The Most/Recent Articles

Showing posts with label වියන්ගොඩ. Show all posts
Showing posts with label වියන්ගොඩ. Show all posts

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම: රජ තුන් කට්ටුවම දැන් එකඟ ලූ

පුද්ගල භාවය සහ හුදෙකලා සිදුවීම්, විටෙක ඉතිහාසය වෙනස් කිරීමේ තීරණාත්මක සාධක වී ඇති බව පෙනේ. ක්ලියෝපැට‍්‍රාගේ නාසයේ හැඩය නිසා ඉතිහාසයේ ගමන් මග වෙනස් වූ ආකාරය ඊ. එච්. කා(ර්* නැමැති ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයා පෙන්වා දී තිබේ.

ගාමිණී වියන්ගොඩ 

මේ නිරීක්ෂණය අප කාටත් සුපුරුදු ය: මෝටර් සයිකලයක් සමහර අවස්ථාවක මොන තරම් පැඩලය ගස්සා පෑගුවත් ඇන්ජිම පණ ගැන්වෙන ගතියක් නොපෙන්වයි. මුල් වර පෙඩලය ගස්සා පෑගීමේදී හුළඟක් වැනි බොල් සද්දක් මිස, බලාපොරොත්තු දනවන වෙන කිසි හඬක් පිට නොවේ. තව හත් අට වතාවක් එසේ කරන විට, කක්කල් කැස්සක් වැනි යාන්ත‍්‍රික හඬක් තුනීයට නික්මෙන්ට පටන් ගනී. දාඩිය පෙරාගෙන, හිත සරි කරගෙන, අත නෑර තව ටික වෙලාවක් මේ වෑයම ගෙන ගියොත්, ඇතැම් අවස්ථාවක, හිටිහැටියේම ඇන්ජිම පණ ගැන්වෙන අවස්ථා අප දැක තිබේ.  



මේ ක‍්‍රියාවලිය ඉතා වෙහෙසකර ය. නීරස ය. බොහෝ දෙනා ඒ ආයාසය අතරමැද අතහැර දමති. 

ලංකාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමේ උත්සාහය, ගත වූ දශක හතරක පමණ කාලයක් තිස්සේ පැවතියේ බොහෝ සෙයින් ඊට සමාන තත්වයක ය. 2015 ජනවාරියේ ඒ කාර්යය සඳහාම ආණ්ඩු වෙනසක් ඇති කර ගැනීමෙන් පසුව පවා, විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව එතෙක් බොහෝ කාලයක් තිස්සේ පෙනී සිටි පැරැුන්නන් පවා සටන අතහැර දැමුවෝය. ඔවුහූ පවතින තත්වයට හිත හදා ගත්තෝය.

ඊට හේතු ගණනාවකි. කටුක සරළ සත්‍යයක් වටහා ගැනීමට නොහැකි හෝ වටහා ගැනීම ප‍්‍රතික්ෂේප කරන ජාතියකට, ෆීනික්ස් පක්ෂියා මෙන් විනාශයට පත්වීමෙන්ම නැවත උපදින්ට (පාඩමක් ඉගෙන ගන්න නම් මුන්ට කෙලවිලාම යන්න  ඕනේ ) ඉඩ හැරිය යුතු බවට සමහරු හිත හදා ගත්තෝය. ඔවුන් අව්‍යාජ මිනිසුන් ය. එහෙත්, අභියෝගයක් ඉදිරියේ නොසැලී සිටින්ට තරම් ජවසම්පන්න අය නොවෙති. ඉතිරි පිරිස ඒ සටන අතහැරියේ හුදෙක් නග්න අවස්ථාවාදය පෙරදැරිව ය.

වර්තමාන රජ තුන් කට්ටුව වැටෙන්නේ ඒ දෙවැනුව කී ගණයටයි. මහින්ද රාජපක්ෂ, මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ යන තිදෙනාම බලයට පත්වීම සඳහා මේ පොරොන්දුව දී තිබේ. ඒ තිදෙනාම බලයට පත්වීමෙන් පසු ඉහත නම් සඳහන් අනුපිළිවෙලට එය පාවා දී තිබේ. 

