රට අගාධයේ හෙළන වැඩවර්ජන

පසුගිය දශක වලදී සිදුකරනු ලැබූ වැඩවර්ජන වලින් අපට හිමි වී තිබු බොහෝ ව්‍යාපාරික කටයුතු සහ ආයෝජන අවස්ථා සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවලට ලැබුණි. මේ වන විට ක්‍රියාත්මක වැඩවර්ජන වලින් රටේ ඉතුරු වී ඇති සොච්චම් ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා ප්‍රමාණයත් ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් විසින් ගිල ගනු ඇත. එතකොට අපට ඉතුරුවන්නේ හිස් ලබ්බක් ඒ ලබ්බ ඇතුලේ හැමදාම මෝඩ වීරකම් ගැන කියමින් සිටින පිරිසක් විසින් නටන තොවිලයක් පමණි.

කතුවැකිය 

වැඩ වර්ජන ව්‍යවස්ථානුකූල සේවක අයිතිවාසිකමකි. එය ඉතාම හොඳින් භුක්ති විඳින සේවක පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙති. ඒ සඳහා ඔවුන් විවිධ කණ්ඩායම් වලට බෙදී අටවා ගත් වෘත්තීය සමිති රාශියක් තිබේ. වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීම සඳහා මෙරට නීතියෙන් අවසර දී ඇති සියලුම ආයතන සහ සංස්ථා වල සේවය කරන සේවකයින්ට සම්බන්ධ වීම සඳහා කුමන හෝ වෘත්තීය සමිතියක් ඇත. නමුත් රටේ ජීවත්වන සියලුම වෘතිකයින් වෘත්තීය සමිතියක සාමාජිකයෝ නොවෙති. සැලකිය යුතු පිරිසක් කිසිඳු වෘත්තීය සමිතියක සාමාජිකත්වය නොගෙන තම රැකියාවේ වගකීම ඉටුකරති. මෙහිදී සඳහන් කළයුතු වැදගත් කාරණය වන්නේ රටේ කිසිම තැනක නිර්දේශපාලනික (අපක්ෂපාති) වෘත්තීය සමිතියක් නැති බවයි. සියලුම වෘත්තීය සමති කිසියම් හෝ දේශපාලන පක්ෂයක අතකොලුවකි. 

දේශපාලන මතයක් දැරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම, සහ එම මතය නීතියානුකූලව සමාජය පුරා ව්‍යාප්ත කිරීමට ඕනෑම පුද්ගලයෙකුට ව්‍යවස්ථානුකූල අයිතියක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මය එයයි. එහෙත් එම නිදහස පමණ ඉක්මවා භුක්ති විඳින ශ්‍රී ලාංකිකයින්ගේ තරම රටේ ඇති දේශපාලන පක්ෂ සංඛයාව දෙස බැලීමෙන් අවබෝධ කරගත හැකිය. මේ වන විට ගාලු මුවදොරට රැස්වී  සිටින විවිධ කණ්ඩායම් දෙස බැලීමේදීද පෙනී යන්නේ මෙරට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ලබා දී ඇති නිදහසේ ප්‍රමාණයයි. රටේ මීට තේරීපත් වූ කිසිම රාජ්‍යය නායකයෙකු තමන්ට එරෙහිව විරෝධය දැක්වීම සඳහා මෙතරම් නිදහසක් ලබාදී නැත. එම විරෝධය සාදාරනීකරණය කරමින් ජාතිය ඇමතීමට තරම් රටේ ජනාධිපතිවරයා කටයුතු කළේය. වදරක් සිදුවූ පසු එය වරදක් ලෙස තේරුම් ගෙන පිළිගැනීමටත්, තමන්ට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වන විරෝධය ප්‍රකාශ කිරීම සඳහා හැකි උපරිම නිදහස ලබාදීමත් මෙහිදී පැසසිය යුතු කාරණාය.ඉතිහාසයේ ප්‍රථම වරට උද්ඝෝෂකයින්ට  ජනාධිපතිවරයාගේ කාර්යාලය වටලා එය ග්‍රහණය කර ගෙන දින ගණනාවක් තිස්සේ එහි ලැගුම් ගැනීමට ඉඩ දී ඇත. ලෝකයේ කිසිම තැනක මෙවැන්නක් සිදුවී නැත. 

