The Most/Recent Articles

Showing posts with label සංස්කෘතිය. Show all posts
Showing posts with label සංස්කෘතිය. Show all posts

කැප්ටන් කොතලාවල සමග තිබු රහස් මිතුදම ගැන හිටපු එල්.ටී.ටී.ඊ නායක රහීම් කතා කරයි

කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකි. ඔහු යාපනය කොටුව එල්.ටී.ටී.ඊ ග්‍රහණයට අසු නොවීමට ඉඩ නොදී සටන් කල නිලධාරියෙකු විය. මුහුණ පුරා රැවුල වවාගෙන සිටි  කැප්ටන් කොතලාවල හයයි හයේ පුරුෂයෙකු විය. ඔහු සහ එවකට යාපනයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි  ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) අතර අපූරු මිතුදමක් වූයේය . මේ මිතුදම ගැන රොහාන් ගුණරත්න මෙන්ම මහාචාර්‍ය රාජන් හූල් පවා ඔවුන් ගේ පොත් වල ලියා තිබේ. පසුකාලීනව එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් වන රහීම් වර්තමානයේ කැනඩාවේ ජීවත් වෙයි. පහත දැක්වෙන්නේ  රහීම් සමග  කපිතාන් කොතලාවල ගැන කරන ලද සංවාදයයි.




[caption id="attachment_21440" align="aligncenter" width="680"] රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්)[/caption]

1) ඔබට කපිතාන් කොතලාවල මුලින්ම මුණ ගැසෙන්නේ කොහොමද ? 


එය සිදු වූයේ 1986 වසරේදී. 1986 ඔක්තෝබර් 12 දින අඩම්පන් හි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර  අවි ගැටුමක් ඇති උනා. මේ ගැටුමේදී මන්නාරමේ එල්.ටී.ටී.ඊ නායක වික්ටර් ඔස්කා ඇතුළු පිරිසක් මිය ගියා. එසේම හමුදාවේ සාමාජිකයන් අට දෙනෙකුද මිය ගියා. එක් සෙබලෙක් සහ දෙවන ලුතිනන්වරයෙක් අප ජීවග්‍රහයෙන් අල්ලා ගත්තා. ඔවුන් සෙබළ බණ්ඩාර සහ දෙවන ලුතිනන් අජිත් චන්ද්‍රසිරි. ඔවුන් දෙදෙනා සිටියේ අප ඔවුන්ව මරා දමයි කියන බියෙන්. මම ඔවුන් වෙත ගොස් කිව්වා අපි අත් අඩංගුවට ගත් සතුරාව මරා දමන්නේ නැති බව. ඒත් මිය ගිය ගිය හමුදා සෙබළුන් ගේ මෘත ශරීර වලට කරන්නේ කුමක්ද කියා අප දැන සිටියේ නෑ. එවකට යාපනයේ සිටි එල්.ටී.ටී.ඊ නායකයා වූයේ කිට්ටුයි. එහිදී මම යාපනය කොටුවේ හමුදා කඳවුරට කතා කොට කැප්ටන් කොතලාවලව අමතා මේ මළ සිරුරු මා ගෙන එන බව කීවා.  ඉන්පසු මළ සිරුරු අට ලොරියක දමාගෙන යාපනය කොටුව අසල සුබ්‍රමනියම් පිට්ටනියට   ගියා. මම ගියේ නිරායුධව. කොටුව අසලදී කැප්ටන් කොතලාවලව මට හමු උනා. ඔහු මගෙන් ඇහුවා මේ මළ සිරුරු  භාර දීමට සිතුනේ මන්ද කියා. එහිදී  මම කිව්වා මේ සටනේදී මා මිය ගියහොත් මගේ අවසාන කටයුතු කිරීමට මගේ මවට මගේ දේහය ඕනෑ වෙනවා. ඒ වගේ මේ සෙබළුන් ගේත් අම්මලාට මේ  මෘත ශරීර වටිනවා. ඒ නිසා මා මනුෂ්‍යත්වය විශ්වාස කොට නායක කිට්ටු ගේ අවවාදයවත් නොසලකා නිරායුධව ඔබලාගේ කඳවුරට ආවා මේ මිනී භාර දීමට කියා. එහිදී ඔහු ඉතාම හැඟීම් බරව මාව වැළඳගෙන සෙබළුන් ගේ මෘත ශරීර භාර ගත්තා . ඒ අපගේ ප්‍රථම හමු වීමයි


2) ඉන්පසු ඔබට ඔහුව හමු වූයේ කොහේද ? 


දෙවන වර මට ඔහුව හමු වන්නේ 1986 දී විජය කුමාරතුංග යාපනයට ආ අවස්ථාවේදී. ඉන් පසුව 1987 ඉන්දු ලංකා සාම ගිවිසුම කාලයේ යාපනයේ එල්.ටී.ටී.ඊ කාර්‍යාලයේදී අප හමු වූවා. එහිදී කපිතාන් කොතලාවලට ප්‍රභාකරන්ව හමු උනා. අප ඔහුට දිවා ආහාරයෙන් සංග්‍රහ කලා. ඒ වගේම අපි සමහර විට එකිනෙකා දුරකතනයෙන්   ඇමතුවා. අප දෙදෙනා අතර යම් සුහද බවක් ගොඩ නැගුනා.


3) සමහරු කියනවා ඔබ සහ  කැප්ටන් කොතලාවල ක්ලාස්මේට්ලා කියලා   


ඒක බොරුවක්. ඔහු ඉගන ගත්තේ කොලඹ ආනන්දා මහා විද්‍යාලයේ. මම ඉගෙන ගත්තේ නුවර ත්‍රිත්ව විද්‍යාලයේ. අප එකිනෙකා මුණ ගැසුනේ යුද භූමියේ.


4) තවත් ජනප්‍රිය කතාවක් තමයි කැප්ටන් කොතලාවල තම සොල්දාදුවන්ට නියෝගයක් දී තිබුණාලු ඔබව යම් ලෙසකින් අත් අඩංගුවට ගතහොත් ඔහු වෙත ගෙන ආ යුතු බවට. එසේම ඔබ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ටම එවැනි නියෝගයක් දී තිබුණාලු. එසේම රාජන් හූල්ගේ  Sri Lanka: The Arrogance of Power: Myths, Decadence & Murder  පොතේ සඳහන් වෙනවා වරක් එල්.ටී.ටී.ඊ ස්නයිපර් කෙනෙක් කපිතාන් කොතලාවලට වෙඩි තැබීමට ගිය විට ඔබ එය වැලැක්වූ බව සහ එයට නායක කිට්ටුට තරහා ගිය බව. මේ කතා සත්‍යද ?


මේවා ඔක්කොම විහිළු කතා. අප අතර එහෙම ගිවිසුමක් තිබුනේ නෑ. තවත් කතාවක් තමයි යාපනය කොටුව කඳවුරට දර  අවශ්‍ය වූ විට මම දර ලොරියක් ගෙනා බව. මේවා එකක්වත් ඇත්ත නෙවෙයි. අපි ප්‍රති විරුද්ධ සංවිධාන දෙකක සාමාජිකයෝ මට ඔහුව යුද භූමියේ සටනේ මුහුණට මුහුණ හමු උනා නම් මම ඔහුට වෙඩි තියනවා. එසේම එම තත්වය යටතේ ඔහුද මට දෙවරක් නොසිතා වෙඩි තියනවා. අප අතර තිබුනේ මනුෂ්‍යත්වය හරහා ගිය බැඳීමක් පමණයි. තමන් සොල්දාදුවෙකු  බව ඔහු අමතක කලේ නෑ. ඒ වගේම මම ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයෙකු බව මම අමතක කලේත් නෑ. නමුත් අපි එකිනෙකාට ගරු කලා.


5) මේ අමුතු මිත්‍රත්වය නිසා ඔබලාට ගැටළු මතු උනේ නැද්ද ? 


අප දෙදෙනාගේ මිත්‍රත්වය ගැන කිට්ටුට යම් අවබෝධයක් තිබ්බා. ඒ නිසා මට ඉන් පීඩනයක් ආවේ නෑ. නමුත් යම් යම් අවස්ථා වලදී කපිතාන් කොතලාවලට උසස් නිලධාරීන් පීඩනය එල්ල කලා. තවත් එකක් ඔහු ඇරොගන්ට් චරිතයක්. උසස් නිලධාරීන්ව සමහර විට කෙයාර් කලේ නෑ. ඒ නිසා ඔහුට උසස්වීම් පවා ලැබුනේ ප්‍රමාදවී. වරක් මම විහිළුවට කිව්වා ඔබ තමයි ආසියාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම කපිතාන්වරයා කියලා. අපි අතර මිත්‍රත්වයක් තිබුනත් එකිනෙකා හමුදාමය තොරතුරු හුවමාරු කර ගත්තේ නෑ. බුද්ධි වාර්තා ගැන කතා කලේ නෑ. අප අතර තිබ්බේ උසස් මිත්‍රත්වයක්.  වරක් අපගේ මිත්‍රත්වය ගැන ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා ඔහුගෙන් අසා තිබුනා. ඔහු ඊට නියම පිලිතුරක් දී තිබුණා. ඔහු කිව්වාලු දෙවන ලෝක යුද සමයේ නත්තල් දිනක  ඉංග්‍රීසි හමුදාව සහ ජර්මන් හමුදාව  පාපන්දු තරඟයක් පැවැත්වූවා කියා. සමහර විට සතුරා සමග යම් මිත්‍රත්වයක් තිබිය යුතුයි කියා ඔහු කීවාලු. ලලිත් ඇතුලත්මුදලි උගත් පුද්ගලයෙක් ඔහු එය වටහා ගත්තා. මගේ පියා සහ රවී ජයවර්ධන එක පාසලේ එක පන්තියේ මිතුරන්. එයද ඇතුලත්මුදලි  දැන සිටියා.


6) පසුකාලීනව ඔබට ඔහුව හමු වන්නේ කොහොමද ? 


1990 වන විට මම එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්වී කැනඩාවට යනවා. 1991 වගේ කාලයක ඔහු පුහුණුවක් සඳහා ඇමරිකාවට එනවා. කෙසේ හෝ මගේ දුරකතන අංකය සොයාගෙන ඔහු මට කතා කරනවා. ඉන් පසු අපි දෙදෙනා ටොරොන්ටෝ නගරයේදී හමු වෙනවා.


7) ඔහුගේ මරණය ඔබට ආරංචි වන්නේ කොහොමද ?  


ඔහු මිය යන්නේ රිය අණතුරකින්. ඔහුගේ මරණය මාව විමතියට වගේම කණගාටුවට පත් කලා. ඔහුගේ බිරිඳ සහ දියණිය දැන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ. මම අදටත් ඔවුන් ගේ පවුලේ හිතවතෙක්.


8) මේ මිත්‍රත්වය ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක්ද? 


අද ජයන්ත කොතලාවල කියන හමුද නිලධාරියා ජීවතුන් අතර නෑ.  හිටපු සටන්කරුවෙකු වූ මම   දැන් සන්නද්ධ අරගලයෙන් ඉවත් වෙලා  සාමකාමී සිවිල් ජීවිතයකට ඇතුල් වෙලා. ප්‍රභාකරන් ගේ සටන පරාජයන් අවසන්. මේ   ගතවූ  කාලය ගැන  බලන විට සිතට එන්නේ කොපමණ ජීවිත යුද්ධය නිසා විනාස  උනාද ,  කොපමණ දේපළ විනාශ උනාද කියා. අවසානයේ අපි හැමෝම ලබා ගත් දෙය මොකක්ද කියා මම ප්‍රශ්න කරනවා. යුද්ධය නම් අවලස්සන තරඟයෙන් ඉතිරි උනේ අපගේ මිත්‍රත්වය පමණයි. අපි එකිනෙකා සමග   සටන් කරත්  , ගහ මරා ගත්තත් අපට යම් අවස්ථාවක්  එනවා සතුරා සමග මානවවාදී ලෙස ගණුදෙනු කරන්න. එය  මඟ හැරීම නුසුදුසුයි. ඒ මානුෂික ගනුදෙනුව සිදු වන අවස්ථාවේදී අප එකිනෙකා වටහා ගන්නවා. ඒ අවබෝධය ලැබුණු පසු අපි කා කොටා ගන්නා තිරිසනුන් නොව තවත් මිනිසෙකු දෙස මානුෂික ඇසින් බැලිය හැකි මිනිසෙකු  බවට පරිවර්තනය වෙනවා.


 

සාකච්ඡා  සටහන  වෛද්‍ය රුවන් එම් ජයතුංග

අනුකම්පාවක් නැති දෙවි කෙනෙක් ?

සටහන -  ෂ්‍යාමන් ජයසිංහ


විනාශය


මේවායේ අගක් මුලක් මට නොවැටහේ. ඒ සම්බන්ධයෙන් මට උදව් විය හැකි කෙනෙකු වේ නම් යෙහෙකි. ඉන්දුනීසියාවේ සුලාවෙසි පෙදෙසේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අතිශය ශෝකාකූල මිනිස් ඛේදවාචකයේ තරම ‘අල් ජසීරා’ රූපවාහිනියෙන් මේ දැන් මම දුටුවෙමි. අංශක 7.5 මහා භූමි කම්පාවකින් අනතුරුව ගැලූ භයානක සුනාමියකින් පසුව, අතදරුවන්, ළමා ලපටි, වැඩිමහලූ සහ රෝගී පුද්ගලයන් ඇතුළු ලක්ෂයකට අධික පිරිසක් උන්හිටි තැන් අහිමිව, ජාත්‍යන්තර සහනාධාර සංවිධාන මගින් ආහාරපාන ගෙන දෙන තෙක් බලා සිටිති. 1500 කට අධික පිරිසක් මරණයට පත්ව ඇත. තව ලක්ෂ ගණනක් ආගිය අතක් නැත.


