ශ්‍රී ලංකා ඉතිහාසයේ අපකීර්තිමත් දිනය

 මේ ශිෂ්ඨත්වය සහ අශිෂ්ඨත්වය ගැටෙන මොහොතයි. මෙම ගැටුම මීට පෙරද ශ්‍රී ලංකාවේ ඇතිවිය.අගමැතිවරයා  තම දේශපාලන බලය රැක ගැනීම සඳහා සිදු කරමින් සිටින අතිශය පිළිකුල් සහගත හැසිරීම කිසිම අයෙකුට සාදාරනීකරනය කළ නොහැකිය. මෙය මනුෂත්වයට නිගාවකි.

කතුවැකි

මේ ශිෂ්ඨත්වය සහ අශිෂ්ඨත්වය ගැටෙන මොහොතයි. මෙම ගැටුම මීට පෙරද ශ්‍රී ලංකාවේ ඇතිවිය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමට අසමත් අපි සෑම විටම දේශපාලනඥයින්ගේ උගුල්වල පැටලෙමින් අපේ ජීවිත විනාශ කර ගැනීමට සමත් නිවටයින් පිරිසකි. ගෙවුණු වසර දෙක තුළදී රාජ්‍ය ධනය ඉතාම අවලස්සන ලෙස කොල්ල කණු ලැබූ අගමැතිවරයා සමීපයේ සිටින කණ්ඩායමට ගැලවීම සඳහා ප්‍රචණ්ඩත්වය හැරෙන්න වෙනත් මෙවලමක් නැත.  

රට ගැන හැඟීමක් ඇති බුද්ධියක් තිබෙන දේශපාලඥයින් තම වගකීම් දැන්වත් ඉටු නොකළහොත් මෙම ප්‍රචණ්ඩකාරී ගැටීම ලේ වැගිරීම් කිහිපයකික් සඳහා මගපාදනු ඇත. ආණ්ඩුවට එරහිව ක්‍රියාත්මක වන විරෝධය  ලේ වැගිරීම් වලට තල්ලු කිරීම අගමැති මහින්ද රාජපක්ෂගේ සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ  තුච්ච අරමුණ වී ඇති බව මේවන විට ඔප්පුකොට ඇත. අද උදෑසන අරලිගහ මන්දීරයට තමන්ගේ පාක්ෂිකයින් කැඳවීමෙන් පසු ඔවුන් ප්‍රචණ්ඩත්වය වෙතට තල්ලු කිරීම ගැන අගමැති මහින්ද රාජපක්ෂ සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. අගමැතිවරයාගේ මැර කණ්ඩායම් සාමකාමීව උද්ඝෝෂණය කල අයවලුන්ට පහර දෙනු ලැබුවේ අගමැති කාර්යාලයේ සාමාජිකයින් විසින් විකාශණය කරන පිරිත් සජ්ඣායනය මධ්‍යයේය. ආගම මෙතරම් අවලස්සන ලෙස භාවිතා කළ පුද්ගලයෙකු මේ ලංකා ඉතිහාසයේ කෙදිනකවත් සිටියේ නැත. 

අගමැතිවරයා  තම දේශපාලන බලය රැක ගැනීම සඳහා සිදු කරමින් සිටින අතිශය පිළිකුල් සහගත හැසිරීම කිසිම අයෙකුට සාදාරනීකරනය කළ නොහැකිය. මෙය මනුෂත්වයට නිගාවකි. සමස්ථ රටට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්  සිදුකරන අගෞරවයකි.  අගමැතිවරයාට ධූරයෙන් ඉවත්වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. ඔහු මෙම සත්‍යය තේරුම් ගත යුතුය.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍යය දේශපාලන තීරණ ගැනීමට ඉඩදී ඔහු ධූරයෙන් ඉවත්විය යුතුය. තවදුරටත් ජනාධිපතිවරයාට දොස්පවරමින් අගමැතිවරයා තමන්ගේ පව් සෝදා ගැනීමට වත්මන් අවස්තාව අවභාවිතා කිරීමෙන් වැළකිය යුතුය. අපට සඳහන් කිරීමට ඇත්තේ එක් දෙයකි.එනම්, අප පසුකරමින් සිටින්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ අපකීර්තිමත් දිනයකි.