The Most/Recent Articles

Showing posts with label පාර්ලිමේන්තුව. Show all posts
Showing posts with label පාර්ලිමේන්තුව. Show all posts

කුමන්ත්‍රණය අවසානයි – ඉදිරියට ? (2)






– සුනන්ද දේශප්‍රිය –





සිරිසේන - රාජපක්ෂ කුමන්ත්‍රණයේ සහායකයෝ ජනමාධ්‍යයි





සිරිසේන – රාජපක්ෂ කුමන්ත්‍රණය විසින් ඉස්මත්තට ගෙන එන ලද වැදගත් කාරණයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනමාධ්‍ය භූමිකාව පිළිබද ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම නම් මෙරට ජනමාධ්‍ය බහුතරය එකී කුමන්ත්‍රණ සහායකයෝ බවට පත් වූහ.





පසුගිය සටහනෙහි අප කතා කළ එකිනෙකින් ස්වාධීන එමෙන්ම එකිනෙක තුලනය සහ සංවරණය කැරෙන ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණූ තුන, එනම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය හැරුණු විට හතරවැනි කුළුණ ලෙස සැලකෙන්නේ නිදහස් ජනමාධ්‍යය යි. මන්ද යත් පෙර කී කුළුණු තුනම පිළිබඳ හරවත් සංවාදයන් ජනතාව කරා ගෙන යෑමටත් එම කුළුණූ තුනම පිළිබඳ මහජන සුපරීක්ෂාකාරීත්වය පවත්වා ගැනීමටත් ඇති වේදිකාව ජනමාධ්‍ය වන නිසා ය.





එසේ නමුත් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම වාගේ ජනමාධ්‍ය සලකන්නේ දේශපාලන ප්‍රචාරක ආයතන වියයුතු ඒවා ලෙස ය. මේ බව වඩාම පැහැදිලි වන්නේ රාජ්‍ය පාලිත මාධ්‍ය සම්බන්ධයෙන් එකී පක්ෂ දක්වන ආකල්පයෙනි.









රාජපක්ෂ මැර බලය









රාජපක්ෂ මැර පිරිස් කුමන්ත්‍රණයට පසුදාම රාජ්‍ය මාධ්‍ය ආයතනයන්ට කඩා වැදී බලහත්කාරයෙන් එ්වා සියතට ගත්තේ ඒ නිසා ය. ඊටත් වඩා කණගාටුදායක කාරණයක් වූයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් රාජපක්ෂ සමයෙහි සටන් කළ මාධ්‍යවේදීන් ගණනාවක් සිරිසේන විසින් මෙම මාධ්‍ය ආයතනයන්හි ප්‍රධාන තනතුරුවලට පත් කිරීම යි. අවසානයේදී අනෙක් සමහර මාධ්‍යවේදීන් මෙන්ම ඔවුහු ද ජාතිවාදය සමඟ මුසු කරන ලද බොරු, පුවත් ලෙස ඉදිරිපත් කළහ.





මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් ඉදිරිපෙළ සටන් කරන ලද බොහෝ දෙනෙක් 1994 සිට රාජ්‍ය ස්තෝත්‍ර ගායකයින් බවට පත් වූහ. ඉන් අයෙක් රාජපක්ෂ සමයෙහි ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල වූ නෑසූ විරූ මර්දනයේ අපරාධ සහායකයින් බවට ද පත්වූහ. මෙවර සිදුවූයේ ද ඊට නොදෙවෙනි ක්‍රියාවලියකි. එනම් දේශපාලන කුමන්ත්‍රණයක සහායකයින් බවට නිදහස් මාධ්‍ය ක්‍රියාධරයින් පත්වීමයි.









මාධ්‍ය කාටද ?









මෙම සටහන ලියමින් සිටින අවස්ථාවෙහි ලැබුණූ ට්වීටර් පණිවිඩයක් මගින් කියැවෙන්නේ එජාප ආණ්ඩුවේ මාධ්‍ය ඇමැති සමරවීර සහ ජනපති සිරිසේන එක්ව රාජ්‍ය මාධ්‍ය බෙදා ගන්නා අන්දම පිළිබඳව එකඟත්වයකට එළඹ ඇති බවයි. ඔවුන්ට අනුව පොදු අයිතියට අයත්, රාජ්‍ය විසින් අයුතු ලෙස පාලනය කරන එකී ජනමාධ්‍ය ඔවුන්ගේ දේපලකි. සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීමට වීදි අරක් ගත් ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයට පිටුපා එජාපය යන සුපුරුදු ගමනෙහි තවත් හැරවුම් ලක්ෂයක් රාජ්‍ය මාධ්‍ය තවදුරටත් දේශපාලන අතකොළු වශයෙන් පවත්වා ගැනීමෙන් සනිටුහන් වෙයි.





1973 ජූලි මාසයෙදී සිරිමා බණ්ඩාරනායක විසින් කොමියුනිස්ට් සහ සමසමාජ පක්ෂයන්හි ඉල්ලීම සහ සහයෝගය ඇතිව ලේක්හවුසිය (ANCL) සිය පාලනයට ගන්නා තුරු මෙරට රාජ්‍යයට අයත් පුවත්පත් තිබුණේ නැත. 1977 අගෝස්තුවෙහි දී ජේ.ආර්. ජයවර්ධන ලංකාදීප සහ ටයිම්ස් ඔෆ් සිලෝන් ප්‍රකාශයට පත් කළ ටයිම්ස් ඔප් සිලෝන් ලිමිටඩ් (TOCL) සිය යටතට ගත්තේ ය. (බංකොලොත් වූ එම සමාගම පසුව රංජිත් විජේවර්ධන විසින් 1985 දී මිලට ගෙන අද පවතින විජය ප්‍රකාශන දක්වා දියුණූ කරන ලදී.) 1979 දී ෂාන් වික්‍රමසිංහ විසින් ITN රූපවාහිනිය ආරම්භ කර දෙමසක් ගතවන විට ජේ.ආර්. ජයවර්ධන එය ද සිය යටතට ගත්තේ ය. ජාතික රූපවාහිනිය යැයි වරදවා නම් කර ඇති, එකී ආයතනය ආරම්භ කරන ලද්දේ ජපානය විසින් මහජන සේවා ජනමාධ්‍යයක් ලෙස පවත්වා ගෙන යාම පිණිස දෙන ලද මුල්‍ය සහ තාක්ෂණික ආධාර මත ය.





සිරිමාවෝ




ආරම්භක වසර කිහිපයෙන් පසු අද දක්වාම මෙම රාජ්‍ය පාලිත දැවැන්ත මාධ්‍ය යන්ත්‍රය පවතින්නේ බලයට පත්වන දේශපාලන පක්ෂය විසින් දේශපාලනිකව පාලනය කරන ගැති සහ ජඩ මාධ්‍ය ආයතන ලෙස ය. මෙම ආයතන ස්වාධීනව කටයුතු කරන ජන මාධ්‍ය බවට පත් කරන ලෙස අප විසින් කලක් මුළුල්ලේ මතවාදයක් ද ව්‍යාපාරයක් ද ගොඩ නැගූ නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් ඊට දායක වූයේ නැත. එම ව්‍යාපාරය ගොඩ නැගීමට දායක වූ පුද්ගලයින් ගණනාවක් ම දේශපාලන අනුග්‍රහයෙන් එම ආයතනයන්හි ප්‍රධානීන් බවට පත්ව ජඩ මාධ්‍ය භාවිතාවෙහි ම යෙදුණි.









