The Most/Recent Articles

Showing posts with label ජනපති. Show all posts
Showing posts with label ජනපති. Show all posts

'ආයතන ප්‍රධානීන් පත්කිරීම ප්‍රමාදවීමේ වගකීම අගමැති කාර්යාලය භාරගත යුතුයි' - ජනපති






නව අමාත්‍ය මණ්ඩලය පත් කර සති 03 කට වැඩි කාලයක් ඉක්ම ගිය ද ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බව පැවසු ජනාධිපතිතුමා එය සම්පූර්ණයෙන් වැරදි මතයක් බව ඊයේ (13) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අතර පැවති හමුවකදී පැවසුවේය.





මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු අතර, එමෙන්ම අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප‍්‍රමාදයට හේතු වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ පිළිබඳ කිසිදු වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බව සඳහන් කළේය.










https://www.facebook.com/1960441840868863/videos/vb.1960441840868863/1193728417432439/?type=2&theater




මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා පැවසුවේ,





මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන පසුබිමක ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බවයි.










නීතිය උල්ලංඝනය කිරීම් ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට ඇති ව්‍යවස්ථාවය වගකීම














- ආචාර්ය නිහාල් ජයවික‍්‍රම -









ජනපති සිය බලතල වලට පිටින් කටයුතු කළොත් ඒ ගැන ප්‍රශ්න කළහැකියි





‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද, ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක‍්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය’’ යනුවෙන් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තියේ සඳහන් වෙයි. එබැවින්, ජනාධිපතිවරයාගේ ක‍්‍රියාවන් සම්බන්ධයෙන්, විශේෂයෙන් තමන්ගේ බලතලවලට පිටතින් ඔහු කටයුතු කර ඇති බවක් පෙනෙන අවස්ථාවක එම ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් කරුණු දැක්වීමක් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාමය වගකීමක් ඇත්තේය. එසේ කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයක් හරහා ඔහුට දෝෂාරෝපණය කිරීමට හෝ ඔහුගේ ඉල්ලා අස්වීමක් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තුවට පිළිවන් වන්නේය.









ආත්ම ගරුත්වයක් ඇති ජනපතිවරයෙකු මේ යෝජනාවට ප්‍රතිචාර දක්වන අන්දම දනී









ආත්ම ගෞරවයක් ඇති ජනාධිපතිවරයෙකු, පාර්ලිමේන්තුව සම්මත කර ගත් එවැනි යෝජනාවකට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න දන්නවා ඇත. තව ද, චේතනාන්විතව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හෝ රාජද්‍රෝහීත්වය, අල්ලස, දුෂ්චර්යාව, දූෂණය හෝ සදාචාර විරෝධය පිළිබඳ වරදකට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයෙකු වරදකරුවකු කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ඉල්ලා සිටින්නේ නම්, ජනාධිපතිවරයෙකු එම ධුරයෙන් පහ කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.









ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම දෝෂාභියෝගයකට ප්‍රමාණවත්ය





ගිය මාසයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගයක් ප‍්‍රකාශයට පත්කිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කොට ඇති බවට ඒකමතිකව තීන්දු කෙළේය. එය, දෝෂාභියෝගයක් සඳහා ප‍්‍රමාණවත් වරදකි. ඒ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාමය පැනවීම ඉතා සරළ භාෂාවෙන් සටහන් කොට ඇති නිසාම, ‘තමා නීතිඥයෙකු නොවන’ බවටත්, තමා කටයුතු කෙළේ ‘කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන්ගේ උපදෙස් පරිදි’ බවටත් ජනාධිපතිවරයා කියා සිටි නිදහසට කාරණය පිළිගත නොහැක්කේය.









එය ව්‍යවස්ථාවේ 70 (1) දෙවැනි ඡේදයේ සඳහන් වන්නේ මෙසේ ය: ‘‘පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීම සඳහා නියම කර ගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය.’’ එබැවින්, ඒ සරළ වාක්‍යයේ තේරුම ජනාධිපතිවරයාට වටහාගත නොහැකි වුයේ කෙසේද යන්න විමසා සිටීමට පාර්ලිමේන්තුවට අයිතිය ඇත්තේය.








ජනපතිගේ මතකය නැති වෙලාද ?









ජනාධිපතිවරයා විසින් රටේ ව්‍යවස්ථාව චේතනාන්විතවම උල්ලංඝණය කිරීමේ ක‍්‍රියාවලිය පටන් ගත්තේ ඔක්තෝබරයේ එක් සිකුරාදා වක අගමැති රනිල් වික‍්‍රමසිංහව එම ධුරයෙන් පහ කිරීමට කටයුතු කිරීමෙනි. ඊට මාස කිහිපයකට කලින් මේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා සිටි අයෙකි. අගමැතිවරයා ඉවත් කිරීමේ බලයක් අපේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා දී නැත. කලින් ජනාධිපතිවරයාට තිබුණු එම බලය 2015 අප්‍රේල් මාසයේ සම්මත කර ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කොට තිබුණි. ඒ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ද ජනාධිපතිවරයාගේම ආණ්ඩුව විසිනි. එබැවින්, එකී ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාව සිදු කරන ලද්දේ මතකයේ අතපසු වීමක් නිසා ද, නැත්නම් හිතාමතාම තවත් ව්‍යවස්ථා විරෝධී අවශ්‍යතාවක් සපුරා ගැනීම සඳහා ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.









ජනාධිපතිවරයාගේ මේ ව්‍යවස්ථා විරෝධී ගමන, මහින්ද රාජපක්ෂව අගමැති තනතුරේ පිහිටුවීමෙන් තවදුරටත් ඉදිරියට ඇදුණි. අංක 225 දක්වා ගණන් කළ හැකි ඕනෑම පුද්ගලයෙකුට, මහින්ද රාජපක්ෂට පක්ෂව එම ප‍්‍රමාණයෙන් භාගයකට වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නොතිබුණු බව දැන ගැනීමට පුළුවන් කම තිබුණි. එබැවින්, ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට අනුව, රාජපක්ෂ යනු ‘පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනා ගත හැකි පුද්ගලයා’ බව ජනාධිපතිවරයා තීරණය කෙළේ කෙසේද යන්න ඔහුගෙන් අසා සිටීමේ බලය පාර්ලිමේන්තුවට තිබේ.









ජනාධිපතිවරයාගේ ඊළඟ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාව වුණේ පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමයි. එසේ කිරීමට ඇත්තෙන්ම ඔහුට බලය තිබේ. එහෙත් එසේ කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ කතානායකවරයාගේ උපදෙස් පරිදි බවට සම්ප‍්‍රදායක් තිබේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවක් එසේ වාරාවසාන කරන්නේ, මන්ත‍්‍රීවරුන්ට විරාමයක් ලබා දීමට හෝ ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යාම පහසු කරලීමට ය. එබැවින් තමාගේ තනි කැමැත්තට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව මේ කියන අවස්ථාවේ වාරාවසාන කෙළේ, මහින්ද රාජපක්ෂට තමාගේ බහුතරය ‘සපයා ගැනීම’ සඳහා කාලය ලබා දීමේ සැඟවුණු අරමුණින් ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමේ බලය පාර්ලිමේන්තුවට තිබේ.









