතෘප්තිය සහ නැවත මෙවැනි තත්ත්වයන් ඇති නොවන බවට ලබාදෙන වගකීම යන ප්‍රධාන සාධක පහක් අන්තර්ගත වේ.


සත්‍යය පැවසීමේ ක්‍රියාවලිය හරහා අවම වශයෙන් සිය ආදරණීයයන්ට කුමක් සිදුවූවාද යන්න පිළිබඳව දැනගැනීමට හැකිවීමෙන් වින්දිතයින්ට සත්‍ය දැනගනීමත් එතුළින් පවත්නා තත්ත්වය පිළිබඳ තෘප්තිමත්භාවයට පැමිණීමට හැකියාවත් ලැබේ. තවද, සත්‍ය දැන ගැනීම හරහා, අතුරුදන් වීම් හේතුවෙන් අගතියට පත් වූවන්ට වන්දි ගෙවීම සඳහා ඉඩ සැලසේ. සත්‍ය පැවසීමේ ක්‍රියාවලිය හරහා අනාවරණය කෙරෙන අතීත අපචාරයන් හි සාක්ෂි හේතුවෙන්, අනාගත ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පවතින පද්ධතියෙහි ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමට සහායක් ලබා දෙනු ඇත. එබැවින්, සත්‍ය මගින් හානිපුර්ණයෙහි සාධක වලට ශක්‍යතාව ඇති කරයි. සත්‍ය සහ හානිපුර්ණය යනු සංහිඳියාවෙහි අති වැදගත්කමකින් යුත් සාධකයන්ය. මන්ද යත් එක් අතෙකින් එමඟින් වින්දිතයන් සඳහා පිළිතුරු ලබා දෙමින් ඔවුන්ට සිය ජීවිත යථාවත් කර ගැනීමට සහාය ලබා දෙන අතර අනෙක් අතට මෙම සාධක දෙක මගින් පද්ධතිමය දූෂිතයන් සඳහා මං සලසන මූලික ව්‍යුහය වෙනස් කිරීමට මග හෙළිකරයි. සංහිඳියාවේ ඉලක්ක සපුරාලනු වස් සත්‍ය සහ හානිපුර්ණය අත්‍යන්ත වැදගත්කමකින් යුක්ත වන්නා වූ මෙවලම් ද්විත්වයක් බැව් ඉහත කරුණු මත ඉතාමත් පැහැදිලිය.


සුලෝචනා රාජපක්ෂ


 

 

ජනපතිගේ මැන්ඩෙලා කතාව විගඩමක්ද ?

මැන්ඩෙලා සාම කතාවට ජනපතිට ආරාධනා දුන්නේ කවුද ?


නිව්යෝර්ක් නුවර ‘නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේ’ කතාවක් පැවැත්වීමට ජනාධිපති සිරිසේනට ඇරයුම් කෙළේ කවුද යන්න දන්නවා ඇත්තේ ශ‍්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සහ දකුණු අප‍්‍රිකානුවන් පමණි. ඊට දවසකට පසුව එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමටත් ඔහු නියමිතව සිටි නිසා, මැන්ඩෙලා කතාව සංවිධානය කළ පිරිස එක මිලකින් වැඩ දෙකක් කරවා ගැනීමට හෙවත් එකක් මිලට ගන්නා විට තව එකක් නිකං ගැනීමේ ආර්ථික න්‍යාය අනුගමනය කරන්නට ඇත. එහෙත් දැන් අවුරුදු පතා නිව්යෝර්ක් වන්දනාවේ යන සිරිසේනගේ කතා යුගලය එකට ගෙන ඇසුවොත් එහි මහ ලොකු වටිනාකමක් කෙනෙකුට නොදැනෙනු ඇත. මැන්ඩෙලා සමුළුව අමතා සිරිසේන කළ කතාව සංක්ෂිප්ත ය. එය ඇසුවේ නම් මැන්ඩෙලා සිටින තැනක සිට දහස් වාරයක් අපේ ජනාධිපතිවරයාට ස්තුති කරනු නොඅනුමානයි. ඊට සවන්දුන් දකුණු අප‍්‍රිකානු නායකයන් වුව එසේ කරනු ඇත.


මැන්ඩෙලා කෙරෙහි සිරිසේන දැක්වූ උපහාරය, ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුව අමතා කළ කතාව සමග එකට ගෙන කියවිය යුතුව තිබේ. එවිට, පිටස්තරයෙකුට වඩා ශ‍්‍රී ලාංකිකයන්ට සහ ශ‍්‍රී ලංකාවේ කටයුතු ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට සිරිසේනගේ කුහක තර්ජනය වඩාත් හොඳින් වැටහෙනු ඇත. දේශීය මාධ්‍ය තුළ පළවූ සිරිසේනගේ මැන්ඩෙලාභිවාදනය, එහි සමස්තය ද නැතහොත් ඉන් උපුටා ගැනීම් කිහිපයක් පමණක් ද යන්න මම නොදනිමි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් මීට වඩා සවිස්තරාත්මක වාර්තාවක් සොයා ගැනීමට මා උත්සාහ කළත් එවැන්නක් හමු නොවීය. ඒ ගැන මොන දෙයියන්ට ස්තුති කරන්නදැ යි මම නොදනිමි. අපේ නායකයන් යන්නේ, තමා ගැන තමාම කර ගන්නා වර්ණනාව තරම් නොවන  ඕනෑම ප‍්‍රවෘත්තියක් ‘ව්‍යාජ ප‍්‍රවෘත්තියක්’ වශයෙන් දකින අර නැහැදිච්ච ඇමරිකානු ජනාධිපතියාගේ අඩි පාරේ විය හැකි නිසා, ආණ්ඩුවේ පුවත්පතක්ම මේ ගැන කියන වාර්තාවක් උපුටා ගැනීම යෙහෙකැයි මට සිතේ.


සිරිසේන නම් නලාකාරයා


‘‘වර්ණභේදවාදයට විරුද්ධව සිටි විප්ලවීය රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන නෙල්සන් මැන්ඩෙලාගේ අඩි පාරේ යන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටි ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, සාමය සංහිඳියාව සහ ඒ සියල්ලටමත් වඩා සකල මනුෂ්‍යත්වය සඳහා වන බොහෝ පාඩම් මැන්ඩෙලාගේ ජීවිතය තුළින් සැපයෙන බව කියා සිටියේය. කැපී පෙනෙන නායකත්ව ගුණාංග ප‍්‍රකට කළ ඔහුගේ ජීවිතය සහ කාර්ය භාරය ගැන ලෝක නායකයන් උගත යුතුව ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය. තවද, ලෝකයා ඔහුගේ නායකත්ව ගුණාංගයන්ගෙන් අගනා මාර්ගෝපදේශ ලැබිය යුතුව ඇති අතර ඒ අසාමාන්‍ය නායකයාගේ ගමන් මගේ යා යුතුව ඇතැයි ඔහු කීය. තවදුරටත් කරුණු දැක්වූ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා, නෙල්සන් මැන්ඩෙලා තමන් අතේ පැවති බලය අතහැරීම හෝ සීමා කිරීම සම්බන්ධයෙන් අගනා පාඩම් ගණනාවක් ලෝකයාට පෙන්වා දී ඇති බව ද කීවේය.’’


