The Most/Recent Articles
සෝභිත හිමියන්ගේ ‘දරුවා’ තවමත් අනාථයි
සිරිසේනව පැත්තකින් තියා, විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන ක‍්‍රමයක් සොයා ගැනීම
![]() |
| කතානායක කරු ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන |
කතානායකවරයාගේ ගිනි පුපුර
එය සාධනය කර ගැනීම
මැතිවරණයක් වුවමනා කාහටද? කුමකටද?
මැතිවරණ වනාහි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ මූලිකාංගයකි. නුතන රාජ්‍යයන්හි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ක්‍රියාවට නැංවෙන්නේ මහජනතාව මැතිවරණවලදී සිය ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයන් මගින්බැවින් අප එය හඳුන්වන්නේ “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙනි. ඒ අනුව මහජන නියෝජිතයන් යනු, මහජන මතයේ ප්‍රකාශනය වන අතර, ඔවුන් විසින්තමා ව්‍යවස්ථාදායකය වෙත තෝරා පත්කර එවන ලද ජනතාව නියෝජනය කළ යුතු ද වේ.
වර්තමාන ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය වෙත අවධානය යොමු කිරීමේදී ප්‍රධාන ප්‍රවණතා කීපයක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න නම්, ජනාධිපතිවරයා විසින් හදිසියේ කුමන්ත්‍රණකාරී ලෙස නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා ඉවත්කර, ඔහුම ප්‍රධාන කොටගත් බලවේග විසින් 2015 දී පරාජයට පත්කළ දූෂිත යැයි චෝදනා ලත් අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීම යන කාරණය සපුරා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් ලෙස ගෙන ඊට විරුද්ධව රට පුරා විවිධ පිරිස් විසින් නොනවත්වා ගෙන යන අරගලයයි.
දෙවැන්න නම්, ජනාධිපතිවරයාගේ සියලු අත්තනෝමතික ක්‍රියා සාධාරණීකරණය කරමින් රාජපක්ෂවාදී වහල් ස්ථාවරයේම සිටිමින් අවිචාරවත් ලෙස ඔවුන්ගේ සියලු දූෂිත ක්‍රියා නොදුටුවාසේ නැවත රජ පවුලක් පාලන බලයට ගෙන ඒම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින පිරිසගේඅතාර්කික බලමුළුව යි.
තෙවැන්න නම්, කුමන පාර්ශවයක් නියෝජනය කරන්නේ දැයි පැහැදිලිව සිතාගත නොහැකි නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පිරිස පිළිබඳව යම් යම් පෞද්ගලික අමනාපකම් ඇති කරගත්, සැඟවී පහරදීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පරාජය කිරීමට උත්සාහ දරනපිරිසගේඅවස්ථාවාදී බලවේගයයි.මොවුන්ගේ හැසිරීම මගින් පිළිබිඹු වන්නේ දිනන පැත්තට සහාය පළකර වරප්‍රසාද දිනා ගැනීමේ චේතනාව යි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීමට වඩාත්ම වුවමනා වී ඇත්තේ ද ඒ වෙනුවෙන් තම කාලය විශාල ලෙස කැප කරන්නේ ද මේ පිරිසයි. අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව අක්‍රිය කර, ජනමතය මුදලට ගන්නට උත්සාහ දරනජනාධිපතිවරයා සහ ඔහුගේ පිහිටෙන් “ගොඩ යාමට” තැත් කරමින් සිටින දූෂිත මහජන නියෝජිතයන් විසින් ද එක හඬින් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසයි. මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම්, මෙම පිරිස් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුනාගන්නේ මැතිවරණය පැවැත්වීම පමණක් ද යන්නයි. ශ්‍රී ලංකාවේ මේ මොහොතේමැතිවරණයක් අවශ්‍ය කාටද? පැහැදිලි බහුතරයක් සහිත දැනට තිබෙන පාර්ලිමේන්තුව ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මැතිවරණයක් යනු,එක් එක් පුද්ගලයන්ගේ පුද්ගලික බල ආශාවන් මුදුන්පත් කර ගැනීම අරභයා, සිතැගි අවස්ථාවක පැවැත්විය හැකි ක්‍රියාවලියක් නොවේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම් ඒවා නිසි කලට නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීම අත්‍යවශ්‍යය. මැතිවරණ පැවැත්විය යුතු නිසි කාල සීමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ එබැවිනි. රාජ්‍යයක සමස්ත ආණ්ඩුකරණයාන්ත්‍රණය යම් නිශ්චිත කාල වකවානුවක් තුළ පවත්වාගෙන යාම යන භාරදූර වගකීමපැවරීම අත්තනෝමතික ලෙස කළ නොහැකිය. මැතිවරණ සඳහා වැය කරනුයේ මහජන මුදල් ය; ඒවායේදී විමසන්නේ මහජන මතයය. එසේනම් මැතිවරණ සම්බන්ධයෙන් තීරක බලය තිබෙන්නේ මහජනතාවටය. 2015 අගෝස්තුවේදී මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් ජනතා නියෝජිතයන්225 ක ගෙන් යුතු පාර්ලිමේන්තුව, එය විසුරුවා හරින ලෙස මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියයොත් හැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, 2020 පෙබරවාරි දක්වා වසර හතරහමාරක් යන තෙක් පැවතිය යුතුය. ඒ අනුව එම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එහි මන්ත්‍රීවරු තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියේ නැත; එහි කටයුතු කරගෙන යාමට නොහැකි ආකාරයෙන් ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ද නැත. එසේ නම් ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති පාර්ලිමේන්තුව සිතාමතා අක්‍රිය කරමින් මහත් අර්බුදයකට තල්ලු කර දමා තිබෙන්නේ, ජනාධිපතිවරයා සහ ඔහු වටා ගොනු වී සිටින කීප දෙනෙකුගේ පුද්ගලික අභිමතාර්ථ සාධනය කර ගැනීමට විනා, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම පිණිස නොවන බව ඉතා පැහැදිලිය.
