‘‘ආණ්ඩුව රාජ්‍ය සේවක සහන දෙන්න මුදල් නැහැ කීම අසාධාරණයි‘‘ - අනුර


වත්මන් ආණ්ඩුවේ පළමු ගොදුර විශ්‍රාමලාභීන් බවත් අමාත්‍යාංශවලට අලුත් ගෘහභාණ්ඩ මිලදී ගනිමින් විශාල ලෙස මහජන මුදල් නාස්ති කරමින් රාජ්‍ය සේවකයින් දිනාගත් දෑ ද ආණ්ඩුව අහිමි කරන බව අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, 

විශ්‍රාමලාභීන් මේ ආණ්ඩුවේ පළමු ගොදුරයි 

අපේ රටේ දීර්ඝ කාලීන අරගලයක් තිබුණා, විශ්‍රාමික වැටුප් විෂමතාවය හා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සම්බන්ධව. වර්තමාන ආණ්ඩුවත් විපක්‍ෂයේ සිටියදී මේ සම්බන්ධයෙන් අරගලයක් කළා. ඒ නිසාම මේ සඳහා විධිමත් විසඳුම් සඳහා යෝජනා ගණනාවක් ඉදිරිපත් වුණා. නමුත් වර්තමාන ආණ්ඩුව එම යෝජනා එකිනෙක මඟහරිමින් යනවා. එහි පළමු ගොදුර බවට පත්වෙලා තිබෙන්නේ විශ්‍රාමලාභීන්. 2016.01.01 සිට 2019.12.31 දක්වා විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් කිසිදු සංශෝධනයක් නොකරන බවත් විශ්‍රාම වැටුප් සංශෝධනයන් 2020.01.01 දිනට පසුව ක්‍රියාත්මක වන බවත් එකඟතාවයකට ඇවිත් තිබුණ. 2016.02.25වැනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව එම තීරණය අරගෙන තිබුණා. ඒ අතර කාලය තුළ විශ්‍රාම ලැබෙන රජයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදාන පත්‍රය ලබාදෙන විට එම මොහොතේ වැටුපත් 2020.01.01 දින සිට සංශෝධිත වැටුපත් සඳහන් කොට තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 2019.12.10 දින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා විසින් 2016.01.01 දිනෙන් පසුව සහ 2020.01.01 දිනෙන් පසුව විශ්‍රාම යන රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් විෂමතා ඉවත් කොට ලබාදීමට තීරණය කොට තිබෙන බව සඳහන් කරනවා. ඒ වගේම එම තීරණය මුදල් අමාත්‍යාංශය එකඟතාවයෙන් ගත් බවද සඳහන් කොට තිබෙනවා.

ආණ්ඩුව විශ්‍රාම වැටුප් වැඩිවීම අත්හිටුවන්න සූදානම් ?

නමුත් ආණ්ඩුව දැන් සිදුකොට තිබෙන්නේ කුමක්ද ?. 2020.01.20 චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ විශ්‍රාම වැටුප් වැඩිවීම අත්හිටුවන බවත් නව රජයේ ප්‍රතිපත්තිය අනුව විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඉදිරි අය-වැයවලදී විසඳන බවත්ය. මෙයින් සිදුවී තිබෙන්නේ 2016.01.01 දින සිට විශ්‍රාම ගිය සේවකයින් සඳහා හිමි වැටුප් වැඩිවීම කප්පාදු වීමයි. ඒ වගේම 2020.01.01 දින සිට විශ්‍රාම වැටුප් හිමිවන සේවකයින්ට එම අයිතිය අහිමි වී යනවා. මේ පිළිබඳව මා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමේදී ආණ්ඩුව ප්‍රකාශ කළේ මේ සඳහා මුදල් වෙන්කර නොමැති බවයි. නමුත් චක්‍රලේඛය නිකුත් කර තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සහිතවයි. ආණ්ඩුවේ සැලසුම්සහගත නොවන ආර්ථික කළමනාකරණය නිසා විශ්‍රාමිකයින්ගේ වැටුප් කප්පාදු වෙලා තිබෙනවා.