මැන්ඩෙලාගේ මාර්ගයේ යන්නැයි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින නලාකාරයා වීම ගැන සිරිසේනට ස්තුති කළ යුතුය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ, කියන පාඩම් ඉගෙනගෙන නොතිබීමයි. කාහල නාදය නිකුත් කිරීමට පෙර ඒ පාඩම සිරිසේන ස්වකීය ආදර්ශයෙන් පෙන්වා සිටියේ නම් මීට වඩා වැදගත් වන්නට තිබුණි. තවත් විදිහකින් කිවහොත්, මැන්ඩෙලා කළ කී දේවල්වලට පටහැනි දේවල් කරනවා වෙනුවට, මැන්ඩෙලාගේ කාර්ය භාරයෙන් අංශුමාත‍්‍රයක් හෝ කිරීමට සිරිසේනට හැකි විණි නම් මේ කතාව අපූරු එකක් වන්නට තිබුණි.


මැන්ඩෙලා ජනාධිපති ධූරය එක වරකට පමණක් සීමා කරගත්තා


පුවත්පත් වාර්තාවල සඳහන් වන අවසාන වැකිය ගෙන බලන්න: ‘‘තමා අතේ ඇති බලය අතහැරීමේ හෝ සීමා කිරීමේ’’ ආදර්ශය මැන්ඩෙලා ක‍්‍රියාවට නැගූ එක් ක‍්‍රමයක් වුණේ, දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වීමෙන් පසු තමාගේ ධුර කාලය එක වරකට පමණක් සීමා කර ගැනීමට වගබලා ගැනීමයි. අවශ්‍ය විණි නම්, ජීවිත කාලයටම එරටේ ජනාධිපති වශයෙන් සිටීමේ හැකියාව ඔහුට තිබුණි. 1990 පෙබරවාරි මාසයේ මැන්ඩෙලා හිරෙන් නිදහස් කිරීමෙන් මාස 15 කට පසුව, ‘හොංකොං ස්ටැන්ඩර්ඩ්’ පුවත්පතේ මාධ්‍යවේදියෙකු වශයෙන් මා එරටට ගිය අවස්ථාවේ මට පෙනුණු යථාර්ථය එයයි.


රටේ කළු ජාතික අති-බහුතරයේ අසහාය සහාය තමන්ට තිබුණත්, මර්දනයට සහ පීඩාවට ලක්ව සිටි ඒ බහුතරයත්, ඔවුන්ව පීඩාවට පත් කළ වර්ණභේදවාදී සුදු ජාතික සුළුතරයත් එක තැනකට ගෙනැවිත් තනි ජාතියක් ගොඩනැගීමේ ඇති බරපතල අභියෝගය මැන්ඩෙලා වටහාගෙන සිටියේය. ඒ අලූත් දකුණු අප‍්‍රිකාව උපදින්නට විළිලමින් සිටි ආකාරය එදා මා දුටු ආකාරය විස්තර කිරීමට මෙය තැන නොවේ. එහෙත් පවතින අභියෝගය ඉදිරියේ, වෛරය පැත්තකින් දමා, මර්දකයාට සහ මර්දිතයාට යුක්ති ධර්මය පිළිබඳ හැඟීමෙන් යුතුව එක ආකාරයෙන් සැලකීමේ ඇති වැදගත් කම ඔහු තේරුම් ගෙන සිටි බව පැහැදිළි ය.


එහෙත් එසේ කිරීම සඳහාවත්, බලයේ එල්ලී සිටීමට ඔහු බැලූවේ නැත. එක වරක් පමණක් ජනාධිපති ධුරයේ සිටි ඔහු, කලින් පොරොන්දු වී සිටි පරිද්දෙන්ම, එම ධුරය කැමැත්තෙන්ම අත්හලේය.



ශ‍්‍රී ලංකාවේ බලයට පත් සිරිසේනත් මහජන වේදිකාවේ සිට කීවේ එක දෙයකි. එනම්, එක ධුර කාලයකින් පසුව ඉන් ඉවත් වී තමාගේ ගමට ගොස් ගැමියන් සමග ජීවත් වන බව ය. දැන් ඒ මිනිසා තවත් වරක් බලයේ රැඳී සිටීමට බලයි. (ඒ කියන්නේ, ඊළඟ ජනාධිපතිවරණයකින් ජය ගත හැකි නම්ය). මැන්ඩෙලාගේ පුරුෂාර්ථ සහ භාවිතය උකහා ගන්නැයි ලෝක නායකයන්ගෙන් අද ඉල්ලා සිටින්නේ ඔහු ය. බලයේ සිටීමට තමා තුළ ඇති අභිලාෂය ඔහු දැනටමත් ප‍්‍රකාශ කොට හෝ ප‍්‍රකාශ කරවාගෙන හෝ තිබේ.


ඊළඟට, පසුව දා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් ඔහු රාජ්‍ය නායකයන්ගෙන් තවත් දෙයක් ඉල්ලා සිටියේය. එනම්, ලංකාව දෙස වෙනත් මානයකින් හෙවත් වඩාත් සානුකම්පික ඇසකින් බලන ලෙසයි. ‘‘මගේ රට දෙස, කුරුරි යුද්ධයකින් පසු දැන් සාමය උදා කරගෙන ඇති මගේ රට දෙස, අලූත් අදහස් සහිත අලූත් මානයකින් බලන්නැ යි මම ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජාතික සංහිඳියාව පවතින රටක් ලෙස, තවත් යුද්ධයක් ඇති වීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගෙන ඇති සහ ගනිමින් සිටින රටක් ලෙස සහ මානව හිමිකම් අගයන සහ ආරක්ෂා කරන රටක් ලෙස එදෙස බලන්නැයි මම ඉල්ලා සිටිනවා.’’


 


සත්‍යය සහ සංහිඳියා කොමිසම කෝ ?


කදිමය, අපූරුය. ලෝක නායකයන්ගෙන් ලංකාව දෙස මානුෂීය ඇසකින් බලන්නැයි ඉල්ලා සිටීමට කලින්, ඒ නායකයන්ට දී ඇති පොරොන්දු මොහුගේ ආණ්ඩුව ඉටු කර තිබුණේ නම් කතාව ටිකක් වැදගත් වන්නට තිබුණි. ඊට අදාළව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක්, ශ‍්‍රී ලංකාවේ සම සහභාගීත්වයෙන් යුතුව සම්මත කරගෙන තිබේ. හිටපු විදේශ ඇමතිවරයා විසින් සම-යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කොට සම්මත කර ගන්නා ලද මෙම යෝජනාව තුළ වගවීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවීමේ පොරොන්දුව තිබුණි. එනම්, දකුණු අප‍්‍රිකාවේ නායක නෙල්සන් මැන්ඩෙලා විසින් ඇති කරගෙන තිබූ ‘සත්‍යය සහ සංහිඳියා කොමිසම’ බඳු යාන්ත‍්‍රණයක් පිහිටුවන බව ය.