පෙර සඳහන් කළ පිරිස් අතරින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නන් හැර සෙසු පිරිස් කීමට උත්සාහ කරන දේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය. ඔවුන්ට අනුව, වර්තමාන පාර්ලිමේන්තුව සත්ත්ව උද්‍යානයකි; එහි කාර්යයන් කරගෙන යාමට කථානායකවරයාට පොලිස් ආරක්ෂාව නැතුව බැරිය;කථානායකවරයාපක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන, බටහිර රාජ්‍යයන්ගේ ගැත්තෙකි;කථානායකවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමටවත් නොහැකි ලෙස හැසිරෙන මහජන නියෝජිතයන්ගෙන් යුතු වර්තමාන පාර්ලිමේන්තුවෙන් පලක් නැත; එබැවින් මැතිවරණයක් වහාම පවත්වා, නව මහජන නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළ යුතුය.
දැන් මෙම තර්ක දෙස බලා අපටනිගමනය කළ හැක්කේ මොනවාද? පාර්ලිමේන්තුවේ විනය විරෝධී ලෙස හැසිරෙමින් කථානායකවරයාට කටයුතු කිරීමට ඉඩ නොදුන්නේ කවුද? ඔවුන් එසේ කළේ ඇයි? පාර්ලිමේන්තුව සත්‍ත්ව උද්‍යානයක් බවට පත් කළේ කවුරුන් ද? ඒ ආකාරයේ හැසිරීම් සඳහා අණ ලැබුණේ කාගෙන්ද? කතානායකවරයා කළ යුත්තේ මැරවරයන් ලෙස හැසිරුණු මහජන නියෝජිතයන් සුළුතරයකට යටත්වී බහුතරය නොසලකා හැරීම ද? සුළු පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩු බලය බලෙන් අල්ලා ගැනීමට ගත් වෑයම අසාර්ථක වීම තුළ හදිසි මැතිවරණයක් කැඳවා ඔවුන්ට සහන සැලසිය යුතු ද? උත්තරීතර මහජන පරමාධිපත්‍යය අමු අමුවේ කෙළෙසීම වෙනුවෙන් ලබාදෙන සහනයක් ලෙස මහජන මුදල් කෝටි ගණන් වැය කර, අනවශ්‍ය මොහොතක පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු ද? මහජනතාව එවැන්නක් ඉල්ලා නැත; පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරය නියෝජනය කරන කිසිදු පක්ෂයක් එසේ ඉල්ලා නැත. සුළුතර කණ්ඩායමක් විසින් සිය දූෂිත ගනුදෙනු වසාගැනීම සඳහා බලය අත්තනෝමතික ලෙස උදුරා ගැනීම සාධාරණීකරණය කිරීම අරමුණු කරගෙන පමණක් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනු පෙනේ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මේ මොහොතේ පෙනෙන්නේ මැතිවරණයක් පැවැත්වීම පමණි.
මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක් වුවද, එම මැතිවරණ පැවැත්වෙන්නේ අසාධාරණ වටපිටාවක සුළු පිරිසකගේ මනදොළ සැපිරීමට නම්, ඒවා නිසිකලට නොපවත්වන මහජන මුදල් නිකරුණේ වැය කරන මැතිවරණ නම්, ඒවා ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරනු මිස ජනතා පරමාධිපත්‍ය සුරැකීම අරමුණු නොකරයි. ඛේදවාචකය නම්, හදිසි මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දකින්නන්, තමා සහයෝගය දක්වන පිරිසගේ සෙසු සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන නිහඬ පිළිවෙතයි. ඔවුන්ට මැතිවරණයක් පැවැත්විය යුතුයැයි කියන විට එසේ කීමට බල පෑ සෙසු වටපිටාව නොපෙනී යයි. අත්තනෝමතික ලෙස නීත්‍යානුකූල අගමැතිවරයා ඉවත් කර, පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය නොමැති අයෙකු නව අගමැති ලෙස පත් කිරීම, බහුතරය මිලයට ගනු වස් සහන කාලයක් ලබා ගැනීම පිණිස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම, එසේ කිරීම මගින් ද බහුතරය සකසා ගතනොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අධිකරණ නියෝගය හෑල්ලුවට ලක් කරමින් ඊට බලපෑම් කිරීමට උත්සාහ කිරීම, යුක්ති ගරුක නිලධාරීන් සිතාමතා නිලතලවලින් ඉවත්කරමින් අපරාධ විමර්ශන කටයුතුවලට බාධා කිරීම ආදී වශයෙන් ඔක්තෝබර් 26 වැනි දා සිට මේ දක්වා ජනතාව රවටමින්, රට අරාජික කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ අන්තේවාසිකයන් විසින් ගෙනයන අත්තනෝමතික ක්‍රියාවන් කිසිවක් ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කීමට මොවුන්ට වුවමනා නැත.
නිර්ලජ්ජී ලෙස බොහොමයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් සිටී. ඔවුන් සියල්ලන්ටම අවශ්‍ය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහාමැතිවරණයක් අවශ්‍ය බව කියමින් රටේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙළෙසීමට බලපත්‍රයක් ලබා ගැනීමටයි.කෘතහස්තයැයි කියාගන්නා මාධ්‍යවේදීන්ද, ශාස්ත්‍රඥයන්ද, නීතිවේදීන් ද තම ආත්ම පාවාදෙමින් මැතිවරණයක් වෙනුවෙන් පෙළ ගැසී සිටින්නේ, දූෂිත මැතිවරණයක් මගින් බිහි කර ගන්නා රෙජීමයක වරප්‍රසාද භුක්ති විඳීමට මිස පොදු ජන යහපත පිණිස නොවන බව ඉතා පැහැදිලිය.
කණගාටුව නම්, ප්‍රජාතන්ත්‍රවාදය යන්න අකලට පවත්වන මැතිවරණයක් දක්වා ඌනනය කරමින් සෙසු සියලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතකා හැරීම මගින් තහවුරු වන ලාංකීය සමාජ දේශපාලන විඥානයේ දුගීභාවය යි. මෙය විසින් ලාංකීය සමාජය පතුල නොපෙනෙන අගාධයකට ගෙන යනවා පමණක් නොව ලෝකයේ කොන් වූනොදියුණු අරාජික රාජ්‍යයක් බවට ද පත් කරමින් තිබේ. වගකිවයුතු පුරවැසියන් ලෙස අප කළ යුත්තේ මැතිවරණ ඉල්ලා පුහු තර්ක ගෙනැවිත් අවස්ථාවාදී දේශපාලකයන්ට තම පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා සහාය දීම නොව, ඊට එරෙහිව ජනතා පරමාධිපත්‍යය සුරැකීම පිණිස ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරීත්වයට තිබෙන අනර්ථකාරී බාධා ඉවත් කිරීමට අරගල කිරීමයි.එනම්, මේ මොහොතේ දැවෙන අවශ්‍යතාව වන්නේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බල ක්‍රියාකාරිත්වයට තිරිංග යෙදීමයි.
ආචාර්ය ඉන්දි අකුරුගොඩ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය
රුහුණු විශ්වවිද්‍යාලය
රනිල් සමග අසාර්ථක දීගය; අර්බුදය කෙළවර මහා විනාශයක්
මිරිස්කුඩු ප්‍රහාර සහ හිංසාකාරී අවි රැගෙන ඒම ගැන පරීක්‍ෂණ කරනවා- කථානායක
කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තු සභා ගැබ තුළට හිංසාකාරී අවි රැගෙන ඒම සහ මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වීම පිළිබද මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බවයි. මේ සම්බන්දව අද 19 වනදා කථානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනය පහතින්..
සබැඳි පුවත්
”ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි” – කතානායකගෙන් ජනපතිට පිළිතුරක්
සිරිසේන ජනපතිගෙන් කථානායකට මධ්‍යම රාත්‍රියේ පිළිතුරක්
විශ්වාස භංග යෝජනාවේ පිටපතක් ජනපතිට – කථානායක නිවේදනය කරයි
පාර්ලිමේන්තුව හෙටට කල්දැමේ
සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ
සුනන්ද දේශප්‍රිය
තුරුම්පු කියා සිරිසේන ඇද්දේ ජෝකරයෙක්
තුරුම්පු කියා සිරිසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර ඇඳුමට බැස සිටින සෙයකි.