තොරතුරු දැනගන්නට උනන්දුවෙන් පසුවූ ජනතාව





සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණයෙන් පසු තොරතුරු දැන ගැනීමේ උනන්දුව සමාජයෙහි උත්සන්න විය. එසේ නමුත් මුල්පෙළ විද්‍යුත් මාධ්‍ය ආයතන සියල්ල ම වාගේ රාජපක්ෂවාදී මාධ්‍ය භාවිතයක යෙදී සිටි අතර රාජ්‍ය මාධ්‍ය සිරිසේනගේ දේශපාලන පත්වීම් විසින් අල්ලාගෙන තිබුණි. නමුත් මේ සියළු මාධ්‍ය ජනයාට කියා සිටියේ තමන් ඇත්ත මිස වෙන යමක් නොකියන බවයි. එය අමූලික බොරුවකි. පුද්ගලික මාධ්‍ය ආයතනයන්ට රාජපක්ෂවාදී වීමට හෝ රනිල්වාදී වීමට හෝ අයිතියක් තිබේ. එවැනි භාවිතාවක යෙදෙන්නේ නම් එම ආයතනයන්ට ස්වකීය දේශපාලන නැඹුරුව සිය ග්‍රාහකයිනට දැනුම්දීමට යුතුකමක් තිබේ.









ප්‍රවෘත්ති පූජනීය යි ; අදහස් නිදහස් ය





එසේ වතුදු ජනමාධ්‍ය භාවිතයෙහි ස්වර්ණමය රීතිය වන ‘ප්‍රවෘත්ති පූජනීය යි; අදහස් නිදහස් ය’ යන්න සියල්ලන් විසින් ම අනුගමනය කළ යුතුය. ඉන් කියැවෙන්නේ ප්‍රවෘත්ති විකෘති නොකළ යුතු අතර ඊට සපයන විවරණ වෙන වෙනස් විය හැකි බවයි. නමුත් විකාශනය කරන පුවත් මොනවාදැ යි තීරණය කිරීම මගින් පක්ෂග්‍රාහී භාවිතයක යෙදීමට ජනමාධ්‍යයට ඉඩ තිබේ. ආදායම් ලබන ව්‍යාපාරයක් ලෙස ජනමාධ්‍ය පවත්වාගෙන යෑම කරවල විකිණීමට වඩා වෙනස් ය. කරවල විකිණීමට පවා නිසි ප්‍රමිතීන් තිබිය යුතු අතර ජනමාධ්‍ය සඳහා ප්‍රමිතීන් මෙන්ම ආචාර ධර්ම ද තිබිය යුතුය. එසේ නමුත් අද මෙරට කරවල වෙළඳාම සහ ජනමාධ්‍ය විකිණීම අතර එතරම් වෙනසක් බොහෝ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් දැකිය නොහැකිය.





සිරිසේනගේ කුමන්ත්‍රණය විසින් ඇතිකළ කැළඹීම තේරුම් ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමට ඊනියා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අසමත් වූ බැවින් එම තැන ගත්තේ සමාජ මාධ්‍ය යි. විශේෂයෙන්ම මුහුණු පොත එහිලා මූලික විය. එහි අදහස් පූජනීයයි යන රීතිය සැලකෙන්නේ ම නැති තරම් ය. සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහි විරෝධය ලැව් ගින්නක් සේ පැතිර ගියේ සමාජ මාධ්‍ය විසින් සපයන ලද අවකාශය නිසාය. මේ අවකාශය එකවරම ගින්න ඇවිලවීම පිනිස භූමිතෙල් ද ගින්න පිළිබඳ අදහස් හුවමාරුව සඳහා වේදිකාවක් ද නිර්මාණය කළේ ය.









#SriLanka / #LKA ට්වීටර් ජාලය









වඩා සංවරයකින් යුතු ප්‍රවෘත්ති කෙරෙහි වගවීමක් සහිත සමාජ මාධ්‍ය බවට පැමිනුණේ ටිවීටර් අවකාශය යි. අනෙත් අතට එය ඉංග්‍රිසි බසින් එසැණින් තොරතුරු වාර්තාවන ජාලය බවට ද පත්විය. ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් දෙස දෙස් විදෙස් අවධානය ඉස්මත්තට ගිය ඔක්තෝබර් අග සිට දෙසැම්බර් මැද දක්වා වූ කාලයෙහි #SriLanka / #LKA ට්වීටර් ජාලය ප්‍රධානතම එසැණ පුවත් මූලාශ්‍රය බවට පත් විය.





ඊට ප්‍රතිවිරුද්ධව ෆේස්බුක් නොහොත් මුහුණු පොත කාටූන්, විත්‍ර, දේශපාලන හාස්‍ය, කෙටි අදහස්, පුද්ගල අත්දැකීම් යනාදිය මගින් විවරණ සපයන වේදිකාවක් බවට පත් විය. කිසිදු මූලාශ්‍රයක් හෝ වාර්තාව සපයන මාධ්‍යවේදියා හෝ වේදිනියගේ නම නොමැතිව හෝ සහමුලින්ම ව්‍යාජ නමින් පළ කැරෙන වෙබ් අඩවි පුවත් ද මුහුණූ පොත අරක් ගත්තේ ය.





සිරිසේන කුමන්ත්‍රණය නිසා ඇතිවූ මහජන උද්යෝගයට සරිලන වගකීමෙන් යුතු ජනප්‍රිය අඩවියක්/පිටුවක් මුහුණූ පොත හරහා බිහිවූයේ ද නැත. එහි ජනප්‍රිය වූයේ කැපී පෙනෙන දේශපාලන ලැදියාවන්ගෙන් යුතු පිටු ය. මෙම දුබලතා තිබියදීත් සිංහල බසින් පවත්නා මුහුණූ පොත් අවකාශය ‘ප්‍රධාන ධාරාව’ බවට පත් විය. බහුතර ජනයාට තමන්ගේ ජංගම දුරකතනය මගින් ළගා විය හැකි ලෙහෙසි ම මාධ්‍ය එයයි. සමහර විට එහි සාර්ථකත්වයට එක් හේතුවක් වන්නේ බරපතල දේශපාලන සංවාද මැද හාස්‍ය ද උත්පාදනය කිරීමට මුහුණූ පොත්කරුවන්/කාරියන්ගේ ඇති දක්ෂතාවය යි.





මෙම කාලය තුළ අත්දකින්නට ලැබුණු තවත් මාධ්‍ය වර්ධනයක් වූයේ එතෙර සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සම්බන්ධ වෙබ් පුවත් අඩවි පසුකරමින් රට තුළ පිහිටි වෙබ් මාධ්‍ය වඩ වඩා ග්‍රාහකයින් කරා ළගා වීම යි. මෙම කාලය තුළ තමන්ගේම වෙබ් මාධ්‍ය ගණනාවක් නිර්මාණය කර ගැනීමට එජාප දේශපාලනඥයෝ කිහිප දෙනෙකු මූලිකත්වය ගත්හ. එනමුත් සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රණය පැරදවීමට මහත් වැඩ කොටසක් කළ, ජවිපෙ හෝ දෙමළ සන්ධානය හෝ එවැනි වර්ධනයක් අත් කර ගත්තේ නැත.









ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ කරළියට ඒම









දැන් අප, පශ්චාත් සිරිසේන කුමන්ත්‍රණ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයෙහි අත්‍යවශ්‍ය අංගයක් ලෙස ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට ගත යුතුය. එමෙන්ම ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය පිළිබඳ සංවාදය ද යළි සෑම මාධ්‍ය අවකාශයක ම සාකච්ජාවට ගත යුතු ය.





19වන සංශෝධනය සාකච්ජා වෙමින් තිබූ අවස්ථාවෙහි රාජ්‍ය ජනමාධ්‍ය ද ස්වාධීන කොමිසමක් යටතට පත් නොකරන්නේ නම් තමන් සහාය නොදෙන බව ප්‍රකාශ කීරීමට ජවිපෙ සහ දෙමළ සන්ධානය පියවර ගත්තේ නම් ලෙහෙසියෙන්ම එම ප්‍රජාතන්ත්‍රවාදී ජය දිනා ගන්නට ඉඩ තිබුණි. මෙම පක්ෂ දෙකටම පෙනෙන අනාගතය තුළ, තමන්ගේ ම හෝ තමන් ද හවුල් වූ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි ය. එසේ තිබියදීත් ඔවුහු රාජ්‍ය පාලිත ජනමාධ්‍ය බලයේ සිටින පක්ෂයේ බූදලයක් ලෙස ලියා දීමට කැමැත්තෙන් සිටින්නේ ද යන ප්‍රශ්නය අද තීරණාත්මක ය.





කලාකරුවන් පෙරමුණට




සිවිල් සමාජ ක්‍රියාධරයන් ලෙස අප ඍජුව ම මුහුණ දෙන ප්‍රශ්නයක් නම් දේශපාලන පක්ෂ මතවාදයන්ට පිටින් ස්වාධීන මාධ්‍ය අවකාශයක් නිර්මාණය කර ගැනීම හෝ පවත්නා අවකාශ ශක්තිමත් කිරීමයි. මෙහිලා ද කර්තෘ කේන්ද්‍රීය වෙබ් මාධ්‍යයන්ගෙන් බැහැර වීම අවශ්‍ය ය.





මර්දනකාරී රාජ්‍යයකට එරෙහි ගරිල්ලාභටයකු විනය, අතනෑර සිටීම, මතවාදී නිරවුල් බව යනාදිය පමණක් නොව තුවක්කුව පාවිච්චි කිරීමට ද අනිවාර්යයෙන් ම ඉගෙන ගත යුතුය. අද යුගයෙහි සමාජ ජාල භාවිතය පුහුණු වී දියුණු කර නොගන්නා සිවිල් සමාජ ක්‍රියාධරයකු සමාන වන්නේ වෙඩි තැබීමට නොදන්නා ගරිල්ලා භටයකුට ය.





නිපුණ සමාජ ජාල ක්‍රියාකාරීන්/කාරිනියන් සියයක් රට පුරා විසිරී ජාල ගතව සිටින සිවිල් සමාජ සංවිධානයක් ඇත්නම් එය අද කොතරම් බලවත්වනු ඇත්දැයි නිකමට සිතන්න. එය දහසක් බවට පත්වුවහොත් ඇත්ත පුවත් වාර්තා කිරීමේත් මත නිපදවීමේත් කොතරම් ශක්තියක් එවැනි ජාලයකට හිමිවනු ඇත්ද?









කළයුත්තේ කුමක්ද ?









ප්‍රධාන ධාරාවේ ගැති මාධ්‍ය හැසිරීම විවේචනය කරන ජනමාධ්‍යවේදිනියන් සහ වේදීන් එක්ව මුල්‍ය දායකත්වයක් සහතික කර ගනිමින් අාචාරධර්මානුකූල සහ කාර්යක්ෂම වෙබ් පුවත් අඩවියක් ගොඩ නැගුව හොත් එවැන්නක්ද මහත් බලපෑමක් අත් කරගන්නට ඉඩ තිබේ.





2019 මැතිවරණ වර්ෂයක් වන්නේ යැයි කියනු ලැබේ. ඒ සන්දර්භයෙහි අප අමතක නොකළ යුතු කාරණයක් වන්නේ එළඹෙන මැතිවරණ සටන් හි තීරණාත්මක අවකාශයක් බවට සමාජ ජාල පත්වනු ඇති බවයි.





අපට පමාවීමට කාලයක් නැත.





















සබැඳි පුවත්









කුමන්ත්‍රණය අවසානයි - ඉදිරියට (1)


පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස 4 ට










පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් පිළිබඳ තීන්දුව අද (13) පස්වරු 4 ට ලබාදීමට නියමිත බව, ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් පවසයි. 


පාර්ලිමේන්තුවේ විශ්වාසය රනිල්ට


අද (12) දින පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති වශයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව 117 දෙනෙකුගේ බහුතරයෙන් සම්මත වූ බව කථානායකවරයා නිවේදනය කරයි. 









කථානායකවරයා නිකුත් කළ නිවේදනය 




 



















මෛත්‍රී ඒකාධිපතියෙක්ද ?


තරිඳු තොටවත්ත 





ඉකුත් ඔක්තෝබර් 26 වනදින සිදු වූ අගමැති මාරුව පිළිබඳ විවිධ පුද්ගලයෝ බොහෝ මතවාද පළ කර තිබුණි.  ඇතැම් නීතිවේදීන්, කලාකරුවන්, විද්වතුන් මේ ක්‍රියාවලියනිත්‍යානුකූල බවටත්, තවත් සමහරෙක් නිත්‍යානුකූල නොවන බවටත් තර්ක ඉදිරිපත් කළහ.  මේ අතර මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේගෞරවනීය නමක් දිනාගෙන සිටි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව බල්ලට දමා හෝ මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.  අපි මේ මොහොතේ දී ඔහුගේ ප්‍රකාශය ගැන කිසිවක්සාකච්ඡා නොකරමු.  එහෙත් ඔහු සිදු කර ඇති ප්‍රකාශයෙන්හෙළි වන කරුණක් පමණක් ඉදිරිපත් කිරීමට අදහස් කරමු.  ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තිරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ගුණදාස අමරසේකර මහතා දපිළිගෙන ඇති බවයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවකවිසුරවා හැරීමට බලයක් පවතී නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල්ලට දමා එවැන්නක් සිදුකිරීමට අවශ්‍ය නොවේ. ඔහුට එවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ම එම ක්‍රියාවලියසිදු කළ හැකි බැවිනි.





රනිල්ට අකමැති
ඇයි ?





මීළඟට අපි සැලකිලිමත්
විය යුත්තේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලැබුයේ ඇයි ද
යන්නයි.  ඒ සිය පෞද්ගලික කාරණාවකි.  ඔහුම සවසන පරිදි ඔහුට රනිල් වික්‍රමසිංහ සමග
එකට වැඩ කිරීමට නොහැකි බවයි.  රනිල් තමන්ට
රිසි පරිදි ක්‍රියාකරන බවයි.  රනිල් ඇතුළු
පිරිසක් රාජ්‍ය ධනය සොරකම් කරන බවයි. රාජ්‍ය දේපළ සොරකම් කරන බවයි.  තවත් වරෙක ඔහු රනිල් සමලිංගිකයකු බව ද පවසයි. රනිල්
රාජ්‍ය ධනය සොරකම් කිරීම හා රාජ්‍ය දේපළ විකිණීම යන චෝදනා දෙක හැරුණු විට අනෙක්
තර්ක සියල්ලම හුදු පෞද්ගලික කාරණා ය.  රනිල්
සමලිංගිකයකු වුව ද ඔහුට පාර්ලිමේන්තු බහුතරය තිබේ නම් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය
හිමිවිය යුතු ය. මහජනතාව විසින් ව්‍යවස්ථාදායක පත්කරනු විනා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායකට
බලපෑම් කිරීමේ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන සපයා නොමැති බැවිනි.   