එවැනි කොමිසමක් පිහිටුවීම ගැන දකුණු අප‍්‍රිකාවෙන් උපදෙස් ද ලබා ගත් ලංකාව එවැන්නක් ලංකාවේ පිහිටුවන බව 2015 සැප්තැම්බර් 14 වැනි දා ප‍්‍රකාශයට පත්කෙළේය. ස්වයං-විජයග‍්‍රාහී ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ අඩිපාරේ යමින් තමන්ගේ ආණ්ඩුව ඇති කරගෙන තිබෙන ජයග‍්‍රහණයන් ගැන අපේ ජනාධිපතිවරයා කතා කළත්, අර කියන ‘සත්‍යය කොමිසම’ ගැන කතා කෙළේ නැත. එහෙත්, ඒ සඳහා කටයුතු කිරීමට ජාත්‍යන්තරයෙන් අපේ ආණ්ඩුව කල් ලබාගෙනත් තිබුණි. මුලදීම අවුරුදු දෙකක කාලයක් ලබා ගත්තේය.


මැන්ඩෙලාගේ අඩිපාරේ යන්නැයි ලෝකයට කියා දෙන පුද්ගලයාගේ ආණ්ඩුව, මැන්ඩෙලාගේ ඉහළම ජයග‍්‍රහණය වන ‘සත්‍යය කොමිසමට’ පස්ස හරවා සිටී. එසේ තිබියදී, ඒ ලෝක නායකයන් සියල්ලන්ම තමන්ගේ ඇස්වල සුදු ඉංගිරියාව සාමූහිකව අලූතින් බද්ධ කරගෙන නැත්නම්, ලංකාව දෙස වෙනත් ඇසකින් කෙසේ නම් බලන්න ද ?


උපුල් ජයසූරිය - මෛත්‍රී ගැන කීවේ මොනවාද ?


මෑතකදී දකින්ට ලැබුණු ලොකුම මායාව වුණේ, 2016 අගෝස්තු මාසයේ කොළඹ පැවති ආසියාතික නීති විශාරදයන්ගේ සමුළුවකදී, එවක ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වූ උපුල් ජයසූරිය, අපේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව ශ‍්‍රී ලංකාවේ නැගී එන මැන්ඩෙලා කෙනෙකු වශයෙන් හඳුන්වා දීම ය. තමාගේ ආරම්භක දේශනයේදී ජනාධිපතිවරයාට ආමන්ත‍්‍රණය කරමින් උපුල් ජයසූරිය මෙසේ කීය:


‘‘අපේ රටත් ජනතාවත් එක්සත් කළ, එක ජාතියක් සහ එක ජනතාවක් ගොඩනැගූ පුරවැසියා වශයෙන් නූතන ශ‍්‍රී ලංකාවේ නෙල්සන් මැන්ඩෙලා ඔබතුමා වන බවට ඉතිහාසය තීරණය කරනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.’’ ජනාධිපති සිරිසේන රට සහ ජනතාව එක්සත් කළ නායකයා වශයෙන් දැක්වීම මගේ මතකයට ගෙනාවේ, ‘සැකය  ඕනෑ කමින් නතර කර තබා ගැනීම’ ගැන සැමුවෙල් කොල්රිජ්ගේ කවියක සඳහන් කොටසකි.


ශ‍්‍රී ලංකාවේ කටයුතු ගැන තරමක් හෝ දන්නා කියන විදේශීය නියෝජිතයන්ට පවා, ජනාධිපති සිරිසේන ‘අපේ රට’ එක්සත් කොට ඇතැයි පිළිගැනීම අමාරු වූවාට සැක නැත. මන්ද යත්, ඒ වන විට ඔහුගේ පක්ෂයම පවා එක්සත් බව නැති කර ගනිමින් සිටි බැවිනි. සභාග ආණ්ඩුවත් අවුලට යමින් සිටි බැවිනි. ඒ නිසා, ගාන  ඕනෑම සායමක් තාවකාලික එකක් පමණක්ම වීමට නියමව තිබුණි.


 



 

ඉතිහාසය යළිත් එයාකාරයෙන්ම සිදුවෙයි නම් මුලින් එය ඛේදවාචකයක් වශයෙන් සිදුවිය හැකි බවත්, දෙවැනුවත් එය ඒ ආකාරයෙන්ම සිදුවෙයි නම් ඒ විගඩමක් වශයෙන් බවත්, මාක්ස් (ගෘචෝ නොව, කාර්ල්) කියා ඇත. මෙය, විගඩම් වටයක් වශයෙන් ඉතිහාසය යළිත් කැරකී ඒමකැ යි පෙනේ. එය මගේ මතකයට ගෙනෙන්නේ, කාර්ල්ව නොව, ගෘචෝව ය. (ගෘචෝ මාක්ස් යනු, ගත වූ සියවසේ විසූ ශ්‍රේෂ්ඨ ඇමරිකානු විකට රංගනවේදියෙකි.)


නෙවිල් ද සිල්වා


 

(2018 සැප්තැම්බර් 30 වැනි දා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ  Sirisena & the Mandela Moment නැමැති ලිපියේ සිංහල පරිවර්තනය. ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)

සංහිඳියාව උතුරට පමණක් නොවෙයි

සංහිඳියාවේ මිත්‍යාව සහ හානිපූරණය 


ශ්‍රී ලංකාව තුළ අන් සියළු කාරණා සේම “සංහිඳියාව” පිළිබඳව ද ඇත්තේ අවිධිමත් දැනුමකි. සංහිඳියාව පිළිබඳ සංකල්පය, බුද්ධිමය සංවාදයකට සේ ම ජනතාකරණයකට ද ලක්ව තිබුණේ නැත.


නමුත්, සංහිඳියා යාන්ත්‍රණය අධීක්ෂණය කිරීමේ කාර්යාලය, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කල ‘අහන්න’ වැඩසටහන තුලින් 'සංහිඳියා යාන්ත්‍රණය' පිළිබඳව මෙරට ජන සමාජය තුළ බුද්ධිමය සංවාදයකට මූල බීජ වැපිරීමට අවස්ථාව උදාවිය.


මෙම වැඩසටහනේ පළමු අදියර මොනරාගල ප්‍රදේශයෙන් අවසන් වූ අතර එහි දෙවන අදියර මේ වන ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.


කෙසේ නමුත් මෙම වැඩසටහන අතරතුර ජනතාව වෙතින් සංවාදයට විවර කල කාරණා බොහෝමයකි.


