ජනාධිපතිතුමනි ඉන්න තැනක සිට ජනතාව දැනුවත් කරන්න

මේ මොහොතේ වැදගත් වන්නේ මීළඟ දේශපාලන පියවරයන් ගැන ජනාධිපතිවරයා රටේ ජනතාව වහාම දැනුවත් කිරීම සහ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීමය.

කතු වැකිය 

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා වහාම රටේ ජනතාව ආමන්ත්‍රණය කළ යුතුව ඇත. ප්‍රථමයෙන් අගමැතිවරයා විසින් පොළඹවනු ලැබූ ප්‍රචණ්ඩත්වය පහ කොට රට සාමකාමී තත්වයට පත්කිරීම සඳහා ගත යුතු පියවර වහාම ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය ඉල්ලීම ඉතාම තීරණාත්මක වේ. මේ වන විට අගමැතිවරයා ධූරයෙන් ඉල්ලා අසවී ඇත. රටේ ප්‍රචණ්ඩත්වය අවුළුවමින් ඔහු අද උදෑසන තම පාක්ෂිකයින් සමග සිදුකළ ඉතාම පිළිකුල් සහගත කටයුත්ත මේවන විටත් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදයට ලක්වෙමින් තිබේ. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු ලෙස ඔහුගේ හැසිරීම ඉතාම කණගාටුදායකය. ඔහු ඒ ගැන ලජ්ජා වියයුතුය.  ඔහුගේ ඉල්ලා අස්වීම කිසිඳු වැදගත්කමක් නැති බලය රැක ගැනීමට දැමු උප්පරවැට්ටි සියල්ලම අසමත් වූ තැන ගත් පියවරක් පමණි. මේ පාපයට ඉතිහාසය කිසිදා ඔහුව නිදහස් නොකරනු ඇත. 

මේ මොහොතේ වැදගත් වන්නේ මීළඟ දේශපාලන පියවරයන් ගැන ජනාධිපතිවරයා රටේ ජනතාව වහාම දැනුවත් කිරීම සහ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීමය. එසේම තමන් විසින් වත්මන් අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කළ යෝජනා සහ ඊට අනෙකුත් දේශපාලන පාක්ෂ වලින් ලැබුණු ප්‍රතිචාර ගැන රටේ ජනතාව ඔහුගේ වචනයෙන් දැනුවත් කිරීම වැදගත් වේ.  මෙම අර්බුදය මතුවෙමින් පැවති අවස්ථාවේ ජනාධිපතිවරයාගේ පළමු යෝජනාව වූයේ ආණ්ඩු පාර්ශ්වයට අයත් ජාතික ලැයිස්තුව භාවිතා කරමින් විෂය කරුණු ගැන මනා අවබෝධයක් ඇති කණ්ඩායමක් පාර්ලිමේන්තුවට කැඳවා අන්තර්වාර ආණ්ඩුවක් තැනීමය. නමුත් ඔහුගේ එම යෝජනාවට බොහෝ දෙනෙකු දැක්වූ ප්‍රතිචාරය  සුභවාදී නොවීය.බුද්ධිමතුන් යැයි කියා ගන්නා බොහෝ දෙනෙකු ජන මාධ්‍යය ඉදිරියට පැමිණ විවේචන වලට පමණක් උනන්දුවක් දක්වන නමුත් දේශපලාන ස්ථාවරත්වයකට මේ මොහොතේ සහය දැක්වීම ජාතික වගකීමක් ලෙස නොසැලකීම අවාසනාවකි. 

ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම අනෙකුත් දේශපාලන පක්ෂවලට තමන් සමග ආණ්ඩුවක් තැනීම සඳහා ආරධනය කළේය. ඔහුගේ එම ආරාධනය තවමත් විවෘතය. එහෙත් සියලුම දේශපාලන පක්ෂ විවිධ විවේචන ඉදිරිපත් කිරීම හැරෙන්නේට, කිසිම ලෙසකින් ජාතික වගකීමක් ඉටුකිරීම කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැත. මෙවැනි වටපිටාවක ජනාධිපතිවරයාට සිදුකිරීමට ඉතිරිව ඇත්තේ කුමක්ද? ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කළ නොහැකිය. රට සම්පූරන්යෙනම අරාජිකත්වයට ඇද දැමිය නොහැකිය. අද උදෑසන අපගේ කතුවැකියෙන් යෝජනා කළ පරිදි මෙවැනි සංකීරණ සන්දර්භයක  ජනාධිපතිවරයාට ඇති එකම විසඳුම වන්නේ  හදිසි මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමය. වාහාම පාර්ලිමේන්තුව කැඳවා ඊට අවශ්‍යය නෛතික ප්‍රතිපාදන සකස් කොට මහා මැතිවරණයකට යෑම සහ ඒ දක්වා අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ ඉතාම තීරණාත්මක වේ.  රට තවදුරටත් අන්දකාරය වෙත තල්ලු වීමට පෙර ජනාධිපතිවරයා වහාම රටේ ජනතාව දැනුවත් කළ යුතු මොහොතයි මේ.