මහින්දට බහුතරය හොයාගන්න රු.මි. 500 ක්









මහින්ද රාජපක්ෂට අවශ්‍ය බහුතරය සපයා ගැනීමට ඔහුට නොහැකි වුණේ රුපියල් මිලියන 500 ක් වැනි අති විශාල මුදලක් ඒ සඳහා මන්ත‍්‍රීවරුන් විසින් ඉල්ලා සිටීම නිසා යැයි ඊට පසුව රූපවාහිනියේ කළ කතාවකදී ජනාධිපතිවරයා කියා සිටියේය. එබැවින්, එවැනි අපරාධ ක‍්‍රියාවක් දියත් වෙමින් සිටි බවට දැනුවත්ව සිටීමට අමතරව, එම ක‍්‍රියාවට සෘජුව හෝ වක‍්‍රව තමනුත් සහභාගී වී ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසා සිටීමේ අයිතියක් පාර්ලිමේන්තුවට තිබේ. එසේ කර ඇත්නම් එය, ‘අල්ලසක්, දුෂ්ක‍්‍රියාවක් හෝ දූෂණයක්’ වන්නේය. එයින් ඕනෑම එකක්, ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ප‍්‍රමාණවත් ය.









මහින්ද රාජපක්ෂගේ ‘ආණ්ඩුව’ කෙරෙහි වන විශ්වාසභංග යෝජනා තුනක්ම පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන සිටියදී පවා ජනාධිපතිවරයා ඒවා නොතකා සිටීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තිය උල්ලංඝණය කිරීමකි. ඒ වගන්තිය මෙසේ ය: ‘‘ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළහොත් අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.’’ ඉහත කී පරිදි විශ්වාසභංග තුනක් සම්මත කර ගැනීමෙන් පසුවත් එම අමාත්‍ය මණ්ඩලය ඉවත් නොකර සිටීමෙන් නොනැවතුණු ඔහු, පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගන්නා ලද එකී විශ්වාභංග යෝජනා තුළ අඩංගු වූ තමා පිළිබඳ ප‍්‍රශංසාත්මක නොවන යම් වාක්‍යයක් ඉවත් කර ගන්නැයි ද ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාමය බලයක් ජනාධිපතිවරයා විසින් එසේ අභියෝගයට ලක්කිරීම පාර්ලිමේන්තුව ඉවසා සිටින්නේ ද ?









අගමැතිවරයා අමාත්‍ය පදවි වලට යෝජනා කළ අය ජනපති ප්‍රතික්ෂේප කිරීම





ඉන් පසුව වාර්තා වු ආකාරයට, අගමැතිවරයා විසින් යෝජනා කරන ලද ඇතැම් පුද්ගලයන් අමාත්‍ය පදවිවලට පත්කිරීම ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම තවත් ව්‍යවස්ථා උල්ලංඝණයකි. ඒ කාරණයේදී අගමැතිවරයාගේ උපදෙස් පිට කටයුතු කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයා බැඳී සිටී. ඇත්ත වශයෙන්ම, අමාත්‍ය මණ්ඩලය පිළිබඳ කාරණයේදී ජනාධිපතිවරයාට ඇති එකම කර්තව්‍යය වන්නේ, අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව තීරණය කිරීමත්, අමාත්‍යාංශ සතු විෂයයන් සහ කර්තව්‍යයන් වෙන් කිරීමත් පමණි. එසේ නිශ්චය කරන ලද අමාත්‍යාංශ සඳහා පත්කළ යුත්තේ කවුරුන් ද යන්න තීරණය කිරීම මුළුමණින්ම අගමැතිවරයාගේ කාර්යයකි. එබැවින්, අගමැතිවරයා යෝජනා කළ පුද්ගලයන් ඇමතිවරුන් වශයෙන් පත්කිරීම ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කෙළේ කුමන ව්‍යවස්ථාමය බලයක් මත පදනම්වදැ යි විමසා සිටීමේ අයිතියක් පාර්ලිමේන්තුවට තිබේ.









පොලීසිය හා රජයේ මුද්‍රණාලයත් ජනපති යටතට ගැනීම





අපේ ව්‍යවස්ථාව යටතේ, අමාත්‍යවරයෙකු විය හැක්කේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට පමණි. ආණ්ඩුවේ සෑම විෂයයක්මත්, කර්තව්‍යයක්මත් එකී අමාත්‍යවරුන්ට පැවරිය යුතුව තිබේ. කෙසේ වෙතත්, මීට පෙර නොවූ විරූ විකාර සහගත සංක‍්‍රාන්ති වගන්තියක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කොට තිබේ. ඒ අනුව, ‘‘ආරක්ෂාව, මහවැලි සංවර්ධනය සහ පරිසරයට’’ අදාළ විෂයයන් සහ කර්තව්‍යයන් තමන්ටම පවරා ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේනට අවසර පවරා තිබේ. ඔහු දැන් පාවිච්චි කරන්නේ ඒ අවසරයයි. එහෙත් ඉනුත් එහාට යමින් ඔහු මේ වන විට ‘පොලීසිය’ සහ ‘රජයේ මුද්‍රණාලයත්’ තමන් භාරයට ගෙන, ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ. පොලීසියේ කාර්යය වන්නේ අභ්‍යන්තර ආරක්ෂාව සහ අපරාධ පරීක්ෂණයි. ආරක්ෂක යන්නෙන් අදහස් වන්නේ, බාහිර බලවේගවලින් රාජ්‍යයේ ආරක්ෂාව සලසාලීමයි.









2018 දෙසැම්බර් 28 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මුද්‍රණාලය හා ජාතික මාධය මධ්‍යස්ථානය ජනපති විසින් ආරක්ෂක අමාත්‍යංශයට පවරාගෙන ඇති අයුරු








ආරක්ෂාව හා රජයේ මුද්‍රණාලය සම්බන්ධ වෙන්නේ කොහොමද ? 





ඊටත් වඩා, රාජ්‍ය ආරක්ෂාව සමග රජයේ මුද්‍රණාලය සම්බන්ධ වන්නේ කෙසේදැ යි දන්නවා ඇත්තේ ජනාධිපතිවරයාම පමණි. එබැවින්, පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වන ඇමතිවරයෙකුට පැවරිය යුතු යැයි ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වන විෂයයන් සහ කර්තව්‍යයන් තමන්ගේ භාරයේ තබා ගැනීම ගැනීම ගැන ඔහුට එරෙහිව පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේය.









ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපතිවරයා ය. ඔහුගේම අභිමතය අනුව දැන් මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් නායකයා ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ/එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකු යැයි කියන මහින්ද රාජපක්ෂ දැන් විපක්ෂයේ ද නායකයා යැයි කියැවේ. එබැවින්, ආණ්ඩුවේ නායකත්වය සහ විපක්ෂයේ නායකත්වය ඔහුට එක විට දැරිය හැක්කේ කෙසේද යන්නත්, ඒ භූමිකා දෙකේ එක විට කටයුතු කිරීම ව්‍යවස්ථාවේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය පදනම උල්ලංඝණය කිරීමක් නොවන්නේද යන්නත්, ජනාධිපතිවරයාගෙන් අසා සිටීමට පාර්ලිමේන්තුවට හැකියාව ඇත්තේය.









