‘‘නිවසේ සිට රාමසාන් ආගමික වතාවත් වල නිරත වෙමු‘‘ - ඉමිතියාස් බාකීර් මාකර්



- ඉමිතියාස් බාකීර් මාකර් - 


‘‘මේ ශුද්ධ වූ රාමදාන් මාසය ආරම්භ වන මොහොතේ ඔබ සැමටත්, ලෝකවාසී සියලු දෙනාටත් සාමය, සැනසීම පිරි ජීවිතයක උදාව සදහා සුබ පැතුම් එක්කරන්නට මම කැමතීයි.

දේව පණිවිඩය පහල වීම සිදු වන්නේ මෙම ශුද්ධ වූ උපවාස මාසයේදීය. මේ අයුරින් උපවාසයේ යෙදීමට මෙයට පෙර යුග වල සිටි අනාගත වත්තෘවරුන්ද තම අනුගාමිකයන්ට මග පෙන්වා තිබෙනවා. මෙම උපවාස ශීලය රැකීම තුලින් සමාජයේ දුෂ්කර ජීවිතයක් ගත කරන මිනිස්සුන්ගේ ජීවිතයෙහි අපහසුව අත්විදින්නට අපට පුළුවන් වෙනවා.

මුහම්මද් (සාමය අත් වේවා) තුමන්ගේ කියමනක් මගේ සිහියට නැගෙනවා "තමන්ගේ අසල්වැසියා කුසගින්නේ පසුවෙද්දී තමන්ගේ කුසය පමණක් පුරවා ගන්නා පුද්ගලයා විශ්වාසවන්තයෙක් වන්නේ නැහැ"

අපේ ජීවිත කාලය තුල කිසි කලෙක නොවූ අයුරකින් අප සියලු දෙනාම තම තමන්ගේ නිවාස වල කොටු වී සිටින කාලයක් මේ. අපේ ජීවිත රැකගැනීමටත්, සෙසු ජනතාවගේ ජීවිත රැක දෙන්නටත් ඒ කැපවීම අප කල යුතු වනවා.

සුපුරුදු ලෙසින් මේ ශුද්ධ වූ මාසය ආධ්‍යාත්මික පැත්තට නැඹුරුව දේවස්ථානයන් සමග ඇති බැදීම ශක්තිමත් කරගන්නා වූ කාලයක් වුවද, මේ වසරේ ඊට වඩා වෙනස් තත්වයකට මුහුණ දෙන්නට අප සියලු දෙනාට සිදුව තිබෙනවා.

ඉස්ලාමිය ඉගැන්වීම්වලට අනුව යමින්, අපේ ආගමික විද්වතුන් ලොව ප්‍රධානම ඉස්ලාමිය කෙන්ද්‍රස්තාන ලෙස සැලකෙන මක්කම කාබාව, මදීනාවේ සහ ජෙරුසලමේ දේවස්ථාන වසා දැමීමට කටයුතු කිරීම තුලින් වගකීමකින් යුතු නායකත්වයක් ප්‍රදර්ශනය කිරීම අපි දකිනවා. ඒ අනුව යමින් අප රටේද සියලු දේවස්ථාන වසා තබා ඇති මොහොතක, නිවසේ සිටිමින් අපි අපේ ආගමික වතාවන් වල යෙදෙමු.

ලෝකවාසී සියලු දෙනාම සුවපත් වන්නට දෙවියන් යදිමු. ජනතාව සුවපත් කරන්නට ජීවිත පරදුවට තබමින් කැපවී සිටින වෛද්‍යවරුන්, හෙදහෙදියන්, රණවිරුවන් ප්‍රමුක සියලු අත්‍යවශ්‍ය සේවාවන් වල යෙදී සිටින අයද අපේ ප්‍රාර්ථනාවන්වලට එක්කර ගනිමු.

අපේ සමාජයේ නැති බැරි මිනිස්සුන් වෙනුවෙන් සැලකිල්ල යොමු කර ඔවුන්ට පිහිට වෙන්නට කටයුතු කරමු. ලොව සියලු ජනයාට සාමය සතුට සමගිය පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරමු. ඒ වෙනුවෙන් අපේ මෙහෙවර ඉටු කරමු.‘‘