අහන අහන හැමෝම අද මෙරට කියන, අසන කතාව කුමක්ද ?. එනම්, ‘මේ මිනිසාට අන්ද කයිප්පු කැවුණේ කොහොමද ?’ කියා ය. වෙස්වෙලා ගෙන මහ රෑ ගමින් ගම යමින් රටෙහි ඇත්ත සෙවූ ජනප්‍රවාද ගත රජතුමා මෙන් ඇත්තට ම සිරිසේනට වෙස් මූණක් දාගෙන රට වටේ රෑට රෑට යන්නැයි උපදෙසක් දෙන්නට ඔහුගේ කේවට්ට උපදේශකයින්ට බැරිද ?
‘රජතුමා හෙළුවෙන්‘
රටේ ජනයා සිරිසේන ගැන කියන කතා ඇත්තට ම ඔහු දන්නේ නැතිවාවත්ද ?, ‘රජතුමා හෙළුවෙන්‘ යැයි කියන්නට සමත්කම ලැබෙන්නේ සව්වන්ට සහ කේවට්ටයින්ට නොව කොලු ගැටයකුට පමණ ය. රටේ මිනිස්සු තමා ගැන කියන දේ දන්නේ නම් සිරිසේනට සිදුවන්නේ අපේ පැතිවල මිනිස්සු අපතයින්ට කියන ලෙස බනිස්ගෙඩි දෙකක් අරං ගල් ගෙඩියක් බැඳගෙන බඩද පලාගෙන මුහුදට පනින්නට ය.
සමහර විට තවමත් රටෙහි ජනප්‍රියම දේශපාලනඥයා රාජපක්ෂම විය හැකිය. සිරිසේනගේ පාපයට, කර ගැසීමෙන් ඔහු කළේ දුවන කෝච්චියකට පැනීම ය. සිරිසේන විසින් රටේ ඇතිකළ වියවුලේ පාපය දැන් අයත් වන්නේ වික්‍රමසිංහට නොව රාජපක්ෂට ය. සිරිසේනට මුක්කු ගහනන්නට ගිය රාජපක්ෂ දෙමළ මුස්ලිම් පක්ෂ ද සිය පසමිතුරන් බවට පත් කර ගත්තේ ය.
රාජපක්ෂට දුවන කෝච්චියක් - වික්‍රමසිංහට වේග බෝට්ටුවක්
ඇත්ත වශයෙන් ම නම් කිදාබසිමින් සිටි වික්‍රමසිංහට සිරිසේන විසින් ලබා දුන්නේ වේග බෝට්ටුවකි. (ඒ බෝට්ටුවෙන් වික්‍රමසිංහ තනියම බුදුවන්නට ගියහොත් යළි කිඳා නොබසිනු ඇතැයි කිව නොහැකි ය.)
මේ සටහන ලියන්නේ 15 වන බ්‍රහස්පතින්දා ලංකාවේ වේලාවෙන් අළුයම ය. ඉදිරි පැය 24 ඇතුළත අර්බුදය විසඳන බවට සිරිසේන කියා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අතරම වාර්තා වන්නේ සියළු අමාත්‍යාංශයන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස සිරිසේන නියෝග කර ඇති බවකි. සිරිසේනට දැන් අවශ්‍ය නම් යළිත් වතාවක් පාර්ලිමේන්තුව කල් තැබිය හැකිය. ඒ මගින්ද සිදුවනු ඇත්තේ අර්බූදය තවත් උග්‍රවීම පමණි.
දැන් සිරිසේන බලයෙන් කොතරම් දූෂ්‍ය වී ඇත් ද යත් ඔහු විසින් කතානායක කරු ජයසූරිය පිළිගන්නේ ද නැත. ඔහු තවමත් පිළිගන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය නැති රාජපක්ෂගේ අනීතික ආණ්ඩුවයි. තමන් රාජපක්ෂ අගමැති ලෙස පත්කීරීම සාධාරණ කිරීමට ‘පොඩි එකාගේ ලියුම’ක් යවමින් සිරිසේන කියන්නේ 2015 ජනවාරියේ දී වික්‍රමසිංහ අගමැති බවට පත් කළේ ද බහුතරයක් නොමැතිව බවයි. නමුත්, සිරිසේන වසන් කරන්නට යන්නේ ඔහු පොදු අපේක්ෂකයා ලෙස කළ මුල් කතාවෙහිදී ම තමා ජනාධිපතිවුවහොත් වික්‍රමසිංහ අගැමති කරවන බවට ප්‍රකාශ කළ බවය. ඔහු ලද ජනවරමට ඒ පොරොන්දුව ද ඇතුළත්ව තිබුණි.