කථානායකවරයාගේ භූමිකාව






ශ්‍රී ලංකා ජනරජය ජනාධිපතිවරයා විසින් පෙර නොවූ විරූ අරාජකත්වයකට ඇද හෙලූ මාස දෙකක පමණ කාලය තුළ අතිශය ධෛර්ය සම්පන්නව, ගර්වාන්විතව සහ මුහුකුරා ගිය පුද්ගලයෙකු ලෙසින් රටේ යෝනිසෝමනසිකාරය ඇති කැරැවීම සඳහා උර දුන්නේ කතානායක කරු ජයසූරියයි. එබැවින්, අපේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැවත නැවතත් චේතනාන්විතව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඉදිරියට පැමිණ කරුණු දක්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තිය යටතේ කතානායකවරයා වෙත පැවරෙන ව්‍යවස්ථාමය වගකීමකි.

































ආචාර්ය නිහාල් ජයවික‍්‍රම
































(2019 ජනවාරි 7 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “Violating Our Supreme Law: Parliament's Constitutional Duty to Act"නැමති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


මේ මඩවගුරට විධායක ජනපති ක්‍රමය ඕනද ?






ව්‍යවස්ථා අර්බුදයේ අවසානයකට





මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත්, අගමැති වශයෙන් රනිල් වික‍්‍රමසිංහ පසුගිය ඉරිදා පත් කරනු ලැබීමත් සමග, ඔක්තෝබර් මාසයේ සිට මේ රට ගැලී සිටි ව්‍යවස්ථා අර්බුදයේ අවසානයකට අප ළඟා වෙමින් සිටින බවක් පෙනේ. මේ අර්බුදය හටගත්තේ, ජනාධිපති සිරිසේන විසින්ම පාර්ලිමේන්තුව හරහා ගෙන එන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව ඔහු විසින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහව අදූරදර්ශී ආකාරයෙන් එම ධුරයෙන් පහකරනු ලැබීමත් සමග ය.





මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබුණු අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ඔහුව අගමැති ධුරයට පත් කරනු ලැබීම මගින් මුළු රටම අවුලකට ඇද දමන ලදී. එසේම ඒ ක‍්‍රියාව, ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ අවස්ථාවක් වශයෙන් ද සනිටුහන් වුණි. අලුතෙන් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ගත නොහැකි වූ විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැර ඊළඟ මහ මැතිවරණයකට දින නියම කෙළේය.





එහි ප‍්‍රතිඵලයක් වූයේ ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේත්, අලූත් අගමැතිවරයෙකු ඇතුළු අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම අභියාචනාධිකරණය ඉදිරියේත් අභියෝගයට ලක්වීම ය. අගමැති රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්වා ගැනීමට නොහැකි වූ පසු ඔවුන් කෙළේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමයි. ඒ සඳහා ඔවුන් හේතුවක් කර ගත්තේ, කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කරන්නේය යන චෝදනාවකි.





මෙහිදී, මහින්ද රාජපක්ෂට අගමැති තනතුර හෙබවීමට බලයක් නැති බව ප‍්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 කුගේ අත්සනින් යුතුව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණි. ඒ අනුව, දෙසැම්බර් 3 වැනි දා නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය, පෙත්සම විභාග කොට අවසන් වන තෙක්, මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ ක‍්‍රියාකාරීත්වය වාරණය කෙළේය. එහිදී දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම් සැලකිල්ලට ගැනීමෙන් පසුව අභියාචනාධිකරණය කියා සිටියේ බලයක් නැති පුද්ගලයෙකු අගමැතිවරයෙකු හෝ කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කිරීම මගින් පිළිසකර කළ නොහැකි හානියක් රටට සිද්ධ විය හැකි බවයි.





අනතුරුව දෙසැම්බර් 13 වැනි දා සත්-පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්, ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම ව්‍යවස්ථා විරෝධී බව ඒකමතිකව තීන්දු කෙළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටවත්, හදිසි මහ මැතිවරණයක් කැඳවීමටවත් ජනාධිපතිවරයාට බලයක් නැති බව එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුනි. ඔක්තෝබර් 26 වැනි දා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහව එම ධුරයෙන් අහෝසි කිරීමේ පටන් ජනාධිපතිවරයා විසින් ඇති කළ අවුල මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග තවත් උග‍්‍ර විය.






ජනපති ඝාතනය ගැන කිසිම සාක්ෂියක් නැහැ









ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් තිබිණැයි කියන සිද්ධිය අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් බරසාරව සැලකිල්ලට ගෙන කටයුතු කෙළේ නැති බව ජනාධිපතිවරයාගේ එක් චෝදනාවකි. ඇත්ත වශයෙන්ම රනිල් වික‍්‍රමසිංහව එම ධුරයෙන් ඉවත් කිරීමට අවසාන වශයෙන් පාදක වුණේ එම කාරණය බව ජනාධිපතිවරයා කියයි. එහෙත් කණගාටුවට කාරණය වන්නේ, ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තිබූ එවැනි කුමන්ත‍්‍රණයක් පිළිබඳ කිසි සාක්ෂියක් ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණ මගින් හෙලිවී නොතිබීමයි. ඒ මගින් පැහැදිළි වී ඇත්තේ මේ ඝාතන කුමන්ත‍්‍රණ නාටකය මගින් මුළු රටක්ම අවුලකට ඇද දැමූ බවත්, මාස දෙකකට ආසන්න කාලයක් ආණ්ඩුවක් නොමැතිව ගමන්ට කිරීමට මේ රටට සිදු වූ බවත් ය.





මේ අතර, ‘අලූතෙන් පත්කළ ආණ්ඩුව’ පාර්ලිමේන්තුව තුළ යකා නැටීමත්, ඉවත් කළ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු පිහියක් වැනි ආයුධයක් පාර්ලිමේන්තුව තුළ තර්ජනාත්මකව ප‍්‍රදර්ශනය කිරීමත් සමග දෙපාර්ශ්වය අතර ගැටුම තවත් තීව‍්‍ර විය. කෙසේ වෙතත්, අභියාචනාධිකරණය මගින් රාජපක්ෂ ඇතුළු පිරිස වාරණය කරමින් දෙන ලද තීන්දුව ඉවත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කිරීමත් සමග මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස් විය.





මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ආණ්ඩුවකින් තොරව ගමන් ගත් රටට ඒ අර්බුදයෙන් ගොඩඒමට දැන් පිළිවන් වෙතැයි සිතිය හැකිය. තාවකාලික අයවැය යෝජනාවක් දැන් සම්මත කර ගත හැකිය. එවැන්නක් නොමැතිව, 2019 ජනවාරි මාසය වන විට මුළු රටම එක තැනක හිර වීමට තිබුණි. මන්ද යත්, ආණ්ඩුකරණය සඳහා අවශ්‍ය කරන කිසි මූල්‍ය ප‍්‍රතිපාදනයක් සලසා ගැනීමේ වෙනත් ක‍්‍රමයක් නොවුණු බැවිනි. ලබන වසරේ ගෙවීමට නියමිත ඩොලර් බිලියනයකට වැඩි මුදල පවා සම්පාදනය කර ගැනීමේ හැකියාවක් අපට නොතිබුණි.