පුද්ගල භාවය සහ හුදෙකලා සිදුවීම්, විටෙක ඉතිහාසය වෙනස් කිරීමේ තීරණාත්මක සාධක වී ඇති බව පෙනේ. ක්ලියෝපැට‍්‍රාගේ නාසයේ හැඩය නිසා ඉතිහාසයේ ගමන් මග වෙනස් වූ ආකාරය ඊ. එච්. කා(ර්) නැමැති ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයා පෙන්වා දී තිබේ. නරක වෙලාවක දඩයමේ ගිය ලියොන් ට්‍රොට්ස්කි නිසා, සෝවියට් සමාජවාදයේ ගමන් මග වෙනස් වූ බව තවත් විශිෂ්ඨ දේශපාලන විශ්ලේෂකයෙකු වූ අයිසැක් ඩොයිෂ්චර් පෙන්වා දී තිබේ. ඔවුන් කියන්නේ, හුදෙක් එකී තනි සිද්ධීන් විසින් ලෝකය වෙනස් කරන ලද බව නොව, එකී තනි සිද්ධීන් අසමානුපාතික පරිමාණයකින් ලෝක වෙනස්කම් කෙරෙහි බලපෑ බව ය. 

මහින්ද රාජපක්ෂ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පැත්තකින් තබා, එය තවත් මුවහත් කර ගැනීම සඳහා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී, වෙනත් ජාතිකවාදී සහ අධිකාරීවාදී හේතුවලට අමතරව, පුද්ගල හේතු තදින් බලපෑ බව පැහැදිළිව පෙනෙන්ට තිබුණි. බොහෝ විට ඒ සියල්ල එකිනෙකට සහසම්බන්ධී විය. යුද්ධය තුළ සහ යුද්ධයෙන් පසුව ලංකාවේ දේශපාලනය තුළ ඉන් පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත ආකර්ශනීය තනි සංසිද්ධිය බවට ජාතිකවාදය පත්විය. ඒ මගින්ම, අධිකාරීවාදී (හිට්ලර්වාදී) ප‍්‍රවණතාව ඊට නිරායාසයෙන් ඈඳිණ. ගෝඨාභය රාජපක්ෂ නැමැති පරිපාලනික චරිතය, ජාතික චරිතයක් බවට පත්වන්නේ ඒ සහසම්බන්ධය ඔස්සේ ය. ඊළඟට, රාජපක්ෂ පරම්පරාව විසින් බණ්ඩාරනායක පරම්පරාව, මේ යුදමය ජයග‍්‍රහණය විසින් ඇති කොට දුන් ‘ලොතරැයිය’ හරහා සීග‍්‍රයෙන් විස්ථාපනය කෙරෙනු ලැබෙමින් තිබූ තත්වයක් තුළ, නාමල් රාජපක්ෂගේ පරවේණි අයිතිය පිළිබඳ චින්තාව ඉස්මත්තට ආවේය. අනුර බණ්ඩාරනායකට සිදු වූ දේ ඔහුට සිදු වීමට ඉඩ තැබිය යුතු නොවේ. ඒ සියල්ල එක මිටට ගත් විට, මහින්ද රාජපක්ෂට විධායක ජනාධිපති ක‍්‍රමය දිගටම පවත්වාගෙන යාම අතිශය තීරණාත්මක කාරණයක් බවට පත්විය. 

මෛත‍්‍රීපාල සිරිසේන යනු, ඉහත කී අධිකාරීවාදයේ සීමාන්තිකත්වයෙන් තෙහෙට්ටුව පත් සමාජ සාමුහිකයක අතරමැද සොඳුරු අපේක්ෂාව විය. ඔහුගේ පරම්පරාවේ සොලමන් ඩයස්ලා හෝ ඞී. ඒ. හෝ ඞී. එම්. රාජපක්ෂලා හෝ සිටියේ නැත. හෙවත්, ඔහුගේ හඳහනේ රාජත්වයක් ලියැවී තිබුණේ නැත. එයම, එක විට ඔහුට තේරීම් දෙකක් ඉදිරිපත් කොට තිබුණි. එනම්, එක්කෝ මැන්ඬේලා කෙනෙකු වීමට ය. නැත්නම්, ගමරාළලාගේ සිරිසේන වීමට ය. ඔහු දෙවැන්න තෝරා ගත්තේය. එසේ වීමට, රාජපක්ෂලාගේ සහ වික‍්‍රමසිංහලාගේ හඳහන්වල මාරක ග‍්‍රහයන් බලපෑ බවට සැකයක් නැත.