කණගාටුවට කරුණ නම් 'සංහිඳියා යාන්ත්‍රණය' පිළිබඳව අවබෝධය පොදු ජනතාව කෙසේ වෙතත් ග්‍රාමීය මට්ටමේ ජනමතය හසුරුවන රජයේ නිලධාරීන්ට, ප්‍රාදේශීය දේශපාලකයන්ට සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ට මෙය අතිශය දුරස්ථ වූ සංකල්පයක් බවට පත්ව තිබීමයි.


සංහිඳියාව යනු ත්‍රස්තවාදයට ඉඩදීමක් නොවේ 


එසේම 'සංහිඳියා යාන්ත්‍රණය' ඔවුන්ට අනවබෝධයෙන් සහ මිත්‍යාවෙන් වැසුණු සංකල්පයක් බවට පත්ව තිබේ.




  • සංහිඳියාව යනු ත්‍රස්ත්‍රවාදයට ඉඩ දීමක් ද?


2003 දී ප්‍රකාශිත IDEA අත්පොතට අනුව සංහිඳියාව යනු සත්‍යය, යුක්තිය, සුවකරගැනීම සහ තවත් බොහෝ දෑ සොයා යන ගමනකින් සමන්විත අති – දීර්ඝ ක්‍රියාවලියකි.  


සරලව ම කියතොත් එදිරිවාදීකම් අත්හැර එක්ව ජීවත් වීමයි.


මෙහිදී එදිරිවාදීන්ට ප්‍රේම කිරීමට හෝ සමාව දීමට එසේත් නැතිනම් අතීතය සහමුලින්ම අමතක කිරීම අත්‍යවශ්‍ය නැත.


සංහිඳියාව උතුරට පමණක් නොවේ




  • සංහිඳියාව උතුරට පමණයි ද?


සංහිඳියාව යනු එක් වාර්ගික කොටසකට, ආගමික හෝ එක් ප්‍රදේශයකට සීමා වූ සංකල්පයක් නොවේ. සංහිඳියාව යනු සියලු වාර්ගික, ආගමික, ප්‍රාදේශීය අනන්‍යතාවයන් සුරකිමින් වේගවත් සංවර්ධනයකට පදනම් දැමිය හැකි සංකල්පයකි.




  • යුද්ධය ඉවරයි! ප්‍රශ්නයත් ඉවරයි නේද?


යුද්ධයේ අවසානය යනු එහි වින්ඳිතයන්ගේ හෝ වින්ඳිතයන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ වේදනාවේ හෝ පීඩාවේ අවසානය නොවේ. එය උතුරට හා දකුණට පොදු වේදනාවක් සේම ගැටළුවකි.




  • ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්නේ කෙසේ ද?


යුද්ධයකින් මානව ප්‍රජාවකට අහිමි වූ කිසිවක් ප්‍රතිෂ්ඨාපනය කල නොහැක. විශේෂයෙන් ම යුද්ධය නිසා අහිමි වූ ජිවිත හා කාලය මින් ඉදිරියෙන් ම ඇති සාධක දෙකකි.


නමුත්, හානිපුරණය කිරීමක් තුළින් සැලකිය යුතු සහනයක් ලබා දීමට සහ ඒ තුලින් ඔවුන්ට යම් සාධාරණයක් කිරීමට උත්සහ කළ හැක.




  • ලංකාවේ හානිපුරණය සඳහා යාන්ත්‍රණ ක්‍රියාත්මක වී තිබේ ද?


ඔව්. 'තැනැත්තන්, දේපළ සහ කර්මාන්ත පුනරුත්ථානය කිරීමේ අධිකාරිය' (REPPIA) මීට පෙර ශ්‍රී ලංකාවේ හානිපුරණය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. නමුත් මෙම යාන්ත්‍රණයේ කාර්‍යභාරය පුළුල් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබේ.


හානිපුරණය සඳහා වන කාර්යාලය




  • හානිපුරණය සඳහා වන කාර්යාලයක් ?


පසුගිය ජුනි මස 28 වැනිදා හානිපූර්ණය සඳහා වන කාර්යාලයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබූ අතර එය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.




  • මෙම කාර්යාලයේ පිහිට කාටද?


එක් වාර්ගික කොටසකට, ආගමික හෝ එක් ප්‍රදේශයකට සීමා නොවී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය, දේශපාලන නොසන්සුන්භාවයන් හෝ සිවිල් කැලඹිම්, බරපතල ගණයේ අයිතිවාසිකම් කඩවීම් සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් වින්දිතයන් බවට පත් වු හෝ ඔවුන්ගේ ඥාතීන්ට මෙම කාර්යාලයේ පිහිට ලැබේ.


හානිපුරණය වන්දිගෙවීමෙන් පමණක් නොනවතී

  • මෙම කාර්යාලය වන්දි දෙන ආයතනයක් ද?


හානිපුර්ණය හුදු වන්දි ලබාදීමකට පමණක් සීමා නොවේ.


වින්දිතයන් පෙර සිටි තත්ත්වයට නැවත ගෙන ඒම (ප්‍රතිස්ථාපනය ), ඔවුනට සිදුවූ හානි යථා තත්ත්වටය පත්කිරීම සහ ඒවායින් ඇතිවන බලපෑම් සමනය කිරීම, පුනරුත්ථාපනය කිරීම, මානසික සහන සැලසීම, මූල්‍යමය වන්දි ලබා දීම මෙන්ම මෙවන් තත්ත්වයක් යලි නැවත ඇති නොවන බවට තහවුරු කිරීම මෙම කාර්යාලය මඟින් සිදුවේ.




  • මෙය ස්ථිරසාර විසඳුමක් ද?


හානිපූරණය කල පමණින් වසර ගණනාවක් පුරා මෙරට ජන සමාජය මුහුණ දුන් කටුක අත්දැකීම අමතක කර දැමීමට හෝ වල දැමීමට නොහැකි වනු ඇත. නමුත් මෙම කාර්යාලයේ එක් අරමුණක් වන යලි එවන් තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු කිරීම තුලින් වඩාත් යහපත් හෙට දවසකට පියමැනීමට අපට හැකි වනු ඇත.


30 වසරකට අධික කාලයක් පුරා අප අත්විඳි කටුක අත්දැකීම සමුදාය අප අනාගත පරපුරට ශේෂ කල යුත්තේ අතීතයෙන් පාඩම් උගත යුතු මතකයක් ලෙස විනා, බිඳුනු ජාතිකත්වය අඳුරු සෙවනැලි සමුදායක් ලෙස නොවේ.