සිරිසේන කුණාටුව
අනෙක් අතට වික්‍රමසිංහට විරුද්ධව ඒ වන විටත් සිරිසේනගේ නායකත්වය යටතට පත්ව තිබූ ශ්‍රීලනිපය පියවරක් ගත්තේ ද නැත. වික්‍රමසිංහ අගමැති බවට පත් නොකරන ලද්දේ නම් සිරිසේනට වහාම ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවීමට සිදුවන්නට තිබුණි. එසේ වූයේ නම් වික්‍රමසිංහ ලෙහෙසියෙන්ම පාර්ලිමේන්තු බහුතරය දිනා ගන්නටත් තිබුණි. වික්‍රමසිංහට වැරදුණේ බැදුම්කර වංචාව හෙළිදරව් වී මහා අපවාදයක් බවට පත්වීම නිසා ය.
සිරිසේන විසින් නීති විරෝධී ලෙස රාජපක්ෂ අගමැති කිරීමෙන් පටන් ගත් දුෂ්ඨ දාම ක්‍රියාදාමය දැන් මුළු රටම වෙලා ගත් දේශපාලන ආර්ථික සමාජීය කුණාටුවක් බවට පත්ව තිබේ. හෙට සිදුවන්නේ කුමක්දැයි දන්නා කෙනෙක් නැත. එකක් පසු පස එකක් බැගින් අර්බූද වැලක් ඇති වේගෙන යයි.
සිරිසේන පාර්ලිමේන්තු බහුතරය පිළිනොගන්නේ නම් කතානායක පිළිනොගන්නේ නම් ව්‍යවස්ථාව පිළිනොගන්නේ නම් ඔහුට යා හැක්කේ කොහාටද ?. කතානායකවරයාගේ තීන්දු සහ වාර්තා පිළිනොගන්නා නිසා සිරිසේන හමුනොවීමට විශ්වාස භංග යෝජනාවට පක්ෂ වූ සියළු දේශපාලන පක්ෂ බදාදා රැයෙහි තීරණය කිරීම ඔහුට එල්ල වූ අලුත්ම කණේ පහර ය. විශ්වාස භංගයකින් පරාජය වූ රාජපක්ෂ අගමැති තනතුරේ තබා ගැනීමත්, ඒ සමඟම අහෝසි විය යුතු ඇමැති මණ්ඩලය එලෙසම පවත්වා ගැනීමත් වැරදි බවට කවරකු හෝ අධිකරණයට ගිය හොත් සිරිසේනට වැලේ වැල් නැතිවනු ඇත.
සිරිසේන බූරු පිටියක මෙන් තුරුම්පු ඇදීමෙන් රටක දේශපාලනය හැසිරවිය හැකි යැයි සිතා සිටි සෙයකි. මහා කයිවාරුවක් ගසා ඔහු තුරුම්පු ඇද්දේ වික්‍රමසිංහ පරාජය කරනු පිණිස ය. ඔහුගේ රාජපක්ෂ තුරුම්පුව දැන් පාර්ලිමේන්තුවෙහි කැපී ගොසිනි. විසුරුවා හැරීමේ තුරුම්පුව කල් ගියේ ය. යළිත් කල් දැමිම හැරුණ විට දැන් ඔහුට ඇත්තේ එකම එක තුරුම්පුවක් පමණි. එනම් ඍජු ආඥාදායකත්වයේ තුරුම්පුව පමණි.
දැන් ඔහුට කියා දේශපාලන පක්ෂයක් ද නැත. වැඩි කල් නොගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඔහුගෙන් ගිලීහි යන්නට ද ඉඩ තිබේ. එහි පාරම්පරික අයිතිකාර පාර්ශ්වයන් දැන ඇහැ ගසාගෙන ඉන්නේ යළි පක්ෂය අල්ලා ගන්නට ය. සිරිසේනටය කියා එකදු දේශපාලනඥයකුවත් නැති දවසක් උදාවන බව දැන්ම ලියා තැබිය හැකි ය.