මේ අවුල් වියවුල් සියල්ල ඉදිරියට ඇදෙද්දී ජනාධිපති සිරිසේන එක දිගටම කියමින් සිටියේ, රනිල් වික‍්‍රමසිංහව අගමැති ධුරයට පත් නොකරන බවයි. කෙසේ වෙතත්, අවසානයේදී සිහි කල්පනාවෙන් යුත් යම් උපදෙසක් මත, පසුගියදා (දෙසැම්බර් 16) රනිල් වික‍්‍රමසිංහ එම තනතුරේ පිහිටුවීමට ජනාධිපතිවරයාට සිදු විය.





මේ දෙමාසයක වින්නැහියෙන් රටට අත් වූ එක දෙයක් තිබේ. එනම් ජනාධිපති තනතුරත්, පාර්ලිමේන්තුවත් හෑල්ලූවට ලක්වීමයි. එසේම ඒ ප‍්‍රශ්නය නිසා පෙන්නුම් කළ තවත් කාරණයක් ද තිබේ. එනම්, තනි පුද්ගලයෙකුගේ අතේ බලය ගොනුවන විධායක ජනාධිපති ක‍්‍රමයක් විසින් රටකට කළ හැකි විපත කොතරම් ද යන්නයි. ඒ අනුව, මේ දක්වා සෑම දේශපාලන පක්ෂයක් විසින්ම විටින් විට හෙළාදැක ඇති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ හදිසි වැදගත්කම අපට ඒ මගින් අවබෝධ කර දී තිබේ.





















(2018 දෙසැම්බර් 17 වැනි දා ‘ඩෙිලි මිරර්’ පුවත්පතේ පළවූ,  “A President Stopped in his Tracks & A Country in a Quagmire"  නමැති කතුවැකියේ සිංහල පරිවර්තනය .  ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)


මහින්ද යයි - රනිල් නැවත අගමැති පදවියේ අනිද්දා දිවුරුම් දීමට නියමිතයි






අනිද්දා දිනයේදී (දෙසැම්බර් 16 ඉරිදා) උදෑසන 10.00 ට රනිල් වික්‍රමසිංහ නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. 





එමෙන්ම, එළඹෙන සඳුදා (17) නව කැබිනට් මණ්ඩලය ද දිවුරුම් දීමට නියමිතය. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනපති විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ට්වීටර් ගිණුමේ සඳහන් කර තිබේ. 





 






නාමල් රාජපක්ෂ මහතා සිය නිළ ට්වීටර් ගිණුමට නිකුත් කරඇති පණිවිඩය








කෙසේවුවත්, ජනපති කාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශයට පත්කර නැත. 



















පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය අවලංගු කරාවිද ?




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද (5) දිනයේදී අවලංගු කිරීමට සූදානම් බව  නිළ නොලත් ආරංචි මාර්ග හරහා වාර්තා වෙයි.





 

මැතිවරණයක් වුවමනා කාහටද? කුමකටද?

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

මැතිවරණ වනාහි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ මූලිකාංගයකි. නුතන රාජ්‍යයන්හි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ක්‍රියාවට නැංවෙන්නේ මහජනතාව මැතිවරණවලදී සිය ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයන් මගින්බැවින් අප එය හඳුන්වන්නේ “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙනි. ඒ අනුව මහජන නියෝජිතයන් යනු, මහජන මතයේ ප්‍රකාශනය වන අතර, ඔවුන් විසින්තමා ව්‍යවස්ථාදායකය වෙත තෝරා පත්කර එවන ලද ජනතාව නියෝජනය කළ යුතු ද වේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය වෙත අවධානය යොමු කිරීමේදී ප්‍රධාන ප්‍රවණතා කීපයක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න නම්, ජනාධිපතිවරයා විසින් හදිසියේ කුමන්ත්‍රණකාරී ලෙස නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා ඉවත්කර, ඔහුම ප්‍රධාන කොටගත් බලවේග විසින් 2015 දී පරාජයට පත්කළ දූෂිත යැයි චෝදනා ලත් අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීම යන කාරණය සපුරා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී  ක්‍රියාවක් ලෙස ගෙන ඊට විරුද්ධව රට පුරා විවිධ පිරිස් විසින් නොනවත්වා ගෙන යන අරගලයයි.

දෙවැන්න නම්, ජනාධිපතිවරයාගේ සියලු අත්තනෝමතික ක්‍රියා සාධාරණීකරණය කරමින් රාජපක්ෂවාදී වහල් ස්ථාවරයේම සිටිමින් අවිචාරවත් ලෙස ඔවුන්ගේ සියලු දූෂිත ක්‍රියා නොදුටුවාසේ නැවත රජ පවුලක් පාලන බලයට ගෙන ඒම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින පිරිසගේඅතාර්කික බලමුළුව යි.

තෙවැන්න නම්, කුමන පාර්ශවයක් නියෝජනය කරන්නේ දැයි පැහැදිලිව සිතාගත නොහැකි නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පිරිස පිළිබඳව යම් යම් පෞද්ගලික අමනාපකම් ඇති කරගත්, සැඟවී පහරදීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පරාජය කිරීමට උත්සාහ දරනපිරිසගේඅවස්ථාවාදී බලවේගයයි.මොවුන්ගේ හැසිරීම මගින් පිළිබිඹු වන්නේ දිනන පැත්තට සහාය පළකර වරප්‍රසාද දිනා ගැනීමේ චේතනාව යි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීමට වඩාත්ම වුවමනා වී ඇත්තේ ද ඒ වෙනුවෙන් තම කාලය විශාල ලෙස කැප කරන්නේ ද මේ පිරිසයි. අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව අක්‍රිය කර, ජනමතය මුදලට ගන්නට උත්සාහ දරනජනාධිපතිවරයා සහ ඔහුගේ පිහිටෙන් “ගොඩ යාමට” තැත් කරමින් සිටින දූෂිත මහජන නියෝජිතයන් විසින් ද එක හඬින් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසයි. මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම්, මෙම පිරිස් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුනාගන්නේ මැතිවරණය පැවැත්වීම පමණක් ද යන්නයි. ශ්‍රී ලංකාවේ මේ මොහොතේමැතිවරණයක් අවශ්‍ය කාටද? පැහැදිලි බහුතරයක් සහිත දැනට තිබෙන පාර්ලිමේන්තුව ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මැතිවරණයක් යනු,එක් එක් පුද්ගලයන්ගේ පුද්ගලික බල ආශාවන් මුදුන්පත් කර ගැනීම අරභයා, සිතැගි අවස්ථාවක පැවැත්විය හැකි ක්‍රියාවලියක් නොවේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම් ඒවා නිසි කලට නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීම අත්‍යවශ්‍යය. මැතිවරණ පැවැත්විය යුතු නිසි කාල සීමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ එබැවිනි. රාජ්‍යයක සමස්ත ආණ්ඩුකරණයාන්ත්‍රණය යම් නිශ්චිත කාල වකවානුවක් තුළ පවත්වාගෙන යාම යන භාරදූර වගකීමපැවරීම අත්තනෝමතික ලෙස කළ නොහැකිය. මැතිවරණ සඳහා වැය කරනුයේ මහජන මුදල් ය; ඒවායේදී විමසන්නේ මහජන මතයය. එසේනම් මැතිවරණ සම්බන්ධයෙන් තීරක බලය තිබෙන්නේ මහජනතාවටය. 2015 අගෝස්තුවේදී මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් ජනතා නියෝජිතයන්225 ක ගෙන් යුතු පාර්ලිමේන්තුව, එය විසුරුවා හරින ලෙස මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියයොත් හැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, 2020 පෙබරවාරි දක්වා වසර හතරහමාරක් යන තෙක් පැවතිය යුතුය. ඒ අනුව එම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එහි මන්ත්‍රීවරු තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියේ නැත; එහි කටයුතු කරගෙන යාමට නොහැකි ආකාරයෙන් ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ද නැත. එසේ නම් ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති පාර්ලිමේන්තුව සිතාමතා අක්‍රිය කරමින් මහත් අර්බුදයකට තල්ලු කර දමා තිබෙන්නේ, ජනාධිපතිවරයා සහ ඔහු වටා ගොනු වී සිටින කීප දෙනෙකුගේ පුද්ගලික අභිමතාර්ථ සාධනය කර ගැනීමට විනා, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම පිණිස නොවන බව ඉතා පැහැදිලිය.