සංහිඳියාව යනු සහනාධාර හෝ අමතක කිරීම නොවේ. සංහිඳියාව යනු තිරසර සංවර්ධනයක මූලික පදනමයි 


 

සටහන -  විමුක්ති දුෂාන්ත 


 

('අහන්න' සංහිඳියාව පිළිබඳ ජාතික වැඩසටහනට සමගාමීව 2018.10.03 ‘රැස‘ පුවත්පතේ පළවූවකි. දැනුවත් කිරීමේ පෝස්ට් SCRM අනුග්‍රහයෙනි )


නිරංජනීගේ ප්‍රකාශයෙන් පස්සේ රැඩිකල් යැයි සිතා සිටින අයගේ අවිඥානය දුටුවා - අශෝක හඳගම

තරුණ රංගන ශිල්පීනී නිරංජනී ශන්මුගරාජා පසුගිය (13) පැවති ‘ගිරිවැසිපුර‘ චිත්‍රපටයේ මාධ්‍ය එළිදැක්වීමේදී  දමිළ කලාකරුවන් ගැන සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ සුවිශේෂී අවධානයක් දිනාගැනීමට සමත් විය. මෙහිදී ඇය අවධාරණය කර සිටියේ දමිළ කලාකරුවන් කටුකත්වය ඉස්මතු කිරීමට පාවිච්චි කරගන්නා බවත්, ‘සංහිඳියාව‘ ඉස්මතු කිරීමට කලා නිර්මාණ වල යළි යළිත් යොදාගන්නේ යුද්ධය බවත්ය. කටුකත්වය තිරය මත මවාපෙන්වීමට පමණක් මෙරට අධ්‍යක්ෂවරු දමිළ රංගන ශිල්පීන් යොදාගන්නා බව ඇය මෙහිදී අවධාරණය කළාය.


මේ ගැන අද (28) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම පවසන්නේ, නිරංජනීගේ ප්‍රකාශය තුළින් පෙන්වූවේ රැඩිකල් යැයි සිතාගෙන සිටින බොහෝ දෙනෙකුගේ අවිඥානය බවයි.


‘‘එක්තරා මාධ්‍ය හමුවකදී නිරංජනී ශන්මුගරාජා රංග ශිල්පිනිය කල ප්‍රකාශයක් මේ දිනවල මුහුණු පොතේ උණුසුම් ප්‍රතිචාර මැද සරි සරමින් තිබෙයි. මෙය මුහුණු පොතේ බෙදා ගන්නන් අතර විවිධාකාරයෙන් සිනමාවට සහ ප්‍රසාංගික කලාවට සම්බන්ධ අය වෙති. නිරංජනී මේ අයගේ අවිඥානය කිතිකවා තිබෙයි. නිරංජනී තම ප්‍රකාශය කල සන්දර්භයෙන් එය උගුළුවා තමන්ට ඕනා ලෙසට සංස්කරණය කරගත් කොටසක් මහත් උද්යෝගයෙන් මේ අය අතින් බෙදා හැරෙයි.


නිරංජනී සිනමාවට ආවේ මා පිටපත ලියා අධ්‍යක්ෂණය කල 'ඉනියවන්' චිත්‍රපටයෙනි. එහි රංගනය සඳහා ඇයව තෝරාගත්තේ සිය ගණනක ගෙනි. ඒ සඳහා ඇයව තේරී පත්වුණු ප්‍රධාන නිර්ණායකය වූයේ ඇගේ ඇස්, කෙසඟ - දුඹුරු සිරුර සහ සිනහවයි. යුද්ධය නිසා නිරන්තර අවතැන්වීම් වලට ලක්වෙමින් අතිශය පීඩාකාරී තත්වයන් යටතේ ජීවිතය පවත්වාගන්නට තරම් ධෛර්ය වන්ත වූ තරුණ මවක ගේ චරිතයට ඇගේ පෙනුම මනාව ගැලපුණි. ඇය කල රංගනය දර්ශන තලයේදී ඇය තුලින් උකහා ගත් එකකි. ඉනියවන් සංහිඳියාව තේමා කරගත් චිත්‍රපටයක් නෙවෙයි. යුද්ධයෙන් පසු උතුරේ පැවතිය හැකි සමාජ යතාර්ථය පිළිඹඳ පුරෝකථනය කි. ඉනියවන් පුරෝකථනය කල සමාජයටත් වඩා ඛේදජනක තත්වයක් දැන් උතුරේ නිර්මාණය වී තිබෙයි. විද්‍යා දැරිය දුෂණය කර මරා දැමෙන්නේ ඉනියවන් චිත්‍රපටයේ නිරංජනී දුෂණය කර විසිකර දමා යන පරිසරයේම ය. එය කාලය විසින් ගෙනහැර පෑ භයංකර උත්ප්‍රාසයකි. ඉන්පසු නිරංජනී හමුවන්නේ ප්‍රියන්ත කළුආරච්චි ගේ 'රතු සමනල හීනයක්' චිත්‍රපටයෙනි. එයත් සංහිඳියාව තේමා කරගත් චිත්‍රපටයක් නෙවෙයි. ඉන් පසු අප ඇය දකින්නේ කිංග් රත්නම් ගේ 'කෝමාලි කිංග්' චිත්‍රපටය තුලිනි. එයත් සංහිඳියාව පිළිඹඳ චිත්‍රපටයක් නෙවෙයි.



මම 'මේ මගේ සඳයි' චිත්‍රපටයේ දෙමල තරුණිය ගේ චරිතය සඳහා තෝරාගත්තේ දිල්හානි අශෝකමාලා ය. නිරංජනී ගේ රූපය ඉනියවන් චිත්‍රපටයේ චරිතයට ගැලපුනා සේම දිල්හානි ගේ රූපය මේ මගේ සඳයි චිත්‍රපටයේ චරිතයට ගැලපුණි. ප්‍රසන්න ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ දෙමල චරිතයට තෝරා ගත්තේ ඉන්දියානු නිළියක වන අංජලි පටෙල් ය. ඒ ඇගේ රූපය ඒ සඳහා ගැලපෙන්නේ යැයි ප්‍රසන්න ට සිතුනු නිසාය. ගාමිණී ෆොන්සේකා සරුංගලේ චිත්‍රපටයේ නඩරාජා ගේ චරිතයට තෝරා ගත්තේ ඔහු එයට ගැලපෙන නිසාය. ඇගේ ඇස අග චිත්‍රපටයට මහාචාර්ය වරයා ගේ චරිතයට අසිංහල ද්රිතිමන් චැටර්ජි තෝරා ගත්තේ ඔහු එයට ගැලපෙන නිසාය. ප්‍රබන්ධයක් වන සිනමාවක චරිත නිරූපණය සඳහා කෙනෙකු තෝරා ගැනෙනුයේ චරිතයට ගැලපීම - නොගැලපීම අනුව මිස ජාතිය අනුව නොවෙයි.


සංහිඳියාව යනු දේශපාලනික ක්‍රියාවලියකින් ලඟා කරගත යුතු තත්වයකි. කලා නිර්මාණයකට කල හැක්කක් ඒ ක්‍රියාවලිය සඳහා භාවමය සහ ඥානමය සම්පත් සම්පාදනය කිරීමයි. ඒ නිසා අප කලේ යුධමය සහ පශ්චාත් යුධමය තත්වයන් තුල සමාජ ජීවිතය චලනය වන ආකාරය අපේ සිනමාවට විෂය කර ගැනීමයි. ඒවාට සම්මාන ලැබීම අපේ වරදක් නෙවෙයි. ඒවා ජාත්‍යන්තරව ඇගයීමට ලක්වුණේ සිනමාත්මක නිර්ණායක මත මිස ඇතැමුන් කියන පරිදි ඒවා කටුක බව පෙන්වන නිසා නෙවෙයි.