ඔක්තෝබර් 26 දා තමා විසින් දියත් කළ දේශපාලන කුමන්ත්‍රණය දැන් සිරිසේනට ඉදිරියට ගෙන ගිය හැක්කේ ලේ සහ බෝම්බ දුමාරය මැදින් පමණි. නැත්නම් ඔහු ආපසු හැරී ආණ්ඩු බලය වික්‍රමසිංහට ලබා දිය යුතුය. ඒ වනාහී සිරිසේනට හීනෙන්වත් සිතිය නොහැකි තෝරා ගැනීමකි. මන්ද යත්, එසේවුවහොත් සිරිසේන - රාජපක්ෂ නීති විරෝධී ආණ්ඩුවේ තීරණ ක්‍රියාත්මක කළ බොහෝ දෙනෙකු උපමා උපමේය ව්‍යවහාර බසින් කියන්නේ නම් ගහේ යන්නට ඉඩ තිබෙන නිසා ය. ඇත්ත වශයෙන්ම නම් දිනෙක ව්‍යවස්ථාව කෙළෙසා දේශපාලන කුමන්ත්‍රණයක් කිරීම සම්බන්ධයෙන්, සමහරවිට දස වසරකට පසු හෝ සිරිසේන ද ගහේ යන්නට ඉඩ තිබේ. ඔහු විසින් රට ගෙන යමින් සිටින්නේ පතුලක් නැති අඳුරු අගාධයකට ය.
සිරිසේන වැටුණේ ඔහුගේම කේවට්ටයන් කැපූ වලක
යුද ආඥාදායකත්වයක් මෙරට ඇති කිරීම ලෙහෙසි නොවේ. එවැනි හැකියාවක් තිබුණේ නම් ඒ රාජපක්ෂට පමණ ය. නමුත් අසල්වැසි ඉන්දියාව ගැන නොසිතා එවැනි පියවරකට මොළේ ඇති දේශපාලනඥයකු යන්නේ නැත. පූජිත වැනි අපූජිතයකු යොදා ගෙන පොලිස් රාජ්‍යයක් ඇති කිරීමට ද නොහැකි ය.
ස්වකීය කේවට්ටයින්ගේ කීම් බස් අසා සිරිසේන තමන් විසින්ම කපා ගත් මෙම වළෙන් ඔහු ගොඩ එන්නේ කෙසේද යන ප්‍රශ්ණයට තාර්කික පිළිතුරක් සෙවීම දුෂ්කරය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය සාර්ථක වෙනු ඇතැයි එතරම් විශ්වාසයක් තබා ගැනීමට ද නොහැකිය. මන්ද යත් සාධාරණ හේතු සාධක නොමැති නම් ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරියට ගෙන යාමට අවසර නොදෙන නිසා ය. දැන් ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුව කල් දමන්නැයි එකී කේවට්ටයින්ම උපදෙස් දෙන බව කියනු ලැබේ. සිරිසේන ඒ මඩවලටත් නොබසිනු ඇතැයි කීමට නොහැකි ය.
දැන් අවසානයට මේ ටිකත් කිව යුතුය.
2015 මැද භාගයේ දී සිරිසේනගේ සව්වකු මට පණිවිඩයක් එවී ය. ඒ පයින්ඩයෙන් කියැවුණේ රාජපක්ෂ ගැන මා ‘රාවය‘ පුවත්පතට ලියූ ලිපි කිහිපයක් පොත් පිංචක් ලෙස පළ කිරීමට අලුත පත්ව සිටි ජනපති සිරිසේනට සිතක් පහළ වී ඇති බව යි. ඒ 2015 අගෝස්තු මැතිවරණයේ දී රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරය පිණිස ය.
පණිවිඩය ගෙනා සව්වා මට මෙසේ කීවේය: ‘ජනාධිපතිතුමා කවදාවත් කීයටවත් රාජපක්ෂට නම් යළි තැනක් දෙන්නේ නෑ’ ඒ ලිපි කිහිපය සිරිසේනගේ දායකත්වයෙන් පිටපත් ලක්ෂයක් ම මුද්‍රණය කරන ලද්දේ ‘වහල් බවින් නිදහස්වීම’ යන නමිනි.
සිරිසේනට අමතක වී තිබූ ‘වහල් බවින් නිදහස්වීම’ ලිපි මාලාව
සිරිසේන විසින් ම තෝරා එහි ඇතුළත් කරන ලද ලිපි මෙසේ ය: ‘ පොලිස් රාජ්‍යය, හිට්ලර් සහ මානව හිමිකම් මතක් වීම’; ‘මෙන්න රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන යහපාලනය’; 19වන සංශෝධනය: රාජපක්ෂ වහලුන්ගේ පරාජය; ‘පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකිද ?’.
සිරිසේනට අමතක වී තිබෙන බව පෙනෙන ඒ ඉතිහාසය යළි මතක් කළ යුතු යැයි සිතුණේ ඔහුගේ නීතිඥයා ලෙස පසුගිය 12දා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙනී සිටි නීතිපතිවරයාගේ නින්දා සහගත තර්ක දුටු විට ය. නීතිපතිගේ තර්ක අනුව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව නීති විරෝධීව විසුරුවා ඇති විටෙක පවා ඒ පිළිබඳ නඩු විභාග කිරිමට මෙරට කිසිම අධිකරණයකට අයිතියක් නැත. එමෙන්ම ඔහු තර්ක කළේ 19වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල කිසිසේත් ම සීමා කර නැති බවට යි. (නීතිපතිවරයාගේ භූමිකාව රජවාසළ කවටයකු වීම නොව ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම යැයි හිටපු පුවත්පත් කතුවරයකු සමාජ ජාලයකට ලියා තිබුණි.) සිරිසේනට වසර පහක් නොව හයක් ම බලයේ සිටිය හැකි යැයි කියන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් පස්ස බිම ඇණ ගත්තේද මේ නීතිපතිම ය.