පෙර සඳහන් කළ පිරිස් අතරින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නන් හැර සෙසු පිරිස් කීමට උත්සාහ කරන දේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය. ඔවුන්ට අනුව, වර්තමාන පාර්ලිමේන්තුව සත්ත්ව උද්‍යානයකි; එහි කාර්යයන් කරගෙන යාමට කථානායකවරයාට පොලිස් ආරක්ෂාව නැතුව බැරිය;කථානායකවරයාපක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන, බටහිර රාජ්‍යයන්ගේ ගැත්තෙකි;කථානායකවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමටවත් නොහැකි ලෙස හැසිරෙන මහජන නියෝජිතයන්ගෙන් යුතු වර්තමාන පාර්ලිමේන්තුවෙන් පලක් නැත; එබැවින් මැතිවරණයක් වහාම පවත්වා, නව මහජන නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළ යුතුය.

දැන් මෙම තර්ක දෙස බලා අපටනිගමනය කළ හැක්කේ මොනවාද? පාර්ලිමේන්තුවේ විනය විරෝධී ලෙස හැසිරෙමින් කථානායකවරයාට කටයුතු කිරීමට ඉඩ නොදුන්නේ කවුද? ඔවුන් එසේ කළේ ඇයි? පාර්ලිමේන්තුව සත්‍ත්ව උද්‍යානයක් බවට පත් කළේ කවුරුන් ද? ඒ ආකාරයේ හැසිරීම් සඳහා අණ ලැබුණේ කාගෙන්ද? කතානායකවරයා කළ යුත්තේ මැරවරයන් ලෙස හැසිරුණු මහජන නියෝජිතයන් සුළුතරයකට යටත්වී බහුතරය නොසලකා හැරීම ද? සුළු පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩු බලය බලෙන් අල්ලා ගැනීමට ගත් වෑයම අසාර්ථක වීම තුළ හදිසි මැතිවරණයක් කැඳවා ඔවුන්ට සහන සැලසිය යුතු ද? උත්තරීතර මහජන පරමාධිපත්‍යය අමු අමුවේ කෙළෙසීම වෙනුවෙන් ලබාදෙන සහනයක් ලෙස මහජන මුදල් කෝටි ගණන් වැය කර, අනවශ්‍ය මොහොතක පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු ද? මහජනතාව එවැන්නක් ඉල්ලා නැත; පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරය නියෝජනය කරන කිසිදු පක්ෂයක් එසේ ඉල්ලා නැත. සුළුතර කණ්ඩායමක් විසින් සිය දූෂිත ගනුදෙනු වසාගැනීම සඳහා බලය අත්තනෝමතික ලෙස උදුරා ගැනීම සාධාරණීකරණය කිරීම අරමුණු කරගෙන පමණක් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනු පෙනේ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මේ මොහොතේ පෙනෙන්නේ මැතිවරණයක් පැවැත්වීම පමණි.

මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක් වුවද, එම මැතිවරණ පැවැත්වෙන්නේ අසාධාරණ වටපිටාවක සුළු පිරිසකගේ මනදොළ සැපිරීමට නම්, ඒවා නිසිකලට නොපවත්වන මහජන මුදල් නිකරුණේ වැය කරන මැතිවරණ නම්, ඒවා ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරනු මිස ජනතා පරමාධිපත්‍ය සුරැකීම අරමුණු නොකරයි. ඛේදවාචකය නම්, හදිසි මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දකින්නන්, තමා සහයෝගය දක්වන පිරිසගේ සෙසු සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන නිහඬ පිළිවෙතයි. ඔවුන්ට මැතිවරණයක් පැවැත්විය යුතුයැයි කියන විට එසේ කීමට බල පෑ සෙසු වටපිටාව නොපෙනී යයි. අත්තනෝමතික ලෙස නීත්‍යානුකූල අගමැතිවරයා ඉවත් කර, පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය නොමැති අයෙකු නව අගමැති ලෙස පත් කිරීම, බහුතරය මිලයට ගනු වස් සහන කාලයක් ලබා ගැනීම පිණිස  පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම, එසේ කිරීම මගින් ද බහුතරය සකසා ගතනොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අධිකරණ නියෝගය හෑල්ලුවට ලක් කරමින් ඊට බලපෑම් කිරීමට උත්සාහ කිරීම, යුක්ති ගරුක නිලධාරීන් සිතාමතා නිලතලවලින් ඉවත්කරමින් අපරාධ විමර්ශන කටයුතුවලට බාධා කිරීම ආදී වශයෙන් ඔක්තෝබර් 26 වැනි දා සිට මේ දක්වා ජනතාව රවටමින්, රට අරාජික කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ අන්තේවාසිකයන් විසින් ගෙනයන අත්තනෝමතික ක්‍රියාවන් කිසිවක් ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කීමට මොවුන්ට වුවමනා නැත.

නිර්ලජ්ජී ලෙස බොහොමයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් සිටී. ඔවුන් සියල්ලන්ටම අවශ්‍ය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහාමැතිවරණයක් අවශ්‍ය බව කියමින් රටේ සියලු  ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙළෙසීමට බලපත්‍රයක් ලබා ගැනීමටයි.කෘතහස්තයැයි කියාගන්නා මාධ්‍යවේදීන්ද, ශාස්ත්‍රඥයන්ද, නීතිවේදීන් ද තම ආත්ම පාවාදෙමින් මැතිවරණයක් වෙනුවෙන් පෙළ ගැසී සිටින්නේ, දූෂිත මැතිවරණයක් මගින් බිහි කර ගන්නා රෙජීමයක වරප්‍රසාද භුක්ති විඳීමට මිස පොදු ජන යහපත පිණිස නොවන බව ඉතා පැහැදිලිය.

