‘‘ලංකාවේ දූෂණය අඩුවී නැහැ‘‘ - ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්




මෙරට දූෂණය අඩුවී නැහැ 

දුෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ආයතනය විසින් එලිදක්වනු ලැබූ දුෂණ සංජානන දර්ශකයට (CPI) අනුව ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අසමත් ව ඇත. දුෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින් දුෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව පෙර වසරේ ලබා ගත් අගයම ලබා ගනිමින් දුෂණ සංජානන දර්ශකය තුල 38ක අගයක් ලබා ගෙන ඇත. දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් අගය අනුව එය පසු වන්නේ භූතානය (68) සහ ඉන්දියාව (41)  යන රටවල් දෙකටත් වඩා පිටුපසිනි. එමෙන්ම ආසියානු පැසිෆික් කලාපිය සාමාන්‍ය අගය 45 වන අතර ශ්‍රී ලංකාව එයටද වඩා පිටුපසින් පසු වේ. ඒ අනුව, 2013 වසරේ සිට 36 සහ 38 යන අගයයන් අතර ඉහළ පහළ යමින් වාර්තා වන දූෂණ සංජානන දර්ශක දත්ත හරහා පිළබිඹු වන්නේ, ශ්‍රී ලංකාවේ දුෂණ විරෝධී වාතාවරණය එක තැන පල්  වන තත්වයකට පත්ව ඇති බවයි. 2018 වර්ෂයේ දී  දුෂණ සංජානන දර්ශකයේ, 89 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 2019 වන වර්ෂයේදී 93 වන ස්ථානයට පත් ව ඇත. 

දූෂණ නඩු අධිකරණ වල හිරවෙලා

ශ්‍රී ලංකාව, දූෂණ සංජානන දර්ශකයේ ලබා තිබෙන අගය පිළිබඳ අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මෙසේ ප්‍රකාශ කර සිටියේය.“ දූෂණ සංජානන දර්ශකය හුවා දක්වන්නේ රාජ්‍ය අංශයේ සිදු වන දූෂණයන්. මෙම දර්ශකය තුළ අප එක තැන පල් වීමට හේතුවක් බවට පත් වී ඇත්තේ යහපත් ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වූ දුෂණ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණ පද්ධතිය තුල හිර වී පැවතීමයි. මෙම අභියෝගයන්ට හේතුන්, නිපුනතාවයන්හි ඇති හිඩැස්වල සිට අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ ගැඹුරින් මුල් බැස ඇති අකාර්යක්ෂමතාවයන් දක්වා විහිදී පවතී. 

විශ්ලේෂණයන් පෙන්වාදෙන අන්දමට, දුෂණ සංජානන දර්ශකයේ ඉහලින්ම පවතින රටවල් වල මැතිවරණ ප්‍රචාරණ මුල්‍ය රෙගුලාසින් ශක්තිමත්ව බලාත්මක කර ඇති අතර පුලුල් පරාසයක විහිදුනු දේශපාලන දැනුවත්භාවයක් ද පවතී. මැතිවරණ ප්‍රචාරණ මුල්‍ය රෙගුලාසි සංකිර්ණව හා ක්‍රමානුකුලව බලාත්මක කර ඇති රටවල් දුෂණ සංජානන දර්ශකය තුල ලබාගෙන ඇති සාමාන්‍ය අගය 70ක් වන අතර එවැනි රෙගුලාසි බලාත්මක කර නැති හෝ දුර්වල ලෙස ක්‍රියාත්මක වන රටවල සාමාන්‍ය අගය පිලිවෙලින් 34 සහ 35 වේ. මේ අනුව, 2012 සිට දුෂණ සංජානන අගය සැලකිය යුතු මට්ටමින් වර්ධනය කරගත් සියයට හැටක් පමණ වන රටවල්, මැතිවරණ ප්‍රචාරණ පරිත්‍යාගයන් පිලිබඳ රෙගුලාසි ශක්තිමත්  කරගත් රටවල් වේ. 

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ, දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයන සඳහා මහජන ප්‍රවේශය ලබා ගැනීමේ අවශ්‍යතාවය සහ මැතිවරණ ප්‍රචාරණ රෙගුලාසි පිළිබඳව පවතින කතාබහ හැරුණු විට, මේවා සම්බන්ධයෙන් ඇත්තේ ඉතා සීමිත ප්‍රගතියක් බවත්, මෙම ප්‍රතිසංස්කරණයන් ඉදිරියට පවත්වාගෙන් යාම තුලින් මහජන විශ්වාසය නැවත ගොඩනැගීමට නව ආණ්ඩුවට අවස්ථාව තිබෙන බවත්ය. 

රාජ්‍ය ආයතන ගැන ජනතාව තුළ විශ්වාසයක් නැහැ 

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ සභාපති, Delia Ferreira Rubio ඇයගේ ගෝලීය ප්‍රකාශනයේදී " රජයේ දුෂණයන් පිලිබඳ කලකිරීම හා රාජ්‍ය ආයතන කෙරෙහි විශ්වාසය අඩුවීම, දේශපාලනික සුපිලිපන්භාවයෙහි අවශ්‍යතාවය පිලිබඳ හඬ අවදි කරයි. දේශපාලන පක්ෂ මුල්‍යකරණයේදී මහාපරිමාණයෙන් සැපයෙනු ලැබෙන මුදල් වල දුෂිත භූමිකාවත්, එය අපගේ දේශපාලන පද්ධතීන් කෙරෙහි දක්වන අනවශ්‍ය බලපෑම කෙරෙහිත් රජයයන් වහාම අවධානය යොමු කල යුතු බව ප්‍රකාශ කලාය. 

දූෂණය පිටු දැක දේශපාලනයේ විශ්වාසය නැවත පිහිටුවීම සඳහා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය, සියලු රජයන් වෙත පහත දැක්වෙන ඉල්ලීම් යොමු කර සිටියි. 

 සංවරණය හා තුලනය නැවත පිහිටුවීම සහ බලය බෙදීම ප්‍රවර්ධනය කිරීම. 

අයවැය සහ පොදු සේවාවන් සම්බන්ධ කටයුතු වලදී, පෞද්ගලික සම්බන්ධතා හෝ විවිධ පුද්ගලයින්ගේ විශේෂ කැමැත්ත මත තීරණය නොකරන බවට සහතික වීම සඳහා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම.  

දේශපාලනය තුල අධික ලෙස මුදල් සංසරණය සහ ඒ මගින් දේශපාලනයට වන බලපෑම වැලැක්වීම සඳහා මැතිවරණ ප්‍රචාරණ මුල්‍යයන් පාලනය කිරීම 

තීරණ ගැනීමේදී , විවෘත හා අර්ථවත් ප්‍රවේශයන් ප්‍රවර්ධනය කිරීම. 

පුරවැසියා සවිබල ගැන්වීම සහ ක්‍රියාකාරීන්, අකටයුතුනාද කරන්නන් සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම. 

රටවල් 180 ක රාජ්‍ය අංශයේ වාර්තා වන දූෂිත ක්‍රියාකාරකම් මැනීම සඳහා 2018 වසරේ දූෂණ විරෝධී  සංජානන දර්ශකය ගණනය කිරීමේදී, සමීක්ෂණ සහ විශේෂඥ ඇගයීම් 13 ක් යොදා ගනු ලැබූ අතර, ඉන් ලැබුණු ප්‍රථිපල අනුව, පිළිවෙලින් ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 87 අගයක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයේ රැඳී සිටින අතර ලකුණු 9 ක අගයක් ලබා ගත් සෝමාලියාව අවසාන ස්ථානයේ පසු වෙයි.