 

ඇයි’ ඒ ?


වසට පස් වතාවක් යාඥා කරන, ලෝකයේ විශාලතම මුස්ලිම් රාජ්‍යයට මෙවැනි විපතක් සිදු වුණේ ඇයි ? මගේ ප‍්‍රශ්නයේ සාධාරණත්වය ගැන කිසිවෙකුට ප‍්‍රශ්නයක් තිබිය නොහැක. එසේම, කිසි ඇදහීමක් හෑල්ලූවට ලක්කිරීමේ අවශ්‍යතාවක් මට ඇත්තේත් නැත. මා මේ ප‍්‍රශ්නය මතු කරන්නේ, හේතු බුද්ධියෙන් යුතුව දේවල් දිහා බලන කෙනෙකු වශයෙන් මේ තත්වය මට පටලැවිල්ලක් වන බැවිනි. අභියෝගයක් අප ඉදිරියේ ඇති නිසාත්, ඊළඟ පියවර කුමක්දැ යි දැන ගත යුතු නිසාත්, ඒ ප‍්‍රශ්නයට පිළිතුරක් අපට අවශ්‍ය කෙරේ. නොදන්නා රටකට ගෙන ගොස් අතහැර දැමුවහොත් යන එන මං නොදන්නා තත්වයට පත්වන අප ඒ පළාත ගැන දන්නා කියන කෙනෙකුගෙන් පාරතොට විමසිය යුතුය. ඉන්දුනීසියාවේ මේ ඛේදවාචකය තුළ, ඔවුන්ගේ පැවැත්මේ සත්තාව පිළිබඳ බරපතල අවුලකට, හිතන-පතන මිනිසුන් පත්විය හැකි බව මගේ විශ්වාසයයි. ඒ නිසා පන්දු රකින්නාට බෝලය පාස් කොට, අපේ සුපුරුදු මතිමතාන්තර එලෙසම දරාගෙන දිගටම සිටීමේ හැකියාවක් අපට නැත. හේතුව, අප මේ තත්වයට පත්ව ඇත්තේ මන්ද යන්නට අදාළ අපේ පැවැත්ම පිළිබඳ මූලික කල්පිතයන්ම මෙහිදී අභියෝගයට ලක්ව තිබෙන බැවිනි.


ප‍්‍රකෝපණය සහ අහක බලාගෙන සිටීම


‘යුදෙව් ජන සංහාරය’ නමින් හැඳින්වෙන මිනිසා විසින් ඇති කරන ලද විසි වැනි සියවසේ මහා මිනිස් ඛේදවාචකය ගැන යමක් පැවසීම සඳහා එක් නවකතාවක් පාදක කර ගැනීමට මම කැමැත්තෙමි. හීතර් මොරිස් විසින් ලියා තිබූ එය ‘‘අවුෂ්විට්ස් පච්චකාරයා’’ නමි. අවුෂ්විට්ස් යනු, හිට්ලර් විසින් පෝලන්තයේ පවත්වාගෙන ගිය එක් ඝාතක කඳවුරකි. යුරෝපයේ විවිධ රටවලින් කෝච්චි පෙට්ටි පුරවාගෙන රැගෙන එන ලද යුදෙව් ජාතිකයන්ව මේ කඳවුරට ගාල් කොට ගෑස් කාමර තුළ දමා ඝාතනය කෙරුණි. ගැහැණු, පිරිමි සහ ළමුන් ඇතුළු පවුල් පිටින් ඔවුන්ගේ ගම්බිම් වලින් පටවාගෙන විත් මේ කඳවුරට දැමීමෙන් පසු, ඒ අතරේ සිටි සෞඛ්‍ය සම්පන්න පිරිස් එක විට ගෑස් කාමරවලට යැවුණේ නැත. ඒ වෙනුවට, කෝටුමස් වන තෙක් ඔවුන්ගෙන් වැඩ ගත්තේය. ඔවුන්ට පැවරුණු එක රාජකාරියක් වුණේ, තමන්ගේම ආදාහනාගාර ගොඩනැගීමයි. වැඩ කිරීමෙන් හෙම්බත් වන විට අවසානයේදී තොග පිටින් ඔවුන්ව ගෑස් කාමරවලට දමා ඔවුන්ම තැනූ ආදාහනාගාරයේ පුළුස්සනු ලැබේ. ඔවුන් කළ එකම අපරාධය වුණේ යුදෙව් ජාතිකව ඉපැදීමයි. මේ නවකතාවේ ප‍්‍රධාන චරිතය වන ලේල් සොකොලෝව් තවත් සිරකාරියක් වූ ගීතා සමග පේ‍්‍රමයෙන් බැඳේ. දවසක් ගීතා ඔහුගෙන් මෙසේ අසයි:


‘ඔයා තවමත් දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරනව ද ?’


‘මෙච්චර දේවල් වුණාට පස්සේ මගේ ඒ විශ්වාසේ නැති වෙලා.’



ලේල් සොකොලෝව් යනු, ඇති වී තිබෙන තත්වය ගැන සිතන මතන මිනිසෙකි. ඔහු බෝලය වෙනත් තැනකට පාස් කෙළේ නැත. ඇති වූ සිද්ධිය විසින් ඔහුව ප‍්‍රකෝප ගන්වනු ලැබ තිබුණි. බොහෝ ස්වාභාවික විපත් සේම, මිනිසා විසින්ම ඇති කරන ලද මහා විනාශයන් හමුවේ අපේ විශ්වාසයන් ගැන යළි සිතා බැලීමට අපව තල්ලූ කළ යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවේ. විනාශයට මුහුණදුන් වින්දිතයන් ද ඇතුළුව අප බොහෝ දෙනා කරන්නේ බෝලය වෙනත් තැනකට පාස් කිරීමයි. ඊටත් වඩා නරක තත්වය වන්නේ, තවත් බොහෝ දෙනා ඒ විනාශය යුක්ති සහගත කෙරෙන ආකාරයෙන් තමන්ගේ විශ්වාසයන් තවත් තහවුරු කර ගැනීමට බැලීමයි.


කැන්ටබරි අගරදගුරුතුමා


ශ‍්‍රී ලංකාවත් යට වු 2004 සුනාමිය මට තාම මතකයි. මා දැන් මතු කරන ප‍්‍රශ්නය එදා කැන්ටබරි අගරදගුරුතුමාට ඉදිරිපත් කළ අවස්ථාවේ තමා ඒ ගැන බලවත් ‘අපහසුතාවට’ පත්ව සිටින බව එතුමා කීවේය. එය එතුමාගේ අවංක භාවය විදහා පෑමකි. ඔහු චින්තකයෙකි. සමහර විට ඔහු සිතන්ට ඇත්තේ, ‘දෙවියන් වහන්සේ කොහේද? ඇයි උන්වහන්සේ අහක බලාගෙන ඉන්නේ? ඊටත් වඩා, එහෙම දෙවියන් වහන්සේ කෙනෙක් ඇත්තෙන්ම සිටී ද?’ ආදී දේවල් විය හැකිය. සමහර විට, මහත් හද කම්පාවට පත්ව ඔහු මෙසේත් සිතන්නට ඇති: ‘ඇත්තෙන්ම මම මගේ මීසම් වැසියන්ව රවට්ටනවා විය නොහැකි ද ?’


සිද්ධිය යුක්ති සහගත කිරීම


මෙසේ ප‍්‍රශ්න කිරීමට තරම් රුදාවක් නැති පිරිස අපට පැත්තකින් තැබිය හැකිය. මන්ද යත්, ඔවුන් වනාහී එසේ ප‍්‍රශ්න කිරීමේ හැකියාවක් නැති නිසා කට වසාගෙන සිටින අවාසනාවන්තයන් වන බැවිනි. එහෙත් තවත් පිරිසක් සිටිති. ඔවුහූ ඇති වූ විනාශය යුක්ති සහගත කොට, දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය ඉදිරියටත් රැගෙන යාමට වෙර දරති. ඉන්දුනීසියාවේ ඛේදවාචකය තුළ එක් කාන්තාවක් තමාගේ දිවි ගලවා දීම ගැන දොහොත් මුදුන් දී දෙවියන් වහන්සේට යාච්ඤා කළ බව කියැවුණි. එහෙත් තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එවන් දුකකට පත්වීමේදී දෙවියන් වහන්සේ බලාගෙන සිටියේ මන්දැයි ඇගේ සිතට නාවේ ඇයි ?


මේ ආකාරයෙන්ම, පිළිකා රෝගයෙන් සුවය ලැබූවන් බොහෝ විට දෙවියන් වහන්සේට ස්තුති කරනු අප අසා තිබේ. ඉන් බොහෝ දෙනා පිළිකා රෝග ලක්ෂණ තාවකාලිකව යටපත් වූ තත්වයේ සිටි පුද්ගලයන් ය. එහෙත් ඒ පැත්තක් ගැන ඔවුන් සිතන්නේ නැත. ඔවුන් කරන්නේ, දණින් වැටී දෙවියන්ට පිං දීමයි. එහෙත් ඔවුන්ට වඩා විශාල පිරිසක් එවැනි තාවකාලික සහනයක් හෝ නොලැබ, එයින් විඳවා ජීවිතක්ෂයට පත්වන්නේ මන්දැයි මේ වාසනාවන්තයන්ට නොසිතෙන්නේ ඇයි? එය කිසිවෙකුට ස්තුති පූර්වක වීමට තරම් දෙයක් ද? ඒ සියල්ලටමත්, වඩා තමාට එවැනි රෝගයක් ඇති වීමට දෙවියන් ඉඩ හැරියේ මන්ද යන ප‍්‍රශ්නය මුලින්ම ඔවුන්ගේ සිතට නොඑන්නේ ඇයි ?


මීට වඩා විදග්ධ භාවයක් පෙන්නුම් කිරීමට කැමැත්තක් දක්වන, මේ විපත යුක්ති සහගත කිරීමට බලන තවත් පිරිසක් සිටිති. ඔවුන් කියන්නේ මෙවැන්නකි: ‘දෙවියන් වහන්සේ ක‍්‍රියා කරන්නේ ගුප්ත ආකාරයකින්. මේවා ගැන ප‍්‍රශ්න කරන්න ඒක නිසා අපිට අයිතියක් නැහැ.’ අප එකිනෙකා පිළිබඳ වෙනම ‘සැලැස්මක්’ දෙවියන් සතුව ඇතැයි ඔවුන් කියා සිටිනු ඇත. ඒ දේව කැමැත්තට අප යටත් විය යුතුය. ලෝකයේ අස්සක් මුල්ලක් නෑර බිලියන 8 ක් මිනිස්සු ජීවත් වෙති. මේ පිරිසේ එක් එක්කෙනා ගැන වෙනම සැලසුමක් සහිතව කටයුතු කරන දෙවි කෙනෙක් ගැන කෙසේ නම් සිතා ගන්න ද ? එහෙත් බැතිමතාට එය ප‍්‍රශ්නයක් නොවේ.


මේ සියල්ලන්ගේ පොදු ලක්ෂණයක් තිබේ. එනම්,  ඕනෑම තත්වයක් යටතේ භක්තිය පවත්වාගෙන යා යුතු බවට ඇති විශ්වාසයයි. (භෞතික වාසි තකා මෙවැනි විශ්වාසයන් දරා සිටින අය ගැන අමුතුවෙන් කතා කිරීමේ අවශ්‍යතාවක් නැත.)