රනිල් වික‍්‍රමසිංහ මේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාරණය සම්බන්ධයෙන් පසුගිය කාලයේ විටින්විට විවිධ ආස්ථාන ගෙන තිබේ. එහෙත් ඒ ප‍්‍රසිද්ධියේ නොවේ. රට ඉදිරියේ ඔහු පෙනුණේ, එක දිගමට ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු වශයෙනි. ඔහු කර ඇති ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ දෙස බැලූවොත් ඒ කාරණය පැහැදිළි වෙයි. එහෙත්, මහජන වේදිකාවේ අපට පෙනෙන රනිල් වික‍්‍රමසිංහ සහ තිරයෙන් පසුපස විටින් විට හැසිරෙන රනිල් වික‍්‍රමසිංහ අතර වෙනසක් ඇත. උදාහරණයක් වශයෙන්, පසුගිය පළාත් පාලන මැතිවරණයට කලින් ඔහු සිටියේ, එම මැතිවරණය ජයග‍්‍රහණය කිරීමේ දැඩි විශ්වාසයකින් නිසා ඒ දිනවල ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාරණය ඔහුට නොවැදගත් විය. හේතුව, පළාත් පාලන මැතිවරණය ඔස්සේ ජයග‍්‍රහණයේ මාවතක් විවර වේ නම්, ජනාධිපති පුටුවට යාමේ සිහිනය හිත තුළ තොඳොල් වීමයි. පෙබරවාරි 10 වැනි දා ඔහු මහ පොළොවට කඩා වැටුණි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ආවේශය එවිට යළි ආවේය. එහෙත් ගත වුණේ ටික කාලයකි. ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධය ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාවේය. එය හිතුවාට වඩා ඉහළින් පරාජය කිරීමට රනිල් වික‍්‍රමසිංහට හැකි විය. එය ඔහුට ඉමහත් ප‍්‍රහර්ෂයක් ගෙන දුනි. දැන් නැවතත් අර ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කාරණය ඔහු පැත්තකින් තිබ්බේය. ඊළඟට, ජනාධිපතිවරයා රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පටන්ගෙන ගිය ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවලියට එරෙහිව මුළු රටම එක හඬින් නැගී සිටියේය. කතානායකවරයාගේ සෘජු නායකත්වය සහිතව පාර්ලිමේන්තුව විධායකයේ අත්තනෝමතිකත්වය අභියෝගයට ලක්කෙළේය. ඒ සියල්ලටමත් වඩා අධිකරණය කෙලින් සිටියේය. එයින් ලැබූ ජයග‍්‍රහණය තමාගේ ජයග‍්‍රහණයක් වශයෙන් ගත් රනිල් වික‍්‍රමසිංහ, නැවතත් ජනාධිපති සිහිනයට අවතීර්ණ විය. රනිල් වික‍්‍රමසිංහගේ සෘතු භේදය තුළ මේ ජනාධිපති ක‍්‍රමය තියා ගැනීම හෝ අහෝසි කිරීම පිළිබඳ කාරණය පසුගිය කාලයේ දෝලනය වුණේ එයාකාරයෙනි. 

දැන් අප තවත් වටයක් කැරකී, කලින් සිටි තැනට ආපසු ඇවිත් සිටී. ඊයේ (27) පුවත්පත් වාර්තා කළ පරිදි මේ රජ තුන් කට්ටුව දැන් විධායක ජනාධිපති ක‍්‍රමය ඉවරයක් කර දැමීමට එකඟ ලූ. මීට සති තුනකට පෙර, වර්තමාන පාර්ලිමේන්තුවේ අනවශ්‍ය කාලයක් තිස්සේ රස්තියාදු කරවා ඇති ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය පිළිබඳ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එකඟ බව බොහෝ කලකට පසු ප‍්‍රථම වරට ලිඛිතව රටට කියා සිටියේය. ජනාධිපති සිරිසේනත් පසුගිය දා පාර්ලිමේන්තුව අමතා කළ කතාව අවසන් කෙළේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පාර්ලිමේන්තුවේ කර්තව්‍යයක් බව පෙන්වා දෙන සඳහනක් කරමිනි. 

ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම යථාර්ථයක් වීමේ අවසාන පරිසරය ගොඩනැගෙන්නේ, ඉදිරියේ පැවැත්වීමට නියමිත යම් ජනාධිපතිවරණයක් තුළ මතු කෙරෙන සුවිශේෂී පුද්ගල කාරණා ගණනාවක ප‍්‍රතිඵලයක් වශයෙන් වීම, ඇත්තෙන්ම දේශපාලනික සරදමකි. ඉදිරි ජනාධිපතිවරණය, රජ තුන් කට්ටුවට නොසිතූ විරූ මරාලයක් වී තිබේ. ඒ සියලූ අර්බුද, අවසාන විග‍්‍රහයේදී, පෞද්ගලික ය. නාමල් කුමාරයා ලොකු මහත් වන තෙක් ගෝඨාභයට එම ධුරය භාර කිරීම මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ගත් විට භයානක සූදුවකි. එක්සත් ජාතික පක්ෂයෙන්වත්, පොහොට්ටුවෙන්වත් අපේක්ෂකත්වය නොලැබීම සිරිසේන ඉදිරියේ ඇති ලොකුම හෙනහුරු අපලයයි. එය ඔහුට ලබා ගත හැකි වෙතත්, ? වැටුණු වළක මේ රටේ ජනතාව ඊට පහුව දා දවල්ම වැටෙන්ට හේතුවක් නැත. ප‍්‍රගතිශීලී සහ ලිබරල් බලවේගවල පොදු අපේක්ෂකයා වීම සඳහා රනිල් වික‍්‍රමසිංහට තිබුණු සුදුසුකම්, පසුගිය සිව් වසක කාලය තුළ ඔහු ගෙන ගිය ‘ඞීල් දේශපාලනය’ විසින් දිය කොට හැර තිබේ. දැන්, ජනාධිපති ක‍්‍රමය අවසන් කොට පාර්ලිමේන්තු ක‍්‍රමයකට යාම, පොදුවේ රටට වැඩදායක සිද්ධියක් වීමට අමතරව, ඔවුන්ටත් වැඩදායක දෙයක් බවට පත්ව ඇත.

මේ ලිපියේ ඉහතින් කී පරිදි, ඉතිහාසය වෙනස් වී තිබෙන්නේ, එයාකාරයෙනි. එනම්, පොදු සාධක සහ පුද්ගල බද්ධ සාධක සම්මිශ‍්‍රණයෙනි. අප සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ, කෙනෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් වුව රටක පොදු සුභසිද්ධියට සහ රටක අනාගත අභිවෘද්ධියට වැඩදායක වන්නේද යන්නයි. විධායක ජනාධිපති ක‍්‍රමය ඉවරයක් කර ගැනීම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හෙට දවස සමග කෙලින්ම ගැට ගැසී ඇති බව එහිදී අප තේරුම්ගත යුතුය. හිට්ලර්ලා බලයට පත්වීමේ ව්‍යවස්ථාමය සහ දේශපාලනමය ව්‍යුහයන් දැන් තියාම වෙනස් කර ගත යුතුව තිබේ. එබැවින්, සිරිසේන, වික‍්‍රමසිංහ සහ රාජපක්ෂ දැන්වත් මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පොදු එකඟත්වයකට පැමිණෙන්නේ නම් අප ඉත සිතින් එය අගය කළ යුතුව තිබේ.

යහපාලනය ආවඩන්නේ කාටද ?

සිහිනය මිය යෑම


2015 ජනවාරියට කලින් සංවාදයට ලක්වූ බොහෝ දේවල් දැන් බොඳ වෙමින් තිබේ. සමහර කරුණු සහ ප‍්‍රශ්නවල අරුත් දියාරු වෙමින් තිබේ. ආපසු හැරී බලන විට, 2015 ජනවාරියේ ඇති කර ගත් එකම වැදගත් වෙනස, රාජපක්ෂලා ගමන් කරමින් සිටි ඒකාධිපති ගමන නතර කිරීම පමණකැයි කෙනෙකුට සිතුණොත් පුදුමයක් නැත.


එහෙත් රාජපක්ෂලා ඒකාධිපති මාවතක යමින් සිටියේ හිස් දෑතින් නොවේ. ඔවුන් ඒ ගමන යමින් සිටියේ බොහෝ අවශේෂ කදමලු ද කර ගහගෙනයි. එයින් ප‍්‍රධාන කදමල්ලක් වුණේ දූෂණයයි. තවත් එකක් වුණේ, දේශපාලනික අපරාධ හරහා ඇතැම් සමාජ ප‍්‍රශ්න පහසුවෙන් යටපත් කර ගැනීමට දැක්වූ දේශපාලනික නැමියාවයි. එබැවින්, ඔවුන්ගේ බලය පෙරලා දැමීමේ යහපාලනික පරමාර්ථය වුණේ, අර ඒකාධිපති ගමන නතර කිරීම පමණක් නොව, ඒ ගමනේ ගෙන ගිය අවශේෂ කදමලු ද යහපාලනයක් යටතේ බිමින් තැබීමයි. මන්ද යත්, හැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක අනාගතයක් සඳහා යහපත් පරිවාර සංස්කෘතියකුත් අත්‍යාවශ්‍ය වන බැවිනි.