උද්ඝෝෂකයින්ට ඔවුන්ගේ කටයුතු සිදුකිරීමට ඉඩදී පවතින බරපතල සමාජ ව්‍යාකූලතාවයට ජාතික වශයෙන් වැදගත් වන විසඳුමක් සොයාගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ට ආරධනය කිරීම ජනාධිපතිවරයා විසින් පවතින අර්බුදය විසඳීමට දරන උත්සාහයේ අවංකත්වය විදහා පාන්නේය. ඔහු මෙම අර්බුදය විසඳීම සඳහා හැකි උපරිම උතසහ ගනිමින් සිටින බව අවිවාදිතය. ඕනෑම අයෙකුට ඔහුට එරෙහිව වෛර කළ හැකිය, ඔහුගේ තීන්දු ගැන පශ්චාත් පරීක්‍ෂණ සිදුකළ හැකිය. මන්ද සමාජ අර්බුදයකදී ඊට එරෙහිව විරෝධය පෑම සහ එම අර්බුදය නිර්මාණය කළ පියවරුන් සොයා ඔවුන්ව විවේචනය කිරීම පොදුවේ දැකගත හැකි ප්‍රතිචාර දක්වන විලාසය නිසාය. නමුත් එම අර්බුදය විසඳීම සඳහා කටයුතු කරනු ලබන්නේ ඉතාම සුළු පිරිසකි.  ශ්‍රී ලංකාවේ සමාජ අර්බුදය සෑම විටම විවිධ පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට පමණක් පාවිච්චි කළ සිදුවීම් විය.  ඒ නිසා බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ දැක්මද ඒ හා සමානව ඉතාම පටු එකක් විය. මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන බලය තහවුරු කිරීම සඳහා කාලාන්තරයක් තිස්සේ අනුගමනය කරමින් සිටි මූලික මෙවලම දැන් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වීම අරුමයක් නොවේ. ස්වභාවික නීතිය ක්‍රියාත්මක වන රිද්මය එයයි. නමුත් සමාජය පුරා උත්ගත වී ඇති සමාජ සහ ආර්ථික අර්බුදය දේශපාලන බලය අල්ලා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන එකිනෙකා අතර කිසිම සමගියක් නැති සංවිධාන වලින් විසඳිය නොහැකිය. 

අද දින රටපුරා කැඳවා ඇතැයි කියන වැඩ වර්ජනය දෙස බැලිය යුත්තේ මෙම පසුබිම යටතේ යැයි සිතේ. මෙය නොකළ යුතු මරි මෝඩ කටයුත්තකි. ලෝකය පුරාම බරපතළ ආර්ථික කඩා වැටීමක් ඇති අවස්ථාවක යම්තමින් හෝ ආරක්ෂා වී ඇති රැකියා අවස්ථා ටිකත් නැති කර ගැනීමේ ක්‍රියාමාර්ගයකි.  වැඩවර්ජන කිරීම වරදක් ලෙස අපි දකින්නේ නැත. නමුත් මෙම වැඩවර්ජනය කැඳවා ඇති වෘත්තීය සමිති වල පැටිකිරිය දෙස බැලීමේදී පෙනී යන්නේ මෙය තවත් පටු දේශපාලන අරමුණක් දින ගැනීම වෙනුවෙන් රටේ සාමන්‍යය ජනතාව අපහරණයට ලක් කිරීමේ වෑයමක් ලෙසය. මොවුන් කිසිවකුට ජාතික වැඩපිළිවෙලක්  නැත.  එබැවින් මෙම වර්ජන උගුලේ පැටලී රට තවදුරත් ආඝාදයට ඇද දම්මේමට දායක නොවන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. පසුගිය දශක වලදී සිදුකරනු ලැබූ වැඩවර්ජන වලින් අපට හිමි වී තිබු බොහෝ ව්‍යාපාරික කටයුතු සහ ආයෝජන අවස්ථා සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවලට ලැබුණි. මේ වන විට ක්‍රියාත්මක වැඩවර්ජන වලින් රටේ ඉතුරු වී ඇති සොච්චම් ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා ප්‍රමාණයත් ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් විසින් ගිල ගනු ඇත. එතකොට අපට ඉතුරුවන්නේ හිස් ලබ්බක් ඒ ලබ්බ ඇතුලේ හැමදාම මෝඩ වීරකම් ගැන කියමින් සිටින පිරිසක් විසින් නටන තොවිලයක් පමණි. වැඩවර්ජන කිරීමට පෙර රට සහ රටේ අනාගතය ගැන දැන්වත් සිතමුද? 

[ ශ්‍රී ලංකා ගාඩියන් ]