ඒ වගේම විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබාදෙන්න පසුගිය කාලයේ ආණ්ඩුව තීරණයක් ගත්තා. 2019.12.07වැනි දින චක්‍රලේඛයක් නිකුත් කරමින් රු. 15,000ක විශේෂ දීමනාවක් ලබාදෙන බව ප්‍රකාශ කළා. එම චක්‍රලේඛය නිකුත් කිරීමේදීද රාජ්‍ය පරිපාලන ලේකම්වරයා මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය අනුව නිකුත් කළ බවද සඳහන් කරනවා. නමුත් ඉන් පසුව ආණ්ඩුව 2020.01.07 දින එම දීමනාව අවලංගු කිරීමට චක්‍රලේඛයක් නිකුත්කොට තිබෙනවා.


ඒ වගේම අපේ රටේ රාජ්‍ය සේවයේ දීර්ඝ කාලයක් පුරා වැටුප් වැඩිවීම්වල විෂමතාවයක් ඇතිවෙලා තිබෙනවා. යම් යම් ක්‍ෂේත්‍රයන් කරන ලද අරගලයන්වලදී යම් යම් ක්‍ෂේත්‍රයන්ගේ හැකියාවන් අනුව එම ක්‍ෂේත්‍රවලට වැටුප් අත්කරගෙන තිබුණත් ඇතැම් ක්‍ෂේත්‍රයන්ට එම වැටුප් වර්ධක දිනාගැනීමට නොහැකි වී තිබෙනවා. මේ විෂමතාවයන් ඉවත් කිරීම සඳහා වෘත්තීය සමිති, දේශපාලන පක්‍ෂ විශාල අරගලයක නිරත වුණා. මේ නිසා හිටපු ජනාධිපතිවරයා විශේෂ වැටුප් කොමිසමක් ස්ථාපිත කිරීමට කටයුතු කළා. එම කොමිසමේ වාර්තාව ඉදිරිපත් වෙලා තිබෙනවා. එමගින් කාලයෙන් කාලයට යම් යම් ක්‍ෂේත්‍රවල වැටුප් වැඩිකරනවා වෙනුවට එම එක් එක් ක්‍ෂේත්‍රයන්වල වැටුප්තල තීරණය කරමින් ඇතැම් ක්‍ෂේත්‍ර සමාන්තර තල තුළ පිහිටුවා වැටුප් විෂමතාවය ඉවත් කරන්න යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව අනුව එක් එක් ක්‍ෂේත්‍රයන්ට 2020 වන විට වැටුප් වැඩිවීමේ ආකාරය සඳහන් කොට තිබෙනවා. නමුත් වර්තමාන ආණ්ඩුව වැටුප් කොමිසමේ වාර්තාව අනුව කටයුතු කිරීම අත්හැර දමා තිබෙනවා.

අපේ රටේ රාජ්‍ය සේවයේ විශාල අකාර්යක්‍ෂමතාවයක් ඇතිවෙලා තිබෙනවා. එම අකාර්යක්‍ෂමතාවය නැති කිරීමට සරදියෙල් පන්නයේ කඩා පැනීම්වලින් පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එම අකාර්යක්‍ෂමතාවය නැතිකිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගණනාවක් තිබෙනවා. ප්‍රධාන එක තමයි රාජ්‍ය සේවයේ වැඩ කරන සේවකයින්ගේ තෘප්තිමත්භාවය ඇතිකිරීමට කටයතු කිරීම. ඒ සඳහා රාජ්‍ය සේවකයින් මුහුණ දෙන විශ්‍රාම වැටුප්වල සහ රාජ්‍ය සේවයේ වැටුප්වල පවතින විෂමතාවයන්ට අදාල ගැටලු විසඳිය යුතුව තිබෙනවා. ඒවා සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වා රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාවය අවසන් කිරීමට නොහැකියි. නමුත් ආණ්ඩුව දැන් සිදුකරමින් තිබෙන්නේ රාජ්‍ය සේවකයින් දීර්ඝ කාලීනව සිදුකරන ලද අරගලයන්ගේ ප්‍රතිඵල ලෙස නිකුත් කර තිබෙන චක්‍රලේඛන අවලංගු කර දැමීමයි. එසේ කළත් ආණ්ඩුවේ වියදම් නතර කොට නැහැ. ආණ්ඩුවේ හිතවතුන් රාජ්‍ය ආයතනවල තනතුරුවල පිහිටුවමින් තිබෙනවා. විශාල ලෙස පරිපූරක ඇස්තමේන්තු සම්මත කරගනිමින් වාහන සඳහා මුදල් වැය කරනවා.