ඒ සඳහා නීතිරීති සහ රෙගුලාසි පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත. ඊට සමාජ ප‍්‍රතිමානත් අවශ්‍ය කෙරේ. සමාජ ප‍්‍රතිමාන යනුවෙන් අදහස් කරන්නේ, සුභාවිත සම්මතයන් ය. උදාහරණ කිහිපයකින් එය පැහැදිළි කර ගමු. රාජපක්ෂලාගේ මහ පරිමාණ සොරකම් ගැනත්, දූෂණ ක‍්‍රියා ගැනත් බරපතල විවේචන ඉදිරිපත් කළ යහපාලන කඳවුරක්, බැඳුම්කර වංචාවක් කිරීම මෙන්ම, සෘජුව හෝ වක‍්‍රව, ඊට අදාළ පුද්ගලයන් හෝ එම ක‍්‍රියාව ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවිය යුතුව තිබුණි. රටක වංචා සහ දූෂණ ක‍්‍රියා මුළුමණින් නතර කිරීම දුෂ්කර විය හැකිය. එහෙත්, එවැනි කි‍්‍රයා සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට අමතරව, ඒවාට සම්බන්ධ පුද්ගලයන් හෝ පාර්ශ්වවල ආරක්ෂකයන් වශයෙන් පෙනී නොසිටීම, යහපාලනයක් තුළ අපේක්ෂිත එක් ප‍්‍රධාන ප‍්‍රතිමානයකි.


ජනතාව රැවටූ යහපාලනය

ඇවන්ගාඩ් සිද්ධිය, මේ ආණ්ඩුවේ බරපතල විවේචනයට ලක්වූ කාරණයකි. පැහැදිලිවම, එම ව්‍යාපාරය තුළ බරපතල දූෂණ ක‍්‍රියාවන්ට අමතරව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නත් තිබුණි. ඇවන්ගාඩ් සමාගම වෙනුවෙන්, අතීතයේ යම් අවස්ථාවක තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ නීතිඥයන් හෝ නීති උපදේශකයන් වශයෙන් කටයුතු කොට ඇත. එය වරදක් නොවේ. මන්ද යත්, එය ඔවුන්ගේ වෘත්තීය කටයුත්තකැයි සැලකෙන බැවිනි. (දුෂණ විරෝධී සමාජ ව්‍යාපාරයකට නායකත්වය දෙන නීතිඥයෙකු, මහජන දේපල සොරකම් කළ සොරුන් නීතියෙන් නිදහස් කර ගැනීමට බලන අතරේ, දූෂණයෙන් තොර රටක් අපේක්ෂා කිරීම නොපෑහෙන දෙයක් බව බැලූ බැල්මට පෙනේ. කෙසේ වෙතත්, එය වෙනම සාකච්ඡාවට ලක් කළ යුතු, සංකීර්ණ ප‍්‍රශ්නයකි.)


දැන් මේ දෙන්නා යහපාලන ආණ්ඩුවේ ඇමති ධුර දෙකක් දරමින්, තමන්ගේ පැරණි සේවාදායකයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හෝ වෙනත් ප‍්‍රසිද්ධ වේදිකාවක පෙනී සිටීම, ළබැඳියාවන් අතර ගැටුමක් වශයෙන් සැලකුණි. ඒ අනුව, ඒ දෙන්නාව ඇමති ධුරවලින් ඉවත් කිරීමට තරම් යහපාලන ආණ්ඩුව ‘ආදර්ශමත්’ විය. එය, තවත් යහපාලනික ප‍්‍රතිමානයකට උදාහරණයකි.


එහෙත් ඊළඟට සිදුවුණේ කුමක් ද? ටික කලකින් නැවත ඒ දෙන්නාව අමාත්‍ය තනතුරුවලට පත්කිරීමයි. දැන්, කලින් අනුගමනය කළ යහපත් ආදර්ශයට සිදුවන්නේ කුමක් ද ? රාජපක්ෂලා, යහපත් සම්මතයක් උල්ලංඝණය කළ කිසිවෙකු කිසි අවස්ථාවක ඇමති ධුරවලින් ඉවත් කළේ නැති අතර, යහපාලකයන් කළේ, එවැන්නන්ව වරක් ඉවත් කොට යළිත් තනතුරේ පිහිටුවීමයි. ඒ දෙක අතරේ වෙනසක් තිබේ ද ? ඔව්, රාජපක්ෂලා තමන් නිවැරදි යැයි සිතන වැරැද්ද ‘අවංකව’ කළෝය, යහපාලකයෝ මහජනයා නිවැරදි යැයි සිතන දෙය තමන් කරන බව බොරුවට ඇඟෙව්වෝය. එනම්, මහජනයාව රැවට්ටුවෝය.