රාජ්‍ය පාලනයට පෞද්ගලික
රුචි අරුචිකම් ඇයි ? 





අනෙක් කරුණ ජයන්ති
සිරිසේන සමග ජීවත්විය නොහැකි නම්
ඔහුට ඇය ව දික්කසා ද කර වෙනත් කැමති කාන්තාවක් විවාහ කර ගත හැකි ය.  එහෙත් ඔහුට අග්‍රාමාත්‍ය ධූරයට එවැන්නක් සිදු
කළ හැකි නොවේ. අගමැතිවරයා වෙනුවෙන් මෙරට මහජනතාව ඉතා විශාල මුදලක් දෛනිකව වැය
කරන්නේ ජනාධිපතිවරයා සමග පවුල් කෑමට නොවන බැවිනි. 
ඒ අනුව සිරිසේනගේ පෞද්ගලික රුචි අරුචිකම් රාජ්‍ය පාලනයට සම්බන්ධකර නොගත
යුතු බව අවබෝධ කර ගැනීමට තරම්වත් පරිණතභාවයක් සිරිසේන ජනාධිපකිවරයාට නොමැතිවීම
පිළිබඳ ඇත්තේ කණගාටුවකි. 





සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත්
කරන අනෙක් ප්‍රධාන තර්ක දෙක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ නඩය රාජ්‍ය ධනය සොරකම් කළ
බවත්, රාජ්‍ය දේපළ විකුණු බවත් ප්‍රකාශ කිරීම යි. ඕනෑම සාමාන්‍ය මනුෂ්‍යයකු වුවත්
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා බව දැන සිටිය ද මේ සරල ජනපතිට ඒ
පිළිබඳවත් අවබෝධයක් නැත. කැබිනට් මණ්ඩලයේ දී ගන්නා ඕනෑම තීරණයක් බලාත්මක වන්නේ
ජනාධිපතිවරයාගේ අත්සනින් බව හෝ මොහු නොදැන සිටිති යි විශ්වාසය කළ හැකිද?. රනිල්
වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය වරයා ලෙස හෝ විධායක ජනාධිපතිවරයාගේ බලතල අතික්‍රමණය කළ
හැකි ද ?.  මේ සියල්ල සිරිසේන විසින් තම
තීරණය සාධාරණීකරණය කිරීම වෙනුවෙන් සිදු කළ ප්‍රවාද විනා තර්කානුකූල හරයක් ඇති ප්‍රකාශ
ලෙස යම් මට්ටමක හෝ අවබෝධයක් ඇති පුද්ගලයෙකුට පිළිගත හැකි ද යන්න ගැටළුවකි.





අපි ජනාධිපතිවරයාට වඩා
අග්‍රාමාත්‍යවරයාගේ බලතල වැඩි බවත්, ජනාධිපතිවරයාට හොරෙන් ඒ සියල්ල අගමැතිවරයාට
සිදු කළ හැකි බවත්, උපකල්පනය කරමු. එහෙත් සිරිසේන ජනාධිපතිවරයා දිනපතා ප්‍රකාශ කරන
තරම් රටට ජාතියට ආදරෙයි නම්, රනිල්ලෙන් රට බේරා ගැනීමට මහින්ද අගමැති කිරීමේ තර්කය
කුමක් ද ?.





මහින්ද සිය වසර නවයක් වන
පාලන කාලය තුළ සොරකම මෙරට සෑම කේෂ්ත්‍රයකම සුලබ කළේ ය.  ඔහුට සහ සිය පවුලේ සෑම දෙනාම ප්‍රසිද්ධියේ කෝටි
ගණන් මුදල් සොරකම් කළ බවට සියලු සාක්ෂ්‍ය ඉදිරිපත් වී තිබේ.  ඔහු අද වන විට ශ්‍රී ලංකාවේ දෙවැනියාට ධනවත්ම
පුද්ගලයා බවට පත්ව තිබේ.  මන්ත්‍රී
වැටුපෙන් එවැනි වත්කමක් අත්කර ගත හැකි ද ?. 
රනිල් එළවා දමා මහින්දට අගමැති ධූරය ලබාදීම ඉඟුරු දී මිරිස් ගැනීමක් නොවේ ද
?.





ලංකා ඉතිහාසයේ රාජ්‍ය සම්පත්
සින්නක්කරව පිටරටට දුන්නේ මහින්ද





රනිල් රාජ්‍ය දේපළවිකුණූ බවට මෛත්‍රීට අමතක කරුණක් ද තිබේ. ලංකා ඉතිහාසයේ රාජ්‍ය සම්පත් සින්නක්කරව පිටරට සමාගම්වලට විකුණනු ලැබුවේමහින්ද රාජපක්ෂ බවයි.  උල්හිටිය අක්කර 1500ක්, පැලවත්ත අක්කර 1200 ක්, ශ්‍රීපාද රත්ෂිතයෙන්, විල්පත්තු රක්ෂිතයේ, සෝමාවතියරක්ෂිතයෙන් අක්කර දහස් ගණනක් පිටරට සම්ගම්වලට විකුණනු ලැබුවේ රාජපක්ෂ රෙජිමය බවඔහුට අමතක ය.  ගාලු මුවදොර යුදහමුදාමූලස්ථානය එතැනින් ඉවත්කර එම භූමිය ෂැංග්‍රිලා හෝටලයට සින්නක්කරව ලබා දුන්නේ ය. වරායනගරය සින්නක්කරව චීනයට ලබා දුන්නේ ය.





මහින්ද රාජපක්ෂගේ උපන්දිනය සමරමින්




මෙවැනි අයෙකුට අගමැති
ධූරය පිරිනමා රාජ්‍ය දේපළ සුරකින්නට සිරිසේන ක්‍රියා කරන්නේ කෙසේ ද ?.





මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිවරයා මේ කිසිවක් නොදන්නා බබෙකු නොවේ. 
සැමට රහසේ හිතුමනාපයට අගමැතිවරු මාරු කරන්නටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
උල්ලංඝනය කරමින් තම අවශ්‍යතා සංතෘප්ත කර ගන්නා සිරිසේන සිදු කළ මේ පුටු මාරුව තම
බලය වෙනුවෙන් සිදු කළ බලලෝභී ක්‍රියාවලියකි. 
දෙවන වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඡන්ද පදනමක් නොමැතිව සිටි ඔහුට
මහින්ද සමග සන්ධානගතව ඉදිරිපත් වීමට අගමැති ධූරය පිරිනැමීමක් ලෙස කෙනෙකුට හැඟී
ගියොත් එහි වරදක් දැකිය හැකි ද ?





මෛත්‍රී ගන්නා සියළු තීරණ
රට වෙනුවෙන්ද ? 





මෛත්‍රීපාල සිරිසේන
රංගනයේ යෙදී සිටින නාටකයේ මේ දිනවල ජවනිකාව වී ඇත්තේ ඔහු මෙම තීරණය රට වෙනුවෙන්
ගත් බවට නගන තර්කය යි. ඔහු මෙම ප්‍රකාශය 2014 වසරේ නොවැම්බර් 21 වන දිනත් පැවසූ බව
අපට මතක ය. කිසිදු වගකීමක් නොමැති මෙවැනි ප්‍රකාශ කරමින් ඔහු තම පහත් චර්යාවන්
ලොවට ප්‍රදර්ශනය කරමින් සිටී.