කර්ම නියාමය


ඉන්දියානු කර්ම නියාමය බොහෝ ආගමිකයෝ අදහති. අදේවවාදීන් වශයෙන් සැලකෙන මොවුහූ ද, යම් නිශ්චිත පරිපාටියක් සහ එක්තරා ආකාරයක ආඥාපතිත්වයක් පිළිබඳ විශ්වාසය තබති. ඒ ආඥාපති කාර්යය වන්නේ, නරකට සිටින මිනිසුන්ට නපුරක් සිදුවීමට සැලැස්වීමයි. එසේ නොවේ නම්, යම් පාප කර්මයක් නිසා ඊළඟ ආත්ම භවයේ ඊට ගැලපෙන රුදුරු ඉරණමක් කෙනෙකුට අත්වන්නේ කෙසේ ද? මගේ අම්මාට ගර්භාෂයේ පිළිකාවක් හැදුණේ ඈ තරුණ වියේදීම ය. ජ්‍යෝතිෂය විශ්වාස කළ මගේ පියා ඉන්දියානු සාස්තරකරුවෙකු ළඟට ගියේය. ඔහු මගේ අම්මාගේ අතීත භවය පිළිබඳ කතාව කීවේය. ඒ අනුව මගේ අම්මා ඉහත ආත්මයක චීන රජ පවුලක කුමාරිකාවක්ව සිටියදී බඩදරු ගැහැනියකට පයින් ගසා ඇත. ‘අන්න ඒ පාප කර්මය නිසා තමයි මේ ආත්මයේ ගර්භාෂයේ පිළිකාවක් හැදිලා තියෙන්නේ.’ තක්කඩියා කීය. මෙය බොරුවක් බව ඇත්ත. එහෙත් ඒ කතාව මා උපුටා දැක්වූයේ, ඉහත ආත්මයක කර්මයකට අනුකූලව වෙනත් ආත්මයක ඉපැදීම පිළිබඳ විශ්වාසයේ ස්වභාවය පැහැදිළි කිරීමටයි. එය සත්‍යයක් නම්, කෙනෙකුගේ සෑම ක‍්‍රියාවක්ම සැලකිල්ලට ගෙන ඊළඟ ආත්මයක් ඊට අනුගතව ක‍්‍රමායනය කිරීමේ බලධාරියෙකු හෝ ආඥාපතියෙකු පිළිබඳ අදහසක් ගම්‍ය වන්නේය. ආඥාපතියෙකු මෙන් එසේ සිදුවීම්වල ප‍්‍රතිවිපාක තීන්දු කිරීමේ හැකියාවක් හුදු සිද්ධීන්ට තිබිය නොහැක. කෙනෙකු මෙවැනි විශ්වාසයන් විචාරාත්මක පරීක්ෂාවට භාජනය නොකරන්නේ නම්, කර්ම නියාමය ඉතා තාර්කික දෙයක් සේ පෙනී යා හැකිය. ඒ කෙසේද යත්, බඩදරු ගැහැනියකට පයින් ගැසූ ගැහැනියකගේ ගර්භාෂයේ පිළිකාවක් හැදීමමයි හොඳ ?


විචාරශීලී නිරීක්ෂණයේ අවශ්‍යතාව


අධ්‍යාපනඥයන්ගේ කාර්යය විය යුත්තේ, අනාගත ලෝකය නිර්මාණය කරන ශිෂ්‍යයන් තුළ විචාර ගුණය රෝපණය කිරීමයි.  ඕස්ට්‍රේලියාවේ සෑම විෂයයක් අරභයාම විචාරශීලී චින්තන ව්‍යාපෘති යොදා ගැනේ. වෙනත් සමහර බටහිර රටවල විචාර චින්තනය වෙනම උගන්වනු ලැබේ. අනිත් අයගේ මතිමතාන්තර, ඔවුන් කවුරුන් වෙතත්, ප‍්‍රශ්න නොකරන ජනතාවක් රටකට නොහොබී.


මේ නිදහස් විචාරය පිළිබඳ ප‍්‍රශ්නයේදී ආගමට විශේෂ ආරක්ෂාවක් දිය යුතු නොවේ. යථාර්ථයට සම්බන්ධ සකල කාරණා ගැන අදහස් දැක්වීම ආගමේ කාර්යයක් බවට පත්ව තිබුණි. අද වන විට එය විද්‍යාවේ කාර්යයක් බවට පත්ව තිබේ. විද්‍යාත්මක ප‍්‍රස්තුත, අඩු වශයෙන් ඒවා නිෂේධ කෙරෙන ප‍්‍රති-තර්ක හමුවන තෙක්වත් වලංගු වන්නේය. එහෙත් ආගම්කාරයන් කියන්නේ යථාර්ථය පිළිබඳ ආගමික පැහැදිළි කිරීම් හැම කාලයටම වලංගු බව ය. ඒවාට පටහැනි මොන තරම් සාක්ෂි හමු වුවත් ඒවා ප‍්‍රශ්න කිරීමේ අයිතියක් ආගමෙන් නොදෙයි. තමාගේ දුරදක්නයෙන් වෙනත් යථාර්ථයක් පෙන්නුම් කරනු ලැබූ විට කොපර්නිකස් ආගම ප‍්‍රශ්න කෙළේය. එහෙත් ඒ නිසා ඔහු අනේක ගැහැටට පත්විය. අන්තිමේදී පල්ලියෙන් සිය ජීවිතය බේරා ගැනීම සඳහා ඔහුට තම මතය වෙනස් කර ගැනීමට සිදු විය. ‘‘නැහැ.. නැහැ.. මං ඒක කිව්වේ විහිළුවටයි’’ කියා ඔහුට කියන්ට සිදු විය.


ආගමික විශ්වාසයන් පිළිබඳ විශාලතම භූමි කම්පාව ඇති කෙළේ චාල්ස් ඩාර්වින් ය. දෙවියන් වහන්සේ විසින් මිනිසා මවන ලදැයි යන විශ්වාසය, පැලෑටි සහ සත්ව පොසිල සාක්ෂි ආශ‍්‍රයෙන් ඔහු ඛණ්ඩනය කෙළේය. එහෙත් කොපර්නිකස්ට වඩා තරමක් කල්පනාකාරී වූ ඔහු තමන්ගේ සොයා ගැනීම, ‘හොඳ’ අවස්ථාවක් එන තෙක් කල් දැම්මේය.



විචාරශීලී චින්තනය ප‍්‍රවර්ධනය කිරීමේ දී ලංකාව අයාලේ ගොස් තිබීම කණගාටුදායක ය. මේ විචාරශීලී චින්තනය අපේ විෂයමාලා කිසිවක් තුළ දක්නට නැත. ඒ ගැන වෙනම ඉගැන්වීමක් කරන්නේ ද නැත. දශක හයක නිදහස් අධ්‍යාපන උරුමයක් අපට තිබුණත්, අපට සිටින්නේ,  ඕනෑම ගොබ්බ කතාවක් එක උගුරට ගිලින, දේශපාලඥයන්ගේ කෙබර හිස මුදුනින් විශ්වාස කරන අවිචාරවත් ජනතාවක් ය. අපේ ජනතාවගේ සාමාන්‍ය තත්වය පහසුවෙන් වටහා ගත හැකි එක ක‍්‍රමයක් වන්නේ, ජාතිය සහ ආගම සම්බන්ධයෙන් භාවිතයට ගන්නා ඔවුන්ගේ හැඟීම්බර සටන් පාඨ දෙස බැලීමයි. රට යා යුත්තේ කොතැනකට ද, එතැනට යා හැක්කේ කෙසේද යන්න ගැන නිදහස් අදහසක් වඩවා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. මේ අතර අපේ මාධ්‍ය හසුරුවනු ලබන්නේ ද, අර කී දෝෂ සහගත අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහි කළ පුද්ගලයන් විසිනි. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලද්දෝ නොවෙත්. සිදුවන්නේ, අන්ධයන් විසින් අන්ධයන්ට පාර කියා දෙනු ලැබීමයි.


අපේ මාධ්‍ය දෙස මොහොතක් හැරී බලන්න: උදාහරණයක් වශයෙන්, අපේ රූපවාහිනී නාලිකවල ජ්‍යොතිෂඥයන්ට සහ සාස්තරකාරයන්ට දෙන තැන ගැන ටිකක් සිතා බලන්න. ජාතික රූපවාහිනියේ එක් හුදෙකලා, එහෙත් ඉතා ප‍්‍රශංසනීය වැඩ සටහනක් තිබුණි. ‘යථාරූප’ නමින් හැඳින්වුණු එම වැඩ සටහනේ අරමුණ වී තිබුණේ විචාරශීලීව සිතා බලන ජනතාවක් බිහි කිරීමයි. ඒ වැඩසටහන දැන් නතර කර දමා ඇති බව අසා මම මහත් කම්පාවට පත්වීමි. සමහර විට එසේ වන්නට ඇත්තේත් නක්ෂත්‍රකාරයන්ගේ බහට අවනත වීම නිසා විය හැකිය.


(2018 ඔක්තෝබර් 5 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “An Indifferent God ?" නමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


 

නොබෙල් සාම සම්මානය නාදියා හා මුග්වේග්ට

2018 වසරේ නොබෙල් සාම සම්මානය නාදියා මූරද් හා ඩෙනිස් මුග්වේග් හට හිමිවී ඇත. මෙවර නොබෙල් සම්මානය ලබන පිරිසගේ නම් නෝර්වේ හි අගනුවර වන ඔස්ලෝ හිදී අද (5) දිනයේදී  නිවේදනය කෙරුණි.


අයි.එස් සටන්කාමීන්ගේ ලිංගික අතවරයට ලක්වූ නාදියා පසුකාලීනව යසීඩි ජාතිකයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නට පටන්ගත්තාය. කොංගෝ ජාතික නාරිවේද විශේෂඥයෙකු වන මුක්වේග් කැරලිකරුවන්ගේ ග්‍රහණයට හසුවී අතවරයට ලක්වූ කාන්තාවන්ට අවශ්‍ය සහන සලසයි. 


නොබෙල් සාම සම්මානය ලැබුවන් ගැන නිවේදනය කරමින් නොබෙල් සම්මානය පිරිනමන මණ්ඩලයේ, සභාපතිධූරය දරන බෙරිට් රෙයිස් ඇන්ඩර්සන් නිවේදනය කළේ, ‘‘යුද්ධයේ ආයුධයක් ලෙස ලිංගික හිංසනය යොදාගැනීම අවසන් කිරීමට දරන උත්සහය වෙනුවෙන් මේ දෙදෙනාට සම්මානය පිරිනමනවා. එවැනි යුද අපරාධ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකිරීම හා ඊට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ලබාදෙන සුවිශේෂී දායකත්වය‘‘ අගයන බවයි. 



යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස අපචාර වලට ගොදුරු වූ කාන්තාවන් 30,000 කට අධික ප්‍රමාණයක් ලැබූ බරපතල තුවාල වලට මුක්වේග් හා ඔහුගේ සගයින් ප්‍රතිකා කර ඇත.  මෙවර නොබෙල් සාම සම්මානය උදෙසා සංවිධාන 331 කට අධික සංඛ්‍යාවක් නිර්දේශ වී තිබු අතර ඒ අතරින් මේ දෙදෙනා මෙවර සාම සම්මානය ලැබීමට හැකියාව ලැබීම විශේෂය.


 

The Guardian, The Nobel Prize හා BBC ඇසුරිනි 

 

ලෝකයේ කිසි තැනක ප්‍රජාතන්ත්‍රවාදය නැහැ - නවාල් අල් සඩාවි

ස්ත්‍රීවාදිනියක, ලේඛිකාවක, වෛද්‍යවරියක, මනෝ වෛද්‍යවරියක වන නවාල් අල් සදාවි පීතෘමූලික සමාජය ගැන හඬ නගන්නියකි. ඉස්ලාම් දහම තුළ කාන්තාවන්ට හිමිවන තැන පිළිබඳ මෙන්ම ස්ත්‍රී ලිංග ඡේදනය ගැන ද කතාබහ කරන ඇය, ‘අරාබි ලොව සීමොන් දි බොවාර්‘ යන අන්වර්ථ යමින් හැඳින්වෙයි. මේ වනවිට සිය දිවියේ 86 වන කඩඉම පසුකරමින් සිටින ඇය Arab Women’s Solidarity සංගමයේ නිර්මාතෘවරිය මෙන්ම සභාපතිනිය ද වන අතර Arab Women’s Solidarity සංගමයේ සමාරම්භිකාවක ද වෙයි. මෙහි පළවන්නේ Channel 4 පුවත් හි Ways to Change the World වැඩසටහනට ක්‍රිෂ්ණන් ගුරු මූර්ති ඇය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල අනුවර්තනයේ අවසන් කොටසයි.

 

මිනිස්සු තමන්ගේ දරුවන්ගේ ලිංගඡේදනය කරන්නේ කාන්තාවන්ගේ ලිංගික සතුට මුලිනුපුටා දැමීමක් විදියටද ?


ඔව්, අනිවාර්යයෙන්ම. කාන්තාවන්ගේ ලිංගික සතුට දුර්වල කරදමන්න හා හීන කරන්නයි. සිරුරේ තියෙන අති සංවේදී චර්ම කොටසක් කපාදමන්නේ ඇයි ?. පුරුෂයින්ගේ ලිංගාශ්‍රිත චර්මය කපාදමන්නේ ඇයි ?. යුදෙව් ආගම හා බැඳුණු ඉතිහාසයක් වගේම ලිංගිකත්වයට නැඹුරු වූ ඉතිහාසයක් මේකට තියෙනවා. ඒ මිනිස්සුන්ට ගැරහීමයි. එය අවහිර කිරීමක්. මිනිසෙකුගේ සිරුරේ තියෙන අතිශය සංවේදී තැනක් කපාදමන්නේ ඇයි ?. දෙවියන් ඉදිරියේ මිනිසුන්ව හාස්‍යයට ලක්කරන්නටයි. මිනිස්සු කෙරේ ආධිපත්‍යය පැතිරවීමේ අවශ්‍යතාවක් දෙවියන්ට තිබීම ඊට හේතුවයි.


ඔබ, ඔබේ රටින් පිටවී ගොස් ස්වයං පිටුවහල් සමයක් ගත කළා ?


ඔව්, අවුරුදු 20 ක්


මේකට හේතු වුණේ මොකක්ද ?