ආණ්ඩුව මහජන මුදල් නාස්ති කරනවා

අමාත්‍යාංශවලට අලුත් ගෘහභාණ්ඩ මිලදී ගන්නවා. විශාල ලෙස මහජන මුදල් නාස්ති කරමින්, විනාශ කරමින් තිබෙනවා. නමුත් රාජ්‍ය සේවකයින් දිනාගත් දේද අහිමි කරමින් තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා, විශ්‍රාමිකයින්ට ජනවාරි මස සිට වැඩිවීමට නියමිත විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙසත් විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට හිමිවිය යුතු දීමනාව නිසි ලෙස ලබාදෙන ලෙසත් දීර්ඝ කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා වැටුප් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත්. ඒ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ගේන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. ඒ සඳහා 2/3ක් අවශ්‍ය වන්නේ නැහැ. ඇත්තටම ආණ්ඩුව 2/3 සොයමින් සිටින්නේ ජනතාවට සහන ලබාදීම සඳහා නෙමෙයි; ජනතාවගේ සහන කප්පාදු කිරීමටයි.

ඒ වගේම මේ වනවිට කොරෝනා වයිරසය පැතිරීම සම්බන්ධයෙන්ද රටේ ආන්දෝලනයක් මතුවී තිබෙනවා. අපේ රට දූපතක් වීම නිසා මෙවැනි ආකාරයේ රෝගී තත්වයන් රටට ඇතුල්වීම පාලනය කිරීම පහසුයි. එහිදී ප්‍රමුඛව කළ හැක්කේ ගුවන් තොටුපොළ මගින් රටට රෝගීන් ඇතුළුවීම වැලැක්වීමයි. සාමාන්‍යයෙන් අප වැනි රටකට නැව් මගින් ගමනාගමනය අඩුයි. ගුවන්තොටුපොළ හරහා එන මගීන් හඳුනා ගන්න සිදුකරන පරීක්‍ෂණ ක්‍රියාවලිය විධිමත් කළ යුතුයි. දැනට තිබෙන පරීක්‍ෂණ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බව බොහෝ දෙනාගේ මතයයි. එම නිසා ආණ්ඩුව පළමුව කළ යුත්තේ ගුවන්තොටපොළ හරහා රට තුළට ඇතුළුවන රෝගීන් හඳුනා ගැනීම සඳහා දියුණු තාක්‍ෂණික උපකරණ සහිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමයි.