කණගාටුව නම්, ප්‍රජාතන්ත්‍රවාදය යන්න අකලට පවත්වන මැතිවරණයක් දක්වා ඌනනය කරමින් සෙසු සියලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතකා හැරීම මගින් තහවුරු වන ලාංකීය සමාජ දේශපාලන විඥානයේ දුගීභාවය යි. මෙය විසින් ලාංකීය සමාජය පතුල නොපෙනෙන අගාධයකට ගෙන යනවා පමණක් නොව ලෝකයේ කොන් වූනොදියුණු අරාජික රාජ්‍යයක් බවට ද පත් කරමින් තිබේ. වගකිවයුතු පුරවැසියන් ලෙස අප කළ යුත්තේ මැතිවරණ ඉල්ලා පුහු තර්ක  ගෙනැවිත් අවස්ථාවාදී දේශපාලකයන්ට තම පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා සහාය දීම නොව, ඊට එරෙහිව ජනතා පරමාධිපත්‍යය සුරැකීම පිණිස ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරීත්වයට තිබෙන අනර්ථකාරී බාධා ඉවත් කිරීමට අරගල කිරීමයි.එනම්, මේ මොහොතේ දැවෙන අවශ්‍යතාව වන්නේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික  බල ක්‍රියාකාරිත්වයට තිරිංග යෙදීමයි.

 

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය  

රුහුණු විශ්වවිද්‍යාලය 

‘‘රට ව්‍යාකූල නොකර ඉවත්ව යන්න‘‘ - බහු ආගමික කණ්ඩායමක් ජනපති ඇතුළු පිරිසගෙන් ඉල්ලයි

ආගමික නායකයින් ද ඇතුළු බහු ආගමික කණ්ඩායමක් විසින් ජනාධිපතිතුමා ඇතුළු සියළු දේශපාලන නායකයින් විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ජනපතිතුමා ඇතුළු දේශපාලන බලාධිකාරිය විසින් මෙරට මිලියන විසි එකක ජනතාව ඇපයට ගෙන රට තුළ දීර්ඝ කාලීන ව්‍යාකූලත්වයක තවදුරටත්  රඳවා තබාගැනීමට කිසිදු අයිතියක් නැති බවත් නැතහොත් ඉවත්ව යන ලෙසත් මෙමගින් අවධාරණය කර ඇත. එම ප්‍රකාශය පහතින් වේ. 

 

‘‘ජනාධිපතිතුමා සහ සියළු දේශපාලන නායකයන් වෙත ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන ආගමික නායකයන්ද ඇතුළු බහු ආගමික කණ්ඩායමක් විසින් කිසිම පෞද්ගලික අපේක්ෂාවකින් තොරව මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ ය.

 

අප මාතෘ භූමිය අද දින මුහුණ දෙමින් සිටින තත්ත්වය පිළිබඳ ඇතිවී තිබෙන බලවත් කනස්සල්ල සහ බිය අප සියලු දෙනාටම එක්ව එක් හඬකින් කථා කිරීමට බල කෙරී ඇත. 2018 ඔක්තෝබර් මස 26 වන දින සිට මේ රටේ පුරවැසියන් සියලු දෙනාම ව්‍යාකූල සහ අවුල් සහගත එමෙන්ම බිය සහ කනස්සල්ලෙන් යුතු තත්ත්වයකට පත්කර ඇත. දිනෙන් දින එකකට පසුව එකක් වශයෙන් සිදුවූ දේශපාලන සිදුවීම් අප සියලු දෙනා තවතවත් ව්‍යාකූලත්වයට, ශෝකයට මෙන්ම අනුක්‍රමයෙන් වර්ධනය වූ අපේක්ෂා භංගත්වයට පත් කර තිබේ. මෙම අර්බුදයට වගකිවයුත්තේ වෙන කිසිවෙකු නොව, අප රටේ මහජනතාව විසින් විශ්වාසය තබන ලද ඔබ සියලු දෙනායි. රට වැසියන් අතරමං කරන ලද මෙම බරපතල විශ්වාසය බිඳ දැමීමේ ක්‍රියාවලියේ මූල හේතුව ඔබ සියලු දෙනාගේ නොවැදගත් දේශපාලන න්‍යාය පත්‍ර සහ බල ලෝභය බව ඉතා දැඩිලෙස අවධාරණය කරමු.

මහජනයාගේ අවශ්‍යතාවලට ද රටේ සංවර්ධනයට ද වඩා ඔබ සියලු දෙනාගේ බලතණ්හාව වඩාත් ඉස්මතුවී ඇති බව පෙනේ. ඔබ සැම මහජනතාවගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩකොට ඇති අතර ඔබ සැමගේ ප්රකාශන වලින් තවදුරටත් මේ රටේ ජනතාව සහ රට ඔබට වැදගත් වන බව අපට ඒත්තු ගැන්විය නොහැකිය. අප ජනතාවගෙන් අති බහුතරය පසුගිය සති කිහිපය තුළ මෙම විනාශකාරී ක්‍රියා කළාපයේ වර්ධනය ඉවසිල්ලෙන් සහ නිශ්ශබ්දව බලා සිටි බව ඔබ සැම දැනගත යුතුය. දේශපාලන අධිකාරියේ ඉහළම තනතුරු දරන ඔබසැම ජනතාවගේ නීත්‍යානුකුල අයිතීන් සහ ඔවුන්ගේ ශුභ සිද්ධිය නොතකා හරිමින් ‘යහපාලනය’ පිලිබඳ ඔබගේ වගකීම් පැහැර හැර කටයුතු කළ ආකාරය ඔවුහු බලා සිටියහ.

එමෙන්ම අපගේ සමාජයේ ඇති සදාචාරසම්පන්න භාවයේ සමස්ත ව්‍යුහය ඉරා දමා ඇති බවත්, රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජිවන මාර්ග වල සුරක්ෂිත තාව නැවත ගොඩ නැගිය නොහැකි මට්ටමේ තර්ජනයකට ලක් කර ඇති බවත් ජනතාව ඉවසිල්ලෙන් බලා සිටියහ. මෙම අර්බුදයේ හේතුව ඔබ සැම වන බැවින් මෙය විසඳීමේ වගකීම ද ඔබ සියලු දෙනා සතුය. එකිනෙකාට දෝෂාරෝපනය කිරීමෙන් අප වැටී ඇති අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමට නොහැක. මෙම තත්ත්වය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකිය. එමෙන්ම ජනතාවට මෙම වාතාවරණය තවදුරටත් දරා ගත නොහැකි අතර ඔවුන්ගේ ඉවසීම අනුක්‍රමයෙන් හීන වෙමින් පවතී.

ඔබ සැම ගේ වැරදි පිළිගෙන රට සහ ජනතාවගේ අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය දී සියළු දෙනා එක්වී සාකච්ඡා කරන්න. රටේ ව්‍යවස්ථාවට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන්ට ගරු කරමින් ස්ථාවර පාලනයක් ඇති කිරීමෙන් නීතිය හා සාමය තහවුරු කිරීමට කටයුතු කරන්න. මෙම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නායකත්වය දෙමින් ඒ සඳහා කැප කිරීම් කරන ඔබ සැම අතුරෙන් යම් කිසිවකු වේ නම් ඔහු හෝ ඇය, විශේෂයෙන්ම මැතිවරණ සමයේ, ජනතාවගේ මතකයේ රැඳෙනු ඇත.