නිරංජනී සංහිඳියා චිත්‍රපටයක රඟපානවා මා තාම දැක නැත. සංහිඳියාව ඉලක්ක කරගන ලංකාවේ හැදුණු එකම සිනමාපටය ‘තුන්දෙනෙක්‘ ය. එයද සංහිඳියා ක්‍රියාවලිය ඇන හිටින තැන සහ විසඳා ගතයුතු අභියෝග ගැන කියනවා මිස සංහිඳියාව ඇති තත්වයක් පෙන්වන්නේ නැත. එහි වුවද නිරංජනී නැත. නිරංජනී ව්‍යාජ සංහිඳියා චරිත රඟපෑවේ බොළඳ ටෙලිනාට්‍ය වලය. ඒ නිසා නිරංජනී ලංකාවේ සිනමාවේ සංහිඳියා තේමාව වෙනුවෙන් අපහරණය වූයේ යැයි කීම සත්‍යක් නොවෙයි.



දකුණේ නිරංජනී ට අනුව යුද්ධය යනු කිසිවක් සිදුනොවුවා සේ 'අමතක කර දැමිය යුතු' සංසිද්ධියකි. එහෙත් උතුරේ දෙමළ ගැහැනුන්ට තම ජීවිතයත් සමඟ මිස අමතක කර දැමිය නොහැකි මතකයන් තිබෙයි. විසඳාගත යුතු ගැටළු තිබෙයි. අතුරුදහන්වුවන් පිලිබඳ තොරතුරු දෙන්නැයි තවමත් කිලිනොච්චියේ ගැහැනුන් උපවාසයේය. මේ සටහන ලියන මේ මොහොතේත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ගෝල්ෆේස් වටරවුමේ උද්ඝෝෂණයකි. ඒ නිසා යුද්ධය තවමත් කවියට, නවකතාවට, කෙටි කතාවට මෙන්ම සිනමාවට ද සම්පුර්ණයෙන් ආවරණය කරගත නොහැකි තේමාවකි. දෙවන ලෝක යුද්ධය නිමවී දශක හතක් ගෙවී ගියත් එය තවමත් සිනමාවට වස්තුවිෂයන් සපයයි.


නිරංජනී ට සිය වෘත්තීය සුරක්ෂිතභාවය පිලිබඳ ගැටලුවක් ඇත. ඇගේ වේදනාව ඇත්තේ එතැනය. ඇය මේ ප්‍රකාශ කරන්නේ ඒ වේදනාවයි. සිංහල චිත්‍රපටයක රජ බිසව ගේ චරිතය ඇයව අපේ සිනමාවේ සුරක්ෂිත කොදෙව්වක් වෙතට ගෙනයනු ඇතැයි ඇය සිහින දකිනවා විය හැකිය. එහෙත් සිංහල දෙමළ භේදයකින් තොරව අපේ සිනමාව වෘත්තීය වශයෙන් අනාරක්ෂිතය. විශේෂයෙන් ම දෙමළ සිනමාව ට නැගී සිටීමට ඇත්තේ ඉතා සීමිත අවකාශයකි.


නිරංජනී ඇතුළු ශිල්පී ශිල්පිනීන්ට පැවතීමට සිනමාවක් ගොඩනගා ගත යුතුව ඇත. අපි එදත් ඒ වෙනුවෙන් පෙනී සිටියෙමු. අදත් හෙටත් ඒ වෙනුවෙන් පෙනී සිටිමු. නිරංජනී ගේ ප්‍රකාශය උත්කර්ෂයෙන් උඩ දමන අයගේ අවංක බව අපට සැක සහිතය. නිරංජනී ව මෙසේ උපුටා දක්වන මාධ්‍ය හමුවේ තව බොහෝ දෑ ඇය කියයි. ඇගේ කතාවේ සන්දර්භයෙන් ඇයව උගුල්ලා අපට අසන්නට සලස්වන්න කොටස තුල ඇත්තේ සිංහලයා සතුටුවන ලෙස දෙමළා සිටිය යුතු ආකාරය පිලිබඳ පණිවිඩයයි. සිංහලයා බලාපොරොත්තු වන සංහිඳියාව එයයි. අපේ අය චූන් වන්නේ එයටයි. නිරංජනී ඒ චූන් එකට නැටිය යුතු නැත.


නිරංජනී ගේ කිති කැවීමෙන් පොලා පනින්නේ අප රැඩිකල් යැයි සිතා සිටින බොහෝ දෙනෙකු ගේ අවිඥානය යි.


ඒ මෙහෙයට ඔබට ස්තුතියි නිරංජනී. !‘‘ 


 

(වීඩියෝව අන්තර්ජාලයෙනි)

මායිම් ගම්මානයේ සෙබළාගේ කතාව









වීරත්වය බිහිවන්නේ මිනිසුන් නැසීමෙන් නොව රැකීමෙනි


යුද්ධ වීරයන් ගැන නන්දෙසින් කතා කරනු ලබයි. වීරයන් බව සැබෑය. වීරත්වය බිහිවනුයේ මිනිසුන් නැසීම නිසා නොව මිනිසුන්ගේ ජීවිත බේරාගත් නිසාය. ජිවිතයක් රැකගැනීමට තම ජීවිතය අනතුරේ හෙළා ගන්නා පුද්ගලයා වීරයෙකි. ඒ ඔහු තුළ ඇති පරාර්ථකාමී සිතුවිලි නිසාවෙනි. යුද්ධය එබඳු වීරයන් දකුණේ ද උතුරේ ද බිහි කර ඇත. දේශද්‍රෝහීන් ද දේශප්‍රේමීන් ද ඇත. දේශයට තමා උපන් රටට සංස්කෘතියට ආදරය ගෞරව කරමින් එය අභිමානයෙන් යුතුව සිතන ක්‍රියාකරන පිරිස මෙම කොටසට අයත් වෙයි. දේශද්‍රෝහීන් යනු තම පටු අරමුණු සඵල කර ගැනිම සදහා ජාතිය රට සංස්කෘතිය භාවිතා කරන්නන්ටය.


මානව හිතවාදීන් ඇත. ඔවුන් ජාති ආගම් භේද පසෙකලා සියලු දෙනාම මිනිසුන් ලෙස සලකා මනුෂ්‍යත්වයෙන් සියලු දෙනා දෙස බලන පිරිසකි. ජීවහිතවාදීන් මනුෂයන් පමණක් නොව ගහකොළ සතා සිව්පාවා පවා මේ පරිසර පද්තිධයේම කොටසක් ලෙස හඳුනාගෙන කටයුතු කරන අතර එම අදහස වෙනුවෙන් පෙනී සිටියි. එක් එක් අයගේ ද්‍රෘෂ්ටිකෝණයෙන් අනුව මොවුන් වීරයන් ද ද්‍රෝහීන් ද වෙයි.