යමෙකු වසළයෙකු වන්නේ සිය ක්‍රියාවෙන්මය
සිරිසේන විසින්ම දායකත්වය සපයා මුදුණය කරන ලද ඉහත කී පොත් පිංචේ ඇතුළත් වූ එක් ලිපියක් 19වන සංශෝධනය අරභයා ය. දැන් සිරිසේන කියන්නේ ඉන් තමාගේ බලතල සීමා නොවූ බව ය. සිරිසේන වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඉදිරිපත් කරන ලද තර්ක අනුව ඔහුට ඕනෑම අවස්ථාවක ඕනෑම වාර ගණනාවක් සිය සිතැඟි අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ය.
පුරවැසි බලය එකතුවෙහි මූලිකයකු වූ මහාචාර්ය සරත් විජේසූරිය, සිරිසේනට ජන්දය දෙන්නැයි තමා කළ ඉල්ලීමට සමා වන්නැයි මහා ජනයාගෙන් ඇයද සිටියේ මාදුළුවාවේ සමරු රැළියෙහිදී ය. ඒ මට්ටමින් ම සිරිසේන බලයට ගෙන ඒමට දරදිය ඇද්දාවූ දඹර අමිල හිමි කීයේ ‘මහ රජාණන් මැදමූළන ජනේලයක එල්ලලූ අපට සිරිසේන පොළාන්නරුවේ පඹයකු සේ එල්ලීම මහ ලොකු දෙයක් නොවන’ බවයි.
ඉතින් අපි කුමක් කියමු ද ?, බුදු වදනින් මෙසේ කියමු : යමෙකු වසළයකු වන්නේ ක්‍රියාවෙනි !
පාර්ලිමේන්තුව හෙට ට කල්දැමේ
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ අත්සනින් යුතුව කථානායකතුමා වෙත ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතා පිළිගත් අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටීම ද විශේෂත්වයකි.
කෙටි කලකින් පසුව හමුවී
[caption id="attachment_21947" align="alignnone" width="300"]
වසන්ත සේනානායක යළිත් යූ.එන්.පී යට ?
[caption id="attachment_21948" align="alignnone" width="300"]
ෆවුසි යළි ඒවිද ?
ආගිය කතා
සෙල්ෆි විත්
නොසන්සුන්ව
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය ජනපතිගේ ක්‍රියාව හෙළාදකියි
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුවක් ඊයේ (11) දිනයේදී සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වුණි. මෙහිදී අදහස් දැක්වූ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පැවසුවේ, ජනපතිවරයා හැට දෙලක්ෂයේ ජනවරමට පිටුපෑම තුළ ඒ ජනවරමේ රැකවරණය අහිමි කරගෙන ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,
‘‘අද වනවිට උද්ගත වෙලා තියෙන ප්‍රශ්නය පැති කිහිපයකින් විග්‍රහ කරගන්න පුළුවන්. එකක් තමයි මෙතන ගැඹුරු නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. මෙහි තියෙන දේශපාලනය ප්‍රශ්නය ගැන මං කතා කරන්නම්. 2015 ජනවාරි 8 වැනිදා වෙනකොට මේ රටේ ලක්ෂ හැට දෙකක ජනතාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඡන්දයකට ඉදිරිපත් කරලා ඒ ජනාධිපතිවරණයෙන් ඔහුට ජයග්‍රහණය ලබාදෙන්නේ එදා ඔහු ජනතාවට පොරොන්දු වෙච්ච සුවිශේෂී කාරණා කිහිපයක් ඉෂ්ඨ කරවා ගැනීමට.
