ඝාතන රැල්ලේ හීන් නූල්කාරයා

 බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රිතව සිදුවන පාතාලයේ වෙඩි තබා ගැනීම්වල අඩුවක් තවමත් දකින්නට නැති තරම්ය. එක දිගට සිදුවන වෙඩි තබා ගැනීම්වලින් පෙනෙන්නට ඇත්තේ පාතාලය අද වන විට පොලීසියට පවා අභියෝගයක් වී ඇති බවකි. මෑතකදී වර්ධනය වූ ඝාතන රැල්ලේ පළමු වෙඩිල්ල බැස්ටියන් මාවතෙන් ඇරඹෙන්නේ ඉකුත් මැයි 30 වෙනිදාය. එදා සිට ඉකුත් අගොස්තු 31 වෙනිදා දක්වා ගෙවී ගිය කාලය තුළ සිදු වූ පාතාලයේ වෙඩි පත්තුවීම් ගණන 35කි. හැබැයි ඒ හැම වෙඩිල්ලක්ම ජීවිතයක් බිලිගත්තේ නැත. පත්තු වූ ඇතැම් වෙඩි අහක ගියේය. ජීවිත හානියකින් තොරව තුවාල ලැබූ වෙඩි පත්තුවීම්ද තුන හතරක්ම තිබුණේය. නමුත් මේ කාලය තුළ පත්තු වූ පාතාලයේ වෙඩි උණ්ඩවලට බිලි වූ ජීවිත ගණන නම් සුළුපටු පටු නැත. පොලීසියේ ගණන් මිනුම්වලට අනුව එම ගණන මිනිස් ජීවිත 30කි.

ගයාන් කුමාර වීරසිංහ

මෙම ඝාතන 30න් ඝාතන 18ක්ම සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළය. සෙසු ඝාතන 12 සිදුව ඇත්තේ දකුණු පළාත ආශ්‍රිතවය. දකුණු පළාතේ සිදුවූ ඝාතන අතරින් ඝාතන 11ක්ම සිදුව ඇත්තේ ගාල්ල දිස්ත්‍රිකයේය. දකුණේ සිදු වූ අනෙත් ඝාතනය සිදුව ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළය. තංගල්ල මොරකැටිආරේදී සිදුවූ එම ඝාතනයේ වෙඩික්කරුවා පමණක් නොව, ඝාතකයන්ට රැකවරණය දුන් අපේ ජනබල පක්ෂයේ නායකයා වන සමන් පෙරේරාවද පොලීසිය අත්අඩංගුවට ගත්තේය. ඒ හැරුණු කොට දකුණේ සිදුවූ ඝාතන අතරින් මෙතෙක් පොලීසිය විසඳීමට සමත්ව ඇත්තේ එක් ඝාතනයක් පමණි.

බස්නාහිර පළාත තුළ සිදුවූ ඝාතන අතරින් කිසිදු ඝාතකයෙක් මෙතෙක් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය තවමත් සමත්කම් දක්වා නැත. නමුත් බැස්ටියන් මාවතේ වෙඩික්කරුවා නම් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පැහැදිලිවම හඳුනා ගත්තේය. නීතිය හමුවට ඉදිරිපත් කිරීමට අල්ලන්නට ගිය ඔහු පොලීසිය සමඟ ගැටී බෙම්මුල්ලේ දී වෙඩි කා මරු වැළඳ ගත්තේය. ඒ හැරුණු කොට සෙසු ඝාතන දාහතේම වෙඩික්කරුවෝ තවමත් සිටින්නේ නිදැල්ලේය. නොනැවතී පාතාලයේ වෙඩි තාමත් මේ පළාත් දෙකේ පත්තුවෙමින් ඇත්තේද ඒ නිසාමය.

මෙම පළාත් දෙකේ සිදු වූ ඝාතන වලින් වැඩි හරියකට වගකිව යතු වූයේ හරක් කටා සහ මාකිලංගමුවේ සංජීව යන කුඩු පාතාලයේ කුප්‍රකටයින් දෙදෙනාය. ඒ අතර හරක් කටාගේ සෘජු සම්බන්දකම් ඇතිව සිදු වූ බව කියන ඝාතන ගණන 05කි. මේ කාලය තුළ මාකිලංගමුවේ සංජීවගේ නම ඉදිරියේ ලියැවෙන ඝාතන ගණන 06කි.