විදේශ මාධ්‍ය සමග පසුගිය
දිනක පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී මොහු රනිල් තමන්ව ඝාතනය කරන්නට උත්සාහ ගත් බව
ප්‍රකාශ කර තිබුණි. එවිට එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රකාශ කර තිබුනේ 2015
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම් තමාව ඝාතනය කරන බවට ඒ වකවානුවේ
දී ප්‍රකාශ කළා නේ ද යන්න යි.  එවිට
සිරිසේන සුපුරුදු මෝඩ හිනාව දමා පවසා ඇත්තේ එය ඇත්තක් නොවන බවත්, සාමාන්‍යයෙන්
මැතිවරණ වේදිකාවල එවැනි ප්‍රකාශ සිදු කරන බවත් ය. 
සිරිසේනගේ ජරාජීර්ණ වූ මනස අවබෝධ කර ගැනීමට ඉහත ප්‍රකාශය වුව ද ප්‍රමාණවත්
ය.  ඔහුට තව ස්වල්ප දිනකින් මේ ඝාතන
උත්සාහයත් හුදු රංගනයක් ලෙස ප්‍රකාශ කරන්න විළිබියක් දැනෙතැයි සිතිය හැකි ද ?





මරා - සිරා ජුන්ටාව සිය
දේශපාලන බලය රැකගැනීමට අවසන් තුරුම්පුව ද කරළියට තබා අවසන්





මරා - සිරා ජුන්ටාව තම
දේශපාලන බලය රැක ගැනීම වෙනුවෙන් තමන් සතු අවසන් තුරුම්පුව ද කරළියට දමා තිබේ.  ඒ කොටි නැගිටින බවට මෙරට ජනයා බිය වැද්ද වී
මෙනි.  ඇතැම්විට වව්නියාවේ ඉකුත් දා සිදු
වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය මෙහි ආරම්භය වන්නට ඇත.  පසුගිය දා කරුණා අම්මාන් තවත් බරපතල ප්‍රකාශයක්
කර තිබේ.  ඒ පොට්ටු අම්මාන් ජීවත්ව සිටින
බවට කර තිබෙන ප්‍රකාශයෙනි.  ඔහු එවැන්නක්
කරන්නේ යුද්ධය අවසන් වී වසර නවයකට පසුව ය. 
මෙවැනි බරපතල ප්‍රකාශ සිදු කරන විට ජනපති සහ ඊනියා අගමැති මර නින්දේ
ය.  ඔවුන්ට අවශ්‍ය කෙලෙස හෝ තම බලය
සුරක්ෂිත කර ගැනීම යි.  1983
ජේ.ආර්.ජයවර්ධන ද කළු ජූලිය හරහා අපේක්ෂා කළේ මීට සමාන අරමුණකි. මහා මැතිවරණයක්
නොපවත්වා පාර්ලිමේන්තුවේ 5/6ක බහුතරය සහිතව තවත් වසර 6 ක් ධූර කාලය දීර්ඝ කර ගැනීම
වෙනුවෙන් කළුජූලියක් නිර්ණය කර මෙරට වසර තිහකටත් අධික කාලයක් පුරා දිවගිය යුද්ධයක්
නිර්මාණය කළේ ය.  මරා - සිරා ජුන්ටාව ද තම
පාලන බලය වෙනුවෙන් උත්සාහ කරන්නේ නැවත මේ රටේ ජනවාර්ගික ගැටළුවක් ඇති කර මළ මිනී
මතින් පාලන බලන සුරක්ෂිත කර ගැනීමට ය.  මෙරට
මහජනතාව අවදියෙන් සිටිය යුත්තේ එහෙයිනි.





මහා මැතිවරණයක් සඳහා වූ
ජනතා ව්‍යාපාරය කොයිබටද ?





පසුගියදා මහින්ද රාජපක්ෂකල්ලියේ ගිහි - පැවිදි පිරිසක් විසින් “මහා මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය‘‘ නමින් සංවිධානයක් ආරම්භ කළ හ. ඔවුන් තර්ක කරන්නේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ජනතාඅයිතිවාසිකමක් වන බැවින් ඉන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වනු මිස වෙනකක් නොවන බවයි.  බැලූ බැල්මට එය සත්‍ය්‍ය ය.  තර්කානුකූල ය. දේශ හිතෛෂී සළු පොරවාගෙන සිටිනඊනීයා මානවවාදීන් විසින් පපුවට අත තබමින් හැඟුම්බරව ප්‍රකාශ කරන විට සියල්ලෝ ම එයපිළිගන්නට පෙළෙඹෙන බවත් සැබෑ ය.  එහෙත්අපිට මෙහි සැඟව තිබෙන බරපතල තත්ත්වය අවබෝධ කරගත යුතු ය.





මැතිවරණයේ ප්‍රජාතන්ත්‍ර
විරෝධී ස්වභාවයක් නොමැත. වරද ඇත්තේ මැතිවරණය කැඳවූ ආකාරයෙහි ය. මෙරට උත්තරීතර ම
නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට
පාර්ලිමේන්තුව විසිරවීමේ බලය සීමා කර තිබේ. ඒ අනුව ඔහුට තම අභිමතය පරිදි
පාර්ලිමේන්තුව විසිරවීමේ බලය හිමිවන්නේ අභිනව පාර්ලිමේන්තුවෙහි ධුර කාලයෙන් වසර
හතර හමාරක් ගෙවීමෙන් ඉක්බිතිව ය.





රටේ මූලික ම නීතිය වන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එවැනි සීමාවක් පනවා තිබේ නම් එය උල්ලංඝනය කිරීම ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. රනිල් දූෂිතයෙකු නම් මොහු සම්බන්ධයෙන් තීරණය ගත
යුත්තේ මෙරට ව්‍යවස්ථාදායක වන පාර්ලිමේන්තුවෙන් මිස විධායකයේ ප්‍රධානියා වන
ජනාධිපතිවරයා නොවේ. එවිට වන්නේ රටේ ප්‍රධාන ආයතන දෙක වන විධායක හා ව්‍යවස්ථාදායක
අතර ගැටුමක් ඇතිවීම පමණි. අද වන විට එය තවදුරටත් සංකීර්ණ තත්ත්වයට පත්ව තිබේ.  ඒ අධිකරණය ද මීට මැදිහත් වීම හරහා ය.





ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
විවරණය කිරීමේ බලය හිමි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දෙස මේ මොහොතේ ලෝකයක් බලා
සිටී.  අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ,
අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසය යන කාරණා ගණනාවක් එළඹෙන හත්වනදා නඩු තීන්දුව හරහා
ලබා දීමට නියමිත ය. අධිකරණයෙන් ලබා දිය හැකි තීරණය අපට උපකල්පනය කළ නොහැක. එහෙත්
එම තීන්දුව මෙරට නීතියේ ස්වාධිපත්‍ය බලය පිළිබඳ විශාල පාඩමක් ලබා දෙතැයි පමණක් ප්‍රකාශ
කළ හැකි ය.


රනිල් - ජනපතිට ආකෝෂ සූත්‍රය මතක් කරදෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (5) ගාලුමුවදොර හෝටලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාක යන මැයෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය මෙහෙය වූ විවෘත සංවාදය අමතමින් ජනාධිපතිතුමා තමන්ට  එල්ල කරන චෝදනා පිළිබඳව අපූරු පැහැදිලි කිරීමක් සිදුකළේය.