මට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවුණා. රජය මගේ ගෙදර ඉදිරිපිට ආරක්ෂක නිළධාරීන් යොදවා තිබුණා. නමුත්, ලේඛකයෝ හා වෙනත් වැදගත් පුද්ගලයින් මරාදැමුණේ මෙවැනි ආරක්ෂකයින් අතින්මයි. ඉතිං, මේ ආරක්ෂක නිළධාරීන් හෝ රජය ගැන ප්‍රමාණවත් තරම් විශ්වාසයක් මට තිබුණේ නැහැ. ඒ මොහොතේ මගේ සැමියා කියා හිටියා ‘ඔයා මේ රටින් යන්න ඕන‘ කියලා. මං රටින් පිටවුණේ ඒ හේතුව නිසයි. නිකරුණේ ඝාතනය වීමේ වුවමනාවක් මට තිබුණේ නැහැ.


නමුත්, ඔබ කිසිම වෙලාවක සටන අත්හැරියේ නැහැ ?


ඔව්, මේ සමයේදී මං නිර්මාණාත්මක කුසලතාව හා භින්නමතික බව ගැන පාසල් හා විශ්වවිද්‍යාල තුළ ඉගැන්වීම් සිදුකළා. ලේඛනය, ප්‍රකාශනය නැවැත්වූවේ නැහැ, මගේ වෑයම කිසිලෙසකින්වත් අත්හිටවූවේ නැහැ.


ඔබ රටින් පිටවී හිටියත් ඊජිප්තුව සමග පැවති සබඳතා අඛණ්ඩව පවත්වාගත්තද ?


හ්ම්, ඒ වගේ ලෝකයක් ඇතුළේ ජීවත්වෙද්දි පහසුවෙන්ම ඊ මේල් වගේ ක්‍රම වලින් පහසුවෙන්ම සන්නිවේදන කටයුතු කරගන්න පුළුවන්. කොහොමටවත් මගේ සබඳතා ජාලය බිඳවැටුණේ නැහැ. මිනිස්සු එක්ක බොහොම තදින් බැඳී හිටියා. අවුරුදු ගාණක් ගතවෙලා ගිහිං ආපහු මගේ රටටම ගියාම මා ලියූ, කියූ දේවල් ගැන මනාව දැනගෙන හිටි පුද්ගලයන් තහීර් චතුරස්‍රයේදී මුණගැහුණේ මේ හේතුව නිසයි. ඉතිං, ඇත්තටම මං කවදාවත් හැබෑවටම මං ස්වයං පිටුවහලක පසුවුණේ නැහැ.


ඔබ ආපහු ඊජිප්තුවට යන්නේ හරියටම අරාබි වසන්තයට කලින් නේද ?


ඔව්.



ඔබ අරාබි වසන්තය දකින්නේ මොන විදියටද ?


මේ ගැන දැක්මවල් දෙකක් තිබෙනවා. අරාබි ලෝකයේ ඇතිවුණු විප්ලවය කළේ ඇමරිකානුවන් බව එක් පිරිසක් කියනවා. (සිනාසෙමින්). ඔවුන් කියන්නේ මුබාරක්ට එරෙහිව මිනිස්සු මිලියන ගාණක් පාරට බස්සන්න ඇමරිකාවට හැකිවුණු කතාවක්. මේක විකාර කතාවක්. මොකද තහීර් චතුරස්‍රයට මිලියන ගණනින් මිනිස්සු එක්රොක් වෙලා හිටියා. මේක ඇමරිකාව උසිගැන්වුව දෙයක් කියනවා නම් ?. නැහැ. මේක විප්ලවයක්. ඇත්තටම, මේක නැවැත්තුවේ ඇමරිකාව, ඊශ්‍රායලය හා ඊජිප්තු ආණ්ඩුවයි. මේ පිරිස මිනිස්සුන්ට බය වුණු නිසා මේක නවත්වන්න සිද්ධවුණා. හැබැයි අරාබි විප්ලවය නවත්වන්න මේ කිසිවෙකුට හැකියාවක් තිබුණේ නැහැ. සමස්ත අරාබි ලෝකයේ හා ඊජිප්තුව ඇතුළේ කරපු විප්ලවයේ ශක්තිය මෙහිදී දැකබලාගන්න හැකිවුණා. මිනිස්සුන්ව මොනම බලවේගයකින්වත් වළක්වන්නට නොහැකි නිසා මෙය ඉදිරියටත් අඛණ්ඩව සිද්ධ වේවි.


ඔබ හිතන විදියට අරාබි වසන්තය නවත්වන්න උත්සහ කළේ ඇයි ?


ඔවුන් මොහොමඩ් මුර්සිව බලයට පත්කරන්න උත්සහ ගත්තා. මුර්සි හෝ මුස්ලිම් සහෝදරයින් ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් දේශපාලනයට තේරීපත්විය යුතු බව ඔවුන් පැවසුවා. මේ කතාව මඟහැරයාමක්


එහෙම කියන්නේ ඇයි ?


ලෝකයේ කිසි තැනක ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. මං වසර 20 ක් තිස්සේ ජීවත් වුණේ ඇමරිකාවේ. එහි පවා කිසිදිනක ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැහැ. බිල් ක්ලින්ටන්, ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්නවුන් පවා ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් තේරීපත්වුණේ නැහැ. මොවුන් අරමුදල් එකතු කළා.


ඊජිප්තුවට ආවත් මුර්සි ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් තේරී පත්වුණු බව දැකගන්න ලැබේබි. ඇත්ත ඒක නෙමෙයි, තහීර් චතුරස්‍රයේදී මං හිලරි ක්ලින්ටන්ව දුටුවා. නමුත්  මේ සියල්ලටම ඔවුන් මුදල් යට කළා. හිලරි ක්ලින්ටන් - ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මේ දේ කළා. මුස්ලිම් සහෝදරයින් බලයට පත්කරවන්න ඔවුන්ට වුවමනා වුණා.


මේ විප්ලවය හරහා බිහිවන ආණ්ඩු විප්ලවවාදී වේවි කියන බය  ඔවුන් තුළ තිබුණා. මේ පිරිස දිගින් දිගටම කිව්වේ මුස්ලිම් සහෝදරයින් හොඳයි කියන කතාවයි. ‘අපි මේ මුස්ලිම් සොහොයුරන්ට සහයෝගය දෙමු‘ කියන ස්ථාවරයේ ඔවුන් හිටියා. අධිරාජ්‍යවාදී හා යටත්විජිතවාදී බලය මෙහිදී දැකගන්නට හැකියි. මේ බලය වැඩි කැමැත්තක් දැක්වූවේ සමාජවාදී විප්ලවයකට වඩා ඉස්ලාම් ආගම මුල්කරගෙන සිදුවන විප්ලවයකටයි. ලෝකයේ කිසිම රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයෙකු තේරී පත්වෙන්නේ නැහැ. මං මේ කියන්නේ හැබෑවක්. ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති කවුද ?. ට්‍රම්ප්, ඔබාමා ගත් විට පවා මේ තත්ත්වය දැකගන්නට හැකිවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මිරිඟුවක්. ප්‍රාග්ධනවාදී, අධිරාජ්‍යවාදී, පුරුෂ මූලික ආගමික පද්ධතියක් ඇතුළේ කොහොමටවත් අපිට ප්‍රජාතන්ත්‍රවාදය දකින්න බැහැ.


ඒ ඇයි ?


ඔවුන්ට මුදල් ඕන. ආගම, ප්‍රාග්ධනය, අධිරාජ්‍යවාදය මකා දැමුවොත් එතැන ඉතිරිවෙන්නේ සමාජවාදය පමණයි. එතැන තවදුරටත් ආණ්ඩුවක් ඉතිරිවෙන්නේ නැහැ. මිනිස්සු සතුව තිබෙන හැබෑ බලයට ඔවුන් දැඩි ලෙස බිය වෙනවා. ඉතිං, කොහොමටවත් ප්‍රජාතන්ත්‍රවාදයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.


ඇත්තටම, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද ?. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හැබෑම, හැබෑ නිදහසයි.



අප ප්‍රජාතන්ත්‍රවාදය නමින් හඳුන්වන දේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ නැත්නම් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ජීවත්වෙන්නේ ඇයි ?


ඒකට හේතු වෙන්නේ මිනිස්සු දැඩි පීඩනයෙන් හා කිසිදු සංවිධානාත්මක ගතියකින් තොරව ජීවත්වීමයි. සංවිධානගත වීමෙන් අපව වළක්වා තිබෙනවා. මං තනිව ලේඛනයේ යෙදෙන කාලයේදී අතිශය ජනප්‍රිය තරුවක් වුණත් මේ පිරිස කොහොමටවත් සංවිධාන ගතවුණේ නැහැ.  මම කාන්තාවන් වගේම පිරිමින් ද එකසේ සංවිධාන ගතකිරීම ආරම්භ කරපු නිමේෂයේදී, අතිශය අන්තරායදායක කෙනෙකු බවට මං පත්වුණා. ඇත්තටම, මෙහේ ඉන්න මිනිස්සු සංවිධාන ගතවෙලා නැහැ


මිනිස්සු මේ විදියට සංවිධානගතවීම කිසිම ආණ්ඩුවක් නවතා දමන්නේ නැහැනේ ? මිනිස්සු සංවිධානගතවු පමණින් කිසිම ආණ්ඩුවක් ඇවිත් මීට සම්බන්ධ පිරිස් සිරගත කරන්න කටයුතු කරන්නේ නැහැනේ. අපි ජීවත්වෙන බ්‍රිතාන්‍යයේ පවා එහෙම දේවල් වෙන්නේ නැහැ ?


නමුත්, බොහොම සියුම් විදියට ඒ දේ කරනවා. ඇමරිකාව එය කරන විදිය මම දන්නවා. ඇමරිකාව තුළ සංවිධානගත වෙන්න බැහැ.


ඔවුන් එය නවතාදමන්නේ කොහොමද ? 


ආණ්ඩුව විරුද්ධ වෙනවා. ධනවාදී ලෝකය නවතාදමන්න කිසිම ආණ්ඩුවකට බැහැ. ඇමරිකාවේදී සමාජවාදී විප්ලවයක් කරන්න බැහැ. ඔවුන් ඔබව මරාදමාවි. මරාදමාවි


සමහරවිට සමාජවාදී ක්‍රමයකට ගමන් කරන්න තරමේ ප්‍රමාණවත් පුද්ගලයින් සංඛ්‍යාවක් නැහැ නේද ? ඇමරිකාවේ සමාජවාදීන් ඉන්න බව ඔබ හිතනවාද ?


ගොඩක් මිනිස්සු ඉන්නවා. බහුතරයක් වන ජනතාව, මගේ හැම මිතුරෙක්ම පවා සමාජවාදීන්. ඔවුන් ට්‍රම්ප්ට දැඩි ලෙස විරුද්ධයි. ඔහුට එරෙහිව මිලියන ගාණක ජනතාවක් ඉදිරියට එනවා. නමුත්, ඔවුන්ට කිසිමදෙයක් කරගන්න බැහැ. ඇයි ඒ. මිලියන ගාණක මිනිස්සු ට්‍රම්ප්ට එරෙහිව, ඉරාක යුද්ධයට එරෙහිව, පලස්තීන යුද්ධයට එරෙහිව පෙරට එන්නේ ඇයි ?. මිනිස්සු මෙහෙම ඉදිරියට ආවත් ඔවුන්ට කිසිවක් වළක්වාගන්න පුළුවන්කමක් තිබුණද ?. ඒ ඇයි ?


මේ හැමෝටම ඔබ  දෙන පණිවිඩය මොකක්ද ? මේ පිරිස එක්වෙලා  ලෝකය වෙනස් කරන්න දැරිය යුතු  උත්සහය මොකක්ද ?


කරුණු දෙකක් වැදගත්වෙනවා. සංවිධානගත වීම හා මිනිස්සුන්ව නැවත දැනුමින් සවිබල ගැන්වීම නැත්නම් දැනුවත් කිරීම යන්න අතිශය වැදගත් වෙනවා. මාධ්‍ය මගින් මිනිස්සුන්ගේ අදහස් දැඩි ලෙස වෙනස්කර තිබෙන නිසාම ඔවුන්ට ඉගැන්වීම අතිශය වැදගත් වෙනවා. මං මහාචාර්යවරියක ලෙස ඇමරිකාවේදී උපාධි අපේක්ෂකයින්ට ඉගැන්වුවා. මේ පිරිස දේශපාලනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඔවුන් දැනුමින් සන්නද්ධ අය නොවෙයි. මොවුන් තුළ නූගත් බව තිබුණත් දැනුම තිබුණේ නැහැ. මිනිස්සුන්ව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. සාම්ප්‍රදායික අධ්‍යාපනය පසෙක දැමිය යුතුයි. නිර්මාණාත්මක ගුණාංග ඉගැන්විය යුතුයි. මං ඔවුන්ට කියාදුන්නේ එයයි.  නිර්මාණාත්මක ගුණාංග තමා තුළ ඇතිකරගැනීම හා නිසි ඉගෙනුමක් නැති අය දැනුමින් සවිබල ගැන්වීම හරහා කාන්තාවන් වගේම පිරිමින් ද  ඔවුන්ගේ අයිතීන් ගැන ඉගෙනගෙන සංවිධානගත වෙන්න පටන්ගනීවි.



පුරුෂ මූලික සමාජය, ධනවාදය, ආගමික පීඩනය ගැන ඔබ කතාකළා. මේ අදහස් වලට එරෙහිව එකවර සටන් කිරීම හෝ එකින් එක මේ අදහස් වලට එරෙහිව සටන් කිරීමට හැකියාවක් තිබෙනවාද ?


