‘‘කොරෝනා වෛරසය ගැන අනවශ්‍ය බියක් ඇතිකර ගන්න එපා‘‘ - බන්දුල


කිසිදු විටක අධ්‍යාපන අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මුඛ ආවරණ මිලට ගෙන පළදින ලෙස ජනතාවට හෝ දරුවන්ට උපදෙස් ලබාදී නැති බවත් පාසල් වැසීමට කිසිදු තීරණයක්  ගෙන නොමැති බව  අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, 

කොරෝනා වෛරසය ගැන විශාල භීතිකාවක් තිබෙනවා 

‘‘කොරෝනා වෛරසය පිළිබඳව විශාල භීතිකාවක් දරුවන් හා දෙමව්පියන් අතර තිබෙනවා. මේ තත්ත්වයේ විශේෂත්වයක් වන්නේ පමණට වඩා ජනතාව බිය ගැන්වෙන ව්‍යාපාරයක් වීමයි. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තත්ත්වය අවබෝධ කරගෙන පූර්ණ ලෙස මැදිහත්වෙලා කටයුතු කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් අනුව චක්‍රලේඛන නිකුත් කර තිබෙනවා. කිසි වෙලාවක අධ්‍යාපන අමාත්‍යාංශවත් සෞඛ්‍ය අමාත්‍යාංශවත් මුඛ ආවරණ මිලට ගෙන පළදින ලෙස ජනතාවට උපදෙස් ලබාදී නෑ. දරුවන්ට මුඛ ආවරණ පැළඳගෙන එන ලෙස වාර්තා වෙලා තිබෙනවා, එය නරක දෙයක්. එවැනි නියමයක් දැනට නෑ. අවශ්‍යතාවයක් තිබෙනවා නම් එවැනි නියමයක් කරනවා. පාසල් වැසීමට තීරණයක් කර නෑ.

රජය වශයෙන් චීනයේ හා ශ්‍රී ලංකාවේ තානාපතිවරු සාකච්ඡා කරලා, පැමිණීමට අවශ්‍ය කරන සිසුන් ලංකාවට සහන ගාස්තු යටතේ ලංකාවට ගෙන්වා ගැනීමට විධිවිධාන සලස්වා තිබෙනවා. නිරන්තරයෙන් එරට සිටින සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිනවා. දැනට මේ අංශයේ රටේ ජනතාවට හා දෙමව්පියන්ට අවධාරණය කරන්නේ දරුණු වසංගතයක් නම් ක්ෂණිකව මාධ්‍ය හරහා නිකූත් කරනවා. වැරදි ප්‍රචාර සම්බන්ධයෙන් බිය විය යුතු නෑ කියලා අවධාරණය කරනවා.

මිත්‍ර රටක් වන චීනයට අත් වූ තත්ත්වයට ගැන කණගාටුව පළ කරනවා. රජයක් ලෙස අපේ කණගාටුව චීන ජනතාවට පළ කරනවා. චීනය අපට සහයෝගය ලබාදුන් රටක්. ඉක්මනින් වෛරසය තුරන් වෙලා සියලු රටවල දරුවන්ට ජනතාවට බියෙන් සැකෙන් තොරව ගමන් කිරීමට අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.‘‘ යන්නයි.