කුලියාපිටිය දුරුතු මහා පෙරහර 31 වනදා


වයඹ සත්කෝරලේ මහා සංස්කෘතික හා කලා මංගල්‍යය බවට පත්වී ඇති, ඓතිහාසික බෞද්ධ සංස්කෘතික චාරිත්‍රවාරිත්‍රවලට මුල්තැන දෙමින් කුලියාපිටිය ඇස්වැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ 25 වන වරට පැවැත්වෙන වාර්ෂික දුරුතු මහා පෙරහර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහ පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2020 ජනවාරි මස 31 වන දින අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මංගල හස්ති රාජයා මත සධාතුක ධාතු කරඬුව තැන්පත් කර රාත්‍රී 7.00ට පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත අතර අලි ඇතුන් 25 දෙනෙකු හා නැටුම් ශීල්පීන් 1000 දෙනෙකුගේ  සහභාගීත්වය ඇතිව මෙවර පෙරහර සංවිධානය කර ඇති බව කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථ පල්ලේකාගම රතනභාරතීන් ස්වාමීන් වහන්සේ පවසයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණෝ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍යතර අත්තංගනේ සාසනරතන නාහිමිපාණෝ, තිස්සව රාජ මහා විහාරධිපති වයඹ පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මුගුණුවටවන සිද්ධත්ත නාහිමිපාණෝ, අකුරණ ගංගාරාමාධිපති වයඹ පළාත් උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද කුඹල්වල පියතිස්ස නාහිමිපාණෝ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ‍ලේඛකාධිකාරී පූජ්‍යතර හාල්පන්විල පාලිත නාහිමිපාණෝ සහ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය හා අන්‍ය ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා සහ මහනුවර දළඳා මාළිගාවේ දියවඩන නිළමේ තැන්පත් ගරු ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා ද සහභාගී වේ.