ඒකේ පළවෙනි කාරණේ තමයි විධායක ජනාධිපති ක්රමය අහෝසි කරන එක. ඔහු ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන්නේ ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට නොව ඒ ජනාධිපති ධූරය එතැනින් අවසන් කිරීමට. ඔහු පත්වෙලා ඉතා සුළු කාලයකින් ඔහු ඒ පොරොන්දුව කඩ කරනු ලැබුවා, ඒ පොරොන්දුව කඩ කරනු ලැබෙුවේ ඔහු විසින්ම ප්‍රකාශ කරපු ආකාරයට මට තවත් වාරයක ඉතුරු වෙච්ච වැඩ ටිකක් කරන්න තියෙනවයි කියලා. ඊට පස්සේ 2015 ජනවාරි 8 වැනිදා වන විට ලංකාවේ ඇති වෙලා තිබ්ච්ච දේශපාලන තත්ත්වය, සමාජ තත්ත්වය, සමාජයේ තිබිච්ච පරිහානිය ඇතුළු කාරණා වලට විසඳුමක් දෙනවා කියලා පොදු අපේක්ෂකයා ලක්ෂ 62 ක ජනතාවට පොරොන්දු වුණා. ඒ පොරොන්දු අතරේ තිබිච්ච එකක් තමයි එදා මහින්ද රාජපක්ෂ පාලනයේදි වෙච්ච අපරාධ, දූෂණ, වංචා මෙවැනි විශාල චෝදනා ලංකාවේ හරි අධිකරණ ක්‍රමයක් තුළ විභාග කරලා, ඒ චෝදනා වලට ලක්වූවන්ට නීතිය ක්‍රියාත්මක කරලා රටේ ක්‍රමවත් පාලනයක් ඇති කරනවයි කියන කාරණය.
මේ කියන කාරණය වශයෙන් ජනාධිපතිවරයා වශයෙන් ඔහුගේ ක්‍රියාකාරීත්වය, දායකත්වය 2015 පත්වුණාට පස්සේ ඒ ආකාරයෙන් දක්නට ලැබුණේ නැහැ. අද වෙනකොට වෙලා තියෙන දේ වෙන්නේ ඔහු විසින් පත්කරගත්ත මේ ඊනියා කැබිනට් එකේ අධිකරණ ඇමතිවරයා කියනවා, මේ කාරණා සම්බන්ධයෙන් ජනතාවගේ බලපෑම මත, ජනතා සංවිධාන වල බලපෑම මත, වෙනත් දේශපාලන පක්ෂ වල බලපෑම මත ඇතිකරපු ත්‍රිපුද්ගල මහාධිකරණ වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නැවත සලකාබැලීමක් කරන්න සිද්ධවෙනවයි කියලා. මේක කියන්නේ රටේ අධිකරණ ඇමතිවරයා.
රටේ ජනතාව බලාපොරොත්තු වුණේ මේ රටේ රාජපක්ෂ පාලනයේදී සිද්ධ වුණු මිනීමැරුම්, පැහැරගැනීම්, ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, රටේ පොදු දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් එක්ක රටේ නීතිය ක්‍රියාත්මක වෙයි කියන කාරණය. නමුත්, ජනාධිපතිවරයා රටේ හැට දෙලක්ෂයක ජනතාවට පිටුපාලා මේ කියන තීරණය අරගත්තේ. ඒ තීරණයේ බරපතලකම තියෙන්නේ ඔහු එදා තමන් විසින් අධිකරණයට ගෙනයනවයි කියලා ඔහු එදා ජනතාවට පොරොන්දු වෙච්ච හොරු කණ්ඩායම ඔහුගේ පාලනයේ කොටස්කරුවන් බවට පත්කරගැනීම. මේ ජනාධිපතිවරයට මෙතැනින් එහාට මේ රටේ පාලනය ගෙනයන්න ජනවරම අහිමි වෙලා තියෙනවා. ලක්ෂ හැට දෙකක ජනතාවගේ ජනවරමට පිටුපාලා ක්‍රියාත්මක වෙන ජනාධිපතිවරයෙක් වීම තුළම ඔහුට මේ වෙනකොට මේ ජනවරමේ රැකවරණය, මේ ජනවරමේ ආවරණය අහිමි කරගෙන තියෙන්නේ.‘‘ යන්නයි.
ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා මහතා ඔහුගේ තනතුර අවභාවිතා කරමින් සිටින බව ද මෙහිදී අදහස් දැක්වූ නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ, දේශපාලඥයින් සදාචාර විරෝධීව හැසිරෙන විට ජනතාව ඊට අනුබල දෙන නිසා ඔවුන් ද ඊට වගකිව යුතු බවයි.
මෙම මාධ්‍ය හමුවට නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ ශාන්ත ජයවර්ධන, නීතිඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී, නීතිඥ තුෂාර රණතුංග, නීතිඥ ශානිකා සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු උප ලේකම් නීතිඥ චරිත් ගල්හේන, නීතිඥ චතුර ගල්හේන, නීතිඥ මංජුල බාලසූරිය, නීතිඥ ධනුෂ්කි අබේවික්‍රම, නීතිඥ ලක්දිනු දීරසේකර, නීතිඥ නිමලා සිරිවර්ධන ඇතුළු මහත්ම මහත්මීන් මේ සඳහා සහභාගී විය.