පළවෙනි දේ දැනුවත්වීම, මොකද බලාහිඳීම අපව නොදැනුවත් අය බවට පත්කරනවා. අධ්‍යාපනය රැඳී තිබෙන්නේ යථාර්තය සරළ කිරීම මතයි. මේ දේවල් අපේ ඔළුවේ තියෙනවා. ආගම, ලිංගිකත්වය, වෛද්‍ය විද්‍යාව, ඉතිහාසය මේ හැමදේම අපේ ඔළු ගෙඩි වලට ඇතුල් කරවනවා. කිසිම දෙයක් නොදැන අපි මැරිලා යන්නේ ඒ නිසයි. නමුත්, නිර්මාණාත්මක බව කියන්නේ අපට පෙරගමන් පෙන්වන, සාමූහිකත්වය ඇතිකරවන, මේ හැමදේම එකිනෙකට සම්බන්ධ කරන දේවල්. අද වෙද්දි සමාජ මාධ්‍ය හරහා මීට අනුබල දෙනවා දැකගන්නට හැකියි. මිනිස්සුන්ව එකිනෙකාගෙන් වෙන් කිරීමේ අවශ්‍යතාවය ධනවාදීන්ට තිබෙනවා


සමාජ මාධ්‍ය මිනිස්සු එකිනෙකාගෙන් වෙන්කරන්නේ ඇයි ?


හිතාමතා නොවුණත් මිනිස්සු හිරගත කිරීම සිදුකරනවා. තවදුරටත් ඔවුන් එකිනෙකා සමග මුණගැහෙන්නේ නැහැ.


සමාජ මාධ්‍ය මිනිස්සුන්ට සංවිධානගත වෙන්න වැදගත් වෙන්නේ නැද්ද ?


සමහර අවස්ථාවලදී වැදගත් වෙනවා. ෆේස්බුක්, ට්විටර් වගේ මාධ්‍යයන් මිනිස්සු ඒකරාශී කරන්න වැදගත් වුණත් ඔවුන්ව දැනුම්වත් කරන්න වැදගත් වෙන්නේ නැහැ. මේක අතිශය අසීරු කාර්යයක් වන නිසා දැඩි කැපවීමක් අත්‍යවශ්‍ය වෙනවා. මිනිස්සු තමන්ගේ ජීව විද්‍යාත්මක පවුලට පමණක් වාසි සැලසීම ගැන නොසිතිය යුතුයි. දරුවන්, පවුල එකිනෙකාගේ ආශාවන් බවට පත්වෙනවා. පවුල ගැන යාඥාවන් කරන්නේ ඒ නිසයි. රජය තුළ පවා පවුල යන්න වැඳුම් පිදුම් වලට ලක්වෙනවා. හැමකෙනාම අමාරුවෙන් වැඩ කරලා දරුවන්ට කන්න බොන්න දෙන්න වෙහෙසෙනවා.


තමන් ගැන විතරක් හිතන පවුලක් වුණත් මේ පවුල සමාජයට විවෘත නැහැ. ඒවගේම සමාජවාදී සංවිධානයකුත් නෙවෙයි. අපිට මේ ගැන කතාකරන්න බැහැ.


ඔබ සර්ව අශුභවාදියෙක්ද ?


නැහැ, කොහොමටවත් නැහැ. කවුද කිව්වේ ?


ඔබ කිව්වා මේවා කිසි දිනක සිද්ධවෙන්නේ නැහැ කියලා. ඒකයි ?


නැහැ, නැහැ. මේවා සිද්ධවෙන්න පුළුවන්, නමුත් අපි දැනුවත්වීම අත්‍යවශ්‍යයි. අපි හැමෝම සාමූහිකව අරගල කරන්න ඕන. මං තදබල විදියේ සර්ව සුබවාදීයෙක්. මං කොහොමටවත් අශුභවාදය ගැන විශ්වාස කරන්නේ නැහැ. සිරගෙයි ගතකළ අවදියේදී පවා මං දැඩිව බලාපොරොත්තු තබාගත් කෙනෙක් වුණා. අති දරුණුම අත්දැකීම් වලදී පවා මං බලාපොරොත්තු කඩකරගත්තේ නැහැ. ඉතිං අපි මේ අරගලය ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ද අඛණ්ඩව රැගෙන යා යුතුයි. අපිට තනිව ඊජිප්තුව ඇතුළේ පමණක් සටන් කරන්න බැහැ. මේක විශ්වීය අරගලයක්. විශ්වීය අරගලයක්. දේශීය වශයෙන් මීට දායක විය යුතුයි. එකිනෙකා එකම අරමුණක් වෙත ගමන් කිරීම තුළින් මෙය සාර්ථක කරගන්නට හැකියි.


මෙය සදාකාලික අරගලයක්ද ?


ඔව්, අනිවාර්යයෙන්ම.


ඔබට දකින්නට වුවමනා ලෝකය කවදා හෝ එළඹේවිද ?


ඔව්, අනිවාර්යයෙන්ම.


කවද්ද ?


ඒ දවස උදාවේවි. මං ලෝකය ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ඉතිහාසය දිහා බැලුවොතින් මේවා වෙන්නේ කවද්ද කියලා කියන්න බැහැ. ඉතිහාසය කියන්නේ ඉතිහාසයටයි. ජීවිතය වෙනස් වෙනවා. අද අපි ගෙවන්නේ මීට වසර 100 කට එහා ගතකරපු ජීවිතේට වඩා හොඳ ජීවිතයක්. ඉතිහාසය දිහා බලන්න, සර්වශුභවාදී විය යුතු බව එවිට ඔබට වැටහේවි.


 



අනුවර්තනය - වින්ධ්‍යා ගම්ලත් 

සබැඳි පුවත් 

ලිපි පෙළේ පළමු කොටස කියවන්න 

‘‘අපේ රටවල හැමතැනකදීම දෙවියෝ වැඩඉන්නවා‘ – නවාල් අල් සඩාවි‘‘

ලිපි පෙළේ දෙවන කොටස කියවන්න 

‘‘මා මාක්ස්වාදියෙකු නොවුණේ මාක්ස් ගැන කියවපු නිසයි‘‘ – නවාල් අල් සඩාවි 

ලිපි පෙළේ තෙවැනි කොටස කියවන්න

කාන්තාවක් නිරුවත් වුණොත් වැඩි වැඩියෙන් මුදල් ගලා ඒවි - නවාල් අල් සඩාවි 

හේතු බුද්ධියෙන් තොරව ජ්‍යෝතිෂය ලුහුබැඳ යමුද ?

අපේ ජනතාව කෙරෙහි ඇති කරනු ලබන බරපතල බලපෑම නොවන්නට, ජ්‍යෝතිෂය අවුලක් නැති පිනවීමක් වශයෙන් අපට බැහැර කළ හැකිය. මේ ශාස්ත‍්‍රය පදනම්ව ඇත්තේ තාරකා විද්‍යාව මත යැයි ජනප‍්‍රිය විශ්වාසයක් තිබේ. අපට බලපෑම් කරන මේ ශාස්ත‍්‍රය තුළ ඇති ප‍්‍රධාන නිරූපකය වන්නේ හඳහනයි. අපේ ජීවිතයට අදාළ බොහෝ දේවල් රැඳී ඇත්තේ ඒ මත ය. මේ හඳහන් සැකසීම සහ ඒවා භාවිතයේදී කාරණා තුනක් සැලකිල්ලට ගැනේ. ඒවා නම්, උපන් වෙලාව, උපදින අවස්ථාවේ ග‍්‍රහයන්ගේ පිහිටීම සහ ඒ අනුව ලියැවෙන වේලාපත්කඩය අර්ථ නිරූපණය කිරීමයි. මේ කාරණා තුන සම්බන්ධයෙන්ම පවතින්නේ දැඩි අවිනිශ්චිතතාවකි.


සැබෑ උපන් වෙලාව යනු කුමක්ද ?


ඉපදීම අරුත් ගන්වන්නේ කෙසේද ? හිස එළියට එන මොහොත ද, මුළු සිරුරම එළියට එන මොහොත ද, එසේත් නැත්නම් වැදෑමහ කපන අවස්ථාව ද ? එසේත් නැතහොත් පිළිසිඳ ගන්නා මොහොත විය නොහැකි ද ? ඔරලෝසුව කොතෙක් දුරට නිවැරදි වේ ද ? නිරවද්‍යතාව තත්පරයට ගණනය කෙරේ ද ? එය ග‍්‍රීන්විච් වේලාව ද, නැත්නම් උපදින ස්ථානයේ වේලාව ද ?



ග‍්‍රහ පිහිටීම් - තාරකා මණ්ඩල තෝරාගැනීමේදී පවතින ප්‍රායෝගික දුෂ්කරතා


අන්තරීක්ෂ අවකාශය, රාශී දොළහක් නියෝජනය වන සේ බෙදා තිබේ. සූර්යයා සහ චන්ද්‍රයා හරියටම ගත්තොත් ග‍්‍රහයන් නොවුණ ද, හඳහනට ඒවා ද සැලකිල්ලට ගැනේ. තාරකා මණ්ඩල (මන්දාකිණි) මිලියන 30 ක් ඇතැයි කියති. අපේ සෞරග‍්‍රහ මණ්ඩලය එයින් එකක් පමණි. හඳහන සඳහා එය පමණක් සැලකිල්ලට ගැනීම සාධාරණ ද ? කාලය සටහන් කිරීමේ ඉතා සුළු දෝෂයක් නිසා වුව, නියමිත රාශිය වෙනස් විය හැකි නිසා, ඒවායේ පැහැදිළි සීමා මායිම් තිබිය යුතුය. එසේම ආලෝකයත් අන්තරීක්ෂයේ ගමන් කළ යුත්තේ සෘජු රේඛාවක් ඔස්සේ ය. ආලෝකය ‘නැවෙන්නේ’ ද? සාපේක්ෂතා න්‍යාය මේ ගැන කියන්නේ කුමක් ද?


ලග්න නිශ්චය කිරීමේ විවිධ ක‍්‍රම ඇති බව පෙනේ. ‘බටහිර’ ක‍්‍රමයට එය නිශ්චය කෙරෙනුයේ, ඒ ඒ මාසයේ දින පරාසයන් අනුව ය. උදාහරණයක් වශයෙන්, ජනවාරි 21 වැනි දා සිට පෙබරවාරි 20 වැනි දා දක්වා උපදින සියලූ දෙනා අයත් වන්නේ එක ලග්නයකට ය. පෙබරවාරි 21 වැනි දා සිට මාර්තු 20 වැනි දා දක්වා උපදින අය අයත් වන්නේ එක ලග්නයකට ආදී වශයෙනි. පෙරදිග ක‍්‍රමය ඊට වඩා සංකීර්ණ ය. එහිදී තනි දවසක උපදින පුද්ගලයන් ලග්න කිහිපයකට අයත් විය හැකිය. තෝරා ගත යුත්තේ මොන ක‍්‍රමය ද කියා හෝ එක ක‍්‍රමයක් අනිත් ක‍්‍රමය සමග පෑහිය හැකි ද කියා හෝ දැන ගැනීම ප‍්‍රහේලිකාවකි. අපේ වැනි රටවල්වලටත් වෙන වෙනම හඳහන් ඇති බව කියනු ලැබේ. ඒවා නිශ්චය කරන්නේ කෙසේද? පැහැදිළිවම, එම රටවල් බිහි වූ නිශ්චිත හෝ විශ්වාස කරනු ලබන වේලාවක් අනුව විය නොහේ. අපේ පෘථුවිය පාදක කොටගෙන ඇති වෙලාවල් සහ දින, අනිත් ග‍්‍රහයන්ටත් සම්බන්ධතාවක් දක්වයි ද ?



පුවත්පත් වල පළවන ලග්න ඵලාපල ව්‍යාජයක් නොවේද ?


ක්‍රමය කුමක් වෙතත්, ප‍්‍රශ්න බොහෝ ය. බිලියන හතක් වන මුළු ලෝක ජනගහනය රාශි දොළහෙන් එකකට අයත් විය යුතු නිසා, එක රාශියකට අයත් වන ජනගහනය ආසන්න වශයෙන් මිලියන 585 ක් වන්නේය. ඒ සියල්ලන්ට තිබිය යුත්තේ එක ලග්නයකි. එනිසා ඒ සියල්ලන්ගේ අනාගතය සමාන විය යුතුය. පුවත්පත්වල පළවන ලග්න ඵලාඵල තුළ අඩංගු අනාවැකි කියැවීම අපූරු අත්දැකීමකි. එකම දෙය නැවත නැවතත් කීම සහ ඒ පැත්තටත් නැති මේ පැත්තටත් නැති වචනවලින් ඒවා ගහණ ය. පුවත්පත් තම වටිනා ඉඩකඩ මේ සඳහා වෙන් කිරීම අරුමයකි. මගේ ලග්නය සතියක් තිස්සේ නිරීක්ෂණය කළ විට, ඒවායේ ඒකාකාරී බව, අස්පෂ්ට බව සහ හිස් බව මට කැපී පෙනුණි. ඔබේ ලග්නයත් එසේ නිරීක්ෂණය කොට බලන්න. ඉන් පසු, මෙතරම් නිරර්ථක නොවන වෙනත් කාරණයක් සඳහා ඒ ඉඩකඩ පාවිච්චි කරන්නැයි කතුවරයාට ලියා දන්වන්න.