 

‘මම දේශපාලන කරුමයක් කියලා කිව්වා, මට දොස් කිව්වා, බැන්නා, අවලාද කළා. ඒ සියළු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. මගේ සංස්කෘතිය අනුව පිළිතුරක් දෙන්නම්.

සංයුක්ත නිකායේ ආකෝෂ සූත්‍රය. ආකෝෂ පරිබ්‍රාජ බමුණා ගිහිං බුදුරජාණන්වහන්සේ මුණගැහුණා. බුදුරජාණන්වහන්සේට බැන්නා, අවලාද කළා, දොස් කිව්වා. මේ සියල්ලටම ඇහුම්කන් දීලා බුදුරජාණන්වහන්සේ අන්තිමට මෙහෙම දේශනා කළා.

‘බමුණ ඔබට මිත්‍රයන් ඉන්නවද ?‘

ආකෝෂ බමුණා කිව්වා මට මිත්‍රයෝ ඉන්නවා, නෑදෑයින් ඉන්නවා, දන්න අය ඉන්නවා‘ කියලා

‘ඒ අය ඔබේ නිවසට පැමිණියාම ආහාර දෙනවද ? සංග්‍රහ කරනවද ?‘

‘ඔව්, මම එහෙම සංග්‍රහ කරනවා‘ කිව්වා.

‘කවුරු හරි ඒ ආහාර අනුභව කරන්නේ නැත්නම් කාටද ඒක අයිති. ?‘

‘ඒක මට අයිතියි කිව්වා.‘

බුදුරජාණන්වහන්සේ කිව්වා  ‘මේ දොස්,  මම දොස් කිව්වේ නෑ, මට කිව්වේ දොස්.

මම අවලාද කිව්වේ නෑ, මට කිව්වේ අවලාද

මම නින්දා කරේ නෑ, මට කිව්වේ නින්දා ඔක්කොම
බමුණ ඔබට භාරයි‘‘ කියලා බුදුරජාණන්වහන්සේ කිව්වා.

මං ඊට වඩා ජනාධිපතිවරයට කියන්නේ නෑ.‘‘

 

‘‘රනිල්ගේ වුවමනාවට හැදූ 19 යේ සමහර විධිවිධාන අද අභියෝගයට ලක්වෙලා‘‘ - ජෝන් සෙනෙවිරත්න

යහපාලන ආණ්ඩුවේ ව්‍යාපෘතියක් ලෙස ගෙන ආ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපතිට ඇති බලතල සීමා කර අගමැතිවරයාට  බලයේ රැඳී සිටීමට හැකි තත්ත්වයක් නිර්මාණය කරගෙන ඇති බව අද (6) දින පැවති පොදුජන පෙරමු‍ණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසා සිටියේය.

 

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ,

 

‘‘අද රටේ අමුතු දේශපාලන වාතාවරණයක් ඇතිවෙලා තියෙන්නේ. අගමැති කෙනෙක්, ඇමති මණ්ඩලයක් නැති වාතාවරණයක් තියෙන්නේ. මීට ප්‍රධාන හේතුව දින 100 ආණ්ඩුව ගෙනාපු 19 සංශෝධනය. මේක දින 100 ආණ්ඩුවේ ව්‍යාපෘතියක්. මේක ගෙනාවට පස්සේ අපිට පෙනුණා මේක එක්කෙනෙක් දෙන්නෙක් මුල්කරගෙන ගෙනාව ව්‍යවස්ථාවක් කියලා. ඒ වෙලාවේ යම් යම් අය ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වැනි අයට මේ රටේ දේශපාලනය කරන්න බැරි ආකාරයට විධිවිධාන ඇතුළත් කළා. ඒවගේම එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා වැනි අයට දිගින් දිගටම බලයේ ඉන්න පුළුවන් විදියට තමුන්ට ආවරණයක් ලැබෙන විදියට විධි විධාන ඇතුළත් කරලා තිබුණා.

 

ඒ එක විධිවිධානයක් තමයි අවුරුදු හතර හමාරක් යනකල් ඉන්න ඕන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ කියන එක. අපේ රටේ පළමුවෙන්ම තිබුණු විධිවිධානය තමයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව කිසිම කාල නියමයක් තිබුණේ නැහැ. ඕනම අවස්ථාවක අග්‍රාමාත්‍යවරයට පුළුවන්කම තිබුණා අග්‍රාණ්ඩුකාරවරයට උපදෙස් දීලා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.

 

නමුත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජේ. ආර්. ජයවර්ධන මහත්තයා යම්කිසි සීමාවක් පැවැත්වුවා. ඒ පනවපු සීමාව බොහොම සාධාරණයි අවුරුද්දක් ගිය තැනදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. අවුරුද්දක් යෑමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ කියන සීමාව එතුමා පැනෙව්වා. මේ අවුරුද්දක් කාල සීමාව පාවිච්චි කරලා තමයි එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය දෙවතාවක් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. 19 වෙනි සංශෝධනයෙන් මේක අවුරුදු හතර හමාරක් කළා. රටේ මොන කලබල තිබුණත්, මොන විදියේ විෂමාචාර ඇති වුණත්, ආර්ථික හා සමාජීය කඩාවැටීමක් වුණත් විසුරුවා හරින්න අවුරුදු හතර හමාරක් යනකල් ඉන්න ඕන, බැලූ බැල්මට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව. පාර්ලිමේන්තු කාලය අවුරුදු 5 කට කෙටි කළා. කෙටිකරලා අවුරුදු හතර හමාරක් යනකල් ඉන්න ඕන පාර්ලිමේන්තුව විසුරුවන්න. මාස හයකට පෙර පමණයි පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. මේකෙන් අදහස් කළේ මොකක් ජනාධිපතිවරයගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය සීමා කරලා අගමැතිවරයා මොන විදියේ පිනුම් ගැහුවත් ඔහුට බලයේ ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි ඇතිකරගෙන තියෙන්නේ.  

 

නමුත්, අද ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ කාරණය විග්‍රහ වෙනවා. මෙහිදී ජනපතිතුමා ඉතාම නීත්‍යනුකූලව කටයුතු කරලා තියෙනවා කියන කාරණේ එළියට ආවා. ඊයේ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ඇවිල්ලා පැහැදිලි කළා, මේ රටේ ව්‍යවස්ථාදායකයට වුවමනා වෙලා තිබුණේ මේක අවුරුදු හතර හමාරක් කරන්න, ඒ වගේම ජනාධිපතිවරයගේ විධායක බලය යටතේ ඔහුට මේක විසුරුවා හරින්න තියෙන බලතල එහෙම්ම ආරක්ෂා කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වෙනි වගන්තිය යටතේ, ඒවගේම 62 වෙනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට තියෙනවා. එතුමා පාර්ලිමේන්තුව විසුරුවද්දි ඉතාමත්ම බුද්ධිමත්ව මේක කරලා තියෙනවා. එජාපය නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ඕනෑකමට සකස් කරපු මේ 19 වෙනි සංශෝධනයේ යම් යම් විධිවිධානයන් අද අභියෝගයට ලක්වෙලා තියෙනවා.