මායිම් ගම්මානයේ යුද සෙබළා දකුණේ යුද සෙබළාට වඩා වෙනස්ද ?


මායිම් ගම්මානයේ යුද සෙබළෙකුගේ කතාව දකුණේ යුද සෙබළුන්ගේ කතාවට වඩා වෙනස් ය. මායිම් ගම්මාන යනු උතුරු මැද හා නැගෙනහිර දෙමළ ජනතාව බහුතරයක් වූ ප්‍රදේශවල පිහිටි සිංහල ගම්මානයන් ය. උතුරේ දෙමළ ජනතාව යුද්ධයට සෘජුව මැදිහත් වුණා සේම මායිම් ගම්මාන වල ජනතාව ද යුද්ධයේ සම්පූර්ණ කොටස් කරුවෝය. මෙම ගම්මානවල මිනිසුන් බොහොමයක් යුදමය පසුබිම සහිත කාලයේ ජීවත් වූයේ අනාථ කදවුරුවල ය. තවත් කොටසක් ගම්මානවල ජීවත් වූ අතර ජිවිතය පිළිබඳ සුරක්ෂිතභාවය ඉතාම පහළ අගයක් ගනු ලැබීය. රාත්‍රිය කැලෑවේ ගත කරන ඔවුන් දිවා කාලයේ ගමට පැමිණෙයි. රාත්‍රිකාලයේ දූ දරුවන් සමග කැළයේ ගත කිරීම සුලුපටු කාර්යයක් නොවේ. රාත්‍රීකාලයේ සතුරන්ගෙන් බේරීමට කැළෑවට යන මොවුන් සතුන්ගේ ගොදුරු වූ අවස්ථා නැතුවා නොවේ. එසේම උදයේ කැළයෙන් එලියට එනවිට කුඩා ළමයින්ට කූඹි හා වෙනත් කෘමි සතුන්ගෙන් සිදුවූ හානි නිසා රෝහල් ගත වීමට සිදුවන අවස්ථා ද බොහෝමයකි. සෞඛ්‍ය, ජීවිත සුරක්ෂිතභාවය පිලිබඳ අවම හැඟීම් සහිතව ජීවත් වීම මහත් මානසික කනස්සල්ලකි.


උතුරේ ජීවත් වන දෙමළ මිනිසුන් ද මීට දෙවැනි නොවන ජීවිත ගත කරනු ලැබීය. කොයියම් මොහොතක ගුවන් ප්‍රහාරයක්, දෙපිරිස අතර ගැටිමක් සිදුවේ දෝ යන බිය සහිතව ඕනෑම වේලාවක උත්සන්න විය හැකි යුද්ධය නිසා තමා උපයා ගත් සියල්ල මොහොතකින් අමතක කර ජීවිත ආරක්ෂාව පතා දුවන්නට සිදුවන බව දැන ගෙන අතහැරීම පිළිබඳ සිතිවිල්ලකින්ම මොවුන්ට ජීවත් වන්නට සිදු වී ඇත. තමන්ගේ දූදරුවන් හමුදාවට එරෙහිව සටන් පෙරමුණුවල සිටින නිසා තම දූදරුවන්ගේ ජීවිත පිළිබඳ කිසිදු සෙවිල්ලක් කිරීමට උතුරේ මව් පියවරුන්ට නොහැකිය.





මායිම් ගම්මාන වල සෙබළා ද උතුරේ හමුදාව සමග සටන් වදින කොටි සාමාජිකයා භුක්තිවිඳින අත්දැකීමම විඳියි



මායිම් ගම්මානවල සෙබළා ද උතුරේ හමුදාවට එරෙහිව සටන්වදින කොටි සාමාජිකයා භුක්ති විඳින අත්දැකීමම විඳිනු ලබයි. කොටි සාමාජිකයින්ගේ දෙමාපියන් ද අනාථ කඳවුරුවල ය. මායිම් ගම්මානවල සෙබළාගේ දෙමාපියන් ඥාතීන් ද කඳවුරුවල ය. බොහෝවිට කොටි සාමාජිකයින්ට ද ස්ථිර ගෙවල් දොරවල් නොමැත. මායිම් ගම්මානයේ සෙබළාට ද ගෙවල් දොරවල් නැත. හමුදා සේවයේ සිටින විට කැළෑවල කඳවුරුවල ගත කරන ඔහු ගමට ආපසු ද කඳවුරුවල හා කැළයේ රාත්‍රී කාලය ගෙවා දමයි. තමාගේ ජීවිතය මෙන්ම තම ඥාතීන්ගේ ජීවිත ද කොයි මොහොතක අහිමිවෙයි දැයි දිවා රෑ දෙකම මානසිකව විඳවමින් ජීවත් වීම පහසු නැත. එම ජීවිත දෙකම කටුකය දුෂ්කරය පීඩීතය. රූපවාහිනියෙන් යුද්ධය දැක වර්ණනා කරන මිනිසුන් නොදන්නා, නොදකිනා යථාර්ථය එයයි. දකුණේ හමුදා සෙබළා නිවාඩුවේ දී මිතුරන් සමග ඥාතීන් සමග විවේකයෙන් සිටිය හැකි වුවත් මායිම් ගම්මානයේ හමුදා සෙබළා මුළු ජීවිතයම යුද්ධයට කැපකොට ඇත. ඔහුට සිවිල් ජීවිතයක් නොමැති තරම් ය. ඔහුගේ ජීවිතය යුද්ධයට සින්න වී ගොස් ඇත. මිනිසෙකුට නොදැරිය හැකි මානසික පීඩනයක් බරක් සිත තුළ ගුලි කරගත් මිනිසුන් පිරිසක් ලෙස මොවුන් හඳුනාගත හැකිය.







මම මෙම තොරතුරු සොයාගනු ලැබූවේ කැබිතිගොල්ලෑව යකාවැව, කණුගහවැව ප්‍රදේවල මිනිසුන් සමග වසරක පමණ කාලයක් (මෙත් සහන පදනම) වැඩකටයුතු කිරීමෙනි. යුද්ධයෙන් ඔවුන්ට භෞතික මෙන්ම මානසිකව ද තුවාල වී ඇත. අහිමි වූ බොහෝ දේ නැවත ලබා ගැනීමට නොහැකි පරිදී අහිමි වී ඇත. මම දුටු විශේෂ කරුණ නම් දකුණේ අන්තවාදීන් මෙන් උතුරු මැද පළාතේ යුද්ධයට මැදි වූ මිනිසුන් අතර දෙමළ හෝ මුස්ලිම් භීතිකාවක් නොමැති අතර ඊට හේතුවී ඇත්තේ ඔවුන් එක ලෙසම යුද්ධයෙන් බැටකෑ මිනිසුන් හේතුවෙනි. එසේම, ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි වලින් පතුරවන තොරතුරු දැන ගැනීමට දුරකථන ජාල ශක්තිමත් නොවීම ද එක් අතකට යහපතකි. ජාතීන් වශයෙන් නොව මිනිසුන් වශයෙන් සත්වයින් වශයෙන් ජීවීන් වශයෙන් සිතමින් හැම දෙනාට ම එකට ජීවත් විය හැකි සමාජයක් ගොඩනැගීම, හැමදෙනාගේම සිහිනය වූ දින මේ ලෝකය මීට වඩා සුන්දර වනු ඇත.