සෞඛ්‍ය කාර්යමණ්ඩල වල ආරක්ෂාව තහවුරු කළයුතුයි 

ඒ වගේම මෙම පරීක්‍ෂණ සඳහා මැදිහත්වන සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ඇතිවන අපහසුතාවයන් සැලකිල්ලට ලක් කරමින් ඔවුන්ගේ ආරක්‍ෂණ ක්‍රියාවලිය දැඩිකළ යුතුව තිබෙනවා. මේ වනවිට ක්‍රියාත්මක වන ආරක්‍ෂණ ක්‍රියාවලිය ප්‍රමාණවත් නොවන බව අපිටද දැනගන්නට ලැබී තිබෙනවා. ඒ වගේම ජනතාව සඳහා එම වයිරසයෙන් වැළැක්වීමට භාවිත කරන මුඛ ආවරණ හිඟයක්ද, ඒවා ඉතා අධික මිල ගණන් යටතේ විකිණෙන බවද වාර්තා වෙලා තිබෙනවා. එම නිසා මෙම මුඛ ආවරණ සඳහා නිශ්චිත මිලක් නියම කිරීම ආණඩුව විසින් කළ යුතු වෙනවා. ඒ වගේම එම මුඛ ආවරණවල ගුණාත්මකභාවය පිළිබඳව ආණ්ඩුව සහතිකයක් ලබාදිය යුතුව තිබෙනවා. ඒ වගේම මෙම වයිරසය විශාල ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බවට ආණ්ඩුවට තොරතුරු ලැබී තිබෙනවා නම් ජනතාවට එම මුඛ ආවරණ නොමිලේ ලබාදීමට කටයුතු කළ යුතු වෙනවා. එමෙන්ම මෙවැනි ව්‍යසනයකදී විෂය දැනුමක් ඇති පළපුරුද්දක් ඇති විශේෂඥ දැනුම ඇති විශේෂඥයින්ගේ නිර්දේශ අනුව ආණ්ඩුව කටයුතු කළ යුතු වෙනවා. මොකද මෙවැනි අවස්ථාවකදී දේශපාලකයින්ට වඩා මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වන්නේ විශේෂඥ ඥානය තිබෙන පුද්ගලයින් විසිනුයි. එසේ නොමැතිව ජනප්‍රිය වීමට උත්සාහ කරන දේශපාලකයින්ගේ ජනප්‍රිය කථාවලින් වැඩක් වන්නේ නැහැ.‘‘

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු පැවසුවේ,

රාජ්‍ය සේවකයින්ට සහන දෙන්න මුදල් නැහැ කීම අසාධාරණයි 

මේ අවුරුද්ද සඳහා නිශ්චිත අයවැයක් ඉදිරිපත් කළේ නැහැ. ඉදිරිපත් කොට තිබෙන්නේ අතුරු සම්මත ගිණුමක්. එහි විශ්‍රාම වැටුප්ලාභීන් සඳහා වැටුප් වැඩිකිරීමට මුදල් නොමැති නම් ඒ සඳහා මුදල් ලබාගන්න ක්‍රමවේදයක් තිබෙනවා. පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට සම්මත කර ගැනීමෙන් මුදල් වෙන්කරගත හැකියි. ඒවගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා එම චක්‍රලේඛ නිකුත් කිරීමේදී මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව තමයි චක්‍රලේඛය නිකුත්කොට තිබෙන්නේ. ඒ මොහොතේ මුදල් නැති බව ආණ්ඩුව දැන සිටියේ නැද්ද? නමුත් ආණ්ඩුවේ අනෙකුත් වියදම් වෙනුවෙන් කිසිදු ලෝභයක් නොමැතිව පරිපූරක ඇස්තමේන්තු සම්මත කරගන්නා ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට සහන ලබාදෙන්න මුදල් නැහැ කියන එක සාධාරණ නැහැ.

එක ක්‍ෂේත්‍රයක බලවත්කම නිසා හෝ උද්ඝෝෂණයන්ගේ ප්‍රතිඵල නිසා වැටුප් වැඩිවෙන අවස්ථාවකදී අපේ අරගලය තිබුණේ අනෙකුත් ක්‍ෂෙත්‍රයන්ටද එම වැටුප් වැඩිවීම ලබාදිය යුතු බවයි. එසේ නොැමතිව අපි කිසිදු අවස්ථාවකදී වැටුප් වැඩිවීම වැළැක්වීම වෙනුවෙන් අරගල කර නැහැ. මේ ආකාරයේ විෂමතාවයන් ඇතිවන නිසා තමයි වැටුප් කොමිසමක් ස්ථාපිත කළේ. එම වැටුප් කොමිසම අනුව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන්වල ගැටලු විසඳාගන්න පුළුවන්. මීට අමතරව ජීවන වියදමට අනුව රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ලබාදීමටද ආණ්ඩුව කටයුතු කරනවා. එවැනි ආකාරයේ විධිමත්ව ලබාදිය හැකි උත්තරය තමයි මේ ආණ්ඩුව විසින් නතර කරලා තිබෙන්නේ. වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් පමණක් සලකා බලා මුදල් නැහැ කියන එක සාධාරණ නැහැ. 2020ට සහ 2021ට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අවශ්‍ය වෙන්නේ රු. බිලියන 240ක් වැනි මුදලක්. නමුත් ආණ්ඩුව නොසැලකිල්ල නිසා මිලියන ගණන් පමණ අහිමි කරගෙන තිබෙනවා. එනිසා ආණ්ඩුවේ වියදම් ගැන සැලකිල්ලක් දැක්වුවහොත් මෙම වැටුප් වැඩිවීම සඳහා මුදල් ලබාදීමේ හැකියාවක් තිබෙනවා.