පෑලියගොඩ මැනිං වෙළද පොළේදී සිදුවූ අඹ ශානාගේ ඝාතනයත් ගම්පහ අධිකරණය ආසන්නයේ සිදුවූ පස් පොඩ්ඩා ඇතුළු දෙදෙනෙකුට මරු කැදවූ වෙඩිල්ලත් හැරුණු කොට ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවූ ඝාතන 07න් 04කටම වගකිව යුතු වූයේ මාකිලංගමුවේ සංජීවයි. පස් පොඩ්ඩාගේ ඝාතනයට පළිගන්නට කෙහෙල්බද්දර පිහිටි බාබර් සාප්පුවකදී කරණවෑමියකුට වෙඩි තබා මරා දමවන්නේත් කෙහෙල්බද්දර පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයක හිමිකරුවකුට වෙඩි තබා මරවන්නේත් මාකිලංගමුවේ සංජීවයි. පෑලියගොඩ පටිටිය හන්දියේදී පොලිස් අත්තනායක නම් වූ මත්කුඩු ජාවාරම්කරුවකු ඝාතනය කෙරුණු වෙඩිල්ලේද නම ලියැවී ඇත්තේ මාකිලංගමුවේ සංජීවගේය.

වත්තල ඇලකන්දේ කායවර්ධන මධ්‍යස්ථානයක් අසලදී ජූනි 14 වැනිදාත් මට්ටක්කුලියේදී අගොස්තු 26 වැනිදාත් තරුණයන් දෙදෙනකුට මරු කැදවමින් පත්තුවූ වෙඩි තැබීම් පිටුපසද සිටින්නේ මාකිලංගමුවේ සංජීව බව කියයි. එම ඝාතන දෙකම සිදුවන්නේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන වැල්ලේ සාරංගගේ උවමනා එපාකම් මතය.

පොලීසිය කියන ආකාරයට අනුව අද මේ මතුවී තිබෙන පාතාලයේ ඝාතන රැල්ලට ආරම්භයක් දෙමින් බැස්ටියන් මාවතේදී මැයි 30 වෙනිදා පත්තු වූ වෙඩිල්ල පිටුපස සිටින්නේද මාකිලංගමුවේ සංජීවය.

ඒ අනුව බලනවිට ගෙවී ගිය තෙමසක කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් සහ ඝාතන අතරින් වැඩිම ඝාතන ප්‍රමාණයක් මෙහෙයවා ඇත්තේ මාකිලංගමුවේ සංජීවයි. ඔහුව සැලකෙන්නේ දැනට ජීවතුන් අතර සිටින පාතාල අපරාධකරුවන් අතර දරුණුතම කල්ලි නායකයෙක් ලෙසිණි. ඉවක් බවක් නොමැතිව මාකිලන්ගමුවේ සංජීව මෙසේ මිනීමරමින් සිටින්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් චරිතයට අද පණ පොවමිනි.

මාකදුරේ මධුෂ් සහ කොස්ගොඩ සුජී හැරුණු කොට එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන්ගෙන් හොඳටම වැඩ ගත්තේ මාකිලංගමුවේ සංජීවයි. දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරම් මහතා ඝාතනය කිරීමට පවා එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් ඔහු සමඟ කළ උත්සහයක් ගැනද රාජ්‍ය බුද්ධි සේවය වරක් හෙළිකර ගත්තේය. එම ඝාතන සැලසුමට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවන්ද සමඟ මාකිලංගමුවේ සංජීවගේ ගෝලබාලයන් රැසක් කොළඹ අපරාධ කොට්ඨාශය සමඟ එක්ව 2019 වසරේ රාජ්‍ය බුද්ධි සේවයේ මෙහෙයුමකට අනුව කොටුකර ගන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ජීවිතයද ආරක්ෂාකර ගනිමිනි. එහිදී ගිනි අවි සහ බෝම්බ රැසක්ද සොයා ගනු ලැබුවේ උතුරේ වල දැමූ එල්.ටී.ටී.ඊ.යේ ආයුධ මාකිලංගමුවේ සංජීවගේ අතට පත්වන බව තහවුරු කරමිනි.

පාතාලයේ අලුත්ම ගෝඩ් ෆාදර් ලෙස මෙසේ කරලියට පැමිණ සිටින මාකිලංගමුවේ සංජීව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළද සමත් විශ්ව විද්‍යාල වරම් ලබන්නට පවා සුදුසුකම් ලැබූවෙකි.

වැඩිදුර කියවීම සඳහා පිවිසෙන්න 

උපුටා ගැනීම සිළුමිණ