 




යටලමත්තේ කුසලානන්ද හිමි

 









උතුරේ මෙන්ම දකුණේ අම්මාට ද සිංහල - දමිළ කියා වෙනසක් නැත

යටලමත්තේ කුසලානන්ද හිමි 

‘තියුණු අසිපතක සෙවණ යට‘ කියවා තමිලිනීගේ මව හමුවීමට ගිය ගමන

තමිලිනී කොටි සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව මෙන්ම යුද්ධයෙන් පසු ගත්කතුවරියක් ද විය. ඇයගේ ‘තියුණු අසිපතක සෙවණ යට‘ කෘතිය කියවූ මම කිසියම් දිනක ඇගේ මව හමුට ඇගේ ගමට යෑමට සිතක් ඇති විය. ඒ අනුව 2017 වර්ෂය සිංහල දෙමළ අවුරුදු සමයේ උතුරට නෑගම් යන්නට ගල්කන්දේ ධම්මානන්ද හිමි සහ මමත් ආනන්ද මහතා අප්‍රේල් මාසයේ දිනක තමිලිනීගේ නිවසට යෑමට හැකිවීම නිසා එම සිතුවිල්ල යථාර්ථයක් බවට පත්විය.


තමිලිනීගේ අම්මා දිවිගෙවූ ටකරන් පැල්පත හා දකුණේ හමුදා භටයින්ගේ නිවෙස් අතර වැඩි වෙනසක් නැත 

මෙම ගමන සම්බන්ධීකරණය කරනු ලැබූයේ තමිලිනිගේ ස්වාමිපුරුෂයා වන ජෙයකුමාර් මහතාය. පරන්තන් නගරයෙන් ඉතාම දුෂ්කර පාරක ගමන කළ අපි ලෑලි සහ ටකරන් වලින් සාදන ලද කූඩා කඩයක් අසළ නතර විය. එම කඩය තමිලිනීගේ මවගේ කඩයයි. ඉදිරියට පැමිණි තමිලිනීගේ මව අපි ඉතා උණුසුම් අයුරින් ආචාර කොට පිළිගනු ලැබූවා. ටකරන් වහලක් සහිත ගෙය ඇතුළට යෑමට නම් හිස නමා ගෙන යායුතුය. මන්ද නැත්නම් ටකරන් ඔළුවේ වදින නිසාවෙනි. එය කොටි නායිකාවකගේ මවගේ නිවස යි. දකුණේ හමුදා භටයන්ගේ ගෙවල් ද මීට දෙවැනි නොවේ.


ඒ අම්මාට සිංහල - දෙමළ කියා වෙනසක් නැත  


තමිලිනීගේ සහෝදරියකගේ කුඩා ළමයි කීප දෙනෙක් ඇවිත් අපි සමග සිනාසුණා. ගෙට පිවිසෙන ස්ථානයේ ඉස්තෝපුවේ තමිලිනීගේ පින්තූර මල් මාලා දමා ගෞරවනීය ලෙස තිබුණා. ඒ අසලින් වාඩි වුණු අපිට තමිලිනීගේ මව සංග්‍රහ කිරීමට යුහුසුළු වුණා. කේක් සහ බීම බෝතල් ගෙන විත් තබා සංග්‍රහය භුක්ති විදින ලෙස ඉතා ලෙන්ගතුව ආරාධනා කළා. ඇය සිංහල වචනයක් වත් කතා කිරීමට නොහැකි වුණත් ඇය තුළ තිබු මව්වත් ගුණය ඇගේ සිනහවේ හා හැසිරීමේ තිබුණා. කේක් කැල්ලක් කෑමෙන් පසු මම අත පිහ දමන විට ඇය පැමිණ දෙමළ බසින් ‘කන්න, කන්න‘ යැයි ඇවිටිලි කළා. එසේම තමාගේ අතින් කේක් කෑලි කඩා අපේ අතට දුන්නේ හරියට අපේම අම්ම කෙනෙක් වගේ. අපේ සිංහල අම්මල වගේම ගෙදරට ආපු ආගන්තුකයින්ට සංග්‍රහ කරලා ඇය සතුටු වන බව ඇගේ හැසිරීමෙන් කතාවෙන් මට දැනුණා. ඇත්තටම මට ඒ අම්මා සිංහල ද දෙමළ ද කියලා හිතා ගන්න බැරි තරම්මට අම්ම කෙනෙකුගේ සෙනෙහසින්මයි ඇය සංග්‍රහ කළේ.

මේ අම්මා මම දකුණෙත් උතුරෙත් දකින එකම අම්මා ඇගේ මව්වත්කම මට බෙදන්න බැහැ. කොයි භාෂාවෙන් කිව්වත් අම්මා අම්මමයි. මම සිංහල ගෙවල්වලදී මේ අම්මා මම දකිනවා අද උතුරෙදිත් දකිනවා කියලා මට හිතුණා.

එතකොටම හිතුණු දේ තමයි මේ අම්මගේ දූත් එක්ක පුතත් එක්ක නම් අපි යුද්ධ කළේ අපි යුද්ධ කරගෙන තියෙන්නේ අපේම සහෝදර සහෝදරීයන් එක්කනේ කියලා හිතන කොට අපි දෙගොල්ලටම කොහේදි හරි වැරදිලා තියෙනවා කියලා හිතුණා.

 

අපි දෙගොල්ලන්ටම වැරැද්දුවේ කවුද ? ඒ වරද හරිගස්සා ගන්න කළ යුත්තේ කුමක්ද ..?

සමාජයේ උඩතට්ටුව ඔවුන්ගේ ස්වාර්ථය පිණිස සියල්ල අවුල් කරද්දී ඒවායින් පීඩාවට පත්වන්නේ සමාජයේ යට තට්ටුවේ සිටින අපි අපිම බව දැන ගෙන සහෝදරත්වයෙන් එක මිටියට බැදෙන්නට කළ හැකි උපරිමය කළ යුතුය. නැතිනම් අවමයවත් කළ යුතුමය.

එහෙම වුණොත් තමයි උතුරේ ඉන්න තමිලිනීගේ අම්මටයි දකුණේ ඉන්න හසලක ගාමිණීගේ අම්මටයි සැනසීමේ නිදා ගන්න පුළුවන් වෙන්නේ.