තාරකා විද්‍යාවට හෝ ගණිතයට හෝ වෙනත් විද්‍යාවකට නක්ෂස්ත‍්‍රයට නෑකම් කිව නොහැක


යට සඳහන් කළ කරුණු මත හඳහනක් සකස් කිරීමේදී අඳින ද්වි-මාන වේලාපත්කඩය තුළ ග‍්‍රහයන් 9 දෙනා ස්ථානගත කරනු ලැබේ. බොහෝ ප‍්‍රශ්න පැන නගින්නේ මේවා අර්ථකථනය කිරීමේදී ය. එය කියැවීම රඳා පවතින්නේ පංචාංග ලිත සහ කියවන්නාගේ නිපුණත්වය මත ය. ඒ අනුව, ‘හොඳ’ හඳහන් බලන්නෝ සහ ‘එතරම් හොඳ නැති’ හඳහන් බලන්නෝ සිටිති. ඇතැම් අනාවැකි සහ සිදුවීම් සමපාත වීම, ප‍්‍රමාණවත් ඔප්පු කිරීමක් නොවේ.


ග‍්‍රහයන්ගේ විශේෂ පිහිටීම්වලින් සහ ග‍්‍රහයන්ගේ සංගමනයන්වලින් අදහස් වන්නේ කුමක් ද යන්න වඩාත් පැටලිලිකාරී ය. ග‍්‍රහ බලපෑම රඳා පවතින්නේ ස්කන්ධය මත ද, දුර මත ද? ග‍්‍රහ පිහිටීම්වලින්, එකිනෙකාගේ බලපෑම් හිලව් කරන්නේ හෝ වැඩි කරන්නේ හෝ කෙසේද? නක්ෂත්‍රය බොහෝ කොට රඳා පවතින්නේ පුරාතන විශ්වාස සහ ප‍්‍රාදේශීය සම්ප‍්‍රදායයන් මත ය.


ඒ සියල්ල සලකා බලන විට, සාධාරණව නිගමනය කළ හැක්කේ, තාරකා විද්‍යාවට හෝ ගණිතයට හෝ වෙනත් විද්‍යාවකට නක්ෂත්‍රයට නෑකම් කිව නොහැකි බව ය. එය ආවේශය ලැබිය යුත්තේ වෙනත් තැන්වලිනි.


අන්ධ භක්තිය


හිටපු ජනාධිපතිවරයා මොන තරම් ගුප්ත-විද්‍යා මත රැඳී සිටියේ ද යත්, ‘රාජකීය නක්ෂස්ත‍්‍රකරුවෙකු’ ස්ථාපනය කිරීමටත් ඉඩ තිබුණි. වාසනාවකට, ‘වැරදියට කියැවූ’ අනාගත මැතිවරණ ප‍්‍රතිඵලයක් නිසා ඒ අබග්ගයෙන් අපි බේරුනෙමු. එසේ වෙතත්, සුර, පංචායුධ, වළලූ, හක්ගෙඩි, මැණික් වාත්තු කළ මුදු සහ යන්ත‍්‍ර අපේ රටේ මෝස්තරයක් වී තිබේ. සමහරුන්ව බිය වද්දා ඒවා විකුණනු ලැබේ.


රටක්, නැකැත් වෙලාවල්, සුභ දිසාවන් සහ වෙනත් ‘ෆෙං ෂුයි’ ආදිය මත විශ්වාසය තැබීම අමන කමකි. විශේෂ අවස්ථාවල්, විශේෂයෙන් අලූත් අවුරුද්ද වැනි අවස්ථාවල් හැම වැඩකටම වෙලාවක් නියම කරයි. (ලිප ගිනි මෙලවීම, ඇඳුමේ වර්ණය සහ පළමු ආහාර වේල ගැනීමේ වේලාව ආදිය ඊට නිදසුන් ය). එක ‘රාශියකින්’ තවත් රාශියකට සූර්යයා මාරු වීම නොනගතය වෙයි. අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑම රාජ්‍ය රාජකාරියක තත්වයට පත්ව තිබේ.


එහෙත් මේ ගාම්භීර පිළිපැදීම්, රටේ ඇමති මණ්ඩලය තෝරා ගන්නේ යැයි කියන ‘විද්‍යාත්මක’ ක‍්‍රමය සමග පෑහෙන්නේ නැත. මෙවැනි ඇදහිලි සහ විශ්වාස අස්සේ විද්‍යාව ඉගැන්වීම සඳහා වැය කරන අධ්‍යාපනයේ අදාළත්වයත් කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකිය.



විවාහයට නැතුවම බැරි හඳහන


හඳහන ඉතා හානිකර අන්දමින් පාවිච්චියට ගැනෙන එක් අවස්ථාවක් වන්නේ, විවාහ කටයුතුවලදී ය. ඉරිදා පත්තරේක මංගල යෝජනා තීරු දිහා බලන්න. ‘පිළිතුරු ලිවීමේදී හඳහනේ කොපියක් අත්‍යාවශ්‍යයි’, ‘කේතු හතේ නම් ඉල්ලූම් නොකරන්න’ ආදී කතා එමට හමු වෙනු ඇත. ඒ සමගම, ‘දෙමාපියන් දෙන්නාම වෘත්තිකයන්’ යැයි සඳහන් පාඨවලින් කියැවෙන්නේ, අධ්‍යාපනය හෝ සමාජ පංතිය අනුව මේ විශ්වාසයන් වෙනස් නොවන බවයි. මේ අතින් අන්තිම නරක, සිංහල සහ දෙමළ පුවත්පත් ය. මෙවැනි විශ්වාස නැති, හඳහන් පවා නැති වෙනත් රටවල්වල මිනිස්සු ප‍්‍රීතිමත් විවාහ ජීවිත ගත කරති. අපේ තරුණ තරුණියන්ගෙන් කොපමණ පිරිසක්, ‘හඳහන් නොගැලපීම’ නිසා, තමන්ගේ මනාපයට සහකාරයෙකු / සහකාරියක සොයාගෙන ප‍්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමෙන් වළක්වනු ලැබ ඇත් ද ? විවාහවල සාර්ථක අසාර්ථක භාවය සහ හඳහන් ගැලපීම සහ නොගැලපීම අතර සහසම්බන්ධය පිළිබඳ දත්ත පිරික්සා බැලූවොත් සමහර විට සත්‍යය අවබෝධ වනු ඇත.


විපතට පත් දුප්පතුන් යම් සහනයක් සොයන විට ඔවුහූ ඉතා පහසුවෙන් සාස්තරකාරයන්ගේ අනුග‍්‍රාහකයන් බවට පත්වෙති. මේ සාස්තරකාරයෝ, මිල අධික ‘පූජා’ ඇතුළු වෙනත් යාතුකර්ම නිර්දේශ කරති. එය, මිනිසුන්ව බිය වැද්දීමකි. මිනිසුන්ව සූරාකෑමකි. වංචාකාරී ප්‍රෝඩාවකි.


යමෙකු අධි-තාත්වික මෝහනයක සහනය සොයන්නේ නම් එය ඔහුගේ හෝ ඇගේ පුද්ගල වරණයකි. එහෙත් වැදගත් පුද්ගලයන් රජයේ වියදමින් එසේ කරන විට සහ දුප්පතුන්ව බිය ගන්වා මිල අධික යාතුකර්මවලට තල්ලූ කරන විට, එසේ නොකළොත් මාරක අනතුරුවලට මුහුණදීමට සිදුවිය හැකි බවට තැති ගන්වන විට, එය සාපරාධී ය. උදාහරණයක් වශයෙන් ගතහොත්, අපේ දේශපාලඥයන් වරම් පතා වෙනත් රටවල දේවාලවලට යන්නේ අපේ දෙවිවරුන්ට වඩා ඒ දෙවිවරුන් බලවත් නිසා ද ? සාමාන්‍ය සිහි බුද්ධිය ඇති මිනිසුන් පවා පොල් ගසා හතුරන්ට ශාප කිරීම, පළතුරු වට්ටි පූජා කොට වරම් ඉල්ලීම, මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු තත්වයකි.


මගේ අරමුණ වන්නේ, හේතු බුද්ධියෙන් යුතුව මේ පිළිබඳ සංවාදයක් ඇති කිරීම මිස අවුලක් ඇති කිරීම නොවේ. ශිෂ්ට සම්පන්න ආකාරයෙන්, වරදක් පෙන්වා දෙතොත්, එය නිවැරදි කර ගැනීමටත් මම මැළි නොවෙමි.


 

(2018 සැප්තැම්බර් 16 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Astrology, Astronomy & Reason නැමැති ලිපියේ සිංහල පරිවර්තනය. ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)

සටහන - උපතිස්ස පෙතියාගොඩ

සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් පණ පිටින් පුළුස්සා මරාදමලා

පාකිස්ථානයේ දිවි ගෙවූ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකට පුරුෂයින් සිව් දෙනෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීමට ගත් උත්සහයේදී ඊට විරෝධය පළකිරීම නිසා ඇය පණපිටින් පුළුස්සා දමා ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී (6) මෙම ඝාතනය සිදුවී ඇති අතර පාකිස්ථානයේ වෙසෙන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් වන Trans Action Pakistan මේ හා සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත.

පාකිස්ථානයේ සහිවාල් දිස්ත්‍රික්කයේ කුලී රථගාලක් ආසන්නයේදී මේ සිදුවීම වී ඇති අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇගේ සිරුරින් 80 % ක් පමණ පිළිස්සී ගොස් තිබූ අතර එ් වනවිටත් මියගොස් සිට ඇත.

පාකිස්ථානය තුළ දිනෙන් දින සිදුවන  පසුගිය අගෝස්තුවේදී ද පෙශාවර්හිදී සංක්‍රාන්ති ලිංගිකයෙකු ඝාතනය කෙරුණි. කෙසේවුවත්, මේ වසර ආරම්භයේදී පාකිස්ථානයේ වෙසෙන සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නීතිමය පියවර ගෙන තිබෙන පසුබිමක LGBT ප්‍රජාවට එරෙහිව මෙවැනි අඩන්තේට්ටම් සිදුවීම මහත් ඛේදවාචකයක් වී ඇත.

[playlist type="video" ids="20989"]

 

Trans Action Pakistan හා  Pink News ඇසුරිනි

සටහන - වින්ධ්‍යා ගම්ලත්

 

 

නිහොන් සැප ලැබීමේ ඇත්ත කතාව


`නිහොන් සැප ලැබේවා` යන්න එම නාට්‍ය මාලාවේ එන තවත් නාට්‍යයක නමකි. ලංකාවට හෙළදිව කිව්වාක් මෙන් නිහොන් යනු බෞද්ධ රටක් ලෙස සැළකෙන ජපානයට භාවිත නමකි. නිහොන් සැප යනුවෙන් මෙතැන සඳහන් කරන්නේ විදෙස් රැකියා සඳහා යන මෙරට තරුණයන්ගේ ජපන් අපේක්ෂාව ගැනය. එය ජපානයේ දුක් විඳින තරුණයන් ගැන කියැවෙන කතාවකි.






විමුක්ති රණසිංහ


ITN fm හි විකාශය කෙරෙන `රේඩියෝ කතා` නම් වූ ගුවන් විදුලි නාට්‍ය මාලාව ගැන ජාතික හෙළ උරුමයේ ඕමල්පේ සෝභිත හිමියන් කලබල වී ඇත. ඒ, එම රේඩියෝ කතා නිසා බුදුදහමට අපහාස වන බව කියමිනි. මෙන්න ඒ කලබලයේ ඇත්ත කතාව. ඇත්ත කතාව නොදැන එහෙන් මෙහෙන් කෑලි අහුලාගෙන කතාකරන සියලු පාර්ශවයන් මේ සටහන කියවන්නේ නම් මැනවි.


ඇත්ත වශයෙන්ම, ජාතික සංහිඳියා කාර්යාංශයේ සාදර අනුග්‍රහයෙන් විකාශය කෙරෙන, මාලක දේවප්‍රිය විසින් නිර්මාණය කරන ලද එම නාට්‍ය මාලාව බුදු දහමට ඉතා අනුකූල එකකි. එනිසා, කාටවත් කලබල වීමට හේතුවක් නැත. මේ ප්‍රශ්නය මතු වී ඇත්තේ, එම ඇතැම් නාට්‍යවලට යොදා ඇති නම් දෙස පමණක් බැලීමෙනි. ඒ නම්, බැලූ බැල්මට වෙනත් යෙදුම් සමග හුරුපුරුදු යෙදුම් නිසා පටලැවිල්ලක් ඇතිවුණා වන්නට පුළුවන.


එයින් එක නමක් වන්නේ, `තරුවන් සරණයි` යන්නය. මෙය තෙරුවන් සරණයි යන යෙදුම සමග සම්බන්ධ කරගත යුතු නැත. මන්ද, මෙතැනදී මේ කියන්නේ, කුඩා දරුවන් පවා තරු බවට පත්කරමින් යන පාරිභෝජනවාදී තාරකා සමාජය ගැනය. මුළු තෙරුවන් සරණ යනු වෙනුවට තරුවන් සරණ ගොස් ඇත. එය පැවසීම බුදු දහමට නිගාවක්ද ? එසේත් නැත්නම් චාම් ජීවිතයක් පිළිබඳ යෝජනා කෙරෙන බුදු දහමේ නියම අර්ථය ඉස්මතු කිරීමක්ද ?


