රුහුණු සිසුන් වෙනුවෙන් ඉන්දියාවෙන් රන් පදක්කමක්



ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු සහ රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුජීව අමරසේන අතර පැවති සාකච්ඡාවකදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය රුහුණ විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඖෂධවේදී, හෙද සහ වෛද්‍ය රසායනගාර විද්‍යා යන විද්‍යාවේදී පාඨමාලාවන්හි ඉහළම දක්ෂතා දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වාර්ෂිකව රන් පදක්කමක් පිරිනැමීමට තීරණය කර ඇත. 

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය ඉන්දියා - ශ්‍රී ලංකා ද්විපාර්ශවික සම්බන්ධතාවයේ වැදගත් අංගයකි. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක් සතු විශාලතම ශ්‍රවණාගාරයද රුහුණ විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇත. ඉන්දියානු ප්‍රදාන යටතේ පාසල් ගොඩනැගිලි රැසක් ඉදි කරමින් සහ නවීකරණය කරමින් පවතින අතර උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රෛභාෂා පාසලක්ද ඉදි කෙරෙමින් පවතී. එසේම ඉන්දියානු රජය යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චි විද්‍යායතනයේ කෘෂිකර්ම සහ ඉංජිනේරු පීඨය වෙත උපකරණ සහ කුසලතා කට්ටල ලබා දී ඇත. 

මෙයට අමතරව ඉන්දියාව ශ්‍රී ලාංකික සිසුන්ට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි හැදෑරීම සදහා වාර්ෂිකව ශිෂ්‍යත්ව 750ක්ද පිරිනමනු ලබයි. ජාත්‍යන්තර තලයේ ප්‍රධාන විධායක නිලධාරීන් බිහි කරන ප්‍රමුඛ පෙළේ ඉන්දියානු තාක්ෂණ ආයතන සදහා ඇතුළත්වීමේ විභාග දැන් ශ්‍රී ලංකාවේදීද පවත්වනු ලබයි. ශ්‍රී ලාංකික සිසුන්ට ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල සඳහාද අයදුම් කළ හැකිය. 

මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති, RESCON 2019 වාර්ෂික පර්යේෂණ සමුළුව අමතමින් ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මැතිතුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දැනුම අත්පත් කරගැනීම ජීවිතයේ පරම අරමුණක් ලෙස සලකන පොහොසත් සම්ප්‍රදායකගෙන් පැවත ‍එන බවද එම සම්ප්‍රදාය තුළ දැනුම සහ ඥානය අගය කිරීමට භාජනය වන අතර විද්වතුන් ගෞරවයට පාත්‍ර වන බව ප්‍රකාශ කළේය. මෙම රන් පදක්කම හඳුන්වාදීම මෙම සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමේ තවත් පියවරකි.