විදේශ සංක්‍රමණ වලදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළයුතුයි

වර්තමානය වන විට එක රටකින් තවත් රටකට සංක්‍රමණය වීම සීමා කිරීමට නොහැකි තත්වයක් තිබෙනවා. අධ්‍යාපනය, රැකියාව, යහපත් සේවාවන් සහ උසස් ජීවන තත්වයක් අරමුණු කර ගනිමින් එක් රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට ජනතාව සංක්‍රමණය වෙනවා. එනිසා රටක් කළ යුතු වන්නේ වීසා නිකුත් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමයි. අපේ රටේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයේ විශාල දුර්වලතා තිබෙනවා. අපි රටක් ලෙස ජාතික ආරක්‍ෂාව ගැන හිතුවේ හමුදා ආක්‍රමණයක් මගින් රට ආරක්‍ෂා කිරීමයි. නමුත් රටකට ආරක්‍ෂාව පිළිබඳ තර්ජන එන්නේ මීට වඩා වෙනස් ආකාර ගණනාවකින්. එනිසා අපේ රටට සිදුවන විදේශ සංක්‍රමණවලදී දැනට තිබෙන ක්‍රමවේදයට වඩා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙනවා. මීට වඩා ඉහළ තාක්‍ෂණයකින් යුතුව වෛද්‍ය පරීක්‍ෂණයන්ට සංක්‍රමණිකයින් ලක්කළ යුතු වෙනවා. අපේ රට දූපතක් වීම නිසා මෙවැනි ආසාදනයන්ගෙන් ආරක්‍ෂා විය හැකි වුවත් අපේ රටේ දුර්වල පාලකයින්ගේ ක්‍රියා කලාපය නිසා ඕනෑම වයිරසයක් බදා වැළඳගන්නා රටක් බවට පත්වෙලා තිබෙනවා. පාලකයින්ගේ අකාර්යක්‍ෂමතාවය නිසා ඛේදවාචකයන්ට ලක්වුණු රටක් බවට පත්වෙලා තිබෙනවා.

නිශ්ශංක සේනාධිපති විසින් පෞද්ගලික නාලිකාවක වැඩසටහනකදී අප පක්‍ෂයට අභූත චෝදනා ගණනාවක් එල්ල කළා. එක අතකට මමත් මගේ පක්‍ෂයත් ආඩම්බර වෙනවා, මහජන දේපළ හොරා කාපු, වංචනිකයින්ගේ දූෂිතයින්ගේ සතුරෙකු වීම ගැන. මටත් මගේ පක්‍ෂයටත් ඒ සම්බන්ධයෙන් සතුටක් තිබෙනවා. මොකද, බොහෝ දේශපාලකයින් මෙම දූෂිතයින්ගේ සුරතලුන් බවට පත්වෙලා ඉන්නවා. එම දේශපාලකයින් මෙම දූෂිතයින්ගෙන් වාහන, නිවාස, මැතිවරණ කාලයේදී මුදල් ලබාගන්නවා. එසේ වංචනිකයින්ගේ සුරතලුන් බවට පත්වී සිටින දේශපාලකයින් අතර අප පක්‍ෂය දූෂිතයින්ගේ සතුරෙකු වීම ගැන ආඩම්බරයක් තිබෙනවා. ඒ වගේම එම වංචනිකයින්ගේ දූෂිතයින්ගේ කෝපාවිෂ්ඨ වෛරීසහගත ප්‍රකාශ අපි තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. ධනය, බලය නිසා එම දූෂිතයින් මහර මාධ්‍ය ආයතනවලට ප්‍රබලයින් ලෙස පේනවා ඇති. නමුත් අපිට නම් ඔවුන් ගණන් ගත යුතු පුද්ගලයින් නොවේ. අපේ රටේ පාලකයින් වංචනිකයින්ගේ, දූෂිතයින්ගේ ගොදුරු බවට පත්වුණාම අපේ රටත් වංචනිකයින්ගේ පාරාදීසයක් බවට පත්වෙනවා. ටී.වී නාලිකාවල වීරයන් බවට පත්වෙන්නේ සෙල්ලම් පිට්ටනියේ සෙල්ලක්කාරයින් වන්නේ වංචනිකයින්, දූෂිතයින්. මහජන දේපළ හොරා කාපු අයගේ තෝතැන්නක් බවට අපේ රට පත්වෙනවා. එම වංචනිකයින්, දූෂිතයින්ගේ වෛරයට අපේ පක්‍ෂය පාත්‍ර වෙන්නේ ඒ නිසයි. මොකද අපේ පක්‍ෂයේ ගිණුම්වල කළු සල්ලි නැහැ. අපේ ගිණුම් හරහා කළු සල්ලි සංසරණය වෙන්නේ නැහැ. සියලු දේ කුණුවෙලා තියෙන සමාජයක අපේ පක්‍ෂය වැනි දේශපාලන පක්‍ෂ, අපි වැනි දේශපාලකයින් සිටීම ඇතැම් අයට විශ්වාස කරන්න බැහැ. මේ සමාජය කුණු වෙලා තිබෙන නිසාම තමයි අපි වැනි දේශපාලන පක්‍ෂයක් රටකට අවශ්‍ය වෙන්නේ.