ජ්‍යොතිෂය හා අවිද්‍යාව නැවතත් ජාතික රූපවාහිනියට කැන්දූ වගයි 

මේ ආණ්ඩුව බලයට පත් සැණින් රූපවාහිනියේ ජ්‍යොතිෂය සහ වෙනත් මිථ්‍යා විශ්වාස වැඩසටහන් නතර කෙරුණි. (එහි ගෞරවය, යහපාලනය යටතේ එහි ප‍්‍රථම සභාපතිවරයා වූ සෝමරත්න දිසානායකට හිමි වෙයි.) කලක් යන විට, තවත් ඉදිරියට යමින්, ‘යථාරූප’ නමින්, මිථ්‍යාවට එරෙහි ඉතා ජනප‍්‍රිය වැඩ සටහනක් ජාතික රූපවාහිනියේ සාර්ථකව පවත්වාගෙන ගියේය. ගිය සතියේ සිට ඒ සියල්ල නතර කොට, ජ්‍යොතිෂය සහ අවිද්‍යාව නැවත ජාතික රූපවාහිනියට ජයග‍්‍රාහීව ගෙන්වාගෙන තිබේ. දැන්, ඉහතින් කී සන්සන්දනයට නැවතත් යන්න. රාජපක්ෂලා ප‍්‍රගතිශීලීත්වයක් හෝ සබුද්ධිකත්වයක් රජයේ ජනමාධ්‍ය අවකාශය තුළ බොරුවට පෙන්නීමට ගියේ නැත. එහෙත් ආරම්භයේදී වීරයාට ඇන්ද ‘විප්ලවීය’ යහපාලනය, ආපසු කැරකී ගොස් රාජපක්ෂලාගේ මිථ්‍යාවටම දැන් කර ගසා ඇත.


මේ පසුබිම, මෛත‍්‍රීපාල සිරිසේන රාජපක්ෂකරණයට ගොදුරු වීමේ කතාව වටහා ගැනීමට ප‍්‍රයෝජනවත් ය.


නැවතත් රාජපක්ෂවාදය කරා

2014 නොවැම්බර් මාසේ දවසක රාජපක්ෂ පවුලට එරෙහිව එළියට බැස්ස තැන් පටන් ගත වූ තෙවසරකට වැඩි කාලය තිස්සේ ඔහු කෙමෙන් එම රාජපක්ෂ පවුල ඔස්සේම රාජපක්ෂවාදය කරා ආපසු යන සැටියක් දැන් දක්නට තිබේ. රාජපක්ෂ පවුල සහ රාජපක්ෂවාදය යනුවෙන් මා අදහස් කරන්නේ ඉඳුරා වෙනස් කරුණු දෙකක් බව කරුණාකර සිහියේ තබා ගන්න. මගේ වැටහීමට අනුව, රාජපක්ෂලා කිසිවෙකු නැති රාජපක්ෂවාදයක් තිබිය හැකිය. බණ්ඩාරනායකගේ ජාතිකවාදයට, යුද ජයග‍්‍රහණයෙන් උරුම කෙරුණු භූමිපුත‍්‍ර-ජාතිකවාදය මිශ‍්‍ර කළ විට, මා අදහස් කරන රාජපක්ෂවාදය බිහි වෙයි. එහි ප‍්‍රධාන උපාංග දෙක වන්නේ, සිවුර සහ සන්නද්ධ සේවා නිල ඇමයි. මේ දෙකම, එකක් ලෝකෝත්තර අරුතින් ද, අනෙක ලෞකික අරුතින් ද, පූජණීය සහ ගෞරවනීය සංකේත දෙකකි. එහෙත් භූමිපුත‍්‍ර-ජාතිකවාදය තුළ, ඒ දෙකේම පූජණීයත්වය සහ ගෞරවණීයත්වය පාවිච්චියට ගැනෙන්නේ, දේශපාලනික මෙවලම් වශයෙනි. ඒ රාජපක්ෂවාදය නිශ්චිතව පරාජය කළ හැකිව තිබුණේ එකම මාර්ගයකිනි. එනම්, මුලින් සඳහන් කළ රාජපක්ෂ කදමලූ, 2015 ජනවාරියේ පටන් බිම තැබීමට පටන් ගැනීමෙනි. ඉන් එකක් විය හැකිව තිබුණේ, දේශපාලනික ඇඟිලි ගැසීම්වලින් තොරව නීතිය ක‍්‍රියාත්මක වීමට ඉඩ හැරීමයි. එනම්, සිවුර සහ සන්නද්ධ සේවා නිල ඇඳුමත්, වෙනත්  ඕනෑම ඇඳුමක් සේ, නීතියට යටත් කිරීමයි. විවිධ අවසරයන් යටතේ මේ දෙක දේශපාලනිකව පාවිච්චියට ගන්නා  ඕනෑම කෙනෙකු භූමිපුත‍්‍ර-රාජපක්ෂවාදියෙකු වෙයි.