`නිහොන් සැප ලැබේවා` යන්න එම නාට්‍ය මාලාවේ එන තවත් නාට්‍යයක නමකි. ලංකාවට හෙළදිව කිව්වාක් මෙන් නිහොන් යනු බෞද්ධ රටක් ලෙස සැළකෙන ජපානයට භාවිත නමකි. නිහොන් සැප යනුවෙන් මෙතැන සඳහන් කරන්නේ විදෙස් රැකියා සඳහා යන මෙරට තරුණයන්ගේ ජපන් අපේක්ෂාව ගැනය. එය ජපානයේ දුක් විඳින තරුණයන් ගැන කියැවෙන කතාවකි.


`නිරවස්ත්‍රන් පරමං සුඛං` යනුවෙන් වන ගුවන් විදුලි නාට්‍යයක් ගැනද චෝදනා එල්ල වුව, එවැනි නමකින් යුතු නාට්‍යයක් ITN fm හි විකාශය වන්නේ නැත. ඒ නිසා එම චෝදනාව අදාළ වන්නේද නැත. මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාව කිසි ලෙසකින් අත්හිටුවන්නේ නැති බව ITN ආරංචි මාර්ග පවසයි.


අනෙක් අතට, ආගමික සාහිත්‍යයේ විවිධ යෙදුම්, සාමාන්‍ය සාහිත්‍යයේ භාවිතා කළ අවස්ථා අප රටේම වුවද ඕනෑ තරම් ඇත. එවැනි උදාහරණවලින් එකක් දෙකක් මෙසේය.


``නවදැලි හේනක පෑව වැඳිරි රුව නෙක උවමින් දෙනුවන් රවටා.. මා පෙම්කළ ජනපද කල්‍යාණිට හිමියනි මට කළ නිගා`` කියා සෝමතිලක ජයමහ කියන්නේ නන්ද තෙරුන් වහන්සේගේ කෝණයෙනි. මෙය කෙළින්ම නන්ද කුමාරයා පැවිදි කිරීමේ උපක්‍රමයට අභියෝග කිරීමකි. දශක කීපයකට පෙර මේ ගීතය නිර්මාණය වෙද්දී, එවකට ප්‍රබල භික්ෂූන් වහන්සේලා ඊට විරුද්ධ නොවූහ. ධර්ම සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය අතර වෙනස වැටහෙන ප්‍රබුද්ධත්වක් උන්වහන්සේලාට තිබිණි.


``පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න.. දළඳා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න`` යැයි කීම නිසා කිසිවකු වික්ටර් රත්නායකට දෝෂාරෝපණය කළේ නැත. ආගමික සංස්ථාවේ කුල භේදය විදහා පෙන්වන එම ගීතය ඉවසන්නට පුළුවන් භික්ෂු සමාජයක් හෙට දවසේ සිටීවිදැයි සැක සහිතය. ``නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා. මහරෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා`` යනුවෙන් වසන්තා සන්දනායක යසෝදරාවගේ කෝණයෙන් අසන්නේ සිදුහත් කුමරාගෙනි. ``නින්දේය එදා හිමි ඔබ යනවිට මා උන්නේ.. දැනුනා නම් පැන යන බව නෑ යන්නට දෙන්නේ`` කියද්දී, ``බුදු අම්මෝ.. මෙන්න අභිනිශ්ක්‍රමණයට පැනල යාම කියනාවෝ.. ඇහැරුනා නම් බුදු වෙන්න යන්න දෙන්නෙ නෑ කියනවෝ`` කියා කිසිවකු කෑ ගැසුවේ නැත.


සාහිත්‍ය භාෂාව පොඩ්ඩකට පැත්තකින් තියමු. සාමාන්‍ය ජනයාගේ බස් වහර ඉතාම විවෘතය. ගුටියක් වදිනකොට අම්මෝ කියයි. හයියෙන් වදිනකොට බුදු අම්මෝ කියයි. වචන යනු වචනය. වැදගත් වන්නේ අරුතය. පච්චයක් කොටනකොට අම්මා බුදු වේවා කියා කොටයි. කාන්තාවන්ට බුදුවෙන්න බැරිය කියා එකක් - තිබේ ඒ නිසා අම්මා බුදු වේවා යන්න බුද්ධත්වයට කරන අපහාසයකි කියා කලබල විය හැකිද ? මෝඩකමක් කළ විට ගොන් වහන්සේ කියා කිව්වත් කිසිදු වහන්සේ නමක් කලබල නොවන සේක. එසේ වුවහොත් උන්වහන්සේලා අතර වෙනසක් නැත.


නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියා කියමනක් කාලයක් තිස්සේ අප අසා ඇත. ඒ කියමන හාමුදුරුවරුන්ට කරන ලද අපහාසයක් ලෙස නොසැලකෙන්නේ එක ම වචනය වුවත් අර්ථය වෙනස් බව බුද්ධිමත් සමාජය දන්නා නිසාය. කවුරුන් හෝ හාමුදුරු කෙනෙක් මේ අර්ථ පටලවාගෙන, භාෂාවේ `බඩු`වලට `නඩු` දාන්නට හදනවානම්, එය, සමාජ බුද්ධිය `කුඩු` වෙන දිශාවට තබන පියවරක් නොවේද ?

බුදුන්ගේ රස්තියාදුව, මං කෙළින් මිනිහෙක් හා රේඩියෝ කථා

‘බුදුන්ගේ රස්තියාදුව, මං කෙළින් මිනිහෙක් හා රේඩියෝ කථා‘

කලා නිර්මාණ වලට මෑතකාලීනව පැනවුණු සීමාවන් ගැන සටහන් තබන විට සිහියට නැගෙන ප්‍රධාන නිර්මාණ කීපයකි. ඉන් පළමුවැන්න කේ.කේ. ශ්‍රීනාත් චතුරංග විසින් රචනා කෙරුණු ‘බුදුන්ගේ රස්තියාදුව‘, අසංක සායක්කාරගේ නිර්මාණයක් වන ‘මං කෙළින් මිනිහෙක්‘ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ (ONUR) අනුග්‍රහයෙන්  මාලක දේවප්‍රිය විසින් නිර්මාණය කර ITN FM ඔස්සේ විකාශය කෙරෙන “රේඩියෝ කථා” ගුවන්විදුලි නාට්‍යයයි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙරට ව්‍යවස්ථාව මගින් සනාථ කොට ඇති පසුබිමක මේ නිර්මාණ කීපය කෙරෙහි බලපෑම් එල්ලවීම සිදුවී ඇත. ඉහත සිදුවීම් කීපයත් සමග වාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා රැල්ලක් ලෙස විවිධ ප්‍රකාශන ද පැතිරී යන්නට වූවේය.

‘බුදුන්ගේ රස්තියාදුව‘ ට වුණේ මොකක්ද ?

කේ. කේ. ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පළමුවරට පැමිණිල්ලක් ඉදිරිපත් වන්නේ එය එළිදැක්වුණු දිනයේදීම ය. මෙහි ප්‍රකාශක වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ මහතා එදින  පණිවිඩයක් සටහන් කරමින් පවසන්නේ

‘‘සවස 1.35 ට පමණ මිරිහාන පොලිසියේ CI ප්‍රියන්ත ඇතුළු නිලධාරීන් තුන් දෙනෙක් රෝයල් තැප්‍රොබේනියන් වෙත පැමිණියා. බත්තරමුල්ල තලාහේන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නැමති ස්ථානයක ලිපි ශීර්ෂයකින් බුද්ධ ශාසන අමාත්‍යවරයාට "බුදුන්ගේ රස්තියාදුව" නමින් බුද්ධ චරිතයට නිගා දෙන කෘතියක් එළි දැක්වීමට සූදානම් වන බවත්, එය තහනම් කරන ලෙසත් ඉල්ලා ඇති ලිපියක ෆැක්ස් පිටපතක් ඉදිරිපත් කරමින් කෘතියේ කර්තෘ කවුදැයි විමසා සිටියා. කර්තෘව මේ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ යුතු බවත් මුද්‍රිත සියලුම කෘති පොලිස් භාරයට ගන්නා බවත් දන්වා සිටියා.අප සියලු දෙනා ඉතා ශිෂ්ට සම්පන්න ලෙස ඔවුන්ට කරුණු පැහැදිලි කර සිටියා.

CI ප්‍රියන්ත කෘතියේ අන්තර්ගතය කුමක්දැයි විමසා සිටිය විට එය කෘතිය කියවා තේරුම් ගත යුතු බව ශ්‍රී කියා සිටියා.

"ඕවා කියවන්න වෙලාව නෑ" යනුවෙන් උස් හඬින් පැවසූ CI ප්‍රියන්ත කෘතියේ නමට කීප වතාවක් ඇඟිල්ලෙන් අනිමින් "මේ තියෙන්නෙ අපහාස කරල... මේ තියෙන්නෙ අපහාස කරල...." යනුවෙන් සාහිත්‍ය කෘතිය ගැන ඔහුගේ අදහස පවසා සිටියා.

ශ්‍රී වත් මාවත් අත්අඩංගුවට ගැනීමට යම්කිසි නීතිමය ලියවිල්ලක් ඇත්දැයි මා විමසා සිටි විට ඔහු අතේ වූ ෆැක්ස් පත පෙන්වමින් මේක ප්‍රමාණවත් බවත් අපරාධයකට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ලේඛන අවශ්‍ය නොවන බවත් පවසා සිටියා. අවසානයේ පොලිස් තර්ජනයටත් ඔවුන්ගේ ආක්‍රමණශීලී භාවයටත් යටත් වීමට අප හට සිදු වුණා.

විජයාරාමයේ සිට මිරිහාන පොලිසිය වෙත අප රැගෙන යන කෙටි කාලය තුළ අප මේ සිදුවීම පිළිබඳව හැකි උපරිමයෙන් මිතුරන් දැනුවත් කළා. මිරිහාන පොලිසිය අභ්‍යන්තරයේ පැයක පමණ කාලයක් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අරගලයේ අවසන් ප්‍රතිඵලය ලෙස ඔවුන් මාවත් ශ්‍රී වත් නිදහස් කළා. යළිත් අප විජයාරාමයට පැමිණෙන විට ඔවුන් විසින් රැගෙන ගිය පොත් සියල්ල නැවත රෝයල් තැප්‍රොබේනියන් ගෙනැවිත් බාර දී තිබුණා. "බුදුන්ගේ රස්තියාදුව" අපි ලෝන්ච් කළා.‘‘ යනුවෙනි.



පොත එළිදැක්වීමෙන් පසුවද කෘතියේ නාමය සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක මැවුණු අතර ශ්‍රීනාත් චතුරංග  ලේඛකයාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ තිබූ ඡායාරූප යොදාගනිමින් බුද්ධාගම සුරැකීමට එක්රොක් වන පිරිස් ලෙස පෙනී සිටි තැනැත්තන් අභූත චෝදනා නගමින් පවසන්නේ මෙහි කතුවරයා  කිතුණුවෙක් වන බවත් ඔහු බුදුදහම විනාශ කිරීමට තැත්දරන  බවත්ය. මෙය කෙතරම් සදාචාරවාදී දැයි තීරණය කිරීම ඔබට භාරය. කෙසේවුවත්, කෘතිය ප්‍රකාශයට පත්වී දින කීපයක් ගතවීමෙන් අනතුරුව අදාළ මුද්‍රිත කෘතියේ පිදුම වෙනුවට ව්‍යාජ පිදුමක් යොදාගනිමින් මෙහි PDF සමාජ ජාලා හරහා හුවමාරු වන්නට වූවේය.

‘බුදුන්ගේ රස්තියාදුව‘ රාජපක්ෂ ඇමතිතුමාගේ ඇසින්

කෙසේවුවත්, මේ කෘතිය සම්බන්ධයෙන් ප්‍රබලව රාජ්‍ය මැදිහත්වීම සිදුවන බව දැක්වෙන්නේ ඊයේ (20) දිනයේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව පොලිස්පතිතුමා වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, බුදුන් වහන්සේට හා බුදුදහමට නිගා කරමින් ‘බුදුන්ගේ රස්තියාදුව‘ නමින් කෘතියක් මුද්‍රණය කර බෙදාහැර ඇති බවත් මෙහි අන්තර්ගතය මගින් ඉතා පහත් ලෙස බුදුන්වහන්සේට නිග්‍රහ කර ඇති බවත්ය. මේ පිළිබඳ වැඩිදුරටත් පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ,

අදාළ කෘතියේ කරුණු මගින් ‘එකී කතෘ, ප්‍රකාශකයන්, බෙදාහරින්නන් හා අලෙවිකරන්නන් දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290 A, 291 A, 291 B වගන්ති යටතේ සාපරාධී වරදක් සිදුකොට ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එකී කර්තෘට, මුද්‍රණකරුවන්ට, බෙදාහරින්නන්ට සහ අලෙවිකරන්නන්ට එරෙහිව නඩු පවරා දඬුවම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි‘  යන්නයි.