 

පාර්ලිමේන්තුවේ වැරදි සහගත ක්‍රියා කලාපය නිසයි මේක ඇතිවුණේ. ජේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කටයුතු කළේ මීට වඩා වෙනස් ආකාරයකටයි. එතුම වුවමනා වුණේ දුර්වල පාර්ලිමේන්තුවකුයි, ශක්තිමත් විධායකයකුයි‘‘  යන්නයි. 

 

 

 

 

‘‘පක්ෂග්‍රාහී නොවී කටයුතු කරන්න‘‘ - කථානායකතුමාගෙන් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට උපදෙස්

රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බව අද (05) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දෙන ලද අතර මේ පිළිබඳ විමසීමට  ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කථානායකවරයා හමුවට කැදවනු ලැබීය. කථානායකවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාළ උපදෙස් නිකුත් කරනු ලබන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. 


 

අදාළ මාධ්‍ය නිවේදනය,

‘‘රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බවට අද (2018.12.05) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් පෙන්වා දෙනු ලැබීය.

මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරවීම සහ පාර්ලිමේන්තුවේ සභාවාරයන් සජීවීව විකාශය කිරීමේ වගකීම දරණ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එම විකාශනය අත්හිටුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා අද (05) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා කථානායකවරයා හමුවට කැදවනු ලැබීය.

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ පූර්ණ ස්වාධීනත්වයෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරිමේ අවශ්‍යතාවය මෙහිදී කථානායකවරයා පෙන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධින රූපවාහිනී ආයතනය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇති බවද කථානායකවරයා සඳහන් කරන ලදී.

‍මේ අනූව,කථානායකවරයා පෙන්වා දුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාල උපදෙස් නිකුත් කරනු ලබන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම, ගුවන් විදුලි සංස්ථාවේ සජීවී විකාශණය අත්හිටුවීම පිළිබඳව ස්වකීය කණගාටුව ප්‍රකාශකල ගුවන්විදුලි සංස්ථා සභාපතිවරයා හැකි ඉක්මණින් එම තත්වය නිවැරදි කරනු ලබන බවට තහවුරු කරන ලදී.‘‘ 

 

 

 

 

[caption id="attachment_22378" align="aligncenter" width="294"] කථානායකතුමා විසින් නිකුත් කළ නිවේදනය[/caption]

 

 

 

මැතිවරණයක් වුවමනා කාහටද? කුමකටද?

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

මැතිවරණ වනාහි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ මූලිකාංගයකි. නුතන රාජ්‍යයන්හි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ක්‍රියාවට නැංවෙන්නේ මහජනතාව මැතිවරණවලදී සිය ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයන් මගින්බැවින් අප එය හඳුන්වන්නේ “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙනි. ඒ අනුව මහජන නියෝජිතයන් යනු, මහජන මතයේ ප්‍රකාශනය වන අතර, ඔවුන් විසින්තමා ව්‍යවස්ථාදායකය වෙත තෝරා පත්කර එවන ලද ජනතාව නියෝජනය කළ යුතු ද වේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය වෙත අවධානය යොමු කිරීමේදී ප්‍රධාන ප්‍රවණතා කීපයක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න නම්, ජනාධිපතිවරයා විසින් හදිසියේ කුමන්ත්‍රණකාරී ලෙස නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා ඉවත්කර, ඔහුම ප්‍රධාන කොටගත් බලවේග විසින් 2015 දී පරාජයට පත්කළ දූෂිත යැයි චෝදනා ලත් අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීම යන කාරණය සපුරා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී  ක්‍රියාවක් ලෙස ගෙන ඊට විරුද්ධව රට පුරා විවිධ පිරිස් විසින් නොනවත්වා ගෙන යන අරගලයයි.

දෙවැන්න නම්, ජනාධිපතිවරයාගේ සියලු අත්තනෝමතික ක්‍රියා සාධාරණීකරණය කරමින් රාජපක්ෂවාදී වහල් ස්ථාවරයේම සිටිමින් අවිචාරවත් ලෙස ඔවුන්ගේ සියලු දූෂිත ක්‍රියා නොදුටුවාසේ නැවත රජ පවුලක් පාලන බලයට ගෙන ඒම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින පිරිසගේඅතාර්කික බලමුළුව යි.

තෙවැන්න නම්, කුමන පාර්ශවයක් නියෝජනය කරන්නේ දැයි පැහැදිලිව සිතාගත නොහැකි නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පිරිස පිළිබඳව යම් යම් පෞද්ගලික අමනාපකම් ඇති කරගත්, සැඟවී පහරදීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පරාජය කිරීමට උත්සාහ දරනපිරිසගේඅවස්ථාවාදී බලවේගයයි.මොවුන්ගේ හැසිරීම මගින් පිළිබිඹු වන්නේ දිනන පැත්තට සහාය පළකර වරප්‍රසාද දිනා ගැනීමේ චේතනාව යි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීමට වඩාත්ම වුවමනා වී ඇත්තේ ද ඒ වෙනුවෙන් තම කාලය විශාල ලෙස කැප කරන්නේ ද මේ පිරිසයි. අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව අක්‍රිය කර, ජනමතය මුදලට ගන්නට උත්සාහ දරනජනාධිපතිවරයා සහ ඔහුගේ පිහිටෙන් “ගොඩ යාමට” තැත් කරමින් සිටින දූෂිත මහජන නියෝජිතයන් විසින් ද එක හඬින් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසයි. මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම්, මෙම පිරිස් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුනාගන්නේ මැතිවරණය පැවැත්වීම පමණක් ද යන්නයි. ශ්‍රී ලංකාවේ මේ මොහොතේමැතිවරණයක් අවශ්‍ය කාටද? පැහැදිලි බහුතරයක් සහිත දැනට තිබෙන පාර්ලිමේන්තුව ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මැතිවරණයක් යනු,එක් එක් පුද්ගලයන්ගේ පුද්ගලික බල ආශාවන් මුදුන්පත් කර ගැනීම අරභයා, සිතැගි අවස්ථාවක පැවැත්විය හැකි ක්‍රියාවලියක් නොවේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම් ඒවා නිසි කලට නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීම අත්‍යවශ්‍යය. මැතිවරණ පැවැත්විය යුතු නිසි කාල සීමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ එබැවිනි. රාජ්‍යයක සමස්ත ආණ්ඩුකරණයාන්ත්‍රණය යම් නිශ්චිත කාල වකවානුවක් තුළ පවත්වාගෙන යාම යන භාරදූර වගකීමපැවරීම අත්තනෝමතික ලෙස කළ නොහැකිය. මැතිවරණ සඳහා වැය කරනුයේ මහජන මුදල් ය; ඒවායේදී විමසන්නේ මහජන මතයය. එසේනම් මැතිවරණ සම්බන්ධයෙන් තීරක බලය තිබෙන්නේ මහජනතාවටය. 2015 අගෝස්තුවේදී මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් ජනතා නියෝජිතයන්225 ක ගෙන් යුතු පාර්ලිමේන්තුව, එය විසුරුවා හරින ලෙස මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියයොත් හැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, 2020 පෙබරවාරි දක්වා වසර හතරහමාරක් යන තෙක් පැවතිය යුතුය. ඒ අනුව එම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එහි මන්ත්‍රීවරු තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියේ නැත; එහි කටයුතු කරගෙන යාමට නොහැකි ආකාරයෙන් ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ද නැත. එසේ නම් ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති පාර්ලිමේන්තුව සිතාමතා අක්‍රිය කරමින් මහත් අර්බුදයකට තල්ලු කර දමා තිබෙන්නේ, ජනාධිපතිවරයා සහ ඔහු වටා ගොනු වී සිටින කීප දෙනෙකුගේ පුද්ගලික අභිමතාර්ථ සාධනය කර ගැනීමට විනා, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම පිණිස නොවන බව ඉතා පැහැදිලිය.