වැදි බණ දෙසන ජනපති 

දැන්, ‘පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය’ පිහිටැවූ කාලය මතකයට නගා ගන්න. රාජපක්ෂලාගේ චෝදනාව වුණේ කුමක් ද? එය දේශපාලනික දඩයමක් සඳහා ස්ථාපිත කිරීමට යන ආයතනයක් බවයි. මේ මාසයේ පිහිටවූ විශේෂ අධිකරණය සඳහා වන නව නීති පරිපාටි ගෙන ඒමේ දී ඔවුන්ගේ චෝදනාව වුණේ කුමක් ද? විරුද්ධවාදීන්ව දඩයම් කිරීමට ආණ්ඩුව අරඅදින බවයි. දැන්, ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නව අත්අඩංගුවට ගැනීමේ අවසරය අධිකරණයෙන් ලැබී තිබියදී, එය වළක්වමින් පසුගිය සතියක දෙකක කාලය තුළ ජනාධිපතිවරයා නැගූ ප‍්‍රධාන චෝදනාව මතකයට නගා ගන්න. පොලීසිය සැකකරුවන්ව අත්අඩංගුවට ගැනීමෙන් සහ මාස ගණන් රක්ෂිත බන්ධනාගාරගත කර තබා ගැනීමෙන් හිරිහැර කරනවා විනා, ඒ කිසිවෙකුට එරෙහිව නඩු පවරා ඉවරයක් කරන්නේ නැති බව, ඔහුගේ චෝදනාව විය. ඊට අමතරව, ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා යනු හමුදා ධූරාවලියේ ඉහළම තැනැත්තා වන නිසා, එවැන්නෙකු අත්අඩංගුවට ගැනීමට පෙර, රටේ ආරක්ෂක ඇමතිවරයා සහ සන්නද්ධ සේනා නායකයා වන රටේ ජනාධිපතිවරයාට දැනුම් දීමක් කළ යුතුව ඇති බව (තවත් විදිහකින් කිවහොත් අවසරය ලබා ගත යුතු බව) කියැවුණි.


පළමු චෝදනාව තුළ ඇත්තේ, අපරාධකරුවන් සහ දුෂිතයන්ට නීතිය ඉදිරියේ කඩිනමින් දඬුවම් නොකිරීම සම්බන්ධයෙන් යහපාලනික නායකයෙකු තුළ ඇති වන සාධාරණ කෝපයක් යැයි බැලූ බැල්මට පෙනේ. දෙවැනි කරුණ තුළ ඇත්තේ, නෛතික නියමයකට හෝ යහපාලනික ප‍්‍රතිමානයකට වඩා, පාලකයෙකුට අවශ්‍ය අන්දමින් අවශ්‍ය තන්හිදී පාවිච්චියට ගැනීමට හෝ නොගැනීමට අවසරය සපයන මතවාදයකි.


ජනාධිපතිවරයාගේ මේ චෝදනා සහ මතවාද, ඔහුගේ වෙනත් ක‍්‍රියාවන් සමග සසඳා බැලිය යුතුව තිබේ. අත්අඩංගුවට ගැනීමට නොව, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඇතුළු හිටපු හමුදා නායකයන් තිදෙනෙකු උසාවියක් ඉදිරියට කැඳවීමක් ගැන බලවත් සේ වරක් කිපුණු ජනාධිපතිවරයා, හිටපු අල්ලස් හෝ දූෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරියව ගෙදර යැව්වේය. ඊළඟට, රාජපක්ෂ පාලන කාලයේ සිදු කෙරුණු ප‍්‍රධාන අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සන්නද්ධ සේවාවන්ගෙන් ලබා ගත යුතු අත්‍යාවශ්‍ය තොරතුරු රහස් පොලීසියට ලබා දිය යුතු නැතැයි සේවා ප‍්‍රධානීන්ට ඔහු උපදෙස් දුන්නේය.


යහපාලනය අමතක කළේ මොනවද ?  