වෝහාරික විගණන වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය බවට ඇතැමුන් චෝදනා කරනවා 

වෝහාරික විගණන වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බවට ඇතැම් අය චෝදනා කරනවා. දූෂිතයින් ආරක්‍ෂා කරන්න විවිධ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ගෙන් අපි අහනවා, හොරකම් වෙනකොට ඒ හොරකම වෙන වෙලාවේ ඒක නොදැක්කොත් හොරකමක් වෙන්නේ නැද්ද? අපේ රටේ හොරකම් තිබෙනවා, ඒ මොහොතේ හෙළිදරව් වුණු ඒවා. ඇතැම් හොරකම් පසුකාලීනව හෙළිදරව් වෙලා තිබෙනවා. ඇතැම් ඒවා කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබෙනවා. 2015 සිදුවූ බැඳුම්කර වංචාවෙන් පසුව තමයි මෙම බැඳුම්කර වංචාව පිළිබඳ හෙළිදරව් වෙන්නේ. ඒ පිළිබඳව පරීක්‍ෂණවලදී තමයි කෝප් කමිටුවේ නිර්දේශයක් ලැබෙන්නේ වෝහාරික විගණන පරීක්‍ෂණයකට. එම වෝහාරික විගණනයෙන් තමයි එම බැඳුම්කර වංචාව පිළිබඳ සියලු තොරතුරු හෙළිදරව් වෙලා තිබෙන්නේ. මෙම වෝහාරික විගණනය කළ සමාගම ජාත්‍යන්තරව පිළිගත් සමාගමක්. එම සමාගම මීට පෙරද අපේ රටේ ආයතනවල යම් යම් විගණනයන්ට මැදිහත් වෙලා තිබෙනවා. කවුරු හරි කියනවා නම් කබ්රාල්ගේ ගේ මුල්ලේ හැංගිලා ඉඳලා මේ හොරකම් අල්ලන්න පුළුවන් කියලා ඒ දූෂිතයින් ආරක්‍ෂා කරන්න කරපු ප්‍රකාශයක් පමණයි. එම නිසා අපි මාධ්‍යවේදීන්ගෙන් වගේම මේ රටේ අර්ථසාධක අරමුදලේ හිමිකරුවන් වන සියලු දෙනාගෙන්ම ඉල්ලනවා, මෙම හොරකමට එරෙහිව පාරට බහින්න කියලා. මොකද මෙම මහ බැංකු බැඳුම්කර වංචාවෙන් මහ බැංකුවට සිදුවී තිබෙන පාඩුවෙන් වැඩිම ප්‍රමාණයක් සිදුවී තිබනේනේ සේවක අර්ථසාධක අරමුදලටයි.‘‘ යන්නයි.