පෙර සඳහන් කළ පිරිස් අතරින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නන් හැර සෙසු පිරිස් කීමට උත්සාහ කරන දේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය. ඔවුන්ට අනුව, වර්තමාන පාර්ලිමේන්තුව සත්ත්ව උද්‍යානයකි; එහි කාර්යයන් කරගෙන යාමට කථානායකවරයාට පොලිස් ආරක්ෂාව නැතුව බැරිය;කථානායකවරයාපක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන, බටහිර රාජ්‍යයන්ගේ ගැත්තෙකි;කථානායකවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමටවත් නොහැකි ලෙස හැසිරෙන මහජන නියෝජිතයන්ගෙන් යුතු වර්තමාන පාර්ලිමේන්තුවෙන් පලක් නැත; එබැවින් මැතිවරණයක් වහාම පවත්වා, නව මහජන නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළ යුතුය.

දැන් මෙම තර්ක දෙස බලා අපටනිගමනය කළ හැක්කේ මොනවාද? පාර්ලිමේන්තුවේ විනය විරෝධී ලෙස හැසිරෙමින් කථානායකවරයාට කටයුතු කිරීමට ඉඩ නොදුන්නේ කවුද? ඔවුන් එසේ කළේ ඇයි? පාර්ලිමේන්තුව සත්‍ත්ව උද්‍යානයක් බවට පත් කළේ කවුරුන් ද? ඒ ආකාරයේ හැසිරීම් සඳහා අණ ලැබුණේ කාගෙන්ද? කතානායකවරයා කළ යුත්තේ මැරවරයන් ලෙස හැසිරුණු මහජන නියෝජිතයන් සුළුතරයකට යටත්වී බහුතරය නොසලකා හැරීම ද? සුළු පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩු බලය බලෙන් අල්ලා ගැනීමට ගත් වෑයම අසාර්ථක වීම තුළ හදිසි මැතිවරණයක් කැඳවා ඔවුන්ට සහන සැලසිය යුතු ද? උත්තරීතර මහජන පරමාධිපත්‍යය අමු අමුවේ කෙළෙසීම වෙනුවෙන් ලබාදෙන සහනයක් ලෙස මහජන මුදල් කෝටි ගණන් වැය කර, අනවශ්‍ය මොහොතක පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු ද? මහජනතාව එවැන්නක් ඉල්ලා නැත; පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරය නියෝජනය කරන කිසිදු පක්ෂයක් එසේ ඉල්ලා නැත. සුළුතර කණ්ඩායමක් විසින් සිය දූෂිත ගනුදෙනු වසාගැනීම සඳහා බලය අත්තනෝමතික ලෙස උදුරා ගැනීම සාධාරණීකරණය කිරීම අරමුණු කරගෙන පමණක් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනු පෙනේ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මේ මොහොතේ පෙනෙන්නේ මැතිවරණයක් පැවැත්වීම පමණි.

මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක් වුවද, එම මැතිවරණ පැවැත්වෙන්නේ අසාධාරණ වටපිටාවක සුළු පිරිසකගේ මනදොළ සැපිරීමට නම්, ඒවා නිසිකලට නොපවත්වන මහජන මුදල් නිකරුණේ වැය කරන මැතිවරණ නම්, ඒවා ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරනු මිස ජනතා පරමාධිපත්‍ය සුරැකීම අරමුණු නොකරයි. ඛේදවාචකය නම්, හදිසි මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දකින්නන්, තමා සහයෝගය දක්වන පිරිසගේ සෙසු සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන නිහඬ පිළිවෙතයි. ඔවුන්ට මැතිවරණයක් පැවැත්විය යුතුයැයි කියන විට එසේ කීමට බල පෑ සෙසු වටපිටාව නොපෙනී යයි. අත්තනෝමතික ලෙස නීත්‍යානුකූල අගමැතිවරයා ඉවත් කර, පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය නොමැති අයෙකු නව අගමැති ලෙස පත් කිරීම, බහුතරය මිලයට ගනු වස් සහන කාලයක් ලබා ගැනීම පිණිස  පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම, එසේ කිරීම මගින් ද බහුතරය සකසා ගතනොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අධිකරණ නියෝගය හෑල්ලුවට ලක් කරමින් ඊට බලපෑම් කිරීමට උත්සාහ කිරීම, යුක්ති ගරුක නිලධාරීන් සිතාමතා නිලතලවලින් ඉවත්කරමින් අපරාධ විමර්ශන කටයුතුවලට බාධා කිරීම ආදී වශයෙන් ඔක්තෝබර් 26 වැනි දා සිට මේ දක්වා ජනතාව රවටමින්, රට අරාජික කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ අන්තේවාසිකයන් විසින් ගෙනයන අත්තනෝමතික ක්‍රියාවන් කිසිවක් ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කීමට මොවුන්ට වුවමනා නැත.

නිර්ලජ්ජී ලෙස බොහොමයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් සිටී. ඔවුන් සියල්ලන්ටම අවශ්‍ය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහාමැතිවරණයක් අවශ්‍ය බව කියමින් රටේ සියලු  ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙළෙසීමට බලපත්‍රයක් ලබා ගැනීමටයි.කෘතහස්තයැයි කියාගන්නා මාධ්‍යවේදීන්ද, ශාස්ත්‍රඥයන්ද, නීතිවේදීන් ද තම ආත්ම පාවාදෙමින් මැතිවරණයක් වෙනුවෙන් පෙළ ගැසී සිටින්නේ, දූෂිත මැතිවරණයක් මගින් බිහි කර ගන්නා රෙජීමයක වරප්‍රසාද භුක්ති විඳීමට මිස පොදු ජන යහපත පිණිස නොවන බව ඉතා පැහැදිලිය.

කණගාටුව නම්, ප්‍රජාතන්ත්‍රවාදය යන්න අකලට පවත්වන මැතිවරණයක් දක්වා ඌනනය කරමින් සෙසු සියලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතකා හැරීම මගින් තහවුරු වන ලාංකීය සමාජ දේශපාලන විඥානයේ දුගීභාවය යි. මෙය විසින් ලාංකීය සමාජය පතුල නොපෙනෙන අගාධයකට ගෙන යනවා පමණක් නොව ලෝකයේ කොන් වූනොදියුණු අරාජික රාජ්‍යයක් බවට ද පත් කරමින් තිබේ. වගකිවයුතු පුරවැසියන් ලෙස අප කළ යුත්තේ මැතිවරණ ඉල්ලා පුහු තර්ක  ගෙනැවිත් අවස්ථාවාදී දේශපාලකයන්ට තම පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා සහාය දීම නොව, ඊට එරෙහිව ජනතා පරමාධිපත්‍යය සුරැකීම පිණිස ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරීත්වයට තිබෙන අනර්ථකාරී බාධා ඉවත් කිරීමට අරගල කිරීමයි.එනම්, මේ මොහොතේ දැවෙන අවශ්‍යතාව වන්නේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික  බල ක්‍රියාකාරිත්වයට තිරිංග යෙදීමයි.

 

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය  

රුහුණු විශ්වවිද්‍යාලය