[caption id="attachment_20661" align="alignleft" width="225"] අමාත්‍යවරයා විසින් පොලිස්පතිතුමාට යොමුකර ඇති ලිපිය[/caption]

 

‘මං කෙළින් මිනිහෙක්‘ ගියේ කොහෙටද ?

අසංක සායක්කාර මහතාගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍යය පසුගිය අගෝස්තු 18 වෙනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හි දී හා 19 වැනිදා දෙහිවල එස්. ද එස් ජයසිංහ ශාලාවේදී රංගගත වීමට නියමිතව තිබුණි.



ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙම නාට්‍යයට ලබාදුන් රැඟුම් පාලක මණ්ඩල සහතිකය ආපසු කැඳවා ඇති බවත් ඒ අනුව රඟදැක්වීමට තිබූ දර්ශන වාර ද්විත්වය අවලංගු කිරීමට සිදුවූ බවත් අසංක සායක්කාර මහතා පසුගිය අගෝස්තු 17 වැනිදා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණි. ‘මං කෙළින් මිනිහෙක් නාට්‍යයට එරෙහිව ගෙන ගිය කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල සහතික ආපසු කැඳවා ඇති බව‘ ය.

[caption id="attachment_20662" align="alignright" width="300"] අසංක සායක්කාර මහතා ෆේස්බුක් ගිණුමේ පළකල සටහන[/caption]

 

සායක්කාර මහතා අදාළ කුමන්ත්‍රණ ගැන කිසිදු හෙළිදරව්වක් කර නොතිබීමද ප්‍රේක්ෂක කුතුහලය වඩවන කරුණකි. කෙසේවුවත්, මේ අවස්ථාවේදී ද බලපෑමට ලක්වී තිබෙන්නේ කලා කෘතියකි. මේ සිදුවීමත් සමග රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට මෙන්ම අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ද චෝදනා එල්ල වුණු නමුත් මේ සටහන ලියැවෙන මොහොත වනවිට මොවුන් දෙදෙනාම කිසිදු පැහැදිලි කිරීමක් සිදුකොට නැතිවීම ද කණගාටුවට කරුණකි.

 

රේඩියෝ කථා - සෝභිත හිමිගේ කතා හා සංහිඳියාව

මෙහිදී අවධානයට ලක්කෙරෙන අනෙක් නිර්මාණය මාලක දේවප්‍රිය මහතා විසින් නිර්මාණය කෙරුණු ගුවන්විදුලි නාට්‍ය මාලාවයි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයේ අනුග්‍රහයෙන් ITN FM ඔස්සේ විකාශය කෙරෙන මෙම නාට්‍ය මාලාව බුදුදහමට අපහාසයක් බව ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා නගයි.

ඒ ගැන අදහස් පළකරන සෝභිත හිමි පවසන්නේ, ‘‘බුදුදහමට විරුද්ධව, බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධව  විවිධ ආකාරයෙන් එලඹෙන ප්‍රතිවිරෝධතා මැඩලන්න ප්‍රයත්නයක් අපට තවම නැහැ නේද ? කියලා හිතෙනකොට ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි අපි අසරණ වෙලා වගේ දැනෙනවා. ශ්‍රී ලංකාවේ තියෙනවා ජාතික සමගිය හා සංසිඳියාව ඇතිකිරීමේ කාර්යාංශය. මේ කාර්යංශය මගින් අලුතින් නාට්‍ය නිර්මාණ 10 ක්, කුමටද මේ ජාතික සංහිඳියාව ජාතික සමගිය ඇතිකරන්න. මේ නාට්‍ය වල නම් එකක් තමයි ‘තරුවන් සරණයි, නිහොන් සුව ලැබේවා, නිර්වස්ත්‍රං පරමං සුඛං‘. මේ කුමක්ද අරමුණ රජයේ මාධ්‍ය උපයෝගී කොටගෙන බෞද්ධයන්ට පහරදීමේ ව්‍යායාමය, ව්‍යාපාරය‘‘ යන්නයි. ‘කණේ පහර‘ නමින් අදාළ ගුවන්විදුලි නාට්‍ය මාලාව නම්කර ඇති බවත් මෙමගින් බුදුදහම අපහාසයට ලක්වන බවත් සෝභිත හිමි නගන චෝදනාව වී ඇත.



ආන්දෝලනයට තුඩු දී ඇති මෙම කලා කෘති සම්බන්ධයෙන් මෑතකාලීනව දැඩි මැදිහත්වීමක් සිදුකරන පිරිසක් ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) හඳුනාගත හැකිය. මීට පෙර ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය එළිදුටු දිනයේදී ද බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට මෙහි නම මගින් බුදුදහමට අපහාස කරන බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉන්පසු, නැවතත් පසුගිය අගෝස්තු 9 වැනිදා මිරිහාන පොලීසිය ඔවුන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. මොවුන්ගේ තර්කය වී තිබෙන්නේ මෙම නම යොදාගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ 291 (ආ) වගන්තිය යටතේ වරදක් බවයි.

මේ සමගම බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) ඊයේ දිනයේදී පොලිස්පතිතුමාට පැමිණිලි කරමින් පවසන්නේ මෙරට සංහිඳියාවට බාධා පමුණුවන සාමය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාංශය විසුරුවා හිටපු ජනපතිනිය නීතිය හමුවට පැමිණවිය යුතු බවයි. බෞද්ධ සංකල්ප ගර්හාවට ලක් කරන නාට්‍ය මාලාව තහනම් කළයුතු බවට ද ඔවුන් පොලිස්පතිතුමාට පවසා ඇත.

[caption id="attachment_20666" align="alignright" width="225"] බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) ඊයේ දිනයේදී පොලිස්පතිතුමාට කළ පැමිණිල්ල සම්බන්ධ ලිපිය[/caption]

 

කෙසේවුවත්, සංහිඳියා කාර්යාංශය ඊයේ (20) දිනයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මාලක දේවප්‍රිය විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති ‘රේඩියෝ කථා‘ නම් මෙම නාට්‍ය මාලාව ITN FM ඔස්සේ අගෝස්තු 03 දා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9 සිට 10 තෙක් විකාශය වන බවත්, කිසිලෙසකින්වත් මෙමගින් බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදුනොවන බවයි. කෙසේවුවත්, ‘‘මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක් කිසිවෙකුට හෝ හැඟෙන්නේ නම් ඒ පිළිබද අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, විවාදාත්මක කථාංග නාමයන් කිහිපය වෙනස් කිරීමට තීරණය කළෙමු‘‘ යන්න ද අදාළ නිවේදනයේ දක්වා ඇත.

ප්‍රකාශනයේ නිදහස හා කලාකරුවන්ගේ මැදිහත්වීම

මේ සම්බන්ධයෙන් හඬ නැගීමට එක්වූ පිරිස් ඊයේ (20) දිනයේදී සිය අදහස් ප්‍රකාශ කරන්නට එක්වූවෝය. ප්‍රියන්ත කොඩිප්පිලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, සියලුදෙනා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි.

එමෙන්ම, අශෝක හඳගම මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදෙන්නේ, ‘‘කලාවේ ප්‍රකාශන නිදහස වෙනුවෙන් පෙනී සිටින අප, ප්‍රකාශනයකට එරෙහිව එන ආගමික, දේශපාලනික, සංස්කෘතික ආදී සකලවිධ වාරණයන්ට එරෙහිවන බලවේග සමඟ කොන්දේසි විරහිතව පෙලගැසෙමු. කලාකෘතියක ගුණ නුගුණ විචාර ක්‍රමවේදයක් තුල විමසනු ඇරෙන්න, වාරණය කිරීම එක් අතකින් කලාකරුවාගේ ප්‍රකාශන අයිතියද තව අතකින් එම කලාකෘතිය විඳිනු රිසි අයගේ අයිතියද උල්ලංඝනය කිරීමකි. එහෙයින්, කලාවට තහනම් නියෝග පැනවීම ම අසංස්කෘතික ය. අපි එයට එරෙහි වෙමු. එමෙන්ම පොතක්, නාට්‍යයක්, චිත්‍රපටයක් වාරණය කරන්නැයි කෙරුණු මෑතකාලීන ඉල්ලීම් පිටුපස බොහෝ දුරට සිටියේ 'රජය' නොව ආගමික සංස්ථා බව ද සිහිපත් කරගැනීම වැදගත් වෙයි. රාජ්‍යය ආගමික වගකීම් වලින් නිදහස් කරගැනීම සටන් පාඨයක් ලෙස ඉදිරියට ගෙන ඒමට සායක්කාර ගේත්, මාලක ගේත් කෘතීන් ට පැනවෙන තහංචි වෙනුවෙනුවෙන් පෙළගැසෙන අය සුදානම් ද යන්න ද විමසා බැලීම වටී‘‘ යන්නයි. 

මෙහිදී ඔහු අවධාරණය කර සිටින්නේ මෑතකාලීනව කලා කෘති වාරණය කිරීම පිටුපස සිටියේ රජය නොව ආගමික සංස්ථා බවයි.

මෙරට තුළ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කර ඇති අන්දම හා ජාත්‍යන්තරය තුළ ඊට ලබාදී තිබෙන වැදගත්කම ද හඳුනාගත හැකිය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කර තිබෙන ලියවිලි

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය තුළ සඳහන් කර තිබෙන්නේ මෙලෙසිනි.

‘‘සෑම පුරවැසියෙක්ම භාෂණයේ යෙදීමේ නිදහස හා මුද්‍රණය කිරීම ඇතුළු ප්‍රකාශන සඳහා නිදහසට අයිතිවාසිකම් ලබයි‘‘

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ  19 වන වගන්තියේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව සඳහන් වන්නේ, ‘‘සෑම පුද්ගලයෙක්ම අදහස් දැක්වීමේ නිදහසට හා ප්‍රකාශනයට අයිතිවාසිකම් ලබයි. මෙම අයිතිවාසිකම් තුළ මැදිහත්වීම් සහ නිරීක්ෂණයන්ට ලක්වීමෙන් තොරව අදහස් දැරීමටත්, තොරතුරු සහ අදහස් ඕනෑම මාධ්‍යයක් හරහා සීමා මායිම්වලින් තොරව ලබා ගැනීම හා බෙදාහැරීමත් අන්තර්ගත වේ.‘‘ යනුවෙනි.

සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමේ  19 වන වගන්තිය තුළ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව දක්වා තිබෙන්නේ, ‘‘සෑම පුද්ගලයෙකුටම මැදිහත්වීම්වලින් තොරව අදහස් දැරීමට අයිතියක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙක්ටම ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳීමට අයිතියක් තිබිය යුතුය; මෙම අයිතිවාසිකම් තුළ නිරීක්ෂණයේ නිදහසත්, සියලුම ආකාරයේ අදහස් හා තොරතුරු ලබා ගැනීමේ හා බෙදා හැරීමේ නිදහසත් අඩංගු විය යුතු අතර කට වචනයෙන්, ලිවීමක් හෝ මුද්‍රණයක් ආකාරයෙන්, සිතුවම් මාධ්‍යයෙන් හෝ අදාළ පුද්ගලයාගේ තේරීම අනුව වෙනත් ඕනෑම මාධ්‍යකින් සීමා මායිම් වලින් තොරව ප්‍රකාශනයක් කිරීමට අයිතිය ලැබිය යුතුය.‘‘ යන්නයි.

එහෙම වෙන්නේ ඇයි

කේ.කේ. ශ්‍රීනාත් මහතාගේ කෘතියේදී මෙන්ම සංහිඳියා කාර්යාංශයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කළ ගුවන්විදුලි නාට්‍ය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල කළ පාර්ශ්වයේ මූලික චෝදනාව වී තිබෙන්නේ මෙමගින් බුදුදහමට නිගා කරන බවයි. පෙර අශෝක හඳගම මහතා විසින් සඳහන් කරන ලද අන්දමට මෙම ක්‍රියා දෙක තුළින්ම  ආගමේ නාමයෙන් කලාකෘති වලට සීමා පැනවීමට කටයුතු කර ඇති බව පැහැදිලිව පෙනේ. එහිලා  බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) මෙන්ම ඕමල්පේ සෝභිත වැනි භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම ද ප්‍රබලය. 

සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ ෆෙඩ්රිකෝ ෆෙලනි වරෙක පැවසුවේ ‘‘වාරණය යනු රජයේ අනුග්‍රහයෙන් ලබාදෙන ප්‍රචාරණයයි.‘‘  බවයි.  කෙසේවුවත්, යහපාලනයක් රට තුළ ස්ථාපිත කරන බවට පොරොන්දු වී බලයට පත්වූ පිරිසක් ආණ්ඩු කරන සමයක ආගම හෝ දේශපාලන බලාධිකාරයේ මැදිහත්වීමෙන්  කලා නිර්මාණ වලට කුමන අයුරින් හෝ සීමා පැනවීම යුක්ති යුක්ත නොවේ.

 

සටහන - වින්ධ්‍යා ගම්ලත් 




සබැඳි පුවත් 

සෝභිත සාදුගේ සහ ‘ආචාර්යය‘ මර්වින්ගේ කුප්ප විවේචනයට විනයානුකූල පිළිතුරක් 

ඕමල්පේ හිමි සම බෞද්ධත්වය 

නිහොන් සැප ලැබීමේ ඇත්ත කතාව