ඒ අනුව, කීත් නොයාර්ට වධ දෙමින් රඳවාගෙන සිටි, හමුදාවට අයත් නිවාසයේ තොරතුරු රහස් පොලීසියට ලබා දීම තවමත් ප‍්‍රතික්ෂේප කෙරේ. ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි කඳවුරේ ගේට්ටුවේ පවත්වාගෙන ගිය, ඇතුලූ වූ සහ පිට වූ අයගේ තොරතුරු සටහන් කර ගැනෙන වාර්තාව පොලීසියට ලබා දීම තවමත් ප‍්‍රතික්ෂේප කෙරේ. කඩිනමින් නඩු පවරා ඉවරයක් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පොලීසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා කරන්නේ, එවැනි තත්වයක් යටතේ ය. (මෙසේ නඩු පැවරීමකින් තොරව අවුරුදු ගණන් හිර කරගෙන සිටින දෙමළ දේශපාලනික සිරකරුවන් ගැන මේ ජනාධිපති පාණ්ඩුකම්බල ශෛලාසනය උණු නොවීම ගැන මෙහිදී කතා නොකරමි)


ඊළඟට, මෙසේ අත්අඩංගුවට ගැනීම් වැළැක්වීමට ඔහු ඇඟිලි ගසා ඇත්තේ ‘රණවිරුවන්’ සම්බන්ධයෙන් පමණක් ද ?


සජින් වාස් ගුණවර්ධනව පාඨකයාට මතක ඇති. අප දන්නා පරිදි, ඔහු ‘රණවිරුවෙකු’ නොවේ. සිවුරක් හැඳ සිටියේ ද නැත. අලි සොරකමක් සහ තවත් අක‍්‍රමිකතා රැසක් පිළිබඳ කුප‍්‍රකට, හිටපු මහේස්ත‍්‍රාත් තිළින ගමගේව පාඨකයාට මතක ඇති. ඔහු ද ‘රණවිරුවෙකු’ නොවේ. සිවුරක් හැඳ සිටියේත් නැත. මේ දෙන්නාවම අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ජනාධිපතිවරයා මැදිහත් විය. (කරන්නාගොඩ ඇතුලූ තවත් අය සිටිති*. සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම වරක් වැළැක්වූයේ, සිංහල අවුරුද්ද ළඟ එන බව කියමිනි. ඊළඟට එය වැළැක්වූයේ, මැයි දිනය ළඟ එන බව කියමිනි. ඊළඟට එය වැළැක්වූයේ, මහින්ද රාජපක්ෂලා සමග කෙරෙන්ට නියමිත සාකච්ඡාවක් ගෙනහැර පාමිනි.


දැන් නීතියට ඇඟිලි ගැසීම සඳහා, සිවුර සහ නිල ඇඳුම පමණක් නොව, තවත් කාරණා ද හේතුකාරක වී ඇති බව අපට පෙනේ. මෙය, ඉන්තේරුවෙන්ම රාජපක්ෂලා අවුරුදු දහයක් තිස්සේ කර ගහගෙන ගිය එක් කදමල්ලකි. හමුදා මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ, සජින් වාස් ගුණවර්ධන, තිළිණ ගමගේ සහ උඩුවේ ධම්මාලෝක හිමි වැනි අයවලුන් වෙනුවෙන් ජනාධිපතිවරයා නීතියට ඇඟිලි ගැසීම සමග අවසාන සංසන්දනයක් කිරීමට මම කැමැත්තෙමි.


ගෝඨාභය රාජපක්ෂ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වා ගනු පිණිස අධිකරණය ඉදිරියට ගියේය. දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ, පවතින නීතිය අනුව කටයුතු කරමින්, පවතින අධිකරණය ඉදිරියේ කරුණු ගොනු කරමින්, ඔහු අත්අඩංගුවට පත්වීමෙන් නිදහස්ව සිටී. අපේ ජනාධිපතිවරයා අධිකරණයක් ඉදිරියට නොගොස් ඒ කාරිය සහ ඒ සේවයම තවත් අයට සලසා දෙයි. වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මොන ක‍්‍රමය ද? අධිකරණයක් හරහා නෛතිකව ගැලවී සිටීම ද, ජනාධිපතිවරයෙකුගේ කට වචනයක් හරහා නිරුපද්‍රිතව සිටීම ද?


සටහන -  ගාමිණී වියන්ගොඩ


 

සබැඳි පුවත් 

ගැටලු ‘විසඳීම’ ජනපතිගේ කජු කෑම වගේ