එක් දෙයක් නිශ්චිතය. එනම්, මිලියන විසි එකක ජනතාව ඇපයට ගෙන ඔවුන් දීර්ඝ කාලීන ව්‍යාකූලත්වයක තවදුරටත් රඳවා තබා ගැනීමට ඔබ කිසිවෙකුටත් කිසිම අයිතියක් නැත. ඔබ දැන් ප්‍රතිඵල පෙන්විය යුතුය. නැතහොත් එසේ කළ හැකි අයට ඉඩ දී ඉවත්ව යා යුතුය. ඔබ සැම ඉදිරියේ ඇති ගෞරවණීය විකල්පය මෙයයි.‘‘  

 

 

 

 

ව්‍යවස්ථාවට එරෙහිව යක්ෂාවේශවී සිටින ජනාධිපතිවරයෙක්

- ගාමිණී වියන්ගොඩ - 


 

විධායක ජනාධිපතිගේ ආශාවන් හා රුචිකත්වයන් අනුව රාජ්‍ය පාලනයක් ගෙන යන පළමු වතාව


රටේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නොව, රටේ විධායක ජනාධිපතිවරයාගේ ආශාවන්ට සහ රුචිකත්වයන්ට අනුව රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන නිදහස් ලංකාවේ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයා විසින් පත්කරන ලදැයි කියන ආණ්ඩුවක් වශයෙන් ආණ්ඩු දෙකක් මේ අවස්ථාවේ රටේ  පවතින බවක් පෙනේ. ආණ්ඩු දෙකක් එක විට රටක පැවතීම තාර්කික නැත. ව්‍යවස්ථානුකූල නැත. එනිසා, දැනට රටේ කිසි ආණ්ඩුවක් නොපවතින බව කතානායකවරයා ප‍්‍රකාශයට පත්කොට තිබේ. එවැනි තත්වයක් හැඳින්වෙන්නේ අරාජිකත්වයක් වශයෙනි.


ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සිටී. පත්කරන ලදැයි කියන ආණ්ඩුව, පාර්ලිමේන්තුවෙන් පිටත සිට රට මෙහෙයවයි. ඒ පාර්ලිමේන්තුවෙන් පිටස්තර ආණ්ඩුව විධායක ජනාධිපතිවරයාගේ මනදොළ අනුව පත්කර ගත් ‘ආණ්ඩුව’ වන නිසා, පොලීසිය සහ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය පාලනයේ මර්මස්ථාන ඔවුන් අත්කරගෙන සිටී. ඇඟට දැනෙන ආණ්ඩුව ඔවුන්ගේ ය. ඒ නිසාම, විධායකය සතු ව්‍යවස්ථා-විරෝධී එකී පාලනය ‘ආණ්ඩුව’ වශයෙනුත්, ව්‍යවස්ථානුකූල පාර්ලිමේන්තු ආණ්ඩුව ‘විපක්ෂය’ වශයෙනුත්, බහුතරයක් මාධ්‍ය තුළ සහ සාමාන්‍ය ව්‍යවහාරය තුළ, මේ අවස්ථාවේ හැඳින්වෙනු දක්නට ලැබේ.


ආණ්ඩුව යැයි කියන පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ලොව එකම රට ලංකාවයි


තමන් ආණ්ඩුව යැයි කියා ගන්නා පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ එකම රටත් ලංකාවයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ, විපක්ෂ කණ්ඩායම් සහ සුළුතර කණ්ඩායම් විසින් පාර්ලිමේන්තුව වර්ජනය කරනු ලැබීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ හැම තැනකම පාහේ පාර්ලිමේන්තු බහුතරයකින් ආණ්ඩුවක් සමන්විත වන්නේ වුවත්, සුළුතරයේ ආණ්ඩු රටවල් කරවන අවස්ථා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය තුළ නැතිවා නොවේ. එහෙත් ඒ, පාර්ලිමේන්තුවේ වෙනත් පාර්ශ්ව සහ පක්ෂවල නිල නොවන සහයෝගය මත ය. මන්ද යත්, රාජ්‍ය පාලනය සඳහා සෑම කටයුත්තකටම පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය කරන බැවිනි. එනිසා, තනි පක්ෂයකට බහුතරයක් නැතත්, වෙනත් පක්ෂවල සහයෝගයෙන් සුළුතර ආණ්ඩුවක් කරගෙන යාමට පුළුවන් කමක් තිබේ.


 

එහෙත් ලංකාවේ ජනාධිපතිවරයාගේ වර්තමාන ‘ආණ්ඩුව’, ඒ දෙකෙන් එකකටවත් නොගැනෙන පාලනයකි. එය, බහුතර ආණ්ඩුවක් වන්නේත් නැත. සුළුතර ආණ්ඩුවක් වන්නේත් නැත. බහුතර ආණ්ඩුවක් නොවන්නේ, පාර්ලිමේන්තුව තුළ තමන් කෙරෙහි වන බහුතරයක් පෙන්වීමට මේ දක්වා එය අසමත්ව ඇති බැවිනි. සුළුතර ආණ්ඩුවක් නොවන්නේ, එවැනි සුළුතර ආණ්ඩුවක් වශයෙන් පවා පාර්ලිමේන්තුව තුළ පෙනී සිටීම ඔවුන් ස්වේච්ඡුාවෙන්ම මේ මොහොතේ අතහැර දමා ඇති බැවිනි. එය අද හුදෙක්, විධායක බලය දරණ එක පුද්ගලයෙකුගේ ආශාවක් සහ රුචිකත්වයක් මත කටයුතු කිරීම සඳහා, පාර්ලිමේන්තුවෙන් පිටස්තරව පවත්වාගෙන යන රංචු ගැසීමකි. මේ කාරණය, හුදෙක් දේශපාලන සංවාදයක් තුළ සාමාන්‍යයෙන් කෙරෙන ආකාරයේ ‘අනෙකා’ හෙලාදැකීමක් වශයෙන් නොගන්න. එය ඔබටම වාස්තවික පරීක්ෂාවට ලක්කළ හැකිය.


දැන් පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින මන්ත‍්‍රීන් සංඛ්‍යාව කීයද ? එය ගණන් බැලිය හැකි එක ක‍්‍රමයක් වන්නේ, දැන් පාර්ලිමේන්තුවට සහභාගී වන මන්ත‍්‍රීන් සංඛ්‍යාව ගණන් බැලීමෙනි. ඒ ප‍්‍රමාණය, (අර, සේනානායක පවුලෙන් පැවත එන්නේ යැයි කියන ‘භාණ්ඩය’ මේ මොහොතේ සිටින ස්ථානය අනුව ගත් විට) 123 කි. පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීන් සංඛ්‍යාව 225 කි. ඒ අනුව, පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ 102 කි. (ඒ අතරේ, වර්ජනය කිරීමට නොව, වෙනත් හේතු නිසා පාර්ලිමේන්තුවට නොඑන පිරිසකුත් සිටිති.) ඒ කෙසේ වෙතත්, මේ සමස්තය, මොන පැත්තකින් ගත්තත් සුළුතරයක් මිස බහුතරයක් නොවේ. පසු ගිය ඔක්තෝබර් 26 වැනි දා සිට, ජනාධිපති සිරිසේන ගණිත පටලැවිල්ලක සිරව සිටී. ගණිතය තරම් නිශ්චිත දෙයක් විද්‍යාව තුළ නැත. ඒකක දෙකට, ඒකක දෙකක් එක් කළ විට, එය ඒකක හතරක් බව ව්‍යවහාරික ලෝකය ඒකමතිකව පිළිගනී. එහෙත් එතරම් නිශ්චිත නැති මුත් සාමාන්‍ය ඇසට පැහැදිළිව පෙනෙන තවත් කප්පරක් දේවල් ගැන කිසි ලැජ්ජාවකින් තොරව මේ වන විට බොරු කරන සහ බොරු කියන සිරිසේන, මේ අංකගණිතය ගැනත් දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ බොරු කරමින් සිටී. ඔහු කියන්නේ, 102 යනු පාර්ලිමේන්තුවේ බහුතරය බවයි.



