‘‘ශවේන්ද්‍ර සිල්වා මානව හිමිකම් උල්ලංඝනය කර නෑ‘‘ - විදේශ කටයුතු අමාත්‍යංශය


ඇමරිකා එක්සත් ජනපදය විසින් ලුතිනන් ජෙනරාල් සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වන බව ඊයේ (14) දිනයේදී මෙරට විදේශ කටයුතු  අමාත්‍යංශය නිවේදනය කර සිටියේය. 

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,

‘‘එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මානව හිමිකම් උල්ලංඝනය කරන ලද පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇති බව නිවේදනය කර ඇති අතර ඒ හේතුවෙන්  ඒ මහතා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුල් වීමට නුසුදුසු පුද්ගලයන් බවට පත්වී ඇති බව පෙන්වා දී ඇත.

ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව එක්සත් ජනපද රජය විසින් ලුතිනන් ජෙනරාල් සිල්වා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ට සංචාරක සීමා පැනවීම පිළිබඳ ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරයි.

ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් එවකට රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කළ බවත් ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කිසිදු සනාථ කළ හෝ ඔප්පු කළ චෝදනාවක් නොමැති බවත් රජය නැවත අවධාරණය කරයි.

වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස උසස් කරනු ලැබුවේ ඔහු දීර්ඝ කාලයක සිට සේවය කරන ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වීම හේතුවෙනි.

ලුතිනන් ජෙනරාල් සිල්වා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6ක  කාලයක් ගතව තිබියදී එම තනතුරට පත් කිරීම හේතුවෙන් මෙම සංචාරක තහනම පැනවීම සිදු කර ඇති අතර, විශේෂඥතාවයකින් යුත් පුද්ගලයන් ජාතික ආරක්‍ෂාවට අදාල තනතුරු දැරීම පදනම් කරගෙන, විදේශීය රාජ්‍යයක් ප්‍රජාතාන්ත්‍රවාදීව පත්වූ ජනාධිපතිවරයකුගේ පරමාධිපත්‍ය පිළිබඳව ප්‍රශ්න කිරීම කණගාටුවට කරුණකි.

තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර එම තීරණය සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටී.'' යන්නයි.


සබැඳි පුවත්


ශවේන්ද්‍රට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කෙරේ