අතුරලියේ රතන බුද්ධ පුත්‍රයෙක්ද ? 2 කොටස

රතන මාලිගාව
අමිල ගුණරත්න

අතුරලියේ රතන බුද්ධ පුත්‍රයෙක්ද යන ලිපිය මගින් ඔහුගේ අන්තවාදී , වෛරී සහ ගෝත්‍රවාදී දේශපාලනය බුදු දහමට එකඟ නොවන බව පෙන්වා දුන්නෙමු. තමාගේ මතවාදයට විරුද්ධ වන පුද්ගලයාට ලේබල් ඇලවීමට (දේශ ද්‍රෝහියා, බටහිර කුමන්ත්‍රණකාරයා , ඩොලර් කාක්කා ) මෙන්ම ඔවුන්ව අනාගතයේ ශාරීරික වශයෙන් විනාශ කිරීමට අවශ්‍ය අඩිතාලම සැකසෙන මතවාද නිර්මාණය කිරීමද ඔහුගේ අන්තවාදයේ එක පැතිකඩකි. බණ්ඩාරනායක ඝාතනයට පෙර කැලණියේ මාපිටිගම බුද්ධරක්ඛිත නමැති දුසිල් මහණතැන විසින් ද බණ්ඩාරනායකට ලේබල් ඇලවීමද පසුව ඝාතනය කිරීම සඳහා මතවාද නිර්මාණය කිරීමද අවසානයේ තල්දූවේ සෝමාරාම භික්ෂුව බලල් අතක් සේ යොදාගෙන බණ්ඩාරනායක ඝාතනය සිදු කිරීමද මෙහිදී අප සිහිපත් කර ගත යුතය. ඉතිහාසය යලි යලි පුනරුක්තියේ දේ. දේශපාලනමය වශයෙන් අන්තවාදී බෞද්ධ විරෝධී මාවතක යන අතුරලියේ රතන භික්ෂුව පිළිබඳව යම් තීරණයක් ගැනීමට මහානායකවරුන්ට කාලය එළඹ තිබේ. නමුත් කකුළුවා ඇදයට යන නිසා ගෝල බාලයන්ට කෙලින් ගමන් කිරීමට උපදෙස් දීමට ඇති නොහැකියාව ගැනද අප දනිමු. කෙසේ නමුත් අතුරලියේ රතන විසින් සිදු කරන සාසනික විලෝපය තේරුම් ගැනීමට පසුගියදා ඔහු විසින් සිදු කල සීනිගම දේවාලයේ පළි ගැසීම පමණක් ප්‍රමාණවත් වේ. මේ නයින් බලන කල තම විරුද්ධවාදීන් කෙරෙහි දක්වන වෛරී ප්‍රතිචාරය අනුව අතුරලියේ රතන සහ මර්වින් සිල්වා වෙනස් වන්නේ ඇඳුමින් පමණි. තව ටික කලකින් අතුරලියේ රතන පිස්තෝලයක්ද ඉනේ ගසාගෙන පිණ්ඩපාතයේ වැඩියාට අප පුදුම විය යුතු නැත.

ධර්ම රජයක් බිහි කරනවා කියමින් මෝඩ උපාසක අම්මලාගේ චන්දයෙන් පාර්ලිමේන්තුවට රිංගු රතනලා වැඩි වශයෙන්ම කලේ උදර පෝෂණය බව කියන්නේ හිරිකිතයෙනි. අතුරලියේ රතන විසින් රාජගිරිය, ඔබේසේකරපුර, ගෝතමී උයනේ "සදහම් සෙවණ" නමින් කාමභෝගී අසපුවක් ඉදිකර තිබේ. එහි ඇතුලත වන ක්‍රියා ජනතාවගේ ඇස් වලට නොවැටීමට එම මන්දිරයේ "ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනය" නමින් බෝඩ් ලෑල්ලක් අටවා තිබේ. නමුත් එහි සිදු වන "ජාත්‍යන්තර බෞද්ධ තොරතුරු හා පර්යේෂණයක් නම් නැත. ගෝතමී උයනේ ඉතා වටිනා භූමියක, විශාල ඉඩමක සාදවා ඇති සදහම් සෙවණ දකින විට මතකයට නැගෙන්නේ හෝටලයක, නැතිනම් සුපිරි මන්දිරයක හැඩයකි.මෙම මන්දිරයේ තිබෙන නාන කාමර කට්ටල තරුපහේ හෝටල්වල නාන කාමර වල තිබෙන නාන කාමර උපකරණම ය. සෑම කමරයක්ම ම සුඛෝපභෝගී උපකරණ සහිතව සුපිරි මට්ටමින් ඉදිකර තිබේ. බුදුන් වහන්නේ වදාල සැහැල්ලු දිවි පැවතුම වෙනුවට මෙම මන්දිරයේ ඇත්තේ බහුභාණ්ඩික බව සහ කය පිනවන කාම රසයයි. මෙම කාමභෝගී මන්දිරය මහජන මුදලින් ඉදිකළ එකකි. , නිලවශයෙන් දැනට ඒ සඳහා වියදම් කර තිබෙන මුදල රුපියල් මිලියන 130කි. එනම් ලක්ෂ 1300 නොහොත් කෝටි 13 කි. මෙම මුදල් අතුරලියේ රතන ගේ පුද්ගලික ගිණුමේ මුදල් හෝ හෙළ උරුමයේ පක්ෂ අරමුදලින් සොයාගත් මුදල් නොවේ. එයට වියදම් කරන ලද්දේ පාන් කෑල්ලක් සහ හොදි ටිකක් අනුභව කරමින් දහදිය හෙලන මෙරට දුප්පත් මිනිසුන්ගේ මුදල් ය. අසනීපයක රෝහලකට ගිය විට බෙහෙත් වලට ප්‍රතිපාදන නැති, පොදු ප්‍රවාහනයට හරි හමන් වාහන නැති දුප්පත් රටක මිනිසුන්ගේ මුදල්ය. කන්නට බොන්නට දෙන්නට වත්කම නැති නිසා ළමුන් ගංගා වලට විසි කරන මව්වරුන් සිටින රටක ජනතා මුදල්ය. ඉදින් මෙවැනි වැඩ බුද්ධාගමට එකඟවේද ? යම් දිනක මෙරට යහපාලනයක් පැමිණි කාලයක මෙම මන්දිරය රජයට පවරාගෙන අනාත ළමුන් සඳහා රක්ෂිත මද්යස්ථානයක් කරන්නේ නම් යටත් පිරිසෙන් එය බුදු මගට එකඟ වේ.


Tell a Friend