රාජපක්ෂලා මේ සැකහැර ඔප්පු කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට නැති බවයි


 මේ මගින් රාජපක්ෂලා සැක හැර ඔප්පු කොට පෙන්වා ඇත්තේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් තමන්ට නොමැති බවයි.


පසුගිය 25 වැනි දා විදේශ මාධ්‍යවේදීන් සමග පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත තිබුණත් රනිල් වික‍්‍රමසිංහට හෝ සරත් ෆොන්සේකාට තමා අගමැති ධුරය නොදෙන බවයි. මේ ගැන අපේ රටේ උත්තරීතර ලියවිල්ල වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ කුමක් ද ?


‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.’’ (ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42 (4) වගන්තිය).


එහෙත් ඉහත කී පරිදි, රනිල් වික‍්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා වෙත පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුම් කළත් තමා ඒ දෙන්නාගෙන් කිසි කෙනෙකු අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරන්නේ නැතැයි ජනාධිපතිවරයා කියන විට, ඉහත කී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය අපට කියැවීමට සිද්ධ වන්නේ මෙසේය:


‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව, පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති, රනිල් වික‍්‍රමසිංහ හෝ සරත් ෆොන්සේකා නොවන, මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය’’.


ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද ? 


මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවබෝධ කරගෙන ඇති පරිදි, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු, තමාගේ අභිමතයට අනුගතව, තමාට පහළින් සහ තමාට යටත්ව සිටින ලියවිල්ලක් විය යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන නැමැති පුද්ගලයා මේ රට කරවන්නේ 1815 ට කලින් දවසක විණි නම්, ඔහුගේ මේ කල්ක‍්‍රියාව අපට යුක්ති සහගත කර ගැනීමට ඉඩ තිබුණි. එදා ලංකාවේ පැවති රජ ක‍්‍රමයට අනුගත සම්ප‍්‍රදාය යටතේ, රජුට බලය පැවරුණේ දළදා ස්වාමීන් වහන්සේගෙන් ය. දළඳා ස්වාමීන් වහන්සේ අත්පත් කර ගත් තැනැත්තා ලංකාවේ රජ කමට සුදුස්සා බවට සම්මතයක් එදා තිබුණි. ඊට තරමක් ඈත කාලයක, එනම් 18 වැනි සියවසේ අවසාන කාලයට ඉහතින් යුරෝපයේ රාජ්‍ය ක‍්‍රමයේ සම්මත සම්ප‍්‍රදායත් එයම විණි. ඔවුන්ගේ රජවරුන්ට රාජ්‍යත්වයේ බලය ලැබුණු බව විශ්වාස කෙළේ දෙවියන් වහන්සේගෙනි. එනම්, ලෝකයේ හැම තැනකම රජුගේ හෝ නායකයාගේ බලයේ උල්පත වුණේ ලෝකෝත්තර ප‍්‍රභවයක් බවයි. මේ ලෝකෝත්තර මූලාශ‍්‍රය හෙවත් බලයේ ප‍්‍රභවය සාමාන්‍ය ජනතාවට පරීක්ෂාවට ලක්කළ නොහැකි විය. ඒ රාජකාරිය එදා ඉෂ්ට කෙළේ, පූජක පංතියයි. යුරෝපයේ නම් පල්ලිය ය. ලංකාවේ නම්, පන්සල ය.



ලෝකයා, එම රාජ්‍ය ක‍්‍රමයෙන් ප‍්‍රජානත්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමයට සංක‍්‍රමණය වූ පසු, මේ බල මූලාශ‍්‍රය උඩුයටිකුරු විය. එය, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන වචනය තුළම ගැබ්ව තිබේ. ප‍්‍රජාව යනු ජනතාවයි. තන්ත‍්‍රය යනු පාලනයයි. එනම් ජනතාවගේ පාලනයක් බව ය. එහිදී, බලය උත්පාදනය වන්නේ හෙවත් බලයේ තිඹිරිගෙය වන්නේ, දෙවියන් වහන්සේ හෝ ආගමක් හෝ නොව, ජනතාව ය. එය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ මෙසේ සඳහන් කොට තිබේ:


‘‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.’’


ඒ පරමාධිපත්‍යයේ ස්වභාවය සහ එය ක‍්‍රියාත්මක වන ආකාරය දන්වා ඇති ලියවිල්ල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. දෙවියන් වහන්සේගෙන් එදා රජුට ලැබුණු බලය පාලනය කිරීමට දෙවියන් වහන්සේ මහ පොළොවේ වැඩ සිටියේ නැත. මහ පොළොවේ පය ගසා සිටි මහජනතාවට දෙවියන් වහන්සේව ප‍්‍රශ්න කිරීමට බලයක් තිබුණේ නැත. අද එය මුළුමණින් අනිත් පැත්තට හරවමින්, බලයේ අයිතිකාරයා වන මහජනතාව, තමාව පාලනය කිරීමට පාලකයාට බලය පවරන්නේ, පාලකයා විසින් එම බලය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන්නේ ද යන්න බලාකියා ගැනීමට මාර්ගයක් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ද සකසා එය රටේ රාජ්‍යකරණයේ මුල්ගල වශයෙන් ස්ථාපිත කර ඇති තත්වයක් තුළ ය. එතැන් පටන් පාලකයා කටයුතු කළ යුත්තේ, ඒ ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මිස, හිතුවක්කාරීව හෝ අත්තනෝමතිකව හෝ නොවේ.


රටක ව්‍යවස්ථාවක අඩංගුව මූලික නියාමය ජනපති අවබෝධ කරගත යුතුයි


රාජ්‍යකරණයට අදාළව රටක ව්‍යවස්ථාවක අඩංගු ඒ මූලික නියාමය සිරිසේන මුලින්ම අවබෝධ කර ගත යුතුය. ඔහු කියන ‘සම්ප‍්‍රදාය’ අයත් වන්නේ රජ කාලයට බව එවිට ඔහුට වැටහෙනු ඇත. රජ වෙන්නට සිටි මහින්ද රාජපක්ෂට 2015 ජනවාරි 8 වැනි දා අත්වූ ඉරණම, මේ රටේ වෙනත්  ඕනෑම පුද්ගලයෙකුටත් අනාගතයේ වලංගු වන බව, අවසාන වශයෙන්, මේ අවස්ථාවේ සිරිසේනට සිහිකැඳවීමට කැමැත්තෙමි.


 

(වීඩියෝව අන්තර්ජාලයෙනි)

 

සබැඳි පුවත් 


 

ඡන්දය කුමකටද ? කුමක් සඳහා ද ?