ශවේන්ද්‍රට සීමා පැනවීම ගැන මෙරට අප්‍රසාදය නිල ලෙස දැනුම් දේ



විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ දින (16) යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද එක්සත් ජනපද රජය විසින් සංචාරක සීමා පැනවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ නිවේදනයෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජයේ ක්ෂණික ප්‍රතිචාරය පසුගිය සිකුරාදා දින (14) විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබුණි.

ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයත්, ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සනාථ කරන ලද හෝ ඔප්පු කර ඇති චෝදනා නොමැතිවීමත් සැලකිල්ලට ගනිමින් ලුතිනන් ජෙනරාල් සිල්වා එවකට රාජ්‍ය නායකයා විසින් යුද හමුදාපති ලෙස පත් කරන ලද බව අමාත්‍යවරයා සිය සාකච්ඡාවේ දී අවධාරණය කළේය. වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කරන ලද්දේ, ඔහු දැනට සේවයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වන බැවිනි.

ලුතිනන් ජෙනරාල් සිල්වා දශකයකට පමණ පෙර ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු බව සඳහන් කළ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ප්‍රධාන තනතුරු දැරීම සඳහා ප්‍රත්‍යක්ෂ ලෙස දන්නා විශේෂඥතාවයෙන් යුත් පුද්ගලයින් කැඳවීමට අදාලව ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු සතු පරමාධිකාරිය පිළිබඳව විදේශ රජයක් ප්‍රශ්න කිරීම කනගාටුවට කරුණක් බව පැවසීය. මෙම ක්‍රියාව මඟින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාවය අනවශ්‍ය ව්‍යාකූලත්වයකට පත්කරන කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙසේ නියම කරනු ලැබීම ස්වාධීනව සත්‍යාපිත තොරතුරු මත නොව, බොහෝ මතභේදාත්මක 2015 ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශන වාර්තාව මත පදනම් වූවක් බව දැනගැනීමෙන් අනතුරුව, එම තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර ගන්නා ලෙස අමාත්‍යවරයා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.

මෙය “මානව හිමිකම් පිළිබඳ විමර්ශනයක් මිස අපරාධ පරීක්ෂණයක් නොවන බව” මෙම වාර්තාව මඟින් පැහැදිලි වන බවත්, “විධාන දාමය පිළිබඳ විස්තරයේ දක්වා ඇති නම් මඟින් මෙහි ලැයිස්තුගත කර ඇති උල්ලංඝනයන් සම්බන්ධයෙන් සෘජු වගකීමක් ලෙස හෝ අණ යටතේ හෝ ඉහළ මට්ටමේ වගකීමක් ලෙස සාපරාධී වගකීමක් අදහස් නොකරන බවත්, පුද්ගල සාපරාධී වගකීම තීරණය කළ හැක්කේ අවශ්‍ය සියලු නිසි ක්‍රියාදාමයන් සහතික කර ඇති අධිකරණයක් මඟින් පමණක් බවත්” සිහිපත් කරන ලදී.

එක්සත් ජනපද රජයේ තීරණය සමාලෝචනය කරන ලෙස විදේශ සබඳතා අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා රජය සැලකිලිමත් වන කරුණු පිළිබඳව වොෂිංටන් ඩීසී වෙත දැනුම් දෙන බව තානාපති ටෙප්ලිට්ස් මැතිනිය දැන්වූ අතර, ආරක්ෂක ක්‍ෂේත්‍රය ඇතුළුව ශ්‍රී ලංකාව සමඟ දැනට සිදුකෙරෙමින් පවතින සියලු සහයෝගිතා පැතිකඩ සහ ඒවායෙහි ව්‍යාප්තිය සහතික කිරීම සඳහා එක්සත් ජනපද රජයේ අඛණ්ඩ කැපවීම අවධාරණය කළාය.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ, උතුරු ඇමරිකා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් අමාත්‍යවරයා සමඟ මෙම රැස්වීමට සහභාගී වූහ. නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මාටින් කෙලී ද එක්සත් ජනපද තානාපතිවරිය සමඟ මෙම රැස්වීමට එක්විය.